හ/ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවෙන | පිරිවෙන් නාමාවලිය
PIRIVENA.LK Logo

පිරිවෙන් විස්තර

හ/ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවෙන

මහ

හ/ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවෙන

පිරිවෙනේ මූලික තොරතුරු

E/D/3/8/7/හම්/5
මහ
0718181460
-
දකුණු
හම්බන්තොට
හ/ශ්‍රී කාවන්තිස්ස මහ පිරිවෙන - මහා විහාරය - තිස්සමහාරාමය්තිස්ස මහ පිරිවෙන - මහා විහාරය - තිස්සමහාරාමය

ස්ථානය සිතියමෙන්

ඓතිහාසික සහ වත්මන් විස්තරය

පනස් වසරක අභිමානවත් ගමන් මග............... ලක්දිව සම්භාව්‍ය අධ්‍යාපනයෙහි තිඹිරිගෙය අනුරාධපුර මහා විහාරය හා තදානුබද්ධ ආරාමික ආයතනයන්ගෙන් ඇරඹී බවට ඉතිහාසය සාක්ෂි දරා ඇත. එම යුගයේදී රෝහණයෙහි රජ පැමිණි කාවන්තිස්ස මහා රජුගේ පූර්ණ අනුග්‍රහය ඇතිව, රුහුණු රට මාගම රාජධානියෙහි ඉදිකළ මහා විහාරය වර්තමාන තිස්සමහාරාම මහා විහාරයයි. එම රෝහණ මහා විහාරය කේන්ද්‍ර කොට ගනිමින් පැවති සිලාපස්ස පිරිවෙන අතීත අනුරාධපුර මහා විහාරය ආශ්‍රිතව පැවැති පෞරාණික පිරිවෙන් ආයතනයන් මෙන් දහස් ගණනින් භික්ෂූන් වහන්සේ ධර්ම විනය හදාළ ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් විය.තත් පරිවෙනස්ථාණයෙහි අධ්‍යතන සමාරබ්ධය ශ්‍රී කාවන්තිස්ස පිරිවෙන නමින් ඇරඹ, අඩ සියවසක් සපිරෙන මෙම සුවිශේෂී අවස්ථාව අනුස්මරණය කරනු වස් එළිදැක්වෙන ශ්‍රී කාවන්තිස්ස ශාස්ත්‍රීය සංග්‍රහය නම් මෙම ශාස්ත්‍රීය සංග්‍රහයට වත්මන් පරිවේනාධිපතීන් වහන්සේ ලෙස සුබපැතුම් පුද කිරීමට ලැබීම මා දිවියෙහි ලද පරම භාග්‍යයක් සේ සලකමි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ වැඩ සිටි පස්වග මහණුන් ධර්මය ඉගෙන ගත් සමාරම්භක අවස්ථාව භික්ෂු අධ්‍යාපනයෙහි ආරම්භය සනිටුහන් කිරීමක් ලෙස සිතීම වරදක් නොවේ යන්න මාගේ අදහසයි. වෘක්ෂ ලතාවන්ගේ පහස විදිමින් බිත්ති හතරකට කොටු නොවී ශ්‍රාවකයන් වහන්සේ පස් නමකට මුල් ගුරුවරයා වූ බුදුරජාණන් වහන්සේගේ පරම අභිලාසය වූයේ විරාග නිශ්‍රීත විමුක්තිරසාලිප්ත ජීවන යථාර්ථය පෙන්වා දීම ය.එය හුදෙක් දැනුම අපේක්ෂා නොකරන්නක් වූ අතර බුද්ධි ගෝචර වූවක්ය. බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිතිව තථාගත ශ්‍රී මුඛ වචනයෙහි සුරක්ෂිත බව තහවුරු වූයේ මහා ඛීණාශ්‍රව කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහත් උතුමන් වහන්සේගේ දූරදර්ශී දැක්මට අනුව ඇති කළ සංවිධානාත්මක වැඩපිළිවෙළක් යටතේය. ඉන් ශතවර්ෂ ගණනාවකට පසුව එකී බුද්ධ වචනය සමකාලීන භික්‍ෂූන් වහන්සේගේ අධ්‍යයනය සඳහා භාරතයෙහි නාලන්දා, වික්‍රමසීලා, ජගන්දලා,ඔිදන්තපූරී ආදී බෞද්ධ විශ්ව විද්‍යාලයන් බිහිවූ අතර එම විශ්ව විද්‍යාලයන් ථේරවාද හා මහායාන බෞද්ධ විෂය ක්ෂේත්‍රය ගිහි පැවිදි ශාස්ත්‍රධාරීන්ගේ අධ්‍යයන හා පර්යේෂණයන්ට ප්‍රදීපස්ථම්භක විය. එය බෞද්ධ අධ්‍යාපනයේ උත්කෘෂ්ඨතම සන්ධිස්ථානය ලෙස වෙන්කොට හඳුනාගත හැකිය. කාලානුරූපීව විවිධ පර සතුරු ආක්‍රමණ හමුවේ විශ්ව කීර්ති ධර එකී අධ්‍යාපන ආයතනයන් සහමුලින්ම විනාශ වී ගියහ. ලක්දිව භික්ෂු අධ්‍යාපනය ඇරඹෙන්නේ මහින්දාගමනයෙන් පසුව අනුරාධපුර මහා විහාරය මුල්කොට ගෙනය. මහා වංශයට අනුව අනුරාධපුර මහා විහාරය කේන්ද්‍ර කොට ගනිමින් මහා විහාර පිරිවෙන,කාල පාසාද පිරිවන, මයුර පිරිවෙන හා අභයගිරියේ උත්තර මූල පිරිවෙන, හෙළ භික්ෂූන් වහන්සේගේ පළමු අධ්‍යාපන ආයතනයන් විය. මෙම කාලවකවානුවෙහිදීම ලක්දිව රෝහණ රාජධානිය පිහිටි මාගම පුරයෙහි මහා විහාරය වූ තිස්සමහාරාම මහා විහාරයෙහි භික්‍ෂූන් වහන්සේ දහස් ගණනින් වැඩ සිටි බවට මහා වංශය හා දීපවංසය වැනි සාහිත්‍යය මූලාශ්‍රයන්හි මෙන්ම අට්ඨකථාවන්හිද තොරතුරු සඳහන්වේ. එම භික්‍ෂූන් වහන්සේගේ අධ්‍යයනය කටයුතු සඳහා අධ්‍යාපන මධ්‍යස්ථානයේ වූයේ එවකට පැවති ශිලාපස්ස පිරිවෙනයි. අනුරාධපුර මහා විහාරය ආශ්‍රිතව පැවැති යථෝක්ත පිරිවෙන් ආයතනයන් සේම අති සම්භාව්‍ය පරිවේනස්ථානයක් ලෙස පැවති ශිලාපස්ස පිරිවෙන කාවන්තිස්ස මහා රජු විසින් ඉදිකරන ලද්දක් බවට මහාවංශයේ පහළොස්වන පරිච්ඡේදයෙහි (15) කරුණු සඳහන්ව ඇත. මෙලෙස අනුරාධපුර යුගයෙන් ඇරඹී පිරිවෙන නම් අධ්‍යාපන ආයතනය ක්‍රමිකව විකාශනයට ලක් වෙමින් කෝට්ටේ රාජධානි සමය පමණ වන විට ග්‍රාමවාසී හා අරන්ණ්‍යවාසී වශයෙන් කොටස් දෙකකට බෙදී පැවතියහ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ මූලිකත්වයෙන් විජයබා පිරුවන ග්‍රාමවාසී භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසින් ද, වනරතන සංඝරාජයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති කෑරගල පද්මාවතී පිරිවෙන වනවාසී අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසද පැවති අතර විදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන, දෙව්නුවර ඉරුගල් කුලතිලක පිරිවෙන, මංගල සංඝරාජයන් වහන්සේගේ පැපිලියන සුනේත්‍රාමහාදේවී පිරිවෙන යන ආයතනයන්ද, කෝට්ටේ යුගයෙහි වූ පරිවෙනස්ථානයන් ය. කෝට්ටේ යුගයෙහි රට තුළ වරින්වර උද්ගත වූ දේශපාලනික වියවුල් හා සතුරු ආක්‍රමණ හමුවේ කාලානුරූපීව අභාවයට ගිය ආරාමික අධ්‍යාපනය ඉක්බිතිව මහනුවර යුගයේදී වර්තමාන ශාසන පුනරුදයෙහි පුරෝගාමියා වූ පිණ්ඩපාතික වැලිවිට ශ්‍රී අසරණ සරණ සංඝරාජයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් යළිදු ප්‍රතිස්ථාපනය විය. කාලයේ වැලිතලාවෙන් උන්වහන්සේ විසිනිදු ඇරැඹී නියමකන්ද පිරිවන ඇතුළු පිරිවෙන් ආයතනයන්ද ආරාජිකව පැවැති සමයක වර්ෂ 1873 දී සර්වභෞම පණ්ඩිත අතිගරු හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විද්‍යෝදය පිරිවෙන හා 1875 වර්ෂයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවා වදාළ රත්මලානේ ශ්‍රී ධම්මාලෝක යතීන්ද්‍රයන් වහන්සේ දෙනමගෙන් පිරිවෙන් අධ්‍යාපනය යළි පන ලබන්නට විණි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී (02) කාවන්තිස්ස මහරජ විසින් රෝහණ මහා විහාරය වූ ඓතිහාසික තිස්සමහාරාම මහා විහාරය මූලික කොට ගනිමින් ඉදි කළ ශිලාපස්ස පිරිවෙන තත් යුගයෙහි අති සම්භාවිත පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් විණි. ශිලාපස්සෙහි වැඩ සිටි මහාසිව හිමියන් අනුරාධපුර මහා විහාරීය තෙරුන් වහන්සේගේද ගෞරවාදරයට පාත්‍ර වූ තෙරණමක් බවත්, දහස් ගණනින් භික්‍ෂූන් වහන්සේ උන්වහන්සේ වෙතින් ධර්ම විනය හදාළ බවත් බුද්ධඝෝෂ ආචාරීන්ගේ සුමංගල විලාසිනී නම් දීඝ නිකායට්ඨ කතාවෙහි මෙන්ම තවත් තොරතුරු රැසක් පසුකාලීනව බිහි වූ ඇතැම් සිංහල හා පාලි සාහිත්‍ය ග්‍රන්ථයන්හිද සඳහන්ව පවතී. ඉතා සශ්‍රීකව පැවැති රෝහණ රාජධානිය යළි රජරටට සංක්‍රමණය වීමෙන් පසු මාගම මහා විහාරය හා ශිලාපස්ස පිරිවෙන ද කෙමෙන් අභාවයට ගොස් ඇත. ඓතිහාසික තොරතුරු වලට අනුව එ දවස බහුශ්‍රැත ගිහි පැවිදි උතුමන්ගේ පහස ලද ශිලාපස්ස පිරිවෙනෙහි නටඹුන් අද වන විට වර්තමාන තිස්සමහරාම නගරයට සමීපව පිහිටා ඇති තිස්සමහරාම මහා විද්‍යාලය අසල සංරක්ෂිත පුරාවිද්‍යාත්මක භූමියක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට ඇති අයුරු දැකගත හැකිය. 17-18 වන සියවස් පමණ වන විටත් මුල මුලින්ම වනගතව වල් බිහිව පැවැති තිස්සමහරාම මහා විහාරයෙහි සමීපාතීත අභිවෘද්ධිය සිදුවන්නේ ක්‍රිස්තු වර්ෂ 1853 වසරේදී වේපතඉර සුමන සාමණේරයන් වහන්සේ මහා විහාරයට වැඩම කිරීමෙන් පසුවය. අපමණ බාධා කම්කටොළු හමුවේ නොසැලෙන ඉන්ද්‍රඛීලයක් වන් උන්වහන්සේ තිර අදිටනින් යුතුව වල් බිහිව තිබූ මහ වෙහෙර යළි ප්‍රතීයමාන කරණයට ගත් වෙහෙස පූජාර්හ කොට සැලකුවමනාය. ඒ උතුමන් වහන්සේගේ ඇවෑමෙන් මහා විහාරීය ආධිපත්‍යයට පත් වූ වල්පිට ශ්‍රී මේධංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහා විහාර පුනරුදය උත්කෘෂ්ට ලෙස ඉදිරියට කරගෙන ගිය අතර වර්ෂ 1900 දී චෛත්‍යයේ වැඩ නිමකොට කොත් පැළදවා සියළු වැඩ නිමකරවූහ. ඉක්බිතිව වර්ෂ 1974 දී තිස්සමහරාම මහා විහාර නායක පදවිය ගොඩපිටියේ ශ්‍රී පේමරතන නාහිමියන්ට භාර වූ අතර උන්වහන්සේ නොබෝ කලකින් තම ශිෂ්‍ය ශාස්ත්‍ර විශාරද පණ්ඩිත හක්මන පඤ්ඤාලෝක නාහිමියන් වහන්සේට මහා විහාරීය භාරකාරත්වය හා පාලන කටයුතු ස්ව කැමැත්තෙන්ම පවරන ලද්දේ ඒ වන විටත් වෘද්ධතර භාවයෙන් පසු වූ හෙයිනි. එවකට ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව විසින් තත් විහාරාධිපති ධූරය නීත්‍යානුකූලවම යථෝක්ත නාහිමියන් වහන්සේට පවරා දෙනු ලැබීය. වර්තමාන තිස්සමහාරාම මහා විහාරයෙහි ස්වර්ණම යුගය උන්වහන්සේගේ පාලන සමයෙහි සිදුවිය. මහා විහාරය නානාවිධ විහාරයන්ගෙන් සමලංකෘත කොට රජ දවස පැවති රෝහණ මහා විහාරය යළිදු ප්‍රථීයමාන කළෝ අතිගරු හක්මන ශ්‍රී පඤ්ඤාලෝක නාහිමියෝය. උන්වහන්සේ විසින් සිදු කළ මහා විහාර සංවර්ධන කාර්යයන් අතර ප්‍රමුඛ ගණෙහිලා සැලකිය හැකි කාර්යය නම් පෙර රජ දවසේ පැවති ශිලාපස්ස පිරිවන සිහි කරනු වස් රෝහණ මහා විහාරය ගොඩනගන ලද කාවන්තිස්ස මහරජ නමින් වර්ෂ 1975 දී ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවෙන ඇරඹීමය. වර්ෂ 1975ක් වූ ඉල්මස හත්වනදා (07) අතිගරු ගොඩපිටියේ ශ්‍රී පේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කෘත්‍යාධිකාරීත්වයෙන් පණ්ඩිත හක්මන ශ්‍රී පඤ්ඤාලෝක නාහිමිපාණන් වහන්සේ පරිවෙණාධිපතීන් වහන්සේ ලෙසද ආචාර්ය මණ්ඩලය තිදෙනෙකුගෙන් ඇරඹි ශ්‍රී කාවන්තිස්ස පිරිවන ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව දාහසය දෙනෙකු (16) විය. එලෙස ඇරඹී පිරුවන අනාගත ශාසන උන්නතියෙහි බහුශ්‍රැත ධර්මධර ගිහි පැවිදි ශාස්ත්‍රලාභීන්ට නිජබිමක් වනු බවට නිසැකය යන අතිඋදාර සංකල්පය අතිගරු හක්මන ශ්‍රී පඤ්ඤාලෝක නාහිමියන්ගේ සිත්හි වන්නට විය.උන්වහන්සේ තුළ වූ එම සාදු සංකල්පය අද වන විට යථාර්ථයක් වී ඇතැයි මා සිතමි. අප ශ්‍රී කාවන්තිස්ස පිරිවන වෙතින් ශාස්ත්‍රොත්ග්‍රහණය කළ ගිහි පැවිදි බොහොමයක් දෙනා අද වන විට දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයෙහි මෙන්ම මෙරට අධ්‍යාපන උසස් අධ්‍යාපනය හා පරිපාලන ක්ෂේත්‍රයන්හි නියැලී සිටීම උක්ත කරුණ වඩ වඩාත් තහවුරු කරන්නකි. වර්ෂ 1981 දී එතෙක් මූලික පිරි‌ෙවනක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙහි අනුමතව තිබූ ශ්‍රී කාවන්තිස්ස පිරිවන පසුව මහා පිරිවනක් ලෙස උසස් කරන ලදී. ශ්‍රී කාවන්තිස්ස මහා පිරුවනට සමගාමීව ශ්‍රී කාවන්තිස්ස ධර්ම විද්‍යාලය හා ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්ද අද වන විට දැයේ දරුවන්ගේ අනාගතය පෝෂණය කරන්නට ගොඩනංවා තිබීමද අතිශය ප්‍රසංසනීය වේ. වර්ෂ 2000 දී අතිගරු හක්මන පඤ්ඤාලෝක නාහිමියෝ අපවත් වූයෙන් පුරප්පාඩු වූ මහා විහාරීය නායක පදවියට පත් වූයේ ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවෙන්හි වර්තමාන කෘත්‍යාධිකාරී තැන්පත් අති ගෞරවාර්හ ආචාර්ය දේවාලේගම ධම්මසේනාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයෙහි මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේය.උන්වහන්සේ ද ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවෙනෙහි පරිවෙණාධිපතිධූරය 1993 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා දැරෑ අතර පිරිවෙන වෙනුවෙන් කලයුතු යමක් ඇද්ද ඒ පිළිබඳ දෙවරක් නොසිතා අවශ්‍ය දෑ ලබා දෙමින් එහි අභිවෘද්ධියට මනා සදූපදේශයන් ලබා දීම එහි පරිවෙණාධිපති වශයෙන් මා ලද පරම භාග්‍යයක් ලෙස සලකමි. ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවන අද ප්‍රදේශයේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකාවෙහිම සුප්‍රකට පිරිවෙන් ආයතනයක්ව පැවතියද, ඒ ස්ථානයට පැමිණීමට නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවූ බව මෙහිදී සිහිපත් කළ යුතුය. එලෙස ආ ගමන් මග පිළිබද ස්මරණය කොට බලන කල එය හුදු ඒක පුද්ගල ව්‍යායාමයක් නොවන බව සිහිකට යුතුමය.ගෙවී ගිය දශක 05ක කාලය තුළ ශ්‍රී කාවන්තිස්ස මහ පිරුවන මෙරට ජාතික හා ආගමික දියුණුවෙහිලා ධර්ම,ශාස්ත්‍රීය උන්නතියෙහි මෙන්ම පැවැත්මෙහිලා දැන උගත් ගිහි පැවිදි විද්‍යාර්ථහු දායාද කරනු වස් කාලය, ශ්‍රමය හා ධනය, මෙන්ම දැන උගත් ශාස්ත්‍ර ඥානය දානය කළෝ මෙම සුවිශේෂි අවස්ථාවෙහි වර්තමාන පරිවෙණාධිපතීන් වහන්සේ ලෙස මා ඉතා කෘතවේදීව සිහිකට යුතුමය.ඒ අනුව ශ්‍රී කාවන්තිස්ස මහ පිරුවන පිහිටුවා වදාළ යථෝක්ත නම් සදහන් සමාරම්භක ගරු කෘත්‍යාධිකාරීන් වහන්සේ හා ගරු පරිවෙණාධිපතීන් වහන්සේ ද අප පිරිවෙන් ආදි ගිහි පැවිදි ආචාර්ය භවතුන්ද, මහ විහාරීය සතර පේරුවේ දායකකාරකාදීහුද, ඒමෙන්ම වත්මන් ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයද , සිදුකළ හා සිදුකරනු ලබන මහගු කාර්ය මා ඉතා ගෞරවයෙන් අගයමි. තවද ශ්‍රී කාවන්තිස්ස මහා පිරිවනට දශක පහක් සපිරීම වෙනුවෙන් සිදුකරනු ලබන මෙම ශාස්ත්‍රීය සඟරාවට ශුභාශංසන පුද කරන අතර මේ සඳහා ඇප කැප වන සියලු දෙනාටමත් විශේෂයෙන් සංස්කාරක මණ්ඩලයට හා ලිපි සම්පාදනය කළ සියළු විද්වතුන් උදෙසා ද මාගේ ගෞරව ප්‍රණාමය පුදකර සිටිමි. ශාස්ත්‍රපති, පූජ්‍ය කිරින්දේ සුමනසිරි ස්ථවිර, හ/ශ්‍රී කාවන්තිස්ස මහ පිරිවෙන, මහා විහාරය, තිස්සමහාරාමය.
Headmaster
පූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක ස්ථවිර

කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේ

Principal
පූජ්‍ය කිරින්දේ සුමනසිරි ස්ථවිර

පරිවෙණාධිපති ස්වාමින් වහන්සේ

අවසන් වරට යාවත්කාලීන කළේ: 2026-01-25 05:22
පිරිවෙන් ලැයිස්තුවට