ප්‍රත්‍යාර්ථ නාම

නාමයකින් හෝ ධාතුවකින් පරව ප්‍රත්‍ය එක්ව සැකසෙන ද්වීතීක නාම ප්‍රත්‍යාර්ථ නාම ලෙස හැදින්වේ. ඉන් නාමයකට පසුව ප්‍රත්‍ය එක් වීමෙන් සැකසෙන ප්‍රත්‍යාර්ථ නාම තද්ධිත නාම ලෙසද, ධාතුවකට පසුව ප්‍රත්‍ය එක් වීමෙන් සැකසෙන නාම කෘදන්ත නාම ලෙසද හැදින්වේ.

“දයින් නමින් හොත කරැ අරුතට නිසි පසන්

සපයා සදන් පසරුත් හිමි නොලැගැ ලොවැ වහරන්“     යනුවෙන් සිදත් සගරාව ප්‍රත්‍යාර්ථ නාම හදුන්වනු ලබයි.

තද්ධිත නාම

නාමයකින් පරව තද්ධිත ප්‍රත්‍යයක් එක්ව සැදෙන නාම තද්ධිත නාමයි.

උදා :

තොට + ඉ = තොටි (තොටෙහි නියුක්ත තැනැත්තා)

ඉහත තොට යන නාමයට පසුව ඉ යන තද්ධිත ප්‍රත්‍යය එක්ව තොටි යන තද්ධිත නාමය සැකසී ඇත. තොට යන්නෙන් තොටුපළ අදහස් කළද තද්ධිත ප්‍රත්‍යය එක් වීමෙන් සෑදෙන තොටි යන තද්ධිත නාමයෙන් අදහස් වන්නේ තොටුපළෙහි නියුක්ත තොටියා පිළිබදවයි. මෙලෙස මුල් අදහසට අමතරව සැකසෙන ද්වීතික නාමයන් තද්ධිත නාමයන් බවට පත් වේ. නාමයන්ට පසුව එක්වන තද්ධිත ප්‍රත්‍යය විවිධ අර්ථ ගනී. එම ප්‍රත්‍යයන්ගේ අර්ථයට අනූව සැකසෙන තද්ධිත නාමයේ අර්ථයද වෙනස් වේ.

තද්ධිත ප්‍රත්‍යය යෙදෙන විවිධ අර්ථ

භූතාර්ථය (එහි විය යන අර්ථය)

උදා :

  1. ගම් + ඉ = ගැමි (ගමෙහි වෙසෙන්නා)
  2. නුවර + උ = නුවරු (නුවරෙහි වූ)
  3. ලංකා + ඉක = ලාංකික (ලංකාවේ වූ)
  4. ඉන්දියා + නු = ඉන්දියානු (ඉන්දියාවේ වූ)
  5. කර්ණාට + ක = කර්ණාටක (කර්ණාට දේශයේ වූ)

නියුක්තාර්ථය (එහි යෙදුණේ යන අර්ථය)

උදා :

  1. අයකම් + ඉ = අයකැමි (අයකමෙහි නියුතු)
  2. ධර්ම + ඉක = ධාර්මික (ධර්මයෙහි නියුතු)
  3. අගාර + ඉක = අගාරික (අගාරයෙහි නියුතු)

අස්ත්‍යාර්ථය (ඇත යන අර්ථය)

උදා :

  1. රූ + මත් = රූමත් (රූ ඇති)
  2. පින් + වත් = පින්වත් (පින් ඇති)
  3. භාග්‍ය + වත් = භාග්‍යවත් (භාග්‍ය ඇති)

සම්බන්ධාර්ථය (එයට සම්බන්ධ යන අර්ථය)

උදා :

  1. කය + ඉක = කායික (කයට සම්බන්ධ)
  2. ශිල්ප + ඊය = ශිල්පීය ( ශිල්පය හා සම්බන්ධ)

විජානනාර්ථය (දනියි යන අර්ථය)

  1. නැකත් + ඉ = නැකති (නැකත් දන්නා)
  2. සිප් + ඉ = සිපි (ශිල්ප දන්නා)

අර්හාර්ථය (සුදුසු යන අර්ථය)

උදා :

  1. සබ + ඉ = සැබි (සභාවට සුදුසු)

එයින්ම තනන ලද අර්ථය

උදා :

  1. දැව + මුවා = දැවමුවා (දැවෙන් තැණුනු)
  2. සෙල් + මුවා = සෙල්මුවා (ගලින් කරන ලද)

අතිශයාර්ථය

උදා :

  1. පාප + තර = පාපතර (වඩා පව් කරන)
  2. පාප + තම = පාපතම (වඩා පාපී)
  3. පාප + ඉෂ්ඨ = පාපිෂ්ඨ (අතිශයින් පව් කරන)

අල්පාර්ථය (ස්වල්පයක් යන අර්ථය)

උදා :

  1. පැන් + ඉති = පැනිති (දිය පොද)
  2. කුටි + ර = කුටිර (කුඩා පැල)
  3. සුග + ඉති = සිගිති (ඉතා කුඩා)

ප්‍රදේශාර්ථය

උදා :

  1. ඉස් + අටි = ඉහටි (ඉස් පෙදෙස)
  2. ඉස් + අළ = ඉහළ (ඉහළ පෙදෙස)
  3. කර + අටි = කරටි (කර පෙදෙස)

ආකාරාර්ථය (මේ අයුරු යන අර්ථය)

උදා :

  1. දිගු + අටි = දිගටි (දිග ආකාර)
  2. වක් + අටු = වකුටු (වක් ආකාර)

භාවාර්ථය

උදා :

  1. පුරුෂ + ණ = පෞරුෂ (පුරුෂත්වය)
  2. ගරු + ණව = ගෞරව (ගරුත්වය)
  3. ලලිත + ණ්‍ය = ලාලිත්‍ය (ලලිත බව)
  4. දක්ෂ + තා = දක්ෂතා (දක්ෂ බව)
  5. සුහද + තා = සුහදතා (සුහද බව)
  6. මුදු + තා = මුදුතා (මුදු බව)

කාලාර්ථය

උදා :

  1. පුරා + තන = පුරාතන (පෙරකල)
  2. සදා + තන = සදාතන (හැමකල)
  3. නව + තන = නූතන (වත්මන්)

ස්වාර්ථය

උදා :

  1. වරල් + අස් = වරලස (වරලසෙහි)
  2. මුදුන් + අත් = මුදුනත් (මුදුනෙහි)
  3. නෙත් + උ = නෙතු (නෙතෙහි)
  4. සිසිල + අස් = සිසිලස්

ගෞරවාර්ථය

උදා :

  1. පිය + ආණ = පියාණ (ගරුකටයුතු පියා)
  2. පුත් + අණු =පුතණු (ගරුකටයුතු පුතා)
  3. මා + අණි = මෑණි (ගරුකටයුතු මව)