වර්තමාන ශ්‍රී ලංකාවේ සංස්‌කෘත අධ්‍යාපනය

//වර්තමාන ශ්‍රී ලංකාවේ සංස්‌කෘත අධ්‍යාපනය

තම මව්බස (සිංහල) මෙන් සංස්‌කෘත භාෂාව ලිවීමට කියවීමට මෙන්ම චතුර ලෙස කතා කිරීමට ද සමත්ව වැඩ සිටි 1989 වර්ෂයෙහි අපවත් වී වදාළ මහාචාර්ය මාරඹ රතනසාර හිමිපාණන් වහන්සේ 1970 දී ලියන ලදුව (උන්වහන්සේගේ අත් අකුරෙන්ම) සුරක්‍ෂිතව පැවති මෙම ලිපිය “බදාදා අතිරේකයට” යොමු කරන ලද්දේ බෙංගමුවේ නාලක හිමියන් විසිනි.

“දහ අටවන සියවසේ අගභාගයේදී (පාශ්වාත්‍යයන් විසින්) සංස්‌කෘත සාහිත්‍ය සොයා ගැනීම තරම් මුළු ලෝකයටම වැදගත් වන සිද්ධියක්‌ විද්‍යානවෝදයෙන් මෙපිට සංස්‌කෘතික ඉතිහාසයේ තවත් සිදුවී නැත.” භාරතය පිළිබඳ ජාත්‍යනුරාගයෙන් හෝ දේශානුරාගයෙන් උදම්වීමට පෙළඹවීමක්‌ නැති ලෝක ප්‍රසිද්ධ ඉංගී්‍රසි ජාතික ප්‍රාචීන පඬිවරයකු වූ ආතර් ඇන්තනි මැක්‌ඩොනල් මහතාගේ මේ ප්‍රකාශය එතුමන් ලියූ සංස්‌කෘත සාහිත්‍ය ඉතිහාස ග්‍රන්ථයේ එන්නකි. මේ ප්‍රකාශය සවිස්‌තරව දැන ගැනීම සඳහා මහාචාර්ය හේමචන්ද්‍ර විඡේසේකර මහතා විසින් ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රීය සංග්‍රහයට සපයන ලද ලිපිය ඉවහල් වෙයි. එහි සිංහල අනුවාදයක්‌ විද්‍යාලංකාර සංස්‌කෘත පර්ෂදය මගින් පළ කරන ලද සාධනා සඟරාවේ 01 වෙනි කලාපයේ පළ කොට ඇත. කොටින් කියතොත් මැක්‌ඩොනල් මහතා සඳහන් කරන මේ වැදගත්කමට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්‌කේ යුරෝපීයයන් සංස්‌කෘත භාෂාව ඉගෙනීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ගී්‍රක්‌ භාෂා ලතින් භාෂා ජර්මන් භාෂා (ඉංග්‍රීසි ද ඇතුළත්ය) කෙල්ටික්‌ භාෂා බෝල්ටෝ ස්‌ලැවික්‌ භාෂා, අර්මේනුයානු භාෂාව, ඇල්බේනුයානු භාෂාව, ඉන්දු ඉරානීය භාෂා, ඉන්දු ආර්ය (සංස්‌කෘත ප්‍රධාන) භාෂා බෝටනිස්‌, හිටයිට්‌ යන අපරදිග හා පෙරදිග භාෂා කතා කළ ජනයා ලෙයින් කෙසේ වෙතත් භාෂා සම්බන්ධයෙන් එකම පිරිසකට යම් කාලයකදී අයත්ව සිට බෙදී ගියාහුය යන ලෝක සංස්‌කෘතිය පිළිබඳ ඉතා වැදගත් කාරණය සොයා ගත හැකිවීමයි. ඉන්දු යුරෝපීය, ආර්ය යන නම් වලින් හඳුන්වනු ලබන ඉහත කී භාෂා පවුලට අයත් දැනට ඇති ඉතාම පැරණි භාෂාව සංස්‌කෘතය බව ද සොයා ගෙන තිබේ. මේ භාෂා සම්බන්ධතාවය වැඩිදුරටත් හැදෑරීමෙන් වාග්විද්‍යාව නමින් වර්තමානයේ පහළව ඇති ශාස්‌ත්‍රය පහළ වූයේය. වේදග්‍රන්ථ විචාරාත්මකව හැදෑරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් තුලනාත්මක සමය විඥනය, තුලනාත්මක දේවකතා විද්‍යාව යන ශාස්‌ත්‍ර ද පහළ වූහ.

යුරෝපීයන් සංස්‌කෘත භාෂාව හැදෑරීම සඳහා ගත් උෙද්‍යාaගය හා විචාරාත්මක මාර්ගය නිසා භාරතයට පමණක්‌ නොව මුළු මනුෂ්‍ය සංහතියටම සිදු වූ සේවය අසීමිතය. යුරෝපීය පඬිවරයන් සංස්‌කෘත පොත පත ශාස්‌ත්‍රීය ලෙස සංස්‌කරණය කිරීමෙන් ශබ්ද කෝෂ ලිවීමෙන් විවරණ, විවේචන, විචාරණ සැපයීමෙන් ග්‍රන්ථ අනුවාද කිරීමෙන් නව ශාස්‌ත්‍ර නිපදවීමෙන් සංස්‌කෘත භාෂා සාහිත්‍යය ඇසුරෙන් ලොවට දුන් ආලෝකය විශ්වවිද්‍යාල පිහිටුවීමෙන් පසු ලංකාවට ද වැටෙන්නට විය. එහෙත් යුරෝපීය උගතුන් සංස්‌කෘත භාෂා සාහිත්‍යය හැදෑරීමට දැක්‌වූ උෙද්‍යාaගය ලංකාවේ පඬුවන් තුළ කවදාවත් ඇති නොවීය.

සංස්‌කෘතිය පිළිබඳ යුරෝපියන්ගේ නවතම – අවිෂ්කාරයන් ලංකාවට අලුත් වුව ද සංස්‌කෘතිය ලංකාවට අලුත් එකක්‌ නොවේ. ලංකාව කවදත් සංස්‌කෘත අධ්‍යයන ක්‍ෂේත්‍රයක්‌ විය. සාම්ප්‍රදායික ඉගෙනීම අතින් ලංකාවේ පුරාතන යුගයේ පඬිවරු භාරතීය පඬිවරුන්ට කිසිසේත්ම දෙවැනි නොවූහ. විෂය විවිධත්වයෙන් මෙන්ම ආසියාවට පොදු ජාත්‍යන්තර භාෂාවක්‌ වශයෙන් ද සංස්‌කෘතයේ අගය දත් ලාංකික බුද්ධිමත්හු එය ලංකා අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි යොදාලූහ. ජනකීහරණය වැනි භාරතීය පණ්‌ඩිත ජනප්‍රශස්‌ත මහාකාව්‍යයක්‌ ලිවීමට තරම් ලාංකිකයෝ සකුවෙහි හසල වූහ. අභයගිරිය වැනි ඇතැම් මහා බෞද්ධ විහාරස්‌ථානවල පාලන භාෂාව සංස්‌කෘතය විය. පාලි මහා බෝධිවංශය පාලි හත්ථවනගල්ල විහාරවංශය වැනි පොත් වලට සංස්‌කෘත ග්‍රන්ථයන්ගේ ප්‍රභාවය තදින්ම වැටිණි. සිංහල කාව්‍ය ග්‍රන්ථයන්ට ද සංස්‌කෘතයේ ආභාෂය ලැබුණි. පොළොන්නරු යුගයේ විසූ ටීකාචාර්ය සාරිපුත්‍ර ෙෙව්‍යාකරණ මොග්ගල්ලාන වැනි ආචාර්යවරයෝ සංස්‌කෘත පාණ්‌ඩිත්‍යයෙන් භාරතීය මහ පඬුවන් හා කිසිසේත් දෙවැනි නොවූහ. දඹදෙණි කෝට්‌ටේ යුගවල ද කීර්තිධර සංස්‌කෘත පඬිවරයෝ පහළ වූහ. වර්තමාන යුගයේ මූලාරම්භයේ පවා ප්‍රාචීන උගත්තු සංස්‌කෘතාධ්‍යයනයේ වැදගත්කම වටහාගත්හ. ඒ නිසාම සංස්‌කෘතයෙහි විශාරද වූ රත්මලානේ ධර්මාරාම මාහිමි දොඩන්දුවේ ශීලCඛන්ධ මාහිමි වැලිගම සුමංගල නාහිමි වැනි සම්භාවනීය පැවිදි පඬිවරුන් ද බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත පඬිතුමා, දොඩන්දුවේ ධර්මසේන පඬිතුමා වැනි ගිහි පඬිවරු ද පහළ වූහ. ලංකාවේ ප්‍රාචීන භාෂා ශාස්‌ත්‍ර ඥනයේ දියුණුවට එතුමන්ලා ගෙන් ලැබුණු පිහිට ආනල්පය. පිරිවෙන් අධ්‍යාපනය මගින් ද හැදුණු සම්භාවනීය සංස්‌කෘත පඬිවරුන් කීපපළක්‌ම ඉහත දී සිටියහ. දැනුදු සිටිති.

එහෙත් ලංකාවේ වර්තමානයේ සංස්‌කෘත අධ්‍යාපනය ඉතා දුර්වල තත්ත්වයක පවතී. විශ්වවිද්‍යාල තුළ සංස්‌කෘත අධ්‍යාපනය ඇතත් ඒවායේ ඉගෙන ගන්නා සංඛ්‍යාව ඉතා සීමිතය. පිරිවෙන් මගින් දැනට උසස්‌ සංස්‌කෘත ඉගැන්වීමක්‌ නොකෙරේ. එය විශ්වවිද්‍යාලයට පමණක්‌ සීමිතව පවතී. පිරිවෙන්වල දෙමින් තිබුණු අනිවාර්ය සංස්‌කෘත අධ්‍යාපනය ද පිරිවෙන් විශ්විද්‍යාල, අධ්‍යාපනයට යොමු කළ පසු පිරිහී ගියේය. භික්‍ෂූන් වහන්සේලා පවා පාලි සංස්‌කෘත භාෂාව හැර දමා ආර්ථික විද්‍යාව ඉතිහාසය වැනි විෂයන්ට සිත් යොමු කරන්නට වූහ. රජයේ විද්‍යාලවලිනුත් ඉතා සුළු සංඛ්‍යාවක පමණි සංස්‌කෘත අධ්‍යාපනයට ඉඩ සැලසී ඇත්තේ. ප්‍රායෝගික අගය අතින් ලංකාවට සංස්‌කෘත ඥනය වඩ වඩාත් අවශ්‍ය අවදියක සංස්‌කෘත හදාරණ අය එන්න එන්නම අඩු වී යැම රටට පාඩුවකි.

ප්‍රායෝගික අංශ කීපයකින්ම සංස්‌කෘත භාෂාව හැදෑරීම ලංකාවට ඉතා වැදගත් වෙයි. විශේෂයෙන්ම සිංහල මාධ්‍යයෙන් රජයේ කටයුතු හා උසස්‌ අධ්‍යාපනය ද කරන කාලයක සංස්‌කෘත භාෂාවේ පිටිවහල ඉතා අවශ්‍ය වෙයි. මේ තාක්‌ යුරෝපීය භාෂා මගින් කළ කාර්යයන් සිංහලෙන් කිරීමේ දී අවශ්‍ය පාරිභාෂිත ශබ්ද ඒ යුරෝපීය භාෂා වලින් තනා ගැනීම දුෂ්කර වෙයි. දැනට පාරිභාෂික වදන් මාලාව ව්‍යවහාර වචනවලින් සියයට අනූනවයක්‌ම සංස්‌කෘත වචන යෑයි කිව යුතුය. ඒවා බොහොමයක්‌ භාරතීය පාරිභාෂිත කෝෂවලින් ගත් ඒවා බව සැබෑය. එහෙත් බොහොමයක්‌ වචන අපට තනා ගන්නට සිදුවේ. එසේ තැනීමේ දී සංස්‌කෘත භාෂාඥනය ඉතා අවශ්‍ය වෙයි. සංස්‌කෘත භාෂාව නොදත්කම නිසා වරදවා ගෙන ව්‍යවහාර කරන වචන බොහෝ විට දැක්‌ක හැකි වෙයි.

පාරිභාෂිත ශබ්ද ඉගෙනීමේ දී ද සංස්‌කෘත භාෂාඥනය නැත්නම් ඒවායේ තේරුම් කටපාඩම් කරමින් මතක තබා ගනු මිස ඒවායේ අවයව විමසා බලා ඒවා තේරුම් ගන්ට නොහැකිවේ. සංස්‌කෘත භාෂාව තරමකටවත් දතහොත් උගන්වන ගුරුවරයාට ද ඉගෙනගන්නා ශිෂ්‍යයාට ද ලැබෙනුයේ මහත් රුකුළකි.

පොළොන්නරු යුගයටත් ඈත සිටම සිංහල සංස්‌කෘත මිශ්‍ර භාෂාවක්‌ ද වීම නිසාත් සිංහල සාහිත්‍ය ග්‍රන්ථ සංස්‌කෘත මිශ්‍ර භාෂාවෙන් ලියා තැබීම නිසාත් සිංහල භාෂාව හා සාහිත්‍යය ගැඹුරට හදාරන්නවුන්ට අවශ්‍යයෙන්ම සංස්‌කෘත භාෂා ඥනයක්‌ අවශ්‍ය වෙයි.

කාව්‍ය විචාරයෙහි දී ද දැනට මහත් උෙද්‍යාaගයක්‌ අප රටෙහි දක්‌නට ලැබෙයි. රසවාදය වනිවාදය වැනි කාව්‍ය වාද අද ඉතා ජනප්‍රියව පවතී. එහෙත් ඒවා පිළිබඳව ලියන්නවුන් බොහෝ දෙනෙක්‌ ඒවා විවේචනය කරන බොහෝ දෙනෙක්‌ සංස්‌කෘත භාෂා ඥනයක්‌ නොමැතිකම නිසා මූලග්‍රන්ථ කියවීමට අවස්‌ථාව නොමැතියෙන් එම විචාර වාදයන් පිළිබඳ වැරදි මත තදින්ම ගොඩනග ගෙන ලියති. විවේචනය කරති.

භාෂා විද්‍යානුකූලව වඩා පුරාතන තත්ත්වයක්‌ උසුලන සංස්‌කෘත භාෂාව නූගෙන පාලි භාෂාව විද්‍යාත්මකව හැදෑරීම නොහැකි වෙයි. කච්චායන මොග්ගල්ලායන ව්‍යාකරණ ග්‍රන්ථ දෙකම ලියා ඇත්තේ සංස්‌කෘත ව්‍යාකරණ ග්‍රන්ථ ඇසුරෙන් බැවින් ඒවා පිළිබඳ හොඳ දැනීමක්‌ ලැබීම සංස්‌කෘත දැනීමෙන් තොරව උගහටය. බුද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය, හා බෞද්ධ සංස්‌කෘතිය පිළිබඳ කරුණු හදාරන්නවුන්ට ද සංස්‌කෘත භාෂාවෙන් ලියවුණු බෞද්ධ ග්‍රන්ථ අමතක කළ නොහැකි වෙයි. එසේම බුද්ධ ධර්මය පහළ වූයේ වේදපරිසරයේ බැවින් උපනිදෂ් වැනි ග්‍රන්ථ ද අමතක කළ හැක්‌කේ නොවේ. දැනට විශ්වවිද්‍යාලවල මේ විෂයන් ද හදාරන්නවුන්ට සංස්‌කෘත භාෂාවෙන් ලියවුණු ධර්ම දර්ශන ග්‍රන්ථ කියවිය හැකි දැනුමක්‌ ද නැතැයි කිවයුතු තරම්ය. ශිෂ්‍යයන්ට පමණක්‌ නොව මේ විෂයන් උගන්වන ගුරුවරුන් ගෙන් වැඩි දෙනෙකුට ද මේ සුදුසුකම නැති බව පෙනේ.

සංස්‌කෘත ඉගෙනීම පිළිබඳ අද ඇති මේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වය කොතැනින් නවතීදැයි කිව නොහැක. පසුගිය වකවානුවේදී පිරිවෙන් මගින් සංස්‌කෘත ඉගෙනීම අනිවාර්යව තිබුණු නිසාත් ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වන විභාගයන්ට අවශ්‍ය නිසාත් බොහෝ පිරිවෙන් ශිෂ්‍යයෝ ඒ විෂය හදාළහ. පිරිවෙන් අධ්‍යාපනය විශ්වවිද්‍යාලයට යොමු කළ පසු භික්‍ෂූන් වහන්සේගේ සිත පවා පාලි සංස්‌කෘත භාෂා හා තදීය ධර්මදර්ශන වලට වඩා ආර්ථික විද්‍යාව ඉතිහාසය වැනි විෂයන්ට යොමුවිය. ප්‍රාචීන අවසාන පරීක්‍ෂණයට සංස්‌කෘත අනිවාර්ය විෂයක්‌ වූයේ එම විභාගය ගන්නන්ගේ සංඛ්‍යාව ද අඩුවිය. සංස්‌කෘත භාෂාව හොඳින් ඉගැන්විය හැකි ගුරුවරුන් සුළභ නොවීම ද පිරිවෙන් වලට එක්‌ පාඩුවක්‌ විය. රජයේ විද්‍යාල වලත් ඉතා ස්‌වල්පයක පමණි සංස්‌කෘත ඉගැන්වීමට කටයුතු යොදා ඇත්තේ. මෙය ද සංස්‌කෘත හදාරන්නවුන්ගේ හිඟවීමේ එක්‌ හේතුවක්‌ විය. පසුගිය වාරයේ (1969) අ.පො.ස. (උ.පෙ.) විභාගයට සංස්‌කෘතය විෂයක්‌ වශයෙන් ගත්තේ ශිෂ්‍යයන් 250 දෙනෙකි. එයින් කී දෙනෙක්‌ සමර්ථ වී ඇත්ද? කී දෙනෙක්‌ අනෙකුත් විෂයන් අසමත් වීම නිසා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට ඉඩ නොලැබෙද්ද? ඉතිරියවුන් ගෙන් කීදෙනෙක්‌ විශ්වවිද්‍යාල වලට නොපැමිණ නවතිද්ද? විශ්වවිද්‍යාල අතරට බෙදී ගිය විට කී දෙනෙක්‌ එක්‌ තැනකට එද්ද? වඩාත්ම හාස්‍ය ජනක දේ නම් එසේ විශ්වවිද්‍යාල වලට පැමිණි ටිකදෙනාගෙනුත් වැඩි දෙනෙක්‌ සංස්‌කෘත නොදන්නවුන් අතින් සංස්‌කෘත ඉගෙනීමේ අමාරු කම නිසා හා නිෂ්ප්‍රයෝජන බව අසා දැනගෙන එය හැදෑරීමේ අවස්‌ථාව අත්හැර දැමීමයි.

මේ තත්ත්වය මෙසේ දිගටම පැවතිය හොත් අප සතු ඤාණසම්භාරයක්‌ Æණකෝෂ්ටාගාරයක්‌ අපට නැති වී යයි. එහෙයින් එයට නොපමාව පිළියම් යෙදීම අධ්‍යාපනය භාර පින්වතුන්ගේ යුතුකමකි. රජයේ මහා විද්‍යාල හැම එකකම සංස්‌කෘත උගන්වන පහසුකම් සැලැස්‌සීම ඉතා හොඳ උපායමාර්ගයක්‌ වෙයි. පිරිවෙන් වල ද සංස්‌කෘත ඉගෙනීමට ඉගැන්වීමට වඩා වඩාත් පෙළඹවීම ප්‍රයෝජනවත් විය හැකිය.

විශ්වවිද්‍යාල වලින් ද මේ පිළිබඳ යෙදිය හැකි පිළියම් වෙයි. එනම් සංස්‌කෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසු අලුතෙන් ආරම්භ කළ හැකි විෂයක්‌ බවට පත් කිරීමයි. මේ වර්ෂයේ සිට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය මේ නව පියවර ගන්නට යන බැව් සඳහන් කළ යුතුය. සංස්‌කෘත, අ.පො.ස. (උ.පෙ.) විභාගයෙන් ලද සාමාර්ථයක්‌ නැතිව ද විශ්වවිද්‍යාලයේදී අලුතෙන් හැදෑරිය හැකි විෂයක්‌ ලෙස පිළිගත යුතු යෑයි සංස්‌කෘත මහාචාර්ය ඇස්‌. බී. ශාස්‌ත්‍රී මහතා විසින් කරන ලද යෝජනාවක්‌ සනාතන සභාව විසින් පිළිගනු ලැබුයෙන් මේ වර්ෂයේ සිට ඒ ක්‍රමය ක්‍රියාවට යොදවන්නට බලාපොරොත්තු වනු ලැබේ. ප්‍රථම වර්ෂ විභාගයේ හෝ උපාධි විභාගයේ දැනුම් මට්‌ටම පහත හෙළීමක්‌ මින් අදහස්‌ නොකෙරේ.

විශ්වවිද්‍යාලයන්හි මේ ක්‍රමය ක්‍රියාවේ යෙදුවොත් සංස්‌කෘතය විෂයක්‌ වශයෙන් හදාරණ ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව වැඩි වනු ඇත. ඉංගී්‍රසි මාධ්‍යයෙන් උසස්‌ අධ්‍යාපනය දුන් අවධියේ ගී්‍රක්‌ ලතින් භාෂාවන්ට හිමි වී තිබුණු තැන අද සංස්‌කෘත භාෂා සාහිත්‍යයට දීමෙහිලා විශ්වවිද්‍යාල සැලකිල්ලක්‌ දක්‌වතොත් එය ශිෂ්‍යයන්ගේ ඥනවර්ධනය සඳහා දූරදර්ශී පියවරක්‌ වන්නේය.

විද්‍යාලංකාර (කැලණිය) විශ්වවිද්‍යාලයේ සංස්‌කෘත අංශයේ
මහාචාර්ය මාරඹ රතනසාර හිමි

උපුටා ගැනීම දිවයින පුවත් පත

http://www.divaina.com/2010/08/25/badada01.html

By |2018-07-15T16:15:26+00:00July 15th, 2018|සංස්කෘත|0 Comments

Leave A Comment