ශ්‍රෞත සූත්‍ර මගින් සිදු කෙරෙනුයේ යාගයන් පිළිබඳ විධිමත් අයුරින් කරුණු සාකච්ඡා කිරීමයි. එමඟින් ඒ ඒ චරණයන්ට අදාළ ශ්‍රෞත උත්සවයන් පිළිබඳව ද සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කර තිබේ. අග්න්‍යාධානය නැතහොත් යාග ගින්න පිහිටුවීම ශ්‍රෞත සූත්‍රයන්හි එන ඉතා වැදගත් කාර්යයකි. එය අංක ත්‍රිත්වයකින් යුක්තය.

  • ආහ්වනීය
  • ගාර්හපත්‍ය
  • ආන්වාහාර්ය චන

සමහර තන්හි මෙයට සභ්‍ය හා ආවස්ථ්‍ය යන දෙක ද එකතුව පංචවිධ වෙයි. අග්න්‍යාධානයෙන් පසුව අග්නිහොත්‍ර පූජාවන් සඳහන්ය. ඉන්පසු රාෂ්ට්‍රභෘත් හා චතුර්ථගොත්‍රික පිදුම් සම්බන්ධයෙන් තොරතුරු දැක්වේ. මේවා හා බද්ධව අග්නි විෂ්ණු සාකංප්‍රස්ථයීය සුමනා දක්ෂායන ඉඩාදහ, සාර්වසේනි, ශෞනක, වසිෂ්ඨ මුන්‍යයන තුරායණ යන පිදීම් පිළිබඳ සඳූහන් වේ. විශ්වදේව, වරුණ ප්‍රඝාස, සාකමේධ හා ගුණාසිරිය යන චතුර්මානයන් පිළිබඳ පසුව සාකච්ඡා කෙරේ. ඒහා සමඟ චතුර්මාස්‍ය පිළිබඳ කරුණු අවධාරිතය. විවිධ ප්‍රභේදයන්ගෙන් යුක්ත සෝමයාගය පිළිබඳ කරුණු විස්තරාරිතය. අග්නිෂ්ටෝම, උක්ථ්‍ය ෂෝඩශීන් වාජපේය අතිරාත්‍ර හා අප්තෝර්යාම යන සෝමයාගයන් ද රාජසුයා යාගයද මෙහි විස්තර කෙරේ.

සෘග්වේද ශ්‍රෞත සූත්‍ර ප්‍රධාන චරණ දෙකකට අයත්ය. ඒ ශාංඛ්‍යායන හා අශ්වලායන යන චරණ දෙකයි. ආශ්වලායනාචාර්‍ය්‍යන් විසින් රචනා කරන ලද ආශ්වලායන චරණයට අයත් සූත්‍රයෙහි අධ්‍යාය 12 කි. ඍග්වේදයට රචිත ඓතරේය බ්‍රාහ්මණයෙහි යාගය සංක්‍ෂේපයෙන් මෙහි ඉදිරිපත් කෙරේ. ශාංඛ්‍යායන ශ්‍රෞත සූත්‍රයෙහි රාජසුයාව සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරේ.

ශුක්ල යජුර්වේදයට අයිති ශ්‍රෞත සූත්‍ර කාත්‍යායන නමින් හැඳින්වේ. මෙහි අධ්‍යාය 26 ක් තිබේ. යාග ක්‍රමයන් ශතපථ බ්‍රාහ්මණය අනුව පිළියෙල කර තිබේ. කෘෂ්ණ යජුර්වේදයට ශ්‍රෞත සූත්‍ර හයකට නොඅඩුව අඩංගුය.

  • ආපස්තම්භ
  • හිරණ්‍යකේශි
  • බෞද්ධායන
  • භාරද්වාජ
  • මානව
  • වෛඛානස

මෙහි එන ආපස්තම්භ ශ්‍රෞත සූත්‍ර පරිච්ඡේද 24 කින් යුක්ත වෙයි. හිරණ්‍ය කේශි ශ්‍රෞත සූත්‍රය පරිච්ඡේද 18 කින් බෞද්ධායනය ප්‍රශ්න 19 කින් උප යුක්තය. භාරද්වාජ ශ්‍රෞත සූත්‍රයට අධ්‍යාය 15 ක් වේ. එහි ප්‍රශ්න කණ්ඩිකා හා සූත්‍ර වශයෙන් කොටස් තුනක් යටතේ දක්වා තිබේ. මෙහි පළමු වැන්නෙහි සිට නවවන අධ්‍යාය දක්වා අධ්‍යායන් ප්‍රශ්න නමින් හැඳින්වේ. ප්‍රශ්න මගින් ප්‍රායශ්චිත්ත වර්ගයට ඇතුළත් හවිර්යාගය පිළිබඳ කරුණු දැක්වේ.

සාම වේදයට ශ්‍රෞත සූත්‍ර කීපයක් අයිති වේ. ඒ ආර්ෂේය කල්ප, ලාට්යායන, නිදාන සූත්‍ර, ද්‍රාහ්යායන, ජෛමිනීය, ක්‍ෂුද්‍ර කල්පානූප, උපග්‍රන්ථ සූත්‍ර, අනුපද සූත්‍ර, පංචවිධ සූත්‍ර, පුෂ්ප සූත්‍ර ඍක්ත තන්ත්‍ර, මෛත්‍රාලක්ෂණ සූත්‍ර, ස්තොභාත්‍ර්‍යහදර, ගායත්‍රවිධාන සූත්‍ර, ප්‍රතිහාර සූත්‍ර, ප්‍රස්තාව සූත්‍ර හා නිදාන සූත්‍ර යන සූත්‍රයන්ය.

වෛතාන හා කෞශික යනු අථර්වේදයට අයිති ශ්‍රෞත සූත්‍ර දෙකකයි.

සමස්ත ශ්‍රෞත සූත්‍රයන්ගෙන් යඥවිධිය සම්බන්ධයෙන් පුළුල් විස්තරාර්ථකථනයක් කෙරේ. මෙහි එන යඥය හවිඃ හා සෝම යැයි දෙපරිදි වේ. මෙයින් හවිස්වලට කොටස් හතක් ඇතුළත් වේ. ඒ,

  • අග්න්‍යාධාන
  • අග්නිහොත්‍ර
  • දර්‍ශපූර්ණමාසි
  • චතුර්මාස්‍ය
  • ආග්‍රයණොෂ්ටි
  • නිරූඪ පශුබන්ධ
  • සෞත්‍රාමණී

අග්න්‍යාධාන යනු හවිස් යාගයෙහි මසුල් අවස්ථාවයි. ගිනි පිහිටුවීම මින් අදහස් කෙරේ. යාගය පවත්වන්නා හා ඔහුගේ භාර්යාව පළමුවෙන් ගිණිපෙණෙලිවන් ගින්දර ඇවිල්විය යුතුය. යාග අවසානය තෙක් ගින්දර නිවෙන්නට නොදී ආරක්ෂා කරගත යුතුය. එය එහි සිරිතයි.

අග්නිහොත්‍ර යනු දිනපතා කළ යුතු පූජාවකි. කිරිබත්, කිරි, ගිතෙල්, විළඳ, ධාන්‍ය ආදිය උදේ හවස ගින්නට පූජා කළ යුතුය. නිත්‍ය හා කාම්‍ය වශයෙන් මෙය දෙපරිදිය. නිරන්තරයෙන් කළ යුතු අග්නි පූජාව නිත්‍යය. රුචි අවස්ථාවක කළ යුතු පූජාව කාම්‍ය නමි.

අලුතෙන් හඳ දකින දිනයෙහිත් පූර්ණමි දිනයෙහිත් බ්‍රාහ්මණයෙකුගේ ආධාරයෙන් කළ යුතු යාගය දර්ශපූර්ණමාස නමි. මෙහි දර්ශ හා පූර්ණමාස යන වචන දෙකින් අලුතින් හඳ දකින දිනය හෝ සම්පූර්ණ හඳ ඇති දිනය නොව ඊට පසු දිනය ද මෙයින් හැඟවේ.

මාස හතරකට වරක් පැවැත්විය යුතු යාගය චතුර්මාස්‍යානි නමි. මෙය වසරකට තුන්වරක් පමණක් පවත් වනු ලැබේ. . එය කාර්තික ඵාල්ගුණ හා ආෂාඪ යන මාසත්‍රයෙන් පටන් ගනී.

වර්ෂා ඍතුවෙහි හටගන්නා ප්‍රථම ශස්‍යයන් පුදා කළ යුතු ඉෂ්ටය ආග්‍රයණෙෂ්ටි නමි, මෙය ඍතු වශයෙන් තුනකි. ඒ ඒ සතුන්ට අදාළ ධාන්‍ය වර්ග පුදා කළ යුතුය. වර්ෂා ඍතුවෙහි විවලින් ද සරත් සෘතුවෙහි ශ්‍යාමාක වලින් ද වසන්තයේදී යවවලින් ද සිද්ධ කෙරේ.

සතුන් බලිය වශයෙන් යොදා ගෙන සිදු කෙරෙන යාගය නිරූඪපශුබන්ධ නමින් හැඳින්වේ. එය කරවන්නා ස්වරගගත වේ. මේ සඳහා අවශ්‍ය ඕනෑම සතෙකු ගැනීමේ හැකියාව පවතී. සතුන් බිලි දීමෙන් ස්‍රෞත්‍රාමණි යාගය ද සිදු කෙරේ. සතුන් බිලි ගන්නා ඇතැම් අයගේ නම් ද මෙහි සඳහන්ය. අශ්වින්, සාරස්වත, ඉන්ද්‍ර, පුරොඩාශ පිදීම ද මෙහි එක් අංගයකි.

ශ්‍රෞත සූත්‍ර වල එන දෙවන යඥවිධිය නම් සෝම යාගයයි. සෝමයාග ද අංග හතකින් යුක්ත වේ.

  • අග්නිෂ්ටොම
  • අත්‍යග්නිෂ්ටොම
  • උක්ථ්‍ය
  • ෂොඩශී
  • වාජපෙය
  • අතිරාත්‍ර
  • ආප්නොර්යාම

සෝම යාගය කළ හැකි ක්‍රම කීපයකි. එක දවසකින්, දවස් කීපයකින්, අවුරුද්දකින් හා අවුරුදු කීපයකින් මෙය කළ හැකිය. අවුරුදු ගණනක් පුරාවට පවත්වනු ලබන යාගය සත්‍ර නමින් හැඳින්වේ. මෙය ආරම්භයෙහි දී වේදිකාව මත අග්නි තැබිය යුතු අතර එය මැද අවස්ථාව පශුයාග නමින් හැඳින්වේ. සොමාභිෂව නම් සෝමය පානය කිරීමෙන් සෝම යාගය කෙළවර වේ.

සෝම යාගයට අයත් අනුකොටස් වශයෙන් සම්බන්ධ වූ යාග අවස්ථා පහකි.

  • දීක්‍ෂණියා ඉෂ්ටි
  • ප්‍රායණිය ඉෂ්ටි
  • ප්‍රවණි ක්‍රියා
  • පශු යාග
  • සෝම යාග

සෝම යාගයට අයත් කොටස් පිළිබඳ පූර්ණ විස්තරයක් ශ්‍රෞත සූත්‍රයන්හි සඳහන්ය. අග්නිෂ්ටොම යාගය සිදු කිරීමට සතියක් ගත වේ. මෙය වසන්ත ඍතුවේදී කළ යුතුය. පටන් ගැනීමේදී අග්නිට ස්තූති පාඨ කිව යුතුය. මෙයට උසස් පහත් බ්‍රාහ්මණවරු දහසය දෙනෙක් අවශ්‍ය වේ. එයින් පහත් බ්‍රාහ්මණවරු අට දෙනා ත්‍රිසන්ධ්‍යාවන්හි ස්තොම හා ශස්ත්‍ර පාඨ කිව යුතුය. මෙය ජ්‍යොතිෂ්ටොම යාගයට අත්‍යවශ්‍ය යාගයකි.

ෂොඩශීය යාගය මාසයෙහි දහසය වන දින කළ යුතු යාගයකි. මෙය ෂොඩශීශස්ත්‍ර හා ෂොඩශීස්තොත්‍ර ගායනා කරමින් කළ යුතුය.

වාජපේය යාගය දින දහ හතක් කළ හැකි යාගයකි. මෙයට සහභාගී වෙන බ්‍රාහ්මණවරු රන්මාලා පැළඳිය යුතුය. හෝතෘ නෙලුම් හුයෙන් කළ මාලයක් දැරිය යුතු වේ.

අතිරාත්‍ර යාගයෙහි දී යාගාවසානයෙහි දී බමුණා යාග පාත්‍රයෙන් ගත් සෝම යුෂ දොළොස්වරක් පානය කළ යුතු වේ. ආප්තොර්‍යාම යාගය ගවසම්පත්තිය දිවුණු කර ගැනීම සඳහා සිදු කරන්නා වූ යාගයකි.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය හදුන්ගමුවේ චන්ද​ජෝති හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.