බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මේ දක්වා නිර්මලව පැවතීම සදහා අතීතයේ යෙදූ ධර්ම සංරක්ෂණ විධීන් හේතු විය. විශේෂයෙන්ම බුද්ධ පරිනිර්වාණයෙන් කෙටි කලකට පසුව එම සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමේ අවශ්‍යතාවයද ඇති විය. ඒ අනූව නොයෙක් ක්‍රමයන් ධර්මයේ පැවැත්ම උදෙසා අනුගමනය කරන ලදි. ඒවා පිළිබදව කෙටි හැදින්වීමක් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි.

ධර්ම සංරක්ෂණ විධීන් අතර භාණක පරම්පරාවන්ට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. සංගායනාවලින් පසුව ආරම්භ වන මෙම පරම්පරාවන්ගේ විකාශය පිලබදව මෙහිදි අවධානය යොමු කෙරේ. එමෙන්ම දඹදිව හා ලක්දිව ධර්මය රැකගෙන පැමිණි පරම්පරාවල් හා තෙරවරුන්ගේ වගතුග විස්තර කෙරේ. භාණකවරුන්ගෙන් ධර්මයේ පැවැත්ම කෙරෙහි සිදු වූ සේවාව හා ඔවුනගේ අභාවයද මෙහිදි සාකච්ඡා කරනු ලැබේ.  

ධර්ම සංරක්ෂණ විධි.

බුදුරජාණන් වහන්සේගෙන් පසුව ධර්මය ඉදිරියට පවත්වාගෙන යෑමේදි විවිධ ගැටළුවලට මුහුණ දීමට පුරාණ භික්ෂූන් වහන්සේලාට සිදු විය. ශාසනයේ මෙන්ම ඉන් පරිබාහිරවද ඇති වූ නොයෙක් ගැටලු මුල් කරගනිමින් ධර්මයේ පැවැත්මට නොයෙක් බාධා පැමිණියේය. එය මග හරවා ගැනීම සදහා නොයෙක් ක්‍රමෝපායන් අනුගමනය කිරීමට සිදු වුණි. බුද්ධ කාලයේදි මෙන්ම ඉන් පසුවද ශාසන විරෝධී සිදු වීම් රාශියක් ඇති වූ බව ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පෙනේ. මෙම තත්වය යටතේ තවදුරටත් ධර්ම විනය ඉදිරියට පවත්වාගෙන යෑම සදහා යම් වැඩ පිළිවෙලක් අනුගමනය කිරීමේ අවශ්‍යයතාවයද ඇති විය. ඒ අනූව ධර්ම විනය සුරැකීමේ උපක්‍රම බුද්ධ කාලයේදීම යොදා තිබුණි. මෑතක් වන තුරුම ධර්ම විනය ආරක්ෂාකාරීව පැවතීම සදහා ඉවහල් වූයේ එම ධර්ම සංරක්ෂණ විධීන්ය.බුද්ධ කාලයේ පටන් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ අවස්ථාව දක්වාම නොයෙක් ක්‍රමෝපායන් ඒ සදහා යොදා තිබුණු බව ත්‍රිපිටක සාහිත්‍යයේ පැහැදිලිව දක්නට ලැබේ.

ඒ අනූව.

• ධර්මය විවිධ කොටස්වලට බෙදීම.

• ධර්ම කොටස්වලට විස්තරාර්ථ(අටුවා) සැපයීම.

• සංගායනා පැවැත්වීම

• භාණක පරම්පරා ඇති කිරීම.

• භික්ෂූන් වහන්සේලාට තනතුරු ප්‍රදානය කිරීම.

• ධර්මය ප්‍රචාරය කිරීම.

• ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම.

ආදි සංරක්ෂණ විධීන් දැක්විය හැකිය.

අද දක්වා ධර්මය සුරැකීව ආරක්ෂා කරගැනීමට මෙම ක්‍රමෝපායන් අතිශයින් ඉවහල් වී තිබේ. උදාහරණයක් ලෙස බුදුන් වහන්සේ පිරිණිවන් පා නොබෝ කලකින්ම භික්ෂු සමාජය නොයෙක් නිකායන්ට බෙදෙන අයුරු දැකිය හැකිය. දෙවන සංගායනා කාලය වන විට කොටස් 18 කට සංඝ සමාජය බෙදී තිබුණි. ඒ ඒ නිකායන්හි භික්ෂූන් වහන්සේලා නොයෙක් මතවාද දැරීය. ඔවුන්ගේ මතවාද එලෙසම පැවතියේ නම් බුදු දහම විකෘති වන්නට ඉඩ තිබුණි. එම තත්වය යම් තරමකට හෝ මගහරවා ගැනීමට පළමු, දෙවන හා තෙවන සංගායනාවන් උපකාරි වී ඇත. ධර්ම සංගායනාවන් මෙන්ම අනිකුත් විධීන්ද එකසේම ධර්මයේ පැවැත්මට උපකාරී වූ බව පෙනේ. වළගම්බා යුගයේදි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ධර්මය සුරක්ෂිත කිරීමේ විශිෂ්ඨ පියවරකි.

ධර්මය ත්‍රිපිටකයක් ලෙස වර්ධනය වන්නේ පළමු සංගායනාවෙන් පසුවය. එය මේ දක්වාම පවතින ශ්‍රේෂ්ඨ වූ බෙදීමකි. ඊට අමතරව ධර්ම විනය, පඨම මජ්ඣිම පශ්චිම බුද්ධ වචනය, පඤ්ච නිකාය, අසුහාරදහසක් ධර්මස්ඛන්ධය, නවාංග සත්ථු සාසනය යන විවිධ කොටස්වලටද බෙදා ඇත. එයද ධර්මයේ පැවැත්මට අත්‍යන්තයෙන්ම හේතු විය. බුද්ධ කාලයේදි මෙන්ම පසුකාලීනවද භික්ෂුන් වහන්සේලාට තනතුරු ප්‍රදානය කිරීම ශාසනය තුළ සිදු වී ඇත. සංගායනා කාලවලදී මෙන්ම අනුරාධපුර මහා විහාරයෙන්ද ඊටත් පසුවද තනතුරු ප්‍රධනය සිදු විය. බුදුරදුන්ද අග තනතුරු දීමෙන් ස්‌වකීය ශ්‍රාවකයන් ධෛර්යවත් කළ බව පෙනේ. ඒ ඒ තනතුරු ලැබූ භික්ෂූන් වහන්සේලා තමන්ගේ වගකීම් නිසියාකාරව ඉටු කිරීම නිසා ධර්මයේ පැවැත්ම තහවුරු වුණි. තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව නොයෙක් ප්‍රදේශවලට ධර්මය ප්‍රචාරය කරන ලදි. මොග්ගලීපුත්ත තිස්ස මහරහාතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වූ එම කටයුත්ත නිසා ධර්මයේ ව්‍යාප්තිය සිදු විය. වර්තමානයේ ලංකාවේ පවා බුදු දහම පවතිනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ ආකාරයට ධරමයේ පැවැත්ම සදහා ඉහත දක්වන ලද සංරක්ෂණ ක්‍රමයන් හේතු වූ බව පැහැදිලි වේ.

භාණක පරම්පරා.

බුද්ධ ධර්මය ග්‍රන්ථාරෑඪ කිරීම දක්වා රැකගෙන එන ලද භික්ෂූන් වහන්සේලාගේ පරම්පරාව භාණක පරම්පරාව ලෙස හදුන්වයි. බුදුන් දවස සැවැත්නුවර මහා සෘර්ධිමත් රහතන් වහන්සේලාගෙන් පිරි පැවතුණේය. නමුත් එම කාලයේ සද්ධර්මය පොත්පත්වල සඳහන් වූයේ නැත. භික්ෂූන් වහන්සේලා අතර මුඛ වහරින් පමණක් එය පැවතුනේය. බුදුරදුන් ධරමාන කාලයේ එසේ වුවද බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඒ පිළිබදව යම් යම් ගැටලු පැන නැගිණි. එම නිසා පළමු සංගායනාවේදි ක්‍රමවත් භාණක පරම්පරාවක් ඇති කරන ලදි. ලංකාව සම්බන්ධයෙන්ද එය එසේම ය. අනුරාධපුර යුගයේ මහ රහතන් වහන්සේලා දහස් ගණනින් වැඩ සිටි සමයේ, සද්ධර්මය පවත්වාගෙනු එනු ලැබුවේ භාණක පරම්පරා මඟිනි. භාණක යන්නෙහි අර්ථය වන්නේ ධර්මය දර්නා යන්නයි. තවත් අර්ථයකින් භාණක යන්නෙන් සසර බැදීම්වලින් වෙන් වීමද අදහස් කරනු ලබයි. රාග, ද්වේෂ, මෝහ නසන මඟ පවසන හෙයින් ද ඊට භාණක යන නම ව්‍යවහාර කරයි. මේ අනූව සසර බැඳිම් ක්ෂය කර දමන නිර්මල සද්ධර්ම දේශනා අසා අවබෝධයෙන් මුඛ වහරින් ගුරු ගෝල පරම්පරාවෙන් පවත්වාගෙන එනු ලැබූ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය භාණක පරම්පරා ලෙස සළකනු ලැබේ.

භාණක පරම්පරාවල ආරම්භය හා වර්ධනය.

භාණකවරුන් පිළිබදව වැදගත් තොරතුරු ලැබෙනුයේ පළමු සංගායනාවෙන් පසුවය. නමුත් සර්වඥයන්වහන්සේ සව් කෙලෙසුන් නසා බුදු බව ලැබීමෙන් පසුව පහළ කළ ‘අනේක ජාති සංසාරං’ යන උදාන වාක්‍යයේ සිට පිරිනිවන් පාන්නට මොහොතකට කලින් වදාළ ‘හන්දදානි භික්ඛවේ ආමන්තයාමි’ ආදී වූ පශ්චිම බුද්ධ වචනය දක්වා වසර 45 ක් තුළ වදාළ සර්වඥ භාසිත වැඩි හරියක් දරාගෙන සිටියේ සැරියුත් තෙරුන් හා ආනන්ද තෙරුන්ය. ආනන්ද තෙරුන් බුදුන්ගෙන් ලත් වර අටෙන් එකක් වූයේ භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැන් වලදී දේශනා කරන ධර්ම නැවත ආනන්ද හිමියන්ටද දේශනා කළ යුතුය යන වරයකි.බුද්ධ කාලයේදි විනයධර, ධර්මධර යන භේදයද පැවතුණි. ධර යනුවෙන් අදහස් කරන්නට ඇත්තේද යමක් ධරන්නා යන අදහසයි. ඒ අනූව ධර්මය ධරන්නවුන් ධර්මධර ලෙසද, විනය ධරන්නවුන් විනයධර ලෙසද හදුන්වන්නට ඇත. තවද අභිධර්මය ධරන්නවුන් මාතිකාධර ලෙස හදුන්වා තිබේ. එයම පළමු සංගායනාවෙන් පසුව භාණක ලෙස වෙනස් වන්නට ඇති බව සිතිය හැක. විනයධරයන් අතර උපාලි තෙරුන් වහන්සේත්, ධර්මධරයන් අතර ආනන්ද තෙරුන් වහන්සේත් වැදගත් තැනක්‌ හිමිකරගෙන තිබණු බව සූත්‍රවලින් හෙළි වේ. භාණකවරුන් පත් කෙරෙන තුරු ධර්ම විනය ආරක්‌ෂා කර ගැනීමෙහිලා උන් වහන්සේලාගෙන් සැලසුණු සේවාව අති විශිෂ්ට විය.

භාණක පරම්පරාවල් පිළිබදව සාකච්ඡා කිරීමේදි එය කොටස් දෙකක් යටතේ සාකච්ඡා කිරීම උචිතය. එයට හේතුව දඹදිව තෙවන සංගායනාව තෙක් පැවති භාණක පරම්පරාවල් හා ලක්දිව ඇරඹි භාණක පරම්පරාවල් යනුවෙන් දෙකොටසක් පැවතීමයි. මිහිදු හිමියන්ගේ ලංකාගමනයෙන් පසුව ලක්දිව භාණක පරම්පරාවල් වෙනම ආරම්භ විය. එම නිසා නව භාණක පරම්පරාවක් ලෙස ලක්දිව භාණක පරම්පරාව විකාශනය වී ඇත.

දඹදිව භාණක පරම්පරාව.

ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසුව ධර්මයේ පැවැත්ම උදෙසා ගත් වැදගත්ම තීරණය නම් ධර්ම විනය කොටස්‌ කර ඒ ඒ කොටස්‌ කට පාඩමින් පවත්වා ගෙන ඒමට භාණක නමින් පිරිසක්‌ පත් කිරීමය.

ඒ අනුව

• උපාලි හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට විනය පිටකය.

• ආනන්ද හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට දීඝ නිකාය.

• සැරියුත් හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට මඡ්ජිම නිකාය.

• මහා කාශ්‍යප ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට සංයුක්‌ත නිකාය.

• අනුරුද්ධ හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට අංගුත්තර නිකාය.

• ඛුද්දක නිකාය පොදුවේ භික්ෂු සංඝයා.

• අභිධර්ම පිටකය (සැරියුත් හිමියන්ගේ ශිෂ්‍ය ආභිධම්මික තෙරුන්ට ආරක්‌ෂා කරගෙන ඒම සඳහා පැවරුවේ යෑයි ද පිළිගැනීමක්‌ ඇත.)

මෙම භාණක පරම්පරා පළමු සංගායනාවේදි ඇති කළ බව පැහැදිලි කරුණකි. දීඝ නිකාය දරන්නවුන් දීඝ භාණක, මජඣිම නිකාය දරන්නවුන් මජ්ඣිම භාණක ආදි වශයෙන් ඒ ඒ නිකායේ නමින් උන්වහන්සේලා හැදින්වූහ. නමුත් ඛුද්දක නිකාය සම්පූර්ණයෙන්ම රැකගෙන ආ භාණක පරපුරක් ගැන සදහන් නොවේ. බුදධ කාලයේදීම එය භික්ෂූන් වහන්සේලා අතර භාවිත වූ බව “ඉධ භික්‌ඛවේ භික්‌ඛු ධම්මං පරියාපුනන්ති සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථා, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භූත ධම්මං, වෙදල්ලං‌ යන දේශනා පාලියෙන් ද ප්‍රකාශ වේ. මේ ආකාරයෙන් බුද්ධ කාලයේ පටන්ම තෙරවරුන් ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ වෙන වෙන ප්‍රගුණ කර ඇත. ජාතක භාණක, ධම්මපද භාණක වශයෙන් අට්ඨ කතාවල සදහන් වන්නේ උන්වහන්සේලාය. ඊට අමතරව පඤ්ච නෙකායිකා යනුවෙන් පඤ්ච නිකාය හදාරන්නෝ අශෝක ශිලා ලේඛනයන්හීදි හදුන්වයි. ඛුද්දක භාණකා ලෙස කුදු ගොත් සගිය හදාරන්නෝ යෑයි මිලින් ද ප්‍රශ්නයෙහි ද සඳහන් වේ. මේ අනූව සංගීති කාලයට පෙර පටන්ම කුදු ගොත් සගිය මුඛපාඨ වශයෙන් හදාළ ආචාර්ය පරම්පරා පැවති බව පැහැදිලි වේ.

දීඝ භාණක, මඡ්ඣිම භාණක, සංයුක්‌ත භාණක, අංගුත්තර භාණක, ඛුද්දක භාණක යන නම්වලින් පෙර පටන් පංච නිකාය හැදෑරූ ආචාර්ය පරම්පරා සිටි බව අටුවාවලින් පැහැදිලි වන කරුණකි. ඒ ඒ භාණකවරුන්ට ධර්මය මතක තබා ගැනීම් පිළිබද සීමාද විය. භාණක වරයකුට නිකායක්‌ සම්පුර්ණයෙන් බැරි නම් ඉන් කොටසක්‌වත් කට පාඩම් තිබිය යුතු විය. අටුවාවන් දක්වන පරිදි දීඝ භාණකයෙක් නම් මහා වග්ගයේ සූත්‍ර දොළහ පාඩම් තිබුණත් ප්‍රමාණවත් ය. මඡ්ඣිම භාණකයන්ට මඡ්ඣිම නිකායේ මුල් සූත්‍ර පනහ පාඩම් තිබීම ප්‍රමාණවත් විය.

විනය පිටකය දරාගෙන පැමිණි ආචාර්ය පරම්පරාව සමන්තපාසාදිකාවේ දක්වා ඇත. ඒ අනූව උපාලි මහාරහතන් වහන්සේත්, දාසක තෙරුන් වහන්සේත්, සෝණක තෙරුන් වහන්සේත්, සිග්ගව තෙරුන් වහන්සේත් තුන්වෙනි සංගායනාව තෙක් විනය පිටකය කටපාඩමින් රැගෙන ආ තෙරවරුන්ය.

අභිධර්ම පිටකය පිළිබදව සැළකීමේදි එහි භාණකවරුන් කවුරුන් දැයි ස්‌ථිරවම සඳහන් නොවේ. ප්‍රථම සංගීතියෙන් පසු සැරියුත් හිමියන්ගේ ශිෂ්‍ය ආභිධම්මික තෙරුන් එහි වගකීම බාරගත් බවට පිළිගැනීමක්‌ ඇත. අභිධර්මය භාණකවරුන් වශයෙන් භද්දජි, සෝභිත, පියජාලි, පියපාල, පියදස්‌සී, කෝසියපුත්ත, සිග්ගව සන්දේහ, මොග්ගලීපුත්ත තිස්‌ස, සුදත්ත, ධම්මදාසක, සෝණක, රේවත යන ආචාර්යවරුන් අභිධර්මය පිටකය දරාගෙන ආ බව සඳහන් වේ. උන්වහන්සේලා සාරිපුත්ත ශිෂ්‍ය පරම්පරාවට අයත් වේ. නමුත් සියලු බුද්ධ වචනය ධර්ම විනය වශයෙන් බෙදා වෙන් කළ හෙයින් අභිධර්මය ද ධර්මයෙහි ම ඇතුළත්ව ඇති බව සමහරු කියති. බුදු රදුන් මාතෘ දිව්‍ය පුත්‍රයාට දේශනා කළ කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා ආදී මාතෘකා ඇතුළත් අභිධර්මය සැරියුත් මහ රහතන් වහන්සේට කියා දුන් අතර උන් වහන්සේ අභිධර්ම මාතෘතා සියල්ල විස්‌තර කොට එහි වාචානා මාර්ගය තමන් වහන්සේ අතවැසි පන්සියයක්‌ භික්‌ෂුන්ට ඉගැන්වූ බව සඳහන් වේ. එතැන් සිට භික්‌ෂුහු අභිධර්මය මාතෘකා වශයෙන් ප්‍රගුණ කළහ. එම නිසා සංගායනාවේදි අලුතෙන් භාණක පරම්පරාවක් ඇති කිරීමේ අවශ්‍යයතාවයක් නොවන්නට ඇති බව තවත් මතයකි. ආභිධම්මික තෙරුන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවම එය රැකගෙන ආ බව සළකනු ලැබේ.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය හදුන්ගමුවේ චන්ද​ජෝති හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.