භාරතයේ ගුප්ත රජවරුන්ගේ පාලන කාලය සෑම අංශයකින්ම දියුණුවට පත් වූවකි. මෙම යුගයේදි සාහිත්‍යය, කලාව, සංගීතය, ආගම හා සංස්කෘතික යන අංශ සියල්ල උච්චතම අවස්ථාවන්ට පැමිණියේය. මෙහිදි සැලකිය යුතු විශේෂයක් වන්නේ ආගම වටා ඉහත සෑම අංශයක්ම ගොඩ නැගීමයි. හින්දු ජෛන බෞද්ධ යන ආගම් තුනම මෙම යුගයේදි ප්‍රචලිතව පැවතුණි. එයින් බුදු දහමේ ප්‍රබෝධය පිළිබදව මෙහිදි සාකච්ඡා කරනු ලැබේ.

රජවරුන්ගේ නොයෙක් අනුග්‍රහයන් ලබමින් බුදු සමය විවිධ අංශවලින් වර්ධනය විය. ප්‍රතිමා, ගොඩනැගිලි, සාහිත්‍යය, දර්ශනය ඒ අතර කැපී පෙනේ. ඒවා පිළිබදව එකිනෙක විමසීම මෙහිදි කරනු ලබයි. විශේෂයෙන්ම ගුප්ත අධිරාජ්‍යය, ආගමික පසුබිම, බෞද්ධ දර්ශන, සාහිත්‍යය, කලා ශිල්ප, අධ්‍යාපනය යන ප්‍රධාන මාතෘකා ඔස්සේ කරුණු විස්තර කර ඇත. ගුප්ත යුගයට පෙර හා පසු බුදු දහමේ දියණුවට වඩා මෙම යුගයේදි කෙතරම් දුරකට බුදු සමය ප්‍රබෝධයට පත්වූවාදැයි මෙමගින් සනාථ කරගත හැකිය.

ගුප්ත අධිරාජ්‍යය. ඉන්දීය ඉතිහාසයේ දැකිය හැකි දීප්තිමත් කාල පරාසයක් ලෙස ගුප්ත යුගය හැදින්විය හැකිය. මෞර්ය අධිරාජ්‍ය වැනි පාලන සමයන් අතර ගුප්ත යුගයද ශ්‍රේෂ්ඨ කාල පරාසයකි. හින්දු අධිරාජ්‍යක් වන මෙහි පළමු පාලකයා පළමු චන්ද්‍රගුප්ත රජුය. ඔහුගෙන් ඇරඹි ගුප්ත අධිරාජ්‍ය එතුමාගේ අනුප්‍රාප්තිකයන් විසින් දියුණු අවස්ථාවන්ට පත් කරන ලදි. එහි පසුව රජ පැමිණි රණශූර, දක්ෂ පාලකයන් නිසා අධිරාජ්‍යයේ ව්‍යාප්තියත්, ආර්ථික සංවර්ධනයත්, දේශපාලන සාමයත් හා සංස්කෘතියේ උච්චතම අවස්ථාවත් එළඹියේය. ඒ පිළිබදව සාකච්ඡා කිරීමේදි මුලින්ම ගුප්ත රජ පෙළපත පිලිබදවද මදක් විමසා බැලීම වටී.

ගුප්ත රජ පෙළපත (ක්‍රි.ව:240 -550)

• ශ්‍රී ගුප්ත (ක්‍රි.ව: 240-280)

• ඝටෝකාච (ක්‍රි.ව: 280 – 319)

• චන්ද්‍ර ගුප්ත I (ක්‍රි.ව: 320-335) ඉන්දියානු සංස්කෘතියේ ස්වර්ණමය යුගයේ ආරම්භකයා වේ‍.

• සමුද්‍ර ගුප්ත (ක්‍රි.ව: 335-370)

• රාමගුප්ත (ක්‍රි.ව: 370-375)

• චන්ද්‍රගුප්ත II (චන්ද්‍රගුප්ත වික්‍රමාධිත්‍ය) (ක්‍රි.ව: 375-415) සමුද්‍රගුප්ත අධිරාජ්‍යයාගේ පුත්‍රයාය. මොහුගේ රාජ්‍ය කාලය තුලදී ගුප්ත අධිරාජ්‍යය හිනි මුදුනටම පත් විය. චීන වන්දනා කරුවකු වූ පාහියන් භික්ෂුව මොහුගේ කාලය තුල පැවති ඉන්දියානු ශිෂ්ටාචාරය විස්තර කර ඇත.

• කුමාරගුප්ත I (ක්‍රි.ව:415-455)

• ස්කන්ධගුප්ත (ක්‍රි.ව: 455-467)

• කුමාරගුප්ත II (ක්‍රි.ව: 467-477)

• බුධ ගුප්ත (ක්‍රි.ව: 477-496)

• චන්ද්‍රගුප්ත III (ක්‍රි.ව:496-500)

• වයින්යා ගුප්ත (ක්‍රි.ව: 500-515)

• නරසිම්හ ගුප්ත (ක්‍රි.ව: 510-530)

• කුමාරගුප්ත III (ක්‍රි.ව:530-540)

• විෂ්ණූගුප්ත (ක්‍රි.ව: 540-550)

රජ පෙළපතේ රජවරුන් කිහිප දෙනකු සිටියද ගුප්ත අධිරාජ්‍යයේ ව්‍යාප්තිය සදහා වැදගත් මෙහෙවරක් සිදු කළේ රජවරුන් දෙදෙනෙක් පමණි. ඒ සමුද්‍රගුප්ත රජු හා ඔහු පුත් දෙවෙනි චන්ද්‍රගුප්තයි. මොවුන් දෙදෙනා විසින් අධිරාජ්‍යයේ ස්ථාවර භාවයට අවශ්‍යය පදනම දැමීය. එම යුගයේ ස්වර්ණමය අවස්ථාව උදාකරලීමට ඔවුන් දෙදෙනාගේ කාර්යභාරය ඉතා වැදගත් විය. විශේෂයෙන් සමුද්‍ර ගුප්තගේ යුද්ධ කාර්ය නිසාත් දෙවෙනි චන්ද්‍රගුප්තගේ පාලන කටයුතුත් නිසා රටපුරා පතළ වූ දේශපාලන සාමය මෙයට බෙහෙවින් හේතුවිය. අනිකුත් රජවරුන්ද යම් සේවාවක් ඉටු කළද මොවුන් දෙදෙනාගේ සේවය තරම් එය වැදගත් නොවේ.

ශත වර්ෂ දෙකක පමණ කාලයක් පැවති ගුප්ත අධිරාජ්‍ය ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇත. හරිසේන නම් කවියා විසින් සමුද්‍ර ගුප්තගේ ගුණ වර්ණනා කරමින් රචිත අලහාබාද් ප්‍රශස්තියේදි ගුප්ත අධිරාජ්‍යට අයත් වූ ප්‍රදේශ පෙන්වා දෙයි…..රුද්‍ර දේවමතිල නාගදත්ත චන්ද්‍රවර්ම ගණපතිනාග නාගසේනාචුයුත නන්දි බලවර්මා“සමතට ඩවාක කමරූප නේපාල කර්තෘපුරාදි ප්‍රත්‍යන්තනෘපතිභිර්මාලවාර්ජුනායන යෞධෙය මාද්‍රකාභීර ප්‍රාර්ජුන සනකානීක කාක ඛරපරිකාදිභිශ්ව……………………

ඒ අනුව අධිරාජ්‍ය සීමාවන් උතුරින් හිමාලය සිට දකුණින් දෙකානය දක්වා ද බටහිරින් කතියවාරය පටන් නැඟෙනහිරින් ඇසෑමය තෙක් ද ව්‍යාප්ත විණි. තත්කාලීනව පිහිටුවූ ලිපියක් බැවින් බොහෝ දුරට මෙහි කීම් පිළිගත හැකි වුවද, ප්‍රශස්තියක් බැවින් එහි එන අතිශයෝක්ති නිසා ඓතිහාසික වටිනාකම බොහෝ දුරට සීමා වී ඇත. මෙහිම දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවද ගුප්ත අධිරාජ්‍යට යටත්ව පැවති බව පෙනේ. නමුත් එය විවාහ සම්බන්ධයකට හෝ මිත්‍ර සම්බන්ධයකට සීමා වූවක් බව ඉතිහාසඥයින් විසින් පිළිගනු ලබයි.

අලහාබාද් ප්‍රශස්තියට අමතරව පාහියන්ගේ හා හියුංසිසෑංගේ වාර්තා ද, දැනට නටබුන්ව ඇති ගොඩනැගිලි, ශිලා ලේඛන හා කාසි ගුප්ත යුගය පිළිබදව හැදෑරීමට අතිශයින් උපකාරි වේ. ඒවාට අනූව මෙම යුගය ඉන්දීය ඉතිහාසයේ සමෘද්ධිමත්ම කාල පරාසය ලෙස දැක්විය හැකිය. දේශපාලනමය, ආර්ථික, සංස්කෘතික, සමාජීය, ආගමික, අධ්‍යාපනික හා කලාත්මක ආදී හැම අංශයකම දක්නට ලැබෙනුයේ දියුණු ලක්ෂණයන්ය. ගුප්ත රජවරුන්ගේ ක්‍රමානුකූල පාලන තන්ත්‍රයත් ආර්ථික සංවර්ධනයත් නිසා ඉහත සෑම අංශයක්ම දියුණුවේ උච්චතම අවස්ථාවට පැමිණියේය.

විශේෂයෙන්ම දේශපාලන ක්ෂෙත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් ඒ සදහා හේතු විය. සමෘද්ධිමත් දේශයක් ඇති වීමට බලපාන මූලික සාධකය වනුයේද දේශපාලන ව්‍යුහයයි. එම නිසා ගුප්ත යුගයේ දේශපාලනික පදනම පිළිබදව මදක් විමසා බැලිය යුතුය. ගුප්ත වංශිකයින්ට රාජ්‍ය උරුමය ලැබුණේ පිය පරපුරෙනි. පැරැණි හින්දු වැඩවසම් ක්‍රමය අනුව ඔවුන් පාලනය ගෙන ගියහ. පුතුන් අතරත් දක්ෂයාටම සිහසුන භාරදීමේ සිරිත මේ රජුන් අතර පැවැති බවට අලහබාද් ප්‍රශස්තිය සඳහන් කරයි. පළමුවැනි චන්ද්‍ර ගුප්ත රජු තමාගේ ඇවෑමෙන් සිහසුනට කාර්යශූර පුද්ගලයෙක් වූ සමුද්‍රගුප්ත කුමාරයාගේ නම යෝජනා කිරීමෙන් එය පැහැදිලි වේ. මේ නිසා සෙසු නෑදෑයන්ගේ මුහුණු නරක් වූ බවද එම ලිපිය තවදුරටත් කියයි. පිය රජවරුන් දූරදර්ශිව කෙසේ හෝ දක්ෂ කුමාරවරුන්ට පාලනය පැවැරීමෙන් ගුප්ත අධිරාජ්‍යයේ සෞභාග්‍යය ඇති වූ බව පෙනේ.

සමුද්‍ර ගුප්තගේ ආක්‍රමණකාරි ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවේ විශාල භූමි ප්‍රදේශයක් ගුප්ත රාජ්‍යට අයත් විය. ඉන්දියාවෙන් පිටත රාජ්‍යවලට පවා ඔහු ආක්‍රමණ එල්ල කළේය. සමහර රාජ්‍යයන් විවාහ සම්බන්ධතා මත අවනත කර ගත්තේය. එම කාර්යන් නිසා ගුප්ත රාජ්‍යය වඩාත් ප්‍රබල වූවාක් මෙන්ම දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක්ද ලැබීය. පසුකාලීන රජවරුන්ට අනිකුත් අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීම සදහා අවස්ථාව සැලසූයේ මෙම දේශපාලනික ඒකාධිකාරයයි. මෙසේ යුද්ධාක්‍රමණ හා විවාහ මඟින් යටත් ප්‍රදේශ ඇතිකරලීමෙන් අධිරාජ්‍යය විශාල වීමත් රාජ්‍ය පාලනය මනාව පිහිටුවාලීමත් නිසා ආර්ථික තත්ත්වය ද බෙහෙවින් දියුණුවිය. එම වාතාවරණය යටතේ ගුප්ත යුගය ස්වර්ණමය යුගයක් කරා ගමන් කිරීම සිදු විය.

ගුප්ත යුගයේ ආගමික පසුබිම.

ගුප්ත යුගයේ අගාමික පසුබිම සකස් වූයේ හුදෙක් හින්දු දහම හා සංස්කෘතිය මුල් කරගෙනය. මෞර්ය යුගයේදි බමුණන්ගේ ගිලිහි ගිය ඒකාධිපති බලය මෙම යුගයේදි ඔවුන් නැවත ලබාගන්නා ආකාරයක් දැකිය හැක. රාජ්‍ය පාක්ෂික භාවය හිමි වීමත් සමග බමුණන් හින්දු දහම රට පුරා ව්‍යාප්ත කරන ලදි. මේ නිසා බුද්ධ ධර්මය ඉන්දියාවෙන් කෙමෙන් තුරන් වීම ඇරඹිණි. එත් සමගම හින්දු පුනර්ජීවනය ඇති වී සම්පූර්ණයෙන්ම වාගේ ගුප්ත සංස්කෘතිය හින්දු ආගම පදනම් කැර ගෙන නිර්මාණය විය. ඒ නිසා ගුප්ත යුගය හින්දු ආගමට සුවිශේෂි කාලපරාසයක් බවට පත්ව තිබේ. මේ කාල වකවානුවේදි හින්දු ආගමේ ශෛව හා වෛෂ්ණව වශයෙන් ප්‍රභේද දෙකක් වැඩී ගොස් තිබිණි. එම කොටස් දෙකම එකසේ ජනප්‍රිය විය. ඒ ඒ ආගමික කොටස්වලට ප්‍රාදේශීය වෙනත් ආගමික විශ්වාස ද මිශ්‍ර විය. හින්දු ආගමේ ව්‍යාප්තියත් සමග භක්තිවාදය ජනයා අතර මුල් බැස ගත්තේය. දකුණු ඉන්දියාවේ හටගත් එය උතුරට ද ව්‍යාප්ත විණි. හින්දු ආගමේ ඇති වූ විශාල දියුණුවට එකල ඉදිවුණු ගොඩනැගිල, ප්‍රතිමා ආදි නටබුන් සාක්ෂ්‍ය දරයි.

ගුප්ත යුගයේදි හින්දු ආගම ප්‍රධාන ආගම වුවද බෞද්ධ ආගමද පැවතිණි. පාහියන් භික්ෂුවගේ වාර්තාවන්ට අනූව එකල ඉන්දියාවේ බොහෝ බෞද්ධයන් සිට ඇත. සාරානාථ, බුද්ධගයා හා වෙල්ලෝර් වැනි බෞද්ධ සිද්ධස්ථානවල නටබුන් එය සනාථ කරයි. ඉන්දියාවේ බොහෝ පාලකයන්ගේ ප්‍රතිපත්තිය වූයේ සියලු ආගම් කෙරෙහිම සහනශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. ගුප්ත පාලකයන්ද ඒ අනූව හින්දු ආගමට මෙන්ම අනිකුත් ආගම් කෙරෙහිද ගරු කර ඇත. ඒ නිසා බෞද්ධ කටයුතු වලට ද ඔව්හු උදව් කළහ. ථේරවාද බුද්ධ ධර්මය ඉන්දියාවේ උතුරේ හා දකුණේ ජනපි‍්‍රය වූ බව පෙනේ. බුද්ධඝෝෂ හිමියන් සිංහල ත්‍රිපිටකය පාලියට නගා රැගෙන යාමට ලංකාවට පැමිණෙන්න ඇත්තේද තත් යුගයේ ථේරවාද ධර්මය ප්‍රචලිතව පැවති නිසා වන්නට ඇත. මහායාන බුද්ධ ධර්මයනම් මෙකල සැලකිය යුතු ම්ට්ටමකින් පැවතිණි. දිග්නාග, වසුබන්ධු වැනි භික්ෂූන් හරහා ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශයන් බිහි වූයේද මෙකලයි.

ජෛන ආගමද සමහර ජනයා විසින් පිළිගෙන ඇත. ගුප්ත රජුන්ගෙන් ජෛනයන්ටද අනුග්‍රහ ලැබිණි. ඔවුන් මථුරාවේ හා වලභියේ ජෛන ධර්ම සංගායනාවන් දෙකක් පැවැත්වූ බවද මූලාශ්‍රයන්හි සදහන් වේ. දකුණු ප්‍රදේශයේ හා දෙකානයේ බහුලව ජෛන භක්තිකයන් විසීය. ඔවුන්ද තම ආගමික ප්‍රතිපත්තීන්හි නියැළෙමින් සාමකාමි ජීවිත ගතකර ඇත.

මේ අනූව ගුප්ත යුගයේදි සෑම ආගමකම පැවැත්ම තහවුරු කර ඇති බව පෙනේ. සෑම ආගමිකයෙක්ම එකිනෙකා සමග සුහදව කටයුතු කර තිබේ. ජෛන, බෞද්ධ හා හින්දු ආගමිකයන් අතර වාද විවාද සාකච්ඡා පවත්වා ඇති බව සදහන් වීමෙන් එය තහවුරු වේ. කලාව සාහිත්‍යය වුවද වර්ධනය වී ඇත්තේ ආගම හරහාය. බෞද්ධ ආගම හරහා බෞද්ධ සාහිත්‍යයක්ද, හින්දු ආගම හරහා හින්දු සාහිත්‍යයක්ද, ජෛන ආගම මුල් කරගනිමින් ජෛන සාහිත්‍යයක්ද ගොඩ නැගී තිබේ. මේ අනූව පැහැදිලි වන්නේ මෙම ආගම් තුනම ගුප්ත යුගයේ ප්‍රචලිතව පැවති බවයි. හින්දු ආගමට මුල් තැන ලැබුනද අනිකුත් ආගම්ද ඒ හා සමානව වර්ධනය වී ඇති බව පෙනේ. මෙම ආගම් තුනෙන්ම සංකලනය වූ ආගමික පසුබිමක් ගුප්ත යුගයේ වූ බව මේ අනූව පෙන්වා දිය හැකිය.

ගුප්ත යුගයේ බුදු දහම.

ගුප්ත යුගය සාමකාමි ආගමික පරිසරයකින් හෙබි යුගයක් බව පැහැදිලි වේ. ගුප්ත රජවරුන් සෑම ආගමක්ම සමානත්වයෙහි ලා සලකන ලදි. වෛෂ්වණ ධර්මය හෙවත් හින්දු ධර්මයද, ජෛන ධර්මයද, බෞද්ධ ධර්මයද එකසේ ගුප්ත යුගය පුරා ව්‍යාප්ත විය. මෙහිදි බුදු දහමෙහි ව්‍යාප්තිය පිළිබදව විමසා බලනු ලැබේ. ලේඛන, කාසි, මූර්ති හා මූද්‍රා ගුප්ත යුගයේ බුදු දහමේ ව්‍යාප්තිය පිළිබදව කරුණු අධ්‍යයනයට මහගු පිටුවහලක් ලබා දේ. විශේෂයෙන් චීන ජාතික පාහියන් භික්ෂුවගේ වාර්තා ඒ අතර වැදගත් තැනක් ගනී. පාහියන් තම වාර්තාවේ ගමන් මගේ හමුවන විහාරස්ථනයන් පිළිබදව වර්ණනා කර ඇත. ඒවායෙහි නටබුන් දැනට හමු වී ඇති බැවින් ඔහුගේ වාර්තා අතිශයෝක්තියන් නොවන බව පැහැදිලි වේ. සාරානාථ නම් ස්ථානයෙන් ලැබී ඇති සියගණනක් වූ පිළිමද ප්‍රබල සාධකයක් ලෙස බුදු දහමේ ව්‍යාප්තිය සලකා බැලීමට ඉවහල් වේ.

ගුප්ත රජුන්ගේ අනුග්‍රහයන්.

ගුප්ත යුගයට අයත් බොහෝ මූර්තිවල රජවරුන්ගේ නම් බොහොමයක් සදහන් වේ. සමහරවිට එම නම් මූර්තීන් නිර්මාණයට උපකාරි වූ රජුන්ගේ නම් වන්නට ඇත. චන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය රජුගේ සෙන්පති අමුකාර්දව ගුප්ත සංවත් 25දී කාකනාදවෝට නම් විහාරයට ගමක් හා දීනාර් 25 ක පරිත්‍යාගයක් කිරීම ගැන සදහනක් වේ. එමෙන්ම එහි ආදායමෙන් දිනපතා භික්ෂූන් පස්නමකට දානය හා රුවන්ගෙයි පහන් දැල්වීම සිදු කරන ලදි. ප්‍රථම කුමාර ගුප්තගේ රාජ්‍ය කාලයේදි බුද්ධමිත්‍ර විසින් ගුප්ත සංවත් 129ක් දී මනකුආර නම් ස්ථානයේ බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් පිහිටුවන ලදි. මේ රජුගේ පාලන කාලයට අයත් බෞද්ධ ලේඛනයක ගුප්ත සංවත් 135 දක්නට ලැබේ. සාරානාථයෙන් ලැබුණු ප්‍රතිමා අතර ද්විතිය කුමාරගුප්තගේ හා බුද්ධ ගුප්තගේ නම් හා සංවත් තිථි 154-157 සදහන් වෙයි. මංජුශ්‍රී, අවලෝකිතේශ්වර ආදි බෝසත්වරුන්ගේ ප්‍රතිමාද මෙම රජවරුන් විසින් තනවා තිබේ. එපමණක් නොව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සෑහෙන මුදලක් බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීමට ලබා දී ඇත.

බෞද්ධ සාහිත්‍යය හා දර්ශනයන්ගේ වර්ධනය.

ගුප්ත යුගයේ ප්‍රධාන ආගම වූයේ හින්දු ආගමයි. එය මුල් කරගෙන සාංඛ්‍ය හා යෝග, න්‍යාය, වෛශේෂික, වේදාන්ත, මීමාංසා යන ෂඩ් දර්ශනය දියුණු විය. ඒ හා සමගම බෞද්ධ දර්ශනයද ක්‍රමානුකූලව දියුණු විය. දැනට සොයාගෙන ඇති පරිදි ඉන්දියාවේ ප්‍රධාන බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායන් සතරකි. සර්වාස්තිවාද, සෞත්‍රාන්තික, මාධ්‍යමික, යෝගාචාර යනු එම සතරයි. මෙම සම්ප්‍රදායන්ගේ උච්චතම අවස්ථාව ලෙස ගුප්ත යුගය හැදින්වීමට පුළුවන. ගුප්ත යුගයේ පැවති ස්වර්ණමය කාල පරාසය තුළ මෙම තාර්කික දර්ශනයන් වර්ධනය වූ බව සිතිය හැක. දාර්ශනික කරුණු ඇතුළත් කරමින් රචනා කරන ලද ග්‍රන්ථද බෞද්ධ ධර්මයේ පුනරුදයට හේතු විය. සමහරවිට මෙම දාර්ශනයන් එම ග්‍රන්ථ ජෛන හා හින්දු ආගමික මත ඛන්ඩනය කිරීමේ අරමුණින් රචනා කරන්නට ඇත. කෙසේ වුවද එමගින් බුදුදහමේ දාර්ශනික අගය ලොවට කියා පාන්නට හැකි විය.

විඥානවාදය හෙවත් යෝගාචාර සම්ප්‍රදායේ දියුණුව මෙකල සිදු වී ඇත. මාධ්‍යමික දර්ශනයේ ඉගැන්වෙන සියලු පදාර්ථ ශුන්‍ය යන සිද්ධාන්තයට විරුද්ධ වූවක් ලෙස මෙය ගොඩ නැගුණි. මාධ්‍යමිකයෝ ප්‍රකාශ කරනුයේ ලෝකයේ සියලු පදාර්ථ ශුන්‍ය බවයි. යෝගාචාර සම්ප්‍රදාය යම් බුද්ධියක් මගින් ලෝකයේ පදාර්ථයක් අසත්‍යය බව වටහා ගනියි නම් අවම වශයෙන් එම බුද්ධියවත් සත්‍යය වශයෙන් පිළිගත යුතු බවයි. එම නිසා ඔවුන් විඥානයම එකම සත්‍යය පදාර්ථය ලෙස පිළිගත්හ. අසංග, වසුබන්ධු, දිග්නාග වැනි දාර්ශනික භික්ෂුන් ගුප්ත යුගයේදි එම දර්ශනය තවත් ඉහළට ඔසවා තබනු ලැබීය.

අසංග හා වසුබන්දු සහෝදරයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගෙන් මහගු සේවාවක් බෞද්ධ දර්ශන විෂයට ඉටුවිය. අසංග විසින් විඥානවාදය පුළුල් කිරීම සදහා යෝගාචාර භූමි ,උත්තර තන්ත්‍ර යන ග්‍රන්ථද්වය රචනා කරන ලදි. මෙම ග්‍රන්ථද්වයෙන් විඥානවාදය තර්කානුකූලව ඔප්පු කිරීමට හැකි විය. වසුබන්ධු මුලින්ම සර්වාස්තිවාදි නිකායට අයත් අභිධර්ම විභාෂා නම් කෘතිය ලිව්වේය. නමුත් පසුව ඔහු විඥානවාදියකු විය. ඉන් පසු ඔහු විසින් විංශිකා, ත්‍රිංශිකා යන කාරිකා ග්‍රන්ථද රචනා කළේය. වාදවිධානයද උන්වහන්සේගේම කෘතියකි. මෙතුමාගේ ශිෂ්‍යයකු වූ දිග්නාග වාදවිවාද කොට විරුද්ධවාදීන් පරදවා දිග්විජය කළ බව සදහන් වේ. දිග්නාග විසින් න්‍යාය මුඛ, ප්‍රමාණ සමුච්චය යන ග්‍රන්ථ දෙක රචනා කළේය. සෞත්‍රාන්තික නිකායේ ප්‍රධානිය ලෙස සැලකෙනුයේ කුමාරලාතය. ඔහුද ගුප්ත යුගයේ විසූ බෞද්ධ පඩිවරයෙකි. කුමාරලාත විසින් කල්පනාමණ්ඩිතිකාව නම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය පිලියෙල කරන ලදි. ඔහුගේ පසුකාලීන ආචාර්යවරුන් වන ශ්‍රීලාත, ධර්මත්‍රාත, බුද්ධදේව යන්නවුන්ගෙන්ද බෞද්ධ දර්ශනයට මහගු සේවාවක් ඉටු විය.

මෙලෙස බුදු දහම මුල් කරගනිමින් නොයෙක් දර්ශන සම්ප්‍රදායන්ගේ වර්ධනය ගුප්ත යුගයේදි සිදු වී ඇති බව පෙනේ. එයට ගුප්ත යුගයේ පැවති ආගමික පසුබිම අතිශයින් උපකාරි වන්නට ඇත. ගුප්ත රජවරුන්ගේද නොමද සහයෝගය ඇතිව ක්‍රමිකව බෞද්ධ දර්ශනය දියුණු වී ඇති බව පැහැදිලි වේ.

බුදු පිළිම හා කලා ශිල්ප.

ගුප්ත යුගය බෞද්ධ කලා ශිල්ප ක්ෂෙත්‍රයේ උච්චතම අවස්ථාව බවට පත් විය. ඊට පෙර පැවති මථුරා සම්ප්‍රදායත්, ආන්ද්‍රා සම්පුදායත් ගන්ධාර, අමරාවති සම්පුදායනුත් ගුරුකොටගෙන ගුප්ත සම්ප්‍රදාය නිර්මාණය වී ඇත. පිළිම, මූර්ති, ආසන, මූද්‍රා, බෝසත් ප්‍රතිමා ආදියෙන් ගුප්ත කලාව විචිත්‍රවත් විය. බුද්ධ චරිතය මුල් කරගනිමින් පැන ගැගුණු මෙම නිර්මාණයන්ම ගුප්ත කලාව ලෙස හදුන්වනු ලබයි.

බුදු පිළිම.

ගුප්ත යුගයේ කලාකරුවා බුද්ධ ප්‍රතිමාට නව මුහුණුවරක් දුන්හ. ගන්ධාර සම්ප්‍රදායේදි ලෞකිකත්වයට බරව ප්‍රතිමා නිර්මාණය කළහ. නමුත් ගුප්ත යුගයේදි ප්‍රතිමාවට ආධ්‍යාත්මික ගුණ ආරුඪ කරන ලදි. ප්‍රතිමාවේ ශාරීරික අංග නිරූපණයේදි ඉතා සියුම් ලෙස පෙන්වමින් මනහර දේහ විලාශයකින් යුතු පුද්ගලයකු පිළිබිඹු කිරීම ගුප්ත කලාකරුවාගේ ප්‍රධාන අභිප්‍රාය වී ඇත. බුදුන් වහන්සේ ලෝකොත්තර පුද්ගලයකු බව පෙන්වීම ගුප්ත ප්‍රතිමා තුළින් සිදු වී තිබේ. අනිකුත් සම්ප්‍රදායන් තුළ නොමැති සුවිශේෂි ලක්ෂණ කිහිපයක් ගුප්ත ප්‍රතමාවල දැකිය හැක.

• බුදු පිළිමවල වස්ත්‍ර විනිවිද පෙනෙන අයුරින් නිර්මාණය කර ඇත. එම පිළිමවල ව්‍යාවර්තනය දක්නට ලැබේ. අංතරවාසකය තුනටියෙන් වැටී ඇති අතර සංඝාටිය දෙවුර වසමින් විලුඹ තෙක් වැටී ඇත.

• දක්ෂිණාවර්ත කුටිල කේශ හා උෂ්නිෂය ගුප්ත යුගයේ පිළිමවල පමණක් දක්නට ලැබේ.

• පිළිම සැකසීම සදහා චුනාරයේ සුදු වැලිගල් පමණක් උපයෝගි කරගෙන තිබේ.

මේ ආකාරයට ගුප්ත යුගයේ බුද්ධ ප්‍රතිමා බුදුන් වහන්සේගේ නියම ප්‍රතිරූපය හැකිතාක්‌ දුරට ඉතා නිවැරැදි ආකාරයටත් මූර්ති ශිල්ප ශාස්‌ත්‍ර නියමයන්ට අනුකූලවත් නිමවා තිබීම නිසාත් එමගින් බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සමුදාය මැනවින් පිළිබිඹු විය. ගුප්ත කලා ප්‍රතිමා පිළිබඳ ප්‍රකට ඉතිහාසඥයකු වූ ඒ. එල්. බෂාම් මහතා මෙසේ පවසා ඇත.

‘‘ඉන්ද්‍රියයන් පිළිබඳ ලෞකික භාවය භාරුත්. සාංචි හා මථුරා සම්ප්‍රදායෙහි ද ජීව ශක්‌තියෙන් යුක්‌ත වීම හා කැළඹුණු අංග චලනය අමරාවතියෙහි ද ප්‍රධාන ලක්‍ෂණය වී නම්? ගුප්ත කැටයම් ශිල්පයෙන් පිළිබිඹු වන්නේ උපශාන්ත බව නියත බව හා සියුම් බවත් ය.”

බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදි හිඳි පිළිම වශයෙන් ද හිටි පිළිම වශයෙන් ද, එක හා සමානව නිමවා ඇත. මෙමගින් පැහැදිලි වන්නේ මෙකල්හි හිඳි පිළිම සේම හිටි පිළිම ද එකසේ ජනප්‍රිය තිබුණු බවයි. ගුප්ත යුගය උදාවත්ම ප්‍රතිමා මූර්ති ශිල්පය ශාස්‌ත්‍ර නියමයන් එනම් දිග, පළල, මුද්‍ර, ආසන යනාදී එකී සමාජය පිළිගන්නා වූ ශාස්‌ත්‍රානුකූල ක්‍රමවේදයකට පවත්වාගෙන ගොස් ඇත. එම නිසා ගුප්ත යුගයේ ප්‍රතිමාවන්හි ගාන්ධාර කලා සම්ප්‍රදායේ හා මථුරා කලා සම්ප්‍රදායේ ප්‍රතිමාවන්ට වඩා ශිල්පීය නිපුණතාවක්‌ පැහැදිලිවම දැක ගන්නට හැකිය. සාරානාත් හි ධම්ම චක්‍ර මුද්‍රා බුදු පිළිමය, මංකූවාර් අභය මුද්‍රා හිඳි බුදු පිළිමය, මථුරා කලා සම්ප්‍රදායට අයත් ජමාල්පූර් හිටි බුදු පිළිමය, සුල්තාන් ගුංජි හිටි ලෝහ බුදු පිළිමය ආදිය මගින් ගුප්ත යුගයේ බුද්ධ ප්‍රතිමා කලාව පිළිබදව අවබෝධයක් ලබාගත හැකිය.

සමස්තයක් ලෙස මෙම යුගයේදි බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ ප්‍රතිමාවෙන් පෙන්වූ අතර සැරසිලි අලංකාර ආදිය දැකිය නොහැක. චාම් සරල ආකාරයකින් සැමවිටම ප්‍රතිමා නිමවා ඇත. මෙමගින් තත් යුගයේ බුදුදහමේ ව්‍යාප්තිය පිළිබදව යම් ඉගියක් ලබාදෙයි. ලෝකයේ බෞද්ධ රටවල්වල ප්‍රතිමා නිර්මාණයේදි ගුප්ත ප්‍රතිමාවල ආභාෂය බහුලව යොදාගෙන තිබේ. උදාහරණයක් ලෙස ලංකාවේ අනුරාධපුර යුගයේ ප්‍රතිමා නිමවා ඇත්තේ ගුප්ත නිර්මාණවල ආභාෂයෙනි.

මූද්‍රා.

ගුප්ත යුගයේ ප්‍රතිමා නිර්මාණ ශිල්පීන් බුදු පිළිමය විවිධාකාරයෙන් නිර්මාණය කරන ලදි. ඔවුන් ඒ සදහා නොයෙක් මූද්‍රාවන් යොදාගෙන තිබේ.

• භූමි ස්පර්ශ මුද්‍රාව . බුදු පියාණන් වහන්සේ යෝගාසන ඉරියව්වෙන් වැඩ සිටිමින් වමතෙහි ඇඟිලිතුඩු කෙළවරින් මහ පොළොව ස්පර්ශ කරන අයුරු මෙම මුද්‍රවෙන් නිරූපිතය“ තමන් පරාජයට පත් කළ බව හැකි නම් ඔප්පු කරන්නැයි මාරයා සම්බුදු පියාණන් වහන්සේට අභියෝග කළ අවස්ථාවේ “ මා තොප පරාජය කළ බවට මේ මිහිකත සාක්කි “ යැයි උන් වහන්සේ දුන් පිළිතුර මෙම මුද්‍රාවෙන් සංකේතවත් වන වෙයි.

• අභය මුද්‍රාව බුද්ධ ප්‍රතිමා සඳහා ඉතා බහුලවම යොදා ගැණුනු මුද්‍රාවකි. හිටි බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ශිල්පීන් අතර ඉතාම ජනපි‍්‍රය වූ බව පෙනේ. භය නොවීම නිර්භය බව මෙම මුද්‍රාවෙන් නිරූපිත බව මූලික අරුතයි. මෙම මුද්‍රාව හිටි පිළිම වල දැකීමට හැකිය. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත්ල බැතිමතා දෙසට විවෘතව තිබීම දැකිය හැකිය මෙයින් අදහස් කෙරෙනුයේ සියලූ දෙනා හට බුදුන් වහන්සේගේ ආරක්ෂාව පිහිට ලැබෙන.අභය මුද්‍රාවෙන් සිංහ ශක්තිය , හෙවත් යටි සිතෙහි වීර්යය සංකේතවත් කරන බව තවත් අදහසකි.

• වරද මුද්‍රාව වරද මුද්‍රවෙන් දැක්වෙනුයේ සත් වග වෙත කිසියම් වරයක් පිරිනැමීමයි. උත්තරීතර දයාව ද කරුණාව ද සියලු සත්ත්වයනට එක හා සමානව පිරිනැමීම මෙයින් නිරූපණය වන බව සඳහන් වේ.මෙහි ඉරියව් ලෙස දකුණු අත පහත් කොට ඉදිරියට දිගහැර අත්ල උඩු අතට හරවා ඇගිලි දිග හැර තිබීම මෙහි ලක්ෂණය වේ. සාරානාත් කෞතුකාගාරයේ තබා ඇති සාරානාත් බුද්ධ ප‍්‍රතිමාව. අජන්තා ගල්ලෙන් පිළිම මේ සදහා උදාහරණය.

• ධර්ම චක්‍ර මුද්‍රාව මෙහි ඉරියව්ව ලෙස දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබා ගෙන එහි දබර ඇගිල්ලේ හා මාපටගිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුලට හැරවුණු වම් අතේ ඇගිල්ලක් ස්පර්ශ කරන අයුරින් තබා සිටියි. මෙයින් අර්ථ ගැන්වෙන්නේ බුදුන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනය පැවැත්වූ අයුරුයි.

මෙම මූද්‍රාවන් ගුප්ත කාලීන බුද්ධ ප්‍රතිමාවල දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයාට කියා පෑමට මෙම මූද්‍රාවන් මගින් හැකියාව ලැබී ඇත. බුදු පිළිමයෙන් නිරූපිත භාවාර්ථය ඉදිරිපත් කිරීමට මූද්‍රාවන් ගුප්ත ශිල්පීන්ට අතිශයින් උපකාරි වී තිබේ.

බුද්ධ ප‍්‍රතිමාවේ ආසන.

මෙයින් අදහස් වන්නේ බුදු පිළිමයේ දෙපා තබා තිබෙන ආකාරයයි.

• පද්මාසන පද්මාසනයක් ආකාරයට ඉදගැනීම මෙයින් අදහස් වේ. මෙහි ඉරියව් ලෙස දනහිස් නමා පතුල් උඩු අතට හැරුනු පරිදි දකුණු පාදය වම් කලවයට උඩින් ද වම් පාදය දකුණු කලවයට උඩින් ද සිටින ආකාරයෙන් හිදීම පද්මාසනයයි.

• වීරාසනය වම් පාදය දකුණු පාදය යටින් හා දකුණු වම් පාදය උඩින් සිටින අයුරින් තබා හිද ගැනීම වීරාසනයයි.‍

• භද්‍රාසන තරමක් උසට තනන ලද විශේෂ ආසනයක් මත හිද කලවා දෙපසට විහිදුවා ආසනයෙන් පහතට වැටෙන පා දෙක පීඨයක මත සිටිනා අයුරින් දැක්වෙන්නේ භද්‍රාසනයයි.

මේ ආකාරයට ගුප්ත යුගයේදි නොයෙක් අංග එක් කරමින් බුද්ධ ප්‍රතිමා කලාව දියුණු වී ඇත. බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් මුල් කරගනිමින් චිත්‍ර කලාවද වර්ධනය විය. ගල් කැබලිවල මෙම සිදුවීම් චිත්‍රණය කර ඇත. සාරනාථ කෞතුකාගාරයේ ගල් කැබලිවල සිතුවම් කළ බුද්ධ චරිතයේ ප්‍රධාන හා අප්‍රධාන සිදුවීම් අටක් තිබේ. බුදුන්ගේ උපත, සම්බෝධිය, ධර්ම චක්‍ර ප්‍රවර්තනය, මහා පරිනිර්වාණය යන ඒවා ප්‍රධාන සිදු වීම්ය. මේවා ලුම්බිනිය, බුද්ධගයාව, සාරානාථය, කුසිනාරාව යන ස්ථානවලින් හමු වී ඇත. අප්‍රධාන සිදුවීම් ලෙස ත්‍රයස්ත්‍රිංශන් දිව්‍ය ලෝකයෙන් ආපසු වැඩමවීම, නාලාගිරි දමනය, වදුරාගේ මී දානය විශ්වරූප ප්‍රදර්ශනය යන නිර්මාණ සංකස්ස, රජගහ, පාරිල්‍යෙයක හා ශ්‍රාවස්ති යන ස්ථානවලින් හමු වී තිබේ. මේ ආකාරයට චිත්‍ර කලාව අතින් ගුප්ත යුගය විශේෂ දියුණුවක් ලැබිය. අජන්තා බිතු සිතුවම් මෙයට කදිම නිදසුන්ය. ජාත්‍යන්තර කීර්තියක් ඒවාට ලැබී ඇත්තේ ගුප්ත නිර්මාණ ශිල්පියා ගේ කලා කෞශල්‍යයෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුය.

බෝධිසත්ව ප්‍රතිමා.

බෝධිසත්ව ප්‍රතිමාද ගුප්ත යුගයේදි නිර්මාණය වී ඇත. ඒ හා සමගම ධ්‍යානි බුදුවරුන් පස් නමකගේ ප්‍රතිමාද තනා ඇත. අමිතාභ, අක්ෂෝම්‍ය, රත්නසම්භව, අමෝඝසිද්ධි, වෛරෝචන යන බුදුවරුන්ගේ ප්‍රතිමා මීට අයත්ය. මීට අමතරව අවලෝකිතේශ්වර, මෛත්‍රෙය හා මංජුශ්‍රී යන බෝධිසත්ව ප්‍රතිමාද හමු වේ. ගුප්ත යුගයේ මහායාන සම්ප්‍රදාය ප්‍රචලිතව පැවති නිසා බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය වන්නට ඇති බව සිතිය හැක. නමුත් ඒවාද බුදු දහමේ ව්‍යාප්තිය මනාව පෙන්නුම් කරයි.

වෙනත් නිර්මාණ.

බුද්ධ ප්‍රතිමාවලට බෝසත් ප්‍රතිමාවලට චිත්‍රවලට අමතරව චෛත්‍යය, කුළුණු ආදියද ගුප්ත කලාව තුළ අන්තර්ගතය. ඒවාද බෞද්ධ තේමාවන් යොදාගනිමින් නිර්මාණය කර ඇත. සාරානාථයේ ධමේඛ ස්තූපය ගුප්ත යුගයට අයත් වූවක් බව තහවුරු කරගෙන ඇත. භික්ෂූන් වහන්සේලාගේ වාසය සදහා බොහෝ වෙහෙර විහාරද ගුප්ත යුගයේ ඉදිකර තිබේ. සාරානාථයේ තැන තැන විසිරුණු විහාරස්ථානවල නටබුන් බොහෝමයක් දක්නට ලැබේ. මේවාද නොයෙක් කැටයම් සිතුවම්වලින් අලංකාර කර ඇත. බොහෝ විට පාෂාන යොදාගෙන සිද්ධස්ථාන ගොඩනගා ඇත.

මීට ප‍්‍රථමයෙන් භාරත දේශයේ තිබුණු ගන්ධාර , මථුරා , අමරාවතී වැනි කලා මධ්‍යස්ථාන වලින් ඇති වූ විවිධ මූර්ති සම්ප‍්‍රදායයන්වලට වඩා සම්පූර්ණ වූ පරිපූර්ණ වූ කලාකෘතින් බිහිවූයේ මේ ගුප්ත කලා සම්ප‍්‍රදායෙනි. භාරතීය කලා සම්ප‍්‍රදාය විදේශිය බලපෑම් වලින්තොරව දේශීය ලක්ෂණ වලින් පරිපූර්ණ වූ කලාවක් බවට පත් වූයේ මේ ගුප්ත කලා සම්ප‍්‍රදාය පැවතුණු කාලයේදීය. අජන්තා බිතු සිතුවම් වල විශිෂ්ටතම නිර්මාණ ගුප්ත රාජ සමයට අයත් වීමෙන් එය වඩාත් තහවුරු වේ.

බෞද්ධ අධ්‍යාපනය.

ගුප්ත යුගයේ අධ්‍යාපනය මූලිකවම ආගමත් සමගම ක්‍රියාත්මක විය. හින්දු දහම වටා හින්දු අධ්‍යාපනයත් බුදු දහම වටා බෞද්ධ අධ්‍යාපනයත් කේන්ද්‍රගත විණි. හින්දු අධ්‍යාපනයේදි අග්‍රහාර ගම් හරහා එය ලබා දෙන ලදි. බෞද්ධ අධ්‍යාපනය ආරාම මෙන්ම විශ්වවිද්‍යාල හරහා ප්‍රචාරය කර ඇත. හින්දු අධ්‍යාපනයට වුවද ආභාෂය ලැබී ඇත්තේ බෞද්ධ අධ්‍යාපනික මද්‍යස්ථානවලින් බව පැහැදිලිව පෙනේ.

ගුප්ත යුගයේ පැවති ප්‍රධාන බෞද්ධ විශ්වවිද්‍යාල වූයේ තක්ෂිලාව හා නාලන්දාවයි. මේවා බෞද්ධ සම්ප්‍රදාය යටතේ දියුණු තත්වයක පැවති බවට සාක්ෂි ඇත. එම කාලයේ ඉන්දියාවට පැමිණි පාහියන් භික්ෂුව තක්ෂිලාව පිළිබදව කිසිදු සටහනක් තබා නොමැත. නමුත් ඔහුගේ වාර්තා අතර නාලන්දාව පිළිබදව බොහෝ තොරතුරු ඇතුළත් වේ. ඒ අනූව නාලන්දාවේ ශිෂ්‍යයන් දස දහසක් පමණ ඉගෙන ගත් බවත් දිනකට දේශනා වාර 100 ක් පමණ පැවැත්වූ බවත් දැක්වේ. එහි මහායාන හා ථෙරවාද ආදි දර්ශන වාදද, නීතිය, තර්ක, ව්‍යාකරණ, ගණිත, ඡ්‍යොතිර් විද්‍යා ආදි හැම විෂයයක්ම උගන්වා ඇත. මෙහි නඩත්තුව සදහා ගුප්ත රජවරුන් මෙන්ම ගම්වැසියන් විසින් ගම්වර ප්‍රදානය කර තිබේ. දැනට ලැබී ඇති නටබුන් අනූව නාලන්දාව පැවති ආකාරය වටහාගත හැකිය. එකල භාරතය පුරාම බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමියා ලෙස වැජඹෙන්නට ඇත්තේ නාලන්දා විශ්වවිද්‍යාලයයි. උසස් අධ්‍යාපන ආයතනයක් වූ එය ජාත්‍යන්තර කීර්තියට ලක් වූවකි. එම නිසා ලෝකයේ නා නා දිශාවලින් ශාස්ත්‍රාභිලාෂිහු එහි දහස් ගණනින් ඇදී ආහ. මේ නිසා බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝධය භාරතය පුරා මෙන්ම ලෝකය පුරාද පැතිරෙන්නට ඇත.

ගුප්ත යුගයේ පැවති අනික් අධ්‍යාපන මධ්‍යස්ථාන නම් බරණැස, මථුරා හා පාටලිපුත්‍රයි. ඒවායෙහිද බෞද්ධ සම්ප්‍රදායට අනුකූල වූ අධ්‍යාපන ක්‍රමයක් විය. මහා පරිමාණයේ අධ්‍යාපන මධ්‍යස්ථාන හැරුණු විට ඒ ඒ ප්‍රදේශවලවල කුඩා බෞද්ධ අධ්‍යාපන අයතනද විය. ඒ අතර බෞද්ධ විහාර වටා ගොඩනැගුණු ශාස්ත්‍රය බෙදා දෙන තැන් ද තිබිණි. මේ සෑම ආයතනයකම බුද්ධ ධර්මය, විවිධ බෞද්ධ දර්ශන ආදිය උගන්වා ඇත. එකල භාරතීය අධ්‍යාපන ක්ෂෙත්‍රය තුළ බෞද්ධ අධ්‍යාපනය ප්‍රමුඛස්ථානයක් ගෙන ඇති බව පෙනේ.

 ඉහත ආකාරයට ගුප්ත යුගයේදි සෑම ක්ෂෙත්‍රයක්ම ස්වර්ණමය අවස්ථාවට පත්ව ඇති බව පෙනේ. එහිදි විශේෂයෙන්ම බුදු දහමේ පුනරුදය පිළිබදව මෙහිදි සාකච්ඡා කරන ලදි. ඒ අනූව පැහැදිලි වනුයේ අශෝක යුගයෙන් පසුව ගුප්ත යුගයේදි බුදුදහමේ සීඝ්‍ර දියුණුවක් ඇති වී ඇති බවයි. තත් යුගයේ සෑම ආගමකටම සම තත්වයක් හිමි වූ අතර ඒවාට රාජ්‍යය අනුග්‍රහයන් ලැබිණි. ඒ නිසා ආගම වටා ඒ ඒ සංස්කෘතීන් ගොඩ නැගුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුදු දහම වටා ද වෙනම සංස්කෘතියක් බිහි වුණි. දර්ශන, මතවාද, සාහිත්‍යය, කලා ශිල්ප, අධ්‍යාපනය බුදු දහම කේන්ද්‍ර කරගනිමින් වර්ධනය විය.

විශේෂයෙන්ම මෙම යුගයේදි බෞද්ධ කලා ශිල්ප විශාල වශයෙන් දියුණු විය. බුදු පිළිම කලාව වෙනත් යුගයන්ට සාපේක්ෂව ඉහළ තත්වයක් ගත්තේය. ඒ හා සමගම විහාර, දාගැබ්, ගොඩනැගිලි කලාවද ඇති විය. කැටයම් අලංකාර ආදියද බෞද්ධ නිර්මාණ අතර පැතිරුණේය. මෙම දියුණු තත්වයේ ආභාෂය පසුකාලීන කලා ශිල්ප විෂයෙහි සෘජුවම බලපා තිබේ. බෞද්ධ අධ්‍යාපනයද මෙකල විශේෂත්වයක් ගත්තේය. නාලාන්දා වැනි විශ්වවිද්‍යාල තුළින් මෙන්ම ආරාම ආශ්‍රයෙන්ද ශාස්ත්‍රෝද්ග්‍රහණයට මග පෑදිණි. බුදුදහමේ එන කේන්ද්‍රීය ධර්ම කරුණු මුල් කරගනිමින් නොයෙක් දර්ශනයන්ද ඇති විය. ඒවා පසුකාලීන යුගයන් කරාද ව්‍යාප්ත වී බුදු දහමේ ව්‍යාප්තිය තවත් පුළුල් කළේය.

මෙලෙස බුදු සමයේ ප්‍රබෝධමත් අවධියක් ලෙස ගුප්ත යුගය හදුන්වා දිය හැකිය. ගුප්ත රජවරුන්ගේ අනුග්‍රහයෙන්ද, තත් යුගයේ පැවති දේශපාලනික, සංස්කෘතික තත්වයන් උපයෝගි කරගනිමින් ද බුදු දහම භාරතය පුරාම ව්‍යාප්ත විය. ඒ ඇසුරෙන් නිර්මාණය වූ කලා ශිල්පාදි අංග ලෝකය පුරා අද ද දක්නට ලැබේ. මේ නිසා ගුප්ත යුගය බුදු සමයේ දීප්තිමත් අවස්ථාවක් සනිටුහන් කළ බව අවිවාදයෙන් පිළිගත යුතුය.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය හදුන්ගමුවේ චන්ද​ජෝති හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.