කුරුණෑගල්පුර යුගයේ සිංහල සාහිත්‍යය සිංහල බෝධිවංශය කරුණෑගල්පුර යුගය නියෝජනය කරයි. එහෙයින් එම යුගයේ සාහිත්‍යය පසුබිම පිළිබඳ මදක් විමසා බැලීම වැදගත් වේ. සිංහල සාහිත්‍ය නියෝජනය කරන පන්සියපනස් ජාතක පොත, දළදා සිරිත, දළදා පූජාවලිය, අනාගතවංශය, ථූපවංශය වැනි ගද්‍ය පොත් කිහිපයක් ම මෙම යුගයේ දී රචනා විය. චන්දකින්නර ජාතකය වස්තුවිෂය කොටගත් සඳකිදුරු දා කව ද මෙම යුගයේ දී රචනා වූවක් බව අයෙක් පවසති. අවුරුදු 54ක් පැවති කුරුණෑගල්පුර යුගය නිරවුල්, සමෘද්ධ කාලයක් නොවීය. ගිරිදුර්ග, වනදුර්ග ගහන වූ මෙම රාජධානියෙහි දෙවන බුවනෙකබාහු , සතරවන පරාක්‍රමබාහු, (ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු ලෙසින් හඳුන්වන්නේ ද මෙතුමා ම ය) තුන්වන බුවනෙකබාහු, පස්වන විජයබාහු යන රජවරු සිංහාසනාරූඪ වූහ. ‘බෝධි‘ යන වචනය ශ්‍රී සුමංගල සිංහල – සිංහලාර්ථ ශබ්දකෝෂය ‘බෝධි’ යන වචනයට පහත සඳහන් අදහස් පහ ලබා දී ඇත.
1. අවබෝධ කරණ හෝ අවබෝධයට ඉවහල් වන ඥානය (මාර්ග ඥානය)
2. සර්වඥතා ඥානය
3. අවබෝධ කරණ පුද්ගලයා
4. අවබෝධ කරණු ලබන නිවණ
5. අවබෝධයට ආධාර වූ වෘක්ෂය අභිධානප්පදීපිකාව ද ඊට සමාන අර්ථ දක්වයි. ඒ මෙසේ ය.
බොධි සබ්බඤ්ඤුත ඤාණෙරියමග්ගේ (ච නාරියං) පඤ්ඤත්තියං (පුමෙ) සත්ථ – රුක්ඛම්හි (පුරිසිත්ථියං) පාලි බෝධිවංසයෙහි ‘බෝධි’ යන්න විග්රහ කර ඇත්තේ මෙසේ ය. ”බෝධි වුච්චති චතුසු මග්ගෙසු ඤාණං. තං තං බොධි භගවා එත්ථ පත්තොති රුක්ඛොපි බොධිෙත්ථව නාමං ලභි”
(සෝවාන් , සකෘදාගාමි, අනාගාමි, අරහත් යන සතර මාර්ගය විෂයෙහි පවත්නා නුවණ ‘බෝධි’ නම් වෙයි. බුදුරජාණන් වහන්සේ යම් වෘක්ෂයක සෙවනෙහි වැඩ හිඳ ඒ සිවුමග නුවණ ලබාගත් සේක් ද ඒ වෘක්ෂයට ද අභේදෝපචාර (එක් වස්තුවක් යම් කිසි හේතූන් නිසා අනික් වස්තුවකට ලං කොට ඒ දෙක නොවෙනස් සේ සැලකීම) වශයෙන් ‘බෝධි’ යැයි කියනු ලැබේ) ‘බෝධි’ යන්න බුධ් (සංස්කෘත) (දැකීමෙහි) බුධ (පාළි) (බොධනෙ) ධාතුවෙන් තැනෙන භාව කෘදන්තයක් ලෙස ව්‍යාකරණානුකූලව විග්රහ කළ හැකි ය. ප්රාග් බෞද්ධ යුගයේ පටන් ‘බෝධි’ යන වචනය භාවිත වී ඇත. සෘග් වේදයේ පස්වන මණ්ඩලයේ හැත්තෑ පස්වන සූක්තයේත් අටවන මණ්ඩලයේ අසූ දෙවන සූක්තයේත් ‘බෝධින් මනස්’ යන්න භාවිත කොට ඇත්තේ ‘අවදි වූ මනසක් ඇත්තා’ යන අදහසිනි. අශ්වත්ත, ඇසතු ,ඇසටු යන නම් වලින් හැඳින් වූ වෘක්ෂය මුල දී අප තථාගතයන් වහන්සේ ‘සම්බෝධියට’ පත් හෙයින් එම වෘක්ෂය ද බෝධි නමින් ප්‍රචලිත වී ඇත.
‘බෝධි’ යන වචනය වඩාත් ප්‍රචලිත වූයේ බෝ රුක නිසා ම බව පෙනේ. බෝධි සංස්කෘතිය ප්රාග් බෞද්ධ යුගයේ පටන් ම ඇසතු ගස පූජනීය වෘක්ෂයක් ලෙස සලකා ඇත. දෙව්දුවක විසින් අරක් ගත් ඇසතු වෘක්ෂයක් දැක්වෙන මුද්‍රාවක් ප්රාග් බෞද්ධ ඉන්දු නිම්න නටබුන්වලින් මතු කොට ගෙන ඇත. තත් ශිෂ්ටාචාරයෙහි සභ්‍යත්වය මෙයින් විදහා දැක්වෙන බව අවිවාදිත ය. දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා ස්ථවිරින් වහන්සේ විසින් සිරිලකට වැඩම වන ලද්දේ බුද්ධ වර්ෂ 236 (ක්‍රි.පූ.247) වැන්නේ උඳුවප් මස පුර පසළොස්වක දිනයේ ය. එය දෙවනපෑතිස් රජු දවස සිදු වූ බව ප්‍රසිද්ධ ය. ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් පාරිභෝගික චෛත්‍යය ලෙස වඩාත් ම ජනාදරයට පාත්‍ර වූයේ ශ්‍රී මහා බෝධිය යි. සිදුහත් කුමරු උපන් දවසේ ම දඹදිව ශ්‍රී මහා බෝධිය හටගත් බව පැවසේ. ලක්දිව ශ්‍රී මහා බෝධිය රෝපණය කරන ලද්දේ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන තුන් බුදුවරුන්ගේ බෝධි වෘක්ෂයන්හි දක්ෂිණ ශාඛාව පිහිට වූ ස්ථානයේ ම බව සමන්තපාසාදිකාව කියයි. විල්හෙල්ම් ගෛගර් මහතා පවසන්නේ ලක්දිව සිදු වූ බෝධි රෝපණ උත්සවය සාඤ්චි ස්ථූපයේ නැගෙනහිර තොරණ මුදුනෙහි හරස් අතට දිවෙන පුවරුවක කැටයම් වී ඇති බවයි. ‘දුමිඳු’ යනු බෝධින් වහන්සේට පර්යාය (සමානාර්ථවත්) වශයෙන් භාවිත කරන නමකි. ‘වෘක්ෂයනට අධිපති’ (දුම ඉඳු ළ දෘම ඉන්ද්‍ර) යන අදහස එහි ගැබ් වී ඇත.
සංඝමිත්තාගමනය හැඳින්වීම සඳහා ‘දුමින්දාගමනය’ යන්න භාවිත කරනුයේ ද එහෙයිනි. දුමින්දාගමනයත් සම`ග ලක්දිව සංස්කෘතිය ද පෝෂණය වූ බව නොරහසකි. ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීමත් සම`ග ම ලක්දිව ‘බෝධාහාර කුලය’ නමින් කුලයක් ද ‘අග්බෝ’ නමින් රාජ පරම්පරාවක් ද ඇතිවිය. බෝධීන් වහන්සේගේ මළපත් ඉවත් කිරීම, පැන් ගෙන ඒම, දිරාගිය අතු වැළලීම ආදිය බෝධාහාර කුලය විසින් සිදු කරන්නට ඇතැයි සිතිය හැකිය. බෝධියට ආවතේව කළවුන්ට ඉඩකඩම් හා ගම්බිම් වෙන්කොට දී ඇත. බෝධි ගුප්ත, බෝධි නායක ආදි වශයෙන් ඔවුන්ගේ පරම්පරාගත නම් භාවිත වන්නට විය. බෝධිගුප්ත කුමාරයාට ‘ජයමහලේනා’ යන තනතුර ලැබීමෙන් පැහැදිලි වන්නේ ලක්දිව රාජ කාර්යය විෂයෙහි නව තනතුරු නාමයන් ද බෝධ්යාගමනයත් සම`ග සකස් වූ බවයි. මෙවන් තනතුරු නාම රැුසක් ගැන සිංහල බෝධිවංශයේ දුමින්දාගමන කථාවේ සඳහන් වේ.
ශ්‍රී මහා බෝධිය වැඩම වීමත් සම`ග කුල දහඅටක පැමිණීමත් සිදු වූ බව මහාවංසය පවසයි. මෙම කුලයන්ගේ පැමිණීම නිසා විවිධ කර්මාන්ත රාශියක් සිරිලක ප්රචාරයට පත් වූ බව පෙනේ. සාඤ්චි, භාරුත්, නාගාර්ජුනී කොණ්ඩ යන ස්ථානයන්හි ඇතැම් කැටයම්වල බෝධිවෘක්ෂය භාවිත කොට ඇත්තේ බුදුරදුන් සංකේතවත් කිරීම පිණිස ය. ලක්දිව කලාශිල්ප කෙරෙහි ද දුමින්දාගමනය බලපා ඇත. ආනන්ද කේ. කුමාරස්වාමි මහතා ‘මධ්‍ය කාලීන සිංහල කලා’ නමැති කෘතියේ දක්වන පරිදි බෝ කොළය යොදා විවිධ මෝස්තර සකස් කිරීමට ලක්දිව කලාකරුවා පුරුදු වී සිට ඇත. ‘බොධිඝර’ නමින් හඳුන්වන ගෘහ විශේෂය ද මෙහි දී සිහිපත් කළ යුතුය. ‘අනුරාධපුර යුගය’ නමැති කෘතියේ දැක්වෙන පරිදි බෝධිඝර නිර්මාණය කිරීම ක්‍රි.ව. 13 වැනි සියවස පමණ දක්වා ලක්වැසියන් විසින් සිදු කර ඇත. ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ බෝධිඝරයන් පිළිබඳ විස්තර මහාවංසයෙන් සොයාගත හැකි ය. බෝධීන් වහන්සේ උදෙසා පැවැත් වූ විවිධ පුදපූජා පිළිබඳ ව ද අසන්නට ලැබේ. මහනුවර යුගය වන විට යුක්තිය ඉෂ්ට කිරීමේ බලය ද බෝධීන් වහන්සේ සතුව පවතිනු ඇතැයි ඇතැම්හු විශ්වාස කළහ. ‘දිව්රුම් බෝධිය’ නමින් හැඳින් වූ දිව්රීම සඳහා භාවිත කළ බෝධි වෘක්ෂයන්ගෙන් ඒ බව මනාව පැහැදිලි වේ. අෂ්ට ඵලරුහ හා දෙතිස් ඵලරුහ බෝධි රෝපණයත් සම`ග බෝධි සංස්කෘතිය ලක්දිව පුරා වඩ වඩාත් පැතිර ගිය බව පෙනේ. ප්‍රසිද්ධ බෝ රුක්වල පත්‍ර එකතු කොට පූජාර්හ වස්තු ලෙස සලකා උස් තැනක තබා වැඳුම් පිදුම් කරන්නෝ විරල නොවෙති.
රනින් හෝ රිදියෙන් බෝපත් සකස් කොට මැණික් ඔබ්බවා ගෙලෙහි පළදින බෞද්ධයන් ද විශාල ප්රමාණයකි. මේ අනුව පැහැදිලි වන්නේ දිනෙන් දින බෝධිය ජනතාවට සමීප වෙමින් ඒ හරහා බෝධි සංස්කෘතියක් සකස් වූ ආකාරය යි. බෝධි සාහිත්‍යය ජාතක කථා වස්තුවිෂය කොටගෙන වෙසතුරුදා සන්නය, අටදා සන්නය, මුවදෙව්දාවත, සසදාවත, කව්සි`ඵමිණ, සඳකිඳුරු දා කව, කාව්‍යශේඛරය වැනි ග්රන්ථ විශාල ප්‍රමාණයක් රචනා විය. ජාතක සාහිත්‍යය ගණයෙහිලා ඒ සියල්ල ගිණිය හැක. දාඨාවංසය, දළදා සිරිත, දළදා පූජාවලිය ආදිය දළදා සාහිත්‍යය විෂයෙහි ලා ගිණිය හැකිය. එමෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කොටගෙන රචනා වූ සාහිත්‍යය ‘බෝධි සාහිත්‍යය’ ලෙස හැඳින්විය හැකි ය. ලක්දිව තරම් ප්‍රචුර ලෙස දඹදිව බෝධි වෘක්ෂය ව්‍යාප්ත නොවූ බව පෙනේ. නමුත් අශෝකාවදානය, දිව්‍යාවදානය, ලලිතවිස්තරය වැනි දඹදිව දී රචනා වූ ග්‍රන්ථවල බෝධීන් වහන්සේ පිළිබඳ තොරතුරු සඳහන් වේ. පාලි බෝධිවංසය ආරම්භයේ දී සිංහල බෝධිවංශයක් ගැන සඳහන් කර ඇත. වංසත්ථප්පකාසිනියෙහි ‘මහා බොධිවංස අට්ඨකථාවක්’ පිළිබඳ සඳහන් වේ. මේ ස්ථාන දෙකෙහි ම සඳහන් වන්නේ එකම ග්රන්ථයක් පිළිබඳ ව බව සිතිය හැකය.
අපගේ අවාසනාවකට මෙන් මෙකියන පුරාණ සිංහල බෝධිවංශය අද වන විට අභාවප්‍රාප්ත වී ඇත. අවශේෂව ඇත්තේ නාමය පමණකි. මෙය හෙළටුවා තරමට ම පැරණි විය හැකි බව පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා පවසයි. නිකාය සංග්රහයෙහි ද එ`ඵ බෝධිවංසයක් පිළිබඳ සඳහන් වේ. එය ද ඉහත කී පුරාණ සිංහල බෝධිවංශයම යැයි සිතීමට බාධාවක් නැත. ඉහත කී පුරාණ සිංහල බෝධිවංශයෙහි පරිවර්තනයක් ලෙස සැලකෙන පාලි බෝධිවංසය ක්‍රි.ව. 10 සියවසේ දී පමණ රචනා වූවක් බව පැවසේ. දාඨානාග නමැති තෙරනමකගේ ආරාධනයෙන් උපතිස්ස නමැති මහතෙරනමක් විසින් මෙය රචනා කරන ලද බව වැලිවිට සරණංකර හිමියෝ පවසති. මෙය ඉහත කී පුරාණ සිංහල බෝධිවංශයේ පරිවර්තනයක් බව පහත ගාථාවෙන් පැහැදිලි වේ.
දස්සයිස්සං මහා බෝධි- වංසං භාසාය සත්ථුනො පුබ්බේ සීහළ භාසාය – ඨිතං බුද්ධ ජනානුගො (පාලි බොධිවංසය)
පාලි බෝධිවංසයේ ගැටලූ තැන් නිරාකරණය කරමින් බෝධිවංශ ටීකාව නමින් ග්රන්ථයක් රචනා වී ඇත. මෙහි කර්තෘ අඥාත ය. ක්‍රි.ව.10 සියවසේ දී පමණ රචනා කරන්නට ඇතැයි සැලකෙන මහා බෝධිවංශ ග්රන්ථිපද විවරණය ද පාලි බෝධිවංසාගත ගැටපද පැහැදිලි කරමින් ලියන ලද්දකි. මෙය ඉතා ප්‍රශස්ථ ව්‍යාඛ්‍යාන ග්රන්ථයක් ලෙස පිළිගැනේ. ක්‍රි.ව. 12 සියවසේ අග භාගයේ හෝ 13 සියවසේ මුල භාගයේ රචනා කරන්නට ඇතැයි සැලකෙන ගුරු`ඵගෝමීන්ගේ ධර්මප්රදීපිකාව ද බෝධි සාහිත්‍යය නියෝජනය කරන පරිකථාවකි. පාලි බෝධිවංසාගත පද 205කට පරිකථා ලියන අයුරින් මෙය රචනා කොට ඇත. කුරුණෑගල්පුර යුගයේ දී ලියවුණු සිංහල බෝධිවංශය ද බෝධි සාහිත්‍යය නියෝජනය කරන තවත් ග්රන්ථයකි. විල්ගම්මුල යතීන්ද්‍රයන් වහන්සේ විසින් මෙය රචිත බව බෝධිවංශයේ ම සඳහන් වේ. කර්තෘ හා කාලය පිළිබඳ නිශ්චිත තොරතුරු සොයාගත නොහැකි චුල්ල බෝධිවංශය ද මෙහිලා ගිණිය හැකි ය. දඹදිව ශ්‍රී මහා බෝධිය, ලක්දිවට වැඩම කර වූ දක්ෂිණ ශාඛාව, අෂ්ඨ ඵලරුහ බෝධි, දෙතිස් ඵලරුහ බෝධි ආදිය පිළිබඳ තොරතුරු රැසක් මෙහි සඳහන් වේ. ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජු දවස වැලිවිට සරණංකර හිමියන් විසින් රචනා කරන ලද ‘මධුරාර්ථ ප්රකාශිනී’ නම් වූ බෝධිවංශ සන්නය ද බෝධි සාහිත්‍යයෙහි ලා ගත හැකි ය.
මෙය පාලි බෝධිවංසයට සන්න වශයෙන් ලියවුණකි. කතුවරයා සිංහල බෝධිවංශයෙහි ම සඳහන් වන පරිදි මෙහි කතුවරයා විල්ගම්මුල ස්ථවිර පාදයන් වහන්සේ බව පැහැදිළි වේ. ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල නමින් හැඳින්වෙන උන්වහන්සේ රාජගුරු ගලතුරුමුල මහා ස්වාමිපාදයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා ය. මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිළිබඳ කියවෙන අනාගත වංශය ද, සූර්ය ශතක සන්නය හෙවත් මයූර ශතක සන්නය ද විල්ගම්මුල තෙරිඳුන් විසින් රචනා කරන ලද බව පිළිගැනේ. ඇතැමෙක් පවසන්නේ සඳකිඳුරුදාකව ද උන්වහන්සේගේ රචනයක් බවයි. මුන්වහන්සේගේ නම කොට්ටන්ගෙ ගිරිලිපි දෙකෙහි ම සඳහන් වේ. දෙවන ලෝකේශ්වර විසින් ඒවා පිහිටුවන ලද බව පැවසේ. ‘සාහිත්‍ය විල්ගම්මුල’ නමින් නිකාය සංග්රහයෙහි සඳහන් වන්නේ ද මුන්වහන්සේ ය. නිමිත්ත බෝධිවංශය රචනා කිරීමට නිමිත්ත හෙවත් හේතුව වී ඇත්තේ ආරාධනයකි. දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු නමින් ද හැඳින්වෙන කුරුණෑගල සිව්වැනි පැරකුම්බා රජු විසින් කරන ලද ආරාධනයකට අනුව සිංහල බෝධිවංශය රචනා කරන ලද බව ග්‍රන්ථයේ දෙපලක ම සඳහන් වේ. ග්‍රන්ථාරම්භයෙහි එය සඳහන් වන්නේ මෙසේ ය.
”උතුම් බෝධිසත්ව චරිත ඇති ද්වීප චක්‍රවර්ති වූ දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු මහරජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් මගධ භාෂාවෙන් ආකෝවිද වූ සත්ත්වයන් හට වැඩ සඳහා මේ බෝධිවංශය ස්වභාෂාවෙන් වර්ණනා කරමි” ග්රන්ථාවසානයෙහි එය මෙසේ සඳහන් වේ. ”………
ද්විතීය පණ්ඩිත පරාක්‍රමබාහු මහා රාජෝත්තම තෙම, භවිෂ්‍යත් කාලයෙහි ශ්‍රද්ධාබුද්ධි සම්පන්න ධර්මදේශකයන් බහුල නොවන හෙයින් ධර්ම ශ්‍රවණයෙහි තත්පර වූ ශ්රෝතෘ ජනයා මඳ සේ දැකැ, ශ්රවණරමණීය වූ බොධිවංශ කථාව මාගධික භාෂායෙන් තුබුවා ස්වභාෂායෙන් ලියැවූයෙම් වීම් නම් සාධු ජනයෝ සැප සේ අසා ස්වර්ග මෝක්ෂ සම්පත්ති සාධනය කෙරෙති’ යන මහා කරුණායෙන් සඤ්චෝදිත හෘදය ඇති වැ …….. මූල භාෂායෙන් ප්‍රවෘත්ත වූ බෝධිවංශාභිධාන ප්‍රසිද්ධ ප්‍රබන්ධය ස්වභාෂායෙන් කළහොත් යෙහෙකැ’යි ආරාධනා කළේ යැ” මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී මහාබෝධියේ වංශකථාව ප්‍රකාශ කිරීම ම පරමාර්ථ කොටගෙන සිංහල බෝධිවංශය රචනා කර නොමැති බව යි.
ධර්මශ්රවනාභිලාෂීන් එකල විසුවත් ධර්ම කථිකයන් බහුල නොවී ය. එහෙයින් එම අඩුව පුරවාලනු වස් බෝධිවංශය බණ පොතක් කිරීමට වෙර දරා ඇති බව විචාරකයෝ පවසති. බෝධීන් වහන්සේ පිළිබඳ තොරතුරුවලට අමතර බාහිර තොරතුරු රැුසක් මෙහි දී අපට හමු වේ. බුද්ධචරිතයත්, ශාසන වංශකථාවත් ඇතුළත් කිරීමෙන් බෝධිවංශ කතුවරයා අපේක්ෂා කළේ ඉතිහාසය බණක් බවට පත් කොට ‘දේශනාමය’ කුශල කර්මය රැස්කරගන්නට බව විචාරකයෝ වැඩි දුරටත් පවසති. බෝධිවංශ කතුවරයා දක්වන පහත සඳහනින් ද එය ස්ඵුට වේ.
”මහා බෝධිවංශය කරන්නා වූ මා විසින් යම් කුශල කර්මයක් රැුස්කරන ලද ද, ඒ කුශල කර්මයෙන් ……… මම වනාහි උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණ නිරුත්තර වූ ධර්මදේශනා කොට සියලූ සත්වයන් සංසාර බන්ධනයෙන් මුදම්වා.”
අන්තර්ගතය හා ඓතිහාසික වැදගත්කම ඒ ඒ පරිච්ඡේදයෙහි අන්තර්ගතය පිළිබඳ විමසා බලන කල්හි මෙහි ඇති ඓතිහාසික වටිනාකම ද මනාව පැහැදිලි වේ. පාලි බෝධිවංසය මෙන්ම සිංහල බෝධිවංශය ද ප්‍රශ්න පහකට පිළිතුරු සපයන ආකාරයෙන් රචනා කර ඇත. විල්ගම්මුල හිමියෝ ග්‍රන්ථය ආරම්භයේ දී ම එම ප්‍රශ්න පහ මෙසේ දක්වා ඇත.
1. කවර අර්ථයෙකින් බෝධි නම්වේ ද?
2. කවර කෙනෙකුගේ බෝධියෙක් ද?
3. කුමක් සිද්ධ කෙරේ ද?
4. කවරක්හු විසින් ස්තුති කරන ලද්දේ ද?
5. කොතැන්හි පිහිටියේ ද?
මෙම ප්‍රශ්න පහ විසඳීම සඳහා සිංහල බෝධිවංශකරු පරිච්ඡේද දොළහක් භාවිත කර ඇත.
1. අභිසම්බෝධි කථා
2. ආනන්ද බෝධි කථා
3. දසබල පරිනිර්වාණ කථා
4. ප්‍රථම සංගීති කථා
5. ද්විතීය සංගීති කථා
6. තෘතීය සංගීත කථා
7. ලංකාවතරණ කථා
8. නගර ප්‍රවේශ කථා
9. මහාවිහාර ප්‍රතිග්‍රහණ කථා
10. චේතියගිරි විහාර ප්‍රතිග්‍රහණ කථා
11. ධාත්වාගමන කථා
12. දුමින්දාගමන කථා
මෙම එක් එක් පරිච්ඡේදයක අන්තර්ගතය අපි දැන් විමසා බලමු. අභිසම්බෝධි කථා අප මහ බෝසතුන් සුමේධ තාපසව උපන් අවස්ථාවේ පටන් චරිත කතාව ද, බුද්ධත්වය ලබාගත් අවස්ථාව දක්වා සිදුහත් බෝසත් සිරිත ද අභිසම්බෝධි කථාවේ ඇතුළත් වේ. සුමේධ බෝසත් තුමා තමා සතු ධනය දන්දීමට සූදානම් වූ අවස්ථාව අභිසම්බෝධි කථාවේ මෙසේ දක්වා ඇත.
‘‘ ඒ සුමේධ කුමාර තෙම දෙමාපියනට කළ මනා උපස්ථාන කොට ඉක්බිති අයකැමි අමාත්‍යයන් විසින් භාණ්ඩාගාරිකයන් ලවා හරවන ලද දොර ඇති නොයෙක් රත්න ගර්භ සහශ්‍රයන් දැකැ…… ’’
ආනන්ද බෝධි කථා සත්සතිය, බ්රහ්මාරාධනාව, ඉසිපතනයට වැඩම කිරීම, ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, ජටිල දමනය, කිඹුල්වත් පුරයට වැඩම වීම, යශෝදරාවන් හමුවීම, අනේපි`ඩු සිටුතුමා සෝවාන් වීම, යමාමහ පෙළහර පෑම, අභිධර්මය දේශනා කිරීම, ආනන්ද බෝධිය රෝපණය කිරීම, ආනන්ද ස්තුතිය ආදි කරුණු මෙයට ඇතුළත් වේ. ආනන්ද හිමියන් විසින් ජේතවනාරාම භූමියෙහි බෝ පැළයක් රෝපණය කිරීමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලූ අවස්ථාව මෙහි මෙසේ දැක් වේ.
‘‘ එවේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ ස්වාමීනි ! නුඹ වහන්සේ සැරිසරා වැඩි කල්හි මේ ජේතවන විහාරය කුසල් කැමැති සත්වයනට පිළිසරණ නොවෙයි. මනුෂ්‍යයෝ පිදිය යුතු ස්ථානයක් නොලබති. එසේ හෙයින් ශ්‍රී මහා බෝධියෙන් බිජුවටක් ගෙනවුත් ජේතවන දොරටුව සමීපයෙහි රෝපණය කරවම්ද ස්වාමීනි? යි විචාළ සේක.’’
දසබල පරිනිර්වාණ කථා මෙහි දී දකුණු ශ්‍රී මහා බෝධි ශාඛාව පිළිබඳ විස්තර කිරීම ආරම්භ කරයි. අභ්‍යන්තර ප්‍රශ්න පහක් මෙහි දී විසඳා ඇත. ඒවා මෙසේ ය. ඒ දක්ෂිණ මහා ශාඛාව කවරක්හු විසින් ගන්නා ලද්දේ ද? කවරක්හු විසින් ගෙන එන ලද්දේ ද? කවරක්හු විසින් පිහිටුවන ලද්දේ ද? කවරක්හු විසින් පුදන ලද්දේ ද? කවරක්හු විසින් රක්ෂා කරන ලද්දේ ද? මෙම ප්‍රශ්න පහට පිළිතුරු ලබා දෙමින් තොරතුරු ගෙනහැර දැක්වීම මෙහි දී සිදුවී ඇත. ඉහත දැක්වූ ප්‍රශ්න පහ සඳහා මෙහි ලබා දී ඇති පිළිතුරු පිළිවෙළින් මෙසේ දැක්විය හැකි ය. ධර්මාශෝක රජ්ජුරුවන් විසින් ගන්නා ලද්දේ ය. සංඝමිත්තා නම් මහාස්ථවීරීන් විසින් ගෙන එන ලද්දේ ය. දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් පිහිටුවන ලද්දේ ය. බුද්ධාදි මහෝත්තමයන් විසින් පුදන ලද්දේ ය. බෝධිගුප්තාදි වූ රාජ කුමාරවරුන් විසින් රක්ෂා කරන ලද්දේ ය.
බුදුරජුන්ගේ පරිනිර්වාණය දැක්වීමෙන් අනතුරුව මෙම පරිච්ඡේදය නිම වේ. මෙහි එන, බුදුරජුන්ගේ පරිනිර්වාණය හා සම්බන්ධ විස්තරයෙන් උදුරාගත් පාඨයක් මෙසේ දැක්විය හැකි ය.
‘‘කුසිනාරා නුවර සමීපයෙහි වූ මල්ය රජදරුවන්ගේ ශාලවනෝද්යානයෙහි සල් රුක් දෙකක් අතුරෙහි එක් සල් රුකකට පයලා එහි පනවන ලද ශ්‍රී යහන් මස්තකයේ සැතපී වෙසක් මස මැදි පොහෝ දවස් රාත්‍රියෙහි ……..’’
ප්‍රථම සංගීති කථා රජගහ නුවර වේභාර පර්වතයෙහි සප්තපර්ණී ගුහා ද්වාරයෙහි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙන්, බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගිය පසු, අජාසත් රජතුමාගේ අනුග්‍රහය යටතේ, හත් මසක් පුරා පවත්වන්නට යෙදුණු ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වේ. මෙහි ධර්ම සංගායනාව පවත්වන අවස්ථාව විස්තර කෙරෙන ස්ථානයෙන් උපුටා ගත් පාඨයක් මෙසේ ය.
‘‘ඉක්බිත්තෙන් ආයුෂ්මත් වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේගෙන් ධර්මය විචාරන සේක් ‘ඇවැත් වූ ආනන්ද ස්ථවිරයෙනි, බුදුරජාණන් වහන්සේ විසින් බ්‍රහ්මජාල සූත්‍රය කොහිදී වදාරණ ලද්දේදැ යි විචාළ සේක.’’
ද්විතීය සංගීති කථා වජ්ජි භික්ෂූන්ගේ දස වස්තුව ප්‍රතික්ෂේප කරමින්, බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පමණ පසුව, විශාලා මහනුවර වාලූකාරාමයේ දී, කාලාශෝක රජුගේ අනුග්‍රහය යටතේ, සබ්බකාමී මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුණු දෙවන ධර්ම සංගායනාව පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වේ. එයින් උදුරා ගත් වාසගම් ප්‍රදේශයක් මෙසේ දැක්විය හැකි ය.
‘‘මෙබඳු වූ දශ වස්තුවක් වජ්ජි පුත්‍රක භික්ෂූහු ප්‍රකාශ කෙරෙති යනු අසා ඒ යස මහ තෙරුන් වහන්සේ ‘යම් බඳු වූ මම සර්වඥයන් වහන්සේගේ ශාසන විපත්තිය අසා නිරුත්සාහ වැ වැද හුන්නෙම් වීනම් ඒ මට සුදුසු නොවන්නේයැ. එබැවින් මම අධර්මවාදීන්ට නිග්‍රහ කොට ධර්මය ප්‍රකාශ කෙරෙමි’යි සිතා ……..’’
තෘතීය සංගීති කථා ධර්මාශෝක රජුගේ චරිතකතාව, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ චරිතකතාව, මෝගගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේ මිසදිටුවන් සසුනෙන් නෙරපා සසුන පිරිසිදු කිරීම, ධර්මාශෝක රජු දවස මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයෙන් පැවති තෙවන ධර්ම සංගායනාව ආදි තොරතුරු තෘතීය සංගීති කථාවට ඇතුළත් වේ. අන්‍ය තීර්ථකයන් හැටදාහක් දෙනා බුදුසසුනෙන් නෙරපූ අයුරු මෙහි දී මෙසේ දක්වා ඇත.
‘‘ඉක්බිත්තෙන් ධර්මාශෝක රජ්ජුරුවෝ පළමු කොට මැ උගන්නා ලද සමය ඇති හෙයින් ‘මොහු භික්ෂූහු නොවෙති. මොහු අන්‍ය තීර්ථකයහ’ යි දැනැ, ඔවුනට සුදු පිළි දී හැටදාහක් තීර්ථකයන් සිවුරු හරවා…….’’
ලංකාවතරණ කථා විජයාවතරණය හෙවත් විජය කුමරු ලංකාවට ගොඩ බැසීම, ධර්මාශෝක රජු හා දේවානම්පියතිස්ස රජු අතර පැවති මිත්‍රත්වය, නවරට සසුන් පතුරුවා හැරීම, මහින්දාගමනය යන තොරතුරු ලංකාවතරණ කථාවට ඇතුළත්ව ඇත. එහි මහින්දාගමනය හා සම්බන්ධ තොරතුරු දක්වන ස්ථානයෙන් උදුරාගත් වාසගම් ප්‍රදේශයක් මෙසේ ය.
‘‘මිහිඳු මහ තෙරුන් වහන්සේ ද ‘තාම්රපර්ණි ද්වීපයට ගොස් එහි ශාසනය පිහිටුවවයි උපාධ්‍යායන් වහන්සේ විසිනුදු භික්ෂු සංඝයා විසිනුදු ආරාධනා කරන ලද සේක්. මම තාම්රපර්ණි ද්වීපයට යන්නට මේ කල් වේදො? නොවේ දෝ යි පරීක්ෂා කොටැ’’
නගර ප්‍රවේශ කථා දෙවනපෑතිස් රජු මුව දඩයමේ යාම, මිහිඳු හිමියන් හමුවීම, දෙදෙනා අතර ඇති වූ සාකච්ඡාව, මිහිඳු හිමියන් දහම් දෙසීම යන කරුණු මෙහි විස්තර වේ.
‘‘තවද ඒ මිහිඳු මහ තෙරුන් වහන්සේ මහරජ, තොපගේ නෑයෝ ඇද්දැයි විචාරා ස්වාමීනි, බොහෝ දෙන ඇතැයි කී කල්හි මහ රජ්ජුරුවෙනි, තොපගේ නොනෑයෝත් ඇද්දැයි විචාරා ස්වාමීනි නෑයනට වඩා නොනෑයෝ බොහෝ වේයැයි කී කල්හි ……’’
මහාවිහාර ප්‍රතිග්‍රහණ කථා මහමෙවුනා උයන සසුනට පිදීම, මිහිඳු හිමියන් එහි මල් පිදීම, භූමිය කම්පා වීම, පෙර බුදුවරයන් දවස ලංකාවේ සිදු වූ ශාසනික කටයුතු , ගෞතම බුදුහිමි ලක්දිවට වැඩම කළ අවස්ථා, රුවන්වැලි සෑයේ අසදෘශ ලක්ෂණ, සීමා බැඳීම, ලක්දිව ශාසනය පිහිටුවීම, ශාසනය අන්තර්ධාන වන ක්‍රම, මහාවිහාරය සසුනට පිදීම ආදිය මෙහි විස්තර වේ. එයින් උදුරා ගත් ගද්‍ය ඛණ්ඩයක් මෙසේ ය.
”ඒ දුටුගැමුණු මහරජ මෙතැන්හි අසදෘශ වූ රත්නමාලි චෛත්‍යය කරන්නේ යැ‘යි කියා රජ්ජුරුවන් පැහැද වූ සේකැ. එකල්හි රජ්ජුරුවෝ ඉදින් ස්වාමීනි, මාගේ මුනුබුරාණෝ කරවත් නම්, මා විසින් කරන ලද්දේමැ’යි කියා දොළොස් රියන් ගල් ටැඹක් ගෙන්වා ”දෙවනපෑතිස් රජ්ජුරුවන්ගේ මුනුබුරු වූ දුට්ඨගාමිණි අභය නම් රජ්ජුරු කෙනෙක් මේ ප්‍රදේශයෙහි ථූපයක් කරවති’යි අකුරු කොටවා එතැන්හි පිහිටුවූහ.”
චේතියගිරි විහාර ප්‍රතිග්‍රහණ කථා සෑගිරිය, මිහින්තලය යනුවෙන් ද හැඳින් වූ චේතිය ගිරියෙහි විහාරයක් කරවීම හා දෙවන පෑතිස් රජතුමාගේ බෑනණු වූ මහා අරිට්ඨ කුමරු සහෝදරයන් පනස්පස් දෙනෙකු සමග පැවිදි වීම මෙම පරිච්ඡේදයේ දී විස්තර කෙරේ.
‘‘….. එදවස් මැ රජජ්ජුරුවන්ගේ බෑනණු වූ මහා අරිට්ඨ නම් අමාත්‍ය පුත්‍ර තෙම රජ්ජුරුවන් අනුදක්වා පස්පනසක් පමණ වූ මල් බෑයන් හා සම`ග තෙරුන් වහන්සේ සමීපයෙහි මහණ වැ. ආර්ය මාර්ග නමැති පොකුණෙහි ගැලී මාර්ගඥාන නමැති ජලයෙන් කෙලෙස් නමැති මල සෝදා …….’’
ධාත්වාගමන කථා මිහිඳු හිමියන්ගේ මෙහෙයවීමෙන්, සුමන සාමණේරයන් වහන්සේ විසින්, ධර්මාශෝක රජතුමාගෙන් සහ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් සර්වඥ ධාතූන් ලබාගෙන පෙරලා ලක්දිවට පැමිණීම, ඒ ධාතූන් වහන්සේලාට පූජා පැවැත්වීම, දකුණු අකු ධාතුව ථූපාරාම දාගැබෙහි පිහිටුවීම හා ප්රාතිහාර්ය පෑම යන කරුණුු මෙහි විස්තර වේ. එයින් උදුරාගත් වාසගම් ප්‍රදේශයක් මෙසේ ය.
‘‘සුමනයෙනි, මෙසේ එවු. ජම්බුද්වීපයෙහි තොපගේ මුත්තණුවන් ධර්මාශෝක රජ්ජුරුවන් හා ශක්‍ර දේවේන්ද්‍රයා ද කරා ගොස් ධාතු ගෙනෙව’යි වදාළ සේක’’
දුමින්දාගමන කථා අරිට්ඨ නම් ඇමැතියා රාජ දූතයෙකු ලෙස ධර්මාශෝක රජතුමා වෙත යාම, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහ, ධර්මාශෝක රජුගේ බෝධි පූජාව, බෝධීන් වහන්සේ ප්රාතිහාර්යය පෑම, දහ අට කුලයක් සමග සංඝමිත්තා මෙහෙණිය ලක්දිවට වැඩම කිරීම, නාගයන්ගේ බෝධි පූජාව, දෙවනපෑතිස් රජුගේ පූජෝපහාර, ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කිරීම, ඵලරුහ බෝධි පිහිටුවීම, බුද්ධාදි උතුමන්ගේ බෝධි පූජා, බෝධි ආරක්ෂක පරපුර හා තනතුරු, අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි වීම ආදි තොරතුරු රැුසක් මෙහි ඇතුළත් වේ.
‘‘තමන්ගේ දූ වූ සංඝමිත්ත්රා නම් ස්ථවිරාව කැඳවා ආර්යයන් වහන්ස, දැන් මහා බෝධිය ගෙනැ ලක්දිවට ගිය මැනවැයි කියා විධුරින්ද නම් රාජ කුමරයන් කැඳවා ‘තෙපි සහ පිරිවරින් මහාබෝධීන් වහන්සේ ආරක්ෂා කරවයි කියා……..’’
සිංහල බෝධිවංශය මෙතකින් නිම වුවද පසුකාලීන කතුවරයෙකු විසින් ග්‍රන්ථය අගට එකතු කරන ලද කුඩා ගද්‍ය කොටසක් පෙනේ. මෙයින් කතුවරයාගේ පෙළපත පිළිබඳ කියවේ. ඉහත අප දැක්වූ තොරතුරුවලට අනුව පැහැදිළි වන්නේ ඉතිහාසය අධ්‍යනයෙහිලා මූලාශ්‍රයක් වශයෙන් බෝධිවංශය ඇසුරු කළ හැකි බවයි. භාෂා විලාසය පාලි බෝධිවංසයෙහි පරිවර්තනයක් ලෙස සිංහල බෝධිවංශය රචනා වූ බව අපි දනිමු. එහි දී පාලි පොතෙහි ආ භාෂාව හා රීතිය, රචනා උපක්‍රම, පද යෝජනා ක්‍රම ආදියෙහි බලපෑම සිංහල පොතට ද ලැබී ඇත. කතුවරයාම නිපදවාගත් රචනා උපක්‍රම, භාෂා ප්රයෝගාදිය ද මෙහි නැත්තේ ම නොවේ. සිංහල බෝධිවංශයෙහි භාවිත කොට ඇත්තේ තත්කාලීන ව්‍යවහාර බසට සමීප භාෂා ශෛලියකි.
අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය පොළොන්නරුවේ කාශ්‍යප හිමියන්ට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරමි. 😀 ඔබ සතුවත් මෙවන් වටිනා සටහන්බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0718284753 අංකයට වට්ස්අප් කිරීමට කාරැණික වන්න.
Leave A Comment
You must be logged in to post a comment.