පළමු ධර්ම සංඝායනාව (සංඝායනාව පැවැත්වීම. )

           බුදුරදුන් ධරමාන අවධියේ සසුන තුල වූ යම් යම් ගැටලු හා උන්වහන්සේගේ පරිනිර්වාණ සමයේ සුභද්‍ර භික්ෂුවගේ ප්‍රකාශයත් යන කරුණු හේතුකොට ගෙන පළමු ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලික පසුබිම සකස් විය.

                     සංඝායනාවට අවැසි භික්ෂුන්වහන්සේලා තේරිමේ කටයුතු මහා කාශ්‍යප හිමි විසින් සිදු කරන ලදි. සංඝායනාවට යෝග්‍ය මහරහතන් වහන්සේලා 499 ක් තෝරා ගත් අතර ආනන්ද හිමියන්ට රහත් භාවයට පැමිණ සංඝායනාවට සහභාගී වන ලෙසින් දැන්වීය.ඒ අනුව සංඝායනාවට පෙර දින උන්වහන්සේ අර්හත් තත්ත්වයට පත්ව සංඝායනාවට වැඩම කරන ලදී.චීන වාර්ථා අනුව උන්වහන්සේ සංඝායනාව පැවැත් වූ ස්ථානයට අවසාන මොහොතේ යතුරු සිදුරෙන් වැඩම කළ බව කියවේ. මේ අනුව සංඝායනාවට භික්ෂුන්වහන්සේලා 500 ක් සහභාගි වී ඇත.”පඤ්චසතිකා විනය සංගීතිය” නමින් ද මෙය හඳුන්වයි.

                       බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පසුව සංඝායනාව පැවැත්වීමට කටයුතු පිළියෙල කළේය. සංඝායනාව පැවැත්වීම සඳහා තෝරාගත්තේ රජගහ නුවරයි.එකල මගධයේ පාලකයා වූයේ අජාසත් රජුයි. අජාසත් රජතුමා සැදැහැති බෞද්ධයකු වූ නිසාත් රජගහනුවර සමෘද්ධිමත් නගරයක් හා මනා ආරක්ෂාව සහිත වූ නිසාත් වේහාර පර්වතයේ සප්තපර්නී ගුහාවේදී සංඝායනාව පැවැත්වීය. සංඝායනාවට අවශ්‍ය සියලු පහසුකම් ආදිය නොඅඩුව සපුරා ලීමට මගධ රාජ්‍ය පාලකයින් කටයුතු සම්පාදනය කරන ලදි.

                       මෙම සංඝායනාව මාස හතකින් නිම කරන ලදි.ශාසනයේ චිර පැවැත්මට සිදු කරන ලද මෙම සංඝායනාව කඩාකප්පල් කර දමන්නට බලා සිටි පිරිස්ද සිටින්නට ඇත.මගධ දේශයේ ආරක්ෂිතම ස්ථානයක් වූ වේහාර පර්වතය සංඝායනාව කරන ස්ථානය ලෙස තෝරා ගැනීම ආරක්ෂාව පිලිබඳ සිතා ගත් තීරණයක් විය හැකිය. එසේම භික්ෂුන්වහන්සේලා පන්සිය නමකට පහසුවෙන් සිටිමින් සංඝායනා කිරීමට අවශ්‍ය වන පහසුකම් ද එම ස්ථානයේ අජාසත් රජු විසින් ඇති කරවන ලදී.

                   මෙම සංඝායනාවේදී මූලිකත්වය දරන ලද්දේ මහා කාශ්‍යප හිමි ය. මුලින්ම විනය සංඝායනා කිරීමට මහතෙරවරුන් තීරණය කරන ලදී. “විනයො නාම සාසනස්ස ආයු ” විනය ශාසනයේ ආයුෂ යැයි සියළුම භික්ෂූන් පිළිගත්හ.විනය පිටකය උපාලි මහ රහතන් වහන්සේගේමූලිකත්වයෙන් සංඝායනා කරන ලද අතර ආනන්ද මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන්ධර්මය සංඝායනා කරන ලදි.

විනයත් ධර්මයත් සංඝායනා කිරීම අවසන් වූ පසුව ආනන්ද හිමියන් භික්ෂූන් අමතා මෙසේ ප්‍රකාශ කළහ.

“භගවා මං භන්තේ පරිනිබ්බාන කාලේ එවමාහං

අකංඛමානෝ ආනන්ද සංඝෝ මමච්චයේන

   ඛුද්දානු ඛුද්දකානි සික්ඛා පදානි සමූහනෙ‍ය්යාති ”

” භාග්‍යවතුන් වහනසේ පිරිනිවීමට පෙර මා හට පැවසුයේ ආනන්දය ,කුඩා අනුකුඩාශික්ෂා පද සමූහ කාලානුරූපීව වෙනස් කරාට වරදක් නොමැති බවයි”.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල කුඩා ,අනු කුඩා  ශික්ෂා පද කිසිම භික්ෂුවක් හරියාකාරව නොදන්න නිසා කුඩා, අනු කුඩා ශික්ෂා පද වෙනස් නොකර එලෙසම පිළිපදින්නට සියලු භික්ෂූන් ඒකමතිකව තීරණය කළහ.

     මෙම ධර්ම විනය සංඝායනාව අවසන් වූ පසුව ආනන්ද හිමියන්ට චෝදනා පහක් එල්ල විය. බව චුල්ලවග්ග පාලියේ දැක්වේ.

1.ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද කවරේදැයි අසා නොදැනීම.

2.බුදුරදුන්ගේ වැසි සලු පාගාගෙන මැසීම.

3.බුදු සිරුර පළමුව ස්ත්‍රීන් ලවා වැන්දවීම හා ඔවුන්ගේ කඳුලින් බුදු සිරුර කිලුටු කිරිම.

4.කල්පයක් වැඩසිටින ලෙසට බුදුන්වහනසේට අරාධනා නොකිරීම.

5.කාන්තාවන්ට බුදු සසුනේ පැවිද්ද ලබා දීමට උනන්දු වීම.

           මෙම චෝදනා පහට අනඳ හිමි මෙසේ පිළිතුරු දෙන ලදී. ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද අසා දැන ගැනීමට නොහැකි වූයේඑම අවස්ථාවේ දැඩි ශෝකයෙන් සිටි බැවිනි.බුදුන්වහන්සේගේ වැසි සලුව පාගාගෙන මැසීමට සිදු වූයේ උදව්වට කෙනෙකු නොසිටි බැවිනි.බුදු සිරුර මුලින්ම කාන්තාවන් ලවා වැන්ද වීම සිදු කලේ වේලසනින් කාන්තාවන් නිවෙස් වලට යැවීමේ අදහසිනි.බුදුන්ට කල්පයක් වැඩ සිටීමට අරාධනා කිරීමට නොහැකි වූයේ තමන්ට ඒ කාල සීමාවේ මාරාවේශයක් ඇති වූ බැවිනි.කාන්තාවන්ට පැවිද්ද ලබා දීමට කටයුතු කරන්නට වූයේ පැවිද්ද් ඉල්ලා සිටියේ බුදුරදුන්ගේ සුළු මව වීමත් ඇය කෙරෙහි තිබූ ගෞරවයත් නිසා යයි අනඳ හිමියෝ පැවසීය.

සංඝායනාව අවසන් වූ පසු ඒ බව සසුනේ වැඩ සිටි මහතෙරවරුන්ටද දැන්වූහ.භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් සමග දක්ෂිණාගිරියෙහි වැඩ සිටි පුරාණ හිමියන්ටද සංගීතීකාරක භික්ෂූන් මේ බව දැන්වීය.

ප්‍රථම සංඝායනාවෙන් ලැබූ ප්‍රතිඵල කිහිපයකි.සූත්‍ර පිටකය හා විනය පිටකය සම්පූර්ණ වීමත් සිදුවිණි.සූත්‍ර පිටකය හා විනය පිටකය ඉදිරියට පවත්වා ගෙන යන්නට භාණක පරම්පරාවක්ද ඇති කළේය.සූත්‍ර පිටකය කොටස් පහකට බෙදා දැක් වූ අතර එය ඉදිරියට පවත්වා ගෙන යන්නට මුඛ පරම්පරාවක් දැක්වීය.

භාණක පරපුර – සූත්‍ර පිටකය

1.දීඝ නිකාය – ආනන්ද තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස

2.මජ්ඣිම නිකාය – සැරියුත් තෙරුණුවන්ගේ ශිෂ්‍ය පිරිස

3.සංයුක්ත නිකාය-මහා කාශ්‍යප තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස

4.අංගුත්තර නිකාය – අනුරුද්ධ තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස

5.ඛුද්දක නිකාය – පොදුවේ සියළු භික්ෂූන් වහන්සේලා.

 

භාණක පරපුර – විනය පිටකය

1.පාරාජිකා පාලි-

2.පාචිත්ති පාලි-

3.චුල්ලවග්ග පාලි –                            උපාලි තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස.

4.මහාවග්ග පාලි-

5.පරිවාර පාලි-

      

පූර්ව බුද්ධාවවාදය අනුව ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීමද සංඝායනාවෙන් පසු සිදුවිය.සසුනේ චිර පැවැත්ම සඳහා පැවැත්වූ ප්‍රථම ධර්ම සංඝායනාව හේතුවෙන් ත්‍රිපිටකය අද දක්වාම නිර්මලව පැවත එයි.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය හදුන්ගමුවේ චන්ද​ජෝති හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.