සමාජයේ පවතින ව්‍යවහාර පිරුළු ලෙස හදුන්වයි. වර්තමාන සිදු වීමක් අලංකාරයෙන් විස්තර කිරීම හෙවත් වර්තමාන සිදුවීම ව්‍යවහාරයකට උපමාකොට දැක්වීම පිරුළු මගින් සිදු කරනු ලබයි. සිංහල භාෂාවේ පවතින විචිත්‍රවත් අංගයක් ලෙස පිරුළු මගින් ලේඛණය මෙන්ම කථනයද සිත්කළු කරයි. පිරුළු භාවිත කරමින් කරන ලද කථාවක් හෝ ලේඛණයක් වේ නම් එය පාඨකයාගේ සිත් පින වන්නකි. දක්ෂ ලෙස භාෂාව හසුරුවන්නකු විසින් තම අභිමතාර්ථයන් සාධනය කරගැනීම සදහා නිසැකව යොදා ගනු ලබන්නේද පිරුළුයි.පහත දක්වනු ලබන්නේ සිංහල භාෂාවේ ඇති පිරුළු වර්ග හා අලංකාර පිරුළු කිහිපයකි.

උදාහරණ :   කළුවා මාරපන් ගියා වගේ.

කිසියම් පුද්ගලයකු තම සේවකයාට රාත්‍රියේදි කථා කොට අවශ්‍ය කර්තව්‍ය සදහන් නොකොට කළුවෝ හෙට උදයේ මාරපන් ගිහින් වරෙන් යැයි කීවේය. කළුවාද උදයේම අවදි වී කිසිවක් නොවිමසා මාරපන් ගියේය. යථෝක්ත පුද්ගලයා තම සේවකයා අදාල කාර්‍ය්‍ය සදහා සොයා බැලුවද ඒහු නොවීය. දහවල් වන විටි කළුවා මාරපන් ගොස් පැමිණියේය. කොහි ගියේදැයි විමසු විට මාරපන් ගියේ යැයි පැවසීය. තමන්ට නොකියා ගියේ මන්දැයි විමසූ විට රාළහාමි උදෙන්ම මට මාරපන් යන්න කිව්ව නිසා මම ගිහින් අාවා මට වෙන මොනවත් කිව්වේ නෑනේ යැයි පැවසීය.

මෙසේ කිසි විචාරයක් නොමැතිව කියන කරන දේ පිළිගන්නා අයගේ ස්වභාවය දැක්වීම සදහා කළුවා මාරපන් ගියා වගේ යන ව්‍යවහාරය යොදා ගනී. මෙසේ යම් ස්වභාවයක් දැක්වීමට යොදාගන්නා ව්‍යවහාර පිරුළු ලෙස හදුන්වන අතර ඒවා ප්‍රධාන කොටස් තුනකට බෙදෙයි.

  1. වෘත්තාන්ත පිරුළු (සිද්ධියක් මුල්කොට අැති)
  2. සහධර්ම පිරුළු (සමානත්වයක් අැති)
  3. සත්‍යධර්ම පිරුළු (සත්‍යයක් මුල්කොට අැති) 

වෘත්තාන්ත පිරුළු.

අතීතයේ සිදු වූ යම් සිදුවීමක් හෝ වෘත්තාන්තයක් මුල් කරගෙන ව්‍යවහාරයට පැමිණ අැති පිරුළු වෘත්තාන්ත පිරුළුයි.

නිදර්ශන.

  1. කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ.
  2. ගමරාළ සිල් ගත්තා වගේ.
  3. පරංගියා කෝට්ටේ ගියා වගේ.
  4. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.
  5. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ.
  6. පල නොකියා පලා බෙදනවා වගේ.
  7. හතර බීරි කතාව වගේ.
  8. අාඩි හත්දෙනාගේ කැද හැලිය වගේ.
  9. අන්දරේ සීනි කෑවා වගේ.
  10. ඉබ්බා කට නිසා නැහුණා වගේ.
  11. ලබු ගෙඩියේ කංකාරිය වගේ.
  12. බැටලු හම පොරවාගත් වෘක්කයා වගේ.
  13. කිතුලේ නැංග මිනිහා වගේ.
  14. සිංහ වෙස්ගත් නරියා වගේ.
  15. පුවක් ගහෙන් බහින්නා වගේ.

සහධර්ම පිරුළු.

යම් සිදුවීමක් වඩාත් පැහැදිලි කිරීම සදහා භාවිත කරන පිරුළු සහධර්ම පිරුළුයි.

නිදර්ශන.

  1. ඒළිපත්තේ ඉන්න බළලා වගෙයි.
  2. පාලුගෙයි වලන් බිදිනවා වගෙයි.
  3. අගේ ඉදන් කන කනවා වගෙයි.
  4. කිඹුල් කදුලු හෙලනවා වගෙයි.
  5. නරියා පඹගාලේ පැටලුනා වගෙයි.
  6. උරුලෑවා ගිය පාර වගෙයි.
  7. ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගෙයි.
  8. අශ්වයාට අං ලැබුණා වගෙයි.
  9. ගලේ කෙටු අකුර වගෙයි.
  10. නැගපු ඉණිමගට පයින් ගහනවා වගෙයි.
  11. අටුව කඩා පුටුව හදනවා වගෙයි.
  12. මරණ තුනක් ඇති මිනිසා පැණි කෑවා වගෙයි.
  13. බීරි අලියට වීණා වයනවා වගෙයි.
  14. වක්කඩේ හකුරු හැංගුවා වගෙයි.
  15. අතීසාරේට අමුඩේ ගැහුවා වගෙයි.

සත්‍යධර්ම පිරුළු.

ලෝකයේ පවතින කිසියම් ධර්මතාවයක් හැදින්වීම සදහා යොදන ව්‍යවහාර සත්‍යධර්ම පිරුළුයි.

නිදර්ශන.

  1. පැමිණි දුක් පැණි රසයි.
  2. රජකම් කළත් කළකම් පල දේ.
  3. අවිගත්තෝ අවියෙන්ම නැසෙති.
  4. ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි.
  5. අාරේ ගුණ නෑරේ.
  6. තමන් හිසට තම අතමය සෙවණැල්ල.
  7. දේසෙ හැටියට බාසේ.
  8. හැට පිරුණත් වදුරා බිමින් ගමන් නැත.
  9. පිරුණු කලේ දිය නොසැලේ.
  10. බොරුවට අායුෂ අඩුයි.
  11. දැන ගියොත් කතරගම,නොදැන ගියොත් අතරමග.
  12. කට බොරු කියතත් දිව බොරු කියන්නේ නැත.
  13. අැවිද්ද පය දහස් වටී.
  14. මිටි තැනින් ලු වතුර බහින්නේ.
  15. උණු පුරුකේ ලා තැබුවත් බලු වලිගේ ඇද නෑරේ.

අඩන්න එපායැ කිරි එරෙන්න – ඉම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට බලවත් සේ ඉල්ලීම් කර ඒවා ලබා ගැනීම

  

අගේ ඉ‍‍දන් කන කනවා වාගේ – කෙනෙකු සමීපව ඇසුරු කරමින්, ලාභ ප්‍රයෝජන ලබා ගනිමින් ඔහුටම විපත් සිදු කිරීම

 

අටුව කඩා පුටුව හැදුවා වාගේ – අඩු වටිනාකමකින් යුත් දෙයක් ලබා ගැනීම සදහා වැඩි වටිනාකමකින් යුත් දෙයක් විනාශ කිරීම

බොහෝ පැරණි ගෙවල් වල අටුවක් දක්නට ලැබුණි. බොහෝවිට ධාන්‍ය ආදිය ගබඩා කර තබා ගැනීමට මෙය භාවිතා කරන ලදී. බිත්ති අතර බාල්ක යොදා ඒ මතට ශක්තිමත් ලෑලි දමා අටුවක් නිර්මාණය කරගනු ලබයි.  පුටුවක් යනු ඉතා කුඩා උපකරණයකි. පුටුවක් සෑදීමට අටුවක තිබෙන තරම් ලෑලි අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා අටුවක් කඩා පුටුවක් සාදනවා යනු මොඩ ක්‍රියාවකි.   

 

අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වාගේ – යම් කාර්‍යයක් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට ඒ සදහා උදව් ලැබීම

 

අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී – කිසියම් කාර්යක් එක් තැනක දීර්ඝ කාලයක් නොකර තැනින් තැනට මාරු වෙමින් ගොස් තමාගේ කටයුතු අසාර්ථක කර ගැනීම

 

අඩුව තිබියදී අත පුච්ච ගත්තා වාගේ – යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමට විධිමත් ක්‍රමයක් තිබියදී අනියම් ක්‍රමයකින් සිදුකරන්නට ගොස් අමාරුවේ වැටීම

ලිපක රත්කරන ලද යකඩයක් අතින් අල්ලා ඉවතට ගැනීමට උත්සහ කළහොත් සිදු වන්නේ අත පිළිස්සීමයි. එය ඉවතට ගැනීමේ නිවැරදි ක්‍රමය නම් අඩුවක් ආධාර කර ගනිමින් පිටතට ගැනීමයි. නිවැරදි ක්‍රමයක් තිබියදී අනිසික්‍රම භාවිතයෙන් සිදුවන්නේ අඩුව තිබියදී අත පුළුස්සා ගැනීමකි.

 

අත දීලා දත නියවනවා වාගේ – කෙනෙකුට උදව් ලබාදී දියුණු වූවාට පසුව යම්යම් අදව් උපකාර ඉල්ලා සිටීම

 

අගෙන් කිරි දේව්වා වාගේ – මෝඩ ක්‍රියාවක යෙදීම

 

අතර මගදී අත්වැල කැඩුනා වාගේ – කෙනෙකුගේ ජීවිතය සාර්තක කර ගැනීම සදහා වෙනත් කෙනෙකුගෙන් ලැබුණු සහය නොසිතූ අවස්ථාකව නොලැබී යාම

  

අන්දරේ සීනි කෑවා වාගේ – ප්‍රයෝගකාරී ලෙස තම අරමුණු ඉටු කර ගැනීම

අන්දරේ යනු රජවාසලේ කවටයාය. එය ඕනෑම කෙනෙකු දන්නා දෙයකි. එක්තරා දිනයක අන්දරේ රජ වාසලට පැමිණෙන විට එහි මිදුලේ පැදුරක මොනවාදෝ දමා තිබෙනවා දුටුවේය. අන්දරේ එතැනින් යන ගමන් මෙහි තිබෙන්නේ මොනවාදැයි රජුගෙන් විමසූහ. “ මේමාළිගාවේ අලුත්වැඩියාවක් සදහා ගෙනා වැලි” යැයි රජතුමා පිළීතුරු දුන්නේ මෙහි තිබෙන්නේ සීනි යැයි අන්දරේ දැන ගතහොත් ඔහුගෙන් බේරෙන්නට බැරි බව සිතාගෙනය. නමුත් පැදුරේ දමා තිබෙන්නේ සීනි යැයි දැනගත් අන්දරේ උපායක් යොදා සීනී කෑ යුතුයැයි අන්දරේ කල්පනා කළේය. අන්දරේ ඉක්මනින්ම ගෙදර ගොස් තම පුත්‍රයා අමතා මෙසේ පැවසූහ. “ පුතේ මා දැන් රජවාසලට යනවා. මා ගොස් ටික වේලාවකින් “ තාත්තේ” අම්මා මළා” යැයි කියාගෙන රජවාසලට දිවගෙන එන්න ඕනෑ.

කියූ පරිදි අන්දරේ රජවාසල බලා ගිය ඉක්බිතිව පුතාද අම්මා මළා යැයි කියමින් රජ වාසල කරා දිවගෙන ගියේය. රජතුමා සමග කථා කරමින් සිටි අන්දරේ පුතා එනවා දුටුවේය. පුත්‍රයා නැවතත් “ තාත්තේ අම්මා මළා” යැයි කියමින් කෑ ගහන්නට විය. එවිට අන්දරේද දෑතින්ම හිස බදාගෙන විලාප නගමින් “අනේ පුතේ මගේ කටෙත් වැලි උඹේ කටෙත් වැලි කියමින් සීනි පැදුරේ වාඩි වෙමින් සීනි අහුරු අහුරු පුතාගේ කටේත් තමාගේ කටේත් දමමින් සීනි කන්නට පටන් ගත්තේය. එවිට රජ්ජුරුවෝ “ හා හා අන්දරේ ඔය සීනි” යැයි කීවේය. දේවයන් වහන්‍ස ඒ බව මට කලින් නොකිව්වේ ඇයිදැයි විමසමින් අන්දරේ පැදුරෙන් නැගිට්ටේය.

 

අලි මදිවට හරක් – එක් කරදරයකට මුහුණුපාන අතර තවත් කරදරයක‍ට පත්වීම

අන්ධයන් ඇතාගේ හැටි කිව්වා වාගේ – කිසියම් කාරණයක් පිළිබද තමාට සිතෙන දැනෙන පරිදි තීරණ ගැනීම

අන්ධයන් පිරිසක් ඇතෙකුගේ සිරුර පිරිමැද බලා තම තමන් අවබෝධ කරගත් ආකාරයට උගේ හැඩරුව කීවෝය. ඇතාගේ කන අතගා බැලූ අන්ධයා කීවේ ඇතා කුල්ලක් වගේය කියාය. ඇතාගේ කකුලක් අල්ලා ගත් තැනැත්තා ඌ වංගෙඩියක් වගේ යැයි පැවසූහ. ඇතාගේ සිරුර අතගා බැලූ අන්ධයා පැවසුවේ අලියා බිත්තියක් වගේය කියාය. තවත් අන්ධයෙන් ඇතාගේ වලිගය බදාගෙන කීවේ අලියා ලනුවක් වගේය කියාය. ඇතාගේ දළ අල්ලා ගත් අන්ධයා පැවසුවේ අලියා කෙසෙල් බඩයක් මෙන් මටසිලිටු සතෙක් වන බවය. මේ ආකාරයට තම තමා විසින් අවබෝධ කරගත් දේ ඉදිරිපත් කරන අවස්ථාවක මේ පිරුළ භාවිතා වේ.

 

අතේ ඉන්න එක කුරුල්ලා‍ පදුරෙ ඉන්නා දහයකට වඩාවටී – තමා ලග තිබෙන සුළු දෙයක් වුවද අනුන් ලග තිබෙන විශාල දෙයට වඩා වටිනා බව

 

අන්ධයාට දීකිරිවල පාට කිව්වා වාගේ – හාස්‍යජනක තීරණ ගැනීම

 

අබරා සිල් ගත්තා වාගේ – නුපුරුදු කටයුත්තක් කරන්නට ගොස් අමාරුවේ වැටීම

එක්තරා ගමක අබරා නම් මිනිසෙක් වාසය කළේය. ඔහුගේ බිරිද සෑම පොහොය දිනකදීම අටසිල් ගැනීම සදහා පන්සලට යන්ණිය. අබරාටද සිල් ගැනීම සදහා ආශාවක් ඇතිවිය. සිල් ගන්නේ කෙසේදැයි අබරා බිරිදගෙන් විමසීය. “පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ කියන කියන වචනය තමනුත් කියන්න ඕනි” යනුවෙන් ඇය පැවසුවාය. ඊලග පොහොය දිනයේදී සිල් රෙදිද ඇදගත් අබරා පන්සල වෙතට ගියේය. එවිට හාමුදුරුවෝ අබරා අමතා “ ආවේ මොකදැයි” විමසූහ. එවිට අබරාද  “ ආවේ මොකදැයි” හාමුදුරුවන්ගෙන් ඇසුවේය. “මොහුට පිස්සුදැයි” හාමුදුරුවෝ ඇසුවේය. අබරාද පෙරලා “මොහුට පිස්සුදැයි” හාමුදුරුවන්ගෙන් විමසූහ. මේ අවස්ථාවේදී හාමුදුරුවන්ට කේන්ති ගොස් “ගනු කඹයක් මූ බදින්න” යනුවෙන් ඇබිත්යන්ට පැවසූහ. මෙයද අබරා විසින් පෙරලා පැවසූහ. ටික වේලාවකට පසුව ඇබිත්තයන් විසින් අතින් පයින් අබරාට පහර දෙන්නට විය. අවසානයේදී ගුටිකෑ අබරා ඉතා අමාරුවෙන් තමාගේ නිවස වෙත දුවන්නට පටන් ගත්තේය. පහර කෑඋමෙන් වේදනාවට පත් අබරා ඉතාමත් අපහසුවෙන් නිවස දෙසට එනවා දුටු බිරිය පුදුමයෙන් මෙන් ඒ දෙස බලා සිටියේය.

“ඇයි බොන නුඹල හැමදාම කොහොම සිල් ගන්නවද? මට එක දවසක් සිල් ගන්න ගිහින් සිල් ගැනීම එපාම වුණා.” යි පවසමින් තමන්ට සිදුවූ සියල්ල අබරා බිරිදට පැවසූහ. සැමියා කෙරෙහි අනුකම්පාව ඇතිවූ බිරිද සිරුරේ තෙල් බෙහෙත් ගැල්වූවාය.     

 

අනුන්ගේ මගුල් ගෙදරකදී තමන්ගේ ආදරය දැක්වූවා වාගේ – අනුන්ගේ දේවල් තමන්ගේ දේවල් මෙන් සලකා හිත මිත්‍රයන්ට සැලකීම

 

අප කන හැටි ලිපාදනී – ගෙදරක ඇති දුප්පත් කම අගවයි

 

අනුන්ගේ නම් හිසරදෙයත් හොදයි කීවාසේ – අනුන්ගෙන්ලැබෙන ඕනෑම දෙයක් ඉතා ඉහළින් පිළිගැනීම

 

අනුනවයෙන් බේරුණා – කිසියම් කරදරයකින් ඉතා අමාරුවෙන් ගැලවීම

 

අම්බලම කැඩුනට ගව්ව කොටවේද? – කළ යුතු කාර්ය ස්ථාවර පදනමක් ඇතිව කළ යුතුය

 

අපට ඇණියෙන් ගියත් එකයි අවරෙන් ගියත් එකයි – මොකක් වුණත් කමක් නැහැ

ඔරු පාරු නැව් ආදියේ ඉදිරිපස කොටසට කියනු ලබන්නේ ඇණිය කියාය. ඒවායේ පසුපසට කියන්නේ අවර කියාය. ඔරුවේ ඉදිරියෙන් ගියත් පසුපසින් ගියත් කමක් නැත.

 

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු – අයුක්තිය අසාධාරණය රජකරන කාලයේදී සිදුවන දේවල්

 

අත්තෙ අග ඉදලා මුල කැපුවා වාගේ – දැන දැනම මෝඩ ක්‍රියාවක් සිදු කර විපතට පත්වීම

 

අපායට ගියත් කලින් යා යුතුයි – කුමන කටයුත්තකදී වුවද ප්‍රමාද නොවී අප්‍රමාද විය යුතු බව

 

අළුයට සැගවුණු ගිනි පුපුරක් වාගේ – සිත්වල පවත්නා ඊර්ෂියා, ක්‍රෝධ ආදිය වරින් වර මතුව ඒම

බොහෝ පුද්ගලයන් එකිනෙකා අතර ඉතා සුහදශීලී බවක් පෙන්නුවද පරණ අමනාම කම්ද යටිසිත තුල සගවාගෙන සිටිති. ඇසුරු කරන අතරතුර යම්කිසි වරදක් සිදු වුවහොත් පැරණි අමනාපකම් සිහි කරමින් කරදර සිදු කිරීම ඔවුන්ගේ සිරිතය. එය අළු යට සැගවුණු ගිණි පුපුරක් සුලගට අසුවී ගිනි ඇවිලෙන්නා වැනිය.

 

අම්මා පෙවු රන්කිරි මතක් වුණා – ඉතා බරපතල කරදරයකට පත්වීම

කඩුල්ලත් එක්ක අමුඩෙ ගැහුවා වාගේ – මෝඩ වැඩක් සිදු කිරීම

එක්තරා ගැමියෙන් සොරෙකු ලුහුබැද යන අවස්ථාවේදී කඩුල්ලකින් පැනයන විට ඔහුගේ අමුඩෙ ගැලවි ඇත. කලබලයෙන් හෙතෙම කඩුල්ල හරහා දමා තිබූ ලීයද සමගම අමුඩේ රෙදිපොට තදකර ගත්තේලු. ඒම නිසා එතැනින් ඉදිරියට යාමට නොහැකි වූ හෙයින් පසුපසින් ආ තවත් සොරෙකු විසින් තමන් අල්ලා ගන්නා ලදැයි සිතා මහ හයියෙන් කෑ ගහන්නට විය. ඒ හඩ ඇසී එතැනට පැමිණි මිනිසුන්ට එතැන සිදු වී ඇති දෙය වටහා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.  

 

ඉබ්බා අහසින් ගියා වාගේ – තමන්ට කර ගත නොහැකි ක්‍රියාවක් වෙනත් කෙනෙකු ලබා කරවා ගැනීම නිසා විපතට පත්වීම

කැලයේ එක්තරා විලක් අසළ ඉබ්බෙන් වාසය කලේය. මෙම විලට මාළුන් අල්ලා ආහාරයට ගැනීම සදහා හංසයන් දෙදෙනෙක් නිතර නිතර පැමිණියේය. ටික දිනක් ගතවන විට හංසයන් හා ඉබ්බා අතර මිත්‍රත්වයක් ඇතිවිය. නොබෝ දිනකින් ඉතාදැඩි නියං කාලයක් උදාවිය. මෙම විලෙහිද ජලය සිදී ගියේය. හංසයන් දෙදෙනා වෙනත් විලක් යොයාගෙන යාමට තීරණය කළේය. මෙහිදී මිත්‍ර වූ ඉබ්බාව හුදෙකලා කොට යාමට අකමැති වූ හංසයෝ ඔහුවද රැගෙන යාමට කල්පනා කළහ. එසේ කල්පනා කළද හංසයන් මෙන් පියාසර කිරීමට ඉබ්බන්ට නොහැකිය. එමනිසා ඉබ්බාව රැගෙන යාමට හංසයන් දෙදෙනා උපායක් කල්පනා කළහ. දිග කෝටුවක් රැගෙන ආ මෙම හංසයන් දෙදෙනා දෙකෙළවර තමාගේ තුඩින් අල්ලාගෙන ඉබ්බාගේ කටින් මැදින් අල්ලා ගන්න යැයි උපදෙස් දෙනු ලැබීය. ඉබ්බාද එයට එකග විය. එසේම තමන් පියාසර කරන අවස්ථාවේදී කිසිසේත්ම කට අරින්න එපා යැයි හංසයන් දෙදෙනා ඉබ්බාට පැවසීය. කතිකා කර ගත් පරිදි කෝටුවේ දෙකෙළවරින් අල්ලා ගත් හංසයන් දෙදෙනා ඉබ්බාට මැදින් එල්ලෙන්න යැයි පැවසීය. හංසයෝ ඉබ්බාද රැගෙන අහසින් පියාසර කරන්නට පටන් ගත්තේය. එක්තරා ගම්මානයක් උඩින් ඔවුන් පියාසර කරන අවස්ථාවේ සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසක් ඒ දැන “ඉබ්බෙක් අහසින් යනවෝ” යනුවෙන් කෑ ගසමින් අත්පොළසන්නාද දෙන්නට පටන් ගත්තේය. ළමයින් තමන්ට විහිළු කරවා යැයි සිතූ ඉබ්බා ඔවුන්ට බනින්නට සිතාගෙන කට ඇරියේය. ඒ සමගම ඉබ්බාව ගල් පර්වතයක් මතට වැටී මරනයට පත්විය. කට රැකගෙන නොසිටීමේ විපාක ඉබ්බාට අත්විදින්නට සිදුවිය.

 

ඉස්සරවෙලා ආපු කනට වඩා පස්සෙ ආපු අං ලොකුයි ලු – පැරණි නෑ මිතුරන්ට වඩා අලුතින් හමුවූ නෑ මිතුරන් උසස්‍ කොට සැලකීම

 

ඇත්ත කියන්නත් බිම ඉදගන්නත් කාගෙන්වත් අවසර ඕනෑ නැහැ – සත්‍ය ප්‍රකාශ කිරීමට බිය නොවිය යුතු බව

සත්‍ය ප්‍රකාශ කිරීම බිය වීමට හේතුවක් නොවේ. එසේම බිම ඉද ගැනීමටද කිසිවෙකුගෙන් අවසරයක් අවශ්‍ය නැත. උස් අසුනක සාමාන්‍ය පුද්ගලයෙකු වාඩිවී සිටියහොත් ප්‍රභූවරයෙකු පැමිණි විට අසුනෙන් නැගී සිටීමට සිදුවේ. නමුත් බිම වාඩිවූ කල්හි එසේ සිදු කිරීමට අවශ්‍ය නැත.

 

ඇතා ගිලපු දිවුල් ගෙඩිය වාගේ –  බාහිර ඔපය ඇතත් අභ්‍යන්තරය හිස්බව.

ඇතෙකු විසින් දිවුල් ගෙඩියක් ගිලිනු ලැබුවහොත් ඇතාගේ කුසේදී දිරවා පිට කටුව පමණක් ඉතිරි වෙතියි කියනු ලැබේ. ඇතාගේ මළ සමග දිවුල් ගෙඩිය පහවී යන නමුත් ඒතුළ ඇති මදය දිරවා ගොස් අභ්‍යන්තරය හිස්ය.

 

ඉහේ මලක් පිපුනා වාගේ – ‍බොහෝ සතුටට පත්වීම

 

උගුරට හොරා බෙහෙත් කනවා වාගේ – කිසියම් කටයුත්තක් නිසි පිළිවෙළකට නොකර යන්තම් සිදු කිරීම

 

උඩ පැන්නොත් බිම වැටේ – සෙස්සන්ට ආඩම්බර කම් පෙන්වීමට ගොස් විපත් සිදුවීම

 

උඩිත් හකුරු යටින් කතුරු – මතුපිටින් මිහිරක් පෙනෙතත් අභ්‍යන්තරයේ විපතක ලකුණු ඇති බව

 

උණ හපුළුවාට උගේ පුතා මැණිකක් ලු – කෙනෙකුට අනුන්ගේ කවර දයක් වුවත් පිළිකුල් වන අතර ඒ හා සමාන තමන්ගේ දේවල් අගනා බව

 

උණු කැවුම් වාගේ අලෙවි වුණා – බොහොම ඉක්මනින් අලෙවි වුණා

අරුණට කිට්ටු පැය ඉතා අදුරුය – වර්තමානයේ සැපසම්පත් ලබන අයගේ අතීතය ඉතා දුක්බරව පැවති බව දැක්වීම

 

අලපත ලූ දියත්තක් වාගේ – යහපත් පුද්ගලයන් තමන්ගේ සිත්වල පාප සිතුවිලි රදවා නොගන්නා බව

 

අකලට පලගත් ගෙඩිය වාගේ – අහඹු ලෙස කෙනෙකුගෙන් ලාභයක් හෝ වාසියක් ලැබීම

ගස්වැල් වල ඵලදාවන් ලැබෙන්නේ යම්කිසි කාලයකටය. එය සවභාව ධර්මය විසින් නිර්මාණය කරඇත. නොකල්හි ඵල හටගැනීම අස්වාභාවිකය.

 

අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ – තබාට තිබුණු වරප්‍රසාදත් ලැබෙන්නට තිබෙන වරප්‍රසාදත් නැති වීම

 

අලි යන කපොළු තිබියදී කූඹින් යන සිදුරු වසන්නා සේ – ලොකු ලොකු වැරදි එලෙසම තිබියදී කුඩා වැරදි සකස් කිරීම

 

අශ්වයාට අං ආවා වාගේ – අහංකාරකම් පෙන්වීම

 

අශ්වයාට ඉදිරියෙන් රථය යෙදුවා වාගේ – යමක් වැරදි ලෙස ආරම්භ කිරීම

 

අහසේ මාළිගා තනනවා වාගේ – ඉටුකර ගැනීමට නොහැකි දේවල් පිළිබද සිතසිතා සිටීම

 

අහස කඩා වැටෙනවාට බයේ දියූ හාවා වාගේ – යමක් අරිහැටි නොදැන අනුන්ගේ බස් පිළිගනිමින් කලබලයට පත්වීම

 එක්තරා වනයක සිටි හාවෙන් උදුපියලිය කමින් සිටින අතර තල් අත්තක් මතට දියුල් ගෙඩියක් වැටීම නිසා මහත් ශබ්ධක් ඇතිවිය. එම ශබ්දය ඇසුණු හාවා කිසිවක් සොයා නොබලා පොළව පෙරළිගෙන එන ශබ්ධක් යැයි සිතා දුවන්නට පටන් ගත්තේය. හාවා ඉතා වේගයෙන් දුවන බව දුටු මීමින්නෙක් දුවන්නේ කුමක් නිසාදැයි විමසූහ. එයට පිළිතුරු ලෙස හාවා “ලෝකය පෙරළීගෙන එනවා. පණ බේරාගෙන දුවනවා” යැයි පැවසූහ. හාවාගේ වදන් අසා බියට පත්වූ මීමින්නාද බියේ දුවන්නට පටත් ගත්තේය. මේ දෙදනා දුවනවා දුටු මුවෙක් ඔවුන් දුවන්නට හේතුව විමසූහ. එවිට “ලෝකය පෙරළීගෙන එනවා. පණ බේරාගෙන දුවනවා” යැයි පැවසූහ. මේ ආකාරයට තවත් සතුන් කිහිප දෙනෙකුම මොවුන් සමග එක්වී දුවන්නට පටන් ගත්තේය. අන්තිමේදී ඔවුන්ට සිංහයාව මුණු ගැසුණි. සතුන්ගේ දිවීමට හේතුව කුමක්දැයි සිංහයා විසින් විමසන ලදී. ලෝකය පෙරළීගෙන එන බැවින් පණ බේරාගෙන දුවනවා යැයි සත්වයෝ සිංහයාට පැවසූහ. එය දැන ගත්තේ කෙසේදැයි සිංහයා විමසූ විට එය සාවාගෙන් දැනගත් බව පැවසූහ. සිංහයා සතුන්ද කැටුව සාවාට ශබ්දය ඇසුණු තැනට පැමිණ තොරතුරු විමසා බැලුවේය. එවිට තල් අත්ත මතට දියුල් ගෙටිය වැටුණු පුවත සිංහයාට තේරුම් ගියහ.

 

ආචාරියා රවටා කැත්ත හැදුවා වාගේ – අනුන් රැවටීමට ගොස් තමන්ම රැවටෙන බව

 

ආචාරියාගේ ගෙදර කැත්තක් නැතිවා වාගේ – ඕනෑම වෙලාවක කර ගතහැකි යැයි සිතා තමවැඩ කටයුතු අතපසු කිරීම.

 

ආඩි හත් දෙනාගේ කැද හැලිය වාගේ – අනුන් රවටන්නට ගොස් තමන් රැවටෙන බව

ආඩි යනුවෙන් හැදින්වෙන්නේ ශිව දෙවියන් ඇදහූ මිනිස් කොට්ඨාසයකි. ලංකාවේ නොයෙකුත් තැන්වල සැරිසැරූ ආඩි හත් දෙනෙක් රාත්‍රියේදී එක්තරා අම්බලමකට එක්රැස් විය. ඔවුහු රාත්‍රී ආහාරය සදහා කැද උයන්නට තීරණය කළහ. ඔවුන් සතුව තීබූ පසුම්බිවල සහල්ද තිබුණි. එක් අයෙක් විශාල භාජනයක් ළිපක් මත තබා ගින්දර දැමීය. තවත් ආඩියෙක් ළිප ලගට ගොස් “ ඔන්න මගෙන් හාල් මිටක් දමනවා” යැයි කියමින් ළිප තැබූ මුට්ටියට සහල් දමනවා මෙන් මෙන් පෙන්වීය. එහෙත් හාල් ඇටයක්වත් ඔහු මුට්ටියට දැමුවේ නැත. “ මම නොදැම්මාට අනිත් අය දමනවානේ – මගේ සහල් ටික ඉතිරි කර ගන්නවා” යනුවෙන් හෙතෙම කල්පනා කළේය. මේ ආකාරයට අනෙක් සියළු දෙනාමත් සිදු කළහ. අවසානයේදී කිසිවෙකු මුට්ටියට සහල් දමා ‍නැත. වතුර නටන්ට පටන් ගත්විට සියල්ලෝම කැද බීමට මුට්ටිය වටා එක්රොක් විය. එහෙත් ඒතුළ සහල් ඇටයක්වත් නොවීය. තමන් අනෙක් අයව රුවටූ බව ආඩින්ට පැහැදිලි විය. එයින් ලැජ්ජාවට පත්වූ සියල්ලෝම අම්බලමේ තැන්තැන් වලට ගොස්  නිදා ගත්තේය.

 

ආදා වගේ – ස්ථාවර වචනයක් හෝ ප්‍රතිපත්තියක් නොමැති

 

ආරේ ගති නෑරේ – කෙනෙකු උපතින්ම ලබන ගති ලක්ෂණ අත් නොහැර පවත්නා බව

 

ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනැ – වැඩි අහංකාරකම් පැවැත්වීම හොද නැත

ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ – නැති දෙයක් ඉල්ලීම

 

ඇගෙන් ඇටයක් ගියා වාගේ – අකමැත්තෙන් යමක් පරිත්‍යාග කිරීමට සිදුවීම. එසේ නොමැති නම් විශාල පාඩුවක් සිදුවීම.

 

කණ කොකාගේ සුද පෙනෙන්නෙ ඉගිලෙන විටලු – කිසියම් තැනැත්තෙකුගේ සැබෑ ස්වරූපය පෙනෙන්නේ එම තැනැත්තාගේ ක්‍රියා කලාපයෙනි

 

ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කළා වාගේ – කිසියම් ගැටළුවකට යෝග්‍ය ප්‍රතිකර්මය නොයොදා වැරදි පිළියම් යෙදීම

 

ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ – අනුන් සතු දෙයක් බලහත්කාරයෙන් අයිති කර ගැනීම

එක්තරා වනාන්තරයක ලෙනක් තුළ ජීවත් වෙන ඉත්තෑවෙක් වාසය කළේය. එක් දිනක් ගමනක් ගොස් අතරමං වූ කබල්ලෑවෙක් මේ ලෙනෙහි නවාතැන් ගැනීම සදහා ඉත්තෑවගෙන් කැමැත්ත විමසා සිටියේය. ඉත්තෑවා කබල්ලෑවාට තම ලෙන තුළ නවාතැන් ගැනීමට අවසර ලබා දුන්නේය. නමුත් පසුදින උදෑසන කබල්ලෑවා ආපසු යන බවක් පෙණෙන්ට තිබුනේ නැත. දෙදෙනෙකුට වාසය කිරීමට ඉඩකඩ නොමැති බැවින් කබල්ලෑවාට එතැනින් ඉවත්වෙන ලෙස ඉත්තෑවා කබල්ලෑවාගෙන් ඉල්ලා සිටියේය.  “ නුඹට ඉඩ දිනම් නුඹ මෙතනින් වෙන තැනකට පලයන්. මට මෙතැන හොදයැයි” කබල්ලෑවා ඉත්තෑවාට පැවසුවේය. ඉත්තෑවා ඒ අවස්ථාවේ තම තියුණු උල් සහිත කූරු විහදා කබල්ලෑවාට පහර දෙන්නට විය. එහෙත් කබල්ලෑවාගේ සිරුර ආවරණය වී තිබෙන්නේ ඝණ පොතු විශේෂයකින් නිසා ඌට ඉත්තෑවාගේ පහර දීමෙන් ගණනක් නොවීය. කබල්ලෑවා ලෙන තුළම රැදුණු අතර ඉත්තෑවාට වෙනත් ලෙනක් සොයා යාමට සිදුවිය.   

 

ඉහිරැණු කිරට අඩන්නෙ මොට ද? – කිසියම් අලාභයක් සිදුවූ පසු ඒ ගැන සිතමින් පසුතැවිලි වීමෙන් පලක් නැත

 

ඇතා වැහැරුනත් කොරැහෙ නැහැවිය නොහැකිය – ආත්ම ගෞරවය ඇති උසස් පුද්ගලයො‍් ධනය හීන උවත් සමාජය ඉදිරියේ බැගෑපත් නොවෙති

 

ඇතුන් කුඹුර විනාශ කළාම ගෙදර තිබූ වංගෙඩිය කොටං බැද තැබුවා සේ – කෙනෙකු කළ වරදට වෙනත් කෙනෙකුගෙන් පළිගැනීම නැතිනම් දඩුවම් දීම

 

එක මල්ලෙ ලුණු කෑ අය – ඔවුනොවුන් අතර සමාන අදහස් ඇති බව

 

ඕවා අලින්ගේත් අපේත් වැඩ – තමන්ට කළ නොහැකි වැඩ තමන් විසින් කරන ලද බව ලෝකයාට ඇගවීම

 

ඇලි ඇතා දන් දුන්නා වාගේ – තමා සතු ඉතාම දුර්ලභ වස්තුවක් වුවද දන්දීම

 

ඇවිලෙන ගින්නට පිදුරු දමන්නා සේ – කිසියම් ප්‍රශ්නයකදී එය විසදනවා වෙනුවට ප්‍රශ්නය තවත් අවුල් කිරීම

 

ඇවිද්ද පය දහස් වටී – දේශ සංචාරයෙන් බොහෝ අද්දැකීම් ලැබේ

 

ඉක්මන් වුනහම කොරොස් කටෙත් අත දමන්න බැහැ – කලබලයට පත්වූ විට පහසු කටයුත්තක් වුවද සිදුකර ගත නොහැකි බව

 

උණු හින්ද බොන්නත් බැහැ  කිරි හින්ද අහක දාන්නත් බැහැ – උභතෝකෝටික ප්‍රශ්ණයකට මැදි වීම

 

ඉගුරු දී මිරිස් ගත්තා වාගේ – කරදරකාරී ගැටළුවක් විසදා ගැනීම සදහා යෙදූ උපක්‍රමය නිසා ඊටත් වඩා කරදරයකට පත්වීම

මේ පිරුළ සම්බන්ධව ඓතිහාසික කතාන්දරයක් තිබේ. එම සිදුවීම දෙවන රාජසිංහ රජතුමාට සම්බන්ධ එකකි. එතුමා පෘතුග්‍රීසීන් පළවා හැරීම පිණිස ලන්දේසීන්ගෙන් සහය ලබා ගත්තේය. ලන්දේසීන් විසින් මුහුදුබඩ පළාත් වලින් පෘතුග්‍රීසීන් පළවා හැරීමට කටයුතු කරන ලදී. එසේ වුවත් ඔවුන් මුහුදුබඩ පළාත්වල පාලනය උඩරට රජුට භාර නොදුන්හ. පෘතුග්‍රීසීන් වෙනුවට ඔවුන් එම ප්‍රදේශ පාලනය කළහ. මේ අවස්ථාවේදී පෘතුග්‍රීසීන් එළවා දැමීමට ලන්දේසීන්ගෙන් සහය පැතීම ඉගුරු දී මිරිස් ගත්තා වාගේ යැයි රජතුමා ප්‍රකාශ කළේලු.

 

ඔරුවෙ බර අඩු කිරීමට කද කරට ගත්තා වාගේ – අණුවන ක්‍රියාවක් සිදු කිරීම

 

කකුළුවා පැටවුන්ට කෙලින් යන්න ඉගැන්නුවා වාගේ – තමන් වැරදි කරමින නිවැරදි වන්න යැයි අනුන්ට පැවසීම

 

එක ගලෙන් කුරුල්ලො දෙදෙනෙකු මරා දැමීම – එක් ප්‍රයන්තයකින් වැඩිපුර ප්‍රථිපල නෙළා ගැනීම

 

එපා වාහෙට හොදි බෙදන්නා වාගේ – නිගරු ලෙසත් නොසැලකිලිමත් ලෙසත් කටයුතු කිරීම

 

 ඉබ්බා දියට දමන කළ අන්නෑවේ කීවාලු – දඩුවමක විලාසයෙන් යහපතක් සිදුවීම

කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි – තම කටයුතු පිළිබද අතිශයින් වර්නනා කිරීම

රජ වාසලට කකුරු සපයන එක්තරා පුද්ගලයෙක් ගම්මානයක වාසය කළේය. ඔහු රජවාසලට ගෙනෙන හකුරු සුදු පැහැතිය. “ මේ හකුරු මේ තරම් සුදු පැහැති වන්නේ කුමක් හෙයින්දැ” යි රජතුමා හකුරු ගෙනෙන මිනිසාගෙන් විමසුවේය. එම මිනිසා “ දේවයන් වහන්ස මා හකුරු වක්කරන්නේ උඩට උඩුවියන්ද පයට පාවඩද වටේට වටතිරද ඇදීමෙන් අනතුරුව යැ” යි කීවේය. මේ කතාවේ ඇත්ත නැත්ත විමසීමට රජතුමා වෙස්වලාගෙන හකුරු හදන ස්ථානයට ගියේය. ඒ අවස්ථාවේදී ඔහුට දක්නට ලැබුණේ දහඩිය පෙරාගෙන කිලිටි රෙදි කඩක් ඇදගෙන කුඩා අතු පැළක් තුළ වළං කබලක ලා පොල්කටු හැන්දකින් හකුරු හැදිගාන මිනිසෙකි. ඔහු රජ මැදුරේදී පැවසූ වටරෙදි, උඩුවියන්, පාවඩ මේ කිසිවක් මෙහිදී රජතුමාට දක්නට ලැබුණේ නැත. රජතුමා එම මිනිසාගෙන් ඒපිළිබදව විමසූ විය ඔහුගේ පිළිතුර වූයේ “කියනකොට එහෙමයි කරනතොට මෙහෙමයි” කියාය.  

 

 

ගමරාළගේ වංගෙඩිය වාගේ – කාර්ය ගණනාවක් සිදු කිරීම සදහා එකම උපකරණය භාවිතා කිරීම

වාඩිවීම, අටුවට නැගීම, දොරට හේත්තු කිරීම, වී කෙටීම ආදී කාර්යන් රාශියක් සදහා එක් ගමරාළ කෙනෙක් තමන්ගේ වංගෙඩිය භාවිතා කළේලු.

 

ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට මගුල් ලු – අනුන්ගේ වැඩ වලින් අනෙක් අය ලාභ ප්‍රයෝජන ලබා ගැනීම

 

ගිය ලූලා මහඑකා – නැති වූ දෙයක වටිනාකම වැඩිබව පැවසීම

 

කිරි ගහට ඇන්නා වාගේ – නියත වශයෙන්ම යමක් සාර්ථක වනබව

 

නොහැකි කාර්ය්‍යකට සම්බන්ධ වීම

යහළුවන් දෙදෙනෙක් වනාන්තරයක් මැදින් ගමනක් ගියාය. එසේ ගමන් කරනා අතර තුර ගසක් යට නිදා සිටිනා කොටියෙකු ඔවුන් දුටුවේය. ගසින් මතුවූ මුලක් හා බිම අතර වූ අවකාශය තුළින් කොටියා තම වලිගය රිංගවා ගෙන සිටියේය. මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක් කොටියාගේ වලිගය අල්ලා ගත්තේය. අනෙක් මිතුරාගේ අතැති කෙටේරියෙන් කොටියාගේ හිසට ‍කොටන්න යැයි හෙතෙම ඉල්ලා සිටියේය. එහෙත් කෙටේරිය අමෝරාගෙන කොටියා ඉදිරියට ගිය ඔහු “ මූගේ මූණ මගේ මාමාගේ වාගේ, මට නම් බැහැ මූ මරන්න” යැයි කියමින් පස්සට විය. එසේනම් කෙටේරිය මට දී මේ වලිගය අල්ලා ගන්න යැයි පැවසූ මිතුරා දෙවැන්නාට කොටි වලිගය අල්ලා ගන්නට දී කෙටේරිය සියතට ගෙන “ එහෙනම් මාමලා බෑනලා ඕනෑ දෙයක් කර ගන්න යැයි කියමින්” එතැනින් පිටව ගියේය.

 

කිරි කලයට ගොම ටිකක් දැම්මා වාගේ – සුළු වරදක් නිසා බරපතල හානියක් සිදුවිය හැකි බව

 

කුරුල්ලා මිටෙන් ඇරියා වාගෙයි – ලොකු නිදහසක් ලැබීම

 

කොකා බක තපස් රැක්කා වාගේ – තමා සිල්වතෙකු බව බොරුවට පෙන්වීම

 

කොක්කුන්ගෙන් සුදු රෙදි ඉල්ලුවා වාගේ – ලබාගත නොහැකි දෙයක් ඉල්ලීම

 

කණා ගල් ගහන්නා වාගේ – අහඹු ලෙස යමක් සාර්ථක විය හැකිය.

 

කොටි වලිගෙ අල්ලා ගත්තා වාගේ – අත්අරින්නටත් නොහැකි, වැඩි කාලයක් රැදී සිටීමටත්

 

කොටියාට හරක් පට්ටිය භාර දුන්නා වාගේ – කෛරාටික පුද්ගලයන්ට පරිපාලනය භාරදීම

 

කොහොඹ ගහට කරවිල වැල ගියා වාගේ – දුර්ගුණ ඇති දෙදෙනෙකුගේ එක්වීමක් ගැන පැවසීමකදී

 

ගගට ඉණි කැපුවා වාගේ – මහන්දියෙන් නිසි ප්‍රයෝජනයක් නොලැබීම

 

ගගෙන් දියබී මුහුදට ආවඩන්නා සේ – සුළු මිනිසෙකුගෙන් වැඩක් කරවාගෙන එහි ගෞරවය බලවතෙකු විසින් ලබා ගැනීම

 

ගලේ කෙටුව අකුර වාගේ – ස්ථාවර බව පැවසීමේදී

 

ගලෙන් පට්ටයක් ගන්නා වාගේ – මසුරෙකුගෙන් සුළු මුදලක්වත් ලබාගත නොහැකි බව

 

ගහ දන්නා අයට කොළ කඩාපාන්නා වාගේ – හොදින් දන්නා තොරතුරක් ගැන පුනපුනා පැවසීම

 

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ – එක් කරදරයකට මුහුණ පෑ මිනිසෙකු තවත් කරදරයකට ගොදුරු වීම

 

ගහේ කටු උල්කළ මනාද? – දෙමාපියන්ගේ ගතිගුණ දරුවන්ට ලැබෙන බව

 

ගින්නක් නොමැතිව දුමක් නොනගී – හැම ඵලයකටම හේතුවක් ඇතිබව

සෙවණට සිටි ගහේ අත්ත කපා දැම්මා වාගේ – තමාට උදව් උපකාර කළ කෙනෙකුට එරෙහිව තටයුතු කිරීම

 

ගිනි පේල්ලෙන් බැටකෑ මිනිහා කණා මැදිරියාටත් බයලු – වරක් හිරිවැර විද කටුක අද්දැකීම් ලද පසු ඊටවඩා සුළු දේකට වුවද බියවන බව

 

බල්ලාගේ වැඩේ බූරුවා බාරගත්තා වාගේ – තමන්ට අයිති නැති ක්‍රියාවන් සිදු කිරීමට ගොස් දඩුවම් විදීමට සිදුවීම.

 

කිරියි පැණියි වාගේ – හොද සම්බන්ධයක් ඇති බව

 

බල්ලෙක් බිරුවට කන්දක් පාත්වේ ද ? – නිවට පුද්ගලයින් බැනුම් ආදියෙන් නින්දා කරනු ලබුවත් උසස් ගුණවත් පුද්ගලයන්ගේ කීර්තියට හා හොද නමට කැළලක් නොවීම

 

ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකිය – පෙර කරන ලද මෝඩකම් වලට යළින් ප්‍රතිකර්මයක් කළ නොහැකි බව

 

හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුණා වාගෙයි – දුකක් විදගෙන සිටින අතර තවත් විපතක් පැමිණීම

 

ගිරේට අසුවූ පුවක් ගෙඩිය මෙන් – කිසිදු නිදහසක් නොමැති බව

 

ගිලී මලෙන් ඇත දත සුද්දෝ – ගතානුගතික ජීවන ක්‍රම පුරුදු වු අය අතර නිදහසේ කටයුතු කරන්නන්ද සිටින බව

 

ගෙරවූ තරමට වහින්නේ නැහැ – කථාවේ තරමට වහින්නේ නැහැ

 

බඩේ ගිජු තියාගෙන කතා කරනවා වාගේ – තමාගේ අදහස් සගවා වෙනත් කතා ඉදිරිපත් කිරීම

 

චක්‍රවර්තී රාජ්‍යක් පහළ වූවා වාගේ – සම්පත් රැසක් ලැබීම

 

තක්සලාවටත් ගොස් නිකම්ම ආවා වාගේ – යම්කිසි දෙයක් ලබා ගැනීම පිණිස සුදුසුම ස්ථානයටත් ගොස් එයින් නිසි ‍ප්‍රයෝජන ලබා නොගැනීම

 

උරුලෑවා ගිය පාර වාගේ – අධම පුද්ගලයන් කරන නරක වැඩවලට අපකීර්තිය රට පුරා පැතිරෙයි

 

තට්ටු කරන්නාට දොර ඇරේ – යමක් ලබාගත යුත්තේ උත්සාහයෙනි

 

වැද්දන් කියන බණ වාගේ – තමන් සතුන් මරමින් අනුන්ට ඉන් මිදෙන්න යැයි අවවාද කිරීම

 

තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කීවාලු – තමන් වැඩ කරන්නෙ තමන්ට වුවමනා හැටියටයි

 

තැඹිලි ගෙඩිය උඩ වැසූ කපුටා වාගෙයි – කැපී පෙනෙන අවලස්සනක් හා නොගැළපීමක් ගැන පැවසීමේදී

 

ත් නැතිදා උක්දඩු ගිනි තපින්නද? – යමක් ලැබිය යුත්තතේ සුදුසු කාලයේදී මිස නුසුදුසු කාලයේදී නොවන බව

 

දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එනවා වාගේ – යහපත් කටයුත්තකට ගොස් අයහපත් කාර්ය්‍යක ද නිරත වීම

 

දවල් මිගෙල් රෑ දනියෙල් – දෙබිඩි චරිත ඇතිව කටයුතු කිරීම

 

බැදගත්තු බෙරේ ගහන්න ඕනෑ – කවර කටයුත්තක් හෝ ආරම්භ කළහොත් එය අවසන් කළ යුතු බව

 

නිකිණි සොයන්නට ගියා වාගේ – කොහේවත් නෙමැති දෙයක් සොයන්නට යාම

 

දෙයියන්ගේ හාල් කැවිලා වාගේ – හරි සිහියක් නොමැති බව

 

බට කැලේට ගිනි තැබුවා වාගේ – ගෝෂාකාරී ලෙස වේගයෙන් පැතිර යන බව

 

හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වාගේ – නුසුදුස්සෙකුගෙන් උපදෙස් පැතීම

 

නිතර දකින කුකුළාගේ කරමලය සුදුයි වාගේ – නිතර නිතර යම් දෙයක් දැකීමෙන් එහි යථා ස්වාභාවය අමතක කර දැමීම

 

දො‍ළොස් මහේ පහණ වාගේ – යමක් නිරතුරුවම දීප්තිමත්ව තිබීම

 

යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ –  නැවත නොඑන්න යන පුද්ගලයා විශාල ලෙස අලාභ සිදුකරමින් යනබව

 

නයාට අදුකොළ වාගේ – නුරුස්නාසුළු බව

 

නයාට හගලා‍ පොල්ල වරද්ද ගත්තා වාගේ – නැති සතුරෙකු ඇතිකර ගැනීම

 

 නරියා පඹගාලේ පැටලුනා වාගේ – කෛරාටික පුද්ගලයෙකු කිසියම් ප්‍රයෝගයකට හසුවීම

නරියා යනුවෙන් හදුන්වන්නේ සත්ව ලෝකයේ සිටින කපටිම සත්වයා ලෙසය. එවැනි සතෙකු පඹ ගාලක පැටලීම විශේෂ සිද්ධියකි. සෙසු සත්වයන්ව උගුල් වලට අල්ලා තමාගේ වාසිය සලසා ගැනීම නරියාගේ සිරිතය. එහෙත් ඔහු පඹගාලේ ලැටලුණේය.

 

යකඩ පිළිස්සුණු ගෙදරක පුළුං ඉතිරි වේද? – විෂාල විනාශයක් වූ තැන සුළුසුළු දේවල් ඉතිරි නොවන බව

 

නි‍යපොත්තෙන් කඩන්න තිබුණු ගහ පොරවෙන් කපන්න බැරිවා වා‍ගේ – ඉතා පහසුවෙන් සිදු කළ හැකි කාර්ය්‍යක් කල් දැමීම නිසා බලවත් කරදර ඇති වීම

සුදුලූනු පොඩි කරන්න එපා – බොරුවෙන් කෙනෙකු මුළා නොකරන ලෙස ඉල්ලීම

 

බළලුන් ලවා කොස්ඇට බෑවුවා වාගේ – කිරීමට අපහසු කාර්ය්‍යන් වෙනත් කෙනෙකු ප්‍රයෝගකාරි ලෙස යොදවා සිදු කිරීම  

 

බාගෙන කන්න තියෙන දේ ඉහගෙන කනවා වාගේ – ටිකින් ටික ප්‍රයෝජනයට ගතහැකි දේ එකවර ලබා ගන්නට යාමෙන් සියල්ලම නැති වීම

 

දාහට අරන් පන්සීයට දුන්නා වා‍ගේ – කනස්සලලෙන් සිටීම

 

ලෙඩ කපුටා වැල කන්නා වාගෙයි – අකාර්යක්ෂමතාවනේ වැඩ කිරීම

 

යකාට බයනම් සොහොනේ ගෙවල් හදයිද? – කවර තරාතිරමක දරුණු පුද්ගලයෙකුට වුවත් බිය නොවන බව

 

හතරබීරි කථාව වාගෙයි – එකට එකක් සම්බන්ධ නැති අවුල් සහිත ප්‍රකාශයක්

 

ළිදේ සිටින මැඩියා වාගේ – අවට ලෝකය පිළිබද කිසිවක් නොදන්නා බව  

 

සෙක්කුවේ බැන්ද හරකා වාගේ – විවේකයකින් තොරව දිගටම වැඩ කිරීම

 

පල නොකියා පලා බෙදුවා වාගේ – කිසියම් කරුණක් සෘජු ලෙස නොපවසා වෙනත් ක්‍රමයකින් ඉගි කොට දැක්වීම

 

නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා වාගේ – යමක් පිළීබද නිසි අවබෝධයක් නොමැතිව ඒ බව දන්නා සේ පෙන්වා කටයුතු කර පසුව අමාරුවේ වැටීම

එක්තරා ගමක කම්මල් වැඩ කරමින් ජීවත් වන පවුලක් වාසය ‍කළේය. මේ ලෝකුරු පුත්‍රයා කම්මල් වැඩ කරමින් තමන්ගේ මෑණියන්ද රැකබලා ගත්තේය. දිනක් දෙමළ මනුෂ්‍යකේ තුවක්කුවක්ද රැගෙන කම්මලට පැමිණ ඒ තුළ උණ්ඩයක් සිරවී ඇතිබව පවසා එය ඉවත් කරදෙන ලෙස ඉල්ලා සිටියේය. දෙමළ මිනිසා දෙමළෙන් කී කිසිවක් කම්මල් කරුවාට නොවැටහුනු නමුත් පැවසූ දේ තේරුම් ගත්තා සේ  මයින හමෙන් පිඹ ගිනි දල්වා තුවක්කුව රත් කරන්නට පටන් ගත්තේය. තුවක්කු බටය තුළ උණ්ඩය සිරවී ඇති හෙයින් එය රත් කිරීම අනතුරු දායක බව දෙමළ මිනිසා දෙමළයෙන් කීවේය. ඒ ප්‍රකාශද තමාට නොවැටහුණත් තේරුම් ගත්බව පවසමින් කම්මල් කරුවා තුවක්කු බටය රත්කර උණ්ඩය ඉවත ගැනීමට තැත් කළ අතර එය පුපුරා ගියේය. එම පිපිරීම හේතුකොට ගනිමින් කම්මල්කරුවා මිය ගියේය.  “නොදන්නා දෙමළෙට ගිහින් චරිතෙ නහ ගත්තා ” යි කියමින් කම්මල්කරුවාගේ මෑණියන් හඩන්නට පටන් ගත්තේය. 

 

පරංගියා කෝට්ටේ ගියා වාගේ – කෙටි මාර්ගයක් තිබියදී දුර පාරකින් ගමන් යෑම

පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණි සමයේ මෙරට අගනුවර වූයේ කෝට්ටේය. කොළඹට ගොඩබට පෘතුග්‍රීසීහුන්ට ‍කෝට්ටේ රජු මුණගැසීමට අවශ්‍ය විය. කොළඹ සිට කෝට්ටේ රාජ්‍යට සැතපුම් හතක්, අටක් තරම් දුරක් ඇත. එහෙත් කෝට්ටේ රාජධානිය පිහිටියේ කොළඹින් ඉතා දුරබැර යැයි පෘතුග්‍රීසීන්ට එත්තු ගැන්වීම පිණිස රාජ පුරුෂයෝ ඔවුන් දිගු පාරකින් රජ මැදුර කරා පෘතුග්‍රීසී පිරිස රැගෙන ආවේය. රාජ පුරුෂයෝ මේ කළ රැවටීම පෘතුග්‍රීසීන් පසුව දැනගත්හ.

 

පනංගල විදානෙගේ පෙට්ටගම වාගේ – ව්‍යාජ පහොසත්කම් පෙන්වමින් රටවැසින් මුළාවට පත් කිරීම

 

තමන් හිසට තම අතමය සෙවණැල්ල – තමාට පිහිට තමාම බව

 

බල්ලන්ට ලෙලි පොල් දුන්නා වාගේ – ප්‍රයෝජනයට ගත නොහැකි දෙයක් අනුන්ට ප්‍රදානය කිරීම

 

වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුණා වාගේ – පිළිසරණක් පතාගෙන ගිය ස්ථානයකින් විපතක් සිදුවීම

 

පාළු ගෙයි වළං බින්දා වාගෙයි – කිසි කෙනෙකු නොමැති තැනක තම අභිමතය පරිදි කටයුතු කිරීම

 

වැල යන අතට මැස්ස දමන්නා වාගේ – කිසිවක් වෙනස් කරන්නට නොගොස් කෙරෙන හැටියකට කෙරෙන්න හැරීම

 

වැලි මිරිකා තෙල් ගන්න උත්සහ කරන්නා සේ – පලක් නොමැති දේකට වෑයම් කිරීම

 

හොදට නරකට දෙකට කටමය – යහපත් වචන මෙන්නම අයහපත් වචනද පිට වන්නේ එකම කටින්ය

 

පැණි වරකෙටත් හෙණ වදිනවලු – ඉතා විශ්වාසවන්තව හා හිතවත්ව සිටින අයට පවා සතුරන් සිටින බව

 

පිරුණු කළේ දිය නොසැලේ – බුද්ධිමත් පුද්ගලයා තැම්පත් පුද්ගලයෙකු බවත් එවැන්නන් බොරු ඝෝෂා නොකරන බවත්ය

පැන යන මුවන් දැක නොදමවු නෙළූ පළා – ඇතින් තිබෙන වටිනා වස්තුවක් ලබා ගැනීමමේ අපේක්ෂාවෙන් අතේ තිබෙන දෙය ඉවත දැමීම මෝඩ ක්‍රියාවකි

එක්තරා ගැමියෙක් පළා නෙළීමට ඕවිටකට ගියේය. අවශ්‍ය තරම් පළා නෙළා ගත් ඔහුට දිය බීමට එන මුවන් රංචුවක් දක්නට ලැබුණේය. මුවකු මරාගෙන මස් කෑ යුතුයැයි සිතූ හෙතෙම නෙළූ පළා ටික ඉවත දමා පොල්ලක් ද අතැතිව මුවන් පසුපස ලුහුබැන්දේය. එහෙත් කැලෑවට වැදුණු මුවන් අල්ලා ගැනීමට ගැමියා අපොහොසත් විය.  පළා ටිකවත් රැගෙන නිවසට යා යුතුයැයි සිතූ ගැමියා ඉවත දමන ලද පලා ටික සොයා ආපසු පැමිණියේය. ඒ වන විටත් එතැනට පැමිණි මුව රැලක් විසින් ඒ පළා ටිකද ආහාරයට ගෙන තිබුණි. මුව මසුත් පළාත් අහිමි කරගත් මිනිසා හිස් අතින් නිවසට ගියේය.

 

ජාඩියට මූඩිය වාගේ – එකිනෙක මනා සේ ගැළපෙන බව

 

පුහුල් හොරා කරෙන් දැනේ – සොරකම් කළ අයෙකු ඔහුගේ හැසිරීමෙන් අල්ලා ගතහැකි බව

එක්තරා ගම්මානයක ගමරාල කෙනෙක් විය. ඔහුට එළවළු කොටුවක් තිබුණි. එහි අළු පුහුල් වැලක ලොකු ගෙඩියක් හටගෙන තිබුණි. පුහුල හොදට පැසී තිබෙනු දුටු ගමරාළ පසුදින එය කඩාගනු පිණිස කොටුවට ගියේය. ඔහුට දකින්නට ලැබුණේ පුහුල කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බවකි. සොරා අල්ලා ගත යුතුයැයි සිතූ ගමරාළ ඒ සදහා උපායක් යෙදීය. එම උපාය නම් සීදුවක් නාද කරමින් ගම පුරා සැරිසැරීමය. එසේ ගමරාළ ගමන් කරන විට මෙසේ ගමන් කිරීමටහෙුතුව කුමක් දැයි මිනිසුන් ගමරාළගෙන් ප්‍රශ්ණ කරති. එයට හේතුව ලෙස තම එළවළු කොටුවේ තිබූ අළු පුහුල් ගෙඩිය ඊයේ රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ඇතිබව එහි පැමිණි ජනතාවට ප්‍රකාශ කළේය. පුහුල කපාගෙන ගිය සොරාද මේ අතර විය. ගමරාළ පුහුල පිළිබද විස්තර පවසන විට සොරා තමාගේ කර පිස දැම්මේ පෙරදින පුහුල කර තබාගෙන යනවිට ගෑවුණු අළු තවමත් ඇතැයි සැක සිතමිනි. මෙම ක්‍රියාව දුටු ගමරාළ “ පුහුල් හොරා කරෙන් දැනේ ” යනුවෙන් ප්‍රකාශ කරමින් සොරා අල්ලා ගත්තේය.

 

දෙබරයට ගල් ගැසුවා වාගේ – ජනසා කුපිත වී නැගී සිටීම

 

පෝය හෙවිසිය වාගේ – යම් කාර්යක් දිගටම කරගෙන යාම

 

තණකොළ කපන්න ගිය මිනිහා කිතුලට නැංගා වාගේ – අවස්ථානුකූලව කෛරාටික ලෙස පිළිතුරු දී ප්‍රශ්නයෙන් මග හැරීම

 

බලු වලිගය උණ පුරු‍කේ ලූවත් ඇද අරෙන්නේ නැත – දුදනන්ගේ දුර්ගති කවර ආකාරයකින්වත් තුරන් කළ නොහැකි බව

 

දැනගෙන ගියොත් කරතගම නොදැන ගියොත් අතරමග – සැලසුමක් නොමැතිව කරන ලද කාර්ය්‍ය අසාර්ථක වන බව

 

දියපිට ඇදි ඉරක් මෙන් – ඉතාමත් ඉක්මනින් අමතක වී යන බව

 

බැටලු හම පොරවාගත් වෘක්කයා වාගේ – යහපත් ගතිගුණ නොමැති කෲර මිනිසුන් තමා කෙරේ එවැනි ගුණ ඇතැයි බාහිර පෙනුමෙන් ප්‍රදර්ශනය කිරිම

 

බීරි අලියට වීනා වයනවා වාගේ – මොන තරම් අවවාද අනුශාසනා කළත් ඒවා නොපිළිපැදීම

 

බෙල්ලක් නැතිව තැල්ලක් මොටද – මූලික අවශ්‍යතාව නොමැතිව අවශේෂ දෙයින් පලක් නොමැති බව

 

මඩේ සිටවූ ඉන්න වාගේ – ස්ථිර ප්‍රථිපත්තියක් නොමැති බව

 

මරන තුනක් ඇති මිනිසා පැණි කෑවා වාගේ – සසර බිය කොතෙක් තිබුණත් පස්කම් සැපතෙහි ගිජු වීම

 

මහා පතරංග ජාතකය වාගේ – ඉතා දිග කථාව

 

ගොළුවා දුටු හීනය වාගේ – අනුන්ට නොපැවසිය හැකි අද්දැකීමක්

 

මැණික් ගලේ කොවලංගුවක් හිටියා වාගෙයි – උසස් වස්තුවක වුවද පළුද්දක් ඇති වීමෙන් එහි අගය අඩුවේ (කෝවලංගුව යනු මැණික් ගලක් තුළ පිහිටන වළාකුළක් වැනි සුදු පාට ලක්ෂණය)

 

මීයක් කඩන්නේ අත ලෙව කන්න ද? – කිසියම් කාර්යක් කරන්නේ ලාභයක්ද අපේක්ෂාවෙන් බව

නීලමහා යෝධයා වාගේ- කෙනෙකුගේ වීරත්වය හා ශක්ති සම්පන්න භාවය පිළිබදව පැවසේ

නීලමහා යෝධයා ගජබා රජුගේ හමුදාවේ සිටි වීරයෙකි. යගදාවෙන් ගසා මුහුදු දිය දෙබෑ කොට සොළි රටට ගොස් එරට හමුදාව සමග සටන් කරමින් මෙරටින් එරටට ගෙනගිය දොළොස් දහසක් සෙනගද එරටින් දොළොස් දහසක සෙනගක් සමග විසි හතර දහසක ‍ජනයා මෙරටට ගෙන ආවේ නීලමහා යෝධයා විසිනි.

 

යම රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වාගෙයි – යුක්ති සහගත විනිශ්චයක් හා ඊට අදාළ දඩුවම් පැමිණවීම

 

රජ ගෙදර පරවියා වාගේ – ඉතා සතුටින් හා ‍සැපෙන් කල් ගෙවීම

 

රයිගමයයි ගම්පොළයයි වාගේ – එක හා සමාන කපටි පුද්ගලයන් දෙදෙනෙක් ගැන කියැවේ

එක් දිනක් රයිගමයාත් ගම්පොළයාත් අම්බලමකදී හමුවී වෙළදාමක් කරන්නට කථාබස් කර ගත්තේය. වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොළයා පොරොන්දු විය. රයිගමයා පොරොන්දු වූයේ වෙළදාමට බුලත් රැගෙන ඒමටය. ගම්පොළයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩකි. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොළය. පසුදා හිමිදිරියේ වෙළදාම සදහා යාමේ බලාපොරොත්තුවෙන් කදවල් දෙක රැගෙන දෙදෙනාම අම්බලමට ඇතුළු වූහ. පාන්දරම අවදි වූ ගම්පොළයා රයිගමයා ගෙන ආ කද රැගෙන හොරෙන්ම පළා ගියේය. පසුව අවදි වූ රයිගමයා අවට බලන විට ගම්පොළයා තමාගේ කද රැගෙන පළා ගොස් ඇති ව දැක “ වූ රැවටුණා ” යැයි සිතා ගම්පොළයා ගෙන ආ පුවක් කද ඔසවා ගෙන සතුටින් යුතුව වෙළදාම සදහා පිටත්ව ගියේය. තමාද රැවටී සිටින බව ඔහුට වැටහුණේ කදත් රැගෙන ටික දුරක් ගියාට පසුවය.

 

රුහුණුත් ගිහින් කිරි පැණි නොකා ආ‍වා සේ – කිසියම් කරුණක වූණතාවයක් ගැන පැවසීමට

 

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වාගෙයි – බලවත් විපතක් සිදුවූ විට ඒ ගැන නොතකා විනෝද වීම

 

ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි – උසස් තත්වයක් දරන්නෙකු වුවද පහත් වැඩක් සිදු කිරීම

 

 

පිස්සිගේ පළා මල්ල වාගෙයි – අපිළිවෙලින් යුක්ත අවුල් වියවුල් වූ තැනැත්තන් පිළිබද පැවසීමේදී යොදා ගැනේ

 

ලබ්බට තිබ්බ අතමයි පුහුලටත් – එක් වරදක් කළ තැනැත්තා යළිත් එවැනි වරදක් කිරීමට පෙළඹෙන බව

 

ලබ්බෙ තොවිලෙ වාගේ – සීමා සහිත ඉඩක් ඇති තැනක වැඩ කටයුතු රැසක් සිදු කිරීම

එක්තරා ගමරාළ කෙනෙකුගේ විශාල ලබු ගෙඩියක් හටගෙන තිබුණි. හෙතෙම ගැමියන් කිහිප දෙනෙකු ලවා එය ගෙදර ගෙනගොස් ඇස්ස කපා ශුද්ධ කොට වියලෙන්නට තැබුවේය. නොබෝ කාලයකින් ගමරාළට තොවිලයක් කිරීමට සිදුවිය. ගමරාල යකැදුරන් හමුවී බුලත් දී ආරාධනා කොට තොවිලයට අවශ්‍ය කටයුතුද යෙදීය. යකැදුරන් පැමිණ තොවිලය නටන්නා වූ දින රාත්‍රීයේ මහා වැස්සක් වසින්නට පටන් ගත්තේය. මුළු පළාතම වතුරෙන් යටවී ගම රාළගේ ගෙදර සියල්ලෝමද අර යෝධ ලබු ගෙඩිය තුළට රිංගා ගත්තේය. ලබු ගෙඩිය තුළට වතුර ඒම වැළැක්වීම පිණිස එහි ඇස්ස වසා ඉටි තබන ලදී. යකැදුරෝ ලබු ගෙඩිය තුළ යාගය සිදු කළෝය. ලබු ගෙඩිය ජලයේ පාවී මුහුදට ගියේය. යෝධ ම්‍ත්සයෙක් එය මුහුදේදී ගිල දැම්මේය. එදින ගැමියෙක් ව්‍යංජනයකට සුදුසු යමක් සොයා ගොස් උකුස්සා දැක වු මරාගෙන අවුත් බිරියට දුන්නේය. මේ අකුස්සාගේ පිහාටු ගලවා බඩ පැළුවේය. බඩ තුළ මත්සයෙකු සිටින අයුරු දුටු ඕ සැමියාට කථාකොට ඒයද ‍පෙන්වූවාය. මත්සයා ඉවතට ගත් ඕ උගේද බඩ පැළුවේය. මාළුවාගේ බඩ ඇතුළේ ලබු ගෙඩියකි. ස්ත්‍රි කැත්තක් ගෙන ලබු ගෙඩියද පැළුවොය.  “මිනිස්සු, මිනිස්සු ”  කියමින් ලබු ගෙඩිය තුළ සිරවී සිටි පිරිස සියල්ලෝම මහ හඩින් දවුල් බෙර ගසමින් ඉවතට පැමිණියෝය.

 

ලූලා නැති වලට කණයා පණ්ඩිතයා ලු – ප්‍රධානියෙක් නැති අවස්ථාවේ සුළු පුද්ගලයෙක් ප්‍රධානත්වය ගෙන පණ්ඩිතකම් කියා පෑම.

නරියා හුවෙන් හඳුනා ගත හැකිය – කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය

 

රන් රස වගෙයි – රත්තරන් හා රසදිය මුසු වුවාක් මෙන් (ඉතා යෝග්‍ය ගැළපීමක්)

 

නටන්නට බැරි කෙනා පොලව ඇදයි කීම – අදක්ෂයා තම බැරිකම වහගැනීමට වෙන දෙයක වරදක් කීම

 

පනින්නට පෙර සිතා බලනු – යමක් කිරීමට පෙර කල්පනා කර බැලිය යුතුයි

 

වක්කඩ කැඩුවා වාගේ – නොනවත්තවා කරගෙන යාම

 

වක්කඩේ හකුරු හැංගුවා වාගෙයි – නුසුදුසු ස්ථානයක යමක් පරිස්සමට තැබීම

 

කකුළුවා නටන්නේ දිය රත්වෙන තුරුලු – විපතකට පත්වීමට පෙර තාවකාලික සතුටක් ලැබීම

 

දී කිරට බළලුත් සාක්කිලු – කවුරුත් කථා කරන්නේ වාසි පැත්තට බව

 

පුහුල් හොරා කරෙන් දැනේ – බාහිර ඉරියවු වලින් වරදකරු සොයා ගැනීම

  

පවට පින් දෙන්න බෑ – බලහත්කාරයෙන් කෙනෙකුට යහපතක් කල නොහැකිය

 

වත්ත බද්ධට දී ඇස්සට දත නියවන්නා වාගෙයි – තම ධනය විනාශ කරගෙන අනුන්ගේ පිහිට ප්‍රාර්ථනා කිරීම

 

අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ – නිෂ්ඵල කාර්යයක නිරත වීම

 

කොට බල්ලාගේ හාදකම වගෙයි – බල්ලා හිතවත් කම පෙන්වන්නේ වල්ගය වැනීමෙනුයි.  එහෙත් වල්ගය කොට බල්ලෙකුට එසේ කල නොහැක

 

වැද්දාට ගොරක දඩමස් කළ හැකිලු – උපායශීලී බව හා කුසලතා ඇති අයට යමක් නිර්මාණය කල හැකිබව

 

ගිලී මලේ ඇත දත සුද්දෝ – ඉතා දුර්ලභ මිනිසුන් සිටීම

 

නරියා පඹගාලේ පැටලුනා වාගේ – කෛරාටික පුද්ගලයෙකු කිසියම් ප්‍රයෝගයකට හසුවීම

නරියා යනුවෙන් හදුන්වන්නේ සත්ව ලෝකයේ සිටින කපටිම සත්වයා ලෙසය. එවැනි සතෙකු පඹ ගාලක පැටලීම විශේෂ සිද්ධියකි. සෙසු සත්වයන්ව උගුල් වලට අල්ලා තමාගේ වාසිය සලසා ගැනීම නරියාගේ සිරිතය. එහෙත් ඔහු පඹගාලේ ලැටලුණේය.

 

ඌරන් ඉදිරියේ මුතු නොදමනු -අගය නොදත් කෙනෙකු ඉදිරියේ කිසිදෙයක් නොකල යුතුය

 

වීදුරු ගෙවල් වල සිට ගල් ගසන්නා වාගේ – තමන් අන්තරාදායක ස්ථානයක සිට සෙස්සන්ට අභියෝග කිරීම

 

නයාට අඳුකොළ වගෙයි – දැකීමට කොහෙත්ම අකමැති වීම

 

සකස්කඩ නොකී කට උගේ කට හුඹස්කට – නිවැරදිව වචන උච්චාරණය කිරීම සදහා සකස්කඩ කියවිය යුතු බව

 

ගැරඬි මරා පව් පුරවා ගැනීම – අහිංසකයන් ට හිරිහැර කිරීම සුදුසු නොවන බව

 

සංඝරාජ වුනත් ගම තුම්පණේ යැයි කීවා සේ – කෙතරම් උසස් තානාන්තර දැරුවත් ආවේණික ගති ලක්ෂණ එලෙසම පැවතීම

 

පුවක් ගහෙන් බහින්නා වගේ – යම්දෙයක් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් කිරීම

 

හිත ඇත්නම් පත කුඩාද? – සිතේ ධෛර්ය ඇතිකළ ඕනෑම දෙයක් සිදුකළ හැකි බව

 

කබලෙන් ළිපට වැටුනා වගේ – විපතට පත්වූ අයෙක් ඊටත් වඩා විපතකට පත් වීම

 

සිංහ වෙස්ගත් නරියා වාගේ – ගරු බුහුමන් ලැබූ පුද්ගලයාගේ යථා ස්වාභාවය හෙළි වූ පසුව ඔහු සමාජයෙන් මට්ටු වෙනබව

වනාන්තරයේ විසු නරියෙක් සායම් භාජනයකට වැටී සියොළග කොළපැහැ ගැන්විණ. මේ සිද්ධිය ප්‍රයෝජනයට ගත් නරියා තමා වන සතුන්ගේ රාජ්‍යත්වට පත් කරන ලදැයි ප්‍රචාරය ක‍ළේය. වන සතුන්ද ඒ බව විශ්වාස කළේය. අලි ඇතුන්ද, සිංහ කොටි ආදී සතුන් ද නරියාගේ නායකත්වය පිළිගෙන සිටින බව පෙනෙන්නට තිබිණ. එබැවින් නරියා සෙසු නරින්ට ආඩම්බර කම් දක්වමින් සිටියේය. අනෙක් නරින් ඌ සමග අමනාප වූවේය. ව්‍යාජ ලෙස රජවූ නරියාට පාඩමක් ඉගැන්වීමට ඔවුන් කල්පනා කළේය. දිනක් නරියා උස් අසුනක හිදගෙන සතුන්ගේ සභාවක් පැවැත් වූයේය. එවිට ඈතින් සිටි නරි රංචුව “හූ” කියන්නට පටන් ගත්තේය. එම “හූ” හඩ ඇසෙත්ම තමාගේ ව්‍යාජ රජකම ගැන අමතක විය. ඌ ද මහ හඩින් හූ කියන්නට පටන් ගත්තේය. මේ නිසා තමන් රවටාගෙන සිටීම ගැන අලි, ඇතුන්, සිංහ, කොටි ආදී සතුන් සියළු දෙනාටම හොදටම කේන්ති ගියේය. එකෙනෙහිම කොටියා ව්‍යාජ නරි රජු කරා පැන ඌ මරා දැම්මේය.

  

පිරුණු කලේ දිය නොසැලේ – උගතුන් නිහතමානී වේ.