භාෂාවේ ඇති ව්‍යාකරණ අංග අතර වැදගත් තැනක් හිමි වන ව්‍යාකරණ අංගයක් ලෙස සන්ධි හැදින්විය හැකිය. “පෙර පර වණන් නිසි විදිනි ගළපනු සද නම්“ යනුවෙන් සිදත් සගරාවේ විස්තර කරන සන්ධි මගින් පෙර අපර වර්ණයන් ගැලපීම සිදු කරනු ලබයි. එසේ සෑම පෙර පර වර්ණයක්ම ගැලපිය නොහැකිය. සන්ධි කළ හැකි වචන දෙකක් සමීපව සිටිය යුතු අතර ගැළපීම සිදු කරන අකුරුද සුදුසු ඒවා විය යුතුය. සන්ධි කිරීමට සුදුසු නුසුදුසු වචන පිළිබද අවබෝධයක් සන්ධි විධි අධ්‍යයනයෙන් ලබා ගැනීමට පුළුවන.

පෙර වර්ණය – මුල් පදයේ අග අකුර.

පර වර්ණය – පසු පදයේ මුල් අකුර.

උදාහරණ :

දකුණු + අත = දකුණත (දකුණු = ණ් + උ- එම නිසා පෙර වර්ණය “උ“ ද,පසු වර්ණය අත = අ + ත – “අ“ ද වේ)

වම් + අත = වමත (වම් = ව + ම් – එම නිසා පෙර වර්ණය “ම්“ ද, පසු වර්ණය අත = අ + ත – “අ“ ද වේ

සන්ධි කාර්යයේ ප්‍රයෝජන

  • කථනයේදි උච්චාරණ පහසුව
  • පද්‍ය බන්ධනයේදි ඡන්දස රැක ගැනීම
  • ලේඛණයේදි අල්පාක්ෂරතාවය

කථනයේදී උච්චාරණ පහසුව.

උදාහරණ :

ඇහැ + ඇරෙයි = ඇහැරෙයි

එකොළහ + හමාර = එකොළහමාර

කල + අත = කලාත 

ඉහත වචන සන්ධි නොකොට උච්චාරණය කිරීම අපහසුය. නමුත් ඒවා සන්ධි කිරීමෙන් පසුව ඉතා පහසුවෙන් උච්චාරණය කළ හැකි බව පෙනේ.

පද්‍ය බන්ධනයේදි ඡන්දස් රැකීම.

සද කැන් පෙර ගිරගිරෙන්  ට

කොද වන වත පුබුදුවන්   ට

බමරුන් මුවරදැර   යන්ට

මදරද දුනුකමට  එන්ට

මෙම කවියේ සෑම පාදයකම මාත්‍රා 12 බැගින් සමාන මාත්‍රා ඇත. මෙහි ඇති ගිරගිනෙන් යන්න ගිරි + අගින් + එන්ට යනුවෙන් විසන්ධි කළහොත් එම පාදයේ මාත්‍රා ගණන 14 ක් වී ඡන්දස බිදේ. තුන්වන පාදයේ මුවරදැර යන්න මුවරද + හැර යනුවෙන් විසන්ධි කළහොත් එහි මාත්‍රා ප්‍රමාණයද 13 ක් වේ. මෙසේ පද්‍යකරණයේදි ඡන්දස් ආරක්ෂා කරගැනීමට සන්ධි ඉතා වැදගත් වේ.

ලේඛණයේදි අල්පාක්ෂරතාවය.

ලේඛණයේදීද උච්චාරණයේදි මෙන්ම සන්ධි භාවිතයෙන් පහසුවෙන් ලිවීමට හැකියාව ලැබේ.

උදාහරණ :

පින් + ඇති = පිනැති

පො + හොය = පෝය

මුනි + උතුමා = මුනිතුමා

ඉහත ආකාරයට සන්ධි භාවිතයෙන් දීර්ඝ වචන අල්පාක්ෂර ඇති වචන ලෙස ලිවිය හැකිය. සාරංශ කිරීමේදි මෙන්ම අර්ථවත් ලේඛණයක් සකසා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

  • අක්ෂර සංවිධානයට අදාළ සන්ධි විධි නවයක්ද, සන්ධි වර්ග දහයක්ද  සිංහල භාෂාවේ දක්නට ලැබේ.

සන්ධි විධි.

  1. සර ගතට පැමිණ වීම(ආරෝහණය)
  2. ලෝපය(අකුරු මකා දැමීම)
  3. ආදේශය(අකුරක් වෙනුවට අකුරක් යෙදීම)
  4. ආගමය(අලුත් අකුරක් එක් කිරීම)
  5. පෙර රූ ගැන්වීම(පසු අකුර වෙනුවට මුල් අකුර යෙදීම)
  6. දෙරූ දැනවීම(එක් අකුරක් දෙකක් බවට පත් කිරීම)
  7. පෙරළි(අකුරුවල ස්ථාන මාරු කිරීම)
  8. වැඩි(හ්‍රස්ව අකුරකද් දීර්ඝ අකුරක් කිරීම)
  9. අඩු(දීර්ඝ අකුරක් හ්‍රස්ව අකුරක් කිරීම)

මෙම විධි නවයට අමතරව වර්තමාන සිංහල ව්‍යාකරණයේ තවත් එක් සන්ධි විධියක් දක්නට ලැබේ. එය “පර රූ ගැන්වීමයි“ පෙර රූ ගැන්වීමේදි මෙන්ම එහිදීද මුල් අකුර වෙනුවට පසු අකුර යෙදීම සිදු කරයි.

සන්ධි වර්ග.

  1. පූර්වස්වර ලෝප සන්ධිය(පෙර සර ලොප් සද)
  2. පරස්වර ලෝප සන්ධිය(පර සර ලොප් සද)
  3. ස්වර සන්ධිය(සර සද)
  4. ස්වරාදේශ සන්ධිය(සර දෙස් සද)
  5. ගාත්‍රාදේශ සන්ධිය(ගත දෙස් සද)
  6. පූර්ව රූප සන්ධිය(පෙර රූ සද)
  7. පර රූප සන්ධිය(පර රූ සද)
  8. ගාත්‍රාක්ෂර ලෝප සන්ධීය(ගතකුරු ලොප් සද)
  9. ආගම සන්ධිය(අගම් සද)
  10. ද්විත්ව රූප සන්ධිය(දෙ රූ සද) 

වර්තමානයේ සන්ධි වර්ග දහයක් භාවිත කළද සිදත් සගරාවේ දක්වා ඇත්තේ සන්ධි වර්ග නවයකි. අලුතින් එයට පර රූප සන්ධිය එක්ව ඇත.