බුද්ධ කාලීන භාරතයේ බෙහෝ දෙනා දන්නා(ඤූතො) යසස පැතිරුණු (යසසසී) බොහෝ දෙනා විසින් යහපත් යැයි සම්මත කරණ ලද ( බහුජනා සාධු සම්මතො) බොහෝ පැවිදි ශිෂ්‍ය පිරිසක් පිරිවරා සිටි ( සංඝී) විශාල පිරිසකට ආචාර්යවරු වූ ( ඝනාචරියෝ) තීර්ථංකර මුනිවරු යැයි ප‍්‍රසිද්ධ වූ ශාස්තෘවරු හයදෙනෙක් විසූහ.මෙම ශාස්තෘවරුන් පිළිබඳ කරුණු සපයා ගැනිමේහිලා උපයෝගී කරගත හැකි මූලාශ‍්‍ර පවතින්නේ ජෛන සම්ප‍්‍රදාය හා බෞද්ධ සම්ප‍්‍රදාය තුළ පමණි. පූර්ණ කස්සප, මක්ඛලී ගොසාල, අජිත කේසකම්බල, පකුධකච්චායන, සංජය බෙල්ලටිඨි පුත්ත හා නිගණ්ඨ නාථ පුත්ත යන හය දෙනා එකී ෂට්ශාස්තෘන් ලෙස හඳුනාගත හැකිය. දී.නි. සාමඤ්ඤඵල, බ‍්‍රහ්මජාල, මජ්ක්‍ධිම නිකායේ අපණ්ණක, සන්දක, මහා සකුළුදායී, උපාලී, අභය රාජ, අං.නි. සාමඤ්ඤඵල, අං.නි. තික නිපාත, මහා වග්ග 1 සූත‍්‍රය වැනි බොහෝ බෞද්ධ මූලාශ‍්‍රවල ෂට් ශාස්තෘන් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

පූර්ණ කස්සප

දීඝ නිකායට ලියන ලද අටුවාව වන සුමංගල විලාසිනී නම් ග‍්‍රන්ථයේ සඳහන් වන පරිදි මොහු ගෝත‍්‍රයෙන් කස්සප නම් විය. වහල් ස්ත‍්‍රියක ලෙස සේවය කළ මොහුගේ මවට මෙම දරුවා ඉපදීමත් සමග එම ස්වාමීයාගේ දාසියන් සංඛ්‍යාව සියයක් වූ බැවින් පූර්ණ යන නම පටබැදි බව එහි වැඩිදුරටත් දැක්වේ. තරුණ වයසට පැමිණි මොහු කුමක් සඳහා වාසය කරන්නෙමිදැයි සිතා වාසය කළ තැනින් පලායන විට අතරමගදී සොර පිරිසක් විසින් ඔහු ඇඳි වස්ත‍්‍ර පැහැර ගන්නා ලදී. නිරුවත් කාලය ගත කළ මොහු එක්තරා ගමකට පැමිණි කල්හී එම ජනයා මොහු අල්පේච්ඡු උතුම් ශ‍්‍රාවයෙක් යැයි සළකා පුද සත්කාර කරන්නට වූහ. එතැන් පටන් පූර්ණ කස්සප ශ‍්‍රමණයෙක් ලෙස ප‍්‍රසිද්ධි වූ යැයි පෙර කී අටුවාවේ එන මතයයි. එහෙත් මහාචාර්ය බරුවා වැනි විද්වතුන්ට අනුව කාශප්‍ය යනු බ‍්‍රාහ්මණ ගෝත‍්‍රයක් බවත් එබැවින් මොහු බ‍්‍රාහ්මණ වංශිකයෙක් බවත්, ඥානයෙන් පිරි පැවැති හෙයින් පූර්ණ කස්සප නම් වූවා යැයි ද තවත් පිළිගැනීමකි. මෙතුමාගේ ඉගැන්වීම පිළිබඳ දී.නි. සාමඤ්ඤඵල සූත‍්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

තමාම කරන්නාට ද, අනුන් ලවා කරවන්නටද, අනුන්ගේ අත් පා සිදින්නට ද, සිදවන්නට ද, අනුන් දඩු ආදීයෙන් පෙළෙන්නාටද, පොළවන්නාට ද, අන් සතු දෑ පැහැර ගැනීම ආදීයෙන් අනුන් තවන්නට ද, අනුන් ලවා තවන්නාට ද, ආහාර වැළක්වීම් ආදීයෙන් වෙහෙසෙන්නාට ද, අනුන් ලවා වෙහෙස කරවන්නාට ද, පර පණ නසන්නාට ද, නසවන්නාට ද, නොදුන් දේ ගන්නාට ද, ගන්වන්නාට ද, ගෙවල් බිදින්නාට ද , බිදවන්නාට ද, කිසිදෙයක් ඉතිරි නොකර පැහැරගන්නාට ද, පැහැර ගන්වන්නාට ද, අන් ස්ත‍්‍රීන් වෙත යන්නාට ද, බොරු කියන්නාට ද, පවක් කරමියි සිතා කරන්නාට ද, පව් සිදු නොවේයි. යමෙක් තියුණු වු ආයුධයකින් මේ පොළොව මත්තෙහි සියලූ සතුන් මරා එක් මස් ගොඩක් එක මස් රැුසක් කරන්නේ ද එමගින් සිදුවන පවක් නැත. සතුන් මරමින් මරවමින් සිදිමින් සිදුවමින් පෙළමින් පෙළවමින් ගංගා නම් ගගේ දකුණු තීරයට ගියත් එයින් වන පවක් නැත. දෙමින් දොවමින් යාග කරමින් කරවමින් ගංගා නම් ගගේ උතුරු තීරයට ගියත් එයින් වන පිනක් නැත. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සිදුවන පිනක් නැත.

මෙම පාඨය දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ මෙතුමා අකිරිය වාදියෙක් මෙන්ම ශාස්වතවාදියෙකු වන බවයි. මොහුට අනුව ආත්මය නිත්‍ය වන බැවිනි. එමෙන්ම එම ආත්මය වෙනස් නොවී පරලොවට ගමන් කරයි. අකිරියවාදය තුළින් සමකාලීනව ප‍්‍රබල ලෙස ප‍්‍රචලිතව පැවැති බ‍්‍රාහ්මණ සමප‍්‍රදායට ප‍්‍රබල ලෙස ප‍්‍රහාර එල්ල කළ බව පැහැදිලිය. ගංගා නම් ගං තීරයේ ප‍්‍රබලව සිටි බ‍්‍රාහ්මණ සම්ප‍්‍රදායට එල්ලකරණ ප‍්‍රබල ප‍්‍රහාරයක් වශයෙන් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් ගංගා ගගේ උතුරු තීරයට යන්නේ වී නමුදු එයින් වන පිනක් නැත. යන්න සැළකිය හැකිය. එමෙන්ම යමෙක් තියුණු ආයුධයකින් මේ පොළව මත්තෙහි සියලූ සතුන් මරා එක මස් ගොඩක්, මස් රැසක් කරන්නේ ද එයින් සිදුවන පවක් නැත. යන්න පරම අවිහිංසාවාදී නිගන්ඨයින් අරමුණු කර ගෙන එල්ල කරන ලද අභියෝගයක් වශයෙන් සැළකිය හැකිය. ඒ අනුව කර්මය හෙවත් පින් පව් බැහැර කරන මොහු කර්මයේ ප‍්‍රතිඵල ද බැහැර කරන බව පැහැදිලි වේ. නව චින්තනයකට පසුබිම් විවර කළ, ආගමික ඉගැන්වීම් මගින් ජනතාව වෙත එල්ල වී පැවැති පීඩාවන්ට එරෙහිව නැගී සිටි විප්ලවාදී ආගමික චින්තකයෙකු වශයෙන් පූර්ණ කස්සප අගය කළ හැකිය.

මක්ඛලී ගෝසාල

මොහුගේ නම සහ ජීවිතය සම්බන්ධව ද විවිධ කතා පවති. සැවැත් නුවරට සමීප සරවණ නම් උපත ලද මොහුගේ පියා මංඛලී නම් වූ අතර මව භද්දා නම් වූවාය. තම පියාගේ රැුකියාව වූ චිත‍්‍ර විකිණීමේ නිරත වූ මොහු මංඛලී පුත‍්‍ර නමින් හැදින්වීය. සුමංගල විලාසිනී නම් අටුවාවට අනුව ගවහලක උපන් බැවින් ගෝසාල නම් වූ බවත්, දාසියකුව තෙල් කළයක් රැුගෙන යමින් සිටියදී එය බිද වැටීමේදී දඩුවමින් මිදීමට පළායන අවස්ථාවේ ස්වාමියා විසින් වස්ත‍්‍රයෙන් අල්ලා ගන්නා ලදුව එයත් අතහැර පලා ගියේය. නිරුවත් ඔහු දැක මහජනයා මොහු උග‍්‍ර තාපසයෙක් යැයි පුද සත්කාර කළ බවත් ඔහු ද එයින් දිවි රැකගත් බවත් බුද්ධ ඝෝෂ මතයයි. විද්වතුන්ට අනුව මොහුගේ නියම නම මස්කරීන් යන්නය. ජෛන ප‍්‍රාකෘතයෙන් එය මංඛලී යුනවෙන් ද පාලියෙන් මක්ඛලී යනුයෙන් ද භාවිත වේ. මහාචාර්ය බරුවා මේ නම පිළිබඳ වාග් විද්‍යානු කූල විග‍්‍රහයක යෙදෙමින් උණ දණ්ඩක් අතේ දැරීමත්, ස්වචඡුන්ද තාවය ප‍්‍රතික්‍ෂේප කිරීමත් නිසා මේ නම යෙදුණු බවයි. ම.නි. මහාසච්චක සූත‍්‍රයට අනුව ආජීවක සම්ප‍්‍රදායේ ආරම්භකයා නන්ද වච්ඡුය. දෙවැනිව කිස සංකිච්ච ද තෙවැනිව මංඛලී ගෝසාල ද මෙම සම්ප‍්‍රදායේ නායකයා වීය. සාමඤ්ඤඵල සූත‍්‍රයේ මොහුගේ ඉගැන්වීම මෙලෙස දක්වා තිබේ.

සත්වයින්ගේ කෙලෙසීමට හේතුවක් හෝ ප‍්‍රත්‍යයක් හෝ නැත. හේතුවක් හෝ ප‍්‍රත්‍යයක් නොමැතිව සත්වයෝ කෙලෙසෙති. එසේම සත්වයින්ගේ පිරිසිදු වීමට හේතුවක් හෝ ප‍්‍රත්‍යයක් නැත. හේතුවක් හෝ ප‍්‍රත්‍යයක් නොමැතිව ම සත්වයෝ පිරිසිදු වෙති. තමාගේ යහපත සඳහා කළයුතු අවවාද අනුශාසනා ආදී කර්මයක් ද නැත. කරන්නා සැපතට පමුණුවන පුරුෂ කාර්යයක් ද නැත. සැප ලැබීමට ඉවහල් වන බලයක් ද වීර්යයක් ද පුරුෂ ශක්තියක් ද පුරුෂ පරාක‍්‍රමයක් ද කියා කිසිවක් නැත. සියලූ සත්වයෝ ප‍්‍රාණී හූ භූතයෝ ජීවයෝ තමන්ගේ ශක්තියක් බලයක් නෙමෙැතිව ලෝක ස්වභාවයට අනුගතව මුහුකුරා යාමෙන් අභිජාති සසෙකම සැප දුක් විදිති.

ඒ අනුව ඔහු අහේතු අප‍්‍රත්‍යවාදියෙකි. නියති සංහති වාදියෙකි. එ නිසා අකිරියවාදියෙකි. ලෝකය හා සත්වයා පිළීබඳ කිසිදු සිදුවීමකට හේතුඵල සම්බන්ධතාවක් දැක්විය නොහැකිය.යන්න අහේතු අප‍්‍රත්‍යවාදය ලෙස සැළකිය හැකිය. සත්වයින්ගේ පිරිසිදුවීමට හෝ අපිරිසිදුවීමට බලපාන කිසිදු හේතුවක් ප‍්‍රත්‍යයයක් නොමැත. ඉබේම හෙවත් අහේතුකවම අප‍්‍රත්‍යවම සියල්ල සිදුවන බවය. මෙහිදී පැන නැගෙන බරපතල ම ගැටලූව වන්නේ පුද්ගල ස්වචඡුන්දතාව කෙරෙහි එල්ලවන අභියෝගයයි. එනම් සියලූ සිදුවීම් පිළිබඳ හේතුඵල සම්බන්ධතාවයක් දැක්විය නොහැකි නම් ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ද වගකීමක් වගවීමක් පැවැතිය නොහැකිය. ඒ තුළ ස්වචඡුන්දතාවය සම්පූර්ණයෙන් ම අහිමි වේ. ඒ හරහා පුද්ගලයා නිෂ්ක‍්‍රියත්වයට පත් වේ. උත්සාහය අධිෂ්ඨානය පුරුෂ පරාක‍්‍රමය භාවිතා නොවන සමාජය අලසයන්ගෙන් පිරී යනු ඇත. ගෝසාලයන්ගේ අනෙක් ඉගැන්වීම වන්නේ නියතිවාදය හෙවත් සියල්ල පූර්ව නිශ්චිතය යන්නයි. එය එසේ නම් ඒ තුළින් ද පුද්ගලයාට ස්වාධීනව, ස්වත‍්‍රන්ත‍්‍රව, ස්වචඡුන්දතාවයන් යුතුව කළ හැකි කිසිවක් ඉතිරි නොවේ. සංසාර ශුද්ධිවාදය නමින් ද හඳුන්වන මෙම නියතිවාදය නියති සංගතිභාව පරිණතා ඡුසු එව අභිජාතීසූ සුඛ දුක්ඛං පටිසංවෙදෙන්ති……. යනාදී වශයෙන් දැක්වෙන පරිදි සියලූ සත්ව භුත, පාණ, ජීව ආදීය කිසියම් ස්ථීර නියතියකට අනුව නිතර වෙනස් වේ.

සියලූ සත්වයෝ සත්වෝත්පත්ති දා හතර ලක්ෂ හයදහස් හයසියක්( 146600) පුරුෂ භූමි අටකි, ආජීවක, පරිබ‍්‍රාජක, නිගණ්ඨ, නිරය, දේව, මනුෂ්‍ය, පිසාච, ආදී වශයෙන් විවිධ උත්පත්ති ලැබිය යුතු කාලය මහා කල්ප අසූ ලක්ෂයකි. බාල පණ්ඩිත කවරෙක් වුවත් මේ නියමිත භව ගණන සසර සැරිසරාම සසර නිම කළ යුතුය. සීලයෙන්, තපසින් , බ‍්‍රහ්ම චර්යාවෙන් හෝ අන් කවර ක‍්‍රමයකින්වත් භව ගමන වෙනස් කළ නොහැකිය. නූල් බෝලයක් වෙම දැමූ පසු එය නූල දිග ඇතිතාක් දිගහැරී අවසානයකට පත්වන්නේ යම් සේද මෙයද එසේමය.