ජාතක කථා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ සමයේ දී ලියැවී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙවැන්න ගුත්තිල කාව්‍යයයි. ජාතක ‍පොතේ 235 වැනි කථාව වූ ගුත්තිල ජාතකය මෙයට පාදක වී තිබේ. මේ කාලයේ ප්‍රචලිත වෙමින් පැවති කවියෙන් බණ කීමේ පිළිවෙත පරිදි රචනා වූ කෘතියක් ලෙසින් දැකිය හැකි වුව ද ගුත්තිල කාව්‍යය ප්‍රබන්ධ වීම උදෙසා තවත් කරුණු බල පා ඇති බැව් පෙනේ. කතුවරයා මෙයට තැබූ විශේෂ නාමයක් ගැන ප්‍රකාශ නොවන බැවින් ජාතක කථා නාමය අනුව‍ මේ කෘතිය ගුත්තිල කාව්‍යය හෙවත් ගුත්තිලය නමින් ප්‍රකට ව තිබේ.

ගුත්තිල කාව්‍යයේ කතුවරයා කතුවරයා කවුරු ද යන්න කිසිදු තැනකින් අනාවරණය වන්නේ නැත. එහෙත් මේ කතුවරයා වෑත්තෑවේ හිමි බව ජනප්‍රවාදයේ එන මහත් ප්‍රකට කරුණකි. මෙහි මුල් පද්‍ය ‘සිය පින්’ යනුවෙන් අනිෂ්ට ගණයකින් ආරම්භ කිරීමේ ප්‍රවෘත්තිය ද එසේ ම ප්‍රචලිත කරුණකි. මේ කාරණා ගැන අදට ශතවර්ෂයකටත් වැඩි කාලයකට පෙරාතුව ගුත්තිල කාව්‍යයට සංස්කරණයක් කළ අන්ද්‍රිස් බටුවන්තුඩාවේ පඬිතුමා සඳහන් කොට ඇත්තේ මෙපරිද්දෙනි. ‘මේ පද්‍ය රචනාව දැක ශාස්ත්‍ර දුන් මහතෙරුන් වහන්සේ සිය පින් සිරිත් සරු යන මේ ප්‍රාරම්භ කාව්‍යයෙහි පළමු කොට වායු ගණය තැබූ බැවින් ‘සපවනො දේශභ්‍රමං ප්‍රාන්තහාඃ’ යනාදි ලක්ෂණ කල්පනා කොට ‘වෑවත්තේ මේ වැත්තේ නැව් නිගිද්දැ’යි කීවාලු..’

මෙහි කියැවෙන මහ තෙරුන් වහන්සේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් බවත් වැත්තෑවේ හිමියන් උන්වහන්සේගේ ගෝල නමක වූ බවත් මේ ජනශ්‍රැති කථාවේ ම පැවසෙන්නකි. තව ද ගුරු හිමියන් ගෝල හිමියන්ට ‘පල නො කියා පලා බෙදු’ බවත් එහෙයි ගුරු හිමියන්ගේ පන්සලෙන් බැහැර ව ගිය වැත්තෑවේ හිමියන් තමන් ගුරු ද්‍රෝහියකු නොවන වග හැඟවීම පිණිස ගුත්තිල කාව්‍යය කළ බවත් මේ තොරතුරේ වැඩි දුරටත් පැවසේ.

මේ අනුව මෙහි අරමුණක් ද පැවති බැව් පෙනේ. මේ කෘතිය කළේ සලාවත ජයපාල මැති නම් ප්‍රභූවරයාගේ ආරාධනයෙන් ය යන්න මෙහි පැහැදිලි ව ප්‍රකාශ වේ. ජයපාල මැති ගැන සඳහන් කරමින් ‘සියල් සිරිලක අගමැති’ යනුවෙන් සඳහන් වීමෙන් එතුමා සය වැනි පරාක්‍රමබාහු රජුගේ අග්‍රාමාත්‍යවරයා ව සිටි බව ද හෙළි වේ.සය වැනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ මෙය ලියැවුණු බව පැවසෙතත් ඒ කිනම් වර්ෂය ද යන්න අනාවරණය වන්නේ නැත.

ගුත්තිල කාව්‍යය ඛණ්ඩ කාව්‍ය ගණයට ගැනෙන නිර්මාණයකි. මහා කාව්‍යයක් රචනා කිරීමේ අභිලාෂයක් කතුවරයා වෙත පැවැති බවක් නොපෙනේ . මෙහි ප්‍රධාන චරිත දෙක වනුයේ ගුත්තිල නම් වූ වීණා වාදනයෙහි ප්‍රවීණ ගුරුවරයා සහ ඔහුගෙන් වීණා ශිල්පය උගත් මූසිල නම් ශිෂ්‍යයා ය. ගුරු ගෝළ පුවතක් සහිත එදවස අධ්‍යාපනය ක්ෂේත්‍රයට අදාළ කාරණයක් ලෙසින් ද වීණා ශිල්පය වැනි සෞන්දර්ය කලා විෂයයට අදාළ සිද්ධියක් ලෙසින් ද මේ ප්‍රස්තුත කථාවෙහි විශේෂත්වයක් දකින්නට පිළිවන.

නගර වර්ණනය වැනි තොරතුරු හැරුණු විට ගුත්තිල මූසිල යන ගුරු ගෝළ දෙපොළ පිළිබඳ තතු, වීණා, වාදන තරගය, මූසිල ගේ පරාජය සහ ගුත්තිලගේ ජයග්‍රහණය යන මූලික කරුණු මේ නිර්මාණයෙන් මැනැවින් විග්‍රහ වේ. මෙහි දී ජාතක කථා ප්‍රවෘත්තිය ඔස්සේ ම ගමන් කිරීමට වෑයම් නොකරන කතුවරයා ස්වකීය නිර්මාණාත්මක සක්‍යතාව ද ප්‍රකට කරනු පෙනේ.

ගුරු ගෝළ අර්බුදය පිළිබඳ විචක්ෂණශීලී ව සිතන්නට පාඨකයාට ඉඩ සලසමින් කෘතිය නිර්මාණය කර ඇති බවක් හැඟී යන්නේ එයින් සාහිත්‍යමය ගුණය ඉස්මතු කරලමිනි. අනිෂ්ට ගණයකින් මේ නිර්මාණය ආරම්භ කොට ඇත්තේ කතුවරයාගේ කාව්‍යමය දැනුමේ මඳකමකින් නොව කිසියම් වෙනත් යටි අර්ථයක් ඇති ව යැයි සිතිය හැකිය. කෘතිය පුරා ම අනෙකුත් කාව්‍ය රීතිවලට අනුකූල ව රචනා කර ඇති ආකාරයෙන් ද භාෂා භාවිතය සහ ඉදිරිපත් කිරීමේ නිර්මාණශීලී භාවය ඇතුළු කාරණාවලින් ද කතුවරයා සතු වූ දැන උගත්කම මෙන්ම භාෂා සාහිත්‍යයෙහි ලා වූ ප්‍රවීණත්වය ද ප්‍රදර්ශනය වේ.

මේ කතුවරයාණන්ට සිය අදහස් ප්‍රකාශ කිරීම උදෙසා වන වදන් මාලාව නිරායාසයෙන් ම ගලා ආ විලාසයක් මේ කාව්‍යය පුරා ම දකින්නට ඇත.ගද්‍ය පාඨයක් රචනා කරනවාටත් වඩා වැඩි සැහැහැල්ලුවකින් යවහන් දොස් රහිත එළිවැට නිසි පරිදි යෙදවු පද්‍ය මේ රචකයාණන් අතින් ලියැවී තිබේ. එසේ ම බොහෝ විට සිය ප්‍රකාශය තහවුරු කිරීම පිණිස උපමා උපයෝගී කොට ගෙන ඇත්තේ ද ශූර ආකාරයෙනි.

දියෙහි යන දණ්ඩට – පිහිටක් වුවත් පෙර සිට

දුදනන් හට පිහිට – නො වව් කිව් බස සැබෑ කළෙ මට

කොපමණ ගුණ කළක් – දූ දනෝ නො වෙති යහපත්

කිරි දියෙනි දෙවියත් – අඟුරු සුදු වන කලෙක් නම් නැත්

දුරු කර හිරි ඔතප් – පෙන්විය දුදන ගුණ ගප්

මොහුට අප දුන් සිප් – පෙවූ කිරි වැන්න විස ගොර සප්’

මෙවැනි වූ උපමා යෙදුම් ඇතුළු ප්‍රකාශන සහ අවස්ථා නිරූපණදියෙහි දී මේ කිවිවරයා සංස්කෘතාදි කාව්‍යයන්හි පිහිට පතන ආකාරයක් දකින්නට නොමැත.ශ්‍රාවක පාඨකයාට නො වැටහෙන අස්වාභාවික දෑ කාව්‍ය සම්මතයෙහි තිබූ පමණින් ම ස්ව නිර්මාණයට ඇතුළත් කොට ගෙන නොමැත. මේ අනුව චරිත නිරූපණයෙන් ද භාෂා භාවිතයෙන් ද කාරණාදිය අතින් ද ජනතාවගේ අවබෝධයට මෙතරම් සමීප වන වෙනත් කෘතියක් නොමැති තරම් ය. එසේ ඇතොත් ඒ බුදු ගුණ අලංකාරය පමණි.

ගුත්තිල කාව්‍ය කතුවරයා වියත් වහරත් ජන වහරත් කාව්‍ය නිර්මාණය උදෙසා උචිතානුචිත ලෙස භාවිතයෙහි යොදාගෙන ඇති ආකාරය මේ කෘතිය පුරා දැකිය හැකි ය. එසේම උගත් පක්ෂයට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද තම තම නැණ පමණින් සිත් සේ රස විඳිය හැකි අයුරින් භාෂා විලාසය මෙන් ම කාරණා ද පෙළගස්වා තිබේ.

ප්‍රස්තුතයට අදාළ නොවන සිද්ධි සහ වර්ණනාවලින් ද පමණ ඉක්මවන දීර්ඝ විස්තරවලින් ද නිර්මාණයට හානියක් කර නොගැනීමට කතුවරයා බෙහෙවින් වග බලා ගෙන තිබේ. එහෙත් දෙව්ලෝ ගමන වැනි තැන්වල දී සාම්ප්‍රදායික ගති ලක්ෂණ ඉස්මතු වන බවක් පෙනෙන්නට ඇත. පද්‍යයෙන් දහම් පුවතක් පළ කිරීමේ අදහසින් කෙරුණු රචනයක් වුව ද ගුත්තිල කාව්‍යය නිර්මාණය වී ඇත්තේ සපුරා උපදේශ ශෛලියෙන් නොවේ. රසිකයාට යමක් සිතන්නටත් යළි යළි ආවර්ජනය කරන්නට පොලඹවන ආකාරයෙනි.

ගුත්තිල සහ මූසිල චරිත නිර්මාණය වී ඇත්තේ එකී විශේෂිත ලක්ෂණ සහිතවය. තව ද ශිල්පීය දක්ෂතාවෙහි උච්ච භාවය මෙන් ම අධ්‍යාත්මික ගුණාංගයන්හි උසස් භාවය ද සාර්ථක පුද්ගලයකු වීම සඳහා අවශ්‍ය වග මේ රචනයෙන් ධ්වනිත කෙරේ.ගුත්තිල කාව්‍යය ඉතා පහසුවෙන් කියවා වින්දනය කළ හැකි කෘතියකටත් වඩා නැවත නැවත කියවා ඇත. නන් අයුරින් රස විඳිය හැකි කෘතියකැයි කිව හැකිය. එබැවින් මෙය පැරණි නොවී නවතාවෙන් බබළන නිර්මාණයකි. සංස්කෘතාදී වූ ‍අනෙකුත් කෘතිවලට හා සමප්‍රදායවලට වහල් නොවී ස්ව ප්‍රතිභාව පහල කරන ස්වාධීන නිර්මාණ ශිල්පියකු මේ කෘතිය වෙතින් විද්‍යාමාන වේ.

විචාරශීලීත්වයට ඉඩ කඩ සලසමින් කෙරෙන චරිත නිරූපණාදියෙන් මෙහි උසස් සාහිත්‍යමය ගුණාංග ඉස්මතු වේ.කෝට්ටේ සමයේ ලියැවුණු කෘති අතුරෙහි පමණක් නොව සමස්ත සිංහල පද්‍ය ග්‍රන්ථ අතුරෙහි ම ඉමහත් ජනප්‍රිය නිර්මාණයක් ලෙසින් ද සිංහල පද්‍ය සාහිත්‍යය පෝෂණය කළ උසස් රසවත් රචනයක් ලෙසින් ද නව නිර්මාණාභිලාෂ කරා මඟ පෙන්නූ ප්‍රබන්ධයක් ලෙසින් ද ගුත්තිල කාව්‍යය සිංහල සාහිත්‍ය ග්‍රන්ථාවලියෙහි එන විශේෂිත කෘතියකි.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය පොළොන්නරුවේ කාශ්‍ය​ප හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන්බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0718284753  අ​ංකයට වට්ස්අප් කිරීමට කාරැණික වන්න.