සිංහල සාහිත්‍ය වංශයේ උසස්‌ යෑයි කිව හැකි සන්දේශ කාව්‍ය හතකි. ‘මයුර’, ‘තිසර’, ‘පරෙවි’, ‘කෝකිල’, ‘ගිරා’, ‘සැලළිහිණි’ සහ ‘හංස්‌ ඒ සන්දේශ කාව්‍ය හතයි. මයුර හා තිසර සන්දේශද්වය රචනා වී ඇත්තේ ගම්පොළ යුගයේදී වන අතර ඉතිරි පහ කෝට්‌ටේ රාජ්‍ය සමය තුළ රචනා වී ඇත.

මේ සන්දේශ කාව්‍ය හතම ආකෘතිමය ලක්‍ෂණ අතින් සමාන බවක්‌ දැකිය හැකිය. ඒ නිසා බැලු බැල්මට ගතානුගතික හැඩයක්‌ ද දැකිය හැකි වුවද හැම කතුවරයෙක්‌ම තමාගේ රචනාවෙන් බොහෝ අනන්‍යතා ලක්‍ෂණ උපැදවීමට සමත් වී ඇත. මේ නිසාම සන්දේශ කාව්‍ය හත වෙන් වෙන්ව ගෙන රසවිඳීමේ බාධාවක්‌ ඇති නොවේ. ඒ මෙය අසවල් සන්දේශයේ ණයකරයක්‌ යෑ යි කියා හෝ කාබන් කොපියක්‌ යෑ කියා හෝ සිතීමට අනුබල දෙන නිර්මාණ හැම එකකම ඉතා මැ විරල බැවිනි.

මේ සියලුම සන්දේශ කෙලින්ම හෝ අන් කෙනෙකුගේ මාර්ගයෙන් හෝ දෙවියන් වෙත යොමු වූ ඒවාය. ඒ නිසා මේ වකවානුවේ බැතිමතුන්ගේ පූජාවට පාත්‍ර ව සිටි දෙවිවරුවන් පිළිබඳව නිවැරැදි දැනුමක්‌ ඇති කර ගැන්මට පුළුවන.

අපේ මුල්ම සන්දේශ කාව්‍ය ලෙස බොහෝ පඬිවරුන්ගේ ගෞරවය දිනූ “මයුර සන්දේශය” ගම්පොළ රාජධානියේ සිට දෙවිනුවර වෙත ළඟා වන්නේ “උපුල්වන්” දෙවි රජුන් වෙත ඔප්පු කිරීමට යෑ. රජ පවුලට, රජුට සෙනෙවිවරුන්ට හා රටට රැකවරණයත්, ආශිර්වාදයත් පතා දෙවියන් යෑදීමට මොණරාට සිදුවනුයේ ‘ගුරුළුදැම්’ මුනුබුරු ‘කවීශ්වර’ හිමියන්ගේ කාව්‍යමය ඇරියුම නිසාය. මහපඬි සිරි රහල් කිවි හිමිහු ද සඳවතියට සුදුසු සැමියකු ඉල්ලා ‘පරෙවි’ යෙකු අත දෙවිනුවර ‘උපුල්වන්’ දෙව් රජුන් වෙත මැ සන්දේශයක්‌ යෑවෙති. ඒ ‘ජයවර්ධන’පුර සිට ‘දෙවිනුවර’ වෙත යෑ. මේ සන්දේශ කාව්‍ය දෙක ම කෙලින්ම දෙවියන්ට ඔප්පු කරන ඒවාය. ‘තිසර සන්දේශය’ හා ‘කොවුල් සන්දේශය’ දෙවිනුවර ‘උපුල්වන්’ දෙවියන්ට ඔප්පු කළ පුවත් අන් අයට දන්වන ඒවාය. ගම්පොළ යුගයේ රචිත ‘තිසර සන්දේශය’ කළ කවියා ද දැදිගම පස්‌වන පැරකුම්බා රජුටත් රටටත් සෙත් පතා උපුල්වන් දෙවියන් යෑදි පුවත තිසරයකු අතින් රජුට දන්වා යෑවෙයි. කොවුල් සන්දේශය කළ දෙවිනුවර ‘ඉරුගල්කුල තිලක පිරිවෙන්පති හිමියෝද’ ‘සපුමල් කුමරුට’ සෙත් සුව හා රැකවරණය පතා දෙවිනුවර ‘උපුල්වන්’ දෙවියන් යෑද ඒ බව කොවුලක අත යාපා පටුනේ රජසිරි විඳි සපුමල් කුමරු වෙත දන්වා යෑවෙති.

සම්භාව්‍ය ලා ගැනෙන සන්දේශ හතෙන් (විමර්ශන සහිත මයුර සන්දේශය කේ. ජයතිලක 1993) හතරක්‌ම උපුල්වන් දෙවියන් යෑදීම මුඛ්‍ය කාර්යය ලෙස සලකා තිබේ. අපේ සන්දේශ කවීන්ගේ ඉහළම පූජාවට හා ගෞරවයට පාත්‍ර වූයේ මේ දෙවියන් බව පැහැදිලිය. “උපුල්වන් දෙවියන් යනු කවරෙක්‌ද?” යන ගැටලුව අද මතු වී ඇත්තේ ‘උපුල්වන්’ – ‘විෂ්ණු’ යන එකම දෙවියෙක්‌ සඳහා යෙදුනු නම් දෙකක්‌ යෑ යන මතයක්‌ අද මුල්බැස ඇති බැවිනි. වර්තමාන දෙවිනුවර දෙවොල ‘ශ්‍රී විෂ්ණු උපුල්වන්’ දෙවොල නමින් හැඳින්වෙන්නේ මේ නිසා විය හැකිය.

මෙය සත්‍යයක්‌ ද? මෙවන් මතයක්‌ ඇති වූයේ ඇයි? ‘උපුල්වන් විෂ්ණු’ එකකෙනෙක්‌ ද? දෙදෙනෙක්‌ද? සොයා බැලිය යුතු ය.

විෂ්ණු හින්දු දේව කතාවල කියෑවෙන ප්‍රමුඛ දෙවියෙකි. හින්දූන්ගේ ඉමහත් පූජාවට පාත්‍රවන ‘ත්‍රි මූර්තිය’ සැදී ඇත්තේ ‘බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර’ යන ප්‍රධාන දේව ත්‍රිත්වයෙනි. ඇතිවීම, පැවතීම, නැතිවීම යන ස්‌වභාවික නියාමය මෙයින් නිරූපිත බව ඉන්දීය පඬිවරු විශ්වාස කරති (උපනිශද් දර්ශනය) නිල්වන් පැහැ (කළු) සිරුරක්‌ සහිත වීම නිසා විෂ්ණු දෙවියන් හඳුනා ගැනීම පහසුය. එහෙත් මේ දෙවියන් බෞද්ධ කටයුතුවලට දායක වූ අවස්‌ථා ගැන සාධක විරලය. ‘උපුල්වන්’ දෙවියන් ගැන අසන්නට ලැබෙන්නේ විජය කුමරුන්ගේ සම්ප්‍රාප්තිය සමගිනි. රැකවරණය සඳහා විජය කුමරුන් අත පිරිත් හු බැඳෙන්නේ උපුල්වන් දෙවියන් අතිsනි. ඒ සක්‌දෙව් රජුගේ ඇරයුමින් බව වංශ කථාවල මෙන්ම සන්දේශ කාව්‍යවල ද සඳහන් වෙයි. දේවේන්ද්‍ර තෙමේ තථාගතයන්ගේ බස ගෞරවයෙන් ඇසුයේම උපුල්වන් දෙවි රජහට ලංකාරක්‍ෂාව භාර කළේය. ඒ තෙමේ සක්‍රයා විසින් කී පමණින් එකෙනෙහි ම ලක්‌දිව් අවුත් පරිබ්‍රාජක වේශයෙන් රුක්‌ මුලෙක හුන්නේය…….. මෙසේ කියා කෙණ්‌ඩියෙන් ඒ මිනිසුන් පිරිත් පැන් ඉස උන් අත්හි පිරිත් හූ බැඳ අහසින් ගියේය.” (මහාවංශය 7 වැනි පරිච්ඡේදය)

  1. තෙපුල් ගෙනැ සුරිඳු රක්‌නා ලෙව් සස්‌න

උපුල්වන් දෙවිඳු දැකැ දෙව මේ හස්‌න

(පරෙවි සන්දේශ විවරණය – කුමාරතුංග මුනිදාස)

සුරිඳු තෙපුල් ගෙන ලෙව් සස්‌න රකින්නේ උපුල්වන් දෙව් රජුය. ‘උපුල්වන්’ යන නම තුළ ‘උපුල් පැහැය – උපුල් වැනි’ යන අර්ථ සැඟවී ඇති නිසා මේ දෙවියන් ද කලු පැහැ (නිල්?) දෙවියෙක්‌ වනැයි බැතිමත්හු සිතූහ. විෂ්ණු හා උපුල්වන් එක්‌ කෙනෙක්‌ ය යන මතය මේ නිසා ඇති වූවා විය හැකිය.

කිහිරුල් උපුල්වන් යන නමින් ද මේ දෙවියෝ හඳුන්වති.

  1. විසේස වන් විකුමෙන් සදිසි දියබඳ

රොසේ රැපෑ පෙර සුර කුරිරු මන්බිඳ

තොසේ මුනිඳු සාසන රක්‌නා නිබඳ

වෙසේ සිරින් කිහිරැලි පුල් සුරිඳු සඳ

(කොවුල් සදෙස – අලවු ඉසිසැබිහෙළ 1962)

විශේෂ වූ වික්‍රමයන් කරණකොට ගෙන දියබද (විෂ්ණු) හා සමාන යෑයි ද, බුදු සස්‌න රක්‌නා කිහිරැලි උපුල්වන් දෙවුරද සුරන් මන්බිඳි බව ද කියයි. මේ දෙව්රජ විෂ්ණුට සම කිරීමෙන් විෂ්ණු – උපුල්වන් දෙදෙනෙක්‌ ය යන්නට හොඳ සාCෂ්‍යක්‌ සැපයේ.

  1. සතොසින් වසත සිරි සරසවිය මොහු කෙරේ

වියොවින් පැමිණි දුක්‌ නොම විඳ එ අවස රේ

රැකියෙන් මිසක්‌ බඹ බඹසරම අරත රේ

සොවගින් තැවී කලු නොම වේද වෙනු යුරේ

(තිසර සන්දේශය – ආචාර්ය කුලතිලක කුමාරසිංහ 1985)

සරසවිය සහ සිරිකත දෙදෙනාම උපුල්වන් දෙව්රජ හා සමඟ වෙසෙති. මහබඹ බඹසර රැකි නිසා ශෝක ගින්නෙන් නොදැවුන අතර විෂ්ණු ශෝක ගින්නට හසු වී කලු වී ඇත. මෙය ද විෂ්ණු උපුල්වන් දෙදෙනෙක්‌ ය යන්නට හොඳ සාක්‍ෂියකි.

කිහිරි ලීයෙන් තැනූ උපුල්වන් දෙව්රුව මුහුදේ පාවී විත් දෙවිනුවරට ගොඩ ගැසූ බවත් “දා පුලුසෙන්” නම් රජෙක්‌ ඒ දෙව්රුව දේවාලයක තැන්පත් කරවූ අන්දමත් පැරකුම්බා සිරිතේ මෙසේ වාර්තා කොට ඇත.

  1. ඉමල් හල මුනි ලෙසින් වදහළ මෙලක රකිනුව මෙත් සිතින්

උපුල්වන් දෙව් රජුන් පිළිරුව වඩිනු දැක මහ සයුරතින්

විමල් ගුණ යුත් නමින් දා පුළු සෙන් රජෙක්‌ ආ එමොහොතතින්

විමල් සිරි දෙවිනුවර කරවා පිහිට කරවී යහපතින්

(පැරකුම්බා සිරිත – මහාචාර්ය රෝහිණී පරණවිතාන 1997)

මේ දාපුළුසෙන් රජු පළමු වන දප්පුල රජු යෑයි විශ්වාස කෙරේ. කිහිරි ලීය රත්පැහැ අරටුවක්‌ සහිත තද දැව වර්ගයකි. ඉන් කළ පිළිරුව රත්පැහැ වියයුතුව තිබිණි. එහෙත් නිසැකවම මේ පිළිරුව උපුල්වන් දෙව්රුව යෑයි හඳුනා ගෙන තිබීම නිසා නිල්වන් රුවක්‌ ලෙස පසුකලෙක ප්‍රචලිත වූවා විය හැකිය. කිහිරි දැවයෙන් කළ මේ දෙව් පිළිරුව තුළ උපුල්වන් දෙවියන් යෑයි තිර කළ හැකි ලක්‍ෂණ විද්‍යමාන වූවා වීමට ද පුළුවනි.

උපුල්වන් යනු “උදක පාල වරුණ” යන නමින් සැදුනක්‌ යෑයි මහාචාර්ය පරණවිතාන මහතා මතයක්‌ ඉදිරිපත් කොට තිබිණි. (මේ ලිපිය දැනට මා සතුව නැත. කරුණු දක්‌වන්නේ මතකයෙනි) ‘උදක පාල වරුණ’ යන්නේ අර්ථය ජලයෙන් පහළ වූ වරුණ දෙවියා යන්නයි. ‘උපුල්වන්’ රුවද ජලයෙන් පහළ වූ බව මෙයින් කියෑවෙන බවක්‌ පෙනේ. “වරුණ දෙව් රද පශ්චිම දිසාපති වු දෙවියාය. මේ සාගරයට ද අධිපති වේ.” යනුවෙන් කුමරතුඟු මුනිදස්‌හු පවසති. (සැලළිහිණි විවරණය – කුමාරතුංග මුනිදාස)

“සැදෑලෙන් වරුණ දෙව්රද මුහුද විසූ” යන රාහුල හිමියන්ගේ සැලළිහිණි සන්දේශයේ සඳහන් කවි පාදයෙන් වරුණ දෙව්රද මුහුදේ වෙසෙන බවක්‌ පැවසේ. එසේ නම් මේ දෙව්රජ උපුල්වන් දෙවියන්ම යෑයි සිතිය හැකිය. මුහුදේ වාසය නිසා වරුණ දෙව් සමුදුර පැහැය ගත්තා විය හැකිය. මින් පැහැදිලි වන්නේ විෂ්ණු නොවන මේ උදක පැහැ දෙවියා බෞද්ධ දෙවියකු ලෙස පුද පූජා ලද බවයි.

බුදුගුණාලංකාරයෙන් හින්දු දෙවිවරුන් තදින් උපහාසයට ලක්‌ කළ වීදාගම මෛත්‍රිය හිමියෝ තමන් විසින් රචිත හංස සන්දේශයේ දී උපුල්වන් සුරිඳු මුල්තැනෙහි ලා පිරිත් කියා අන් දෙවියන් ද තුටු කරති.

201.මහත් තෙදැති පුල්වන් සුරිඳු මුල කොට

දිමුත් සමන් බොක්‌සල් සුරිඳු නෙක්‌ කොට

සමත් සුරිඳු විබිසන ඈ සුරන් හට

පිරිත් කියා පින් දී සිත සතුටු කොට

(හංස සන්දේශය – කේ. ඩී. පී. වික්‍රමසිංහ 1995)

උපුල්වන් දෙවියන් තරම්ම අපේ සන්දේශ කවීන් ගේ බුහුමන් ලැබූ අනික්‌ දෙවියා විභීෂණ දෙවියන් ය. මයුර, කොවුල්, සැලළිහිණි, හංස, තිසර සන්දේශ වලත් පාලි රචනාවක්‌ වූ “වුත්තමාලා” සන්දේශ කාව්‍යයේත්, විභීෂණ දෙවියන් ඉතා ඉහළින් වර්ණනා කෙරේ. “විභීෂණ” දේවත්වයට නංවනු ලැබූ රකුසෙකි. හේ ‘රාවණ’ ගේ සොයුරෙකි. එහෙයින් හංස සන්දේශකරුවෝ මෙසේ කියති. අනන්ත වූ රාක්‍ෂස සේනාව බිඳ දැමූ විභීෂණයන් රම් රජුන් විසින් සුරසෙන් මැද අභිෂේක කළ බවයි.

114.අනත රකුසු සෙන් බුන් සිට මිනිස්‌ වෙසින්

දියත පසිඳු මනරම් රම් රජුන් විසින්

සිරිලකට හිමිකැර සුරසෙන් මැද බිසෙව් කළ

(හංස සන්දේශය – කේ. ඩී. පී. වික්‍රමසිංහ – 1995)

විභීෂණ දෙවියන් දේවත්වයට නැංවුවත්, ඉතා බිහිසුණු, ඉතා දැඩි තේජසින් යුතු, බියමුසු හැඟීම් ජනිත කළ දෙවියෙක්‌ ලෙස විස්‌තර කෙරේ

104.ඉසේ ගජන් වැජඹුණු බිහිසුණු මිහිඳු

ලෙසේ විරිදු දජ බිඳ තද හෙදින් රුදු

යසේ වැජඹි විබිසන නම් සුරිඳු සදු

වෙසේ එපුර සුරතුරමෙන් ලෙව් පසිඳු

(තිසර සංදේශය – ආචාර්ය කුලතිලක කුමාරසිංහ)

දසරත රාම නිරිඳුන්ට ජයදුන් ලෙසින් රජුගේ අණසක දසත පතුරුවාලීමටත් ශක්‍ර විෂ්ණු ආදී දෙවිවරුන්ටත් වඩා සම්පත් සාදා දී රක්‍ෂාවරණය ලබා දෙන ලෙසටත් මයුර සන්දේශ රචකයා විභීෂණ දෙවියන්ගෙන් අයෑදී.

  1. දසරත රාම නිරිඳුට ජයදුන් ලෙසිනී

දස අත තරම් වැඩි අණසක සලසමිනී

සක සකතෑ මදෙව් ඇමට

වැඩි සිරි දී රුති විලසට

සෙත කර රැකිය කප් හිමිට

යුතු මෙපවත කිය දෙවිඳුට

(විමර්ෂන සහිත මයුර සන්දේශය – කේ. ජයතිලක 1993)

රකුස්‌ මන් බිඳි විභීෂණ, දිසා නමැති රිටි අග කිත් දද බඳවා සියලු සතට සැපත සාදා දී ජනතා සිත් පොබ කළ අන්දම කෝකිල සන්දේශකරුවා මෙසේ වර්ණනා කරයි.

  1. තද නිසසර රුදුවන් මන් බිඳ පසිඳ

බඳ යස දද දිගු දිගු යටගෙහි නිබඳ

නද කළ සත සව්සිරි දීමෙන් නොමඳ

වැඳ අනතුරු එහි විබිසන සුරිඳු සඳ

(කොවුල් සඳෙස්‌ විවරණය -අලවු ඉසි සැබිහෙළ)

ගාථා 102 කින් සමන්විත ‘වුත්තමාලා’ සන්දේශය පාලි රචනාවකි. විල්ගම්මුල සංඝරාජ හිමිපාණන්ගේ බෑනනූ වූ “ගතාර” නම් තපස්‌වීන් මේ පාලි සන්දේශ කාව්‍යය රචනා කොට ඇත. බෞද්ධාගමික තපස්‌වීන් පිළිබඳව තොරතුරු ඇත්තේ ඉතා විරලවය. නොවේ නම් නැති තරම් ය. සමහර විට මෙතුමා අනගාරික ජීවිතයක්‌ ගත කළ කෙනෙක්‌ විය හැකිය. දැදිගම සිට කැලණියේ විභීෂණ දෙවියන් වෙත යෑවෙන සන්දේශයෙන් පැරකුම්බා රජුගේ රැකවරණය පතයි. කැලණියේ විභීෂණ දෙවියන් වෙත පමුණුවන ‘වුත්තමාලා’ පාලි සන්දේශ කාව්‍යයේ විභීෂණ දේව වර්ණනාව සඳහා ගාථා හයක්‌ වැය කරයි. සමස්‌ත වර්ණනාවට කිවිසමයානුගත වර්ණනාවකි. එසේ කියනුයේ ඒ දෙවියන්ගේ විශේෂ බවක්‌ නොහැඟෙන බැවිනි. සන්දේශය සඳහා යොදාගෙන ඇති ගාථා හතරෙන් ද විභීෂණ දෙවියන් ගේ ගුණ වනමින් ම ආයාචනය සිදුකරයි.

විභීෂණ දේව වර්ණනා අතර ශ්‍රී රාහුල හිමිපාණන්ගේ සැලළිහිණි සන්දේශයේ දේව වර්ණනාව විශිෂ්ටය. අද්විතීයය. රසවත්ය. වර්ණනාව සඳහා පද්‍ය දහසයක්‌ වැය කරයි. හිස දැරූ කිරුළින් අරඹන වැනුමෙන් විබිසන සුරිඳුන්ගේ නළල් පට කන්පෙති, බැම, නෙත්, නැහැය, දල, උරතලය, පුළුලුකුළ, වටොර සහ පතුල් දක්‌වාම ඉතා අංග සම්පූර්ණ විස්‌තරයක්‌ ඉදිරිපත් කරයි. රාහුල හිමියන් කියන අන්දමට කාලවර්ණ දෙව් රජ හිස දැරූ කිරුළ අඳුන්ගිර මුහුණ වෙත පැමිණි රෙහෙණ නැකත ගැල හා සිරිවිය. නොවෙනස්‌වන වලා කුළෙක හැම කල්හිම බබලන විදුලියක්‌ වැනි නළල් පටක්‌ වියෑ. දෙකන්හි රැඳි රන් තෝඩුත්, තද නීල වර්ණ දෙබැමත් ළහිරු මඬලක්‌ බඳු දෙනෙතත් මැණික්‌ හොරණෑවක්‌ බඳු නැහැයත් ළසඳ යුවළක්‌ හා සම දළ දෙකක්‌ කප් රුක්‌හි ශාඛාවන් දැතත් ඉඳුනිල්මිණි තලාවක්‌ සදිසි උරතලයත් මිණි මෙවුල් දැරූ පුළුලුකුළත් රඹ සිරි දැරූ වටොරත්, රත් පැහැ දෙපතු=ලත් ඉතා පැහැදිලිව විස්‌තර කර ඇත්තේ ඇයි.

88.වෙසෙසින් පහන් පැහැ සර ගැඹුරු පිවිතුරු

බැලුවන් ඇලුම් කරවන යළිදු බියකරු

සිරිපින් රුවන් පිරි එසුරිඳු සයුර යුරු

මුවෙකින් කියා නිමැවිය හැකිද රූසිරු

විභීසන සුරිඳු දේවත්වයට නංවන ලද රකුසෙකි. ඒ නිසා මේ දෙවිඳු තුළ වූ බියකරු ශරීර ලක්‍ෂණ මතුකරලීමට කවියා සමත් වී ඇත. එක්‌ කෙනෙක්‌ තුළ වූ ‘දේව’ හා ‘රාක්‍ෂ’ ලක්‍ෂණ වෙන් වෙන්ව දක්‌වා තිබීම රහල් හිමියන්ට හැර අනෙකෙකුට කළ හැකි දැයි සිතෙන තරමට මේ දේව වර්ණනාව ප්‍රබලව ගොඩනැගී ඇත. විබිසන දෙවියන් පිළිබඳව සියලු කරුණු කේන්ද්‍ර කොට ඉතා මනරම් සිවුපදයකින් වැනුම නිමා කරයි.

91.තුන්ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු

තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු

තුන් වේ ඇඳුරු ප්‍රලනිසි කුලැ මිණි මිතුරු

තුන් විටෙකම වදු එසුරිඳු පා තඹුරු

(සැලළිහිණි විවරණය – කුමාරතුංග මුනිදාස)

රහල් හිමියන්ගේ මේ විබිසන වැනුම තරම්ම විශිෂ්ට විවරණයක්‌ කුමාරතුඟු මුනිදසුන්ද ඉදිරිපත් කර තිබීම වෙසෙසින් අගය කළ යුතුය.

නාථ දෙවියන් ද ගිරා සන්දේශය බාරගත් දෙවියෙකි. ඒ ශ්‍රී රාහුල හිමිපාණන් අතිනි. තිසර, පරෙවි හා කොවුල් සන්දේශයේ ද නාථ දෙවියන් ඉහළින් වර්ණනා කොට ඇත. පරෙවි සන්දේශය කළ ශ්‍රී රාහුළ මාහිමියන් නාථ දෙවියන් වර්ණනා කරන්නේ මෙසේය.

08.දිවයුරු සිය නාථ දෙවි හිමිදුන් නැමද

දිවයුරු මගට වැද යාගන් මිතුරු සඳ

දැදිගම පුරය දක්‌වා සන්දේශයක්‌ රැගෙන යන තිසරා ලවා ‘දොරවක’ විහාරයේ වැඩ වසන නාථ දෙවියන් වන්දනා කරවන්නේ රසවත් දශපද හෑල්ලකිනි. යාපා පටුන දක්‌වා දින දහතුනක දීර්ඝ චාරිකාවක යෙදෙන කොවුලා ද තොටගමු වෙහෙරේ වැඩ වසන නාථ දෙවියන්ට නමස්‌කාර කිරීමට අමතක නොකරති. තිසර සන්දේශකරුවා දොරවක විහාරයේ ඇති තාරා දෙවි රුවට ද නමස්‌කාර කරවයි.

129.”තාරා බිසව් තොද නැමද යාගන් එයින් නොලසී”

ඊට අමතරව යාපා පටුනට ආසන්න ජාවක කෝට්‌ටේ වනගත ගමකදී විලක්‌ අසල දේවාලයක වැඩ වසන නාථ දෙවියන් නැවත වරක්‌ නමැදීමට ද කොවුලාට සිදුවෙයි. අවලෝකිතේශ්වර නාථ නමින් මහායානයේ හැඳින්වෙන මේ බෝධිසත්වයන් එවක හැම පළාතකම පූජාලත් දෙවියෙක්‌ ලෙසින් බුහුමන් ලැබූ අන්දම පැහැදිලිය.

239.විපුල ගුණැති නතිසුරු දකිමින් වෙළෙහි

සසල නොවී නමදුව සතොස කරලෙහි

(කෝකිල සදෙස)

උපුල්වන්, විබිසන, නාථ යන දෙවිවරු ශ්‍රී ලාංකික දෙවිවරුන් වශයෙන් පූජා ලැබූහ. මොවුහු හින්දු දෙවිවරු නොවූහ. ඉසුරු, මහසෙන්, ගනිදු, රමිදු හා කාලි දෙවොල් ගැන ද සන්දේශ කාව්‍යවල සඳහන් ය. පරෙවි සන්දේශයේ පානදුරත් පොතුපිටියත්Êඅතර වූ සුදර්ශන දේවාලයක්‌ ගැන කියෑවේ.

55.තද තෙද පැවැති යුගතග විලසින් නිබඳ

සඳ නඳ කරන විලසින් මද රදගෙ බඳ

බඳ අදරින් වැඩ සිදුවන ලෙස ලො බඳ

යෑද සුදුසුන් දෙවිඳුද යා ගත් සබඳ

(පරෙවි සන්දේශ විවරණය – කුමාරතුංග මුනිදාස)

මෙහි සඳහන් සුදර්ශන දෙවියා ඊශ්වර දෙවියාය. දැදිගම දක්‌වා ගමන් කරන තිසරාද මෙම දෙවියන්ට නමැද ගමන සිදුÊකරන බව පෙනේ.

85.නෙකාලයේ ඇසිරි කළ නො වැස්‌සන

උදාලයේ කුළු දී තොස සලස්‌ සන

ලොපැලයේ බද සිතු නොපසු බස්‌සන

දේවාලයේ ඉඳ යාගන් සුදස්‌සන

(තිසර සන්දේශය – ආචාර්ය කුලතිලක කුමාරසිංහ)

සැලළිහිණි සන්දේශය රචනා කළ රහල් හිමියන් දුටු කෝට්‌ටේ නගරයේ තුබූ ඉසුරු කෝවිල කලුවැල් හා කපුරු දුම් වලින් සුවඳ ගැන්වී ඇත. ඒ තුළ දද පෙළ ලෙලදේ. සක්‌ මිණි හා මිහිඟු බෙර හැඬ වේ. දෙමළ තුති ගී ගැයේ. මෙය ඉතා සරල එහෙත් විචිත්‍ර වූ වැනුමෙකි.

21.කළුවැල් කපුරු දුමැ තුළ ලෙළෙන දළ පෙළ

සුවිසල් මිහිඟු සිත් සන් මිණි හඬ වතල

කැරැලොල් සතන් පවසන තියූ ගී දෙමළ

මනකල් ඉසුරු කෝවිල ලගිනේ ළකල

(සැලළිහිණි විවරණය – කුමාරතුංග මුණිදාස)

ජයවර්ධනපුරයේ පිහිටි සුප්‍රසිද්ධ ‘මහසෙන් දෙවොල’ පරවි, කෝකිල සහ සැලළිහිණි යන සන්දේශ රචකයෝ ඉතා භක්‌තියෙන් යුතුව වනති. මහසෙන් යනුවෙන් කතරගම ස්‌කන්ධ කුමාර දෙවියන් මෙන්ම, මහාසේන නම් හෙළ දෙවියෙක්‌ ද හැඳින්වෙන බව මහා සිංහල ශබ්දකෝෂයේ දැක්‌වෙයි. (ආචාර්ය හරිස්‌චJද්‍ර විඡේතුංග)

134.රඳනා පසිඳු මහසෙන් දෙව් රද පායා

බැතිනා සපිරි මහසෙන් දෙව් පිනි පායා

(කොවුල් සඳෙස්‌ විවරණය – අලවු ඉසි සැබිහෙල)

මේ මහසෙන් දෙවි කතරගම දෙවියන්ම බව නිවැරැදිව වටහා ගැනීමේ ඉඟි රහල් හිමියන්ගේ නිර්මාණවල සැඟව ඇත.

45.දිත් රද පිනිස සුර පියුමැයි නමැති මොල

ගත් සිය අතින් කොතිනැන මෙර සිදුරු කළ

ගත් තෙද රැසෙව් මහසෙන් දෙව් රුදු නුදුල

සිත් සතොසින් නමදුව දෙනුම මනදොස

(පරෙවි සන්දේශ විවරණය – කුමාරතුංග මුනිදාස)

ශූර පද්ම නමැති අසුරයාට ඇනීමට ගත් කුන්තයෙන් මහ මෙර සිදුරු කළ තෙද බලැති “මහසෙන් දෙවොලේ” සැවුල් දද බැඳ තිබූ බවක්‌ රහල් හිමියෝ සැලළිහිණි සන්දේශයේ සඳහන් කරති. එසේ නම් මේ මහසෙන් දෙවොල කතරගම දේවාලයම බව හඳුනාගත හැකිය.

25.ගනේ මිණි බැබළි තිරනෙව් සතපාය

රනේ යටඟ සැවුළිඳු දද ගලපාය

අනේ ලකර කළ අවි පුර නරපාය

පෙනේ දකුණ මහසෙන් දෙව්රද පාය

(සැලළිහිණි විවරණය – කුමරතුංග මුනිදාස)

තිසර, පරෙවි සහ කෝකිල සන්දේශවල ස්‌ථාන කීපයකම තිබූ ගණදෙවි කෝවිල් පිළිබඳව වර්ණනා කෙරේ. දෙවිනුවර නගරයේ තිබූ ප්‍රසිද්ධ ගණදෙවි කෝවිල පිළිබඳව පරවියෙත් කෝකිලයෙත් පෙර රචිත තිසරයේත් පැහැදිලි තොරතුරු අඩංගු වී ඇත. මේ ගණදෙවි කෝවිල තිබුණේ වැල්ලේමඩම ප්‍රදේශයේ බව තිසර සන්දේශයේ සඳහන් කරයි.

28.නොමසිට නෙරුළු තුරු සෙවනැල්ලේ වැඩම

කෙරෙමින් ගනිඳු දැක යව වැල්ලේ මඩම

(තිසර සන්දේශය – ආචාර්ය කුලතිලක කුමාරසිංහ)

රාමචJද්‍ර නම් වෛශ්‍ය ප්‍රධානියාගේ නාමයෙන් ප්‍රසිද්ධ වූ ගණ දෙවි කෝවිලෙහි දෙමළ ගී ගයමින් බෙර වාදනය කරන අන්දම පරෙවි කවියා රසවත්ව කවියට නගා ඇත.

145.පසිදු රාම සුන්දර වෙසිඳුගේ නමින

ගනිඳු විමන අලුයම පෙර ගන තොසින

පුබුදු දෙමළ කවි මයුරන් සන්තොසින

සිනිදු කොකා නදවන් තියු ගී කියන

(පරෙවි සන්දේශය – කුමාරතුංග මුනිදාස)

කලුවැල් හා කපුරු දල්වා විශාල මහිඟු බෙර සමඟÊසින්නම් වයමින් ගණ දෙවියන් සඳහා පුද පූජා පවත්වන කෝවිලක්‌ කළුතර ප්‍රදේශයේ තිබූ බව කෝකිල සන්දේශයේ සඳහන් වෙයි.

101.කලුවැල් කපුරු දුමිනිඳු සිරිනි රන්වැට

සුවිසල් මිහිඟු සක්‌ සන් නදිනි හැම විට

මනකල් විලස පවතින පුද නිසි ලෙසට

පැහැදුල් ගනිඳු කෝවිල දැක යන් නොසිට

(කෝකිල සන්දේශය – අලවු ඉසි සැබිහෙළ)

පරෙවි සන්දේශයේ කාලි දෙවඟන සඳහා වෙන් වූ කෝවිලක්‌ පිළිබඳව තොරතුරු හෙළිවෙයි. ඒ බේරුවලත් බෙන්තොටත් අතරය.

“බෙන්තොටි නෙතෙර සැතපෙව කාලි කෝවිල” ලෙසින් පරවි සන්දේශයේ 72 වන කවියෙන් කියෑවෙයි. කාලි වරදට දඬුවම් ලබා දෙන ප්‍රචණ්‌ඩ දෙවඟනක්‌ මෙන් ප්‍රසිද්ධය. යම් යම් වැරදි සඳහා පළිගැසීම් බඳු දේවල්වලට යැමට රටවැසියා පුරුදුව සිටියා විය හැකිය.

මාතර නගරයේ තිබූ නාග කෝවිලක්‌ පිළිබඳව තිසර සන්දේශයේත් පරෙවි සන්දේශයේත් සඳහන් වෙයි. කැලණියේ සිටි මනහර නා මෙනවියන් පිළිබඳ කෝට්‌ටේ රාජ්‍ය සමයේ සිටි රහල් හිමියෝ පවා තොරතුරු වදාරති. “සොබන නාග කෝවිල දකු මිතුර තොස” යනුවෙන් කෝකිල සන්දේශ රචකයා 44 වැනි කවියේ සිව්වන පදය සම්පූර්ණ කරයි.

133.සැක මත් කරන නාගෙන යෑයි රුවිනුදුල

මුක රන් පියුම තුළ අඟනන්ගේ මනකල

සකවන් බමර මෙහෙයා රැඳි සලෙළු කුල

දැක යන් මිතුර පෙර මගැ නාග කෝවිල

(පරෙවි සන්දේශය – කුමාරතුංග මුනිදාස)

රූමත් කතුන්ද සලෙළු ජනයා ද නාග කෝවිලේ නිතර ගැවැසුන බවමේ කවියෙන් හෙළිවෙයි. ඉන් පැහැදිලි වන්නේ මාතර නාග කෝවිල නිතර ජනාකීර්ණව පැවති බවයි. නාග වන්දනාව කෙබඳු එකක්‌ ද? කෝවිලේ ස්‌වභාවය කෙසේද? ආදී කරුණු තවමත් විසඳී නොමැති ගැටලු බවට පත්වෙයි. මොහොන්ජොදාරෝ ශිෂ්ටාචාරයේ සිට වර්තමානය දක්‌වා ම ඉන්දියාවේ නම් නාග වන්දනාව තවමත් සිදුවන බවට තොරතුරු වාර්තා වෙයි. මේ යුගයේ මේ ප්‍රදේශයේ නාග වන්දනාව කුමන හෝ ඓතිහාසික හේතුවක්‌ මත ඇති වුවා විය හැකිය.

“නා විමන”, “නායිම්බල”, “නාඔටුන්න” ආදී ග්‍රාම නාම මේ ප්‍රදේශයේ තවමත් විද්‍යමානය. විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්‌ වන නාගයා වන්දනා කිරීම විෂ්ණු පූජාවක්‌ ලෙස සිතා නාග කෝවිල් තැනුවා දැයි සොයා බැලිය යුතුය. “නාග” යන පදය ගෞරව නාමයක්‌ ලෙස බුදුන් වහන්සේට පවා යොදා ඇත.

“යාපා පටුන” නගරයේ ඇති “රමිදු” කෝවිලක්‌ ගැන කෝකිල සන්දේශයේ සඳහන් වෙයි. පුරාණයේ රාවණා සමඟ යුද පිණිස මහ සෙනඟ ගෙන ඒමට පාලම තනන අවස්‌ථාවේ මුහුදේ බැස සිටීම නිසා සමුදුර පැහැගත් “රමිඳු” සුරනිදු පිළිබඳව සන්දේශ කාව්‍යවල සඳහන් වන එකම අවස්‌ථාව මෙයයි.

225.මහසෙන් ගෙනෙන ලෙස දසගිවු යුදට පෙර

දිරියෙන් මහත් හෙය බඳනා වරැ පවර

රැඳිමෙන් සයුරු පැහැ තෙවුනා ගත නිතොර

සොබමන් රවිඳු සුරනිඳු බබලයි එපුර

“රවිඳු” යනු විෂ්ණු දෙවියන්මය. එහෙත් ඉන්දියාවේ රාම දෙවොල් හා විෂ්ණු දෙවොල් වෙන් වෙන්ව පවතී. යාපා පටුන නගරයේ මෙය තිබීමෙන් එදා රාම දෙවොල් තනා පුද පූජා කළා විය හැකිය.

“පුන්නාල” නම් දෙවියන් පිළිබඳව ද කෝකිල සන්දේශයේ කියෑවෙයි. මේ දෙවියන් ද යාපා පටුනේ පුද ලද කෙනෙකි.

256.අනත සැපත රැඳි එනුවර රත්නාල

නිබඳ රඳන්නෙය දෙවුරද පුන්නාල

(කොවුල් සදෙස්‌ විවරණය – අලවු ඉසි සැබිහෙළ)

මේ දෙවියන් ගැන කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. “පුල්ලෙයාර්” යනු “ගනිඳු” ට තවත් නමෙකි. පුල්ලෙයාර් “පුන්නාල” ලෙසින් සිංහල බසට හැරවූවා යෑයි සොයා බැලිය යුතුය.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය පොළොන්නරුවේ කාශ්‍ය​ප හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන්බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0718284753  අ​ංකයට වට්ස්අප් කිරීමට කාරැණික වන්න.