මහා චතුරාංගනී සේනාවකට පවා ගමන් කළ හැකි ඉඩකඩ ද, එක් සියයක් රජ දරුවන් උදෙසා වූ ශ්‍රී යහන් ගබඩා ද, දෙපසෙහි බිත්තිවල අනේක විධ සිතුවම් ද, කන බොන දෑ සහිත ආපන ශාලා ද, සහිත මෙම උමඟ ගමන් මගකට වඩා මහපොළෝ අභ්‍යන්තරයෙහි වූ සුඛිත මුදිත ජනපදයක් සිහි ගන්වන්නකි. මෙය අද හෝ හෙට දවසේ මහ පොළවේ යථාර්ථය වීමට බොහෝ ඉඩකඩ ඇති පරිකල්පනයකි. උමංදා රචනයෙන් බොහෝ කලකට පසු එච්.ජී. වේල්ස් විසින් රචිත ‘‘THE FIRST MEN IN THE MOON” කෘතියේ චන්ද්‍ර භූතලයේ අභ්‍යන්තර උමං පද්ධතියක දිවි ගෙවන දියුණු ශිෂ්ටාචාරයක් ගැන කියවෙන බව ද මෙහිදී මතකයට නැ​​​ගේ.

උමංදාවේ එක් වරම කැපී පෙනෙන විශේෂත්වය මෙය වූවත් එය විචිත්‍ර සාහිත්‍ය කෘතියක් බවට පත් වන්නේ, මේ නිසා ම නොවේ.පන්සිය පනස් ජාතකය ඇසුරින් ලියවුණු පරිවාර ග්‍රන්ථ කීපය අතරින් මෙන් ම සෙසු කතා වස්තූන් අතරින්ද, දීර්ඝතම වෘත්තාන්තය ලෙස සැලකෙන උම්මග්ග ජාතකය ඒ අතරින් අග්‍රස්ථානයට පැමිණෙන්නේ එහි දිග පළලින් පමණක් නොවේ. ඒ තුළින් විශද වන සුවිශේෂ භෞතික විද්‍යාත්මක පරිකල්පනයත්, පුද්ගල චරිත අරබයා වූ දේශපාලන සහ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයත් මුල්කර ගනිමිනි. මේ සියලූ කාරණා රසාලිප්ත සාහිත්‍ය කෘතියක අනන්‍යතාවය නොබිඳ ඉදිරිපත් කිරීමේ හපන්කම ද ඒ සියල්ලට නොදෙවෙනි ව ඉස්මතු වීම නිසා ය.

පොදුවේ ගත් කල සෑම ජාතක කතා වස්තුවක් තුළින්ම මිනිසාගේ අභ්‍යන්තර චෛතසික ස්වභාවය නූතන සාහිත්‍යාංගයන්ට නොදෙවෙනි අයුරින් විග්‍රහ කෙරුණු නමුදු, ඒවා තුළ ස්වකීය චරිත බිහිවීමට පාදක වූ දේශපාලනික සහ සමාජ බලවේග ගැන විමසුමට යොමු වූවේ ඉතා අඩුවෙනි.

නමුත් උම්මග්ග ජාතකය යනු ඒ සියලූ නිර්මාණ අභිබවා අදාළ සිදුවීම් සහ චරිතවලට පදනම් වූ වැඩවසම් දේශපාලන ක්‍රමවේදයත්, නිලධාරි තන්ත්‍රයේ ආත්මාර්ථකාමී බල ලෝභයත්, පෞද්ගලික කාම සුඛල්ලිකානු ජීවිතය තෘප්තිමත් කර ගැනීම සඳහා විශිෂ්ට බුද්ධිමතකු සතු තාක්‍ෂණික ඥානය සහ රාජතාන්ත්‍රික දැනුම යොදවා ගන්නා ආකාරයත් මනාව විවරණය කරන්නකි. මේ අනුව අපට දක්නට ලැබෙන්නේ මතු බුදුබව පතා ප්‍රඥා පාරමිතාව පුරන මහ බෝසතාණන් වහන්සේට පවා තම අසමසම නැණ නුවණ, කාමයෙන් සිහි මුළා වූ මහලූ රජෙකුට ළාබාල රූමත් තරුණියක කරකාර බැන්දවීම පිණිස යොදා ගන්නට සිදුවන අයුරු ය.

ඒ නිසා මෙය අන් කිසිදු බෞද්ධ සාහිත්‍යාංගයක නොදුටු තරමේ විද්‍යාත්මක පරිකල්පනයකින් හෙබියා වූ කෘතියක් වශයෙන් කැපී පෙනෙයි. එනම් අද දවසේ යථාර්ථයක් බවට පත් වූ විද්‍යා සංකල්පයන්ගෙන් යුතු ප්‍රබන්ධයක් බවට පත් වීමය. උම්මග්ග ජාතකය සෙසු කරුණුවලින් වියුක්ත ව ගෙන විද්‍යා ප්‍රබන්ධයක් ලෙස ද, සැලකිය හැක්කේ එහෙයිනි. ඒ අනුව මෙය ලෝකයේ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය හෝ එවැනි දෙක තුනින් එකක් වීමට හෝ ඉඩ තිබේ.

මහෞෂධ පඬිතුමන්ගේ චරිතය මුල්කර ගත් උම්මග්ග ජාතකය එනමින් හැඳින්වීමට හේතුව මෙන්ම, එහි දක්නට ලැබෙන මුඛ්‍ය සිදුවීම ලෙස පෙනෙන්නේ පස මිතුරු රාජ්‍යයක් වෙත පිවිසීමට තනන ලද දැවැන්ත උමඟකි. කොටස් දෙකකින් යුතු එය අති නවීන කර්මාන්තයක් බව කෘතියෙහි දැක්වෙයි.

සැතැපුම් ගණනාවක් දිගැති මහා උමඟක් තැනීම සඳහා අවශ්‍ය මිනින්දෝරු තාක්‍ෂණය, ඉංජිනේරු ශිල්පය පමණක් නොව විදුලි බලය හෝ ඒ හා සමාන බලශක්ති ප්‍රභවයක් ද මහෞෂධයන් විසින් ඒ සඳහා යොදා ගැනීම උම්මග්ග ජාතකයෙහි විස්තර කෙරෙන්නේ මේ අයුරිනි.

‘‘ උමඟ වනාහී අටළොස් රියනක් උස ඇති යන්ත්‍රයෙන් යුක්ත ​දොරවලින් ගැවසී ගත්තේ ය. එක ඇණයක් මිරිකා ලන්නාහාම ඒ දොරවල් සියල්ල පිහී යන්නේ යැ. අනෙක් ඇණයක් මිරිකා ලන්නාහාම ඇරී යන්නේ යැ. ඒ මහා උමඟ අසූ මහ ​දොරක් හා සූ සැටක් සුඵ ​දොර හා වූවේ ය. ඒ මුඵල්ල යන්ත්‍රයෙන් යුක්තම වූවේ යැ. ඒ හා සමඟම උමඟ දෙපාර්ශවයෙහි නොයෙක් සිය ගණන් පහන් ගබඩාත් වූයේ යැ. එයින් යන්ත්‍රයෙන් යුක්ත අගුලම වූවේ යැ…

මේ කාරණාවලට අමතරව මහා චතුරාංගනී සේනාවකට පවා ගමන් කළ හැකි ඉඩකඩ ද, එක් සියයක් රජ දරුවන් උදෙසා වූ ශ්‍රී යහන් ගබඩා ද, දෙපසෙහි බිත්තිවල අනේක විධ සිතුවම් ද, කන බොන දෑ සහිත ආපන ශාලා ද, සහිත මෙම උමඟ ගමන් මගකට වඩා මහපොළෝ අභ්‍යන්තරයෙහි වූ සුඛිත මුදිත ජනපදයක් සිහි ගන්වන්නකි. මෙය අද හෝ හෙට දවසේ මහ පොළවේ යථාර්ථය වීමට බොහෝ ඉඩකඩ ඇති පරිකල්පනයකි. උමංදා රචනයෙන් බොහෝ කලකට පසු එච්.ජී. වේල්ස් විසින් රචිත ‘‘THE FIRST MEN IN THE MOON” කෘතියේ චන්ද්‍ර භූතලයේ අභ්‍යන්තර උමං පද්ධතියක දිවි ගෙවන දියුණු ශිෂ්ටාචාරයක් ගැන කියවෙන බව ද මෙහිදී මතකයට නැෙඟ්.

උමංදාවේ එක් වරම කැපී පෙනෙන විශේෂත්වය මෙය වූවත් එය විචිත්‍ර සාහිත්‍ය කෘතියක් බවට පත් වන්නේ, මේ නිසා ම නොවේ. එසේ වන්නේ මහෞෂධයන් ප්‍රධාන කොටගත් සෙසු චරිත ගොඩනඟා ඇති විචිත්‍රත්වය නිසා ය. එක් පැත්තකින් නාට්‍යමය ගුණයෙන් අනූන සිදුවීම් දාමයකින් යුතුව ද, තවත් අතෙකින් මිනිස් ගති සොබාවන්ට පොදු වූ කඵ හා සුදු මිශ්‍රිත චරිත ලක්‍ෂණවලින් යුතුව ද, සියල්ලෙහි ම මහා පොදු සාධකය වූ දේශපාලන බල අධිකාරියේ ඕනෑ එපාකම් මුල් කර ගනිමින් ද මෙම විවිධාකාර භුමිකාවන් අප ඉදිරියේ වර්ණවත් සිතුවම් පෙළක් සේ ප්‍රදර්ශනය කරවන්නට උමංදා කතුවරයා සමත් ව සිටී.

මේ නිසා ප්‍රධාන චරිතය වූ මහෞෂධයන් මෙන්ම පස මිතුරු රාජ්‍යයේ පුරෝහිතයා වන කේවට්ටයා ද, අන් සියල්ලන්ටම වඩා අපගේ මතකයේ රඳවා ලන්නට ඔහු සමත් වෙයි. මහලූ වේදේහ රජතුමා පිස්සු වැටෙන්නේ කිසිදා නොදුටු පඤ්චාල චණ්ඩි කුමරියට වුවද, ඇයගේ මව වූ රූමත් නන්දා දේවිය චරිතයක් ලෙස ඉස්මතු වන්නේ ද මෙහෙයිනි. වේදේහ රජුගේ මුල් පුරෝහිතයන් වූ සේනක, පුක්කුස, දේවින්ද, කාවින්ද යන පඬිවරුන් ආත්මාර්ථකාමී දේශපාලන ගේම් කාරයින් වුවද, සම්පූර්ණයෙන් ම ඉරට්ට ගොබ්බයින් නොවන බව ද, කතුවරයා අපට පෙන්වා දෙයි. අවස්ථා කීපයකදී පමණක් ඉස්මතු වන්නේ වුවද චූලනී බ්‍රහ්මදත්ත අධිරාජ්‍යයාගේ මව වූ තලතා දේවිය ද මහෞෂධ පඬිතුමා තරමට ම අපගේ මතකයේ රැඳෙන්නියකි. ඇයගේ බුද්ධිය මෙන් ම මානසික විකෘතියද සුවිශේෂී චරිත ලක්‍ෂණ ලෙස මෙහිදී ඉදිරිපත් කෙරෙයි.

මේ සියලූ දේ අතරේ උමංදා කතුවරයා අතින් විශ්ලේෂණය වන දේශපාලන යථාර්ථය නම් එදාටත් වඩා අදට ගැලපෙන්නක් බව මනාව පෙනී යයි. ඉන් පෙන්නුම් කරන්නේ සෑම රජෙකුටම සත්‍ය ගරුක උපදේශකයන්ට වඩා එහෙයියන් අවශ්‍ය බව ය. නොඑසේනම් බඩු ෂුවර් බව දැන දැනම වුවද, රජුත් ඇදගෙන නරාවළට ම ඇද වැටෙන තෙක් තමන්ගේ කුට්ටිය ගැන පමණක්ම සිතන මැති ඇමැතිවරු සහ උපදේශකයින් පමණක් බවය.

චූලනී බ්‍රහ්මදත්තයන් වේදේහ රජු අල්ලා ගැනීමට තම දියණිය ඇමට යොදන අවස්ථාවේ මෝඩයකු ම නොවන සේනකයා එයට උල්පන්දම් දෙන්නේ කාරණාව ඉෂ්ට සිද්ධ වුවහොත් ඉන් තමාට ලැබෙන භවභෝග සම්පත් හා තාන්නමාන්න ගැන පමණක් සිතමිනි. මෙය වේදේහ රජුට පමණක් නොව සමස්ත රාජ්‍ය පරිවාරය ම සෙත්ත පෝච්චි විය හැකි උගුලක් බව වටහා ගන්නා මහෞෂධයන් විසින් ඊට විරුද්ධ වීම පවා වේදේහ රජු තමාට කළ අවමානයක් සේ සලකන්නේ හුදු කාමය නිසා ම නොව ආත්මාර්ථකාමී සේනකාදීන්ගේ ලණු කෑම ද හේතු කොට ගෙන ය. එතෙක් වේලා ‘‘පුත මහෞෂධයෙනි,.. කියමින් සිටි වේදේහයන් ‘‘නිමුන් මිට එලී සීසාන ගොවියා පුතු මඟුල් කාරණා ගැන කුමක් දනී.. දැයි පවසා ඔහුව ගෙලින් අල්ලා ​දොට්ට දමන්නට කියන්නේ එබැවිනි. වේදේහ රජු ද සේනකයාගේ ම මට්ටමට වැටී මහෞෂධ පඬිවරයාට ‘‘ගොවියා පුත.. යයි කියන්නේ එතුමෝ ගොවියෙකුගේ දියණිය වූ අමරා දේවිය කසාද බැඳගත් බැවිනි. වරක් සමස්ත මියුලූ නුවර ම චූලනී රජු අතින් කුඩු සංසාර වන්නට ගිය විට, බේරා ගත්තේ මහෞෂධයන් බව වේදේහ රජු සැණෙකින් අමතක කරයි.

එහෙයින් උමංදා කතුවරයා මහෞෂධයන්ගේ චරිතය ගොඩනඟන්නේ මෙවැනි අධමයන් හා මුර්ධයන්ගෙන් පිරුණු පරිසරයකට මුහුණ දෙන අයුරිනි. මේ නිසා ඔහු මහෞෂධ සතු බෝසත් ගුණාංගයන් යම් පමණකට සීමා කරයි. ඒ අනුව අපට පෙනී යන්නේ මහෞෂධ චරිතය ද මේ පවතින සමාජීය හා දේශපාලන පසුබිමට සරිලන අයුරින් ම ගොඩ නැඟී ඇති බවයි. එනම් හොඳට හොඳත් නරකට සාධාරණයත් ඉටු කෙරෙන අයුරිනි.

හොඳම උදාහරණය උම්මග්ගයේ එන සුප්‍රකට ධර්ම යුද්ධයයි. හමුදා බලයෙන් මියුලූ නුවර යටත් කර ගත නොහැකි බව වටහා ගන්නා චූලනි රජුගේ කේවට්ට බමුණා ධර්ම යුද්ධයක් කොට නාමික ජයක් හෝ ලබා ගෙන ආපසු යෑමට තීරණය කරයි. මෙය තමා ඇන්දවීමට ගත් සැලසුමක් බව වටහා ගන්නා මහෞෂධයන් කේවට්ටයා මැණිකකින් රවටා ආපසු යවන්නේ බොරඵ පොළොවේ මුහුණත් තහඩුව අතුල්ලා සදාකාලික ලප කැලැල් ද ඇති කරවමිනි. රජ මඟුලක් මුවාවෙන් තමාව බිලි බා ගන්නට පැමිණි වේලේ ද ආපසු යවන්නේ කොඳු නාරටියේ වැයිරි නැෙඟන සේ උණ පත්තකින් තලා දමමිනි.

එතැනින් නොනවතින ඔහු තමන් චූලනි රජුගේ ලණුව කෑ බව හඟවා ඔහුගේ රාජධානියට යන්නේ තම රජතුමාගේ විවාහය වෙනුවෙන් මාලිගා ඉදි කරන්නට අවශ්‍ය බව පවසමිනි. ඒ සඳහා චූලනි බ්‍රහ්මදත්තයන් ඉතා කැමැත්තෙන් ඉඩ දෙන අතර, ඒ අවසරයෙන් පළමුව අත්පත් කර ගන්නට යන්නේ රජුගේ මෑණියන්ගේ නිවස ය. මෑණියෝ නිවස බේරා ගන්නේ ලක්‍ෂයක අල්ලසක් දීමෙනි. ඊළඟට කේවට්ටයාගේ නිවසය. ඔහු ද නිවස බේරා ගන්නේ ලක්‍ෂයක අල්ලසක් දීමෙනි. මේ අයුරින් සවස් වන විට ගෙවල් කඩන බව පෙන්වමින් ම කෝටි ගණනක් උපයා ගන්නට මහෞෂධයන් සමත් වෙයි.

මේ අයුරින් ගැටලූව තමාට ඉදිරිපත් වන්නේ කෙසේ ද ඒ ආකාරයට ම ප්‍රතික්‍රියා දක්වන මහෞෂධයෝ විටක රහස් පරීක්‍ෂකයෙකු ලෙස ද, තවත් විටක පරිණත රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ද, වරෙක යුද ශිල්පයේ කෙල පැමිණියෙකු ලෙස ද, විශිෂ්ට ඉංජිනේරුවෙකු සහ ශූර මනෝ චිකිත්සකයකු ලෙස ද, කටයුතු කරන ආකාරය මෙහිදී දැක ගත හැකි ය.

මහෞෂධ චරිතය හැරුණු කල සෙසු චරිත නිරූපණයන්හි දී උමංදා කතුවරයා අනුගමනය කර ඇත්තේද ඉතාම සාධාරණ පිළිවෙතකි. පවතින දේශපාලන ක්‍රමවේදයෙන් යැපෙන්නන් වශයෙන් පුද්ගල චරිතවල අඩුපාඩුකම් පැවැතුණ ද, මෙහි දුෂ්ට චරිත වුවද තනිකරම කළු චරිත බවට පත් කිරීමෙන් ඔහු වැළකී තිබේ. මේ ආකාරයට ලේ මස් සහිත සැබෑ මිනිසුන්ගේ යථාර්ථය විචිත්‍රව ඉදිරිපත් කෙරෙන උමංදාවේ වඩාත්ම සංකීර්ණ ම ජීවිත විවරණය ඉදිරිපත් කෙරෙන්නේ එහි අවසාන භාගයේ දක්නට ලැබෙන දිය රකුසු පැණයෙනි. එයට හේතු වන්නේ මෙවැනි කාරණයකි. පසු කලෙක චූලනී බ්‍රහ්මදත්තයන්ගේ ගෞරවයට පාත්‍රවන මහෞෂධයෝ වේදේහ රජු ඇවෑමෙන්, බ්‍රහ්මදත්තයන්ගේ සේවයට බැඳෙයි. අද මෙන් ම ආරම්භයේ පොරොන්දු වූ තරමට වඩා කිසිවක් නොලැබුණ හෙයින් තමා පිළිබඳ රජුගේ හැඟීම කුමක් දැයි දැන ගැනීමට මහෞෂධයන්ට ඇවැසි වෙයි.

රජ වාසලට සම්බන්ධ පරිබ්‍රාජිකාවක ඒ සඳහා ඉදිරිපත් වන අතර, ඒ සඳහා ඇය රජුගෙන් එක්තරා පැණයක් විමසයි. දිය රකුසු පැනය නම් වූ එයින් කියවෙන්නේ බ්‍රහ්මදත්තයන් තම මව වූ තලතා දේවියත් , ප්‍රාණ පි‍්‍රය වූ රූමත් නන්දා දේවියත්, මලනුවන් වන තීක්‍ෂණ මන්ත්‍රී කුමරුත්, යහඵ වූ ධනුශේඛකර කුමරුත්, අග්‍ර පුරෝහිත කේවට්ට සහ මහෞෂධ යන පඬිවරුනුත් සමුදුරු චාරිකාවක යෙදෙන විටක දිය රකුසෙක් ඔවුන් බිලි ගන්නට පැමිණෙන බවයි. රකුසාගේ යෝජනාව වන්නේ සෙසු පිරිස බිලි දුන් විට රජුට ගැලවිය හැකි බවය. පරිබ්‍රාජිකාව අසන්නේ රජු ඔවුන්ව කොයි පිළිවෙලට දිය රකුසාට බිලි දී තම ජීවිය බේරා ගන්නේ ද? එයට හේතු වන්නේ කුමන කාරණා ද යන්නයි.

රජු පවසන්නේ පළමුව තම මෑණියනුත්, දෙවනුව නන්දා දේවියත්, තෙවනුව මලනුවනුත්, හතර වැනිව යහඵවාත් පස්වැනිව කේවට්ටයාත්, බිලිදී මහෞෂධයන්ට ජීවත් වන්නට ඉඩදී තමා රකුසාට බිලිවන බවයි. ඉන් පසු පරිබ්‍රාජිකාව මේ එකිනෙකාගේ වූ ගුණ සමුදායන් වර්ණනා කරන අතර, රජතුමා ඒ ඒ චරිත බිලි දීමට ගත් තීරණය ගැන පැහැදිලි කරයි. ඒ අනුව රජු තම මෑණියන් වූ තලතා දේවිය බිලි දෙන්නේ, අපූර්ව කරුණක් මුල් කර ගනිමිනි. එනම් තමන්ගේ මව අස්වාමික බව ද, සොළොස් හැවිරිදි තරුණියක මෙන් රූමත් බව ද පවසා ඇය විවාහ කර ගන්නා මෙන් ප්‍රාන්ත රජ දරුවන් වෙත තමන් යවන ආකාරයට ඇය විසින්ම ලිපි යවන බවත්, භීතියෙන් තැතිගත් ප්‍රාන්ත රජ දරුවන් ‘‘ඔබ වහන්සේගේ සේවකයන් වන අපට මෙවන් පත් එවන්නේ ඇයි දැ..යි අසා පිළිතුරු එවන බවත්, ඒවා රාජ සභාවෙහි කියවන අවස්ථාවේ දී තමා පොළොව පැලී යන තරමේ ලැජ්ජාවකට පත් වන බවත් රජු පවසයි.

තවද තමන් සිංහාසනාරූඪව රාජ්‍ය විචාරණ කල්හි බාල ස්ත්‍රීන් විසින් පැළඳ විය යුතු මිණි මෙවුල්දම් ආදිය පැළඳ බොහෝ දෙනෙකුට පෙනෙන පරිදි සක්මන් කරන බවද, ඉඳුල් කන්නටවත් තරම් නොවූ ​දොරටුපාල කොල්ලන් ද, ඇත් ගොව්වන්ද කැඳවා බොහෝ වේලා කතාබස් කරමින් කොක් හඬලා සිනාසෙන හඬ ද, මිණි මෙවුල් දම්වල නාදය ද ඇසී අමාත්‍ය ගණයා එකිනෙකාගේ මුහුණ බලා ගන්නා බව ද හේතු කොට ගෙන තමා හිස ගසා ගන්නට තැනක් නැති තත්ත්වයට පත් වන වන්නේ යයිද චූලනි රජු පවසයි. ඔහු ඇයව පළමුවෙන් ම බිලි දෙන්නේ ඒ හේතුව නිසා යයි පරිබ්‍රාජිකාවට පවසයි.

මේ ආකාරයට සමාජයේ විවිධ පුද්ගලයන් දැඩි පීඩනයකින් දරා සිටින මානසික ආවේගයන් මොන තරම් ප්‍රබල දැයි උමංදා කතුවරයා හෙළි කරන්නේ සියලූ දඹදිවට නායක අග රජුට යොමු කරවන මෙකී දිය රකුසු පැනයෙනි. එතැනදී තව දුරටත් රාජ්‍ය පරිවාරයේ සෙසු පිරිස ගැන තමා තුළ ඇති අප්‍රසාදයන් හෙළි කරන බ්‍රහ්මදත්තයෝ කේවට්ටයා බිලි දීමට හේතුව වශයෙන් පෙන්වා දෙන්නේ අන් කිසිවක් නිසා නොව කඩ දත් හා ඇටි කුකුළකුගේ මෙන් රතු වූ දෑසින් කෙරෙන රකුසු බැල්ම ඔහුට ඉවසිය නොහැකි බැවින් බව ද, නන්දා දේවිය බිලි දෙන්නේ ඔහුව ලෝකාස්වාදරතියට පොළඹවා සෙසු බිසෝවරුන්ගේ දරුවන්ට දෙන ලද කෙළිබඩු නැවත ඉල්ලා ගන්නට තමාට බල කරන නිසා බවද පවසයි. තමාගේ මළනුවන් වන තීක්‍ෂණ මන්ත්‍රි කුමරු බිලි දෙන්නේ හුදු අහංකාරය හේතු කොට ගෙන නිසි වේලාවට සහ පිළිවෙළට රාජ්‍ය සභාවට නො පැමිණීම නිසා ය.

කුඩා කල පටන් එකට සිටි ධනුශේඛර නම් යහඵවා බිලි දෙන්නේ තමා දැන් අධිරාජ්‍යයා බවද නොතකා පෙර පරිදි ම කිසිදු ගෞරවයකින් තොරව හැසිරීම මතය. අවසන තමා බිලි වන්නේ තම ජීවිතයට වඩා මහෞෂධයන් වටිනා නිසා බවද පවසයි. තමන්ගේ පැණය විසඳීම ගැන සැනසීමට වඩා මහරජුගේ ආධ්‍යාත්මික පීඩනය ගැන සංවේගයක් මහෞෂධයන් තුළ ද මෙහිදී ඇති නොවූයේ යයි කාට නම් කිව හැකි ද? උමංදා කතුවරයා ද ඒ ගැන කිසිත් නොලියන්නේ මහෞෂධයන් තුළ ද ඊට නිසි පිළිතුරක් නැති නිසා විය යුතුය.

තිස්ස ප්‍රේමසිරි

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය පොළොන්නරුවේ කාශ්‍ය​ප හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන්බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0718284753  අ​ංකයට වට්ස්අප් කිරීමට කාරැණික වන්න.