ක්‍රි.පූ 6 වන සියවසේ දී සිංහල නම් මිනිස් කොට්ඨාශයක් ලංකාවේ පදිංචි වීම සමග ශ්‍රී ලංකාවේ වාර්ථා ගත ඉතිහාසයේ ආරම්භය සනිටුහන් වේ. මෙම සිංහල නම් ජන කොට්ඨාශය උතුරු ඉන්දියාවෙන් සංක්‍රමනය වූ  ජන කොට්ඨාශයක් බවට ඉතිහාසඥයන් තුල මතයක් පවතී. එය ප්‍රත්‍යක්ශ කිරීමට ඔවුන් සාධක කිහිපයක්ම ඉදිරිපත් කරයි. ඉන් ප්‍රධාන සාධකයක් ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ සිංහල ජනතාවගේ භාෂාවයි. ඔවුන්ගේ භාෂාව උතුරු ඉන්දියාවේ ආර්ය භාෂාවට බොහෝ සෙයින් සමාන බව ඔවුන් පෙන්වා දෙයි, තවද අද පවතින සිංහල භාෂාවේ මුල් ස්වරූපය ක්‍රි.පූ 3 වන සියවසේ සිටම දිවයිනේ නොයෙක් ප්‍රදේශ වලින් ලැබී ඇති ශිලා ලේඛෙන වලින් පවා පැහැදිලි වන බව ඔවුන් පෙන්වා දෙයි.

ක්‍රි.පූ 3 වන සියවසේ පටන් ලංකාවේ සිවු දිශාවෙන්ම මෙම  ශිලා ලිපි හමුවන්නට විය. එම නිසා ක්‍රි.පූ 3 වන සියවසේ සිට දිවයිනේ නොයෙක් ප්‍රදේශ වල ඔවුන් පදිංචි ස්ථාන පිහිටුවාගෙන තිබුනු බව ඉතිහාසඥයන් පෙන්වා දෙයි.

මෙසේ සිංහල භාෂාව බොහෝ දුරට ඉන්දීය ආර්ය භාෂාවට සමාන කමක් දක්වයි. බොහෝ ඉතිහාසඥයන්ගේ මතය ක්‍රි.පූ 1500 දී පමණ උතුරු ඉන්දියාව පුරා එනම් ආර්යවර්ථය පුරා ආර්ය ජනතාව පැතිර ගිය බවයි ඔවුන් වයඹ දිග ප්‍රදේශ වලින් පැමිණ ඉන්දියාව පුරා පැතිර යන්නට විය. ඔවුන් ඉන්දියාව පුරා පැතිරයාම සමග ඔවුන්ගේ විවිධ වූ අංගයන් විශේශයෙන්ම ආගමික, සංස්කෘතික අංගයන් ඉන්දියාව තුල විසූ ජනතාව වෙත බලපාන්නට විය. එසේම මේ කාලය වනවිට ඉන්දු නිම්නයේ ඉතාම දියුනු නාගරික ශිෂ්ඨාචාරයක් පැවතුනි. මෙම ශිෂ්ඨාචාරය පරිහානියට පත්ව යාමට ද ඉන්දියාව පුරා ආර්ය ජනතාව පැතිර යාම බොහෝ ලෙස බලපාන්නට ඇති බවට ඉතිහාසඥයන් පෙන්වා දෙයි.

ඉන්දු ආර්යයන්ට ලංකාව හමුවන කාලය වන විට ඔවුන් ආර්යාවර්ථය පුරා පමණක් නොව වින්ද්‍යා කදුවැටිය ආශ්‍රීත දකුනු ප්‍රදේශ වලත් තම රාජධානි පිහිටුවා ගෙන තිබුනි. මේ වන විට ඉතා සංකීර්න ආකාරයකින් ආර්ය සමාජය විකාශනය වී තිබුනි. එහි ප්‍රධාන ලක්ෂණය වී තිබුනේ  කුල බේදයයි. එනම් වර්ණ බේදයයි. මේ කාලයේදි ආර්යයන් තමන්ගේ  ප්‍රදේශවල කෘශිකාර්මික කටයුතුවල නිරතවු අතර ඔවුන්ගේ ප්‍රධාන වගාව වුයේ වී වගාවයි. ඇතැම් ප්‍රදේශ වල ඔවුන් අතින් තිරිගුද වගා කෙරෙනි. මේ කාලයේ ආර්යයන් කෘෂිකර්මාන්තයේ යෙදි යකඩ නගුල් පවා භාවිතා කිරීමට දැන සිටියේය. නොයෙක් කර්මාන්ත වල හා කලාවන් වල දියුනුවක් ලබා සිටි ආර්යයන් විවිධ ලෝහයන් පවා භාවිතා කිරීමට දැන සිටියේය. එහෙත් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ විසු ජනයා භාවිතා කලේ තඹ පමණකි.

කි .පු. 6 වන සියවස  පමණ වනවිට උතුරු ඉන්දියාවේ විසු ආර්යයන්ගෙන් බොහො දෙනෙක් ගැමියන් වුහ. ඹවුන් කෘෂි කර්මාන්තයේ යෙදෙමින් ගම් වල ජිවත් වුණි. එහෙත්  මේ කාලයේදීම උතුරු ඉන්දියාවේ නාගරික ජීවිතය පුලුල් කරමින් විශාල නගර රාශියක් ද බිහි වී තිබුනි. මේ නිසා එම නගර වල වෙ‍ළෙද පංතියක් ද බිහි විය. ඔවුන්  තවලම් හා ගැල් උපයෝගි කරගෙන ඉතා දුර බැහැර නගර කරා ගමන් කරමින් වෙළෙදාමේ නිරත වුහ.  මේ කාලයේදිම ඔවුන් අතින් කාසි භාවිතය හදුන්වාදීම ද සිදුවිය.

පළමුව ගැල් වලින් ගමන් ගත් වෙළෙදුන් මේ කාලයේ ඇතිවු ජලය මත යාත්‍රා කිරීමේ දියුණුවත් සමග ගංගා භාවිතා කරමින් විවිධ නගර කරා වෙළදාමේද නිරත වුහ.  එම දියුණුව නිසා වෙරළබඩ වරායන් ඇති විය. මෙම වරායන් කරා වෙනත් රටවල් වලින් පවා වෙළෙද ද්‍රව්‍යයන් රැගෙන එන ලදි .

මෙසේ ඉන්දියාවේ බටහිර හා නැගෙනහිර ප්‍රදේශවල සිටි ආර්යයෝ “ සිංදු“ හා “ ගංගා “ නම් ගංගා භාවිතා කරමින් ලංකාව කරා ද පැමිණියේය. නාගරිකයන් තම අවශ්‍යතා සපුරා ලීමට බටහිරින් සිංදු නදී මෝයටද නැගෙනහිරින් ගංගා නදී මෝයටද පැමිණියහ. ඉන්පසු නැගෙනහිර හා බටහිර වෙරළ දිගේ තම වෙළෙද යාත්‍රාවල නැගී ගමනේ යෙදුනහ. එලෙස ගමන් කිරීමේදි ඉන්දියානු අර්ධද්විපයේ දකුණු කෙළවරේ පිහිටි ලංකාව ඔවුනට හමුවිය.

මෙම දිවයින පිළිබදව ඔවුන්ගේ කුකුස වර්ධනය වීමට විශේෂයෙන් බලපාන ලද්දේ වයඹ දිග වෙරෙළේ පිහිටි මුතු පරත් ලංකාවේ විවිධ දෙසින් හමුවන මැණික් වර්ගත් වන්නට හැක. එහෙත් මේ කාලය වනවිට ලංකාව රාක්ෂයින් අරක් ගත් යකුන්ගේ දුපතක් ලෙස වෙළෙන්දුන් විසින්ම ඉංදියාව පුරා මතයක් පතුරා තිබුනි. එමගින් වෙනත් පරපුරක වෙළෙදුන් සිත්වල යම් බියක් ඇති කිරීමට ඔවුන් උත්සාහ ගෙන තිබුනු බවට අපට සදහන් කළ හැකිවේ. කෙසේ වෙතත් රාක්ෂයින්ට ඇති බියට වඩා සම්පත් පිළිබදව ඇති දැඩි ඇල්ම නිසා වෙළෙන්දන් බොහෝ ලෙස දිවයින කරා පැමිනෙන්නට විය. ඔවුන්ගෙන් සමහරු තාවතාලිකවද තවත් සමහරු ස්ථිරවද මෙහි පදිංචි වන්නට වූහ.

ලංකාවට පැමිණි ආර්යයන් ආර්යාවර්ථයේ කුමණ ප්‍රදේශයෙන් ලංකාව කරා පැමිණියේ ද යන්න පිළිබදව ඉතිහාසඥයන් අතර විවිධ මත භේද පවතී. පුර්ව කථා ප්‍රවෘත්ති වලින් එලඹ ගත හැකි නිගමන ස්ථිර නොවීම නිසා ඉන්දියාවේ ආර්ය භාෂාව සමග ලංකාවේ සිංහල භාෂාව සංසංදනය කරමින්  තීරණයකට එළඹීමට සමහර ඉතිහාසඥයන් උත්සාහ දරයි. එහෙත් එම භාෂා දෙක ගැලපීමෙන්ම පමණක් තීරණයකට එළඹීමට හැකි දැයි සොයා බැලීමට තමත් වාග් විද්‍යඥයෝ උත්සාහ දැරීමට පෙළඹි ඇත. මොවුන් දෙපිරිස අතර ඔවුන් පවසන මත පිළිබද විවිධ පරස්පර තා දක්නට ලැබේ.

ඉන්දු ආර්යයෝ  ලංකාවට පැමිණියේ ආර්යාවර්තයේ කුමණ ප්‍රදේශයෙන් ද යන්න පිළිබද මත ඉදිරිපත් කරන්නන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගන්නා “ විල් හෙල් ගයිගර් “ හෙවත් “ විලියමි ගයිගර් “ මහතා පවසන්නේ සිංහළය වඩාත් සමීප වන්නේ ගුජරාට,  මරාට,  වැනි බටහිර දිග භාෂාවන්ට බවයි. ඔහුට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන  “ මොහොමඩ් සහිදුල්ලා “ මහතා වැනි අය ප්‍රකාශ කරන්නේ සිංහලය නැගෙනහිර ආර්ය භාෂාවන්ට වඩාත් සමාන තත්වයක්  පෙන්වන බවයි. මේ අතර අපට ප්‍රකාශ කළ හැකි මතය වන්නේ සිංහළය වර්තමාන ඉංදිය භාෂාව සමග සැසදිම නොකට යුතු දෙයක් බවයි. එසේ කිව හැක්කේ අවුරුදු  දෙදහස් පන්සියයක් පමණ දීර්ඝ කාලයක් තිස්සේ සිංහළ භාෂාව ස්වාධීනව විකාශනය වූ භාෂාවක් නිසාවෙනි. එබැවින් වර්තමාන භාෂා සැසදිමට වඩා පැරණි සිංහළ හා පැරණි අශෝක ලිපි වල එන භාෂාව සැසදිම වඩාත් ඵලදායි වේ යැයි අපට කිව හැක.

මෙසේ සලකා බැලීමේදී සිංහලයේ බස් වහර පිලිබදව තව තවත් සැලකා බැලීමෙන් යම් යම් තීන්දු තීරන වලට එලබිය හැකි බව අපේ අදහසයි. එලෙස සිංහලයේ යම් යම් වචන වල නිරුක්ති හෙවත් අරුත සලකා බලා ඇතැම් ඉතිහාසඥයන් මේ පිළිබදව අදහස් දක්වා ඇත ඒ අතරින් ප්‍රධාන ලෙස ˝ගංගා˝ යන්න නැගෙනහිර ඉන්දියාවේ ප්‍රධාන ගංගාවට භාවිතා කළ නම බවත් එම ගංගා නම් නාමය ලංකාවට ලැබුණේ මුල් ආර්යයන් ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ වල සිට ලංකාවට පැමිණි නිසා බවත් ඔවුන් මත පල කරයි. තවද වී පැලයට ලංකාවේ දී සිංහලයන් විසින් භාවිතා කරනු ලබන “ ගොයම “ යන වචනය සංස්කෘතයේ එන “ ගෝතුම /  ගෝදුම “ නම් වචනයෙන් බිදී ආ බවටද ඉතිහාසඥයන් මත ඵල කරයි. ( සංස්කෘත භාෂාවේ ගෝදුම යනු තිරිගු ය ). මෙය ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශ වල භාවිතා වූ වචනයක් ලෙස සලකයි. තිරිගු ප්‍රධාන ආහාරය ලෙස භාවිතා කළ ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශ වලින් ලංකාවට පැමිණි ජනයා ලංකාවේ ඒ වන විටත් ප්‍රධාන ආහාරය වූ (සහල්) ධාන්‍ය වලට ඔවුන්ට හුරු පුරුදු නාමය යෙදූ බවට ඉතිහාසඥයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙසේ මේ පිළිබදව පවතින පරස්පර විරෝධි අදහස් හේතු කරගෙන  ලංකාවට පැමිණි ආර්යයන් ආර්යාවර්ථයේ කුමණ ප්‍රදේශයෙන් ලංකාව කරා පැමිණියේ ද යන්න පිළිබදව ස්ථීර නිගමනයකට පැමිණිය නොහැකි නිසා ආර්යාවර්ථයේ නැගෙනහිර හා බටහිර යන ප්‍රදේශ දෙකෙන්ම පැමිණි අය මිශ්‍ර වීමෙන් ලංකාවේ ආර්ය ජනාවාස ඇති වූ බවට මතයක් පල කිරීමට  මෙම ඉතිහාසඥයන් හට අවසානයේ දී සිදු වී ඇත.

එහෙත් සිංහල යන නාමය මේ ප්‍රදේශ දෙකෙන්ම පැමිණි අය භාවිතා කළ නමක් යැයි සැලකිය නොහැක. මහාචාර්ය පරණවිතාන වැනි අය මේ පිළිබදව ශිලා ලිපි වලින් තොරතුරු ලබා ගැනිමට වෙහෙසෙති. ලංකාවේ මුල් ආර්ය ජනාවාස සමයට අයත් ශිලා ලේඛන දක්නට නැත. එබැවින් මේ සදහා භාවිතයට ගන්නා ලද්දේ ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට දක්නට ලැබෙ න පැරණි ලිපි කීපයකි. එහෙත් මෙම ලිපි වල සිංහල යන නාමය දක්නට නොමැත. එසේ වී ඇත්තේ ඔවුන් සියලු දෙනා සිංහල යන නමින් පමණක් එකල හැදින්වු නිසා වන්නට ඇත. එහෙත් වෙනත් ජාතින්ට අයිති පැරණිම ලිපි වල මෙය දක්නට ලැබේ. කබොජ  යන නාමය මින් එකකි. කබොජ යනු කාම්බෝජ යන්නයි. පැරණි එක් ලිපියක කාම්බෝජයේ ශ්‍රේණියක් ගැන සදහන් වේ. එම ලිපිය “ කදුරුවල “ ලිපියයි. එලෙසෙම “ කොරවක්ගල “  ලිපියේද කාම්බෝජ වෙළද සංගමයක් ගැන සදහන් වේ. ඉතිහාසයේ සාහිත්‍ය මුලාශ්‍ර අනුව කබොජයන්  හෙවත් කාම්බෝජයන්  වාසය කළේ ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශයේ බව සදහන් වේ. එලෙසම පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ “යවනයන්“ හෙවත් “යෝන“ නම් ජන කොට්ඨාශයකට පණ්ඩුකාභය රජතුමා වාසස්ථාන සකසා දුන් බව සදහන් වේ. මෙම යවනයන් හෙවත් යෝනයන් වාසය කරන ලද්දේ ද වයඹදිග ඉන්දියාවේ ප්‍රදේශ වල බව සදහන් වේ.

තවද ඉන්දියාවේ පිහිටි තක්ශිලා වැනි වයඹ දිග ප්‍රදේශ වලින් හමුවි ඇති සෙල් ලිපි හා මහා භාරතය වැනි සාහිත්‍ය මුලාශ්‍රවලින් ද ලංකාව හා ඉන්දියාව අතර එනම් සිංහලයන් හා කාම්බොජයන් අතර හා සිංහලයන් හා යෝනයන් අතර ඇතිවු යම් යම් සභදතාවල තොරතුරු අපට සොයා ගත හැක.

මේ අනුව දිර්ඝ ලෙස කරුණු සොයා බැලිමේදි ලංකාවේ භාවිතා වන පුද්ගල නාම වලට පවා ඉංදියානු බලපෑම එනම් මෙම ඉන්දු ආර්යයන්ගේ බලපෑම දැඩි ලෙස ලැබී ඇති බව අපට පෙනි යන කරුණක් වේ. එනම් ඒ සදහා  අපට අවශ්‍ය තොරතුරු සොයා බැලිමේදි ආර්යයන් ලංකාවට පැමිණි සංක්‍රමණ මාර්ගය පිළිබද තොරතුරු සොයා බැලිම වඩා වැදගත් වේ. එලෙස සලකා බැලිමේදි ආර්යයන් ලංකාවට සංක්‍රමණය වුයේ ඉන්දු නදී තීරය හා ගුජරාට් වැනි ප්‍රදේශ  වල කලක් නතර වී සිටිමෙන් පසුව බව පැහැදිලිවේ. මහා භාරතයේ එන තොරතුරු වලට අනුව ඉන්දු නදිය අසල නිම්න ප්‍රදේශ වල “ග්‍රමනේය“ නම් බලවත් නායකයින් පිරිසක් සිටි බවට තොරතුරු අපට හමුවේ. ලංකාවේ මුල් පාලකයන්ගේද නාමයට ගෞරව නාමයක් ලෙස යොදා භාවිතා කළ “ගමණි“ හෙවත් “ගාමිණි“ යන නාමය මෙලෙස ග්‍රමනය යන්නෙන් බිදී ආ බවට අනුමාන කළ හැකිවේ. මෙයද මුල් ආර්යයන් ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශ වලින් ලංකාව කරා සංක්‍රමණය වු බවට උදාහරණයක් ලෙස සදහන් කළ හැක.

එපමණක් නොව ලංකාවේ ජනාවාස වීමේදී බලපාන ප්‍රධාන කතා ප්‍රවෘත්තියක් වන විජයාගමණයේ යම් යම් තොරතුරුද මුල් සිංහළයන් ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශ වලින් පැමිණි බවට සාධක මතු කර දෙයි. විජය හා පිරිස ලංකාවට එන අතරතුරදී ගිමන් හැරිම සදහා  සහ තමන්ට අවශ්‍ය ආම්පන්න, ආහාර සපයා ගැනිම සදහා ඉන්දියාවේ බටහිර ප්‍රදේශ වල පිහිටි බාරුකච්ච සුප්පාරක යන වරාය වලට ගොඩ බැස්ස  බවත්, කලක් එම ප්‍රෙද්ශ  වල නැවති සිටිමෙන් පසුව නැවත වරක් ලංකාවට පැමිණිමට ගමන් ගත් බවත් කථා ප්‍රවෘත්ති වල සදහන් වේ. මෙලෙස බටහිර ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ වල පිහිටි වරායන්ට තමන්ගේ ගමන අතරතුරදි ඔවුන් ගොඩ බැස්සේ එම පිරිස ඉන්දියාවේ බටහිර දිග ප්‍රදේශවල සිට පැමිණි නිසා  බවට සිතිය හැක.

එමෙන්ම විජය ඇතුලු පිරිසගේ ලංකාගමනයට පෙර සිදුවු ඔවුන්ගේ හිස් අඩමුඩු කිරීමේ සිද්ධියෙන්ද ලංකාවට ආර්යයන් පැමිණියේ ඉංදියාවේ බටහිර ප්‍රදේශයෙන් බව අනුමාන කිරීමට කරුණු කිහිපයක් සකසා ගත හැක. එනම් මෙම හිස් අඩමුඩු කිරීමට සම්බන්ධ “යවන ශක“ වැනි ජන කොට්ඨාශයන් වාසය කරන ලද්දේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශ වලයි.

කෙනෙකු තමන්ගේ ගෝත්‍රයෙන් පිටුවහල් කිරීමේදි ඔහුගේ හෝ ඇයගේ හිස කෙස් වලින් අඩක් මුඩුකොට පිටුවහල් කිරීම ඉන්දියාවේ බටහිර ප්‍රදේශ වල විසු මෙම යවනයන්ගේ  පුරුද්දක් විය. තවද විජය රජුගේ මුල් වාසභුමිය වුයේ “ලාට රට සිංහ පුරයැයි“ සදහන් වේ. වර්තමානයේ මෙම ප්‍රදේශය “ගුජරාටයේ සිහොර්“ නමින් හදුන්වන ප්‍රද්ශය බවට සමහර ඉතිහාසඥයන් මත පළ කරයි

එසේම විජය රජු ඇතුථ පිරිසගේ භාර්ය්‍යාවන් ලංකාවට පැමිණෙන ගමනේදී ගොඩ බසිනා ලදැයි සැලකෙන  මහිලා ද්වීපය ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටියේයැයි ඇතැම් මූලාශ්‍ර වල සදහන් වේ.විජය රජු විසින් කුවේනිය එලවා දැමීමෙන් පසුව මෙම පාණ්ඩයය කුමරිය ගෙන්වාගෙන තිබුනේද මදුරා පුරයෙනි. ඇය “විජායි කුමරිය“ නමින් හදුන්වන ලද බවට කථා පුවත් හමුවේ. එලෙසම ඇය සමග පවුල් දාහක් පමණ ලංකාවට සංක්‍රමණය වු බවටද එම කතා පුවත් වල සදහන් වේ.

තවද තක්ශිලාවේ ස්ථුඵයකින් සොයා ගන්නා ලද කරඩුවක සහ ලොරියාර්නින්ගෙයි නමැති ස්ථානයේ තිබී හමුවු පැතලි රූපයක සිංහල යන පුද්ගල නාම සදහන් වුන බව හෙලිව තිබේ. එයින් එක් ලිපියක සිංහල සහ සිංහ රක්ෂිත නම් සහොදරයන් දෙදෙනෙකු සියලු බුදුවරුන් උදෙසා ස්ථුපයක් ඉදිකළ බව සදහන් වේ. අනෙක් ලිපියේ සිහලකගේ යහථු සිංහ මිත්‍ර විසින් පිරිනමන ලද  පරිත්‍යාගයක් ගැන සදහන් වේ. මෙම සෙල් ලිපිය අනුව සිංහල යන්න මුලින් පුද්ගල නාමයක්ව පැවති බවත් එම නම තිබු අය ඉන්දියාවේ බටහිර ප්‍රදේශ වල ජීවත්වු බවත් පැහැදිලිවේ.

එමෙන්ම රජ පවුල් වල බොහෝ අවස්ථාවල සහෝදරයන් දස දෙනෙක් සිටි බවට ලංකා ඉතිහාසයේ කිහිප තැනකම සදහන් වේ. උදාහරණ ලෙස පණ්ඩුවාසදේව රජුට පුතුන් දස දෙනෙකු සිටි බවට ඉතිහාසයේ සදහන් වීම, දේවානම්පියතිස්ස රජුට සහෝදරයන් දස දෙනෙකු සිටීම, කතරගම දසබෑ රජුන් විසින් පාලනය කිරීම හා  උන්මාද චිත්‍රාකුමරියට සහෝදරයන් දස දෙනෙකු සිටීම වැනි කරුණු  සදහන් කළ හැක. මෙම දසබෑ සංකල්පය බටහිර ඉන්දියාවේ ද්වාරවතී නුවර වාසුදේව රජු ප්‍රමුඛ සහෝදරයින් දස දෙනා ආදර්ශයට ගෙන පටන් ගත් ක්‍රමයක් වන්නට ඇතැයි ඇතැමුන් පවසති.

මේ හැර ඉන්දු ආර්යයන් ආර්යාවර්තයේ නැගෙනහිර ප්‍රදේශයෙන් පැමිණි බවට ඉදිරිපත් කළ හැකි තවත් සාධක කිහිපයක් ඇත. පණ්ඩුවාස රජුගේ බිසව වු බද්ධකච්ඡානා දේවිය ලංකාවට ගොඩ බැස්සේ ගෝකන්න වරායෙන් බවත් එහි සිට උප තිස්ස ග්‍රාමය දක්වා කැදවාගෙන ගිය බවත් මූලාශවල සදහන් වේ. බද්ධ කච්ඡානා බිසව බුදුන් වහන්සේගේ ඥාති වරියක් බවටත් සදහන් වේ. බුදුන්වහන්සේ ඇතුථ ඥාති  පිරිස ජිවත් වු බවට සාධක හමුවන්නේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ වලිනි.

එලෙසම බද්ධ කච්ඡානා කුමරියගේ සොහොයුරන් ගෝකන්න ප්‍රදේශයෙන් ලංකාවට ගොඩබැස ලංකාවේ නැගෙන හිර ප්‍රදේශ වල ජනාවාස පිහිටුවාගත් බව විජිත ගාම , දීඝවාපිය සහ රොහණ යන ජනපද ඇසුරෙන් පැහැදිලිවේ. ඒ අනුව ඒ අය  පැමිණෙන්නට ඇත්තේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශවලින් පමණක් බවත් එබැවින් ඔවුන් ලංකාවේද නැගෙනහිර ප්‍රදේශවල තම ජනාවාස පිහිටුවා ගත් බවත් අපට සිතිය හැක. මෙසේ මුල් ආර්යයන් ලංකාවට පැමිණියේ  බටහිර ඉන්දියාවෙන් ද නැගෙනහිර ඉන්දියාවෙන්ද යන්න පසක් කිරිමට ඉතිහාසඥයන් විසින් නොයෙක් සාධක ඉදිරිපත් කර ඇත. ඇතැම් ඉතිහාසඥයන්ගේ අදහස පරිදි මුලින්ම පැමිණි ආර්යය කණ්ඩායමට පසුවත් වරින් වර ආර්යයන් ලංකාවට පැමිනෙන්නට ඇත. මොවුන්ගෙන් සමහරක් වෙළෙදුන් වශයෙන්ද පැමිණෙන්නට ඇත. කෙසේවෙතත් ආර්යාවර්තයේ නැගෙනහිර ප්‍රදේශයේ හා වයඹ දිග ප්‍රදේශ වලින් පැමිණි කොටස් සම්මිශ්‍රණය වීමෙන් ලංකාව ජනාවාස වන්නට ඇතැයි අපට සිතිමට හැක.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය හදුන්ගමුවේ චන්ද​ජෝති හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.