ගිරා සන්දේශය කවියාගේ කවිත්වය හා ප්‍රතිභාව පිළිබඳ අදහසක් ඇතිකර ගත හැක්කේ එය අනෙකුත් සන්දේශ කාව්‍යයන් හා සසඳා බලන කල්හිය. දූතයා වර්ණනා කිරීමේදී බොහෝ සන්දේශ කාව්‍යවල සමාන ලක්ෂණ දක්නට ලැබේ. මෙහිදී දූතයාගේ බාහිර රූප ශෝභාව මෙන්ම ඔහුගේ ප්‍රඥාවන්ත බවද විස්තර කෙරේ.

ඉඳුදුනු පැහැදිනූ තුනු සිරිනූ’ල මමිතුර

ළඳ සොඳ අදරවැනි තගෙ තෙල තුඩ දුටුව

ලොබ බැඳ අදර නොකෙරෙති කව්රු සතුටුව

(ගිරා සන්දේශය)

පුල්මල් කෙසරු මෙන් රන්වනි තෙල සරණ යුග

සපුමල් කැලෙව් තුඬ මද රතිනි මනහර

නිලූපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර

මලින් කළ රූ එව්

එබැවින් නුබින් එන වර

(සැලලිහිණි සන්දේශය)

සතත ගත පැහැයෙන -තරුමැණ මනැති මමිතුර

සරා වෙලෙක සිරි පානෙව් පවනිනෙන

සරා අහස සහතොසිනෙන තද කිමින

තම සිය සෙමර යැයි ළඟ නොම වූද සරසවි

දෙව්ලොවිනෙන අම පිඬකැයි සත පිනින

දෙව් තොප දැක වට නොකොලෝද සඳෙකිනි

(තිසර සන්දේශය)

සැර දෙ හසරද සඳ

පුන්සඳ පහන් පිිරිසිදු

පියකරු පියන් පිරි

පියවුරු ලෙසින් හොබනා

(හංස සන්දේශය)

ඉහත දැක්වුණේ සන්දේශ කවීන් කීප දෙනෙකු තම දූතයා වර්ණනා කළ අයුරුයි. ගිරා කවියා සිය ¥තයාගේ ශරීර පැහැය දේදුන්නකට උපමා කරයි. එසේම ගිරවාගේ තුඬ ළඳකගේ රත් පැහැති දෙතොලට සමාන කරයි. සැලලිහිණි සන්දේශ කවියා සිය දූතයා දකින්නේ මලින් කළ රූපයක් ලෙසය. තුඩ සපුමල් කැකුලක් වැනිය. පියාපත් මහනෙල් මල් පොකුරක් මෙනි. දෙපා මල් රේණුමෙන් කහ පැහැතිය.

තිසර කවියා තිසරාගේ රූපකාය සරත් සමයේ වලාකුලකටත් දෙව්ලොවින් වැටෙන අමාපිඬකටත් උපමා කරයි. හංස කවියා සිය දූතයාගේ රූපය ලලනාවකගේ පියයුරුවලට සමාන කරයි.ගිරා කවියා තම දූතයාගේ සිරුරු පැහැය දේදුන්නකට සරියැයි කීම කාව්‍යෝචිතය. ගිරවාගේ ශරීරයේ රඹ පැහැය මෙන්ම තුෙඬ් රත් පැහැයද ඉන් ධ්වනික වන හෙයිනි. දූතයා වර්ණනා කිරීමේදී වඩාත්ම රසවත් උපමා රූපක යොදාගෙන ඇත්තේ සැලලිහිණි කවියා බව පැහැදිලිය. තිසර කවියාගේ උපමාවද එතරම් සාර්ථක නැත. හංස කවියා යොදා ගත්තේ ගතානුගතික උපමාවකි.

පුර වැනුම් වලදී සියලූම සන්දේශ කවීන් අනුගමනය කර ඇත්තේ එකම මාර්ගයකි. එහිදී නගරයේ ප්‍රාකාරය දිය අගල, පුරඟනන් -මන්දිර මෙන්ම එහි ශ්‍රී විභූතියද ඔවුනගේ වර්ණනාවට ලක් වී ඇත.

බඹා පළමුවෙන් ලොව පමණ නොදැන මා

අඹා තිබූ සක්වල ගිරි සෙ මෙතැන මා

පබා විහිදී පවුරට නත දරණ යො මා

නොබා කියමි නොසරිද යන්තමක් ත මා

එන සඳ පෙර මෙපුර කිරිසිදු දුව තුටුව

සිඳු රද විසින් ඇය රැකවරණට කැටුව

පිරිසිඳ එවූ සිඳු කඩ’කෙව් නොව පටුව

ඇමසඳ පිරුණු දිය’ගල ලොබ වෙයි දුටුව

(ගිරා සන්දේශය)

සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර

සුලකළ පූවල ලකඟන සිරි යොවුන් වර

තරකළ විසල් වාසල් යතුරු මෙ නුවර

බැඳහල රුවන් තනපට කියෙලිය පවුර

(සැලලිහිණි සන්දේශය)

මෙරමත ගෙන අලළන සඳ කිරි සයුර

වෙරලත වැද සිටි තුඟු දිය කඳ අයුර

පිරියත සිට බබලයි පිළිමිණි පවුර

සිරිවත මෙපුර සරිපුරයක් නම් කවර

සිරිසඳ මෙපුර වඩනා මඟුලට අතුළ

මනනද සොඳුරු පියවිලි ලෙසිනි නිකසල

පියනද තිසර වැල බිඟුරළ කෙළි වතල

ඇමසඳ දිලෙයි පිපි පඬෙරින් සැදි අගල

(හංස සන්දේශය)

ඉහතින් දැක්වුණේ සන්දේශ කාව්‍යයන් කීපයක ජයවර්ධනපුර දිය අගල සහ නගර ප්‍රාකාරය විස්තර කළ ආකාරයයි. ගිරා සන්දේශ කවියා නගර ප්‍රාකාරය ගැන කරන වර්ණනය ගතානුගතික කවි සමයෙන් ගත් උපමා වලින් යුක්තය. ලෝකය මවන ලද්දේ මහා බ‍්‍රාහ්මයා විසිනි. ජයවර්ධනපුර පවුර ඔහු ලොව වටා මැවූ චක‍්‍රවාට පර්වත වළල්ලට සමානය. මෙයින් කවියා අදහස් කළේ පවුරේ විශාලත්වය හා ශක්තිය පෙන්නුම් කිරීමය. කවියා මෙම පවුර අනන්ත නාග රාජයාගේ දරණ වළල්ලටද සමාන කරයි. ගිරා සන්දේශ කවියා දිය අගල ගැන කරනා වර්ණනය ඔහුගේ කවිත්වය විදහා දක්වයි. මෙම පද්‍යයෙන් දිය අගලේ ගැඹුර හා විශාලත්වය පමණක් නොව නගරයේ සෞභාග්‍යය පිළිබඳවද අදහසක්ද පාඨකයා තුළ දනවයි. කිරි මුහුදින් පහළ වූ ශ්‍රීයාකාන්තාව ජයවර්ධනපුරයට පැමිණි බව කීම සැප සම්පතින් එම නගරය පිරී ඇති බව පැවසීමකි. එසේ පැමිණි ඇයගේ ආරක්‍ෂාවට කිරි මුහුදින් කොටසක්ද එවූ බව කවියා පවසයි. දිය අගල එසේ එවූ මුහුදු කොටසයි. දිය අගල පිළිබඳ ගිරාවේ එන මැනුම සුන්දරත්වය මෙන්ම නගරයේ ආරක්‍ෂාව ගැනද හැඟීමක් අප තුළ ඇති කරයි. සැලළිහිණි කවියා නගර ප්‍රාකාරය ලංකාව නමැති කාන්තාව ඇද සිටිනා තනපටකට උපමා කිරීම එතරම් උචිත නැත. හංස කවියාද නගර ප්‍රාකාරය සහ දිය අගල මැනීමේදී යොදා ගෙන ඇත්තේ පැරැුණි කවි සමයේ එන සිද්ධි හා උපමා රූපකය. තිසරුන් හා නෙළුම් මල් වලින් සැදි දිය අගල පියවිල්ලක් මෙනැයි කීම උචිත උපමාවකි.

පුරඟනන් වර්ණනා කිරීමේදී ද අපේ සන්දේශ කවීන් පැරැණි උපමා රූපක අතර සිරවී ඇත. සෑම ළඳකගේම මුහුණු සඳ හෝ නෙළුම් මල් වැනිය. දෙනෙත්, මහනෙල් මල්වලට සමානය. පියයුරු හංසයන් සේය. සැලළිහිණි කවියා සිසිවන වුවන යන පද්‍යයෙන් මෙම උපමා රූපක සමූහයම ගෙනහැර දක්වයි. ගිරා කවියා දකින පුරඟනන්ද දෙවඟනන්ට සමානය. මතු මහල්හී සිටින මෙම ලලනාවෝ පබළුමුතුුමැණික් ආදියෙන් සැරසී සිටිති. ඔවුන් පර්වත බෑවුමක ඇති මල්-ගෙඩි-දළු ආදියෙන් යුක්ත රන් වැල් වැනිය. කියඹු වැල් මුතු පට හා ගොතා බැඳ මඳ සිනානගමින් රූපශ්‍රීය යාන්තමට බැහැරට පෙනෙන සේ පුරඟනන් සිටින බව ගිරා කවියා පවසයි. මෙය අන්‍ය සන්දේශ කාව්‍ය හා සසඳා බලන කල්හී සරල බවක් සහිත වර්ණනයකි.

සන්දේශ කාව්‍ය රැුසක දියකෙලි වැනුම් ඇතුළත්ව ඇත. හංස සන්දේශයේ එන දියකෙළි වැනුම සමග සසඳා බලන කල්හී ගිරාවේ දිය කෙළි වැනුම කිසිදු ප්‍රතිභාවක් මතු නොකරයි. ගතානුගතික කවි සමයට වහල් වීම නිසා ගිරාවේ දියකෙළි වැනුම නීරස නිර්මාණයක් වී ඇත. ගිරාවේ සහ මයුරයේ විස්තර කෙරෙන්නේ කාන්තාවන් පමණක් සිටිනා දිය කෙළියකි. හංසයේ එන දිය කෙළියෙහි ගැහැණු – පිරිමි දෙපාර්ශ්වයම සිටිති. හංස කවියාගේ ජල ක්‍රීඩා වැනුම ව්‍යංග්‍යාර්ථ සහ කාවෝ්‍යා්ක්ති බහුල අපූරු නිර්මානයකි.

ගිරා සන්දේශයේ එන දීර්ඝ මාර්ග වර්ණනා පද්‍යයන් අතර කවියාගේ ප්‍රතිභාව ඉස්මතු වී පෙනෙන ස්ථානද කීපයක් අපට හමුවේ. මොරටු එලිය පසුකරන ගිරවාට පානදුරේ තොටුපළේ දී දක්නට ලැබෙන දර්ශනය පද්‍යයට නගන්නේ අපූර්ව චිත්ත රූපයක් මතුවෙන අයුරිනි.

සබඳ මඳක් තැන් ගිය මග දකුණු පසේ

විහිද තිබෙන වලූබර පොල් උයන් රැුසේ

නොමඳ තරග පහරට බියව නොකම සේ

මුහුද කැලූම් රැස්වූ වැන්න වෙරළසේ

නීලඹරේ වැජඹෙන ගන කුළු ලෙසට

මුදු තෙරේ යන එන නැව් පෙනය තට

පෑර තරේ පියදුක් නොසිතා ගතට

පානදුරේ තොටි’නෙතරව යව එපිට

පානදුරේ මුහුද ආසන්නයට පැමිණි ගිරවාගේ සිත චමත්කාරයෙන් පිරී යයි. නිල්වන් සයුරේ රැුළි ඈත සිට පෙරළි වෙරලට එයි. නිරන්තරයෙන් සිදුවන මේ ක්‍රියාවලියේදී මුහුදේ නිල් පැහැය වෙරළට පැමිණ කැටි ගැසුණා සේ පොල්වතු යාය දිස්වේ. මේ ගිරා කවියා මවන අපූර්ව කාව්‍යමය චිත්‍රයකි. ඈත සිතිජය ආසන්නයේ ගමන් කරන නැව් නිල් අඹරේ පාවී යන වලාකුළු වැනිය. මෙයද සජීවි බවක් දනවන අපූර්ව කාව්‍යමය සිතුවමකි.

උදා සැඳැ සහ නිශා වැනුම්ද සන්දේශ කාව්‍ය බොහොමයක දක්නට ලැබේ. මේවා අතර කවි රසයෙන් අනූන නිර්මාණද අපට හමුවේ.

ඇමතැන කරන මුනිපුද නරඹන ලෙසට

තැනතැන සැවුල් ගණ පැමිණෙන තුරු සිරට

දිලිහෙන මුනි මැඳුර පහනින් එහි නොසිට

දිවයන අඳුරු මෙන් වවුලන් නිකුත් විට

(හංස සන්දේශය)

හංස කවියා මේ මවාපාන්නේ අප රටෙහි ගමක සැන්දෑවක දක්නට ලැබෙන අතිශය ස්වාභාවික දර්ශනයකි. නිවෙස් ඉදිරිපිට බුදු මැඳුරුවල පහන් දැල්වේ. කුකුලෝ රාත්‍රිය ගත කරනු වස් තුරුමතට පැමිණෙති. කවියා පවසන්නේ තැන්තැන්වල සිදුකෙරෙන මුනිපුද නැරඹීමට ඔවුන් ගස් මතට නැංග බවයි. සැන්දෑවේ වවුල් රංචු ඉගිලීයාම කවියා දකින්නේ බුදු මැඳුරුවල පහන් දැල්වීම නිසා පලායන අඳුරු කැටි ලෙසිනි. මෙය අපූර්ව කවි කල්පනාවකි.

සදා නැගෙත බලනෙව් තුරු කොළ’තුරිනි

එදා නිසඹු තොමො තමහට සැක වෙමිනි

සදා සිතින් බොරු තතු හිමිට පාමිනි

සදා වෙල සහල’ඟුරු මැඩ නිවු වැනි

(මයුර සන්දේශය)

මේ මයුර කවියා සැදැ සිරි දුටු ආකාරයයි. චන්ද්‍රයා අතුපතර අතරින් එබී බලද්දී රාත්‍රිය නමැති කාන්තාව සැන්දෑ වලාකුළු නැමැති ගිනි අඟුරු පයින් පාගා නිවා දැමූවාය. රාත්‍රිය ළඟාවත්ම අහසේ රත්පැහැ වළාකුළු නොපෙනී ගිය බැව් කීමට කවියා අපූරු උපමාවක් යොදා ගනී. මෙය සුන්දර කවි කල්පනාවකි.ගිරා සන්දේශයේ එන සැදැ වැනුම්වලද ප්‍රතිභාන්විත කවිත්වයක සලකුණු මතුව පෙනේ.

පබඳ දිලෙන දිනමිණ මැද මිණිනි බඳ

නොමද වොරැදි සඳවෙල අබරණ පැළඳ

පැහැද සොබන පැළ දිග’ඟන දුට සබඳ

එසඳ සිතෙයි තුඬ රසිනු’දුල කගෙ ළඳ

පැළදිග අහසනැමැති කාන්තාව සන්ධ්‍යාවලා නැමති අබරණ පැළඳ සිටී. සූර්යයා ඒ අබරණ මැද පිහිටි මැණිකකි. මේ සිරිය දක්නා ගිරවාට සිය ගිරවිය සිහිපත්වන බව කවියා ප්‍රකාශ කරයි. මෙය අපූරු කවි කල්පනයකි.

තුරු වැළ උදුල සඳරස් පිරි නුබ ගැබද

බිඟුරළ මුමන පිරිපුල්මල් වන හිසද

ලෙල රළ වතල පෙණ පිඩු සැදි සමුදුරද

මනදොළ වඩා දැක දැක උන් සඳ සබඳ

මෙය චමත්කාරජනක පරිසර වර්ණනයකි. මෙහිදී ගිරා කවියාගේ කවිත්වය මතුවී පෙනේ. අහසත් පොළොවත් සයුරත් එකම මල් යායකැයි කවියා පවසයි. නිල් අහස් තලයේ තාරකාවෝ දිදුලති. පහළ නිල්වන් වන පෙත කුසුමින් ගැවසී ඇත. මුහුද සුදු පෙණකැටිවලින් ආකුලවී තිබේ. ලොව එකම මල් යායක් මෙනි. මෙහිදී ගිරා කවියාගේ ස්වාධීන කවිත්වයක සලකුණු දැකිය හැකිය.

කෝට්ටේ අවදියේම රචිත තවත් සන්දේශ කාව්‍යයක් වූ හංස සන්දේශය ගිරාවට පිළිතුරු දෙන්නට රචනා කරන්නට ඇතැයි උගතුන් අතර මතයක් පවතී. මෙම සන්දේශ කාව්‍යයන් දෙකම පරීක්‍ෂවෙන් කියවන කල්හි මෙම මතයේ සත්‍යතාවයක් ඇතැයි පෙනේ. මෙම යුගයේ භික්‍ෂූන් වහන්සේ ග්‍රාමවාසී සහ වනවාසී යනුවෙන් නිකායන් දෙකකට බෙදී සිටි බැව් පැහැදිලිය. තොටගමුවේ විජයබා පිරිවෙන්පති රාහුල හිමිපාණෝ ග්‍රාමවාසී නිකායේ නායකත්වය දැරූහ. කෑරගල පද්මාවතී පිරිවෙන්පති වනරතන හිමියන් වනවාසී නිකායේ නායකත්වය දැරූ බව පෙනේ. ගිරා සන්දේශය රාහුල හිමියන් වෙත යැවුණ අතර හංසය යැවුනේ වනරතන හිමියන් වෙතය. ගිරා සහ හංස සන්දේශ කතුවරුන් මෙම නාහිමි දෙපල උත්කර්ෂවත් ලෙස වර්ණනා කර ඇත. මේ සඳහා ඔව්හු පද්‍ය 16 බැගින් යොදා ගත්හ. මෙම වර්ණනා කියවන කල්හී මෙම සන්දේශ දෙක අතර යම් තරගයක් පැවති බවක් දිස්වේ. කතුවරුන් දෙදෙනා සිය කතානායක හිමිවරුන් වර්ණනා කිරීමට යොදාගත් පහත සඳහන් පද්‍යවලින් එය හොඳින් පැහැදිලිවේ.

තිවට කසුබු ඉසි සුරගුරු මෙන් සුබඳ

ලොවට කලන ඒ යතිසඳුගේ නොමඳ

සුමට වදන්දුල විසිතුරු මහ මුහුද

දසට පොරණ රළ පතරින් පිරි නිබද

(ගිරා සන්දේශය)

ඇසට පෙනෙන මිස දිව ඉසිවර කෙනෙකි

බසට ඔහුගෙ ලොව නැත සරිවන රසෙකි

දෙසැට දෙටුම විමසා නුවණින් නිසැකි

දසට පොරණ ඔහු වරදැයි හල දෙයකි

(හංස සන්දේශය)

ගිරාවෙන් සහ හංසයෙන් එකල අපරට තිබූ ප්‍රමුඛ පෙලේ අධ්‍යාපන ආයතන දෙකක් ගැන අගනා තොරතුරු හෙළිවේ. සමකාලීන අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් ලැබීමට මෙම සන්දේශ කදිම මූලාශ්‍ර දෙකකි. විජයබා පිරිවෙන් වැනුම සහ පද්මාවතී පිරිවෙන් වැනුම කියවීමෙන් එදා අධ්‍යාපනික විෂය මාලාව ගැන මනා අවබෝධයක් ලබාගත හැක. පද්මාවතී පිරිවෙනට වඩා පුලූල් විෂය මාලාවක් විජයබා පිරිවෙනේ උගන්වා තිබේ. වෛද්‍ය ශාස්ත්‍රයජ්‍යෝතිෂ්ශාස්ත්‍රය වේදයඅර්ථ ශාස්ත්‍රය සහ පාලිදෙමළසංස්කෘත යන භාෂාවන්ද එහි ඉගැන්වූ බව ගිරා සන්දේශය කියයි.

පද්මාවතී පිරිවෙනේ ඉගැන් වූ විෂය මාලාව ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තට බරව තිබූ බව පෙනේ. එහි උගන්වා ඇත්තේ භික්‍ෂූ ජීවිතය සඳහා වන විෂයන් මාලාවකි. හෙරණ සිකසිඛ වලද විනිසවිනය පිටකය සහ සූත්‍ර පිටකය ආදියට එම විෂය මාලාව තුළ මුල් තැන ලැබී ඇත. මෙම විද්‍යාපීඨවලට විදේශීය ශිෂ්‍යයන්ද පැමිණ ශාස්ත්‍ර හැදැරූ බව සඳහන් වේ. ගිරාවේ සහ හංසයේ විස්තරවලට අනුව වත්මන් විශ්වවිද්‍යාලවල පවත්නා නිදහස් අධ්‍යාපන පරිසරයක් මෙම පිරිවෙන්වලද තිබූ බව පෙනේ.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය පොළොන්නරුවේ කාශ්‍ය​ප හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන්බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0718284753  අ​ංකයට වට්ස්අප් කිරීමට කාරැණික වන්න.