දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී එනම් ක්‍රිස්‌තු වර්ෂ 1266 දී සම්පාදනය කළ බවට සැලකෙන (රෝහණධීර 1974 (9) දඹදෙණි කතිකාවත මූලාශ්‍රවයක්‌ ලෙස ඉතා වැදගත් වේ. ලිත මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් වෘත්තාන්ත, රාජ්‍ය තාන්ත්‍රික හෝ නීතිමය හා සමාජීය වශයෙන් වර්ගීකරණය කෙරෙන අතර මින් රාජ්‍ය තාන්ත්‍රික හෝ නීතිමය ලේඛන අනෙක්‌ දෙවර්ගයට සාපේක්‌ෂව වඩා පිරිසිදු හා අගනා බව සලකනු ලැබේ. ගල් විහාර කතිකාවත, දඹදෙණි කතිකාවත වැනි කතිකාවත්ද සෘජු රාජ්‍ය අනුග්‍රහය හා රාජ්‍ය අභිලාෂය යටතේ කෙරුණු බැවින් ඒවායේ සැලකිය යුතු විශ්වසනීයත්වයක්‌ පවතී.

රජරට ශිෂ්ටාචාරය බිඳ වැටී රාජධානි නිරිත දිගට සංක්‍රමණය වූ අවධියක පැරණි ශ්‍රී විභූතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට උත්සාහ දැරූ දෙවන පැරකුම්බා රජ පළමුවන පැරකුම්බා රජුගේ ගල්විහාර කතිකාවත හා තුන්වන විජයබාහු රජුගේ කාලයේ කළැයි සැලකෙන කතිකාවතක්‌ ගුරුකොට ගෙන අමුතු කතිකාවතක්‌ ලෙස දඹදෙණි කතිකාවත සම්පාදනය කිරීමට පුරෝගාමී විය. ආරණ්‍යක මේධංකර ස්‌වාමීන් වහන්සේ කතිකාවතෙහි කර්තෘත්වය දැරූහ.

මෙම ලේඛනයේ අරමුණ වනුයේ දඹදෙනි කතිකාවත ලියෑවුණු අවධියේ සංඝ සමාජය කවරාකාර වී දැයි යන්න විමසීමට එම කතිකාවත මූලාශ්‍රවයක්‌ ලෙස වැදගත් වන්නේ කෙසේ දැයි ආර්ථික, දේශපාලන හා සමාජ ව්‍යුහය තුළ පිරික්‌සා බැලීමයි. ඹදෙණි කතිකාවත සම්පාදනයට අවශ්‍යතාව මතුවූයේ කෙසේ ද?

මහා පරාක්‍රමබාහු රජු (1153-1186) විසින් ගල්විහාර කතිකාවත සම්පාදනය කර නිකාය සාමගි්‍රය හා බුදු සසුනේ චිරස්‌ථිතියට කටයුතු කළ ද නිකාය සංග්‍රහය පවසන්නේ ඔහු මියගොස්‌ තිස්‌හය වසරක්‌ ගිය තැන ශාසන ශුද්ධිය නිම වූ බවය. (නිකාය සංග්‍රහය 22). ඉන්පසු පිරිහෙන්නට වූ ශාසනය අප්‍රතිපත්තියෙන් හා දුෂ්ප්‍රතිපත්තියෙන් මුදා ආරක්‌ෂා කිරීමට වත්හිමි විජයබාහු රජු (1232-1236) තවත් කතිකාවතක්‌ කර තිබේ.

මේ කතිකාවත් දෙක ම ගුරුකොට ගනිමිනි දඹදෙණි කතිකාවත සම්පාදනය වූයේ. දඹදෙණි කතිකාවතේ පූර්විකාව ගල්විහාර කතිකාවතේ පූර්විකාව ම වන අතර දඹදෙණි කතිකාවතේ පූර්විකාව අවසානයේ එන ලද ‘පූර්ව කතිකාවත් බහා අමුතු කළ කතිකාවත මෙසේ දත යුතු’ යන පාඨය මගින් පෙන්නුම් කරන්නේ කතිකාවතක්‌ සම්පාදනයට නව අවශ්‍යතාවක්‌ දැඩිව පැන නැගී තිබූ බවයි.

දෙවන පරාක්‍රමබාහු බලයට පැමිණෙන්නේ කාලිංග මාඝගේ කෲර වූ ශාසන විලෝපනයෙන් හා සමාජ ආර්ථික, සංස්‌කෘතික සංහාරයකින් පසුවය. දෙවන පරාක්‍රමබාහුගේ පුත් විජයබාහු පොළොන්නරුවට යන විට එහි මන්දිර, ප්‍රසාද, විහාරාදිය විනාශ වී ගරා වැටී තිබුණු අයුරු මහාවංස කතුවරයා විස්‌තර සහිත ව ලියයි. (මහා වංසය 83 පරි (92-101 ගාථා). පරාක්‍රමබාහු විසින් අනුරාධපුරය හා පොළොන්නරුව යන පැරණි නගර ප්‍රකෘතිමත් කිරීම ගැන මහාවංසය දක්‌වන තොරතුරු අතිශයෝක්‌තිගත ය. එම ප්‍රතිසංස්‌කරණ සිදුවූ නමුත් දිගු කලක්‌ තිස්‌සේ විනාශ වෙමින් තිබූ පැරණි අග නගර ප්‍රකෘතිමත් කිරීම පහසු කාර්යයක්‌ නොවීය. බිඳී ගිය දැවැන්ත වාරි පද්ධතිය පෙර පරිදි නඟාසිටුවීම, පීඩාවට පත් ව සිටි ජනතාවකට එකවර කළ නොහැකි දෙයක්‌ වන්නට ඇත. එබැවින් වංස කතාව මූලාශ්‍රයක්‌ ලෙස භාවිත කිරීමට අදාළ ආර්ථික, සමාජ තත්ත්වයට සාපේක්‌ෂව සිදු කළ විට පැහැදිලි වන්නේ රජරට යථා තත්ත්වයට පත් නොවූ බවයි.

අනිත් අතින් මාඝගෙන් රට නිදහස්‌ කරගත් නමුත් දෙවන පරාක්‍රමබාහුට මහා පරාක්‍රමබාහු මෙන් රට එක්‌සේසත් කරගැනීම කළ නොහැකි විය. මායා රටෙහි ආධිපත්‍යය සුරක්‌ෂිත වූ නමුත් රජරට හා රුහුණ ඔහුගේ නිත්‍ය ආධිපත්‍යයට යට නොවුණි. (ලියනගමගේ 1974 (260, 261). මේ හේතුවෙන් දඹදෙණි කතිකාවත ලියෑවෙන්නේ ගල් විහාර කතිකාවත කළ කාලයේ මෙන් ස්‌ථාවර දේශපාලන ආර්ථික පරිසරයක්‌ තුළ නොවේ. කෙසේ වුවත් පීඩාකාරී විසිඑක්‌ වසරක කාල පරිච්ඡේදයකට පසු එළඹි දෙවන පැරකුම්බා සමය බුදු සසුනටත් ජනතාවටත් මහත් අස්‌වැසිල්ලක්‌ වූ බවට සැක නැත.

විශේෂයෙන් දඹදෙණි රජවරුන් බුදු දහමට දැක්‌වූ අනුග්‍රහය සුවිශේෂී විය. සිය පියා වූ 3 වන විජයබාහු විසින් මේ වන විට ආගමික පුනර්ජීවය සඳහා කටයුතු සම්පාදනය කර තිබිණි. දකුණු ඉන්දියාවට ගොස්‌ සිටි උගත් බහුශ්‍රැත තෙරවරුන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරවා තිබිණි. එමෙන්ම දන්ත ධාතුව හා පාත්‍රා ධාතුවද වැඩමවා තිබුණි. (මහා වංසය) 81 පරි (20-23 ගාථා). මේ අනුව රාජ්‍යත්වය හා බැඳුණු බෞද්ධ සංකේත පරාක්‍රමබාහු අතට පත් වී තිබිණි. එය අතිශයින් වැදගත් කරුණක්‌ විය.

දෙවන පරාක්‍රමබාහු රජු විසින් සිය පියාගේ ආගමික පුනර්ජීවන කටයුතු වඩාත් ඉදිරියට ගෙන යැමේ පියවරක්‌ ලෙස සතුරන් විසින් පැහැරගෙන තිබූ විහාරාරාම නැවත සඟ සතු කිරීම (මහා වංසය 84 (4-6 ගාථා) වැදගත් ක්‍රියාවක්‌ විය. පූජාවලිය, සද්ධර්මරත්නාවලිය වැනි ගද්‍ය ග්‍රන්ථත් කව්සිළුමිණ වැනි ශ්‍රේෂ්ඨ කාව්‍යයනුත්, සිදත් සඟරාව වැනි ව්‍යාකරණ ග්‍රන්ථත් දඹදෙණි යුගයේ දී බිහිවීමට මේ රජවරුන් දෙපළ විසින් සිදුකළ සංස්‌කෘතික ව්‍යාපාරය හේතු විය.කෙසේ වුවත් සංඝ සමාජය සමස්‌තයක්‌ ලෙස පිරිහී තිබූ බව නිසැක ය.

‘ඒ ඒ තැන අප්‍රමාදව වසන ශාසනාවචර බොහෝ පුද්ගලයන්ගේ ශාසන පරිහානි කර වූ අප්‍රතිපත්ති, දුෂ්ප්‍රතිපත්ති බාහුල්‍යය දැක…’ යන දඹදෙණි කතිකාවත් පාඨයෙන් පැහැදිලි වන්නේ ගල් විහාර කතිකාවතෙන් වසර සියයක්‌ යන විට නැවත සංඝ සමාජය විනය අතින් පරිහානියට පත් ව තිබූ බවයි. දෙවැනි පැරකුම්බා සමය පිළිබඳව හා සංඝ සමාජයේ පිරිහීම පිළිබඳ මහාවංසයේ එන තොරතුරු බොහෝ දුරට පූජාවලියෙන්ද තහවුරු වේ. නැවත ශාසන කතිකාවතක්‌ රාජ්‍යානුග්‍රහයෙන් සම්පාදනය කිරීමට සිදුවන්නේ මෙම සමාජ, ආර්ථික දේශපාලන සංදර්භයේ ස්‌වභාවය හේතුවෙනි.

සමකාලීන සංඝ සමාජයේ ස්‌වරූපය

දෙවන පරාක්‍රමබාහු රජුගේ අවධියේ සංඝ සමාජයේ ස්‌වරූපය ප්‍රතිනිර්මාණය කිරීමේදී දඹදෙණි කතිකාවතෙහි සඳහන් ‘අප්‍රතිපත්ති හා දුෂ්ප්‍රතිපත්ති’ මොනවා දැයි සාකච්ඡා කළ යුතුය.කතිකාවතෙහි පළමුවන ව්‍යවස්‌ථා පහ, පැවිදි කිරීම සම්බන්ධ ව පැනවෙන ඒවා ය. පොළොන්නරු කතිකාවතේ එන ‘පිරික්‌සා පැවිදි කටයුතු’ යනාදී වශයෙන් වූ පාඨ පාලියෙන්ම ඇතුළත් වී ඇති දඹදෙණි කතිකාවතෙහි උපසම්පදා කිරීම්ද නිශ්‍රය මුක්‌ත කිරීමද, පරීක්‌ෂාවෙන් ම කළ යුතු බව දැක්‌වේ. මෙහි පැනවෙන ව්‍යවස්‌ථා අතර ඇති “ජාති ගෝත්‍ර විචාරා විධානයෙහි සිටියවුන් දැක්‌වූ කළ කුල දෝෂ, ක්‍රියා දෝෂයක්‌ නැතැයි දන්නා සඟ කෙනෙකුන් ප්‍රතිඥ කළ කල…” යන පාඨ සාකච්ඡාවට බඳුන් කළ යුතු ය. පැවිදි කිරීමේදී ජාති ගෝත්‍ර විචාරීමක්‌ හෝ කුල දෝෂ විචාරීමක්‌ බුදුන් වහන්සේ විසින් අනු දැන වදාරා නැත. එසේ නම් මෙවැන්නක්‌ ඇතුළත් වූයේ කෙසේ ද?

පොළොන්නරු අවධියේ සමාජයේ තිබූ ආර්ථික සමෘද්ධිය මේ වන විට බිඳ වැටී තිබුණි. වංශවත් ප්‍රභූ පවුල් මාඝගේ සංහාරයත් සමඟ බොහෝ සෙයින් විනාශ කොට තිබිණි. එමෙන් ම ආඪ්‍ය ජනයන් බැඳ වධදී සියලු ධනය පැහැරගෙන දිළිඳු කර තිබුණි. (මහා වංසය 81 පරි (63-65 ගාථා).සංඝ සමාජය නැවත ස්‌ථාපනය කිරීමේදී එහි ද යම් ප්‍රභූත්වයක්‌ ඇති කිරීමේ අවශ්‍යතාව මතු වන්නට ඇත. මේ වන විට සමස්‌ත සමාජ ක්‍රමය තුළම ප්‍රභූත්වය ගොඩනැඟීමේ අභිලාෂයක්‌ පවතින්නට ඇත. එමෙන් ම කතිකාවතේ එන පාඨයක සඳහන් පරිදි කිසියම් ආයතනයකට පත් කෙරෙන නායකයකු, තුන් රජයේ පිහිටි සංගමු ගණ වැසි ගම්හි අඛණ්‌ඩ පරම්පරාවෙන් පැවැත ආ තෙර තනතුර පත් කෙනෙකු විය යුතු ය.

ත්‍රි සිංහලයේ භික්‌ෂුන්ගේ හා රජුගේ සම්මුතියෙන් ආයතන නායකයන් පත් කිරීම පිළිබඳ එන මුල් ම සඳහන ද මෙය වීම සැලකිය යුතු කරුණකි. පිරිහුණු ප්‍රභූ සමාජය ගොඩනැඟීමේ අභිප්‍රාය ඉස්‌මතු කෙරෙන තැනක්‌ ලෙස මෙය හඳුන්වා දිය හැකිය.මහණ කිරීම සඳහා වයස්‌ සීමා පැනවීම වර්ෂ වශයෙන් දැක්‌වෙන්නේ ද දඹදෙණි කතිකාවතේ ය. ගම්වාසී පැවිද්දට දොළොස්‌ වියත් වනවාසී පැවිද්දට දහතුන් වියත් නිර්දේශිතයි. මෙහි අභිප්‍රාය වී ඇත්තේ සංඛ්‍යාත්මකව සංඝ සමාජය ව්‍යාප්ත කිරීම නොව ගුණාත්මක ව වර්ධනය කිරීමකි. පස්‌වැනි කාශ්‍යප (914 – 923) රජුගේ අභයගිරි පුවරු ලිපියේ “උනු පොවා මහණ නොකරනු ඉසා” යනුවෙන් අඩු වයසින් පැවිදි කිරීම වළක්‌වා ඇති නමුදු නිශ්චිත වයස්‌ සීමාවක්‌ දී නැත. එබැවින් මෙහි විධාන ස්‌වරූපය වැඩිය. මහලු වියේ දී පැවිදි වීමද එකල සංඝ සමාජයේ පැවති බව “සැපත් හැර සැදැහැයෙන් පැවිදි වියැටි වැ ආ” අය පිළිබඳ ව්‍යවස්‌ථා පැනවීමෙන් පෙනේ.

උපසම්පදාව සම්බන්ධයෙන් සමාජ දේශපාලන වශයෙන් ඉතා වැදගත් ව්‍යවස්‌ථාවක්‌ එයි. එනම් “රාජ සම්මතයෙන් මිස නා නා ස්‌ථානයෙහි උපසම්පදාව නොකටැයුතු” යන්නයි. දඹදෙණි කතිකාවත නීතිමය ලිත මූලාශ්‍රයක්‌ ලෙස තහවුරු කෙරෙන ව්‍යවස්‌ථාවක්‌ ද වන මෙමගින් අපේක්‌ෂා කරන්නට ඇත්තේ රාජ්‍යයත්වයේ බලය සංඝ සමාජය තුළ ස්‌ථාපනය කිරීම විය හැකි ය. එමගින් ඉස්‌මතු ව පෙනෙන කරුණ වන්නේ එකල උපසම්පදාවද අක්‍රමවත් ලෙස සිදුවෙමින් පැවති බවකි.

දඹදෙණි කතිකාවත හෙළි කරන තවත් කරුණක්‌ වන්නේ එකල මහා ස්‌වාමි නමින් තනතුරක්‌ සංඝ සමාජයේ ස්‌ථාපිතව පැවති බවයි. ගල් විහාර කතිකාවතේ හෝ මෙවැන්නක්‌ සඳහන් නොවෙයි. පිරිහුණු සංඝ සමාජය එක්‌ අතකින් රාජ්‍යයත්වයෙන් ද අනෙක්‌ අතින් එම බලය හා සෘජුව සම්බන්ධ සංඝ සමාජයේ එක්‌ තනතුරක්‌ මගින් ද යම් පාලනයකට ලක්‌ කිරීම සඳහා මේ තනතුර ඇති කළා විය හැකි ය. සංඝ නායකත්වය වෙනුවෙන් පැවති බල අරගලයක්‌ පිළිබඳව කතිකාවත් පාඨයක්‌ මගින් ම හෙළි වේ. එනම්,’බහු නායකත්වය නම් ශාසන විලෝපයට ඒකාන්ත හේතු බැවින්’ යන පාඨයයි. එමෙන් ම ග්‍රාමවාසයට එක්‌ මහ තෙර පදවියක්‌ද, වනවාසයට තවෙකක්‌ ද යෝජිත අතර “මහා ස්‌වාමි” පදවිය හිස්‌ වූ කළ එම තනතුර උභය පාර්ශ්වයෙන් පිරවිය යුතු ය. මෙහි තවත් වැදගත් පාඨයක්‌ නම් මහා ස්‌වාමි පදවිය දීමේ දී ‘තුන් රජයේ සංඝයාගේ අනුමැතියෙන් ත්‍රී සිංහලයට ඒකාතපත්‍ර වැ රජ කරන මහරජාණන් ලවා බඳවා මහා ස්‌ථවිර පදෙවිය දී’ යන්නයි. රාජ්‍ය බලය හා සංඝ බලය එක්‌තැන් කිරීමේ අභිලාෂය මෙයින් පෙන්නුම් කෙරෙන අතර සංඝ සංස්‌ථාවේ ධුරාවලිය වඩා ශක්‌තිමත් කිරීමක්‌ ද මෙමගින් අපේක්‌ෂා කරන්නට ඇත. මේ තෙරවරුන් ‘තුන් රජයෙහි සංගමු ගණ වැසි… ගම්හි අඛණ්‌ඩ සන්තතීන් ආ ශික්‌ෂිත තෙර තනතුරු පත් කෙනෙකුන්’ විය යුතුය යනු පාඨයකි. සංඝ නායකත්වයද ශාසන පාක්‌ෂික වූත් රාජ්‍ය අභිමතය ලැබුවා වූත් ප්‍රදේශවලට සීමාකොට එහි ගරුත්වය රැකීම අරමුණු වූ බව පෙනේ. මෙමගින් උසස්‌ තනතුරු ලැබීම සීමා කිරීමක්‌ ද සිදු විය.

කතිකාවතේ මීළඟට එන ව්‍යවස්‌ථා ගණනාවක්‌ ම පොළොන්නරු කතිකාවතින් උපුටා ගත් ඒවා ය. ගණ දෙටු තෙරුන් විසින් අන්තේවාසිකයන් හා සද්ධිවිහාරිකයන් හැසිරවිය යුතු ආකාරය වැනි කරුණු එහි අන්තර්ගතය.භික්‌ෂුන් සම්බන්ධ ව ආහාරපාන, කතාබහ, හැසිරීම්, යාම් ඊම්, වස්‌තු භෝග පිළිගැනීම්, ගිහි ඇසුර යනාදී ප්‍රායෝගික කරුණු පිළිබඳ සීමා පැනවීම් සුපුරුදු පරිදි දඹදෙණි කතිකාවතටද ඇතුළු විය. මෙවැනි විනය කරුණුවලට අදාළ ව්‍යවස්‌ථා වඩාත් ඛණ්‌ඩනය කොට ඇතුළත් කිරීම දඹදෙණි කතිකාවතේ දැකිය හැකි ලක්‌ෂණයකි. ඒ අතර දඹදෙණි කතිකාවතටම අනන්‍ය වූ ව්‍යවස්‌ථාද වේ.

‘වැඩි තරම් කටයුත්තක මුත් දෙමසින් වඩා ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙන් වියෝ වැ ස්‌වෛරීවාස නොකට යුතු’ යනු එවැන්නකි. ගෝල භික්‌ෂූන් තම ගුරුන්ට අවනත නොවී හිතුමතයේ ගුරුන්ගෙන් වෙන් ව තැනින් තැන හැසිරුණු අයුරු මෙවැනි ව්‍යවස්‌ථාවක්‌ මගින් හෙළිදරව් වේ. නායක තනතුරුවල ගාම්භීරත්වය වැඩි කිරීම සඳහා මීට කලින් දැක්‌වූ ව්‍යවස්‌ථා පැනවීමට හේතුවූ කරුණක්‌ ලෙස මෙයද දැක්‌විය හැකිය. ධර්ම දේශනා පැවැත්වීම ඉවක්‌ බවක්‌ නොමැති ව කිරීම නිසා එහි ගරුත්වය කෙළෙසී තිබූ බව හෙළි කෙරෙන ව්‍යවස්‌ථාවක්‌ ද ඇත.

‘සම්මතයක්‌ ලද තෙනක්‌ මුත් ඒ ඒ තෙන අසමර්ථ වැ බණ නොකිය යුතු’ යන්නයි. බණ කීම ලාභ ප්‍රයෝජන තකා සිදු කරන්නට ඇත. ඒ සඳහා සුදුසුකම් හෝ කුසලතාව නැත්තවුන් යෙදී සිටි බව පැහැදිලි කරුණකි.”ගෘහස්‌ථයන්ට සොලෝ ආදිය බැඳ නොකිය යුතු” යන ව්‍යවස්‌ථාව හෙළි කරන්නේ ලාභ ප්‍රයෝජන තකා ගිහියන්ට කවි රචනා කරන භික්‌ෂුන් බහුල ව සිටි බවයි. දඹදෙණි කතිකාවතේ එන වඩාත් විද්වත් සංවාදයට බඳුන් වූ ව්‍යවස්‌ථාවක්‌ වන්නේ ‘කාව්‍ය නාටකා දී ගර්භිත විද්‍යා තමා නූගත යුතු අනුනුත් නූගැන්විය යුතු’ යන්නයි. ‘කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත’ වැනි විරුදයක්‌ දැරූ කවි සිළුමිණ වැනි ශ්‍රෙෂ්ඨ පද්‍යයක්‌ කළ දෙවන පැරකුම්බා රජුගේ අනුග්‍රහයෙන් මෙවැනි ව්‍යවස්‌ථාවක්‌ පැනවූයේ කෙසේද යන්න විවාදිතයි. කෙසේ වුවත් මෙහි සඳහන් ‘කාව්‍ය, නාටක’ යන්න දෙකක්‌ ලෙස නොව ‘කාව්‍යනාටක’ වශයෙන් එකක්‌ ලෙස ගත් කල කාව්‍යමය නාටක යන අදහස එයි. එය වඩා තර්කානුකූල ද වේ. භික්‌ෂූන් විනයානුකූලවත් පිළිවෙත්වල ම පිහිටුවා විසූක දස්‌සනවලින් ඈත්කර තැබීම තත්කාලීන සමාජ අවශ්‍යතාවක්‌ වූ බව පැහැදිලිය.

‘සිරක්‌නා සිරක්‌නි උපාසක උපාසිකාවරුන්ට ගුණ සාගරය, දානපතිය යනාදී නම් තිබීමෙන් පොළොඹාගෙන එතෙන පටන් යම්ම ලාභයක්‌ අනික්‌ තෙනකට පිරිනැමුවාත් නොනැමුවාත් තමාටම එළවන නියායෙන් කොට ජීවිකා කිරීමෙන් තමාත් තමා ඇසුරු කළවුනුත් නොනැසිය යුතු’ යන ව්‍යවස්‌ථාව මගින් හෙළි කෙරෙන්නේ එකලද නූගත් ගිහියන් චාටුවෙන් රවටා බොරු ගුණ වනා ලාභ ප්‍රයෝජන ගත් භික්‌ෂූන් සිටි බවයි.

ගිහි දරුවන්ට අකුරු කියවීම පවා භික්‌ෂූන් වැරැදි ලෙස ප්‍රත්‍යය ලබාගැනීමේ මාර්ගයක්‌ කොටගෙන සිටි බව හෙළිවන්නේ,’මහණ කොට ගන්නා කැමති වැ අකුරු කරවත් මිස උපාසකවරුන්ගේ දරුවන් අකුරු කරවා පරිහරණ කොට උන් දෙන පසය නොවැළඳිය යුතු’ යන පාඨයෙනි. භික්‌ෂූන් විසින් අකුරු කරවීම, මහණ කරවීමට බලාපොරොත්තු වන්නන් සඳහා පමණක්‌ සීමාකර ඇත. මේ වන විට රජරට පැවති බොහෝ අධ්‍යාපනික ආයතන විනාශ මුඛයට ගොස්‌ තිබිණි. තුන්වන විජයබාහුගේ හා දෙවන පරාක්‍රමබාහුගේ ප්‍රතිෂ්ඨාපන කටයුතු මගින් ඒවා තිබූ තත්ත්වයට ම පත්වූයේ යෑයි කිසිසේත් තීරණය කළ නොහැක.

මහාවංසකරුගේ විස්‌තරයේ අතිශයෝක්‌තිය බැහැරකොට මේ තත්ත්වය හඳුනාගත යුතු ය. මෙවැනි අධ්‍යාපනික ආයතන හිඟවුවත් මායා රටේ ඇති වූ සංස්‌කෘතික ප්‍රබෝධය තුළ පොත් ලිවීමට හා වෙනත් ශාස්‌ත්‍රීය කටයුතුවලට ප්‍රබල අනුබලයක්‌ රාජ්‍ය මට්‌ටමින් ලැබිණි. එහෙත් සංඝ සමාජයේ පැවති පිරිහීම නිසා මූලික අධ්‍යාපනික කටයුත්තක්‌ වූ අකුරු කරවීමේ දී භික්‌ෂුන් ගිහි සමාජයෙන් වෙන්කර තැබීමේ අවශ්‍යතාව පැන නගින්නට ඇත.’දැසි දස්‌ කෙත් වත් වැවූ ගෙරී මී ආදියක්‌ පිළිගන්නා කල ලඡ්ජිපේශල භික්‌ෂාකාමී නුවණැති කෙනෙක්‌ හා කථා කොට එතැන් කී පරිද්දෙන් පිළිගත යුතු’ යෑයි ව්‍යවස්‌ථාවක්‌ දඹදෙණි කතිකාවතෙහි එයි.

භික්‌ෂුන් වහන්සේටත්, බෞද්ධ ආරාමවලටත් දැසි දසුන්, කෙත් වතු, වැව් ආදිය පිදීම මෙරට සංඝ සමාජය සංස්‌ථාගත වූ අනුරාධපුර අවධියේ සිටම සිදු විය. අනෙක්‌ අතින් ඒවා පිළිගැනීම විනය විරෝධී නොවී ය. අකැප නොවී ය. අතිරික්‌ත ධන සංචිතයක්‌ සහිත වූ සශ්‍රීක අනුරාධපුර අවධියේදීත් භික්‌ෂූන් සුඛෝපභෝගී ව කල් හැරි බව පෙනේ.

මෙකල විහාරාරාම ද සමකාලීන ආර්ථික සම්බන්ධතාවල ලක්‌ෂණ අනුව ධන අතිරික්‌තයක ලක්‌ෂණ පෙන්වන ආයතන ලෙස සංවිධානගත වී තිබුණු බව පෙනේ. මහා විහාර භික්‌ෂූන්ගේ සුඛෝපභෝගී දිවි පෙවෙත ගැන කළකිරුණු දුටුගැමුණු රජු ඔවුන්ට දන් දීම නවතා සෑගිරියට දන් දුන් බව අටුවාවල දැක්‌වේ. එහෙත් ශාසන කතිකාවත් මගින් මෙය පාලනය කිරීම පැවති ආර්ථික පසුබිම අනුව නොහැකි විය. එහෙත් ඉහත ආකාරයේ ව්‍යවස්‌ථාවක්‌ දඹදෙණි කතිකාවතට ඇතුළු වූයේ මක්‌ නිසාද? දඹදෙණි යුගයේ පැවති සංඝ සමාජය අනුරාධපුර සංඝ සමාජය මෙන් මහා පරිමාණ එකක්‌ නොවීය. එමෙන් ම භික්‌ෂූන් සම්භාව්‍ය බවෙන් පහත වැටී සිටින්නට ඇත. කෙත්වතු, ගෙරි හරක්‌ ආදිය පිළිගන්නා කළ ඉවක්‌ බවක්‌ නොමැතිව පිළිගැනීම කළා විය හැකිය. මෙය බුදු සසුනේ ගෞරවය කෙළෙසෙන තැනක්‌ බැවින් එම කටයුතු උගත්, සිල්වත් භික්‌ෂුවක මගින් පාලනයට කටයුතු යොදා ඇත. මෙය පැනවීම සඳහා සූත්‍ර පාඨයක්‌ම උපයෝගී වූ බව පෙනේ. එනම් චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ එන ‘දැසි දස්‌, කෙත්වතු, වැව්, ගෙරි මී ආදියක්‌ පිළිනොගත යුතු’ යන්නයි.

අල්පේච්ඡ ජීවිතයෙන් මිදුණු භික්‌ෂුන් තම සිවුරු මිලදී ගනිමින් හා විකුණමින් කටයුතු කළ බව ‘සිවුරු ආදී කිසිවක්‌ ක්‍රය වික්‍රය නොකට යුතු’ යන ව්‍යවස්‌ථාවෙන් පෙනේ. භික්‌ෂූන් සාංඝික ප්‍රත්‍යය පවා මිල කරන තත්ත්වයට පත්ව සිටි අයුරු මින් පෙනේ. එපමණක්‌ නොව සාංඝික කළ භාණ්‌ඩ පරිහරණය ඉවක්‌ බවක්‌ නැතිව සිදු කළ බවට පහත දැක්‌වෙන ව්‍යවස්‌ථාව දෙස්‌ දෙයි. එනම්,’වට විල් ආදී කස්‌ලෝ වට ලෝහ භාණ්‌ඩ සාංඝීක කොට විහාරයේ තබා අනුභව කරත් මිස යන එන තෙනට ගෙන ගොස්‌ පරිභෝග නොකට යුතු’ යන්නයි.එකල භික්‌ෂුන් උදලු, පොරෝ ආදී උපකරණත්, දෝලා වැනි දේත් පුද්ගලික වස්‌තු ලෙස පරිහරණය කිරීම සමාජයේ අවඥාවට ලක්‌වන්නට ඇත.

‘උදලු වෑ පොරෝ ආදිය පුද්ගලික කොට අනුභව නොකොට යුතු. දෝලි ආදි යානයන් පුද්ගලික කොට අනුභව නොකට යුතු’ යන ව්‍යවස්‌ථාව කතිකාවතට පිවිසියේ එහෙයිනි.එකල භික්‌ෂූන් විසින් ශාසන සමය ගැන නොදන්නා අය මහණ කරවීමට පොළඹවා ගෙන සිවුරු පිළි ආදිය ලබාගත් බවත් එම පිරිකර දුන්නවුන් දෙමාපිය තනතුරුවල තබා කෑම බීම දීමෙන් හා සුව දුක්‌ බැලීමෙන් ද කටයුතු කළ බවත් ව්‍යවස්‌ථාවකින් දැක්‌වේ. එමගින් පවසන්නේ සංඝයාත් තමාත් අනෙක්‌ ජනතාවත් නසා ශාසන දූෂණය නොකරන ලෙසයි.’උපාසක ජනයාට පිළියම් ආදී ආවර මේවර කොට කුල දූෂණය නොකට යුතු’ යන ව්‍යවස්‌ථාවෙනුත් ඉහත සාකච්ඡා කළ ව්‍යවස්‌ථාවෙනුත් ඉස්‌මතු වන කරුණක්‌ නම් නොගැළපෙන අයුරින් ගිහි සමාජය සමඟ සම්බන්ධතා පැවැත්වූ භික්‌ෂුන්ගේ බහුල බවයි.

බුදු දහම විසින් අනුමත නොකරන ලද වත් පිළිවෙත් සමකාලීන සමාජය තුළ බහුලව භාවිතයේ යෙදුණු බව පෙන්වන තැනක්‌ කතිකාවතෙහි එයි. එනම්,’උපන් රෝගය නිසා යකුන් කෙළවීම්, බලි තිබීම්, බලි බත් කියවීම් ආදී නොසරුප් දෑ නොකටයුතු’ යන්නයි.යක්‌ෂ භූතයන් හා සම්බන්ධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට බට භික්‌ෂූන් එමගින් ආදායම් ලැබූ බවටත් අනවශ්‍ය ලෙස ගිහියන් හා ඇසුරුකම් පැවැත්වූ බවටත් මේ ව්‍යවස්‌ථාව සාක්‌ෂි සපයයි.භික්‌ෂූන්ට අකැප වූ එක්‌විසි අන්වේෂණය ද දෙතිස්‌ වැදෑරුම් තිරශ්චීන කතාව ද බැහැර කළ යුතු බව කතිකාවත අවධාරණය කිරීමෙන් පැහැදිලි වන්නේ භික්‌ෂුන් ගිහියන් හා දැඩි සබඳකම් පැවැත්වූ බවයි. ගිහියන්ගේ හසුන් ගෙන යාම, කුල දරුවන් නැළවීම, ප්‍රලාප කීම, ගෙන් ගෙට ගනුදෙනු කිරීම, නැකැත් කීම, සිරුරු ලකුණු බලා පලාඵල කීමාදී අන්වේෂණයන් භික්‌ෂුන් විසින් සිදු කළ බව එයින්ද පැහැදිලි වේ.

අන් ශාසන කතිකාවත්වලට පොදු ලක්‌ෂණ ද එමෙන්ම අනන්‍ය ලක්‌ෂණ ද සහිත කතිකාවතක්‌ ලෙස දඹදෙණි කතිකාවත විග්‍රහයට ලක්‌ කළ හැකි ය. මූලාශ්‍රයක්‌ ලෙස ගත හැකි පැරැණි ඕනෑම ලේඛනයක්‌ මගින් අතීතය ප්‍රතිනිර්මාණයේ දී රචකයා විසින් බැහැර කළ අතීතයකුත් ගොඩනැඟූ අතීතයකුත් ඉදිරිපත් කෙරෙන අතීතයකුත් ඇති බව අවධානයට ලක්‌ කළ යුතුය. ඒ අනුව විමසන විට දඹදෙණි කතිකාවත මගින් ඉදිරිපත් කෙරෙන තොරතුරු හඳුනාගත හැකිය.

පැවති දේශපාලන ආර්ථික වටපිටාව තුළ කතිකාවතට අන්තර්ගත වූ කරුණු එකල සමාජයේ සාමූහික විඥානයේ ස්‌වරූපය හෙළි කරයි. මූලාශ්‍රයක්‌ යනු අදාළ සමාජයේ චින්තන රටාවන් පෙන්වන එක්‌ කැඩපතකි. සමාජයක්‌ තුළ පොදුවේ ගොඩනැඟෙන සාමූහික විඥානය විසින් බල කරනු ලබන අපේක්‌ෂාවන් රාජ්‍යත්වය හා බද්ධ වීමද සිදුවේ. දඹදෙණි කතිකාවත යනු එවැන්නකි. සංඝ සමාජය පවිත්‍ර විය යුතුය යන්න ගිහි සමාජයේ පවතින සාමූහික අදහසකි. එය වෙනුවෙන් පෙනී සිටීම රාජ්‍යයත්වය විසින් සිදුකරන ලද අවස්‌ථාවක්‌ ලෙස දඹදෙණි කතිකාවත හඳුන්වා දිය හැකිය.

එමෙන්ම ලාංකේය සමාජය තුළ බුද්ධ ශාසනය පිළිබඳවත්, සංඝයා පිළිබඳවත් ගොඩනැඟුණු පරමාදර්ශී ආකෘතියක්‌ ඇත. එය බිඳවැටීම සමාජ ආරක්‌ෂාවට පටහැනිය. දඹදෙණි කතිකාවතින් සිදුකර ඇත්තේ එම ප්‍රායෝගික අවශ්‍යතාව ඉටුකිරීමයි. එහිදී පනවනු ලබන ව්‍යවස්‌ථා මගින් තත්කාලීන සංඝ සමාජයේ ස්‌වරූපය විද්‍යමාන වීම දඹදෙණි කතිකාවතට මූලාශ්‍රමය වටිනාකමක්‌ ගෙන දේ. වක්‍රව හෝ රාජ්‍ය තාන්ත්‍රික ස්‌වභාවයක්‌ද, නීතිමය ස්‌වභාවයක්‌ ද ගන්නා කතිකාවත තත්කාලීන සංඝ සමාජයේ ස්‌වරූපය ප්‍රතිනිර්මාණය කිරීමෙහිලා උපකාරී වන වැදගත් මූලාශ්‍රයක්‌ ලෙස නිගමනයකට පැමිණීම දුෂ්කර නොවේ.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය පොළොන්නරුවේ කාශ්‍ය​ප හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන්බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0718284753  අ​ංකයට වට්ස්අප් කිරීමට කාරැණික වන්න.