සංස්කෘත භාෂාව

//සංස්කෘත භාෂාව

ලොව බිහි වූ භාෂාවන් අතුරින් රමණීයතම භාෂාව සංස්කෘත භාෂාව යි. එහි පවත්නා ළගන්නා සුළු බව නිසා ම එය බොහෝ දෙනෙක් ඇලුම්කරන භාෂාවක් බවට පත් වී හමාර ය. ආර්යන් භාරතාවතරණය කරන විට ඔවුහු භාවිත භාෂාව වූයේ වෛදික භාෂාව යි. මෙම වෛදික භාෂාව “උර්ෂ්ප්‍රාච් භාෂාවේ“ උපභාෂාවක් වශයෙන් මුල දී පැවතී ඇත. නූතන වාග් විද්‍යා මතයට අනුව වොල්ගා ගංගා මුවදොර ආදී වූ ප්‍රදේශයන්හි වුසූ ජනයා ඉරාණය හා තදාසන්න ප්‍රදේශයන් කරා ව්‍යාප්තව ගියහ. මෙම පිරිස ඉන්දු ඉරාණීයයන් වශයෙන් ජීවත් වූ අවධියේ ඔවුහු ස්වභාව ධර්මය දේවත්වයෙන් ඇදහීමට පුරුදු වූහ. හිරු, සුළග, වැස්ස ආදී ස්වභාවික සංසිද්ධීන් දේවත්වයෙන් යුතුව ඇදහීමට පටන් ගත්හ. එහි දී විවිධ දෙවි දේවතාවුන් උදෙසා විවිධ ස්තුති ගීතිකා ගායනය ඔවුන්ගේ දැඩි භක්තිය නිසා ම ඇති වූ කරුණකි. මෙම ගීතිකා සමග ම භාරතයට පැමිණි ආර්ය පිරිස ඒවා තම ජීවිතය හා සමානව රැකගත්හ. මෙහි දී ප්‍රධාන කාර්යක් කරන ලද්දේ වෛදික පූජකයන් විසිනි. ඔවුහු මෙම ගීතිකා ශුද්ධ පාඨ වශයෙන් ආරක්ෂා කරගත්හ. එහි දී එම පාඨයන් අන්තර්ගත කොට වෛදික නම් කෘති බිහිවිය. ඒවායෙහි දෙවියන් උදෙසා ඇති ගීතිකා, යාගකර්ම, විවිධ දර්ශනික චින්තනය ආදී කරුණු කාරණා රාශියක් අන්තර්ගත වෙයි. මෙම ගීතිකා අන්තර්ගත කොට ඇති පුජනීය ග්‍රන්ථයෝ ප්‍රධාන වශයෙන් කොටස් හතරකි. චතුර්වේදය යනුවෙන් මෙය ආමන්ත්‍රණය කරති. එනම් 
1. සෘග් වේදය
2. යජුර් වේදය
3. සාමන් වේදය
4. අථර්වන් වේදය 

වශයෙනි. මෙම වේද ග්‍රන්ථයන්ගේ සුරක්ෂිතාවය වෙනුවෙන් පදපාඨ, සංහිතා පාඨ, ක්‍රම පාඨ ආදී විවිධ ව්‍යාකරණ ක්ෂේත්‍රයන් වෛදික පුජකයන් විසින් නිර්මාණය කරන ලදී. ව්‍යාකරණ නම් අංගය දියුණු කළ පිරිස වෛදික භාෂාවේ ව්‍යාකරණය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය. කේසේ වුවත් ස්වභාවික සිදුවන භාෂා පරිනාමය සම්පූර්ණයෙන් ම වලක්වාලීමට ඔවුන්ට ද නොහැකි විය. එනිසා කල්යෑමේ දී වෛදික භාෂාව ම තරමක් ලිහිල්ව හා මටසිලිටු ආකාරයෙන් උසුරුවීම හේතුවෙන් සංස්කෘත නම් භාෂාවක් බිහිවිය. මුල දී උගත් ව්‍යක්ත සමාජය අතර පමණක් සංස්කෘත භාෂාව ව්‍යවහාර විය. නමුත් ක්‍රි.පූ. 4 වන සියවසේ බිහි වූ පාණිනී නම් ව්‍යාකරණඥයා විසින් රචනා කරන්නට යෙදුණු “අෂ්ටධ්‍යායී“ නම් ව්‍යාකරණ ග්‍රන්ථය හේතුවෙන් සංස්කෘත භාෂාවට නව ජීවයක් ඇතිවිය. සංස්කෘත භාෂාව බොහෝ පිරිසක් අතර ව්‍යාප්ත වී යෑමට මෙම ග්‍රන්ථය හේතු සාධක විය. සියලු භාෂාවන් අතුරින් සුනම්‍යශීලී මෙන් ම මටසිලිටු භාෂාව සංස්කෘත භාෂාව යි. සං පූර්ව කෘ ධාතුවෙන් නිපන් සංස්කෘත යන වචනය මගින් නැවත සකස්කරන ලද සකසන ලද, මනාව සකසන ලද, මනාව කරන ලද භාෂාව ආදී අර්ථ රැසක් ජනනය කරවයි. ඒ අනුව වෛදික භාෂාව ම සංස්කරණට ලක්කොට අනවශ්‍ය යෙදුම් ඉවත් කොට ඒ වෙනුවට අලුත් යෙදුම් එක්කොට සකසන ලද භාෂාව සංස්කෘත භාෂාව නම් වෙයි. සංස්කෘත භාෂාව විවිධ විෂය ක්ෂේත්‍ර කරා විහිදී පවතියි.
1. ව්‍යාකරණය
2. සාහිත්‍යය
ඒ අතුරින් ප්‍රධාන ප්‍රෙභ්දයෝ දෙක වෙයි. මේ අතුරෙහි ඇතළත් විෂය පරාශයෝ රාශියක් වෙති. එතරම් විශාල විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙම භාෂාව පැතිරී ඇත්තේ එය බොහෝ පිරිසක් හෘදයාංගමව වැළදගත් භාෂාව වූ නිසයි.

සංස්කෘත ව්‍යාකරණය

සංස්කෘත භාෂාව ව්‍යාකරණයට මූලිකත්වය දෙමින් නිර්මිත භාෂාව කි. එය සකසාගන්නා ලද්දක් බව වචනාර්ථයෙන් ම ගම්‍යමාන වෙයි. සංස්කෘත භාෂාවේ ව්‍යාකරණය ඉගැනීමේ දී 
1. නාමපද
2. ක්‍රියාපද
3. සන්ධිපද
4. සමාසපද
5. අව්‍යය පද
6. තද්ධිත පද
7. කෘදන්ත පද
8. නාම වරනැගීම
9. ක්‍රියා වරනැගීම 

ආදී ව්‍යාකරණ අංගයෝ රාශියක් පිළිබදව දැනගැනීම වැදගත් වේ.

සංස්කෘත භාෂාවේ සන්ධි

සංස්කෘත භාෂාව නම්‍යශීලී භාෂාව කි. එය බොහෝවිට නම්‍යශීලීබව රැකගැනීම උදෙසා සෑම විට ම උත්සාහ දරා ඇත. එහි දී පද දෙකක් එක පදයක් බවට පත්කිරීම සන්ධි යනුවෙන් හදුන්වයි. මෙහි දී බොහෝවිට සිදුවනුයේ වෙන් වෙන්ව පවතින පද දෙකක් 
1. ලෝප
2. ලෝපශ්
3. ආදේශ
4. ආගම
5. ද්විත්ව 

ආදී සන්ධි කාර්යන් උපයෝගයෙන් තනි පදයක් බවට පත්කරගැනීම යි. සංස්කෘත භාෂාවේ සන්ධි ප්‍රධාන කොටස් පහකට බෙදනු ලැබෙයි. 
1. ස්වර සන්ධිය
2. ව්‍යඤ්ජන සන්ධිය
3. අනුස්වාර සන්ධිය
4. විසර්ග සන්ධිය
5. ප්‍රකෘතිභාව සන්ධිය 

යනුවෙනි.

By |2018-07-15T16:07:22+00:00July 15th, 2018|සංස්කෘත|0 Comments

Leave A Comment