සිංහල කතා­ක­ලා­වට මඟ කී පඤ්ච­ත­න්ත්‍රය

//සිංහල කතා­ක­ලා­වට මඟ කී පඤ්ච­ත­න්ත්‍රය

ලේඛනය නොදත් අවධියේ මෙන්ම ලේඛනය දත් අවධියේ ද මේ කතා ලේඛනගත කිරීමේ අවශ්‍යතාවක් මිනිසුන්ට නොවීය. ඒ යුගයේ දවසේ මෙහෙය නිම කර නිවෙසට පැමිණි ගොවියෝ මෙන්ම මෙහෙකරුවාගේ සිට රජ-සිටු-මැතිවරුන් දක්වා පිරිස් මේ කතා රස විඳිමින් ජීවිතාවබෝධය හා දැනුම ලබාගත්හ. මේ කතා ලේඛනාරූඪ කරන තෙක්ම මේවා ප්‍රදේශයට අනුරූප ලෙස, ස්ථානයට අනුරූප ලෙස, අවස්ථාවට අනුරූප ලෙස වෙනස් වෙමින් මුඛපරම්පරාගතව පැමිණියේ ය.

රාෂ්ට්‍ර පාලකයන්ට අදාළ විෂයන් පිළිබඳ න්‍යායාත්මක දැනුම පහසුවෙන් ලබා දීම අරභයා ලියැවී ඇකි “පඤචතන්ත්‍රය” විෂ්ණු ශර්මන්ගේ කෘතියකි. කතා කලාව ලොව ප්‍රචලිත වීමට හේතු වූ මේ ග්‍රන්ථය පිළිබඳ විද්වත්හු අධ්‍යයනයේ යෙදුණාහුය. වර්තමානයේ රාෂ්ට්‍ර පාලනයෙහි යෙදෙන්නන්ට වූවද, පොදු ජනයාටද බොහෝ අත්දැකීම්, දැනුම හා මනු දහම් ඉගෙනීමට හා ඉගැන්වීමට භාවිත කළ හැකි ග්‍රන්ථයක් ලෙස පඤ්චතන්ත්‍රය සැලැකීම යෝග්‍ය වේ. සිංහලයෙහි කතා කලාව පිළිබඳ අවධානය යොමු වී ඇති සමයක මෙන්ම දේශපාලන අධිකාරියෙහි ගැටුම් හා කතිකා බහුල සමයක උපදේශාත්මක සාහිත්‍ය කෘතියක් ලෙස පඤ්චතන්ත්‍රය වත්මන් සමාජය හා සාහිත්‍යය කෙරෙහි කරනු ලබන බලපෑම කෙබඳු ද යන්න විමසීම වටී.

සංස්කෘත සාහිත්‍ය වූ කලි දැනුම් ගබඩාවකි. ඉන් උපරිම ප්‍රයොජන ගත් උගත් ලේඛකයෝ සිංහල සාහිතය පෝෂණය කළෝය. සංස්කෘත සාහිත්‍යයෙහි තරම් හරවත් රසවත් කතා කීමෙහි කලාවක් වෙනත් බසක නොවූ තරම් වේ. ගද්‍ය, පද්‍ය, චම්පු රචනාශෛලීන් භාවිත කරමින් සංස්කෘතයෙන් හෝ ප්‍රාකෘත උපභාෂාවකින් අතීත පෙරදිග නිර්මාණකරුවෝ තම බුද්ධිය විශද කරවමින් ජීවිතයේ වැදගත් උපදෙස් දීමට ද රාජ ධර්මය, නීති ධර්මය, ආගමික හා දාර්ශනික, මෙන්ම අර්ථ ක්‍රම පිළිබඳ තොරතුරු හෝ සමාජ ආචාරධර්ම පිළිබඳ සිරිත් විරිත් අර්ථ නිරූපණය කිරීමට මෙන්ම විනෝදය සඳහා ද භාරතීය කතා සාහිතය නිර්මාණය වී තිබේ. ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියට භාරතීය දේශය කතාකලාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තිබුණද අපරදිග වැසියන් එවන් ප්‍රයත්නයක් දැරූ බවක් නොහැඟේ.

සංස්කෘත සාහිත්‍යයේදී තීක්ෂ්ණ නුවණින් යුතු බුද්ධිමතුන්ගේ ගැඹුරු ශාස්ත්‍රීය කරුණු මෙන්ම සරල කාව්‍යමය සංකල්පනා ද කතා ලෙස සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇත. මේ හේතුවෙන්ම බුදුරජාණන් වහන්සේ ද ගැඹුරු ඉගැන්වීම් හා ආධ්‍යාත්මික ශක්තීන් මානව සමාජය කරා යොමු කිරීම සඳහා කතා කලාව භාවිත කළ සේක.

හින්දු ආගමික ඉගැන්වීම් හා සදාචාරාත්මක ‍ඓතිහාසික තොරතුරු ජනයා වෙත ඉගැන්වීම සඳහා කතා කලාව උපයෝගී කර ගති. සෝමදේවයෝ කතාසරිත්සාගරය ද, දණ්ඩීහු දශකුමාරචරිතය ද, කේෂ්මෙන්ද්‍ර බෘහත්කථා හා ගුණ්ඩ්‍යයෝ බෘහත්කථාමඤ්ජරිය ද ආදි ග්‍රන්ථයන් මඟින් කතා කලාවෙන් සහෘද සිත් ප්‍රමුදිත කළහ.

දේශපාලන විද්‍යාව පිළිබඳ ගැඹුරු ඉගැන්වීම් ඉතා මටසිලිටු සුමට ශෛලියෙන් ඉගැන්විම සඳහා විෂ්ණු ශර්මන් පඬිතුමා කතා කලාව අපූරු ලෙස උපයෝගී කර ගත්හ. සංස්කෘත හා ප්‍රාකෘත කතා කලාවේ සතුන් දෙවියන් යක්ෂාක්සාධින් වනවාසීන්, වනචාරීන් පශු හා පක්ෂීහු මෙන්ම ජලයෙහි සරණ සතුන් ද මිනිසුන්මෙන් සමාන අයුරින් සිතති. පතති. ක්‍රියා කරති. ඇතැම් විට ඔවුහු මිනිසුන් හා සහවාසයෙහි ද යෙදෙති. භාරතීය කතා කලාවේ දී සියළු සත්හු මිනිසුන් හා සමාන ලෙස හඟවති.

ලේඛනය නොදත් අවධියේ මෙන්ම ලේඛනය දත් අවධියේ ද මේ කතා ලේඛනගත කිරීමේ අවශ්‍යතාවක් මිනිසුන්ට නොවීය. ඒ යුගයේ දවසේ මෙහෙය නිම කර නිවෙසට පැමිණි ගොවියෝ මෙන්ම මෙහෙකරුවාගේ සිට රජ-සිටු-මැතිවරුන් දක්වා පිරිස් මේ කතා රස විඳිමින් ජීවිතාවබෝධය හා දැනුම ලබාගත්හ. මේ කතා ලේඛනාරූඪ කරන තෙක්ම මේවා ප්‍රදේශයට අනුරූප ලෙස, ස්ථානයට අනුරූප ලෙස, අවස්ථාවට අනුරූප ලෙස වෙනස් වෙමින් මුඛපරම්පරාගතව පැමිණියේ ය.

මේ හේතුවෙන් භාරතීය කතා ග්‍රන්ථයන්හි විවිධ සංස්කරණ දක්නට ලැබේ. පඤ්චතන්ත්‍රයේ විවිධ සංස්කරණයන් දක්නට ලැබෙතත් මේ හේතුවෙන් ම පඤ්චතන්ත්‍රය භාෂා පනහකට පමණ පරිවර්තනය විය. සියගණනක් වූ පඤ්චතන්ත්‍ර පරිවර්තන හා සංස්කරණ මූලික ග්‍රන්ථ හතරකින් ප්‍රභවය වී ඇත. පාහ්ලවීය සංස්කරණය දැනට විද්‍යමාන නොවූවද පළමු ලේඛනය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා පැරුණි අරබියානු හා සිරියානු පරිවර්තන උපකාරී කරගත හැකිය යන්න විද්වත් මතයයි. වයඹදිග භාරතයේ දක්නට ලැබෙන සංස්කරණ සොමදේවයන්ගේ කතාසරිත්සාගරයට ද කේෂ්මෙන්ද්‍ර බෘහත්කථා හා ගුණ්ඩ්‍යගේ බෘහත්කථා මඤ්ජරීහි එන පඤ්චතන්ත්‍රයට පාදක වී ඇත.

කාශ්මීර පඤ්චතන්‍ත්‍රය හෙවත් ජෛන පඤ්චතන්‍ත්‍රයේ කාශ්මීර පඤ්චතන්‍ත්‍රය සංස්කරණ දෙකක් ද, ජෛන පඤ්චතන්‍ත්‍රයේ සංස්කරණය හා ප්‍රර්ණ භද්‍රයන් විසින් ලියන ලද පඤ්චාඛ්‍යානය ද වේ. දක්ෂිනාන්ත්‍ය පඤ්චතන්ත්‍රය ඇසුරින් පවත්නා සංස්කරණ, නේපාල පඤ්චතන්ත්‍රයේ හිතෝපදේශය සමඟ සංස්කරණ පහක්වේ. එනයින් බලන කල පඤ්චතන්ත්‍රය හා හිතෝපදේශය එකම ග්‍රන්ථයක් බව පැහිදිලි වේ. රාජසභා පරිසරය තුළ සතුන් චරිත ලෙස යොදා ගනිමින් නීති ශාස්ත්‍රය අර්ථ ශාස්ත්‍රය මෙන්ම රාජ ධර්ම ඉගැන්විම සඳහා කතා කලාව උපයෝගී කර ගැනිණි.

විෂ්ණු ශර්මන් විසින් මහිලාරෝප්‍ය නගරයේ විසූ අමරශක්ති රජුගේ මෝඩ පුතුන් තිදෙනාට නීති ශාස්ත්‍රය ඉගැන්විම පිණිස පඤ්චතන්ත්‍රය කළ බව කියැවේ. පාටලීපුත්‍රයේ සුදර්ශන රජුගේ පුතුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා හිතෝපදේශය කළ බව එහි ආරම්භයේ සඳහන් වේ. ගැඹුරු විෂයන් සිත් අලවන සුලු ලෙස කතා මාධ්‍යයෙන් මාස හයක් තුළ ඉගැන්වීම පඤ්චතන්ත්‍රයේ පරමාර්ථයයි. සතුන්ගේ චර්යා මඟින් අදහස් ප්‍රකාශ කිරීම උපනිෂද් හා ඍග්වේදයෙහි ද දක්නට ලැබේ. සතුන් ඇසුරෙන් චරිත ගොඩනමින් යහපත් චරිත හා මානව ගුණාංග ඉගැන්විම ජාතක කතාවෙහි මෙන්ම වීර කාව්‍යයන්හි ද දක්නට ලැබේ. මේ සාහිත නිර්මාණ මඟින් මිනිසා හා සතුන් අතර යම් සමාන කමක් දක්නට ලැබේ යැයි ද එබැවින් සතුන් කෙරෙහි කරුණාවෙන් සැලැකිම කළ යුතුයැයි ද ජාතක කතාවේන් කියැවේ. ජාතක කතාව මිනිසාගේ පැවැත්ම සඳහා යහපත් උපදේශ ලබා දීමට ලියැවි ඇත.

සතුන් උපමා කොට මිනිස් චරිත ක්‍රියාත්මක කරවුවද පඤ්චතන්‍ත්‍රය මගින් දී ඇති උපදෙස් පූර්ණ වශයෙන් ධර්මානුකූල හෝ ආචාරධර්මානුකූල නොවේ. එම ග්‍රන්ථය මගින් ප්‍රමුඛස්ථානයෙහි ලා ඇත්තේ ස්වාර්ථයයි. මේ ග්‍රන්තය ලියැවී ඇත්තේ රාෂ්ට්‍ර පාලකයෙකු වෙත රාෂ්ට්‍ර පාලනය පිළිබඳ මූලික කරුණු සංග්‍රහ කිරීමට උචිත රාමුවක් තුළය. පාලකයන්ට නීති හා රාජය පාලක ධර්ම ඉගැන්විම් උදෙසා රජුන් නිරතුරුව ස්වාර්ථය කෙරෙහි අවධානය යොමු කරන බැවින් ග්‍රන්ථයෙහිද එවන් අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කොට ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය පාලනයේ දි ස්වාර්ථය මුදුන් පමුණුවා ගැනීමට උපදෙස් ලබා දී තිබීම ඉතා වැදගත්ය.

පඤ්චතන්ත්‍රය කියවා රසවිඳිය යුතු ග්‍රන්ථයකි. එහි ජීවන දර්ශනය විශිෂ්ට ය. පාලකයෙකුගේ දැනුම අවබෝධය උදෙසා ලියැවුණ ද ප්‍රධාන කතා පහක් හා ඒ හා බැඳුණු අනුකතා රැසක් පඤ්චතන්ත්‍රයෙහි වේ. ප්‍රධාන කතා හා අනුකතා අතර සබැඳියාව නිරතුරුව පවත්වාගෙන යෑමට කතුවරයා සමත්ව තිබිම අතීත කතා කලාවේ විශිෂ්ටත්වය නිරූපණය කරයි. මිත්‍ර භේදය කොටසේ තම බලය වර්ධනය කර ගැනිමට අසල්වැසි හෝ සතුරු රාජ්‍යයේහි රජුගේ බලය දුර්වල කිරීමට මිත්‍රයන් මහුගෙන් ඈත් කරවීම හා ඔහු‍ගේ කාර්ය්‍ය සාධනයෙහි සිටී විශ්වාස වන්තයන් දුර්වල කරවීම කෙරෙහි අවධානය යෙමු කර තිබේ. මේ අදහසම කෞටිල්‍යයන් විසින් තම අර්ථ ශාස්ත්‍ර ග්‍රන්තයේ සඳහන් කර තිබෙනු දැකගත හැකිය. නුසුදුස්සන්ගෙන් ඈත්වෙමින් රජු මිත්‍රයන් තෝරාගතයුතු අයුරු, යුධ කිරීමේ දී ක්‍රියාත්මක වියයුතු අයුරු, වංචනිකයන්ගෙන් ප්‍රවේශම් විය යුතු අයුරු, හා බුද්ධිමත් පාලකයෙකු විසින් කටයුතු කළ යුතු අයුරු හා අපරික්ෂාකාරී විමේ ප්‍රතිවිපාක මෙහි දක්වා තිබේ.

කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍ර ග්‍රන්ථයේ ඉගැන්වීම් ලෙස ඉදිරිපත් කර ඇති සිද්ධාන්ත පඤ්චතන්ත්‍ර සරල හා මටසිලිටි ලෙස මතක තබාගැනීම පහසු වන සේ කතා මගින් පෙන්වා දී තිබේ. පඤ්චතන්ත්‍රයේ ජීවන දර්ශනය විශිෂ්ට යැයි කිව හැක. රාජ්‍ය පාලකයා රාජ්‍යයේ අක්ෂ දණ්ඩ යැයි ද ඔහුගේ වචනය නිතීය යැයි ද එහි දැක්වේ. පළමුව ධාර්මික සදාචාර සම්පන්න නිතිය සලසන රජෙකු සිටිය යුතු බව ද , රජෙකු සිටින්නේ නම් ධනය මේන්ම භාර්යාවන් ද ලබා ගත හැකි බව ද ඉන් පැවැසේ. රජු හෙවත් පාලකයෙකු කෙරෙහි ධන ධාන්‍ය මාණික්‍යෙ ආදිය ලැබිය යුතු වන අතර, රජු විසින් රස ඖෂධ බුදින්නා සේ රට වැසියාගෙන් අය බදු ලබා ගත යුතු බව ද රජු විසින් ප්‍රජාව පීඩාවට පත් නොකළ යුතු බව ද සඳහන්ය. රජු විසින් ප්‍රජාව පීඩාවට පත් කරද්දී රජුගේ ශ්‍රීය මෙන්ම ප්‍රාණයද නැසී යන බව පඤ්චතන්ත්‍රය කියයි. රජු තම බලය අමාත්‍යාදීන්ට පවරා දුන්න ද රජු සියලු බලතල අමාත්‍යාදින්ට පවරා අනාරක්ෂිත නොවිය යුතු බව ද පඤ්චතන්ත්‍රය කතුවරයා පවසයි‍.

බුද්ධිමතා ධනය රැස් කළ යුතුය. ධනවතාට මිත්‍රයෝ ද නෑයෝද වෙත්. ධන හීනයා පියා විසින් පවා අතහැර දමයි. පූර්වාත්මයේ කළ කර්මයෝ සුදුසු කල්හි පල ලබාදෙන වෘක්ෂයෝයැයි පවසන විශ්ණු ශර්මන් ආශාව හේතුවෙන් මිනිසා නොමිනිසකු වන බව පවසයි. ධනය මිනිසාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක් වූවද අත්‍යාධික ධන ආශාව මිනිසාගේ විනාශයට හේතුවන බව විෂ්ණු ශර්මන් තම පඤ්චතන්ත්‍රයේ දක්වා ඇත. එහෙත් සූර වීර ගුණ ඇතිව ධන සම්පතින් යුතුව, මිනිසුන් අතර ප්‍රසිද්ධ ව සුළු කාලයක් ජීවත් වීම ශ්‍රෙෂ්ඨ යැයි පඤ්චතන්ත්‍රයේ සඳහන්ය. එහෙත් මසුරෙකු ලෙස ජීවත්වීම නොවිය යුතුය යන්නද එහි තිබේ.

අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති විෂ්ණු ශර්මන් මිනිසාගේ විශේෂත්වය බුද්ධිය බැවින් උගත්කමින් තොර තැනැත්තා තිරිසනෙකු වැනි යැයි ද මෝඩ පුතුන් අතරින් උපන් මෝඩ පුත්‍රයා දිවි ඇතිතෙක් මව්පියන් සන්තාපයට පත් කරද්දී නූපන් හා මළ මෝඩ පුතුන් ශ්‍රෙෂ්ඨ බව පවසයි. උගත්කම හා රජ කම කෙලෙසකින්වත් සමාන නොවන බව ද උගතා යන යන තැන පිදුම් ලබද්දි, රජු තම රාජ්‍යයෙහි පමණක් පිදුම් ලබන බවත් පඤ්චතන්ත්‍රය අවධාරණය කරයි‍‍. යමෙක් සියල්ල දැන ගැනීම පිනිස බාලයන් ද, උගතුන් ද, නන්දොඩවන්නන් ද, තැන තැන ඇවිද යන්නන් ද, ඇසුරු කරමින් පාෂාණයෙන් රන් ලබා ගන්නා සේ දැනුම උකහා ගතයුතු බව ද හෙතෙම අවධාරණය කර තිබේ.

දෛවය කෙරෙහි ද පඤ්චතන්ත්‍ර කතුවරයා අවධානය යොමු කරයි. වත්මනෙහි බොහෝ දෙනා සිතන්නේ දෛවය වෙනස් කළ නොහැකි බවයි. එහෙත් පඤ්චතන්ත්‍ර කතුවර විෂ්ණු ශර්මන් පවසන්නේ දෛවයේ බල පරාක්‍රමය වෙනස් කළ හැකි බවයි. “උද්‍යෝගීනං පුරුෂ සිංහ මූපෛති ලක්ෂමීර්” (ශ්‍රී ලක්ෂ්මිය උද්යොගිමත් පුරුෂයා කරාම පැමිණෙත්) යයි පඤ්චතන්ත්‍රයේ සඳහන්ය.

මිත්‍රයන් පිළිබඳ බුදු දහමෙහි ද සංස්කෘත සාහිතයෙහි ද විශේෂ අවධානයක් යොමු කර තිබේ. එයට හේතුව පුරුෂයාගේ පැවැත්මට මිතුරන් අවැසි බැවිනි. මිත්‍රයා භාග්‍යයෙන්ම ලැබේ. අයහපත් මිතුරන් හඳුනගෙන ඔවුන් අවබෝධ කර ගනිමින් ඇසුරු කිරීමට පඤ්චතන්ත්‍රය ඇසුරු කිරීම යෝග්‍ය ය. සසර විෂ සහිත වෘකෂයක් බවත් එහි අමා පල දෙකක් ඇති බවත්, ඉන් එකක් සජ්ජන සංගමය (යහපත් මිතුරන් ඇසුර) වන අතර දෙවන අමා පලය සුභාෂිත රසාස්වාද (යහපත් බස් ඇසීමට ලැබීමයි)ය, යැයි පඤ්චතන්ත්‍ර කතුවරයා කියයි. බොහෝවිට අකාලික ධර්මයන් පිළිබඳ පඤ්චතන්ත්‍රයේ සඳහන් අදහස් වෙනත් කෘතීන්හි අන්තර්ගතවන අවස්ථා අපි දැක ඇත්තෙමු.

ස්ත්‍රිය කෙරෙහි ස්වතන්ත්‍රය උරුම කර දීම විෂ්ණු ශර්මන් යුතු නැති දෙයක් ලෙස දක්වා ඇත. එසේ වන්නට ඇත්තේ සංස්කෘත සාහිත්‍යයේ ආරම්භයේ සිටම ස්ත්‍රිය අවමානයෙන් සැලැකූ බැවින් වන්නට ඇත. එහෙත් පඤ්ච තන්ත්‍රයෙහි යහපත් ස්ත්‍රීන් කෙරෙහි ප්‍රශංසාව පිරිනමා ඇති අයුරු දැකිය හැකි ය.

අප විසින් අමතක කර දැමීමට උත්සාහ කළ ද සිංහල සාහිතයේ ක්‍රමික වර්ධනයට ද කතා කලාවේ ආරම්භයට ද සංස්කෘත සාහිතයේ ආභාසය හේතු පාදක වී තිබේ. කෙසේ වූවද පඤ්චතන්ත්‍රය පරිහරණය මගින් මිනිසාගේ මානවීය ගුණාංගයන් වර්ධනයට ද අභිමතාර්ථයන් සපල කර ගැනීමට ද දැනුම අවබෝධය හා කුසලතා දියුණු කර ගැනීමට ද උපකාරි වේ. ඒ නයින් බලන කල පඤ්චතන්ත්‍රය යනු උපදේශ සාහිත්‍යය යැයි හැඳින්වීමේ වරදක් නැත. මක් නිසාද යත් අතිතයේ රාෂ්ට්‍ර පාලනයට මෙන්ම වත්මන් රාෂ්ට්‍ර පාලකයන්ට ද සියලු මානවයන්ට ද යහපත් දිවි පැවැත්මක් උදෙසා අකාලික උපදෙස් සපයා දෙන බැවිනි.

උපමාකතාවේත් (fable), දෘෂ්ටාන්ත කතාවේත් (parable), මිථ්‍යා කතාවේත් (miths), කතාකලාවේත් (story) නිජභූමිය ලෙස හැඳින්වෙන භාරතය කතා කලාවට එක් කළ අකාලික කෘතියක් ලෙස පඤ්චතන්ත්‍රය හැඳින්වීම වඩාත් යෝග්‍යය.

ටෙක්ලා පද්මිණී කාරියවසම්

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

 

By |2018-07-15T16:20:31+00:00July 15th, 2018|සංස්කෘත|0 Comments

Leave A Comment