පලකළ දිනය - January 1, 2018

ශ්‍රී ලංකා ඉතිහාසය පුරා පිරිවෙන් අධ්‍යාපනය විවිධ වෙනස්කම් රැසකට භාජනය වී ඇත.ආරම්භයේදී ආරාමයක කුටියක් පමණක් වූ පිරිවෙණ අනුක්‍රමයෙන් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත්විය. කලකදී අභාවයට පත් ආරාමීය අධ්‍යාපනය මහනුවර යුගයේ වැඩසිටි බෝධිසත්ව ගුණෝපේත වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබිණි.උඩරට රාජධානි සමයේදීත් ඉන් පසුව යටත් විජිත සමය පුරාවටත් පිරිවෙන් අධ්‍යාපනයට බොහෝ සීමා බාධක පැනවී ඇත.අද පවතින බොහෝ පිරිවෙන් විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් කේන්ද්‍ර කොට ගෙන ඇති වූ ඒවා වේ.අතීතයේදී ස්වාධීනව හා වඩාත් සංවිධානාත්මකව පවත්වාගෙන ගිය පිරිවෙණ අද පවතින්නේ එතරම් සතුටුදායක තත්වයක නොවේ. පිරිවෙන් අධ්‍යාපනයේ පරිහාණියට බලපෑ හේතු සාධකයන් කිහිපයක්ම ඇත.උගත් භික්ෂුන් රජයේ පාසල්වල ගුරු සේවයට යොමු වීම නිසා පිරිවෙන් අධ්‍යාපනයට සැලකිය යුතු බලපෑමක් ඇතිවිය.අද වන විට පිරිවෙණ පාසල් අධ්‍යාපන පද්ධතිය සමග සංධාන ගත කර ඇති නිසා පිරිවෙණේ සාම්ප්‍රදායික හා සම්භාව්‍ය වටිනාකම හීන වී ඇත. වර්තමාන පිරිවෙණ විශ්වවිද්‍යාලයට සිසුන් යොමු කරවන ආයතනයක් පමණක් බවට පත්ව ඇත. දැනුමට පමණක් සීමා වී ඇති වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ ශිෂ්‍ය භික්ෂූන් තම අනන්‍යතාව පමණක් නොව භික්ෂූත්වය පවා අහිමි කරගන්නා තත්වයක් උදා වී ඇත.දේශපාලනික , ආර්ථික සහ විවිධ සමාජ සංස්කෘතික විපර්යාසයන් පිරිවෙන් අධ්‍යාපනයේ සැබෑ අරමුණ ඉටු කර ගැනීමට අහිතකර ලෙස බලපා ඇති බව කිව හැකිය. පිරිවෙණ සතු ‍ඓතිහාසික අනන්‍යතාවය නැවතත් වැඩි දියුණු කර ගනිමින් සම්භාව්‍ය පිරිවෙන් අධ්‍යාපනය ඉදිරි පරම්පරාවට දායාද කිරීමට නම් පිරිවෙන් පද්ධතිය තුළ කඩිනමින් වෙනස්කම් ඇති කළ යුතුය.ඒ සදහා පළමු කොට පිරිවෙන් ගුරුවරයා සහ ශිෂ්‍යයා තුළ තමන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙන පිරිවෙණ පිළිබඳව සම්භාවනීය හැගීම වර්ධනය කළ යුතු වෙයි.විෂය නිර්දේශ සහ පෙළ පොත් කාලීන අවශ්‍යතා සහ නූතන අධ්‍යාපන ක්‍රමවේදයන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කළ යුතු වෙයි. පිරිවෙන් ගුරුවරයා වැඩිදුර අධ්‍යාපනයට සහ පුහුණුවට යොමු කරවීමට පියවර ගත යුතු වෙයි. පිරිවෙන මනා කළමණාකාරීත්වයක් යටතට පත්කළ යුතු වෙයි. පිරිවෙන් සදහා බදවා ගන්නා ගුරුවරයා තරගකාරී අධ්‍යාපන රටාවට අනුගත විය හැකි අයුරින් නියාමනය කළ යුතු අතර ඔවුන් උසස් ඉලක්ක වෙත යොමු කරවීම ඉතා අත්‍යවශ්‍යය.පිරිවෙණ පැවිදි වන දරුවන්ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන අයතනයක් කළ යුතුය.මේ සඳහා පියවර ගැනීම ශාසනෝන්නතිකාමී භික්ෂූන් වහන්සේලාගේත් ගිහි බෞද්ධ පින්වතුන්ගේත් යුගයේ වගකීමකි. එවන් උතුම් කටයුත්තක තවත් එක් ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිවෙණ.lk වෙබ් අවකාශය හැඳින්විය හැක. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙහෙර විහාර මත නොව පිරිවෙන් අධ්‍යාපනය මත රඳා පවත්නා බව සිහිපත් කරනු කැමැත්තෙමි.

අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජනරාල් (පිරිවෙන්)

මහාචාර්ය, රාජකීය පණ්ඩිත, පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි

 

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

One Comment

  1. සමරනායක දීපකළ්‍යාන April 3, 2018 at 9:36 am - Reply

    ඔබ වහන්සේ පිරිවෙන් අංශය දියුණු කරන්න ගොඩක් මහන්සි වෙනවා.. පිරිවෙන් අන්ශය තවත් නගා සිටු වීමට ශක්තිය දිරිය ලැබේවා….

Leave A Comment