වීරකාව්‍යයන්හි ප්‍රභවය, විකාශනය හා සැළැස්ම.

//වීරකාව්‍යයන්හි ප්‍රභවය, විකාශනය හා සැළැස්ම.

මහා භාරතය හා රාමායනය යන ග්‍රන්ථද්වය සංස්කෘත සාහිත්‍යාම්බරයෙහි සුපුෂ්පිත මහාර්ඝ වීර කාව්‍යද්වය සේ පෙරපරදිග විද්වත් පර්ෂදයන්හි අවිවාදයෙන් පිළිගනු ලබන්නකි. ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ හෝ පුද්ගල සමූහයකගේ හෝ විශේෂ සිද්ධියක් ප්‍රකට කරමින් රචිත ග්‍රන්ථයක් වීර කාව්‍යයක් ලෙස ගිණිය හැකිය. එමෙන්ම වීර වික්‍රමාන්විත ක්‍රියා අතිරුචියෙන් වර්ණනා කිරීම වීර කාව්‍යයන්හි මූලික ලක්‍ෂණයකි. මෙම මහණීය වීර කාව්‍යයන්හි ප්‍රභවය හා විකාශනය පිළිබඳ විචාරාක්‍ෂිය යොමුකළ පර්යේෂකයන් මේ වනාහි විවිධ කාල වකවානු ගණනාවක් තිස්සේ පෝෂණය වීමෙන් මල් ඵල ගැණුනු සාහිත්‍යාවලියක් ලෙස සළකණු ලබයි.

වීර කාව්‍යයන්හි සම්භවය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමෙහිලා ඍග් වේදයෙහි එන සංවාද සූක්ත විවේචනය කළ ඕල්ඩන් බර්ග් හා ඔහුගේ මතය පිළිබඳ පශ්චාත් කාලීන විද්වතුන් විසින් හෙළි පෙහෙළි කරන ලද තොරතුරු මෙහිදී බොහෝ සෙයින්ම වැඳගත් වෙයි. “වෛදික සංවාද සූක්ත ආඛ්‍යාන ස්වරූපයක් ගන්නා ලද හෙයින් ගද්‍ය පද්‍ය මුසු වූ රචනයන්හි පද්‍යමය කොටස් පමණක් ඍග් වේදයෙහි රැකී තිබී ස්මරණයෙන් ව්‍යාප්ත වූ අතර පාඨක රුචිකත්වය අනුව අඩු වැඩි කර කියා පෑ හැකි ගද්‍ය කොටස් එහි සටහන් නොවුණි’” යනුවෙන් ඕල්ඩන් බර්ග් ඉදිරිපත් කරනලද මතය ආශ්‍රයෙන් සංවාදයන් එක් අතකින් වීර කාව්‍ය සාහිත්‍යයට තුඩුදුන්නේ යැයි ද තව ලෙසිනුත් දෘශ්‍ය කාව්‍යයන් සඳහා මංපෙත් විවර වූයේ යැයි ද විචාරකයන් දරණු ලබන පොදු මතයයි.

සංස්කෘත වීර කාව්‍යයන් රචනා වීමේදී මූලාශ්‍ර වුණු ඓතිහාසික වාර්තා කිහිපයක් ඍග් වේද සංවාද සූක්තයන්හිද වේද අටුවාවන් වන ඓතරේය ශතපථ වැනි බ්‍රාහ්මණ ග්‍රන්ථයෙහි ද අන්තරගත වී ඇත. එකී ඓතිහාසික වාර්තා වනාහී වීර වරුන් පිළිබඳ ජනශ්‍රැතියෙහි පැවතෙමින් ආ පුරා වෘත්තයන්ය. මහා භාරතය සඳහා යුධිෂ්ඨිර, අර්ජුන, භිමසේන වැනි වීරවරුන්ගේ මුතුන්මිත්තන් පිළිබඳව ද රාමායනයෙහි එන වීරවරුන් වන අජ දිළීප, දශරථ, භාරත ලක්‍ෂ්මණ වැනි මොවුන්ගේ මුතුන්මිත්තන් පිළිබඳව ද ජන ව්‍යවහාරයෙහි බොහෝ වෘත්තාන්ත කතා පැවතෙමින් අවුත් තිබේ. මෙකී උදාර වීර පුරුෂයන්ගේ චරිත සමූහයකගේ පුරා වෘත්ත වීර කාව්‍යයන්හි සම්භවයට හේතුභූත වූයේ යැයි විචාරක මතයයි. මෙම වීර විකුම් තෙද ඇති පුරුෂයන් අතර මුනිවරුන් ඍෂිවරුන් ක්‍ෂත්‍රියන් බ්‍රාහ්මණයන් හමුවේ. ඒ අතර වෛශම්පායන වාමදේව, අංගීරස, විශ්වාමිත්‍ර, නාරද, ගෞතම, වශිෂ්ඨ, නල දුෂ්‍යන්ත වැනි උදාර චරිතයන්ද හමුවේ. ඍග් වේදයෙහි සමහර සූක්තයන් හා බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි යාග හෝම පුද පූජා චාරිත්‍රයන්හි දී පැරණි වීරවරුන්ගේ වීරත්වයන් හා අපදානයන් පිළිබඳව පුහුණවක් ලද පිරිසක් විසින් ගයන ලද බවට ශතපථ බ්‍රාහ්මණයෙහි සඳහන් වේ.

මෙය එකී ඉපැරණි ජනයාගේ සිත දිනා ගැනීම සදහා ඔවුන්ගේ චරිත වීරත්වයෙන් වර්ණනා කරන ලද පැරණිතම සාධකයකි. මීට අමතරව මේ පිළිබඳ ශාඛ්‍යායන ගෘහ්‍ය සූත්‍රවල ද සඳහන් වේ.

පූර්වෝක්ත සාධකයන්ට අනුව පැහැඳිළි වනුයේ වීරකාව්‍යයන්ට මූළ පාදක වූණු ආඛ්‍යාන හා පුරා වෘත්ත ජනව්‍යවහාරයෙහි පැවත පසුව ඒවා ආගමික මුහුණුවරකින් වේද ග්‍රන්ථයන්ට හා බ්‍රාහ්මණ ග්‍රන්ථවලටත් පිවිස ඇති බවයි. මේ හෙයින් සංස්කෘත වීර කාව්‍යයන් හා ලේඛන ප්‍රභවය ලබන ලද්දේ වේද හා බ්‍රාහ්මණ ග්‍රන්ථයන්ගෙන් බව පැහැඳිළි වේ. වෛදික සූක්ත අර්ථ විවරණය කිරීමේ දී උපයෝගී වූ හෙවත් යග විධියෙහි අර්ථ පැහැඳිළි කිරීම සඳහා ආඛ්‍යාන , පුරාණ හා ඉතිහාස මූලික වශයෙන් ඉවහල් වී තිබේ. මෙහි ආඛ්‍යාන සාහිත්‍ය ස්වරූපයෙන් යුතු කතා ප්‍රවෘත්ති ලෙස හඳුන්වනු ලබයි. ඉතිහාස යම් කිසි සැබෑ කතා පුවතක් ඇසුරු කොට රචිත පුරා වෘත්තයකි. පුරාණ යනු පැරණි දේව කතාවක් හෝ සෘෂි කතාවක් පිළිබඳ ප්‍රවෘත්ති කථනයකි. වීර කාව්‍යයන් ද ආඛ්‍යාන යන නමින් හඳුන්වා ඇති බව පෙනේ. “මහාභාරතාඛ්‍යානම්” යනුවෙන් මහා භාරතය ආඛ්‍යාන නමින් හඳුන්වා තිබේ. රාමායණයෙහි ද මෙකී කාරණය දැකිය හැකිය.

“එතදාඛ්‍යාන මායුෂ්‍යං පඨන් රාමයණං නරඃ සපුත්‍ර පෞත්‍රඃ සගණඃ ප්‍රෙත්‍ය ස්වර්ගේ මහීයතෙ”

ඇතැම්තන්හි ඉතිහාස හා පුරාණ යන සාහිත්‍යාංගයන් පඤ්චම වේදය ලෙස හඳුන්වා දී ඇති අයුරු ඡාන්දෝග්‍ය උපනිෂදයෙහි හමුවෙයි. මෙම කරුණ දේශනා පාලියෙහි සුත්ත නිපාත සේල සූත්‍රයෙහි ද සඳහන් වෙයි. “තිණ්ණං වේදානං පාරගු සනිගණ්ඪු කේටුභානං සාක්ඛරප්පභේදානං ඉතිහාස පඤ්චමානං” මෙකී ඉතිහාසය හා පුරාණ ආදි සාහිත්‍ය කොටස් ආරක්‍ෂා කිරීමටත් ව්‍යාප්ත කිරීමටත් නියැළී සිටි පිරිස් පිළිබඳ තොරතුරු හමුවේ. මොවුන් අතර ආඛ්‍යාන වේදීන් ආඛ්‍යාන විද්, ඉතිහාස කතා දත් අය, ඓතිහාසික නමින් හා පුරාණ පුවත් දත් අය පෞරාණික යන නමින් ද හඳුන්වා ඇති බව පෙනේ. වීර කාව්‍යයන් හි ප්‍රභවයෙහි ලා මොවුන්ගේ දායකත්වය විශේෂ ලෙසින් වින්ටර්නිට්ස් දක්වයි. “ගද්‍යයෙන් මෙන්ම පද්‍යයෙන් ද සකස් වූ ආඛ්‍යාන ඉතිහාස පුරාණ ගාථා යන නමින් හැඳින්වුණු කතා මහා සම්භාරයක් බුද්ධ කාලය තරම් පැරණි කාලයක ඉන්දියාවේ පැවති බව නිසැකය. ජනතාවගේ සාහිත්‍යමය පොදු වස්තුවක් ලෙස පැවති මේ සම්භාරය බොද්ධයන් මෙන්ම ජෛනයෝත් වීර කාව්‍ය රචකයෝත් කතා රචකයෝත් කතාවන් උපුටා ගත්හ.”

වීර කාව්‍යයන්හි ප්‍රභවයෙහි ලා ඉවහල් වුණු තවත් පිරිසක් නම් වෛතාලියන් හෙවත් සූතයන්ය. වීර කතා වාදනයකින් යුතුව ගැයීමටත් වැයීමටත් පසුකාලීන රජවරුන්ට අවශ්‍ය විය. යුද්ධයෙහි දී රජුගේ රථාචාර්යයන් ලෙසින් පෙනී සිටි මෙම සූතයන් යුධ බිමේදී ප්‍රසස්ථි කාව්‍ය මඟින් රජුන්ගේ කිත්යසස ගයන ලදී. කුරු පාණ්ඩව යුද්ධයෙහි එක් කොන්දේශියක් වූයේ දෙපාර්ශවයෙහිම සූතයන්ට යුධබිමේ නිදහසේ හැසිරීමට ඉඩ දිය යුතු බවයි. අර්ජුනගේ සූතයා කෘෂ්ණයන් විය. ධ්‍රැතරාෂ්ඨයන්ට යුධ බිමේ තොරතුරු වාර්තා කාරන ලද්දේ සංජය සූතයායි. මේ හෙයින් වීර කාව්‍යයන්හි නිර්මාපකයන් මෙන්ම ආරක්‍ෂකයන් ලෙස සූතයන් සළකණු ලබයි. මීට අමතරව මෙම කාර්යයෙහිලා යෙදුණු මීට වෙනස් වූ නම් වලින් හඳුන්වන ලද පිරිසක් රාමායණයෙහි හමුවේ. මොවුන් කුශි ලව යන නම් ලත් ගායකයෝය. මොවුන් ක්‍ෂත්‍රිය පවුලට අයත් කවියන් විය, තවද රාමගේ පුතුන් දෙදෙනෙකු සේ ද සළකණු ලැබේ. මොවුන් තම පියාගේ වීර කතාව වාල්මිකීගෙන් අසා ඉගෙනගෙන එය ගයමින් සංචරණයෙහි යෙදුණු බව පෙනේ. මෙකී ප්‍රවාහයන් හරහා වීර කාව්‍ය යන සම්භවය සිදුවින යැයි විචාරක හුදු මතයයි.

මහාභාරතය වූ කලී වීරකාව්‍ය නම් ඵලද්වයෙන් උත්කෘෂ්ඨ ඵලයකි. රාමායණය මහාභාරතයට වඩා සුළුතර කාව්‍යයකි. මහාභාරතයෙහි ස්වරූපය ප්‍රාමාණිකත්වය කෙබඳු ද යන්න මොරිස් වින්ටර්නිට්ස්ගේ පැහැඳිළි කිරීම තුළ දැකගත හැකිය. “මහාභාරතය ප්‍රශස්තියක් හෝ කාව්‍යයක් වශයෙන් හඳුන්වතොත් එය සීමිත අර්ථයක් සහිතවමය. සැබවින්චම එක අතකින් කල්පනාකර බලන විට මහාභාරතය කිසිසේත් එකම කාව්‍ය කෘතියක් නොවේ. එය විශාල සාහිත්‍ය වංශයකි.” මේ හෙයින් මහාභාරතය සාහිත්‍ය වංශයක් සේ සැළකීම සර්ව සාධාරණය. ගද්‍ය කාව්‍ය රචක බාණ භට්ටයන් දක්වාලන පරිදි මහාභාරතය ලෝකත්‍රයෙහි ම ව්‍යාප්ත අනර්ඝ කාව්‍ය නිර්මාණයක් බව පෙර අපරදිග සෑම විද්වතෙකුට පාහේ පිළිගනු ලැබේ.

“කිං කවේස්තස්‍ය කාව්‍යෙන සර්වවෘත්තාන්තගාමිනී කථෙව භාරතී යස්‍ය න ව්‍යාප්නෝති ජගත්ත්‍රයම්”

මහාභාරතය යන ග්‍රන්ථ නාමය ලද අයුරු ද මහාභාරතයෙහි සඳහන් වෙයි. එමෙන්ම එම මහාභාරත යන්නෙහි පදරුත දන්නා කෙනා සියලු පාපයන්ගෙන් විමුක්ත වන බව ද සඳහන් කරයි.

“මහාත්ත්වාද්භාරවත්ත්වාච්ච මහාභාරතමුච්‍යතේ නිරුක්තමස්‍ය යො වෙද සර්වපාපෛඃ ප්‍රමුච්‍යතේ”

මහාභාරතය ප්‍රකාශ කරන්නවුන් ද ශ්‍රවණය කරන්නවුන් ද සාධු ඵල අනුභව කරන බව ද සඳහන් වේ.

“ශ්‍රොෂ්‍යන්නි තෙපි ස්වර්ගජිතඃ සමිතං පවිත්‍රමපි චෝත්තමම් ධන්‍යං යශස්‍යමායුෂ්‍යං ශ්‍රොතව්‍යං නියතාත්මභිඃ”

මහාභාරතය යන මෙහි භාරත යන අභිධානය ආරෝපිත වූයේ කවර අයුරින්ද යන්න විමසීමට ලක්කළ යුතුය. භාරතීයන්ගේ පරම්පරාව කියන ලබන හෙයින් ගෞරවය හා ශ්‍රේෂඨත්වය සළකා මහාභාරතය යන සංඥා නාමය ව්‍යවහාරයට පත්විය. මෙහි ග්‍රන්ථකේන්‍ද්‍රීයසංදර්භය වන්නේ කුරු හා පාණ්ඩව යන පරම්පරා දෙක අතර සිදු වූ යුධ කෝලාහලයයි. භාරත ජනයාගේ ආදිතමයා වනුයේ භරත ය. මොහු අධිරාජ්‍යයෙකි. දුෂ්‍යන්ත හා ශකුන්තලාට දාව උපන්නෙකි. මොහුගෙන් පැවත එන පරම්පරාව භරතීයන් ලෙස සළකණු ලබයි. මෙකී භාරතීයන්ගේ නිජ භූමිය බවට පත්ව තිබුණේ ගංඟා හා යමුනා ගංඟාවන්ගේ ඉහළ උතුරු ප්‍රදේශයයි. එම ප්‍රදේශය කුරුරට වශයෙන් හඳුන්වා තිබුණි. එහි කුරු වංශිකයන් කෞරවයන් ලෙසින් හැඳින්විණි. කෞරව වංශික රාජ්‍යයෙහි පසු කාලීනව හටගත් මහා සංග්‍රාමය කුරු පාණ්ඩව යුද්ධය ලෙසින් සනාථ වේ.

භාරත දේශයෙහි සුරූපී සත්‍යවතී නම් ධීවර දුහිතෘවට හා ව්‍යාසයන්ට දාව ධෘතරාෂ්ට්‍ර පාණ්ඩ හා විදුර නම් පුතුන් තිදෙනෙකි. ඔවුන් අතර වැඩිමහල් පුතනුවන් අන්ධ හෙයින් පාණ්ඩ කුමරු රජවිය. ධෘතරාෂ්ඨ ගන්ධාර රජුගේ දියණිය වූ ගාන්ධාරී කුමරිය සමග විවහා ප්‍රාප්තව පුතුන් සියයක් ලබන ලදී. ඔවුන් අතර දුර්යෝධන ජ්‍යෙෂ්ඨය. රජපැමිණි පාණ්ඩ කුමරු බිසවරු දෙදෙනෙකු සමග විවහා ප්‍රාප්තව දරුවන් පස්දෙනෙකු ලබන ලදී. ඔවුන්ගෙන් කුන්ති බිසවට යුදිෂ්ඨිර, අර්ජුණ හා භිම නම් කුමරුන් තිදෙනෙකු ද මාද්‍රී බිසවට ද නකුල සහ දේව නම් කුරුන් දෙදෙනෙකු විය. පාණ්ඩ රජුගේ අභාවප්‍රාප්තියෙන් පසු අන්ධ ධෘතරාෂ්ට්‍රයන් රජකමට පත්විය. පාණ්ඩව කුමාරවරු පස්දෙනා ධෘතරාෂ්ට්‍රයන්ගේ දරුවන්ට වඩා ක්‍රියාශූර වූ හෙයින් නිරන්තර ඊර්ෂ්‍යාවට ලක්විය. යුධිෂ්ඨිරයන් රාජ්‍ය උරුමක්කරු වුව ද අභ්‍යන්තර පැන නැඟුණු කුමන්ත්‍රණ හරහා පඤ්ච පාණ්ඩවයන් රාජ්‍යයෙන් පැන යයි. වෙස්ගෙන සැරිසරන මොවුන් පාංචාල රජුගේ දියණිය වූ ද්‍රෞපදියගේ ස්වයංවරය ගැන අසා එයට සහභාගී වී අර්ජුන කුමරු දුන්න නමා අහසෙහි පිහිටි ඉලක්කයට විද තරඟය ජයගෙන ද්‍රෞපදිය ලබාගනී. පාණ්ඩවයින් අතර වූ පැණි කුල සිරිතට අනුව ද්‍රෞපදිය පඤ්ච පාණ්ඩවයන්ගේම සාධාරණ බිරිඳ බවට පත්වේ.

පාණ්ඩව කුමරුන්ගේ දිවි ගෙවීම ගැන අසා කෞරවයන් පාණ්ඩවයින්ට රාජ්‍යයෙන් අර්ධයක් ලබා දීමට කැමතිවෙයි. දැහැමින් රජකරන යුධිෂ්ඨිරයන්ගෙන් පළිගැනීමේ අටියෙන් දුර්යෝධනයන්ගේ මාමා වූ ශකුනී ඒ සඳහා කුමන්ත්‍රණයක් සැළසුම් කරන ලදී. ඒ දාදු ක්‍රීඩාවේ දක්‍ෂ වූ ශකුනී ඒ සඳහා දුර්යෝධන පොළඹවා ඔහු පරාජ කොට රාජ්‍ය ලබා ගැනීමයි.

දාදු ක්‍රීඩාවෙන් පරාජිත යුධිෂ්ඨිරයන්ට රාජ්‍යයත් තම බිසව වූ ද්‍රෞපදියත් කෞරවයන් අතට පත්විය. නමුදු ධෘතරාෂ්ට්‍රයන්ගේ මැදිහත්වීම මත රාජ්‍ය නැවත ලැබුණ ද දෙවන අවස්ථාවේදී පරාජිත වූ ඔවුන් වසර දොළොසකට රටින් නෙරපන ලදී. වසර දොළොසක් වනගතව සිට දහතුන්වන වසරෙහිදී විරාට රජුගේ මාලිගාවට ගොස් එහිදී කෞරවයන් සමග සටන් වැදීමට ඔවුහු සේනාව සංවිධානය කළහ. සේනා සන්නද්ධ කුරු පාණ්ඩ දෙපිරිසම සංග්‍රාම පිණිස කුරු ක්‍ෂේත්‍රයට පැමිණියහ. එහිදී යුධ වැඳුණු කුරු පාණ්ඩව දෙපිරිසම විනාශයට පත් වූහ. ධෘතරාෂ්ටයන් ද මියැදිණි. කෘෂ්ණයන් හා ඔහුගේ පරම්පරාව ද නැසී ගියේය. මෙකී සිද්ධිදාමයෙන් ශෝකයට පත් ද්‍රෞපදිය සහිත පාණ්ඩව කුමාරුවරුන් අවසාන ගමනෙහි යෙදිණි. මේරු පර්වතයෙහි දී දිවංගත වන මොවුන්ගේ වීරතාවන් හේතුවෙන් දෙව්ලොව ඉපදීමට සුදුසු දෙවිවරු බවට මොවුහු පත්වූහ.

මහාභාරතයෙහි මුඛ්‍ය කතාව වන මෙය ග්‍රන්ථයෙහි අර්ධයකටත් වඩා ඉතා අඩුය. සෙසු ප්‍රධාන කතාවට සම්බන්ධ නොවන කතා පුවත්, ආඛ්‍යාන, උපදේශාත්මක වර්ණනා, ආගමික හා දාර්ශනික පාඨාදියෙන් ග්‍රහණ වී තිබේ.

සමස්ත මහාභාරතයෙහි අන්තර්ගතය පිළිබඳ සැළිකිලිමත් වීමේ දී එය මූලික වශයෙන් පර්ව දහඅටකින් සකස්ව ඇති බව පෙනේ. ආදිපර්ව, සභා පර්ව, වන පර්ව, විරාට පර්ව, උද්‍යෝග පර්ව, භීෂ්ට පර්වය, ද්‍රෝණ පර්වය, කර්‍ණ පර්වය, ශල්‍ය පර්වය, සෞප්තික පර්වය, ස්ත්‍රී පර්වය, ශාන්තී පර්වය, අනුශාසනා පර්වය, අශ්වමේධ පර්වය, ආශ්‍රමවාසික පර්වය, මෞසල පර්වය, මහාප්‍රස්ථානික පර්වය, මීට අමතරව හරි වංශය එයි. මෙහි ශ්ලෝක ප්‍රමාණය හරිවංශයෙහි හැර 84,836 කි. හර්වංශයෙහි ශ්ලෝක 12,000 ප්‍රමාණයකින් යුක්තය. සමස්ත ශ්ලෝක ප්‍රමාණය 96,836 කි. නමුදු අද්‍යතනයෙහි ශ්ලෝක 96,216 ක් බව ශ්‍රී ජයචන්‍ද්‍ර සර්මයන් පවසයි. තවද සමස්ත ග්‍රන්ථයෙහි අන්තර්ගතය පිළිබඳ විවේචනයක යෙදුණු හොප්කින්ස් පඬිවරයා මහාභාරතය කතා කොටස හා උපදේශාත්ම කොටස ලෙස දෙකොටසකට බෙදා දක්වයි. මහාභාරතයේ ප්‍රධාන කතාවන්ට අතුරු කතාවන් ලෙස සම්බන්ධ වන කාව්‍යාත්මක ලක්‍ෂණවලින් යුත්ත උපාඛ්‍යාන කිහිපයක් දැකිය හැක. එහිලා නලෝපාඛ්‍යානය, රාමෝපාඛ්‍යානය, සාවිත්‍ර්‍යූපාඛ්‍යානය, මත්ස්‍යෝපාඛ්‍යානය වැනි උපාඛ්‍යාන එහිලා ඉතා වැඳගත්ය. ඊට අමතරව ආගමික හා දාර්ශනික ප්‍රවාහයන්ගෙන් මහාභාරතයෙහි අන්තර්ගතය සමාකීර්ණ වී තිබේ.

අසහාය සාහිත්‍ය වංශයක් වන මහාභාරතයෙහි කර්තෘත්වය හා රචනා කාලය පිළිබඳ විවිධ මතිමතාන්තරයන් දැකගත හැකිය. මහාභාරතයේ රචනා කාලය පිළිබඳ විචාරයක යෙදෙන මැක්ස්මූලර් මෙය බ්‍රාහ්මණ ග්‍රන්ථ රචිත අවධියෙහි අවසන් භාගයෙහි පමණ රචනා කරන්නට ඇතැයි අදහස් කරයි. ක්‍රි:පූ: 10 වන සියවසට පෙර අවස්ථාවක මෙහි මුල් කොටස රචනා වන්නට ඇතැයි මැක්ස්මූලර් අදහස් කෙරේ. ක්‍රි:පූ: 05 වන සියවසට පෙරාතුව මෙහි ආරම්භය වන්නට ඇතැයි ඇම්. කෘෂ්ණාචාර්යයන්ගේ මතයයි. තවද සුබන්ධුගේ වාසවදත්තාවෙහි හා බාණ භට්ටයන්ගේ හර්ෂ චරිතයෙහිත් සඳහන් වන හෙයින් මෙය ක්‍රි:පූ: 04 සිට ක්‍රි:ව: 04 දක්වා කාල පර්ච්ඡේදය තුළ රචනා වන්ට ඇතැයි නිගමනය කෙරේ.

මහාභාරතයේ කර්තෘත්වය ව්‍යාස ඍෂීන්ට පැවරෙයි. ඔහුට වේද ව්‍යාස යැයි ද කියනු ලැබේ. ඔහු අටලොස් පුරාණයන්හිත් කර්තෘ යැයි පාරම්පරික අදහසයි. කෘෂ්ණදෛවෝපායන යනු ද ඔහුට ව්‍යවහාරත නාමයකි. කෘෂ්ණවර්ණ වන් වූ හෙයින් හා යමුනා නදියේ කොදෙව්වක උපන් බැවින් දෛවපායන යනුවෙන් භාවිත වේ. පරාශර ඍෂීන් පියාය. සත්‍යවතී මව්ය. එනමුදු වින්ටර්නිස්ට් මීට හාත්පසින්ම වෙනස් මතයක් දරනු ලබයි. ඔහු ව්‍යාස යනු කාල්පනික ඍසිවරයෙකු සේ අදහස් කරයි. කෙසේ වතුදු මහාභාරතය බහුකර්තෘක කෘතියක් සේ බහු විචාරක මතයයි.

ශ්‍රීමත් වාල්මීකි ඍෂීන් විරචිත රාමායණය ආදි කාව්‍ය සේ සළකණු ලැබේ. “ඉත්‍යාර්ෂේ ශ්‍රීමද්රාමායණෙ වාල්මිකීිය ආදි කාව්‍යෙ බාලකණ්ඩෙ ප්‍රථමා සර්ගඃ” එමෙන්ම තුන් ලෝකයෙහිම ආදි කාව්‍ය සේ ද සඳහන් වේ. “ආදිකාව්‍යං ත්‍රිලෝකේ” මහා කාව්‍යයක් ලෙස ද නම් කර තිබේ. “රාමායණං මහා කාව්‍යයම්” පුරාතන ඉතිහාස කාව්‍යයකි. “ඉතිහාස පුරාතනම්”

මෙහි කර්තෘ හා ඔහුගේ ජීවන කාලය පිළිබඳ විමසා බැලීම වටී. රාම රජුගේ රාජ්‍ය කාලයේ වාල්මීකි නම් ඍසිවරයෙකු සිටි බව රාමායණයෙහි සඳහන් වෙයි. මහාභාරතයෙහි ද වාල්මිකීගේ නාමය කීප තැනක සඳහන් වේ. කාලිදාසයන් විරචිත රඝුවංශයෙහි ද රාමායණය වාල්මිකී විසින් කරන ලද බව සඳහන් වේ. “ප්‍රාචේතසෝපඥං රාමායණම්” නමුදු රාමායණය පිළිබඳ විචාරයක යෙදෙන රබින්ද්‍රනාත් ඨාගුර තුමා වාල්මිකී පිළිබඳ ප්‍රකාශ කරයි. “කාලිදාසයන්ගේ ශාන්කුන්තලාවෙහි හා කුමාරසම්භවයෙහිත් ඔවුගේ නිපුණ හස්තයෙහි පරිචය දක්නට ලැබේ. වැළි රාමායණය හා මහාභාරතයත් ගංඟා නදිය හා හිමාචලයත් මෙන් භාරතවර්ෂයාගේ (පරිචය දෙත්) මය. ව්‍යාස වාල්මීකිහු උපලක්‍ෂ්‍යයනමාත්‍රයහ. වස්තු වශයෙන් ව්‍යාස වාල්මිකී යැයි කවරෙකුගේත් නමක් නොවීය. එය වනාහී එක් උද්දේශයෙක්හි නාම කරණ මාත්‍රයකි.”

වාල්මිකී නාමයෙන් කවිවරයෙකු සිටි බව සැක කිරීමට කිසිම තැනක් නැතැයි වින්ටර්නිට්ස්ගේ මතයයි. රාමායණයෙහි රාම රජුගේ හා සීතා දේවියගේ චරිතය වර්ණිතය. සූර්ය වංශික රාම හා සීතාව කතානායක නායිකාවෝ වෙති. ග්‍රන්ථයෙහි පරිමාණය පිළිබඳ ග්‍රන්ථයෙහිම සඳහන් වෙයි.

“චතුර්විංශත් සහස්‍රාණි ශලෝකානාමුක්තවානෘෂිඃ තථා සර්‍ග ශතාන් පඤ්ච ෂට් කාණ්ඩානිතථෝත්තරම්”

මේ අනුව රාමායණයේ ශලෝක 24,000ක් ද, සර්ග 500 ක් ද, කාණ්ඩ 07 ක්ද, ඇති බව පෙනේ. එකී කාණ්ඩයන් පහත පරිදිය. බාල කාණ්ඩය, අයෝධ්‍යා කාණ්ඩය, ආරණ්‍යක කාණ්ඩය, කිෂ්කින්ධා කාණ්ඩය, සුන්දර කාණ්ඩය, ලංකා කාණ්ඩය, උත්තර කාණ්ඩය, මෙකී සප්ත කාණ්ඩයන් අතර බාල කාණ්ඩය හා උත්තර කාණ්ඩය පශ්චාත් කාලීන බව විචාරක මතයයි.

රාමායණයෙහි පාත්‍රයන්ගේ නාමයන් වේද කාලය දක්වා ඈතට දිවේ. රාම සීතා යන නම් ද ඍග් වේදයෙහි අන්තර්ගතය. එහෙත් පුද්ගල නාම සඳහා නොවේ. සීතා යනු සීසෑමයි. රාම යනු රාත්‍රිය අර්ථ ගැන්වේ. මේ අනුව ආර්යයන්ගේ ගොවි ජීවිතය පිළිබඳ අත්දැකීම් කවි කල්පිතයක් ලෙස ගොතා රාමායණය කළ බව හුදු විචාරක මතයයි.

ආශ්‍රිත ග්‍රන්ථ.

  • ආනන්ද ඩබ්.පී. ගුරුගේ , සිංහලය හා සංස්කෘතය සහ සංස්කෘත කාව්‍ය හා නාට්‍ය , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , කොළඹ 10 (2010) (තෙවන)
  • තිලකසිරි. ජයදේව, සංස්කෘත නාට්‍ය සාහිත්‍ය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2005(තෙවන)
  • තිලකසිරි, ජයදේව – සංස්කෘත කාව්‍ය සාහිත්‍ය, එස්, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2007(දෙවන)
  • තිලකසිරි,සිරි , රඝුවංශය, රත්නපොත් ප්‍රකාශකයෝ , කොළඹ10, 1993,
  • ධම්මතිලක හිමි, මඩම්පැල්ලේ, සාධනා, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාසා පර්ෂදය, කැළණිය විශ්වව්ද්‍යාලය, 1992.
  • නන්ද භික්‍ෂු මීහගපැලැස්සේ, මෙත් සිසිල , සර්වෝදය විශ්ව ලේඛා – රත්මලාන – 1996
  • පඤ්ඤාකිත්ති හිමි හිරිපිටියේ (පරිවර්ථක) (2004) – මහාභාරතය , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ , කොළඹ 10
  • පඤ්ඤාලෝක හිමි. පොල්වත්තේ , සංස්කෘත ග්‍රන්ථ වංශය – (ද්විතීය භාගය) විජය යන්ත්‍රාලය, අම්බලන්ගොඩ (1957) (දෙවන)
  • පියරතන හිමි හිඟුල්වල ආදීහු (සංස්) නැණ ලකර ශාස්ත්‍රීය සංග්‍රහය, ඥානාලංකාර භික්‍ෂු අභ්‍යාස ආයතනය, පේරාදෙනිය 2006
  • පේමරතන හිමි , වැලිවිටියේ, කාව්‍යාදශ–ය, සමයවර්ධන පොත්හල, කොළඹ10, 2001,
  • බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා සුත්තනිපාතය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 2005(පුනර්).
  • බෙරිඬේල් . ඒ . කීත්, – සංස්කෘත කාව්‍ය සාහිත්‍යය, සමයවර්ධන පොත්හල, කොළඹ 10, 2011(දෙවන)
  • බෙරිඬේල් ඒ කීත්, – සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය, ඇම්, ඩී, ගුණසේන සහ සමාගම, කොළඹ11, 1965(පළමු)
  • රේවත හිමි, උඩවෙල – සකු කවි ලකුණු, සමයවර්ධන පොත්හල, කොළඹ10, 2010(පළමු)
  • වරදාචාර්ය, කේ. එස්, වාල්මීකි රාමායණම්, ප්‍රාච්‍ය විද්‍යා සංශෝධනාලය, මයිසූර් විශ්වවිද්‍යාලය, මයිසූර්, 1963,
  • විජේසිංහ එස්.ඒ.පී. සංස්කෘත සාහිත්‍ය විමර්ශන , සමයවර්ධන පොත්හල , කොළඹ 10 (2009)
  • සුනන්ද හිමි ,රනිස්වල (සංස්) සංස්කෘත » (සංස්කෘත ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහය) ඒකනායක සහා සමාගම – කළුබෝවිල 1998 (ප්‍රථම)
  • සේනානායක, ජී, එස්, බී, රාමායණය, ඇස්ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2001.
  • සෙනෙවිරත්න රෝහණ, පශ්චාත් කාලිදාස සමයෙහි සංස්කෘත මහා කාව්‍ය සාහිත්‍ය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කොළඹ 10
  • Kane, P,V , Harsacarita, Mortilal Banarsidass, Delhi,

 

 

පූජ්‍ය හදුන්ගමුවේ චන්ද ‌‌ජෝති හිමි

By |2018-07-15T16:27:56+00:00July 15th, 2018|සංස්කෘත|0 Comments

Leave A Comment