සමස්ත වෛදික සාහිත්‍ය වනාහි ශ්‍රැති හා ස්මෘති වශයෙන් වර්ග ගත කෙරේ. ශ්‍රැති වනාහි දේව සාහිත්‍යයි. එය සාකල්‍යයෙන්ම පවිත්‍රය. සෘග්, යජුර්, සාම හා අථර්වන් වූ සංහිතා ග්‍රන්ථයනුත් බ්‍රාහ්මණ, ආරණ්‍යයක හා උපනිෂද් යන සියල්ල ශ්‍රැති ගණයෙහිලා සැලකේ.

සෘෂය: මන්ත්‍ර දෘෂ්ටාර: නතු වෙදස්‍ය කර්‍තාරඃ න කශ්චිත් ච වෙදකර්‍තා වෙදස්මර්‍තා චතුර්මුඛං”

සෘෂිවරුන් විසින් වේදය තපෝ බලයෙන් සොයාගනු ලැබූව ද ඔවුන් වේදයෙහි කතෘ_වරුන් නොවන බව පරාශර සංහිතාවේ පූර්වෝක්ත පරිද්දෙන් සඳහන්ය.

ප්‍රත්‍යක්‍ෂෙණානුමිත්‍යාවා යස්තුපායො න බුධ්‍යතෙ එතද්විදන්ති වෙදෙන තස්මාත් වෙදස්‍ය වෙදතා

වේද ටීකාචාර්‍ය්‍ය සායනයන්ගේ මතය නම් ප්‍රත්‍යක්‍ෂයෙන් හෝ අනුමානයෙන් දත නොහැකි සත්‍යපදාර්ථය වේද වන බවයි. බ්‍රහ්මන් මෙන්ම වේදය ද සදාකාලිකය. මෙහෙයින් බ්‍රහ්මන් හා වේදය අතර අතරක් නොමැත.

සොයං පුරුෂඃ ප්‍රජාපතිර් අකාමයත භූයම් ස්‍යාම් ප්‍රජායෙයෙති සො අස්‍රාම්‍යයත් සො තපො තප්‍යත සො ශ්‍රාන්තස් තෙ පාතො බ්‍රහ්මෛව ප්‍රථම අසෘජත ත්‍රයොමෙව විද්‍යාං සෛ වාස් මෙ

ස්මෘති යනු වේදය මුල්කොට මනුෂ්‍ය ලෝකයෙහි ලේඛකයන් විසින් සම්පාදනය කරන ලද්දයි.ස්මෘති ගණයෙහිලා වේදාංග හා සූත්‍ර ගිණිය හැකිය.

උපනිෂද්හි එන පරා අපරා යන නම් දෙකින් විද්‍යා ද්වයක් හදුන්වනු ලබයි. මෙයින් පරා කොටසට වේදාංග අයත්ය. වේදාංග හයක් පිළිබඳ මුලින්ම සඳහන්ව ඇත්තේ සාම වේදයට අයත් ෂඞ් විංශ බ්‍රාහ්මණයෙහිය. ආපස්තම්බ කල්ප සූත්‍රයෙහිත් මුණ්ඩක උපනිෂදයෙහිත් වේදාංග පිළිබඳ සඳහන්ය.

වේදාංගයන්හි මූලාරම්භය පිළිබඳ විමසා බැලීම වටී. සෘග්වේද සංහිතා සකස් වූ අවධියෙහි සිටම වේදාංගයන්ට හේතු වූ මාතෘකා බ්‍රාහ්මණයන්ගේ අවධානයට නතුවෙන්නට ඇත. මුල් අවධියෙහි මෙයින් අදහස් කර ඇත්තේ විශේෂ ග්‍රන්ථ හෝ ආයතනයන් නොවේ. වේද ග්‍රන්ථයන් වටහා ගැනීමට වේද විද්‍යා ශාලාවන්හිදි උගත යුතු පාඨ විශේෂයක් බව වින්ටර්නිට්ස් මහතාගේ මතයයි. එහෙයින් වේදාංගයන්ගේ ආරම්භය බ්‍රාහ්මණයන්හි හා ආරණ්‍යයන්හි දැකිය හැකි බව එතුමාගේ පිළිගැනීමයි. තවද උපනිෂදයන්හි සඳහන් වන සටහන් වලින් මෙකල වේදාංග පිළිගෙන තිබූ බව ඔප්පු වේ. නාරද ඍෂිවරයා තමා දත් විද්‍යා හතරක් ගැන පවසයි.

  • නක්‍ෂත්‍ර විද්‍යා
  • වේදයන්ගේ වේදය
  • දේව විද්‍යා
  • බ්‍රහ්ම විද්‍යා

මෙම විද්‍යා අනුක්‍රමයෙන් ජ්‍යොතිෂ ව්‍යාකරණ නිරුක්ත ශික්‍ෂා ඡන්දස් කල්ප වශයෙන් විග්‍රහ කර තිබේ. වේදාංග හයකි.

  • ශික්‍ෂා
  • කල්ප
  • ව්‍යාකරණ
  • නිරුක්ත
  • ඡන්දස්
  • ජ්‍යොතිෂ

මෙකී ග්‍රන්ථයන් භාවිතව ඇත්තේ උපදේශනයෙහිලා මහෝපකාරී වූ විෂයක් වශයෙනි. “Originally this meant neither special books nor special schools but only subjects of instruction”

වේදාංගයන්ගේ පහළවීමට හේතු කවරෙක්ද යන්න විමසීමේදී පහත සඳහන් සාධක කෙරෙහි ආලෝචනයක් දැක්වීම වටී.

  • දුරවබෝධ වචනයන්ට නිරුත්ති සැපයීම. 
  • වෛදික මත විස්තර කොට ගැටළු තැන් නිරාකරණය කිරීම.
  • මූලික ශ්‍රැතියෙහි නියම ස්වරූපය රැක ගැනීම. 
  • වේද මන්ත්‍ර ශබ්ද නගා කීමේදී අනුගමනය කළ යුතු උච්චාරණ ක්‍රම.
  • පද්‍ය රචනය සඳහා යොදා ගෙන ඇති වෘත්ත සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිරීති මාලාවක් පැනවීම.
  • උච්චාරණ සම්බන්ධයෙන් චරණයන් අතර විවිධ මතවාද පැවතීම.

පූර්වෝක්ත කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කොට වේදාංග සකස් වන්නට ඇති බවට තීර්ණය කළ හැකිය. තවද වේදාංග සාහිත්‍ය ජනනෙහි බලපෑ ප්‍රධානතම කාරණය ලෙසින් වේදය විස්තරාත්මකව අධ්‍යයනය කිරීමට වේදාංග සාහිත්‍ය ජනනය වූයේ යැයි නිර්ණය කළ හැකිය.