( මෙම ලිපිය ද ද මා විසින් රචිත එකක් නො වේ. ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතා විසින් රචිත මෙම ලිපිය අන්තර් ජාලයෙන් පිටපත් කරන ලද්දේ කාව්‍ය කරණයේදී එළු සඳස් ලකුණ පිලිබඳ දැනුම අතිශයින් ප්‍රයෝජනවත් හෙයිනි, )

දඹදෙණි යුගයට අයත් ‘එළු සඳස් ලකුණ’ අපට දැනට දකින්නට ලැබෙන, කාව්‍ය ශාස්ත්‍රයේ ඡන්දස් පිළිබඳ සිංහලෙන් ලියැවී ඇති පැරණිතම කෘතිය යි. පද්‍ය බන්ධනය වූයේ ඡන්දස් අනුව වූ විරිත්වලිනි. එබැවින් පද්‍ය කාව්‍යකරණය උදෙසා ඡන්දස් සහ අලංකාර එක සේ වැදගත් විණි. අලංකාර ගැන සියබස්ලකරින් ලියැවී තිබිය දී ඡන්දස් විස්තර කෙරෙන ග්‍රන්ථයක අඩු ව පිරිමැසී ඇත්තේ එළු සඳස් ලකුණෙනි.

සියබස්ලකරෙහි කියැවෙන ‘කලණමිත් ඒ වියතුන් ගත්හි පියුම් ලකුණු ඈ’ යන්න පිළිබඳ අවධානය යොමු කරන උගතුන් අනුරාධපුර සමයේ කලණමිත් නම් විද්වතෙකු විසින් ලියන ලද ‘පියුම් ලකුණ’ නමින් වූ ඡන්දස් කෘතියක් වී යැයි නිගමනය කළ ද දැනට එය විද්‍යමාන නො වේ. එබැවින් දැනට ඇති පැරණි ම ඡන්දස් විග්‍රහ කෘතිය සේ බුහුමනට ලක් වන්නේ එළු සඳස් ලකුණ යි. මෙය ආරම්භ වන්නේ මෙලෙසිනි.

‘පිණිපා කොටින් සතර – සඳස් ලකුණු නෙළුවේපවසම් පොරණ ඇජරන් – ගිය මගනැලුප් හෙ මෙසේ’

මේ මුල් ගීය තුළ ම නමස්කාරය ද සමඟ අපේක්ෂිත කාර්යය සහ එහි විධි ක‍්‍රමය ද පිඬු කොට දක්වා තිබේ. මෙසේ සිංහල ඡන්දස් ලක්ෂණ දක්වනුයේ පුරාණ ආචාර්යවරයන්ගේ ආලාප (වචන) මාර්ගයෙන් යැයි පැවසීමෙන් මෙයට පෙර පැවැති සම්භාව්‍ය කෘති පිළිබඳව ද යම් අදහසක් පළ කෙරේ. මෙහි ‘සඳස් ලකුණු නෙළුවේ’ යැයි කීමෙන් ‘සිංහලයේ ඡන්දස් ලක්ෂණ’ යන්න අවධාරණය වේ. තව ද මේ යෙදුම ‘එළු සඳස් ලකුණ’ යන ග්‍රන්ථ නාමය සඳහා ද පාලක වී තිබේ. කතුවරයාණන් මෙයට යෙදු නම මෙය බවට කෘතියේ කිසිදු තැනක සඳහන් නො වේ. ග්‍රන්ථාවසානයෙහි එන ගීයක ‘එමෙනි මා නිය අසකින් කළ විරිත් මිණිමල්’ යනුවෙන් සඳහන් වීමෙන් කතුවරයා මෙයට යෙදූ නම ‘විරිත් මිණිමල’ වී දැයි සැක සිතේ.

ග්‍රන්ථාවසානයේ සඳහන් ‘විමලග සසුන් වැසි වූ බද නම විසින් දුටුයේ’ යන්නෙන් කියැවෙන පරිදි බද හෙවත් භද්‍ර නම් වූ භික්ෂුන් වහන්සේ නමක විසින් මේ කෘතිය රචනා කරන ලද බැව් පැහැදිලි වේ. මේ හැර උන් වහන්සේ හෝ උන්වහන්සේ වැඩ විසූ විහාරය හෝ වෙනත් තොරතුරක් හෝ මේ කෘතියේ වත් අන් කිසිදු මූලාශ‍්‍රයක වත් දකින්නට නැත. පැරැණි සාහිත්‍ය ග්‍රන්ථයන් ගෙන් පමණක් නො ව කව් සිළුමිණෙන් ද කතුවරයා මේ කෘතිය සඳහා නිදර්ශන පාඨ සපයා ගෙන තිබේ. එබැවින් මෙය දඹදෙණි සමයේ අග භාගයට අයත් නිර්මාණයක් විය යුතු ය.

එළු සඳස් ලකුණ ගී 118 කින් යුක්ත ව ප්‍රබන්ධය වී තිබේ. නිදර්ශන ගී ඇත්තේ ග්‍රන්ථයේ අන්තර්ගතය වූ එකී ගීවලට අමතර ව ය. මේ කෘතියේ අන්තර්ගතය සංඥා විධි ගී ලකුණු, සිව්පද ලකුණු, දෙපා ලකුණු සහ ගී සිව්පද ලකුණු වශයෙන් ප්‍රධාන කොටස් පහකට බෙදී යේ. සංඥා කොට්ඨාසය ලඝු – ගුරු භේදය පැහැදිලි කිරීමෙන් ආරම්භ වී මාත්‍රා, ගණ, යවහන් දෝෂ, එළිසමය වැනි කරුණු පැහැදිලි කරයි. ගී ලකුණු කොට්ඨාසයේ දී පියුම්, වත්වල, උමතු, කව්, බමර, යාගී, දුවඟ, යොන්, කාරිකා, තොහොල්, බහල්මත්, නළු, යසපුලුතු, උනු විලඹු, ගජගාමී යනුවෙන් වූ ගී විරිත් පැහැදිලි කෙරේ. සිව්පද ලකුණු යටතේ සඳ, සිරි, මැදුම්, පිහිටි, සුපිහිටි, උතු, සෙල්, ගජ, රැඳි, රවුළු, තෙනෙත්, හිරු, මී, මදු යන විරිත් සහ ඒවායේ තවත් ප්‍රභේද විස්තර වේ. දෙපා ලකුණු නම් පෙර කී සිව්පද ගී විරිත් ම සහිත ව එකී සිව්පදවලින් අර්ධයක් හෙවත් දෙපදයක් සේ පද්‍ය රචනා කිරීම ය. ගී සිව්පද සිතිලි ගී, කඩවක් ගී, සැහැලි ආදි වශයෙන් විවිධ විරිත් ගනී.

එළු සඳස් ලකුණ සංස්කෘත ඡන්දස් ක‍්‍රම අනුගමනය කරමින් ලියැවුණු කෘතියක් නො වේ. ‘සඳස් ලකුණු නෙළුවේ’ යැයි කී පරිදි සිංහලයේ තිබූ ඡන්දස් ලක්ෂණ විග්‍රහ කොට දැක්වීම කතුවරයාගේ අරමුණ වී තිබේ. මෙයින් ධ්වනිත වන්නේ සිංහල භාෂාවට ආවේණික වූ ඡන්දස් විධි එවක ස්ථාපිත ව පැවැති බව යි. එහෙත් එළු සඳස් ලකුණෙහි සංස්කෘතාදි වූ ඡන්දස් ක‍්‍රම සපුරා බැහැර කරලීමක් නො ව ඒවායින් ද සිංහල ඡන්දස් පද්ධතිය පෝෂණය කොට ගත් බවක් පෙනෙන්නට ඇත. ඇතැම් සංස්කෘත වෘත්ත ඒ නමින් ම ද තවත් ඒවා වෙනත් නම් සහිත ව ද එළු සඳස් ලකුණට ඇතුළත් ව තිබේ. ‘තෝටක වෘත්තය’ එසේ ඒ නාමය ද සහිත ව මෙහි දැක්වෙන්නකි. ‘සතර සගණින් බඳ තෝටක නමැයි දන්නේ’ යනුවෙන් ඒ විරිත හඳුන්වා දේ.

‘නෙවෙන් ඇරින් වසමැ – යති පෙර අඹෙහි විසිමත්පසඹෙහි දෙවිසිමත් – ගී ලකුණුවේ හෙ මෙසේ’

එළු සඳස් ලකුණෙහි ගී ලක්ෂණ අදියර ඇරඹෙනුයේ මෙලෙසිනි. මෙහි දැක්වෙන පරිදි ගී විරිත්වල එක්එක් පාදයන්හි පිහිටිය යුතු මාත්‍රා සංඛ්‍යාව ද ගීයේ යතිය පිහිටීම ද ඇතුළු උවදෙස් ප්‍රකාශ වෙයි. මෙසේ පැවැසෙන කරුණු තහවුරු කරනුවස් සම්භාව්‍ය කෘතිවලින් උපුටා ගත් අගනා නිදර්ශන ගී එක් කොට තිබේ.

ගී ලක්ෂණවලින් පසු ව එන සිව්පද ලක්ෂණ අදියර එළු සඳස් ලකුණෙහි දීර්ඝතම කාණ්ඩය යි. කෘතියේ ගීවලින් අඩකටත් වඩා එනම්, ගී 64 ක් ම සිව්පද විරිත් පහදා දීම සඳහා කැප වී තිබේ. සිව්පද යනු කවරේ දැයි පැහැදිලි කරන ඒ කාණ්ඩයේ පළමු ගීය මෙසේ ය:

‘ගණ සකි වසම් කිසි – එම බත් සම කරත් හොත්සම එළි විරම්පද වුව- සිවුපද නමැයි දන්නේ’

ගණ සංඛ්‍යාව විෂම වුව ද මාත්‍රා සංඛ්‍යාව සම වෙතොත් ද සමාන එළිවැට, විරාම සහ පද වෙතොත් ද සිවුපද නම් වන බව මෙයින් පැවැසේ. මේ අනුව ලඝු ගුරු මිශ්‍ර​ව හැම පේළියක ම සමාන මාත්‍රා සංඛ්‍යාවක් ද එළි සම වීම ද සිවුපදයට නියත අංග බැව් හෙළි වේ. සංඥා විධි කොටසේ අවසන් ගීයෙන් ‘යමහන් ලකුණු එළි – සැතපුම් ද දනු අතුරේ’ යැයි පැවසුණේ විශේෂයෙන් සිව්පද උදෙසා බව මේ අනුව පැහැදිලි වේ.

සිව්පද කවිය පසුකාලයක දී ව්‍යාප්ත විණැයි යන අදහස බැහැර කරන්නට හැකි ලෙසින් එවක පැවති මේ සිව්පද කව් දෙස බලන්නට අපට සිදු වේ. සීගිරි පද්‍ය අතුරෙහි පවා සිව්පද කවි දකින්නට පිළිවන. එළු සඳස් ලකුණේ මාත්‍රා විසි දෙකකින් යුක්ත කුසුම් සිරිහර විරිතට උදාහරණ සේ දක්වා ඇති කවිය පැරණි සිංහල ඡන්දස්වල පැවති කර්ණ රසායනය පැහැදිලි කරන කදිම නිදසුනකි. මෙහි මාත්‍රා දහයකින් හා මාත්‍රා හයකින් හා යළිත් හයකින් එළිසමය ද විරාමය ද තැබෙන සේ ප්‍රබන්ධය කෙරෙන වෘත්තයකි.

‘සහ සිරි තඹුරු කැලී පිරුණු විලී උපුල් මලීරමණී ගඟුල් හැලී හොයළ වැලී යොහොඹු මැලීගිරි නිල් සුපුල් මලී උදුල ගලී කිණිරිමලීදගරන් දරණ වැලී මෙවන කලී කෙළෙ කුහුලී’

ගී සිව්පද ලක්ෂණ යනුවෙන් වූ අග කොටසෙහි වඩාත් විචිත‍්‍ර වූ විරිත් දකින්නට ලැබේ. ‘ගී සිව්පද ලකුණු දෙකෙන් වැඩේ අත් සඳ’ යැයි ගී ද සිව්පද ද යන ලක්ෂණ දෙකෙන් ම යුක්ත ව මේ ඡන්දස් වර්ධනය වන බැව් එහි ආරම්භයේ දී ම පැවසේ.

සිංහල භාෂා සාහිත්‍යයට ආවේණික වූ ඡන්දස් පැවති බව සනාථ කිරීමෙන් එළු සඳස් ලකුණෙන් හෙළි වන්නේ ජාතික වැදගත්කමකින් යුක්ත අගනා තොරතුරකි. මෙහි දැක්වෙන ඡන්දස් අනු පිළිවෙළ සියබස්ලකරෙහි දැක්වෙන ඡන්දස් නාම පිළිවෙළ හා සැසදෙන්නකි. සියබස්ලකරෙහි කළණමිත් නම් පඩිවරයෙකුගේ ඡන්දස් කෘතියක් ගැන ද කියැවෙන බැවින් එළු සඳස් ලකුණ සඳහා එය ද පූර්වාදර්ශ වන්නට ඇත. එබැවින් මේ චන්දස්වලින් පළ වන විරිත් හි ඉපැරණි බව තවත් ඈතට දිවේ. එළු සඳස් ලකුණෙහි ද නො කියැවෙන විරිත් පවා සීගිරි ගීවලින් ප්‍රකට වන බැවින් සිංහල ඡන්දස්වල ඉපැරණි බව වඩාත් තහවුරු වේ.

එළු සඳස් ලකුණු නිදර්ශන ගී ද අගනා මූලාශ‍්‍රයයන් සේ දැකිය හැකි ය. ඒවායින් පෙර පැවතියා වූ නාමශේෂෝපගත වටිනා කාව්‍ය රැසක් ගැන තොරතුරු හෙළි කිරීම හැරුණු විට තත්කාලීන සමාජ තොරතුරු සමූහයක් ද අනාවරණය වේ. මත්වල ගී විරිතේ නිදසුන් ගීයේ ගොයම් කපන කෙතක් ගැන සඳහන් වීම අඹහැලි විරිතට උදාහරණ ගීයේ ශිව දේව පූජා ගැන සහ උප ජාති අටළොස් පද සැහැලි විරිතේ නිදර්ශන ගීයේ චන්ද්‍ර වන්දනාව ගැන කීම එවැනි අවස්ථා ය.

එළු සඳස් ලකුණ යනු සියලු ම විරිත් දක්වමින් විග්‍රහ කෙරෙන කෘතියක් නො වන බවත් තෝරා ගත් උසස් විරිත් පළ කිරීමක් බවත් ‘මිණි ආරෙව් මිණි තෝරා නන් උතුම් තුම්’ යැයි කතු හිමියෝ නිහතමානී ව පළ කරති. එපමණක් නො ව අ විරිමාණ ත් සිංහලයේ පවත්නා බව ‘කෙළ සුවහස් විරිත් – සඳහන් ලකුණු දනු එළුවේ’ යනුවෙන් ද පෙන්වා දෙති.

( අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )

විජය මාපලාන

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය පොළොන්නරුවේ කාශ්‍ය​ප හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන්බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0718284753  අ​ංකයට වට්ස්අප් කිරීමට කාරැණික වන්න.