ලිඛිත සිංහල භාෂාව සම්බන්ධයෙන් අද තෙක්ම සම්භාවිත ව පැවත එන ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසන් භාගයෙහි ලිය වී ඇති බැව් පිළිගැනීමයි. මෙම ග්‍රන්ථය දහතුන්වන සියවසට අයත් ය.(පේමානන්ද හිමි 2004:61) සිදත් සඟරාවේ කතුවරයා වශයෙන් පතිරාජදේව පරිවේණාධිපති වේදේහ ස්වාමීන්වහන්සේ  පැවසුව ද ඒ පිළිබදව කතිකාවත් ගොඩ නැගී ඇත.(තිලකරත්න 2003:15)මෙම කෘතිය සිංහල ව්‍යාකරණ අධ්‍යනය සඳහා එදා සිට අද දක්වා ම විශාල රුකුලක් වූ බව නොරහසකි. එයට හේතුව ලෙස සිංහල භාෂාව උගැන්ම වඩාත් පහසු වූයේ සිදත් සඟරාව බිහිවීමෙන් අනතුරු ව බව විමල් තිලකරත්න මහතා සිය ග්‍රන්ථයෙහි ප්‍රකාශකර තිබේ.

 විද්‍යා චක්‍රවර්තීහුගේ කාලයේදී සිංහල ග්‍රන්ථවල ජනප්‍රියත්වයක් දැකගන්නට හැකි විය. සිංහල ගද්‍ය කාව්‍ය සාමාන්‍ය ජනතාව උදෙසාම රචිත බවට කිව හැකි විපර්යාසයක් මෙම කාලයේදී සිදු වූ බව පූජාවලියෙන් හා සද්ධර්මරත්නාවලියෙන් ඔප්පු වෙයි. නමුත් කෝට්ටේ යුගයට එනවිට පද්‍ය කාව්‍ය සුලබ වූයේ සිදත් සඟරාව ඉගෙනීමෙන් බවත් එම නිසා බොහෝ ලෙස පැතිර ගිය පද්‍ය සාහිත්‍යක් එම යුගයේ දක්නට ලැබුණු බව කියවේ. (තිලකරත්න 2003:15)කිසිදු භාෂාවකට නොදෙවෙනි පරිදි සිංහල භාෂාවේ විවිධ විෂයන් පිළිබදව පොත්පත ලියවී ඇත.ලෝකයේ මෙතෙක් පහළ වී ඇති ගැඹුරු ම දහමක් වූ බුද්ධ ධර්මය  දේශනා කීරීමටත්, විසිවන සියවසේ පහළ වූ නවීන විද්‍යාව වැනි විෂයන් හැදෑරීමටත් ඒ පිළිබඳ පොතපත ලිවීමටත්,තවමත් සිංහල භාෂාව පොහොසත් වී ඇත.සිදත් සඟරාව සිංහලයේ කාව්‍යකරණයට පමණක් ලියවුණු ග්‍රන්ථයක් යැයි සිංහල උගත් ඇතැම් පඬිවරු තර්ක කළහ.  එහෙත් සිංහල භාෂාව මෙතෙක් දුරට මෙහෙයවීමට තිබුණු එකම ව්‍යවස්ථාව, නීතිපොත නැතහොත් ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාව බව අමතක කළ නොහැකි වේ. සියවස් ගණනාවකට පෙර ලිය වූ සිදත් සඟරාව සිංහල භාෂාවේ පැවැත්ම සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදුකර ඇත.සිදත් සඟරාව සිංහලයේ ව්‍යාකරණය සඳහා පමණක් නොව එය ජාතියක් ගොඩනැගීමෙහිලා පුරෝගාමී වූවකි.   (සුගතවංශ හිමි 1992:පෙරවදන)

මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ,

සිදත් සඟරාව සිංහල භාෂාව පිළිබඳ මුලික ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් නොව කවීන් සඳහාවන හෝ ආධුනිකයන් සඳහාවන රීති සංග්‍රහයක් බව  විමසීමටයි.

01.සිදත් සඟරාව මඟින් කවීන් ලැබූ පන්නරය.

 සිදත් සඟරාව අදියර/ අධිකාර දොළසකින් යුක්තය. එකොළොස්වන හා දොළොස්වන අදියර අනුපිළිවෙලින් ඉටු නිටු  ලකර අදියර වේ.මෙම අදියර දෙකේම අරමුණ වන්නේ පද්‍ය කාව්‍ය බන්ධනය සඳහා ප්‍රායෝගික උපදෙස් සැපයීම බව පෙනලබොඩ පේමානන්ද හිමි සිය ග්‍රන්ථයේ පැහැදිලිව දක්වා තිබේ.පළමුවන අදියරේ සිට දසවන අදියර තෙක් වූ කොටස් සිංහල ව්‍යාකරණ පිළිබඳ කරුණු දැක්වීමට කැප වී ඇත.  (පේමානන්ද හිමි 2004:62)

ඉති වියරණ දැනැ – කවිවර පදී බඳනා

ඉටු’ නිටු ගණඅකර ඈ – ලකුණු විමසා බඳනේ

                                             (මෛත්‍රිය හිමි 1994:32)

මෙලෙස ව්‍යාකරණ දැනගෙන පද්‍ය රචනා කරන්නා වූ කිවිවරයා ශුභ, අශුභ ගණ අක්ෂර ආදී ලක්ෂණ විමසා දැන කාව්‍ය රචනය කරන්නේ ය.                           (පේමානන්ද හිමි 2004:62)

ඉහත සඳහන අනුව පැහැදිලි වන්නේ සිදත් සඟරා කතුවරයාගේ අභිප්‍රාය වී ඇත්තේ කාව්‍ය රචනයට පිවිසීමට කැමති අය දැනගතයුතු ව්‍යාකරණ රීති පමණක් හඳුන්වා දීමටයි. එලෙස මූලික ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් රචනා නොකොට එය පද්‍ය රචනයට කැමති පිරිසට ගැළපෙන අයුරින් රචනාකර තිබීම දැකගත හැකි වේ.

පදී දුබා දුබා මැද        – සසඳ සඳ සමස් පස්

විබත් කරනු විඳදෝ  – නොරුසිත් රුසිත් විසිදත් 

                                               (මෛත්‍රිය හිමි 1994:33)

පද්‍යයක ද්වීභාග මධ්‍යයෙහි එනම් දෙවන පදය අග සහ තෙවන පදය මුල සංසන්දනයදනයවන සන්ධි,සමාස ,ප්‍රත්‍ය, විභක්ති යන මේවා සිදු කිරීම සෘෂීන්ගේ වචනය දක්නා වූ වියත්හු රිසි නොකෙරෙති.    (පේමානන්ද හිමි 2004:62)

කවීන් සඳහා ලියනලද ව්‍යාකරණ ග්‍රන්ථයක් වුවද මෙහි සෑම ව්‍යාකරණ අංගයක් ම රචනා වී නොමැත. ඒ අනුව තව දුරටත් විමසීමේදී පෙනීයන්නේ සිදත් කතුතුමා සිංහල කාව්‍ය භාෂාව පිළිබඳව අංග සම්පූර්ණ ව්‍යාකරණයක් ලිවීම වෙනුවට, සිංහල මවුබස කරගත් ආධුනික කවීන්ගේ අවධානය කැඳවිය යුතු තමන් සැලකූ ව්‍යාකරණ එක්තරා සංඛ්‍යාවක් පමණක් සිදතෙහි සංග්‍රහකර තිබෙන බවයි. එමනිසා ව්‍යාකරණ ග්‍රන්ථයකින් ඉටුවන කාර්ය අතර  ඉතා සීමිත කොටසක් සිදතෙහි පෙන්වා දී තිබෙන බව පැහැදිලි ය. සුගතපාල ද සිල්වා ප්‍රකාශ කරන ආකාරයට සිදත් සඟරාව ලියන ලද්දේ කවි බඳනා රිසියන්ට ඒ සඳහා වචන බඳිනු,වචන කඩනු, වචන දිගස්සනු ආදී නානාවිධ න්‍යාය ධර්ම පද්ධතියක් නීති වශයෙන් දක්වනු පිණිසය. (පේමානන්ද හිමි2003:63)ඉහත දැක්වූ තොරතුරු අනුව පැහැදිලිවන්නේ සිදත් සඟරාව කවර හෝ කලක භාෂාවේ භාවිත වූ ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් නොව,කවීන් සඳහා වූ රීති සංග්‍රහයක් වශයෙන් බව පැහැදිලිය. මීළඟට සාහිත්‍ය රචනයේ කලාව පිළිබඳ ව කැමැත්තක් දැක්වූ ආධුනිකයන්ට මෙම ග්‍රන්ථය සුදුසු වූයේ කෙසේදැයි විමසමු.

02.කවියට ආධුනිකයන්ගේ  අත් පොතක් වූ සිදත් සඟරාව.

මහඳ ගඳ කිළි කැරැ   – සව් නේ දෙවා දත් හට

දුහුනන් දැනුම් සඳහා – කරනෙම් සිදත් සඟරා

සිදතෙහි කතුවරයා ග්‍රන්ථ ආරම්භයේදී ම මෙලෙස දක්වා තිබේ.

“ආධුනිකයන්ගේ දැනුම සඳහා මම සිදත් සඟරාව කරමි.”(සිල්වා 1992:654)

සිදත් සඟරාව ව්‍යාකරණ ග්‍රන්ථයක් ලෙස ඇතැම් වියත්හු සැලකූහ. එම නිසා ග්‍රන්ථයේ දුහුනන් ලෙස පෙන්වා දී තිබෙන්නේ සිංහල භාෂාව පිළිබඳ ආධුනිකයන් බව සමහරෙක් වටහා ගත්හ. ඔවුහු සිදත් සඟරාව ලේඛන කලාව උගෙනීමට උපකාර නොවන බව ඉහත තර්කය මත පිහිටා විවේඡනය කරන්නට විය. නමුත් සිදතෙහි කතුවරයා දුහුනන් ලෙස පෙන්වා දී තිබෙන්නේ සිංහල භාෂාව පිළිබඳ ආධුනිකයන් නොව, පද්‍ය බන්ධනයෙහි ආධුනිකයන් ය.

සමහර අයට සිංහල භාෂාව ලිවීමට සහ කතා කිරීමට හැකිය. නමුත් දක්ෂ කවියෙකු නොවිය හැකිය. පේළි හතරක් ගැලපිය නොහැකි පණ්ඩිතයන් කොතෙකුත් අප අතර  සිටීද? එම නිසා සිදත් කතුවරයා පැහැදිලිව දක්වා තිබෙන්නේ දුහුනන් දැනුම ලෙස පද්‍යට ආධුනික වූවන් සඳහා බවයි. එම නිසා කතුවරයාගේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ගද්‍ය භාෂාවෙන් පද්‍ය භාෂාව වෙනස් වූ වැදගත් කරුණු හතරක් මූලිකකරගෙන ඉදිරිපත් කිරීමටයි. එම වෙනස්කම් නම්,හෝඩියේ සංකේත ප්‍රමාණයතාලයට යෝග්‍ය ලෙස වචන වෙනස් කිරීම  එම වචන ගොඩනැගීම (ඡන්දස්, එළිසමය)  ඇතැම් ව්‍යාකරණ ස්වදේශ කිහිපයකුත් වාක්‍ය වින්‍යාසය හැර සියලු වෙනස්කම් ප්‍රධාන මාතෘකා විස්සක් (20) යටතේ සංග්‍රහ කර ඇත.(සිල්වා 1992:665)එම වියරණ විධි විස්ස සිදත් සඟරාකරු මෙලෙස දක්වා තිබේ.

“එබැවින් සන් සඳ ලිඟු විභත් සමස් පියෙවි

පසකිරිය ලොපදෙස් ආගම් පෙරරූ දෙරූ පෙරැළි

අඩුවැඩි නිපා නියම් අනියම් අවිදුමන් විදි

වී විසි වැදෑරුම් වියරණ විදි සපයා ”

                                                                       (සිල්වා 1992:658)

මෙලෙස දක්වනලද වියරණ විස්සෙන් සිදත් සඟරා කතුවරයා පෙන්වා දීමට උත්සහා දරා ඇත්තේ ගද්‍ය භාෂාවෙන් පද්‍ය භාෂාවට භාෂාව ගොඩනැගීමේදී ව්‍යාකරණ උපකාරිවන ආකාරයට ය. වාග් විද්‍යාත්මක වර්ගීකරණයට අනුව මෙම විස්ස එකම ස්ථරයකට අයත් නොවේ.ඒ අනුව  ඉහත වියරණ විස්ස ප්‍රධාන අංශ හතරකට බෙදිය හැකිවේ.

01.ශබ්ද ශික්ෂා , ශබ්ද විද්‍යාව හා අක්ෂර විද්‍යාව

02.පද්‍යට උචිත වාග් විද්‍යාත්මක විකෘති කිරීමේ රීති

03.(අ) පද වර්ග

     (ආ)පද විද්‍යාව

     (ඇ)ව්‍යාකරණාත්මක බෙදීම් යනාදිය ඇතළත්        ව්‍යාකරණාමය විශ්ලේෂණය.

04.සමාස සාධනය

2.1 පද්‍යකරණයට උචිත හෝඩියක් 

සිදත් සඟරාවේ අක්ෂර මාලාව ගොඩනගා තිබෙන්නේ මේ ආකාරයටය.       

            “ පණකුරු පසෙක් එද

            ලුහුගුරු බෙයින් දසාවේ

            ගතකුරු ද වේ විස්සෙක්

            වහරට යුහු සියබසැ”

                                                                        (සිල්වා 1992:657)

දස පණකුරු

      අ, ආ, ඉ,ඊ, උ, ඌ, එ,ඒ,ඔ,ඕ

විසි ගතකුරු

     ක   ග    ජ

    ට    ඩ   ණ

     ත    ද    න

     ය    ර    ල    ව

     ස    හ    ළ    අං

තත්කාලීන ග්‍රන්ථ ලේඛනයට අවශ්‍ය මහප්‍රාණ , සංයුක්තාක්ෂර , ඌෂ්මාක්ෂර යනාදිය නොයෙදීම නිසා පද්‍ය සාහිත්‍ය විශේෂ විය. ඒ අනුව සිදතෙහි අක්ෂර මාලාව පද්‍ය සාහිත්‍යයේ භාෂාවට ඉඩ සැලසෙන අයුරින් ගොඩනගා තිබේ.

2.2 අනුස්වාරය වඤ්ජනයක් ලෙස සැලකීම.

සිදත් සඟරා වර්ණ මාලාවෙහි අනුස්වාරය යොදා තිබෙන්නේ ව්‍යංජන අක්ෂර සමග ය. එලෙස දක්වා තිබෙන්නේ අනුස්වාරයේ ඇතැම් නාසික්‍ය වඤ්ජනාක්ෂරයන් නියෝජනයවන බැවින් යයි සිතිය හැකි වේ.රඟ ‍, බඟහර වැනි වචනවලදී අනුස්වාරය උච්චාරණය වන්නේ ඌණ මාත්‍රික අක්ෂරයක් ලෙසය. රග, බගහර වචන ඉහත උච්චාරණ කාලයට වඩා අඩුය. මෙලෙස ඡන්දසට බලපෑමක් ඇති නොවෙන පරිදි එකිනෙකට ආදේශ වශයෙන් යෙදිය හැකිවන සේ පද්‍යකරණයට පහසු ලෙස අනුස්වාරය යොදා ගෙන ඇත.

2.3 නාසික්‍ය අක්ෂර භාවිතය.

සිදත් සඟරා කතුවරයා නිදසුන් පහකින් නාසික්‍ය අක්ෂර අර්ධානුනසික්‍ය බවට පත්වීම මාත්‍රා හානියක් ලෙස දක්වයි. එය සත්‍යකි. එහෙත්,

ජඞඝා       මාත්‍රා 4                –                දඟ      මාත්‍රා 2

ඛණ්ඩ       මාත්‍රා 3               –                සැඬ     මාත්‍රා 2

ඛන්ධ       මාත්‍රා 3                –                කඳ|      මාත්‍රා 2

බ්‍රහ්ම        මාත්‍රා 3               –                බඹ       මාත්‍රා 2

  (පඤ්ඤාසාර හිමි 2004:14)

ඉහත උදාහරණ මාත්‍රා අඩුවීමක් පෙන්වා දී තිබෙන්නේ සංස්කෘත හා පාලි තත්භව වශයෙන් සිංහලයට පැමිණීම නිසාය. මෙම සිදත් සඟරාව මූලික ව්‍යාකරණ ග්‍රන්ථයක් වශයෙන් ගෙන අධ්‍යනය කිරීමේදී ඉහත දැක්වෙන පරිදි අපහසුතා ඇති වේ.මේවා සිදත් කතුවරයා ගොඩනගා ගෙන තිබෙන්නේ පද්‍ය රචනයට උදව්වක් වශයෙනි.

2.4 ඡන්දස් රැකීම සඳහා වාග් විපර්යාසමය රීති අනුගමනය කිරීම.

සිදත සඟරාවෙහි සඳහන් සඳ , ලොප් , අදෙස් , ආගම් , පෙර රූ , දෙරූ, පෙරැළි , වැඩි , අඩු , නියම් , අනියම් , අවිදුමන් , යන මාතෘකා දොළහ වාග් විපර්යාසමය රීති හා සම්බන්ධය. ( සිල්වා 1992: 663)

මෙම වියරණ විධි දොළහ සිංහල ව්‍යාකරණ අධ්‍යනයන් සඳහා බොහෝ ආචාර්යවරු උගන්වති. මෙම වියරණ සිංහල භාෂාවේ පද්‍ය විපර්යාසයන් සඳහා අදාළ වූ රීතින්වන අතර මේවා ඕනෑම විෂය මට්ටමක ව්‍යුහයන් ලෙස සලකා ඉගෙනීම නොකළ යුතුය. වචනයක් විවිධ ආකාරයට කෘත්‍රීමව වෙනස් කළ හැකි වේ.

මෙවුල යන වචනය ඡන්දස අනුව  මෙවුල

                                                   මෙවුල්ල             

                                                    මෙවුල්ලා

යනාදී වශයෙන් වෙනස් විය යුතුබව සිදත් සඟරා කතුවරයා එම විපර්යාසය නිසිවිදිනි ලෙස දක්වා තිබේ. එමගින් අදහස් කරන්නේ සුදුසු ආකාරයට යන වගයි.සුදුසු ආකාරයකට කරන ලද නිසා පැරණි හා නව කවීන් දෙපිරිස ම විසින් කරනලද කෘත්‍රීම වචන විපර්යාසයන් විචාරකයන්ගේ හෙලා දැකීමට ලක්නොවීය. (සිල්වා 1992:664)

ඡන්දස හේතුවෙන් රාහුල හිමි මෙවැනි විපර්යාසයක් සිදුකර තිබේ.

                 “ළකල පුළුලුකුල බඳ මිණි මෙවුල්ලා……..”

මෙම වෙනස් කිරීම සිදුකර තිබෙන්නේ සිංහලයේ සමුද්‍රඝෝෂ විරිත මගින් නියම කරන ලද මාත්‍රා දාහත රැකගැනීම සඳහාය.මෙලෙස සුදුසු ආකාරයට පද විපර්යාසය පද්‍ය සාහිත්‍යට අත්‍යවශ්‍යවන අතර එය ව්‍යාකරණානුකූලව නිවැරදි නොවුණත් එලෙස සිදුකළ යුතු වේ.                    

2.5  සිංහල භාෂාවේ ඉතිහාසයට අදාළ ලේඛනවලින් කරුණු දැක්වීම.

පද්‍ය නිර්මාණ කරන ආධුනිකයන්ට වෙනස් කිරීමේ නිවැරදි ආකාරයක් අධ්‍යනය කිරීමට අවශ්‍ය වුවහොත් පිළිගත් ලේඛකයන්ගේ නිර්මාණ අධ්‍යනය කිරීමට සිදු වේ. එය කතුවරයා මෙලෙස සිදතෙහි දක්වා ඇත.

“අනුරූ සේ පියෝණන්…..”

පැරණි ප්‍රසිද්ධ ලේඛකයන්ගේ භාවිතය අනුව

ඉහත මාතෘකා දොළහ යටතේ දී ඇති විපර්යාසයන් ස්වභාව සිද්ධ වචන සකස්වීම් නොවේ.සිදත් සඟරාවේ එන සන්ධි සිංහලයේ සකස් වූ සන්ධි විදි නොවේ.ලෝප ආදිය ද  සකස් වී ඇත්තේ එලෙසමය.

2.5 පද්‍යකරණයේ පහසුව සලකා සන්ධි විග්‍රහ කිරීම.

මෙහෙසුරු යන පදය සිදත් සඟරාවේ සන්ධියක් ලෙස දක්වා ඇත. මෙය මහා + ඊශ්වර ලෙස සංස්කෘතයෙන් බිදී ආ පදයකි.මෙය සිංහලයට පැමිණෙන විට මෙහෙසුරු වේ. එහි මාත්‍රා හතරකි.එහි මාත්‍රා වැඩිකර ගැනීමට අවශ්‍ය වන්නේ නම් මහා+ඉසුරු ලෙස විසන්ධි කරගෙන තිබේ.මෙහෙසුරු යන්නෙහි කෘත්‍රීම විසන්ධි කිරීමක් මහා+ඉසුරු ලෙස යෙදීම සන්ධිවලට ඉදුරාම විරුද්ධ ක්‍රියාවලියකි.එහෙත් එලෙස වාග් ව්‍යවහාරයක් විසන්ධි කිරීම පද්‍යකරණයේ අවසර ඇති ක්‍රියාවකි.    (සිල්වා 1992:665)

සිදත් සඟරාවෙහි අන්තර්ගත සියලු සන්ධි විග්‍රහයන්ට පාදක වී ඇත්තේ එවක පද්‍ය ව්‍යවහාරයේ පවතී බාහිර සන්ධි හෙවත් අනිත්‍ය සන්ධි පමණි. නිත්‍ය සන්ධි පිළිබඳ ව සිදතෙහි සදහන් නොවේ.(පඤ්ඤාසාර හිමි 2004:58)මෙලෙස සිදත් සඟරාවෙහි සන්ධි කාර්ය සිදුකර තිබෙන්නේ පද්‍යයට යොදාගත හැකිවන ආකාරයටය.මේනිසා සන්ධි ව්‍යාකරණ පිළිබඳව මූලිකවම ඉගෙනගන්න කෙනෙකුට මෙමගින් ගැටළු ඇතිවන අතර පද්‍යකරණයට ආධුනිකයන්ට මෙමගින්  සිදත් සඟරා කතුවරයා යම් සාධාරණත්වයක් ඉටු කර තිබේ.

2.6 ලිංගාධිකාරය ලිංග දෙකකින් පමණක් දැක්වීම.

සිදත් සඟරා කතුවරයා සලකන්නේ ලිංග දෙකක් පමණි.

“මේය මෝය යන වහරට කරුණු වූයේ ලිංගු නම් ”

මේ (පුරුෂයෙකි) මෝ (ස්ත්‍රියකි) යනුවෙන් ව්‍යහාර කිරීමට කරුණු වූ ශබ්ද ලක්ෂණය ලිංග නම් වේ.

සිදත් සඟරා කතුවරයා ලිංග දෙකක් දැක්වුව  ද පැහැදිලිව ම වර්තමාන භාවිතය අනුව සිංහලයේ ලිංග තුනක් ඇත. මෙලෙස දක්වා තිබෙන්නේ කව්‍යකරණය සඳහා සිය කෘතිය රචනා කළ නිසා ප්‍රාණාරෝපණනයක් සිදුකර ලිංග දෙකක් පමණක් දක්වා තිබේ.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය පොළොන්නරුවේ කාශ්‍ය​ප හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන්බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0718284753  අ​ංකයට වට්ස්අප් කිරීමට කාරැණික වන්න.