නාගාර්ජුන පාදයන් හා ඔහුගේ කෘති

/, සංස්කෘත/නාගාර්ජුන පාදයන් හා ඔහුගේ කෘති

ප්‍රතීත්‍ය සමුත්පාදය පාදක කොටගෙන ශූන්‍යතාවාදය නමින් මාධ්‍යමික දර්ශනය ඉදිරිපත් කළ නාගාර්ජුන පාදයන් මහායානිකාචාර්‍ය්‍යවරුන් අතරෙහි අසහාය ආචාර්යවරයා බව අවිවාදිතය. උන්වහන්සේ මහායාන සම්ප්‍රදායෙහි සමාරම්භකයා යැයි ඇතැමුන්ගේ මතය වුවත් එය එසේ නොවන්නේ උන්වහන්සේට පූර්වතර අවධියෙහි ද මහායාන සූත්‍ර පැවති හෙයිනි. එම සූත්‍රයන්ගෙන් උපුටාගත් කොටස් එතුමන් විසින් කරන ලද කෘතීන්හිද දක්නට ලැබෙන බව ජපන් ජාතික පඬිවරයෙක් වූ ආර් කිමුරා මහතා සඳහන් කරයි. උන්වහන්සේ විසින් පෙර මහා සංඝිකයන් අතරේ පැවති ඒ මතයන් සකස් කොට පැහැදිලි කරන ලද බවට විචාරක මතයයි. අශ්වඝෝෂ නාගාර්ජුන ආර්‍ය්‍යදේව හා කුමාරලාත යන ආචාර්යවරුන් හතර දෙනාම එකම කාලයක ජීවත් වූ බවත්, ඔවුන් හතර දෙනා ලොව බබුළු වන සූර්යයන් හතර දෙනෙකු ලෙසත් හියුං සියෑං (Hasung Tasang) හඳුන්වා දෙන ලදී.

නාගාර්ජුන පාදයන්ගේ ජීවන සමය තීරණය කිරීම ඉතාම දුෂ්කර වූවකි. මීට හේතුව නම් උන්වහන්සේගේ ජීවන සමය පිළිබඳ විවිධ වාර්තා දක්නට ලැබීමයි. තවද නාගාර්ජුන නමින් පෙනී සිටි ශ්‍රේෂ්ඨ පඬිවරු කීපදෙනෙකුම සිටි බැවින් සුවිශේෂී ලක්ෂණ අනුව දාර්ශනික නාගාර්ජුන පාදයන් හඳුනා ගැනීම ද ඉතා දුෂ්කරය. එමෙන්ම රසායනික නාගාර්ජුන හා දාර්ශනික නාගාර්ජුන අතර යම් යම් ගැටළු ද පැන නගී. ආචාර්‍ය්‍ය නාගාර්ජුන පාදයන්ගේ සුහෘල්ලේඛා නම් සන්දේශ කාව්‍ය සාතවාහන උදායිභද්‍ර රජුට ලියන ලද බවට පිළිගැනීමක් ඇති නමුත් ඇතැම් විද්වත්තු මෙය කණිෂ්ක රජුට ලියන ලද්දක් සේ පිළිගැනීමට රුචි වෙති. කෙසේ නමුදු නාගාර්ජුන පාදයන් මෙම රජවරුන් දෙදෙනාගේ සමයෙහි විසූ බවට පොදු පිළිගැනීමයි. ක්‍රි.ව. 11 වන ශතවර්ෂයෙහි කල්හනයන් විසින් රචනා කරන ලද රාජතරංගණියෙහි නාගාර්ජුන පාදයන් හුෂ්ක, පුෂ්ක, කණිෂ්ක යන රජවරුන්ගේ රාජ්‍ය අවධියන්හි කාශ්මීරයේ සිටි එකම ප්‍රධානියා ලෙසින් පෙන්වා දී තිබේ.

කණිෂ්ක රජුගේ රාජ්‍ය සමයෙහි නාගාර්ජුනයන් උපත ලද බවට තාරානාථ සඳහන් කරයි. ආර් කිමුරා නැමැති ජපන් ජාතික විද්වතා නාගාර්ජුන පාදයන් ක්‍රි.ව. 250 ත් 350 ත් අතර කාලයේදී දිවි ගෙවන්නට ඇතැයි සඳහන් කෙරේ. කෙසේ නමුදු උන්වහන්සේ ක්‍රි.පු. 2 වන ශත වර්ෂයෙහි පශ්චාත් අර්ධ භාගයෙහි සිටි බවට සාමාන්‍ය නිර්ණය කිරීමයි.

නාගාර්ජුන පාදයන්ගේ ජීවන සමය පිළිබඳ මෙන්ම උන්වහන්සේගේ අපදානය පිළිබඳව ද විවිධ මතිමතාන්තරයන් පවතී. ආචාර්ය චන්ද්‍ර කීර්ති පාදයන්ගේ මාධ්‍යමිකාවතාර භාෂ්‍යයෙහි නාගාර්ජුන පාදයන් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් බවට සඳහන් කරයි.

“ලිච්ඡවී කුමාරොයං සර්වසත්තානාං දර්ශනෙ නන්දක ඉත්‍යානන්දඃ නිර්වාණාච්චතුඃශතෙෂු වර්ෂෙෂු ව්‍යතී තෙෂු නාගාහ්වයෝ භික්‍ෂූර් භුත්වා මද්දෙශනං විස්තරෙණ ප්‍රකාශ්‍ය අනූපූර්වෙන සුවිශුද්ධ ප්‍රභා භූමි නාමක ලෝකධාතෞ තථාගථොර්හන් සම්‍යක් සම්බුද්ධෝ ඥානාකරප්‍රභාභිධො භවිෂ්‍යති”

ක්‍රි.ව. 450 දී දිවි ගෙවූ කුමාරජීව ආචාර්යන් විසින් චීන භාෂාවට නඟන ලද නාගාර්ජුන පාදයන්ගේ ජිවන අපදානයෙහි සඳහන් වනුයෙහි නාගාර්ජුන පාදයන් දක්ෂිණ භාරතයෙහි බ්‍රාහ්මණ පවුලක උපත ලැබූ අතර, චතුර්වේදයෙහි හා සියලු විද්‍යාවන්හි පාරප්‍රාප්ත වූවකු බවත් සඳහන්ය. ශ්‍රේෂ්ඨ මන්ත්‍රකාරයෙකු වූ නාගාර්ජුනයන් හට මන්ත්‍ර බලයෙන් නොපෙනී සිටීමේ හැකියාව තිබිණි. එක් අවස්ථාවකදී එලෙස නොපෙනී සිට මිතුරන් තිදෙනෙකු සමඟ රජ මාළිගයට පිවිස එහි කාන්තාවක් සමඟ අනාචාරයේ හැසිරිණ. එහිදී රාජ පුරුෂයෝ ඔවුන් අල්ලා ගත්හ. එතුමාගේ මිතුරන් තිදෙනා මරණීය දණ්ඩනයට නියම වූයේ නමුදු නාගාර්ජුනයෝ කෙලෙසින් හෝ එතනින් පළා ගියහ. එලෙස පලා ගිය හෙතෙම භික්‍ෂුවක් බවට පත්වීමට පොරොන්දුවක් ඇතිකර ගත්තේය. එම පොරොන්දුව සඵල කරමින් ප්‍රවෘජ්ජාවට පත් වී දින 90 ක් ඇතුළත සමස්ත ත්‍රිපිටකයම අර්ථ සහිතව අවබෝධ කරගන්නා ලදී. එයින් තෘප්තිමත් නොවූ උන්වහන්සේ වෙනත් සූත්‍ර සෙවීමේ ද නියුතු විය. එතුමන්ට හිමාලයේ සිටි මහලු භික්‍ෂුවකගෙන් මයායාන සූත්‍ර රාශියක් ලැබිණි. කිසියම් නාග රාජයෙකුගේ උපකාරයෙන් එම සූත්‍රයන්හි ව්‍යාඛ්‍යාන ලබාගත් බව සඳහන්ය. මෙලෙස ධර්මාවබෝධය ලද එතුමා අවුරුදු 300 ක් දකුණු ඉන්දියාවේ ධර්ම ප්‍රචාරය කිරීමේ නියුතුව සිටි බවට ජීවන චරිත වක්තෲන් සඳහන් කරන ලදී. තිබ්බතීය වාර්තාවන්හි උන්වහන්සේ වසර 600 ක් දිවි ගෙවූ බව සඳහන් වේ.

නාගාර්ජුන පාදයන් ආශ්චර්යමත් දෑ කරන ලද යතිවරයෙකු බව උන්වහන්සේගේ ජීවන තොරතුරු මගින් පැහැදිලිය. ඖෂධ මගින් මහා පර්වත රත්තරන් කිරීමේ ශක්‍යතාවක් උන්වහන්සේ සතු විය. නාලන්දා මහා විහාරවාසීන්ගේ භෝජන විධායක පදවියට උන්වහන්සේ පත් වූ කළ මහත් දුර්භික්ෂයක් හටගත් බැවින් ඖෂධ බලයෙන් රන් උපදවා එයින් දන් දුන් බවත්, එසේ කළ කල්හි අකැප ලෙස ආහාර සම්පාදනය කළ හෙයින් විහාරයෙන් නෙරපූ බව සඳහන්ය.

එතුමා නාග ලෝකය සමඟ ද සම්බන්ධතා පැවැත්වූ බව ද සඳහන්ය. ශංකර නැමැති ආචාර්යවරයෙකු න්‍යායාලංකාර නම් ග්‍රන්ථයක් රචනා කොට තමා හා වාද කිරීමට සමර්ථයෙකු වේ නම් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටියේය. ශ්‍රීමන් භික්‍ෂු නම ඔහුට පිළිතුරු දීම වශයෙන් ධර්ම දේශනාවක් කරන ලද්දේ එම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණි බාලක දෙදෙනෙකු පොළවේ ගිලී යනු දුටුවේය. ඔවුන් නාග පෝතකයන් බව දැනගත් උන්වහන්සේ පසු දින ඔවුන් පැමිණි කල්හි උන්වහන්සේගේ ප්‍රතිමා නිර්මාණය සඳහා නා ලොවින් මෘදු මැටි ගෙන දෙන ලෙස නියෝග කළේය. නාග කුමරුන් දෙදෙනා එය නා රජුට දැන් වූ කල උන්වහන්සේට තම නාග භවනට වඩින ලෙස ආරාධනා කරන ලදී. එහි වැඩ නාගයන්ට දහම් දෙසූ කල එහිම වැඩ සිටින ලෙස ආරාධනා කළ කල්හි උන්වහන්සේගේ ප්‍රකාශය වූයේ “මා මෙහි පැමිණියේ මෘදු මැටි හා ප්‍රඥා පාරමිතා සූත්‍රය ගෙන යෑම පිණිසයි” යන මෙයයි. මෙසේ නාගයන්ගේ මිත්‍රයෙකු වූ බැවින් නාගාර්ජුන යන නාමය ද ලැබූ බව මෙහි සඳහන්ය. තවද, උන් වහන්සේ ප්‍රඥා පාරමිතා සූත්‍රය නා ලොවින් ගෙනා බව මෙහි සඳහන් වූවද එය ජනප්‍රවාදයක් නිසා සත්‍යතාවය පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතී.

මුන්වහන්සේගේ ජීවිතාවසානය පිළිබඳව ද සඳහන්ය. ඖෂධ බලයෙන් තම ජීවිතය දීර්ඝ එකක් කළ උන්වහන්සේ සාතවාහන රජුගේ ජීවිතය ද එලෙසම කළේය. රාජ්‍යලෝභී වූ සාතවාහන රජුගේ පුත් රාජ්‍ය ලබාගැනීමේ ක්‍රමය තම මෑණියන්ගෙන් විචාළ කල නාගාර්ජුන තෙරුන් මැරෙන දිනක රජු ද මිය යන බැවින් උන්වහන්සේගේ හිස ඉල්ලා ගනුවයි ප්‍රකාශ කළේය. නාගාර්ජුන වෙත ගිය පුත් අවුරුදු 600 වියෙහි සිටි තෙරුන්ගේ ගෙල කඩුවෙන් සිඳීමට උත්සහ කළ ද එය නොහැකි කල්හි තෙරුන් කුසපතකින් හිස කැපිය හැකි යැයි කී කල එසේ කළ බව සඳහන්ය. මොහු අන්තිවාහන හෝ උදයනභද්‍ර රජු හෝ විය හැකි බවට පිළිගනී.

කුමාරජීව තෙරුන්ගේ සඳහන් කිරීමට අනුව නාගාර්ජුන පාදයන් ශ්‍රේෂ්ඨ විජ්ජාකාරයෙකු පමණක් නොව, ජ්‍යොතිෂ ශාස්ත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය, රසායනික විද්‍යා ශාස්ත්‍ර මෙන්ම වෙනත් ලෞකික දේ පිළිබඳව ද මනා අවබෝධයක් ලද්දෙකු බව පැහැදිලිය. නාගරාජයෙකුගෙන් මුතුමාලයක් ලබා ගත් උන් වහන්සේ එය සර්ප විෂ නැති කිරීමේ පිළියමක් ලෙස යොදා ගත් බවද සඳහන්ය.

මහායානයෙහි වැදගත් සම්ප්‍රදායක් වූ මාධ්‍යමික සම්ප්‍රදායෙහි සමාරම්භකයා ලෙසින් ගෞරවයට පාත්‍රවන නාගර්ජුන පාදයන් විසින් සම්පාදිත ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් වේ. උන්වහන්සේ විසින් සම්පාදිත ග්‍රන්ථ හතළිස් එකක් භාරතීය බෞද්ධාචාර්යයෝ නම් ග්‍රන්ථයෙහි පොල්වත්තේ බුදුධඝෝෂ තෙරුන් දක්වයි.

  • ප්‍රඥා පාරමිතා ශාස්ත්‍ර
  • ස්වප්නචිත්තාමණිපරිතථා
  • දශභූමිවිභාෂාශාස්ත්‍ර
  • බොධිගණ
  • සූත්‍ර සමුච්චය
  • බොධිචිත්තවිවරණ
  • සුහෘල්ලේඛ
  • සූත්‍රමෙලාපක
  • තන්ත්‍රසමුච්චය
  • පඤ්චකර්ම
  • පිණ්ඩීකෘත සාධන
  • ජනෂොණ බින්දු
  • මණ්ඩලවිධි
  • ධූපයෝගරතනමාලා
  • යොගශතක
  • රත්නාවලී
  • ප්‍රඥාශතක
  • ශාලිස්තම්භකාරිකා
  • ප්‍රතීත්‍ය සමුත්පාද චක්‍ර
  • එකශ්ලොකශාස්ත්‍ර
  • ගුහ්ය සමුච්චය තන්ත්‍රටීකා
  • ද්වදශනිකාය ශාස්ත්‍ර
  • චතුර්මුද්‍රා විනිශ්චය
  • බුද්ධ මාතෘකා ප්‍රඥා පාරමිතා
  • ආම්නායමඤ්ජරී
  • මහාර්ථසංගීති ශාස්ත්‍ර
  • මාධ්‍යමිකමූල ග්‍රන්ථ
  • ප්‍රඥා ප්‍රදීප ශාස්ත්‍ර කාරිකා
  • මාධ්‍යමිකස්තොත්‍ර
  • න්‍යායද්වාරතාරක ශාස්ත්‍ර
  • ලක්‍ෂණ විමුක්ත බොධි හෘදය ශාස්ත්‍ර
  • ගාථා ෂෂ්ටියථාර්ථ ශාස්ත්‍ර
  • මහාප්‍රාණිධානොත්පාද ගාථා
  • ප්‍රාණ්‍යමූල ශාස්ත්‍ර
  • අෂ්ටාදශාකා ශාස්ත්‍ර
  • මධ්‍යන්තානුගම ශාස්ත්‍ර
  • උපාය කොෟශල්‍යය හෘදය ශාස්ත්‍ර
  • මහායාන නවහෙද ශාස්ත්‍ර
  • මහායාන ගාථාවිංශනි
  • බොධිචර්යා සූත්‍ර
  • ධර්මධාතුස්තොත්‍ර

යන ග්‍රන්තයන් දාර්ශනික නාගර්ජුන පාදයන් විසින් රචිත ග්‍රන්ථ මාලාව 122කින් යුක්තව තන්ජූර් හා කන්ජූර් ග්‍රන්ථ මාලාවේ සඳහන්ය. මෙයින් වැඩි කොටසක් තාන්ත්‍රික නාගාර්ජුනයන්ගේ කෘති සේ පිළිගැනේ. එහිලා පහත සඳහන් ග්‍රන්ථ දාර්ශනික නාගාර්ජුන පාදයන්ගේ කෘති ලෙසින් පිළිගෙන තිබේ.

  • මූලමාධ්‍යමික කාරිකා
  • අකුතොභය ටීකා
  • යුක්ති ෂෂ්ටිකා
  • ශූන්‍යතා සප්තති සහ තට්ටීකා
  • ප්‍රතීත්‍ය සමුත්පාද හෘදය
  • ප්‍රඥා පාරමිතාස්තව
  • භාවනා ක්‍රම
  • භව සංක්‍රාන්ති
  • වෛදල්‍ය ප්‍රකරණ
  • ප්‍රමාණ විධ්වංසන
  • උපාය කෞශල්‍යය
  • රත්නාවලී
  • සුහෘල්ලේඛා
  • මහායානවිංශක
  • විග්‍රහ ව්‍යාවර්තිනී
  • චතුස්තව
  • ධර්ම සංග්‍රහ

තිබ්බතීය ඉතිහාසඥයෙකු වූ තාරානාථ නාගාර්ජුන පාදයන් විසින් රචනා ග්‍රන්ථ ප්‍රමාණය පහක් බව සඳහන් වෙයි.

  • මූලමාධ්‍යමක කාරිකා
  • යුක්ති ශතක
  • ශූන්‍යතා සප්තති
  • විග්‍රහ ව්‍යවර්තනී
  • වෛදල්‍ය ප්‍රකරණ

බුෂ්ටොණ්ගේ පිළිගැනීමට අනුව නාගර්ජුන රචිත කෘති ප්‍රමාණය හයකි.

  • ප්‍රඥාමූල
  • ශූන්‍යතා සප්තති
  • යුක්ති ශතක
  • විග්‍රහ ව්‍යවර්තිනී
  • වෛදල්‍ය ශාස්ත්‍ර
  • ව්‍යවහාර සිද්ධි

මීට අමතරව

  • රත්නාවලී
  • චතුඃස්ථල
  • ප්‍රතීත්‍ය සමුත්පාද හෘදය
  • භව සංක්‍රාන්ති ශාස්ත්‍ර
  • ප්‍රඥා දණ්ඩ
  • සුහෘල්ලේඛා

යන ග්‍රන්ථ ද නාගර්ජුන පාදයන්ගේ යැයි සලකනු ලබයි. වර්තමානයේ චීන භාෂාවෙන් පමණක් පවතින කුමාරජීව විසින් පරිවර්තිත

  • මහා ප්‍රඥා පාරමිතා ශාස්ත්‍ර
  • දශ භූමික ශාස්ත්‍ර
  • ද්වාදශමුඛ ශාස්ත්‍ර

යන ග්‍රන්ථ ද නාගාර්ජුනයන් විසින් සම්පාදිත බවට පිළිගැනේ. තවද චීන භාෂාවෙන් පමණක් පවතින

  • ඒකශ්ලෝක ශාස්ත්‍ර
  • අෂ්ටාදශශූන්‍යතා ශාස්ත්‍ර
  • බොධිසම්භාර ශාස්ත්‍ර
  • බෝධි චිත්ත නිමිත්ත රහිත
  • බෝධිසත්ව චර්යාවතාර
  • Fu-kai-chen,hsing-so-chi-ching
  • ධර්ම ධාතු ස්තොත්‍ර 
  • Huang-ta-fa-yuan-sung

යන ග්‍රන්ථ ද නාගාර්ජුන කෘති බව පිළිගැනේ. මෙම ග්‍රන්ථ අතුරෙන් නාගාර්ජුනයන්ගේ කෘති කවරක්දැයි නිශ්චිත වශයෙන්ම තීරණය කිරීම දුෂ්කර බව ඍසජය්රාග්‍යගඍදඉසබිදබ සඳහන් කරයි. තවද තාරානාථයන් විසින් සඳහන් කරන ලද ග්‍රන්ථයන්හි අන්තර්ගතයන් නාගාර්ජුනයන්ගේ ප්‍රධානතම ග්‍රන්ථය වූ මූලමාධ්‍යමික කාරිකාවේ අන්තර්ගතය හා සංතුලනය වන නිසා ඒවා නිශ්චිත වශයෙන්ම නාගාර්ජුනයන්ගේ බව පිළිගත හැකි යැයි හෙතෙම සඳහන් කරයි.

  • චතුෂ්තල ප්‍රතීත්‍ය සමුත්පාද හෘදය
  • භව සංක්‍රාන්ති ශාස්ත්‍ර

මෙකී ග්‍රන්ථවලින් සුප්‍රකට අටුවාචාර්යෙකු වූ චන්ද්‍රකීර්ති පාදයන් උද්ධෘත පාඨගෙන ඇති හෙයින් මෙම ග්‍රන්ථයන්ද නාගාර්ජුනයන්ගේ බව පිළිගැනේ. එමෙන්ම සුහෘල්ලේඛාව ක්‍රිස්තුවර්ෂ පස්වන සියවස වන විට දෙවරක්ම චීන භාෂාවට පරිවර්තනය කර ඇති හෙයින් එයද නාගාර්ජුන කෘතියක් සේ පිළිගැනේ.

නාගාර්ජුන චින්තනයෙහි සමස්ත සාරය විවරණය කරමින් ග්‍රන්ථයන් රචිත Lindtner ගේ වර්ග කිරීමට අනුව නාගාර්ජුන කෘති මෙබඳුය.

  • මූලමාධ්‍යමික කාරිකාව
  • ශූන්‍යතා සප්තති
  • විග්‍රහ ව්‍යාවර්තිනී
  • වෛදල්‍ය ප්‍රකරණ
  • ව්‍යවහාර සිද්ධි
  • යුක්ති සෂ්ටිකා
  • චතුෂ්තල
  • රත්නාවලී
  • ප්‍රතීත්‍ය සමුත්පාද
  • හෘදය කාරිකා
  • සූත්‍ර සමුච්චය
  • බොධිචිත්ත විවරණ
  • සුහෘල්ලේඛා
  • බෝධි සම්භාරක

යන ග්‍රන්ථයන්ය. නාගාර්ජුනයන්ගේ දර්ශනය කුමක්ද? එතුමන් කවර බෞද්ධ සම්ප්‍රදායකට අයිතිවේද වැනි කරුණු ගැන පූර්ව නිශ්චයක් තුළ ඛසබාඑබැර මෙම වර්ග කිරීම කර තිබේ.

මූල මාධ්‍යමික කාරිකාව

“යඃ ප්‍රතීත්‍ය සමුත්පාදඃ ශූන්‍යතාං තාං ප්‍රචක්‍ෂ්මහෙ සා ප්‍රඥප්ති රූපාදාය ප්‍රතිපද් සෛව මධ්‍යමා”

යමක් ප්‍රතීත්‍ය සමුත්පාද වේද ඒ ශූන්‍යතාවයි. ඒ ශූන්‍යතා ප්‍රඥප්තිය නිසා ඒ මධ්‍යම ප්‍රතිපදාව වන්නේය.

පූර්වෝක්තයට අනුව මධ්‍යම ප්‍රතිපදාව වනාහි ශුන්‍යතාවාදය යි. ශූන්‍යතා වාදය පිළිගනු ලබනුයේ මාධ්‍යමකයන්ය. මාධ්‍යමික දර්ශනයෙහි අද්විතීය ග්‍රන්ථය නම් නාගාර්ජුන පාදයන්ගේ මූල මාධ්‍යමක කාරිකාවයි. එය භාරතීය බෞද්ධ සාහිත්‍යයෙහි ආගමික හා දාර්ශනික වශයෙන් වැදගත් වන්නාවු ප්‍රාධාන්‍ය කෘතියකි. සමස්ත ග්‍රන්ථයම පරිච්ඡේද විසි හතකින් උපයුක්ත වන අතර එහි පද්‍ය ප්‍රමාණය 447කි. මෙහි පරිච්ඡේදයන්ට පරීක්‍ෂා යන නාමය යොදා තිබේ.

  • ප්‍රත්‍ය පරීක්‍ෂා
  • ගතගතාගත පරීක්‍ෂා
  • චක්‍ෂුරින්ද්‍රිය පරීක්‍ෂා
  • ස්කන්ධ පරීක්‍ෂා
  • ධාතු පරීක්‍ෂා
  • රාගරක්ත පරීක්‍ෂා
  • සංස්කෘත පරීක්‍ෂා
  • කර්මකාරක පරීක්‍ෂා
  • පූර්ව පරීක්‍ෂා
  • අග්නීන්ධන පරීක්‍ෂා
  • පූර්වාපර කෝටි පරීක්‍ෂා
  • දුඃඛ පරීක්‍ෂා
  • සංස්කාර පරීක්‍ෂා
  • සංසර්ග පරීක්‍ෂා
  • ස්වභාව පරීක්‍ෂා
  • බන්ධන මෝක්‍ෂ පරීක්‍ෂා
  • කර්මඵල පරීක්‍ෂා
  • ආත්ම පරීක්‍ෂා කාල
  • පරීක්‍ෂා සාමග්‍රි පරීක්‍ෂා
  • සම්භව වීභව පරීක්‍ෂා
  • තථාගත පරීක්‍ෂා
  • විපර්‍ය්‍යාස පරීක්‍ෂා
  • ආර්‍ය්‍යසත්‍ය පරීක්‍ෂා
  • නිර්වාණ පරීක්‍ෂා
  • ද්වාදශාංග පරීක්‍ෂා
  • දෘෂ්ටි පරීක්‍ෂා

බෞද්ධ දර්ශනයෙහි අන්තර්ගත මූලික සංකල්ප වන හේතු ප්‍රත්‍ය, ස්කන්ධ, ෂඞ්විධ ධාත,ු දුක ,සංස්කාර ධර්ම, ඉන්ද්‍රිය හා ආරම්මණ , කර්මඵල ,චතුරාර්‍ය්‍ය සත්‍ය, නිර්වාණය ආදි මාතෘකා මෙහි සාකච්ඡාවට බදුන්ව තිබේ. එමෙන්ම ධර්මයට සෘජුව අදාළ නොවන

  • ගතගතාගත
  • අග්නීන්ධන
  • කර්මකාරක

වැනි කරූණ ද අන්තර්ගතව පවතී.

සමස්ත ග්‍රන්ථයෙහිම එන පරිච්ඡේදයන්හි අන්‍යොන්‍ය සම්බන්ධතාවක් ඇතිබව වියතුන් පිළිගන්නා කාරණයකි. කලුපහන මහතා කාරිකාවේ පරිච්ඡේද ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වා තිබේ. ඒ අනුව පළමු දෙවන පරිච්ඡේද දෙක පළමු කොටස ලෙස දක්වයි. මෙම පරිච්ඡේද ද්වයෙහි ප්‍රත්‍යතාව හා අනිත්‍යතාව වැනි ධර්මයෙහි ඉතා වැදගත් සංකල්ප අන්තර්ගතය. තෙවන පරිච්ඡේදයෙහි සිට පහළොස් වන පරිච්ඡේදය තෙක් පරිච්ඡේද දෙවන කොටස වේ. මෙම පරිච්ඡේදයන්හි ධර්ම නෛරාත්ම්‍යතාව සම්බන්ධ කරුණු ඇතුළත්ය. පුද්ගල නෛරාත්ම්‍යතාව තහවුරු කෙරෙන 16 සිට 26 තෙක් පරිච්ඡේද තෙවන කොටස ලෙස සඳහන් කෙරේ. දෘෂ්ටි පරීක්‍ෂා නම් විසි හත්වන පරිච්ඡේදය හතර වන කොටසයි. මෙය හුදෙක් සමස්ත ග්‍රන්ථයෙහිම නිගමනයකි.

යුක්ති ෂෂ්ටිකා

යුක්ති ෂෂ්ටිකා කාරිකා නම් මෙම ග්‍රන්ථයෙහි කාරිකා හැටකින් ශූන්‍යථාවාදය ඉදිරිපත් කොට තිබේ. මෙහි මුල් පිටපත දක්නට නොලැබුණත් ආචාර්ය Shebber මහතා විසින් ජර්මන් භාෂාවට පරිවර්තනය කරන ලද පිටපත 1963 දී ්‍යැසා්කඉැරට ආයතනය මගින් මුද්‍රණය කරන ලදි. යුක්ති ෂෂ්ටිකාවේ මුල් පද්‍ය දක්නට නොලැබුණත් ඇතැම් ග්‍රන්ථයන්හි යුක්ති ෂෂ්ටිකාවෙන් උපුටා ගන්නා ලද පද්‍ය දැක ගත හැකිය. ප්‍රඥාකරමති ආචාර්යවරයා බෝධිචර්යාවතාර පඤ්චිකාවේද, චන්ද්‍ර කීර්ති ආචාර්ය ප්‍රසන්න පාද ටීකාවේද යුක්ති ෂෂ්ටිකාවෙන් උපුටා ගන්නා ලද පද්‍ය කීපයක් දැක ගත හැකිය.

“මමෙත්‍යහමිති ප්‍රොක්තං යථා කාර්යවශාජ්ජිනෛඃ තථා කාර්යවශාත් ප්‍රොක්තාඃ ස්කන්ධායතන ධාතවඃ”     (බොධිචර්යාවතාර පඤ්චිකා)

“හෙතුතඃ සම්භවො යස්‍ය – ස්ථිතිර්ත ප්‍රත්‍යයෛර්විනා විෂමඃ ප්‍රත්‍යයා භාවාත් – සොස්තිත්‍යවශතඃ කථම්”

රත්නාවලී

මෙයට රත්නාවලී රත්නමාලා යන නම් ව්‍යවහාර වන අතර චන්ද්‍රකීර්ති පාදයෝ මෙය ආර්ය රත්නාවලී යන නාමයෙන් හඳුන්වති. 1934-1936 අතර කාලයෙහි ජපන් ජාතික G Tucci පඩිතුමා Jras නම් ලන්ඩන් සඟරාවේ මෙහි කොටස් කිහිපයක් මුද්‍රණය කරන ලදි. ඔහුගේ සඳහනට අනුව රත්නාවලියෙහි පරිච්ඡේද පහකි. එයින් පළමු පරිච්ඡේදය සම්පූර්ණව ලැබෙන අතර දෙවන පරිච්ඡේදය අසම්පූර්ණය. තෙවන පරිච්ඡේදය නෂ්ට ප්‍රාප්ත වී තිබේ. සතරවන පරිච්ඡේදය සම්පූර්ණම තිබෙන නමුත් පස්වන පරිච්ඡේදය සොයා ගත නොහැකිය. Tohoku ග්‍රන්ථ මාලාවේ 4158 අනු අංකය යටතේ වර්ගකළ මෙම ග්‍රන්ථය “රාජපරිකථා රත්නමාලා” යන නමින් හඳුන්වා තිබේ. මෙයට අජිතමිත්‍ර ලියූ ටීකාවක්ද ඇති බව එහිම සඳහන්ය.

ගෞතමී පුත්‍ර ශ්‍රී රජුට උපදෙස් දීම සඳහා මෙම ග්‍රන්ථය රචනා කර තිබේ. රාජවෘත්තෝපදේශ නම් සතර වන පරිච්ඡේදයෙහි රජුට උපදෙස් දෙන ගමන්ම මාධ්‍යමක දර්ශනයද උගන්වනු ලැබේ. ප්‍රසන්න පාද වෘත්තිය සඳහා චන්ද්‍රකීර්ති පාදයෝ මෙයින් පද්‍ය 16ක් උපුටා ගනිති. ප්‍රඥාකර්මතීන් ද බෝධිචර්යාවතාර පඤ්චිකාවටද මෙයින් පද්‍ය උපුටා ගෙන ඇත.

අද්‍යතනයෙහි පවත්නා රත්නාවලියෙහි පද්‍ය ප්‍රමාණය 223කි. මෙහි ඉගැන්වෙන ධර්මෝපදේශ සියල්ල ථෙරවාද බුදු සමයට අනුකූලය. එමෙන්ම එම ඉගැන්වීම් ථෙරවාද ග්‍රන්ථවල සඳහන්ය.

“අහිංසා චෞර්ය විරතිඃ – පරදාර විවර්ජනම් මිත්ථ්‍යා පෛශූන්‍ය පාරුෂ්‍යා – බද්ධවාදෙෂු සංයමඃ ලොභ ව්‍යාපාදනාස්තික්‍ය – දෘෂ්ටීනාං පරිවර්ජනම් එතෙකර්මපථාඃ ශුක්ලා – දශකෘෂ්ණා විපර්යයාත්”

කුසල් හා අකුසල් පිළිබඳ සඳහන් වන පද්‍ය දෙකකි. මෙහි දශ කුශල් ලෙස ඉදිරිපත් කෙරෙනුයේ අහිංසාව සොරකමින් වැළකීම පරස්ත්‍රීන් දුරුකිරීම, බොරුව පිසිණු බස් කීම පරුෂ වචනය , අසත් වචනය යන මේවායින් සඤ්ඤමය වීම හා ලෝභය ව්‍යාපාදය හා නාස්තික්‍ය දෘෂ්ටිය යන මේවා දුරු කිරීම දශ කුශල් කර්මයෝ වෙති. මෙයට විපර්යාස වූවෝ දශ අකුශල් වෙති. මෙකී දශකුශල් හා අකුශල් ථෙරවාදයෙහි ඉගැන්වෙන්නාවූ දශකුශල් හා දශ අකුශල් අතර සාම්‍යයක් දැකිය හැකිය.

සුහෘල්ලේඛා

බුදු දහමේ ප්‍රායෝගිකත්වය ගිහි ජීවිතය තුළ ක්‍රියාත්මක වන අයුරු පැහැදිලි කෙරෙන සුහෘල්ලේඛාව නාගාර්ජුන පාදයන් උදායිභද්‍ර රජුට යැවූ සන්දේශයක් සේ පිළිගැනේ. නාගාර්ජුන පාදයන්ගේ සෙසු ග්‍රන්ථයන්හි දක්නට ලැබෙන දාර්ශනික වූත් ඉතා ගැඹුරු වූත් සංකල්පයන් මෙහි දක්නට ලැබේ. ථෙරවාද න්‍යායම අනුගමනය කෙරෙන මෙහි බොහෝ යෙදුම් ධම්මපදය අංගුත්තර නිකාය යන ග්‍රන්ථයන්හි එන ධර්ම කාරණා මගින් සකස් කරගෙන තිබේ. ග්‍රන්ථයෙහි අවසාන භාගයෙහි මාධ්‍යමික දර්ශනය හා ධර්මය හෙළිදරව් කෙරේ.

සුහෘල්ලේඛා නමින් ග්‍රන්ථ හැඳින්වූව ද සමස්ත ග්‍රන්ථ නාමය නම් “ආර්ය නාගාර්ජුන බොධිසත්ත්ව සුහෘල්ලේඛා” යන්නයි. සුහෘල්ලේඛාව චීනයෙහි ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ග්‍රන්ථයක් බව චීන යාත්‍රිකයන්ගේ වාර්තාවල සඳහන් වේ. එමෙන්ම චීන බසින් පරිවර්තන ග්‍රන්ථ කීපයක්ම තිබීමද මෙම ග්‍රන්ථයෙහි ජනප්‍රියත්වය තහවුරු කෙරේ. ගුණවර්මන් ආචාර්යන් විසින් ක්‍රි.ව 424-431 අතර කාලයේදී චීන බසට පරිවර්තනය කරන ලද ග්‍රන්ථය ක්‍රි.ව 433 දී නැවත සංඝවර්මන් ආචාර්යන්ද චීන භාෂාවට නඟන ලදි. චීන ජාතික භික්‍ෂුවක් වූ ඉට්සිංද ක්‍රි.ව 700 දී චීන භාෂාවට පරිවර්තනය කළේය.

සුහෘල්ලේඛාව මුල් පිටපත මෙතෙක් ලැබී නොමැත. නමුදු ආචාර්ය වැන්සෙල් මහතා විසින් ඉංග්‍රීසියට හා ජර්මන් භාෂාවට නඟන ලද පරිවර්තන දෙකක් පවතී. සුහෘල්ලේඛාව සම්බන්ධයෙන් වින්ටර්නිට්ස් ආචාර්යවරයා මෙබදු ප්‍රකාශයක් කර තිබේ.

“මාධ්‍යමික දර්ශනය පිළිබඳ කිසිවක් සඳහන් නොවුවද සුහෘල්ලේඛාව හෙවත් මිත්‍රයෙකුට ලියූ මෙම සන්දේශය මහා විශාරදයෙකුගේ උසස් කෘතියක් ලෙස සැලකීම යුක්ති සහගතය. පාලි ත්‍රිපිටකයට ඇතුළත් නොවු කිසිවක් මෙහි ඇතුළත් කොට නොමැත. සමහර පද්‍ය ධම්මපදය ආදී ග්‍රන්ථවලට වචනයක් පාසා සමාන වන අතර තවත් සමහරක් බ්‍රාහ්මණ ඉගැන්වීම් හා සමානය. ඉට්සිං නම් චීන වන්දනා කරු නාගාර්ජුනගේ මේ කෘතිය ඉතා උසස් ලෙස ප්‍රශංසා කරමින් මෙය එදවස ඉන්දියාවේ කට පාඩම් කොට නිතර හදාළ බවත් වාර්තා වෙයි.

සුහෘල්ලේඛාවේ 50 වැනි පද්‍යයෙන් ශ්වෙතාශ්වතර උපනිෂදයෙහි එන මතිමතාන්තර කීපයක් විවේචනය කෙරේ. එදවස පැවති සත්කාර්යවාද, අසත්කාර්යවාද නියතිවාද, අහේතුවාද, ප්‍රකෘති වාද ආදි සියල්ල විවේචනයට ලක් කෙරේ.

“පංචස්කන්ධය හට ගන්නේ ඉබේම නොවේ. ප්‍රකෘතිය අනුවද නොවේ. ඊට කාරණා වන්නේ ස්වභාවයද නොවේ. ඊශ්වරයාද නොවේ. එසේම හේතු රහිතවද නොවේ. තණ්හාවෙන් හා අවිද්‍යාවෙන් එය හටගන්නා බව දැන ගන්න”.

මහායාන විංශකය

නාගාරජුන පාදයන්ගේ මහායාන විංශකය වනාහි මූල මාධ්‍යමික කාරිකාවේ සංක්‍ෂිප්ත සංග්‍රහයකි. ටිබෙට් පරිවර්තන වලට සීමා වී මෙම ග්‍රන්‍ථය විධුශේඛර භට්ට ආචාර්‍ය්‍යවරයා විසින් මූල සංස්කෘතයට පරිවර්තනය කරන ලදී. ක්‍රි. ව 980 දී පමණ ධනපාල නම් ආචාර්‍ය්‍යවරයා මෙය චීන භාෂාවට ද පරිවර්තිතය. ග්‍රන්‍ථනාමයට අනුව මෙහි මාධ්‍යමික සිද්ධාන්ත ඇතුළත් කාරිකා 20 කි. පසුකාලීන පඬිවරයෙකු විසින් ඇතුළත් කළ පද්‍ය කීපයක් ඇතුළත් වුවද එය මූලික සිද්ධාන්ත සමඟ තුලනය නොවේ.

“නාස්මින් තස්මිං තටෙ ඡාතඃ – සංස්කෘතං ප්‍රත්‍යයොද්හම් ශුන්‍ය මෙව ස්වරූපෙන – සර්‍වඥ ඥාන ගෝචරඃ”

“ලෝකයෙහි එහි හෝ මෙහි උපන්නෙකු නැත. සංස්කෘත ප්‍රත්‍යයන්ගේ හට ගැනීමක් පමණක් ඇත. එබැවින් ස්වරූපයෙන් සියල්ල ශුන්‍යය. මෙය සර්‍වඥ වරයන්ගේ ඥානයට පමණක් ගෝචර වේ. ”

ශුන්‍යතාවාදය පිළිබඳ කාරිකා ක්‍රමයෙන් දාර්ශනික සිද්ධාන්ත ඉදිරිපත් කළ නාගර්ජුනයන්ගේ පූර්වෝක්ත තන්හි හමුවෙන ශුන්‍යතාවාදී සංකල්ප තුළින් පැහැදිලි වේ.

ක්‍රි.ව 700 දී පමණ ලියන ලද ඥානසිද්ධියෙහි 11 වන පරිච්ඡේදයෙහි 08 වන පද්‍ය මහායාන විංශකයෙහි 20 වන කාරිකාව පිටපත් කිරීමකි.

කල්පනාජාලා පූර්ණස්‍ය සංසාරස්‍ය මහොදධෙඃ වජ්‍රයාන මනාරුහ්‍ය කොවා පාරං ගමිෂ්‍යති (ඥානාසිද්ධි) කල්පනාජාල පූර්ණස්‍ය සංසාරස්‍ය මහෝදධෙඃ මහායාන මනාරූහ්‍ය කොවා පාරාං ගමිෂ්‍යති”

විග්‍රහ ව්‍යාවර්තනී

ශුන්‍යතාවාදයට විරුද්ධව ප්‍රතිවාදීන් ඉදිරිපත් කරන ලද මතවාදයන් ඛණ්ඩනය කරමින් මාධ්‍යමික සිද්ධාන්ත තහවුරු කරමින් නාගාර්ජුන පාදයන් විසින් සංරචිත ග්‍රන්‍ථය විග්‍රහ ව්‍යාවර්තනීයයි. මෙහි කාරිකා හැත්තෑවක් ඇති හෙයින් ශුන්‍යතා සප්තතී යන්න යෙදිණි. ග්‍රන්‍ථයෙහි කාරිකා හැත්තෑ දෙකක් තිබුණ ද අවසාන පද්‍ය දෙක ශුන්‍යතා මහත්වය දක්වනු පිණිස ලියා තිබේ. ස්වෝ පඥාවෘත්ති නම් ටිකාවක් නාගාර්ජුනපාදයන් විසින් රචනා කොට තිබේ.

නාගර්ජුන පාදයන් මුල මාධ්‍යමක කාරිකාව රචනා කිරීමට පසුකාලීනව විග්‍රහ ව්‍යාවර්තනී නම් මෙම කෘතිය ශ්‍රී රාහුල සංස්කෘත්‍යායන යන ආචාර්‍ය්‍යවරු දෙදෙනා – ටිබෙට් ග්‍රන්‍ථ සමඟ සසඳමින් කරණ ලද සංස්කරණය ඔරිස්සාවේ පර්යේෂණ ආයතනය මඟින් මුද්‍රණය කරවන ලදී.

විග්‍රහ ව්‍යාවර්තනියෙහි පළමු කාරිකා විස්සෙන් ශුන්‍යතාවාදයට විරුද්ධව ඉදිරිපත් කරන ලද ප්‍රමාණ චෝදනා දක්වා 21 සිට 70 දක්වා පණසක් පමණ කාරිකාවන්ගෙන් එකිනෙක චෝදනාවලට පිළිතුරු සපයනු ලැබේ. විරුද්ධවාදී මත පූර්වපක්‍ෂ හෙවත් ආක්‍ෂේප යනුවෙන් දැක්වේ. ස්වමතය උත්තරපක්‍ෂ හෙවත් සමාධාන යනුවෙන් දැක්වේ. මෙහි ඉදිරිපත් වන්නා වූ ආක්‍ෂේප ප්‍රධාන අංශ දෙකක් යටතේ දක්වාලිය හැකිය.

  1. භාවයන්ගේ ශුන්‍යතාවාදය යුක්ත නොවේ (භාවානං ශුන්‍යතා න යුක්තා) 
  2. භාවයන්ගේ සස්වභාවතාව විද්‍යමානය (භාවනං සස්වභාවතා යුක්තා)

“සර්වෙෂාං භාවානාං – .. සර්වත්‍ර න විද්‍යතෙ ස්වභාවශ්චෙත් ත්වද්වචනමස්වභාවං – න නිවර්තයිතු මස්වභාවමලම්”

සියලු භාවයන්ගේ ස්වභාවයන් සියලුම තන්හි විද්‍යාමාන නොවේ නම් එයින් ඔබගේ (උත්තරපක්‍ෂ) වචනයද නිඃස්වභාව වන්නේය. එහෙයින් භාවයන්ගෙ ස්වභාවය වැළැක්වීමට නොහැකිය”

සියලු භාවයෝ ස්වභාව සහිතය යනු පූර්ව පක්‍ෂ මතයයි. මේමතය කණ්ඩයනය කිරීම සඳහා උත්තර පක්‍ෂය සපයනු ලබන මතය කෙබදු ද යන්න පහත පද්‍යයෙන් දැක ගත හැකිය.

“යශ්ච ප්‍රතීත්‍ය භාවො භාවානාං ශූන්‍යතෙති සාහ්‍යුක්තා යශ්ච ප්‍රතිත්‍ය භාවෝ භවතිහි තස්‍යා ස්වභාවත්වම්”

“යමක්නිසා යම් භාවයක් වන්නේ නම් එය භාවයන්ගේ ශුන්‍යතා වන්නීය යමක් නිසා යම් භාවයක් වන්නේ ද ඒ භාවයාගේ අස්වභාවත්වය ද වේ”

මධ්‍යමික දර්ශනය ඉතා ක්‍රමාණුකූලව සකස් කළ ග්‍රන්‍ථය විග්‍රහ ව්‍යාවර්තනීය බව විද්වත් මතයයි. මෙයින් නාගාර්ජුන පාදයන්ගේ අසම ධීශක්තිය මොනවට පිළිඹිබුවන බවද වියතුන්ගේ පිළිගැනීමයි.

ධර්ම සංග්‍රහ

ධර්ම සංග්‍රහය ද නාගාර්ජුන පාදයන්ගේ කෘතියන් යැයි සැලකේ. එහි නියම සංස්කෘත කෘතිය ද ඒ අයුරෙන්ම පවතී. මෙය බෞද්ධ වචනවල කුඩා ශබ්දකෝෂයක් වන අතර එහි විවිධ ධර්ම මාතෘකා 126 ක් සංග්‍රහ වේ. කෙන්ජියුකාසවර (Kenjiu kasawara) මැක්ස්මුලර් (Maxmuller and Yd H wenzel විසින් එය සංස්කරණය කරන ලදී. ධර්ම සංග්‍රහයෙහි භාගයක් පමණ වචන ස්ටෝනර් ීඊ් විසින් ප්‍රකාශයට පත් කළ මධ්‍යම ආසියාවේ වැල්ලෙන් ග්‍රැන්වෙඩල් විසින් සොයාගත් ධර්ම ශරීර පුත්‍රයෙහි දක්නට හැකිය.

රත්නත්‍රයං නමස්කෘත්‍ය සර්‍වසත්ව හිතොදයම් කථ්‍යතෙ මොහනාශාය – ධර්මසාර සමුච්චයඃ,,

යනුවෙන් ආරම්භවන ග්‍රන්‍ථය “ඉති නාගාර්ජුනා විරචිතොයං ධර්මසංග්‍රහඃ සමාප්තඃ” යන පාඨයෙන් සමාප්ත වේ.

චතුස්තව

ප්‍රශස්ථි කාව්‍යයක ස්වරූපයෙන් රචනා වී ඇති මෙය බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කිරීම අමුණු කොට රචනා කර තිබේ. මෙහි භාෂාව ඉතා රම්‍යය. පරිච්ඡේද වශයෙන් ග්‍රන්ථය කොටස් හතරකට වර්ග කෙරේ.

  • නිරූපමස්තව
  • අචින්ත්‍යස්තව
  • ලෝකාතීතස්තව
  • පරමාර්ථස්තව

ප්‍රතීත්‍ය සමුත්පාද හෘදය

ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ද්වාදශාංගයත් ත්‍රිවර්තයත්, කර්මකලේශ දෙකත් විස්තර කිරීම සඳහා රචිත මෙම ග්‍රන්ථය පද්‍ය හතකින් උපයුක්තය. ආචාර්‍ය්‍ය චන්ද්‍රකිීර්ති පාදයන් විසින් මෙයට ටීකාවක් ද රචනා කරන ලදී. එනමුදු මෙහි මුල ග්‍රනථය මෙන්ම ටිකාවද අද්‍යතනයෙහි දැකිය නොහැකිය. ප්‍රසන්න පාද ටීකාවෙහි මෙම ග්‍රන්ථයෙන් උපුටාගත් පද්‍ය දෙකක් දැක ගත හැකිය.

“ස්වාධ්‍යය දීප මුද්‍රා -දර්පණ ඝොෂාර්කකාන්න බීජාමෛ්‍රඃ ස්කන්ධ ප්‍රතිසන්ධි රසංක්‍රමශ්ච විද්වද්භිරවධාර්යෞ”

“ඌර්ණිපක්‍ෂ යථෛවභී-කරතල සංස්ථං න වෙද්‍යතෙ පුංහිඃ අක්‍ෂිගතං තු තදෙවහි- ජනයත්‍යරතංච පීඩාංච”

කරතල සදෘශො බාලො – නවෙත්ති සංස්කාර දුඃඛතා පක්‍ෂ්ම අක්‍ෂි සදෘශස්තු විද්වාන් – තෙ නෛවො ද්වෙජතෙ ගාඪම්”

ශුන්‍යතා සප්තතී

අනුෂ්ටුප් ඡන්දසින් රචනා කරන ලද පද්‍ය 66 කින් යුතු මෙම ග්‍රන්ථය මගින් බාහිර ලෝකයෙහි පදාර්තයන්ගේ අසත් ස්වභාවය විස්තර කෙරේ. මෙම ග්‍රන්ථයෙහි සංස්කෘත මුල ග්‍රන්ථය දක්නට නොලැබේ. මෙයට නාගාර්ජුන පාදයන් ද චන්ද්‍ර කීර්තිපාදයන් ද ටීකා රචනා කර තිබේ. පරහිත නම් පඬිවරයෙකු විසින් ද ටීකාවක් රචනා කර තිබෙන නමුත් මේ සියල්ල දැක ගත හැක්කේ තිබ්බතීය භාෂාවෙන් පමණි. ප්‍රසන්න පාද ටීකාවෙහි චන්ද්‍ර කීර්තිපාදයන් සඳහන් කරන පහත පද්‍ය ශුන්‍යතා සප්තතියෙහි එන පද්‍යයකි.

පටඃකාරණතඃ සිද්ධඃ කාරණමන්‍යතඃ සිද්ධිර් යස්‍ය ස්වතො නාස්ති තදන්‍යජ්ජනයෙත් කථම්”

ප්‍රඥා පාරමිතාස්තව

මෙය ප්‍රශස්ථි කාව්‍යයකි. ප්‍රඥාපාරමිතාවට කරන ස්තුතියක් ලෙසින් මෙය රචනා වී තිබේ. ආචාර්ය ප්‍රඥාකරමතීන් තම බෝධි චර්යාවතාර පඤ්විකාවෙහි මෙම ග්‍රනථයෙන් උපුටා ගන්නා ලද පද්‍ය දෙකක් දක්වයි.

“ සර්‍වපාරමිතාභිස්ත්වං – නිර්මලාභිරනින්දිතෙ චන්‍ද්‍රලෙඛෙව තාරාභිරනු යාතාසි සර්වදා”

“බුද්ධෛඃ පුත්‍යෙක බුද්ධෛශ්ව ශ්‍රාවකෛශ්ච නිෂේවිතඃ මාර්ගස්ත්ව මෙකා මොක්‍ෂස්‍ය නාස්ත්‍යන්‍ය ඉති නිශ්චයඃ ”

ප්‍රතීත්‍ය සමුත්පාදය මූල පාදක කොටගත් ශූන්‍යතාවාදය ඉදිරිපත් කිරීමත් ඒ විෂයෙහි පැන නැගුණු ප්‍රතිවාදි මතයන් ඛණ්ඩනය කිරීමත් අරමුණු කොට ගෙන නාගාර්ජුන පාදයන් ග්‍රන්ථ සමූහයක් රචනා කර තිබෙන වග පූර්වෝක්ත තොරතුරුවලින් පැහැදිළිය.

ආශ්‍රිත ග්‍රන්ථාවලී

  1. බුද්ධදත්ත හිමි පොල්වත්තේ – භාරතීය බෞද්ධාචාර්‍ය්‍යයෝ, ඇම්.ඩී ගුණසේන සහ සමාගම, කොළඹ, 1963. 
  2. වෙලගෙදර විජිත(සංස්) සම්භාෂා 10වන කලාපය, පිරිවෙන් ශෘඛාව අධ්‍යාපන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 1999 
  3. ශාසනරතන හිමි මොරටුවේ – මූල මාධ්‍යමික කාරිකා, අනුල මුද්‍රණාලය, කොළඹ 10, 1963 
  4. ශාසනරතන හිමි මොරටුවේ – මාධ්‍යමික දර්ශනය, අනුල මුද්‍රණාලය, කොළඹ 10, 1970 
  5. Nariman. J.k – Literary history of Sanskrit Buddhism, Motilal Banarsidass, Delhi,1992 
  6. Winternitz .M – A history of Indian literature vol » » ^ Buddhist literature and Jaina literature ), oriental books reprint corporation, new Delhi, 1972

  
Rev: Handaganawe chandrajothi 

Leave A Comment