ධර්මයට අර්ථකීම හෙවත් විස්තර සැපයීම අරමුණු කර ගෙන පාළි අට්ටකතා සාහිත්‍යාංගය බිහි වූ බව විචාරක පිලිගැනීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෑම අයෙකුටම එකසේ අවබෝධ කරගැනීම අපහසුය. එ්නිසාම උන්වහන්සේගේ ධර්මයේ දුරාවබෝධ තැන් පැහැදිළි කිරිම සඳහාත්, සංස්ක්‍ෂිප්ත දේශනා විස්තර විවරණ කිරීම් වශයෙනුත් බුදුරජාණන් වහන්සේගේ සමීප ශ්‍රාවකයන් විසින් සිදුකළ බැවින් අටුවා ලක්‍ෂණ ත්‍රිපිටකය තුළම වර්‍ධනය වී ඇත.

තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලා ලක්දිවට වැඩම කළහ. උන්වහන්සේලා ත්‍රිපිටක ධර්මයත්, බුදු සසුන සම්බන්‍ධ ඵෙතිහාසික වාර්තාත් ලක්දිවට රැගෙන ආහ. ලක්දිව බුදු සසුන පිහිටවීම මහාවිහාරය ගොඩනැගීම, ථූපාරාමයේ ධාතු නිධන් කිරීම, රුවන්වැලි මහාසෑය ගොඩනැගීම, ලෝවාමහා ප්‍රාසාදය ගොඩ නැගීම ආදී ආගමික සිදුවීම් වල විස්තර බෞද්ධයෝ ගෞරවයෙන් සිහිපත් කළ අතර පාරම්පරිකව ද රැගෙන ආහ. පසුව ඒවා අට්ටකතා සාහිත්‍යයටද එකතු වී ඇත. මෙම තොරතුරු සිද්ධීන් සීහලට්ටකතා වැනි පැරණි අටුවා කෘතියන්හි ඇතුළත්ව තිබෙන්නට ඇත. බුද්ධඝෝෂ, ධම්මපාල වැනි අටුවාචාරීන් වහන්සේලා සීහලට්ට කතා වැනි පැරණි මුලාශ්‍රයන්හි ආභාෂය ලැබු නිසා එම තොරතුරු සිය අට්ටකතාවනට ඇතුළත් කරන්නට ඇතැයි සිතිය හැකිය. මේ අයුරින් විශේෂයෙන්ම ලංකාව පිළිබඳ තොරතුරු අටුවා තුළ පිළිබිඹු වන ආකාරය, එවැනි තැන් පිළිබඳව තොරතුරු විමසා බැලීමක් මෙමඟින් ඉදිරිපත් කරනු ලබයි.

අර්ථවිවරණ කිරීම අරමුණු කරගත් අට්ටකථා සාහිත්‍යය බිහිවීම සඳහා හේතු වු කරුණු කිහිපයක් විචාරකයෝ ඉදිරිපත් කර ඇත.

බෞද්ධ සාහිත්‍ය සතුව පවතින බුද්ධඝෝෂ ආදි යතිවරුන් විසින් රචනාකරන ලද මෙම අටුවා ක්‍රිඃව සියවසදී පමණ ලංකාවේදී රචනා වී ඇත. ලක්දිව හා භාරතීය සිදුවීම් මෙහි සඳහන් කර ඇත්තේ ඒවා ඵෙතිහාසික ලේඛන බවට පත්කිරීමේ අරමුණින් නොව ධර්ම විවරණයට සැපයෙන නිදර්ශන වශයෙනි. මෙහිලා අරමුණ වන්නේ ලක්දිව හා සබැඳි ඵෙතිහාසික තොරතුරු කිහිපයක් සොයා බැලිමටය. එහිදී භාරතීය පසුබිමක සිට දේශනා කරනු ලැබු ධර්මයකට විස්තර සැපයීමත් ක්‍රිඃව 5 පමණ වන මෙපිට කාලයක ඒවා සඳහන් කිරීමත් නිසා දිග කාලභේදයක් බලාපොරොත්තු විය යුතුමය.

විශ්වාසනීයත්වය

ලංකා ඉතිහාසයේ පුරාතන අවධිය පිළිබඳ දැනුම ප්‍රධාන වශයෙන් මහාවංශ, දීපවංශ දෙකට පමණක් සීමා වුවද අට්ටකතාවල ඊට වඩා තොරතුරු අන්තර්ගත වේ. අට්ටකතාවල විශ්වාසනීයත්වය විමසීමේදී ඒ සඳහා සාධක රාශියක් ඉදිරිපත් කළ හැකිය.

අටුවා රචනා කරන ලද්දේ බෞද්ධ භික්‍ෂූන් විසිනි. ඔවුන්ට බොරුකීමේ අවශ්‍යතාවක් නැත. ධර්මයට විවරණ සැපයීම ප්‍රධාන පරමාර්ථය කරගත් ඔවුන් තුළ ඉතිහාසය සටහන් කර තැබීමේ අවශ්‍යතාවක් නොවීය. විශේෂයෙන්ම බුද්ධඝෝෂ හිමියන්ට ලංකා ඉතිහාසය ලියා තැබීමේ අවහ්‍යතාවක් නොවීය. උන්වහන්සේට එම තොරතුරු අවශ්‍ය වුයේ ධර්මය විවරණය කිරීමේ උපස්ථම්භකයක් ලෙස පමණි. අටුවාචාරීන් තුළ පැවති පක්‍ෂග්‍රහිත්‍වයෙන් තොර බව නිසා සිංහල සිරිත් විරිත්, ආහාරපාන, අධ්‍යාපනය, ආගමික හා කලා ආදී හැම අංශයක් පිළිබඳවම යහපත් අයහපත් සියළු තැන් විනිවිද දැකීමට ඔවුන් සමත් වී ඇත.

රජවරුන්ගේ පරම්පරාවක යටගියාව විස්තර කරන ප්‍රධාන වංශකථා දෙකින් ජාතියක සැබෑ ඉතිහාසයක් දැක්වීමට හේතුවන ජන ජිවිතයේ තත්වය ඉදිරිපත් කළ යුතුය. එහෙත් ප්‍රධාන වංශකථා දෙකින් එය ඉටුවී නොමැත. ජන ජිවිතයේ තතු විවරණය නොකරන්නේ නම් එය ජාතියේ ඉතිහාස ග්‍රන්‍ථයක් විය හැකිද. ? අට්ටකතාවන්හි ඵෙතිහාසික තොරතුරුවල වටිනාකම දැනගත හැකි වන්නේ මෙම පසුබිමේ සිට විමසන විටය.

සංස්කෘතියේ ආරම්භය

විජයගේ පැමිණිමත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් එකම වර්ෂයක සිදුවු බව සමන්ත පාසාදිකාවේ සඳහන් වේ. විජයාගමනයත් බුද්ධ පරිනිර්වාණයත් එකම දිනක වූ බව මහාවංශ මතයයි. මෙහිදී වඩාත් ප්‍රායෝගික අදහස වනුයේ අටුවා මතයයි. අශෝක අධිරාජයා හා දෙවන පෑතිස් රජතුමා පැවැත් වූ සබදතාවයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මහින්දාගමනය සිදුවූ බවත් එනිසාම ඉන්දු ලංකා සබඳතා මනාව වර්නධය වූ බවත් සමන්තපාසාදිකාවෙහිම සඳහන් වේ. ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය ඇතිවීම සඳහාද දහඅට කුලයක ශිල්පීන්ගේ පැමිණීම හේතුවී ඇත.

දේවානම්පියතිස්ස, වලගම්බා, සද්ධාතිස්ස, දුටුගැමුණු යන රජවරු බුදුදහම මෙරට ව්‍යාප්ත කරලීම සඳහා අපමණ වෙහෙසක් ගෙන ක්‍රියා කළ බව අටුවාකරුවෝ සඳහන් කර ඇත. බුදුදහම ව්‍යාප්ත කරලීම සඳහා සිංහල රජවරුන්ගේ උපරිම දායකත්වය ලැබුණු බව අටුාවෙහි දක්වා ඇත. මහාවංශ දීපවංශ දෙකෙහි සඳහන් නොවන විනය සංගායනවක් අටුවා තොරතුරුවලට අනූව ලංකාවේදී සිදුවී ඇත. ථූපාරාම විහාරයේ දී සිදුවූ මෙම විනය සංගායනාවට භික්‍ෂූන් 68000ක් රුස්වූ බවට සමන්තපාසාදිකාවේ සඳහන් කර ඇත. මෙමගින් ප්‍රකට වනුයේ සංඛ්‍යාත්මක වශයෙන් විෂමතා පැවති නමුත් විශාල පිරිසකගේ සම්බන්ඳයෙන් මෙය සිදුවූ බවයි. “තේනඛො පන සමයෙන බුද්ධෝ බගවා වේරංජායං විහරති නලෙරුපුමන්ද මූලේ” යනුවෙන් සජ්ඣායනා කළ විට පෘථිවිය කම්පා වූ බවත් එහි දැක්වෙයි. ශාසනය ලංකාවේ පිහිටවීම සඳහා අවශ්‍ය ස්ථූප, උපෝසථාගාර, උද්‍යාන ආදියත්, ශ්‍රී මහා බෝධි ශාඛා දිවයිනේ නොයෙකුත් ස්ථානවල රෝපනය කිරීමත් තම මෙහෙසිය ඇතුලු 500ක් හෙළ කතුන් පැවිදි කිරීමත් වැනි විශාල කාර්ය භාරයක් දේවානම්පියතිසිස රජතුමා ඉටුකළේය. රුවන්වැලි මහා සෑය කර වන ලෙස ශිලා ලේඛනයක් කරවා අනාගත පරපුරට දන්වා සිටි බවත් සඳහන් වේ. මේ අනුව බුදු දහම රාජ්‍ය ආගම බවට පත් කිරීමේ මූලික පියවර දේවානම්පියතිස්ස රජු විසින් සිදුකොට ඇත.

රජවරු

ක්‍රිඃව පස්වන සියවස දක්වා රජවරු කිහිප දෙනෙකු පිළිබඳව අටුවාකරුවෝ සඳහන් කර ඇත. රාජ්‍ය පාලනය ගැන පමණක්ම නොව සද්ධාතිස්ස රජුගේ පෞද්ගලික තොරතුරු රැසක්ද අටුවාවල දක්නට ලැබේ. බුද්ධඝෝෂ හිමියන් එම රජු “ධම්මික තිස්ස”යන විශේෂ නාමයකින් හදුන්වා ඇත. දිනක් මෙම රජතුමා බණ ඇසීමට ගොස් සිදුවූ අකරතැබ්බයක් ගැන මනෝරථපූරණියේ සඳහන් වේ. භාතිය රජතුමා අධිකරණමය බලයක් භික්‍ෂුවට ලබාදී තිබුන බව සමන්තපාසාදිකාවේ එයි. ප්‍රධාන වංශකතාවන්හි සඳහන් වන රජවරුන් අතරින් අතිශය දැහැමි රජවරුන් පිළිබඳව පමණක් අටුවාවන්හි සඳහන්වේ. වංශකතාවන්හි සඳහන් නොවන දීපරාජ නම් රජ කෙනෙකු පිළිබඳව විභංගට්ඨකතාවේ සඳහන් වෙයි. මොහු නාගදීපයේ රජ කළ අප්‍රධාන රජෙකු ලෙස හදුන්වා දෙති. මහානාම නම් තවත් රජෙකු සිය සොහොයුරා සමඟ විදේශ රටකය ගොස් පැමිණි බව අටුාවන්හි සඳහන් වෙයි. පිතුරාජ නමින් වංශකතාවන්හි එන වළගම්බා රජු පිළිබඳවද අටුවාවන්හි තොරතුරු සඳහන්කොට ඇත.

ඇතම් රජවරු ධර්මය පිළිබඳ පර්යේෂණ කටයුතු වලද නියලී ඇත. භාතිය රජතුමා“සෙය්‍යථාපි භික්‍ඛවේ යෙ කෙචි පුප්ප ගන්ධා වස්සිකං තේසං අග්ගමක්ඛායති”යන බුද්ධ දේශනාව පරීක්‍ෂාකොට බැලීම සඳහා කාමරයක නානාවර්ගයේ මල් පුරවා මඳ වේලාවකින් එහි පිවිස දෑසමන් මල් අතිශය සුවඳවත්ය යන තීරණයට එළබි බව එමගින දක්වයි. කූටකණ්න නම් රජ කෙනෙකු චූලනාග තෙරුන් කෙරෙහි මහත් වූ ලැදියාවකින් යුතුව උන්වහන්සේගේ ඇගිල්ලක හටගත් ගෙඩියක තිබූ සැරව මුඛයෙන් ගත් බව අටුාවේ සඳහන් වෙයි. මෙවන් තොරතුරු රාශියක් අටුවාවල සඳහන් වේ.

අධ්‍යාපනය

පුරාණ ලංකාවේ ආගම මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක් පැවතුණි. එකල ප්‍රකට ආගමික මධ්‍යස්ථාන වශයෙන් මහාවිහාරය, අභයගිරිය, සිතුල්පව්ව, දක්ඛින පබ්බත, ද්ඝවාපිය ආදී තැන් ප්‍රසිද්ධියට පත්ව තිබුණි. මෙහිදී මහාවිහාරය ප්‍රධානතම අධ්‍යාපනික මධ්‍යස්ථානය වශයෙන් පැවතුණි. මෙහි උගත් යතිවරු බොහෝ වූහ. “තුම්හෙ පන න අත්ත ගවේසකා,ගච්චත මහා විහාරේ පසුනබ්‍යන්ජනකානං භික්ඛූනං සන්තිකේ බ්‍යංජන සෝදේථ” මෙම අටුවා පාඨයෙන් ප්‍රකට කොට දක්වන්නේ අධ්‍යාපනය මුදල් මත නො පැවතුන බවකි. එකළ ධර්ම සාහිත්‍යට වානිජමය පදනමක් නොපැවතුණි.

සුත්තනිපාත අට්ඨකතාවේ දැක්වෙන පරිදි මහා චේතිය මලුවේ පන්ති පැවැත්වුණි. ඒ සඳහා භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසම සහභාගි වී ඇත. ඔවුන්ගේ සිත් තුළ නරක සිතුවිල්ලක් ඇතිවුවහොත් කියවීම සඳහා නිතරම අත් බෑගය තුළ බුදුගුණ ලියවූ පොතක් (වුට්ටි පොත්ථක) තිබුණි. මෙම අධ්‍යාපන ක්‍රමය අර්ථපූර්ණ වූ අතරම එය සිංහළ සාහිත්‍යයෙහි ඉදිරි ගමන සඳහාද බොහෝ සෙයින් උපකාර වී ඇත.

පපංචසූදනියේ එන කරුණු අනුව කැළැණි විහාරේ භාවිතා වී යැයි කියවෙන (කාලමාන) හෙවත් ඔරළෝසුවක් ගැන සඳහන් වේ. කාලවත්තම්හ මූල, යාමගණ්ඩික යන වචන මේ සඳහා භාවිතා කොට ඇත. දිවා රාත්‍රි දෙකෙහිම මෙම යන්ත්‍ර ක්‍රියාත්මක වූ බව එහි දැක්වේ.

ආර්ථිකය

කෘෂිකර්මාන්තය හා බැදි පුවත් අට්ඨකතාවලට ආදේශ කර දැක්වීමෙන් ප්‍රකට වනුයේ කෘෂිකාර්මික ආර්ථික රටාවක් මෙම යුගයන්හි පැවති බවකි. අශෝක හා වෙන පෑතිස් සම්බන්දය නිසා විදේශ සම්බන්දතාවන් පැවතී ඇත. එසේම විදේශීය වෙළදාමේ යෙදුන සමුද්‍ර වෙළදුන් ගැන තොරතුරු ද අටුවාවන්හි සඳහන් කොට ඇත. වෙළදාම සම්බන්දව සෑම යුගයකම පැවති අක්‍රමිකතා මෙම යුගයන්හිද පැවතී ඇත. ථුලානූට,මානකූට,කන්සකූට යනාදිය ගැන අටුවාවන්හි සඳහන් වේ.

“අග්ගට්ඨපනන්නාම ජිවිකා වොරෝපන සදිසං” යන පාඨයෙන් දැක්වෙන්නේ මිළ ගනන් වැඩි කිරීම ප්‍රාණගාතය හා සමාන අකුසල කර්මයක් ලෙසටය.

ක්‍රිඃව 5 ශත වර්ෂයේදී ලංකාවේ වස්ස-අඩවස්ස-කහවණු ආදිය භාවිතාකර ඇත. කැළණියේ සිට නාගදීපය දක්වා මුහුදු තීරය ආරක්ෂා කිරීමෙහි යෙදුණු බවත් නැවක් කැඩුණු විට අතරමං වන්නන් පිළිබඳව විමසිල්ලේන් සිටි බවටත් අටුවාවන්හි සඳහන් වේ. ආරාමවල බොහෝ ධනය තැන්පත්ව පැවතී ඇත. රජවරුනටවත් එතරම් ධනයක් නොපැවතී ඇත. චේතිය පබ්බතයෙහි සෑගෙහි එලන ලද පලසක වටිනාකම පන්සියයක් දෙනෙකුට ආහාරපානවලින් සංග්‍රහ කිරීමට ප්‍රමාණවත් වු බව අටුවාව ප්‍රකාශ කරයි. වගා භූමියන්හි වැඩකළ ජනතාවට කහවණු වලින් පඩිගෙවු බවද සමන්තපාසාදිකාවේ දක්වා ඇත. මෙයින් ප්‍රකට වනුයේ අටුවා යුගයේ දියුණු ආර්ථික පසුබිමක් පැවති අතර කෘෂිකාර්මික ආර්ථිකය, වේලදාම වැනි ආර්ථික තත්වයන් ලක්දිව පැවති බවයි

නීතිය හා දඩුවම

ආගමික ශික්‍ෂණය යටතේ ගොඩනැඟුණු පාලකයින් බිහිවු නිසා ලංකාවේ ධර්ම නීතිය ක්‍රියාත්මක වු බව අටුවා වලින් හෙළිවේ. අට්ඨකතාවන්හි එන නිදසුන් කිහිපයක් අනුව ලක්දිව නීතිය සාධාරණව ක්‍රියාත්මකවී ඇත. සමන්ත පාසාදිකාවේ එන තොරතුරකට අනුව අධිකරණ බලය භික්‍ෂූන්ටද හිමිව පැවතී ඇත. ගෝදත්ත හිමි දෙනුලබන්නා වු යම් විනිශ්චයක් ඉක්මවා කටයුතු කරන්නේ නම් රජය මඟින් දඩුවම් පමුණුවා ඇත. භාතිකාබය රාජය සමයේ “මාඝාතක”නමින් නීතියක් පනවා ඇත. යමෙක් එම නීතිය නොතකා ගව මස් කෑ හොත් නීතිය මඟින් කසළසෝධකයන් ආදී කුලහීන තත්වයට පත්කොට ඇත. මෙම අටුවා යුගය වන විට ලංකාවේ දෙතිස් වධයට සමාන දඩුවම් ක්‍රමයක් පැවතී ඇත. හුල තැබීම, සර්පයන් ලවා දෂ්ට කරවීම, රටින් පිටුවහල් කිරීම, අවයව සිඳලීම ආදිය ඒ අතර ප්‍රධාන වේ.

උත්සව

ලක්දිව පැවතී වැදගත් බෞද්ධ උත්සවයක් ලෙස අරියවංශ දේශනාව සඳහන් කළ හැකිය. මනෝරථපූරණියේ මේ පිළිබඳව කරුණු සඳහන් වේ. සුමංගල විලාසනී අටුවාව දක්වන ආකාරයට අමනුෂ්‍ය ආදී උපද්‍රවවලින් බේරීම සඳහා පිරිත් කීම පැවතී ඇත. “ගිරිභණ්ඩවාහන” නමින් හැදින්වෙන පුජාවක්ද එකළ මිහින්තළාවේදී පැවැත්වු බව අටුවාව සඳහන් කරයි.  මිනිසුන් විනෝදය සඳහා කුකුළන් පොර කෙටවීම, දිය කෙළිය, දාදු ක්‍රිඩාව ආදිය මෙන්ම නොයෙකුත් විජ්ජාබලයෙන් පැවති ක්‍රිඩාද සිදුකොට ඇත.

කාලීන තත්වය

බුද්ධඝෝෂ හිමියන් ජිවත් වු කාලපරිච්ජේදය සෑම පැත්තකින්ම යහපත් කාලපරිච්ජේදයක් ලෙස දැක්විය නොහැකිය. “නොයෙකුත් කරදර වලින් යුත් කාලපරිච්ජේදයක ජිවත් වෙමින් සිය කෘතිය එක් අවුරුද්දක් ඇතුළත නිරුපද්‍රිතව අවසන් කිරීමට හැකිවීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කිරීමක් සමන්ත පාසාදිකාවේ දක්නට ලැබෙයි.  දුර්භික්‍ෂය හා තීය නම් බමුණාගේ කැරැල්ල නිසා ඇතිවු දුර්විපාක පිළිබඳව අට්ඨකතාවන්හි දක්වා ඇත. අටුවාවන්හි එන තොරතුරුවලට අනුව උග්‍ර ආහාර හිඟයක් මේ යුගයේ ඇතිවී ඇත. තිස්සමහාරාමයේ සහ සිතුල්පව්වේ දස වසරකට අවශ්‍ය ප්‍රමාණයට ගබඩාකර තිබු වී මියෝ කා ඇත. මේ නිසාම භික්‍ෂූහු විශාල පිරිසක් ජිවිතක්‍ෂයට පත්වුහ. ආහාර හිඟය නිසාම සොරුන්, කැරලිකරුවන්, මං පහරන්නන් ඇතිවිය. චොරනාග, අභයචොර ආදි ප්‍රසිද්ධ සොරුන් ගැන අටුවාවේ සඳහන් වේ. දුර්භික්‍ෂයේ ප්‍රබල බව ප්‍රකට වන්නේ මිනිසුන් භික්‍ෂුන් මරාගෙන කෑමට තරම් සාහසික වීමෙනි. නිග්‍රෝධ නම් හිමිනමකගේ ගුරුහිමියන් මිනීකන සොරුන්ට ගොදුරු වු බව සම්මෝහවිනොදනී අටුවාවේ සඳහන් වේ. මෙබඳු පරිසරයක් තුල සදාචාර සම්පන්න සමාජයක් පිළිබඳව කතා කළ නොහැකිය. ඇතැම් මිනිසුන් සඟසතු දේපල පවා බලහත්කාරයෙන් භුක්ති විදීමට නැඔුරුවී ඇත. “ඵලත්‍ථිකා ආගනත්‍වා යාචනති, අදෙනතසස කුජඣනති, බලාකකාරෙන වා ගනහනති……..යථා රුචිං අක්කෝසනති.”

බුද්ධඝෝෂ හිමියන්ට හමු වන භික්‍ෂූන් අතර ඇතැම් භික්‍ෂූන් දුසිල්වත් ජිවිත ගතකොට ඇත. ගිහියන්ට බතින් බුලතින් සංග්‍රහ කරන මඟුල් කපුකම් කරන ගිහියන් රවටන පැවිද්දෝද එම යුගයෙහි වාසයකර ඇත.

සමාජයේ දුර්වල අවස්ථාද පැවතී ඇත. අනාචාරයේ හැසිරීම සඳහා සිය සොහොයුරා මැරවීමේ සිද්ධියක් අංගුත්තර නිකායට්ටකතාවේ සඳහන් වේ. මෙබඳු අපහසුකම් භික්ෂූන්ට බෝහෝ සෙයින් බලපා ඇත. එනිසාම පැවති තත්වය වෙනස් කරලීම සඳහා ගිහි පක්ෂය දැහැමි පිළිවෙත් සඳහා යොමුකරවීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් විය. මෙසේ විමසා බලන විට තත්කාලීන සමාජ තත්වය සතුටුදායක නොවු අතර එබඳු පරිසරයක විසු බුද්ධඝෝෂ ආදි යතිවරු අටුවා රචනයෙන් කරන ලද්දේ මහඟු සේවාවකි. එහිලා ඉතිහාස කරුණු අව්‍යාජව ඇතුලත් කර තිබීම ලක්දිව ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයකට මඟ විවර කොට ඇත.

ත්‍රිපිටකයේ ගැඔුරුතැන් පැහැදිලි කිරිම් වස් රචනා වු අට්ඨකතාවන්හි අන්තර්ගත වන්නේ ධර්ම කරුණුම නොවේ. ලංකා ඉතිහාසයේ පුරාතන අවධිය පිළිබඳව අපගේ දැනුම ප්‍රධාන වශයෙන් දීපවංශ මහාවංශයට සීමා වේ. එහෙත් අට්ඨකතාවන්හි ඊට වඩා වැදගත් තොරතුරු අන්තර්ගතව පවතින බව ඉහත තොරතුරු මඟින් සනාථ වේ. මෙම ග්‍රන්‍ථයන්හි තොරතුරු විමසා බැලීමේදී සමතා මෙන්ම විසමතාද දැකිය හැකිය. එහිදි කුමක් පිළිගත යුතුද යන්න විචාර බුද්ධියෙන් කළ යුත්තකි. විශේෂයෙන්ම බුද්ධඝෝෂ හිමියන්ට ලංකා ඉතිහාසය ලියා තැබීමේ අවශ්‍යතාවක් නැත. උන්වහන්සේලාට ඉතිහාස තොරතුරු අවශ්‍ය වී ඇත්තේ ධර්ම විවරණ කිරිමේ උපස්ථම්භකයක් ලෙස පමණි. මේ නිසා අටුවාචාරීන් තුල පැවති මෙම පක්ෂග්‍රාහීත්වයෙන් තොර බව නිසාම සිංහලයාගේ සිරිත් විරිත්, ආහාරපාන, අධ්‍යාපනය, ආගමික හා කලා ආදි සෑම අංශයක් පිළිබඳවම නිවැරදිව තොරතුරු වාර්තා කොට ඇති බව සිතීමට සිදු වේ.

නිකන් ඉන්න එකේ ඔය එක එක එවා බලලා ඩේටා නාස්ති කරගන්නනේ නැතිව සිංහල ටයිප් කරන්න දන්නවනම් ෆෝන් එකට රීලෝඩ් එකක් එන පොඩි ජොබ් එකක් කරමුද?

ඔබ පාසල්, පිරිවෙන්, දහම් පාසල් ගුරුවරයෙක් නම් අදම මෙහි ලියා පදිංචි වෙන්න ඉතිරිය අපි කියල දෙන්නම්.
ලියාපදිංචි වෙන්න
විස්තර දැනගන්​න