වෙසක් පුර පසළොස්වක පෝය - PIRIVENA.LK
ත්‍රිවිධ මංගල්‍යය · ශ්‍රී වෛශාඛ

වෙසක් පුර පසළොස්වක පෝය

බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන අසිරිමත් ත්‍රිවිධ මංගල්‍යයෙන් ශ්‍රේෂ්ඨ වූ, සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය.

ජාතිය
බෝධිය
පිරිනිවන
ලෝක බෞද්ධ දිනය
Share
🌕
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර දිනය
ශ්‍රී වෛශාඛ පෞර්ණමී · ජාතිය · බෝධිය · පිරිනිවන

කරුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම - බුදුවීම - පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු රැසකින් දේවත්වයට පූජනීයත්වයට පාරිශුද්ධත්වයට ඓතිහාසිත්වයට පත්වුණු ශ්‍රී වෛශාඛ පෞර්ණමී දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ පරම පූජනීය ආගමික දිනය යි.

අපේ රට කුඩා වුව ද ලෝක බෞද්ධ සංවිධානයේ පෙරමුණ මේ පුංචි ලංකාවට ලැබීම සිංහලයන් වූ අපගේ මහත් භාග්‍යයකි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එක ම උත්සවය සිංහල බෞද්ධයන් විසින් පවත්වනු ලබන වෙසක් උත්සවය යි.

🌸
ජාතිය
ලුම්බිනී ශාලවනෝද්‍යානයේදී බිහිවූ සිද්ධාර්ථ කුමාරයා, "මම ලෝකයට අග්‍ර, ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ. නැවැත උපතක් නැත" යි ජය සංඛ නාද කළේ වෙසක් පෝය දිනකය.
🪷
සම්බෝධිය
ගයාවේ අශ්චත්ථ බෝධිමූලයෙහි සවාසනා සකල ක්ලේශයන් නසා ලොව්තුරා සම්‍යක් සම්බෝධියට පැමිණ වදාළේ වෙසක් පෝය දිනකය.
පිරිනිවන
කුසිනාරා නුවර සල් උයනෙහි "සියලු සංස්කාර ධර්ම නැසෙන සුලු, අප්‍රමාදෙන් ක්‍රියා කරවු" යි අවසාන අවවාද කොට පිරිනිවන් පෑ සේකද වෙසක් පෝය දිනකය.
📅
වෙසක් දිනයේ ඓතිහාසික සිදුවීම්
බෞද්ධ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කරුණු රාශියක් එකම දිනයක
🌸
නියත විවරණය ලැබීම
සාරාසැකි කප් සුවහසකට පෙර සුමේධ තාපස ව සිටි බෝසතාණෝ දීපංකර සර්වඥයන් වහන්සේ ගේ මුඛයෙන් "සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ගෞතම නමින් සම්මා සම්බුදු වේ" යි ප්‍රථම නියත විවරණ ශ්‍රී ලද්දේ වෙසක් පෝය දිනකය.
👶
ජාතිය — ලුම්බිනීයේ
දඹදිව කපිලවාස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජු ගේ අග බිසව මහාමායා දේවිය කුසෙන් ලුම්බිනී ශාලවනෝද්‍යානයේදී බිහිවූ සිද්ධාර්ථ කුමාරයා "මම ලෝකයට අග්‍ර, ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ, නැවැත ජාතියක් නැත" යි සිංහ නාදය කළේ වෙසක් පෝය දිනකය.
🪷
සම්බෝධිය — ගයාවේ
සයවසක් දුෂ්කර වීර්‍ය්‍ය කොට, මැදුම් පිළිවෙතෙහි යෙදී, ගයාවේ අශ්චත්ථ බෝධිමූලයෙහි භාවනාවෙන් සවාසනා ක්ලේශ නසා ලොව්තුරා සම්‍යක් සම්බෝධිය ලද්දේ වෙසක් පෝය දිනකය.
පිරිනිවන — කුසිනාරාවේ
පන්සාළිස් වසරක් ලෝව ලොව කළ බුදුරජාණෝ කුසිනාරා නුවර යමක ශාල වෘක්ෂ අතර "සියලු සංස්කාරයෝ නැසෙන සුලු, අප්‍රමාදෙන් ක්‍රියා කරවු" යි අවසාන ගාථාව වදාරා පිරිනිවන් පෑ සේකද වෙසක් පෝය දිනකය.
🦶
සමනොළ වැඩම කිරීම
බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ සුමන සමන් දෙව් රදුන් ගේ ආරාධනා පිළිගෙන සමනොළ පවුවට වැඩම කොට බුදු සිරිපා සටහන් තබා, ශ්‍රී ලංකාව තෙවන වරටත් පූජනීය කළේ වෙසක් පෝය දිනකය.
🌿
යමාමහ පෙළහර
කිඹුල්වත් පුරයට බුදුව පළමු වරට වැඩම කොට සිය පිය සුදොවුන් රජු ප්‍රමුඛ ඤාති සමූහයාට ධර්ම දේශනා සඳහා යමාමහ පෙළහර පැවැත්වූයේ වෙසක් පෝය දිනකය.
📿
ආනන්ද හිමියන් පිරිනිවීම
තථාගත පිරිනිවීමෙන් සතළිස් වන වර්ෂයේ ආනන්ද හිමියෝ රෝහිණී නදිය මැද අහසෙහි "මා විසින් ශාස්තෘ ඇසුරු කරන ලදී, බුදු ශාසනය කරන ලදී, කෙලෙස් බර බහා තැබිණ" යි වදාරා පිරිනිවන් පෑ දිනද වෙසක් පෝය දිනකය.
👑
විජය කුමාරු ලංකාවට
සිංහල ජනවංශයේ ආදි පුරුෂ ලෙස සැලකෙන විජය කුමාරු සත් සියයක් පිරිස සමඟ ශ්‍රී ලංකාවට පැමිණ සිංහල ජාතියේ සමාරම්භය කළේ වෙසක් පෝය දිනකය.
🏛️
රුවන්වැලි සෑය ආරම්භය
දුටුගැමුණු රජතුමා සිංහල හා බෞද්ධ බලය පුනරුත්ථාපනයෙන් පසු, රුවන්වැලි සෑරදුන් සාදන්නට විසා නැකතින් වැඩ ආරම්භ කෙළේ වෙසක් පෝය දිනකය.
බුදු පෙළහර — වෙසක් දිනයේ දී

ජීවිතයේ කිසිදු දිනයෙක ශීලසමාදානයේ නො යෙදුණු අය වෙසක් පුනු පොහෝ දිනයේ උදෑසන ම හොඳම හොඳ උවසු උවැසියන් ලෙස සුදුවතින් සැරසී වෙහෙර විහාරයන් කරා පා නඟන්නේත්, කිසිදු දිනයෙක භාවනා කර්මයෙක නො යෙදුණු සමහරුන් පළ පුරුදු යෝගාවචරයන් සේ භාවනා කරන්නේත්, ගම් - නියම්ගම් - නගර ආදී හැම තැනක ම වෙසක් පහනින් වෙසක් තොරණින් ආලෝකවත් කරන්නේත් — අන් කිසිදු කරුණක් නිසා නො ව, බුදුහිමියන් අනන්ත සත්ව වර්ගයා විෂයයෙහි දැක්වූ මහත් දයාවට උපහාර දැක්වීමක් වශයෙනි.

බෝසත් චරිතය හා සම්බෝධිය

මෙයට සාරාසැකි කප් සුවහසකට පෙර සුමේධ තාපස ව සිටි අප මහාබෝසතාණන් වහන්සේ දීපංකර සර්වඥයන් වහන්සේ ගේ දොරේ මඩ මතදී ජීවිතය පරිත්‍යාග කළ ඒ ශ්‍රේෂ්ඨ කාර්යයෙන් "ගෞතම නමින් සම්මා සම්බුදු වේ" යි ප්‍රථම නියත විවරණය ලද්දේ ද වෙසක් පෝය දිනකය.

"පස්සථ ඉමං තාපසං — ජටිලං උග්ගතාපනං
අපරිමෙය්‍ය ඉතො කප්පෙ — අයං බුද්ධො භවිස්සති"
"මහණෙනි, ජීවිතය පුදා හොත් මේ පුරුෂයා, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ගෞතම නම් බුදු වන්නේ ය."

මහාභිනිෂ්ක්‍රමණය

සොළොස් වියෙහි දී යසෝධරා දේවිය සමග සරණ බන්ධනයෙන් ගෙවූ සිදුහත් කුමාරයා, එකුන් තිස් වියේ සිව් පෙරනිමිති දුටු ඒ රාත්‍රිය ම, රහල් කුමාරා, යසෝධරා, සක්විති රාජ්‍යය — සියල්ල ලූ කෙළ පිඩක් ලෙස අතහැරදා, ඡන්නා ඇමතියා, කන්ථක අශ්වයා සමඟ ඇසළ පෝය දා මහ රාත්‍රිය ම ගිහිගෙයින් නිකුත් ව ගිය සේකි.

සම්බෝධිය ලැබූ ක්ෂණය

සයවසක් දුෂ්කර වීර්‍ය්‍ය කොට, ඉන් ඉවත්ව මැදුම් පිළිවෙතේ යෙදී, ගයාවේ බෝධිමූලයෙහි රාත්‍රිය ම භාවනාවෙන් ක්ලේශ නසා, අලුයම ලොව්තුරා සම්බෝධිය ලද් දේ ද වෙසක් පෝය දිනකය. ඒ මොහොතේ විමුක්ති ප්‍රීතියෙන් වදාළ ගාථාව:

"ගහකාරක දිට්ඨො සි — පුන ගෙහං නකාහසී
සබ්බා තෙ ඵාසුකා භග්ගා — ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං — තණ්හානං ඛයමජ්ඣගා"
"ගෙය කරන්නා වූ ත්‍රිෂ්ණා නැමැති වඩුවාණෙනි, දැන් නුඹ දක්නා ලදී. නුඹ මට ගෙය නො කරන්නෙහි. සියලු කෙලෙස් නැමැති පරාල බිඳිණ. සිත නිවනට පැමිණියේ ය."
තථාගත චරිතය

බුදු සිරිත — ලොව වෙනුවෙන් කැප කළ ජීවිතය

තථාගතයන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලෙහි පරහිත සුව පිණිස මුළු ජීවිතය ම කැප කළ ශාස්තෘවරයෙකි. "චරථ භික්ඛවෙ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය" — "මහණෙනි, බොහෝ දෙනා හට හිත පිණිස, සුව පිණිස සැරිසරවු" — යි ශ්‍රාවක පිරිසට දුන් ප්‍රථම අනුශාසනාව ම ඒ ශ්‍රේෂ්ඨ ජීවිතයේ සාරය ය.

ආලවක, නාලාගිරි, අංගුලිමාල, දේවදත් ආදී සතුරු ගති ඇත්තන් හටත්, කිසාගෝතමී, පටාචාරා, රජ්ජුමාලා ආදී ශෝකාර්ත ස්ත්‍රීන් හටත්, සුනීත වැනි කසල ශෝධකයන් හටත්, පූතිගත්ත තිස්ස හිමි වැනි ගිලන් භික්ෂූන් හටත් — සම මෙත් සිතින් සේවය කළ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකි.

ඉපදුණේ ගසක් යටදී, බුදු වූයේ ගසක් යටදී, පිරිනිවන් පෑ සේකද ගසක් යටදී — ගසක් යටදී ඉපදී ගසක් යටදී සදාතනික ශාන්තියට ළඟා වීමෙන් ලෝකයාට පෙන්වූ ආදර්ශය ශ්‍රේෂ්ඨ ය.

අචින්ත්‍ය ගුණ සමුදාය

"නියපිටින් ගත් පස් පිඬින් මහා පොළොව දැක්විය නො හැකා සේ, කන් හැන්දෙන් ගත් දිය බිඳින් මහා සයුර නො දැක්විය හැකා සේ — බුදු ගුණ කොතෙකුත් කියා නිමා කළ නො හැකේ ම ය."

ලෝකයෙහි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් නැත. ඉදින් සම්බුදු කෙනෙකුන් තමන් ගේ ආයුෂ් කල්පය මුළුල්ලෙහි ම එක් සම්බුදු වරයෙකු ගේ ගුණ සමූහය පමණ වර්ණනා කරන්නාහු නම්, ආයුෂ් කල්පය ගෙවී යයි, ගුණ කියා අවසාන නො වේ. ඒ තරමට ම බුදු ගුණයෙහි අර්ථ සීමාවක් නැත.

"බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤ මභාසමනො
චීයෙථ කප්පො චිරදීඝමන්තරෙ
වණ්ණො නඛීයෙථ තථාගතස්ස"
සම්බුදු කෙනෙකු ගේ ගුණ, කල්පයක් ම දෙසූවත් ගෙවෙනු ව, ගුණ ගෙවෙන්නේ නැත.

සියොතකු ගේ පියා පතකින් අහස් කුස වසා ලිය නො හැකා සේ, රියනෙකු දිග මිනුම් දඬින් මහ පොළොව නො මිනිය හැකා සේ — ලොව්තුරා සම්බුදුරදුන් ගේ ගැඹුරු ගුණ සමුදාය මහා සමුද්‍රයත් ද, ආකාශයත් ද, මහා මේරු පර්වතයත් ද ඉක්මවන ශ්‍රේෂ්ඨත්වයෙකි.

අවධානය — ප්‍රතිපත්ති පූජාව
වැදගත් අනුශාසනාව

බුදුරජාණෝ පිරිනිවන් ශ‍ය්‍යාවේ ම ආනන්ද හිමියන්ට වදාළේ: "යමෙකු ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි හැසිරේ ද ඒ තැනැත්තේ ප්‍රතිපත්ති පූජාවෙන් තථාගතයන් ශ්‍රේෂ්ඨ ව පුදන්නේ ය." ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨ ය.

වෙසක් දිනය නිමිති කොට ආමිස පූජාවනට පමණක් නො ව, ප්‍රතිපත්ති පූජාවෙහි ද යෙදිය යුතු ය. දල්වනු ලබන පහනේ ආලෝකයත්, ගෙවිය යනු ලබන ශීල ව්‍රතයත්, අමාමහ නිවන් දක්වා නො නැසී ගලා යන්නේ නම් ඒ ශ්‍රේෂ්ඨ වෙසක් ත්‍යාගය වන්නේ ය.

සියපින් සිරින් සරු
දෙතිස් ලකුණෙන් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝ ගුරු
වෙසක් දිනයේ තවත් ඓතිහාසික සිදුවීම්
දෙවන පෑතිස් රජු ද්විතීය අභිෂේකය
මිහිඳු රහතන් ගේ ශ‍ාසනය ලංකාවට පිළිගෙන, ධර්මාශෝකයන් ගේ තිළිණ සහිතව රජ අභිෂේකය ලැබූ දිනය.
සිංහල රජවරුන්ගේ අභිෂේකය
ශ්‍රී ලංකාවේ නියම සිංහල බෞද්ධ රජවරුන් ගේ අභිෂේකය සිදු වූයේ වෙසක් පෝය දිනකය.
සක්දෙව් රදු ලංකාව රැකීමට
පිරිනිවන් ශ‍ය්‍යාවේ සිට සක්දෙව් රදු ලඟා කරගෙන ලංකාව හා සිංහල ජාතිය රැකිය ලෙස ිවරා පැවරූ දිනය.
මහා විහාර උපසම්පදාව
මහා විහාර වංශික භික්ෂූන් ගේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය පවත්වනු ලැබූ දිනය.