බක් පුර පසළොස්වක පෝය - PIRIVENA.LK
දෙවන ලංකා ගමනය · බුද්ධ 5 වන වර්ෂ

බක් පුර පසළොස්වක පෝය

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවූ සහ නාග ගෝත්‍රිකයන් අතර පැවති මහා යුද්ධය සංසිඳුවා සාමය උදාකළ අසිරිමත් පෝය දිනය.

නාගදීපය
සාමය
මිණි පළඟ
බක් මාසය
Share
🌸
වෛරය නොව සාමය අගය කළ බක් පෝය
බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂය · ජේතවනාරාමය → නාගදීපය

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙන දෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර පලයන් ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොත් කැලන් ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මඳින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් පරිවාශිත වූ මනහර පියකරු පියුමෙන් ගැවසීගෙත් විල් පෙළින් සමුපේත වූ, බක් මාසය සත් සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.

වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබා දෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන අසිරිමත් මසකි. මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවණක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දනා නිවීසැනහී ගියේත් බක් මාසයේ ය.

🕊️
සාමය උදාකිරීම
අවි ගෙන සටනට සූදානම් වූ නාග පිරිස ධර්මයේ බලයෙන් දමනය කර ඔවුන් අතර සමගිය තහවුරු කිරීම. වෛරයේ ආදීනව හා සාමයේ අගය ධර්ම දේශනාවෙන් පෙන්වා දීම.
💎
මිණිපළඟ පූජාව
යුද්ධයට හේතු වූ ඉතා වටිනා මැණික් පුටුව නා රජුන් දෙදෙනා විසින් බුදුරජාණන් වහන්සේට පූජා කර තෙරුවන් සරණ යාම.
🌳
සමිද්ධි සුමන දෙවියන්
දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකට අධිගෘහිත දේවතාවා, ඒ රුක ඡත්‍රයක් ලෙස දරාගෙන බුදුරදුන් සමඟ නාගදීපයට පැමිණීම.
නාගදීප ගමනේ සවිස්තරාත්මක ඉතිහාසය

භාග්‍යවතුන් වහන්සේ උදේ සවස විසි සතර කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සිත පතුරවමින් ලෝ වැඩ වැඩීම සිරිතකි. බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර - මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ.

උනවහන්සේ නාගයන් කෙරෙහි කරුණායෙන් ඔවුනට සුවසෙත් සාදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක.

නා රජුන්ගේ ආරවුලේ ඉතිහාසය

මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහු ගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූහ.

චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතු ව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නො දී චූලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය.

සමිද්ධි සුමන දෙවියන්ගේ කතාව

බුදුරජාණන් වහන්සේ මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක් ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා කැඳවූ සේක. ඒ දෙව් රද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන, තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා, දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකට අධිගෘහිත දේවතා වන්නට පෙර, ජාතියේ නාගදීපයේ මනුෂ්‍යයෙකු ව ඉපදී සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුරවරයන් වහන්සේලා දැක, උන්වහන්සේලාට පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුන්නේ ය. ඒ පින් බලෙන් ඒ මිනිසා දෙව්රම් වෙහෙරෙහි කිරිපලු රුකෙහි දෙවියකු ව උපන්නේ ය.

නාගයන් දමනය කිරීම

බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා, අහසෙහි සිට එහි යුද බිමට වැද සිට, දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස්වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරිපා කමල් වැන්දාහ.

ලෝකනාථයන් වහන්සේ චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදීන් ගේ ආදීනව, කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය — යන මේවායින් වෛර කිරීමෙහි ඇති දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ.

"සසරේ ආදීනව දකිනු! සමගිය ජීවිතයේ ශ්‍රේෂ්ඨ ගුණය."

පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා, අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහිටුවා, පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිඳුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ.

කැළණියට ආරාධනාව

මෙහිදි සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රජ තෙමේ කැළණි පුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේ ය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද, තථාගතයන් වහන්සේට නැවත ගමනක දී තමාගේ වාසභවනය වූ කැළණි පුරයට වඩින ලෙස ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.

බක් පෝය සහ ස්වභාවධර්මය

බක් මාසය ශ්‍රී ලාංකික අපට ස්වභාවධර්මයේ අසිරිය රැගෙන එන මාසයකි. එරබදු මල් පිපී, කොහාගේ නාදය ඇසෙන, අස්වනු නෙළන මෙම කාලසීමාව සිංහල අලුත් අවුරුද්ද සමඟද බැඳී පවතී. එම නිසා බක් පෝය ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන්ද අපට ඉතා සමීප පෝය දිනයකි.

මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රෙෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික, පෞරාණික, ශාසනික පුරාවෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතු ව ක්‍රිියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි. උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.

සොළොස් මහා පූජ්‍යස්ථාන

නාගදීප චෛත්‍යය

නාගදීප චෛත්‍යය සොළොස් මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යාපනේ අර්ධද්වීපයට ම ව්‍යවහාර කරන ලද බව සලකනු ලැබේ.

දෙවෙනි ශත වර්ෂයේ යාපනයේ පැවැති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජු ගේ අමැතියකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමුවූ රන්පතින් එළිදරවු වෙන බව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

නාගදීපයේ අද තිබෙනුයේ පෞරාණික චෛත්‍යරාජයා නොවේ — අභිනවයෙන් සාදවන ලද දා ගැබකි. පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපන අර්ධද්වීපය ම බෞද්ධ බලකොටුවක් වශයෙන් පැවති බව කොතෙකුත් සාක්ෂ්‍ය ඇත. අපේ බොදු බැතිමතුන් වෙහෙස නො බලා දුෂ්කරකම් ගැන නො සලකා මහත් ආයාසයෙන් නමුත් නාගදීප පූජනීය ස්ථානය වෙත ගෞරව භක්තියෙන් යුක්ත ව පැමිණෙන්නේ, සම්බුදු පා පහසින් පූජ්‍යත්වයට පත් කලක් නිර්මල ව බුද්ධ ශාසනය පැතුරුණු ප්‍රදේශයක් නිසා ය.

සතර පෙර නිමිති — සිදුහත් බෝසතාණන් වහන්සේ

සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ගේ උපතින් සතුටට පත් වූ සුදොවුන් රජතුමා, මාසයේ එළඹෙන පසළොස්වක් පොහොය දිනය විනෝදවීමට හා ආගමික සත් ක්‍රියාවනට අවකාශ ලබා දෙමින් එදවස නිවාඩු දිනයක් කෙළේ ය. ඒ අනුව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ ද එදිනට විනෝද චාරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදු ව සිටියහ.

සුදොවුන් මහරජතුමා බමුණන් ගේ කීම අනුව, ජරා - ව්‍යාධි - මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කළකිරී අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන්, එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සංවිධාන සලසා තිබුණේ ය. විසිනම වසරක් සපිරි සිදුහත් මහ බෝසතාණන් වහන්සේ, උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරද්දී, පළමු නිමිත්ත ලෙස ජරා (මහලු) රූපය දුටුවේ බක් මහ පුනු පොහොය දිනකය.

1
🌕 බක් පුනු පෝය
ජරා (මහලු) රූපය දැකීම — සසර ආදීනව ගැන හිතීම ඇරඹීම
2
🌕 වෙසක් පුනු පෝය
ව්‍යාධි (ලෙඩ) රූපය දැකීම
3
🌕 පොසොන් පුනු පෝය
මරණ රූපය දැකීම
4
🌕 ඇසළ පුනු පෝය
ශ්‍රමණ රූපය දැකීම → අභිනිෂ්ක්‍රමණය
කිඹුල්වත් පුර ගමන

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස, විසිදහසක් මහ සඟුන් පිරිවරාගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ, රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් හැටක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේ බක් මහ පුර පසළොස්වක් පොහොය දිනකය.

මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට, දින හැටකදී එනම් මාස දෙකකින් සම්පූර්ණ කළහ.