බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන අසිරිමත් ත්‍රිවිධ මංගල්‍යයෙන් ශ්‍රේෂ්ඨ වූ, සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය.
කරුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම - බුදුවීම - පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු රැසකින් දේවත්වයට පූජනීයත්වයට පාරිශුද්ධත්වයට ඓතිහාසිත්වයට පත්වුණු ශ්‍රී වෛශාඛ පෞර්ණමී දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ පරම පූජනීය ආගමික දිනය යි.
අපේ රට කුඩා වුව ද ලෝක බෞද්ධ සංවිධානයේ පෙරමුණ මේ පුංචි ලංකාවට ලැබීම සිංහලයන් වූ අපගේ මහත් භාග්‍යයකි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එක ම උත්සවය සිංහල බෞද්ධයන් විසින් පවත්වනු ලබන වෙසක් උත්සවය යි.
ජීවිතයේ කිසිදු දිනයෙක ශීලසමාදානයේ නො යෙදුණු අය වෙසක් පුනු පොහෝ දිනයේ උදෑසන ම හොඳම හොඳ උවසු උවැසියන් ලෙස සුදුවතින් සැරසී වෙහෙර විහාරයන් කරා පා නඟන්නේත්, කිසිදු දිනයෙක භාවනා කර්මයෙක නො යෙදුණු සමහරුන් පළ පුරුදු යෝගාවචරයන් සේ භාවනා කරන්නේත්, ගම් - නියම්ගම් - නගර ආදී හැම තැනක ම වෙසක් පහනින් වෙසක් තොරණින් ආලෝකවත් කරන්නේත් — අන් කිසිදු කරුණක් නිසා නො ව, බුදුහිමියන් අනන්ත සත්ව වර්ගයා විෂයයෙහි දැක්වූ මහත් දයාවට උපහාර දැක්වීමක් වශයෙනි.
මෙයට සාරාසැකි කප් සුවහසකට පෙර සුමේධ තාපස ව සිටි අප මහාබෝසතාණන් වහන්සේ දීපංකර සර්වඥයන් වහන්සේ ගේ දොරේ මඩ මතදී ජීවිතය පරිත්‍යාග කළ ඒ ශ්‍රේෂ්ඨ කාර්යයෙන් "ගෞතම නමින් සම්මා සම්බුදු වේ" යි ප්‍රථම නියත විවරණය ලද්දේ ද වෙසක් පෝය දිනකය.
සොළොස් වියෙහි දී යසෝධරා දේවිය සමග සරණ බන්ධනයෙන් ගෙවූ සිදුහත් කුමාරයා, එකුන් තිස් වියේ සිව් පෙරනිමිති දුටු ඒ රාත්‍රිය ම, රහල් කුමාරා, යසෝධරා, සක්විති රාජ්‍යය — සියල්ල ලූ කෙළ පිඩක් ලෙස අතහැරදා, ඡන්නා ඇමතියා, කන්ථක අශ්වයා සමඟ ඇසළ පෝය දා මහ රාත්‍රිය ම ගිහිගෙයින් නිකුත් ව ගිය සේකි.
සයවසක් දුෂ්කර වීර්‍ය්‍ය කොට, ඉන් ඉවත්ව මැදුම් පිළිවෙතේ යෙදී, ගයාවේ බෝධිමූලයෙහි රාත්‍රිය ම භාවනාවෙන් ක්ලේශ නසා, අලුයම ලොව්තුරා සම්බෝධිය ලද් දේ ද වෙසක් පෝය දිනකය. ඒ මොහොතේ විමුක්ති ප්‍රීතියෙන් වදාළ ගාථාව:
තථාගතයන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලෙහි පරහිත සුව පිණිස මුළු ජීවිතය ම කැප කළ ශාස්තෘවරයෙකි. "චරථ භික්ඛවෙ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය" — "මහණෙනි, බොහෝ දෙනා හට හිත පිණිස, සුව පිණිස සැරිසරවු" — යි ශ්‍රාවක පිරිසට දුන් ප්‍රථම අනුශාසනාව ම ඒ ශ්‍රේෂ්ඨ ජීවිතයේ සාරය ය.
ආලවක, නාලාගිරි, අංගුලිමාල, දේවදත් ආදී සතුරු ගති ඇත්තන් හටත්, කිසාගෝතමී, පටාචාරා, රජ්ජුමාලා ආදී ශෝකාර්ත ස්ත්‍රීන් හටත්, සුනීත වැනි කසල ශෝධකයන් හටත්, පූතිගත්ත තිස්ස හිමි වැනි ගිලන් භික්ෂූන් හටත් — සම මෙත් සිතින් සේවය කළ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකි.
ඉපදුණේ ගසක් යටදී, බුදු වූයේ ගසක් යටදී, පිරිනිවන් පෑ සේකද ගසක් යටදී — ගසක් යටදී ඉපදී ගසක් යටදී සදාතනික ශාන්තියට ළඟා වීමෙන් ලෝකයාට පෙන්වූ ආදර්ශය ශ්‍රේෂ්ඨ ය.
"නියපිටින් ගත් පස් පිඬින් මහා පොළොව දැක්විය නො හැකා සේ, කන් හැන්දෙන් ගත් දිය බිඳින් මහා සයුර නො දැක්විය හැකා සේ — බුදු ගුණ කොතෙකුත් කියා නිමා කළ නො හැකේ ම ය."
ලෝකයෙහි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් නැත. ඉදින් සම්බුදු කෙනෙකුන් තමන් ගේ ආයුෂ් කල්පය මුළුල්ලෙහි ම එක් සම්බුදු වරයෙකු ගේ ගුණ සමූහය පමණ වර්ණනා කරන්නාහු නම්, ආයුෂ් කල්පය ගෙවී යයි, ගුණ කියා අවසාන නො වේ. ඒ තරමට ම බුදු ගුණයෙහි අර්ථ සීමාවක් නැත.
සියොතකු ගේ පියා පතකින් අහස් කුස වසා ලිය නො හැකා සේ, රියනෙකු දිග මිනුම් දඬින් මහ පොළොව නො මිනිය හැකා සේ — ලොව්තුරා සම්බුදුරදුන් ගේ ගැඹුරු ගුණ සමුදාය මහා සමුද්‍රයත් ද, ආකාශයත් ද, මහා මේරු පර්වතයත් ද ඉක්මවන ශ්‍රේෂ්ඨත්වයෙකි.
බුදුරජාණෝ පිරිනිවන් ශය්‍යාවේ ම ආනන්ද හිමියන්ට වදාළේ: "යමෙකු ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි හැසිරේ ද ඒ තැනැත්තේ ප්‍රතිපත්ති පූජාවෙන් තථාගතයන් ශ්‍රේෂ්ඨ ව පුදන්නේ ය." ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨ ය.
වෙසක් දිනය නිමිති කොට ආමිස පූජාවනට පමණක් නො ව, ප්‍රතිපත්ති පූජාවෙහි ද යෙදිය යුතු ය. දල්වනු ලබන පහනේ ආලෝකයත්, ගෙවිය යනු ලබන ශීල ව්‍රතයත්, අමාමහ නිවන් දක්වා නො නැසී ගලා යන්නේ නම් ඒ ශ්‍රේෂ්ඨ වෙසක් ත්‍යාගය වන්නේ ය.