ප්‍රඥාවෙන් (බුදුධියෙන්) ආනන්දයට(සතුටට)ගිය ශ්‍රී ලාංකීය නැළවිලි ගීතය

 

ගැමි ගී යුගය

 

මෙවැනි ගී රසවින්දන කාර්යයන්ට අපහට මං පෑදූ මුල්ම ඇදුරු තුමිය වන්නේ ආදරණීය මවු තුමියයි. එහි ආරම්භය සනිටුහන් වන්නේ  බොහෝ දුරට අප මවු කුස තුළ පිළිසිඳුන අවස්ථාවේදීය.  මුලින්ම අප රස වින්දේ අපට ඇසෙන දේ හා දැනෙන දේ පමණි. එහිදී අපට ඒවායේ වචනාර්ථ (තේරුම)එතරම් වැදගත් නොවූ අතර ද්වනිතාර්ථයෙන් (හඬ)පමණක් අසා අප සෑහීමකට පත් වුනෙමු.

 

 

මෙලොව එළිය දුටු දා පටන්  වසර කිහිපයක් යන තුරුම අප සවන් දුන්නේ ද එම මිහිරි ශබ්ද වැලටමය. මන්ද ඒ වන විටත් අප ‘‘අකුරු‘‘,‘‘වචන‘‘ ,වැනි සරළ භාෂා න්‍යායන් ගැනවත් දැන නොසිටි නිසාය.

අප ගේ නොනවතින හැඬුම්, දෙඩුම්,කෑ ගැසීම් අපූරුවට නතර කළ ඒ මියුරු  හඬ මාධුර්යයෙන් නිකුත් වූ ශබ්ද මෙසේය……..

දොයි-දොයි-දොයි – දොයිය බබා
බයි-බයි-බයි – බයිය බබා
නාඩා නිදියන්න බබා

උබේ අම්මා කිරට ගියා –   කිරි එරවා එන්ට ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා – ගඟ දෙගොඩින් ගලා ගියා

ඒ පාරේ කොක්කු ගියා  – කොක්කු කලේ කිරි බිවුවා

අන්න බබුගේ ඇතින්නියා – ගල් පොත්තේ සිටින්නියා
අත පිබ පිබ දුවන්නියා – කොබනිය කොළ කඩන්නියා

නුබේ අම්මා කොතන ගියේ –  කිරි එරවා එන්ට ගියේ…
කිරිමුට්ටිය ගඟේ ගියේ – ඒ එනකල් නුබ දොයියේ….

ඔන්න බබෝ ඇතින්නියා – ගල් පොත්තේ සිටින්නියා
රණ උණබට තලන්නියා – අත පිබ පිබ දුවන්නියා

කපුටු කාක් කාක් කාක් – ගොරකා දේන් දේන් දේන්
අමුතු බාන් බාන් බාන් – මුහුදු රෑන් රෑන් රෑන්
කපුටාගේ කටේ වැල මදුලයි
කපුටිගේ කටේ රන් මුද්දයි
පෑල දොරින් පිටත් බලා
කපටන් ගලට උසී…..

(මේවා ශබ්ද පමණක් ලෙස අරුත් ගැන්වූයේ ඒ වන විටත් අප මේවායේ අරුත් නොදන්නා නිසාවෙනි.)

 

ඉහත දැක්වූ සියලු නැළවිලි කවි අපේම නූගත් ගැමි සමාජය නියෝජනය කළ අම්මා වරුන් විසින් නිරායාසයෙන් නිර්මාණය කළ ඒවාය. මෙම කවි වල ඇති ශබ්ද මාධූර්යයේ තීව්‍ර තාව කෙතෙක් ද යත්,  ලෝකයේ ඕනැම රටකට ගොස් අපේ නැළවිලි ගීයක් කියූ පමණින් ම අපේ භාෂාව තබා ‘‘අවාරයේ මී අඹ ගෙඩියක් තරම් වූ ‘‘ මේ පුංචිම පුංචි හෙළ දිව ලෝක සිතියමේ තිබෙන තැනක් වත් නොදන්නා ඔවුන් උන් හිටි තැන් වලම නැළවෙන්නේ ඒ නිසාය. ඔවුන් ඒවා කිසි දිනෙක අසා නැත. ගයා නැත. මෙයයි ඉපැරණි නැළවිලි ගීයේ අපූර්වත්වය.

 

සේගී යුගය:-

මෙම යුගයේ දී ලියැවුනු බොහෝ පද්‍ය අතරින් අප සැමගේ අවධානයට පාත්‍ර වූ  ‘‘ඇස්. මහින්ද හිමියන්‘‘ විසින් රචිත මෙම වියත් ගී කාව්‍ය රචනාව ඉදිරිපත් කරමි.

 

මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ …//

සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළැවෙන බව සිතනු පුතේ

නිදහස් හිරු දෙවි එනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරිලක් මව හිනැහෙනවා
මගේ පුතා නැළැවෙනවා

කැප්පෙටිපොළ සෙනෙවිසුරු
කර රුපුසෙන් මං දැදුරු …//

අහිරුවිකුම් පෑ අයුරූ
නුඹට පුතේ වෙයි මියුරූ

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

 

මෙය පසු කාලීනව පණ්ඩිත් අමරදේවයන් සහ නන්දා මාලිනිය විසින් ගැයූ අපූරු ගීතයක් බවට ද පත් විය.

 

මෙහිදි විශේෂත්වය වන්නේ විරත්වය, දේශාභිමානය, වැනි තේමාවන් පසුබිම් කර ගනිමින් මෙම ගීය රචනා වීමයි. එකළ ලක් දිව පැවති සමාජ දේශපාලන වටපිටාවට මුහුණ දීමට අනාගත පරපුර සූදානම් කිරීම මෙන්ම වර්තමානයේ ද මෙවැනි ගීත පරිශීලනය තුළින් දේශීයත්වයේ මතු අනාගතය නිරවුල් කර ගැනීමට  ද මහඟු පිටිවහලක් ලැබෙන බවද කිව යුතුමය.

පැරණි නාට්‍ය යුගය:-

 

මෙහිදී ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසය නියෝජනය කරන ‘‘සොකරි‘‘,‘‘කෝලම්‘‘, ‘‘නාඩගම්‘‘ , ‘‘නූර්ති‘‘ යන් නාට්‍ය සම්ප්‍රදායන් අතරින්  නාඩගම් සම්ප්‍රදාය නියෝජනය කරන ‘‘බැලසන්ත  නාඩගමේ‘‘ එන මෙම නැළවිලි ගීතය ඉදිරිපත් කරමි.

 

 

ඉඳින් බාබෝ ඉඳින් //

මගේ අතේ ඉඳින් – බො ආදරෙන් – නුඹේ මවු මෙන්

රකින්නෙමී මෙමං

 

උක්කූං දෙඥ්ඥං බබෝ //

නාඩා ඉඳිං – උඹට මං – උක්කුං දෙඥ්ඥං බබෝ

 

බිල්ලා එවී බබෝ //

බිල්ලා ඇව්ත් – උඹව දැං – අල්ලා ගනී බබෝ

මෙවැනි ගීත දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිළි වන්නේ හුදෙක් ප්‍රෙක්ෂක අවධානය රඳවා තබා ගැනීමේ ද අපේක්ෂාවෙන් ඒවා ලියැවී ඇති බවයි. නමුත් මේ වන තුරුත් නැළවිලි ගීයේ රිද්මය දරුවෙකුට නැළවෙන්නට හැකි වන පරිදි  මනා සේ රැකී තිබෙන බවපැහැදිලි කිරිමයි  මගේ උත්සාහය.

 

මෙම නාට්‍යමය අවස්ථාවේ දී මව අහිමි වූ දරුවාට රැක වරණය සලසන කාරුණික කාන්තාවක් (ඇතැම් නිෂ්පාදන වල සුළු මව)විසින් දරුවා රැක බලා ගන්නා ආකාරය නිරුපනය කරයි.

 

 

නව නාට්‍ය යුගය :-

 

‘‘මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‘‘ගේ පටන් මේ දක්වා නිපදවූ නාට්‍ය නව නාටය යුගයට අයත් වන අතර එයින්  ‘‘‘මුහුදුපුත්තු‘‘‘ නාට්‍යයේ එන පහත සඳහන් ගීතය නිදසුන් කොට දක්වමි.

 

මුහුදු පතුළ යට ඉඳලා – මුතු ඇටයක නිදි කරවා

පෙණ කැටියක පා කරලා – මගෙ දෝතට පුතු ආවා //

 

සුදු පාටින් පහන් තරුව  – දුර අහසේ දිලිසෙනවා

සුදු පාටින් ටිකිරි සිනා – පුතුගෙ මුවින් ගිලිහෙනවා //

 

වෙරලෙන් කිරි කවඩි සොයා – කෙනෙක් පුතුට ගෙන එනවා

තවත් කෙනෙක් පාට පාට – පබළු කඩෙන් ගෙන එනවා

ඒ කවඩියි -මේ පබළුයි -එක නූලේ අමුනනවා

ඒවායින් මාල සදා – පුතුගෙ ඉනේ පළඳනවා

 

මැතක අප අතරින් වියේ වු සෝමලතා සුබ සිංහ ඇදුරු තුමිය මෙය රඟන අයුරු අමතක නැතුවා ඇතැයි මා සිතමි.

 

මෙහිදී නාට්‍යමය අවස්තාවට පාදක කර ගන්නේ ධීවර පරිසරයයි. ඒ පරිසරය නියෝජනය කරන ‘‘ මුතු ඇට, පහන් තරු,පෙණ කැටි, කිරි කවඩි,පබළු‘‘වැනි අලංකාර රූපක ගීතය සඳහා භාවිතා කරමින් එම සමාජ වටපිටාව ප්‍රතිනිර්මාණයට වේදිකාව තුළ ඉඩ හසර ලබා ගන්නා  ගීත රචකායාවත්, තනු නිර්මාණ ශිල්පියාවත් පෙර සිට පැවත එන නැළවිලි ගීය නොමරා තම නිර්මාණ කාර්යය සාරථක කර ගනී.

 

ග්‍රැමෆෝන් ගී යුගය:-

 

එකල පැවති නූර්ති හා චිත්‍රපට ගී ඇසුරින් මෙම වකවානුවේ බොහෝ ගී ප්‍රචාරය වූ අතර එයිනුත් ‘‘මාතලන් චිත්‍රපටය‘‘ සඳහා ‘‘හියුගෝ ප්‍රනනාන්දු ‘‘ විසින් රචිත ‘‘ආර්.මුත්තුසාමි ‘‘මාස්ටර් ගේ සංගිතයට අනුව ‘‘කේ.රාණි‘‘(පසු නිෂ්පාදන වල ලතා වල්පොල) ගැයූ මෙම ගීතය ඉදිරිපත් කරන්නේ  පැවති සාම්ප්‍රදායික විලම්බ ලය(අඩු වේගය) භාවිතයෙන් ඔබ්බට ගොස් තරමක වේග රිද්මයක් භාවිතා කරමින් (6/8 beat) නැළවිලි ගීතයට දුන් නව ආරක නිර්මාණ ප්‍රෙව්ශය සනිටුහන් කිරීමටයි.

 

දොයි දොයි දොයි දොයිය පුතා

බයි බයි බයි පයිය පුතා//

 

රමනි පින් සරා – මුව සිරි දිදෙන්නා

පුබුදූ කුසුම සේ මුකුලූ පාන පුතා

හඳ මාමා ගෙනේ කිරිපැණි කලතලා

රස මීරේ වේවා පුතාටා

නාඩා මා තුරුලේ නිදා දොයාය පුතා

 

මගෙ අභිලාශේ ඉටුවෙයි ස්ථිර සරා

ඔබ වෙයි මාගේ ඉටුදෙවි කුමාරා

රජ ශ්‍රී වංශයේ දිනිඳා වීලා

ලොව මිහිරී වේවා පුතාටා

නාඬා මා තුරුලේ නිදා දොයිය පුතා

 

 

 

මෙම ගීතයේ එන චිත්‍රපට අවස්ථාවට අනුව මෙහි මවගේ අභිප්‍රාය වන්නේ රහසේ ආරක්ෂා කරන තම පුතු ගේ අනාගත රාජාභිෂේකයයි. එම තේමාට ගැලපෙන පරිදි මුත්තුසාමි මාස්ටර් විසින් මෙම ගීතයට අපූරු තණුවක් නිර්මාණය කර ඇත්තේ පැවතී ගෙන ආ නැළවිලි ගී ආකෘතියට හානියක් නොවන පරිදිය.

 

චිත්‍රපට ගී යුගය:-

 

පුතුනේ මේ අහගන්න පුතුනේ – පුතුනේ මේ අහගන්න

මං පොඩි කාලේ හඳමාමා කිවු කතාව මේ අහන්න පුතුනේ

 

කුරුළු කූඩුවක කැලයේ – පොඩි කුරුළු ජෝඩුවක් උන්නා

ලස්සන සිංදු කියාලා – පොඩි පුතා නැළෙව්වා දෙන්නා

හාටි හැටියෙම දවසක්දා – මොර සූරන වැස්සක් වැස්සා

ඇළ දොළ ගංගා පිරිලා – වැහි වතුර ගලගලා බැස්සා

මහ සැඩ සුළඟක් හමලා හෝ ගා ගස් ගල් පෙරලී ඇද විටුනා

 

අම්මයි අප්පයි දෙන්නා – හත් සෙයියනෙ දෙයියනෙ කියලා

පුංචි කුරුල්ලා ඉඹලා – මහ හයියෙන් විලාප දුන්නා

ඔය කාගේ සැප දුක බලනා -මේ මුලු තුන් ලෝකෙට ලොක්කා

පොඩි පුතා බදා ගෙන හඬනා මේ මවගේ දරු දුක දැක්කා

හිත උනු වීලා අනුකම්පා වී – වැහි බිඳු අහසට ඇද ගත්තා

 

‘‘සුජාතා අත්තනායක‘‘ ගේ සුමදුර හඬින් ගැයෙන ඉහත ගීතය කථාන්දරයක ස්වරූපයෙන් ලාකීය ගීත ඉතිහාසයට එක්වන්නකි. නමුත් එහිදී උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරින් ගීතයේ තනුව නිර්මාණය වී ඇති මුත්, අපගේ නැළවිලි ගීයක් තරමටම එදා මෙදා තුර ශ්‍රී ලාංකිය සංගීත රසිකයින් හදවත් තුළ තැන්පත් වූ ගිතයක් ලෙස මෙය හැඳින්විය හැක්කේ, එහි එන ආකෘතිකමය ලක්ෂණ වලට හානි නොවන පරිදි නිර්මාණ කාර්යය අවසන් කර ඇති බැවිනි.

 

සරළ ගී යුගය:-

 

මෙම යුගයේ දී නැලවිලි ගි තේමාව යොදා ගනිමින් නිර්මාණය වූ සරළ ගී දෙකක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි

1.චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන් – නුඹ සනහන්නට ගීත යනවලු

දුවේ එපා ඒ කතා අහන්නට මේ නැළවිලි ගී මමයි කියනනේ

 

රන් තැටියට කිරි පැණි පුරවාලා – හඳහාමී නුඹ බලන්න එනවලු

දුවේ එපා ඒ කතා අහන්නට මේ නැළවිලි ගී මමයි කියන්නේ

 

(විශාරද නන්දා මාලනී)

2.සිහින නෙළුම් මල් පියලි සලා

මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා

මුලු ලොවම ඒ සිහිනෙන් සුවඳ වෙලා

කිරි සුවඳ දෙයි මුව ගේ පවන් සලා

(මරියෙසෙල් ගුණතිලක)

 

 

ඉහත ගීත දෙක සරළ ගී යුගය නියෝජනය කළත් ගායන ආර දෙකක් නියෝජනය කරන ගායන ශිල්පිණියන් දෙදෙනෙක් විසින් ගයනු ලබන ගීත දෙකකි. මන්ද රිද්මයක් අනුගමනය කළ ද 01 වන ගීතයෙන් තම සිඟිති දියනියට යථාර්ථය අවභෝද කර දීමට තම මව දරු නැළවිල්ල යොදා ගනී

 

නමුත් දෙවන ගීයේ මව තුළින් විද්‍යමාන වන්නේ දරු සුතල් දැකගත් මවක ගේ උද්දාමයයි.

 

ඉහත ගීත දෙකම තේමාවන් දෙකක ගමන් කළත් ‘‘නැළවිලි ගී ආකෘතිය‘‘ රැක ගනිමින් තම මතයන් ඉදිරිපත් කිරීමට උත්සුක වී ඇත.

 

නූතන යුගය:-

 

මෙම යුගය පිළිබඳ කතා කිරීමේදි වර්ථමානයේ උද්ගත වී ඇති තත්ත්වය පැහැදිළි කළ යුතුමය. මෙහි දී වර්ථමානය වන විට දරුවන් නැළවීම නම් උතුම් කාර්යයට උර දීමට කාර්යබහුල මවට කාලය යොදවා ගැනීමට බෙහෙවින් අසීරු බව බොහෝ මවු වරුන් නගන මැසිවිල්ලයි

 

නමුත් ඔවුන්ට තම eye brow සදා ගන්නට, කොණ්ඩය tint කර ගන්නට facial කර ගන්නට ඔනෑ තරම් වෙලාවද ඇත.

ඔවුන් පවසන පරිදි  කොපමණ කවි නිව්වද දරුවන් නැළවෙන්නේම නැත.

 

ඉහත පූර්විකාවෙන් පසු ව මා මෙම යුගය වෙනුවෙන් ඇති නිදසුන ඉදිරිපත් කරමි

 

නැළවෙන මවු උකුළේ – පොඩි දරුවන් දෙතොළේ

සුරතල් සිඟිති සිනා මැවෙන කළේ කිරි ඉතිරේ

ඔන්චිළි චිල්ල මලේ – වැල්ලේ නෙල්ලි කැළේ

නිදියා ගන්න පුතේ මවගෙ තුරුල්ලේ

 

සුමිහිරි ගිත ගයා ඔබව තබා පුංචි තොටිල්ලේ

බඩගිනි නිවන්න ලේ කිරි කර දුන්නේ

දුක සැප දෙක නොබලා නිදි නොලබා වෙහෙස දරන්නේ

හොඳ අම්මා ආදර පෑවා බිළිඳු පුතේ

 

මෙම ගීතය ඔබ සෑම දෙනෙකුම පෙර ඉදිරිපත් කළ ගීත සැමටම වඩා හොඳින් දන්නා නිසා සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකරමි.

මන්ද මා හට අවැසි වූයේ නැළවිලි ගී ආකෘතිය පිළිබඳව මගේ විචාරය ඉදිරිපත් කිරීමට නිසාවෙනි.

මෙවැනි ගීත වලින් ලබා දුන් පූරවාදර්ශයන් නිසාවෙන් වර්ථමානය වන විට නන්ස්ටොප් සීඩී තැටියක ආධාරයෙන් නැළවෙන අභූත සත්වයෙකු බවට වර්ථමාන කැකුළු දරුවෝ පත්ව සිටිති.

ඉඳින් අනාගතයේ ඔවුන්ගෙන් කවරනම් වැඩිහිටි සත්කාර අපේක්ෂා කළ හැකි වේද?

දැන් ඔබ මුල සිට අවසානය දක්වාම හොඳින් මේ  අදහස පැහැදිළි කර ගත්තේ නම් අපේ ගීත සාහිත්‍ය ඇත්ත වශයෙන්ම පෝෂණය කිරීම ආරම්භ කළ යුත්තේ කොතනින් ද? සැබැවින්ම අති සාර්ථක විචාරකයෙකු අනාගතයේ බිහි වන්නේ කොතැනින්ද ? යන්න අත්‍යන්තයෙන්ම පැහැදිළි වනු ඇත.