පියවි ඇසට පෙනෙන දේවල් තුළ නොපෙනෙන බොහෝ දේ ඇත. එමෙන්ම සෑම මිනිසෙකුටම අදාළ නොවෙන ඒ ඒ මිනිසාට පමණක් අදාළ වන බොහෝ දෑ ඇත. එකී දෑ පිළිබඳව අඳුරු අහුමුළු කරා සියුම් ආලෝක ධාරාවක් යවමින් ආශ්වාදනීය මනෝවිශ්ලේෂණයක යෙදීමට සමත්වීම අතිශයින්ම ප්‍රශස්ත වේ.කුරුණෑගල සාහිත්‍ය යුගයට අයත් ජාතක පොත් වහන්සේ බහු කර්තෘ කෘතියකි. ඒ බව ජාතක පොතේ රචනා රීතියත්, භාෂා ව්‍යවහාරයත්, අන්තර්ගතයත් අධ්‍යයනය කිරීමේදී මනාව පැහැදිලි වේ. එහි, මිනිස් ජීවිතවල සංකීර්ණ මනෝභාවයන් සියුම් ලෙස විශ්ලේෂණය කිරීමට ගෙන ඇති උත්සාහය ලෝක ප්‍රකට පඬිවරුන්ගේ පවා අවධානයට යොමු වී ඇත.

මිනිසාගේ ප්‍රකෘති ස්වභාවය හෙවත් අමු (ගෝත්‍රික) මිනිසාගේ මනෝමය හැසිරීම් ජාතක කතාකරුවන් ග්‍රහණය කොට ඇත්තේ අපගේ තර්කඥානයට හසු නොවන ආකාරයටය. ස්ත්‍රිය පිළිබඳ දෘෂ්ටිවාදය මත පිහිටා ඇතැම් කතා ගොඩනගා තිබුණ ද සමහර කතා මගින් ස්ත්‍රිය පිළිබඳ දෘෂ්ටිවාදය නිර්දය ලෙස බිඳ දමා ඇත. පියවි ඇසට පෙනෙන දේවල් තුළ නොපෙනෙන බොහෝ දේ ඇත.එමෙන්ම සෑම මිනිසෙකුටම අදාළ නොවෙන ඒ ඒ මිනිසාට පමණක් අදාළ වන බොහෝ දෑ ඇත. එකී දෑ පිළිබඳව අඳුරු අහුමුළු කරා සියුම් ආලෝක ධාරාවක් යවමින් ආශ්වාදනීය මනෝවිශ්ලේෂණයක යෙදීමට සමත්වීම අතිශයින්ම ප්‍රශස්ත වේ. හද සසල කරවන මානුෂික ගැටලු සියුම් ලෙස ජාතක කතා මගින් නිරූපණය කරන්නේ මිනිස් සිතෙහි ගුඪ බව තීව්‍ර කරමිනි.

මිනිස් සමාජයේ හමුවන කෙලෙස් ප්‍රහීණ කළ මුනිවරයන්ගේ පටන් පල් හොරුන්, මංකොල්ලකරුවන්, වෙසඟනන්, සල්ලාලයන් දක්වා පැතිරුණු චරිතවල මනෝභාවයන්ගේ ගැඹුර හෙළි කරනු ලබන වෙනත් කෘතියක් නැති තරම්ය. සිල්වතුන්, ගුණවතුන් ලෙස පෙනී සිටින කපටි වංචනිකයන්ගේ සැබෑ ස්වරූපය මිනිස් චරිත මඟින් මෙන්ම සත්ත්ව චරිතද යොදා ගනිමින් ජාතක පොත විමසුමට ලක් කෙරේ. කොකා විලෙහි ජලය සිඳී යාමෙන් පීඩාවට පත් මසුන් තම ග්‍රහණයට හසු කරගන්නා අන්දම කියවෙන ‘බක ජාතකය’ විපතේ දී පිහිටට එන ඇතැම් මිනිසුන්ගේ ගති ලක්ෂණය මැනවින් විදහා පායි. ධර්මපාල ජාතකයෙන් කියවෙන්නේ රාගය සමග මිශ්‍ර වූ ඊර්ෂ්‍යාවේ ප්‍රචණ්ඩ බවයි. හිතවත්කම් පාමින් බොරු තවුස් වෙස් ගෙන සිටින වංචනිකයන්ගේ ස්වරූපය බිළාල ජාතකයෙන් මැනවින් විවරණය වේ.

අසාතමන්ත ජාතකයෙහි දිසාපාමොක් ඇදුරිඳුගේ මව ශිෂ්‍යයෙකුගේ උවටැන් ලැබීම නිසා හටගත් රාගයෙන් යුතුව කෙටේරියක් රැගෙන තම පුතණුවන් මැරීමට වෙවුල වෙවුලා යයි. මෙහිදී මැහැල්ලගේ රාගය ඇවිස්සුණු අන්දම හඟවන්නේ චිත්ත අභ්‍යන්තරයට විනිවිද යමින් ය. මේ තාත්වික ලක්ෂණය නිසා අසාතමන්ත ජාතකය දිස්වන්නේ සිතෙහි සැබෑ තත්ත්වයන් හෙළි කරන මනෝවිද්‍යාත්මක රචනාවක් ලෙසිනි.

හිතවත්කම් පාමින් වංචනිකයන් මිනිසුන් රැවටීම සඳහා යොදා ගන්නා ක්‍රියාමාර්ගවල ස්වරූපය රෝමක, වඩ්සුකර, කුහක වැනි ජාතකයන්හි සඳහන් වේ. බෝසත් චරිත පවා හැමවිටම සාධු චරිත ලෙස ගෙනහැර පෑමට ජාතක කතා කරු උත්සාහ නොකළේ ය. සැබෑ මිනිස් ගති ලක්ෂණ සෑම මනුෂ්‍යයෙකුම සතුවේ. සත්තපත්ත ජාතකයෙහි සොර කණ්ඩායමක නායකයෙකු ලෙස ද තක්කට ජාතකයෙහි ඇත් යෝනියෙහි ඉපිද රන්වන් කකුළුවකු පාගා මරන ඇතෙකු ලෙස ද, අසනග ජාතකයෙහි කාමුකයෙක් ලෙසද, මිනිස් ජීවිතයට හිමි දුර්වලකම්වලින් යුතුව බෝසත් චරිතය ගොඩනගා ඇත.

ස්ථානෝචිත ප්‍රඥාව මෙහෙයවා ව්‍යවහාරික ඥානයෙන් යුතුව තමා වෙත එන අභියෝග ජය ගන්නා ස්ත්‍රී චරිත ජාතක පොතේ බොහෝය. තක්කාරී ජාතකයේ බැමිණිය, අන්ධභූත ජාතකයේ බැමිණිය, පදමානවක ජාතකයේ ස්ත්‍රිය එවැනි ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කර ජීවිත ජයගත් චරිත වේ. මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය අනුව මිනිසා පාලනය වන ආකාරය ඉතා සියුම් ලෙස ගෙනහැර පෑමට ජාතක කතාකරුවන් සමත් වී ඇත. බලයෙන් යටපත් කර දැමීමට උත්සාහ දරන ක්ලේශයන් විවිධ ස්වරූපයෙන් මතුපිටට පැමිණෙන අයුරු මණිකන්ඨ ජාතකයෙන් දිස්වෙයි.

එමෙන්ම නාගයාගේ කායික ස්පර්ශය නිසා ඇතිවන වින්දනයත්, දැන දැන වරදෙහි බැඳීමත් අතර තෙරපෙන තරුණියත්, තාපසයා පත්වන මානසික ගැටුමත් නාගයාගේ ස්පර්ශය නොලැබී යාමෙන් ඔහු තුළ ඇතිවන මානසික පීඩනය මඟින් ඇති කරන මනෝභාවයත් මෙම ජාතකයෙන් මැනවින් විදහා දක්වයි. ක්ෂාන්තිවාදී ජාතකය කාමාශාවට වහල්ව; චර්යාව රකින තවුසකු කෙරෙහි හටගත් ඊර්ෂ්‍යාවත්, ද්වේශයත් හෙළි කරයි.

මෙහිදී මනුෂ්‍යයාගේ ප්‍රකෘති චිත්තයෙහි වන උතුම් ගුණාංග ඉස්මතු කරන්නේ ඉහළ පරිකල්පන ශක්තියක් ඇත්තෙකු සේය. ලිංගික චර්යාවන් ගෙන හැර පෑම ජාතකයන්ගේ මුඛ්‍ය කාර්ය නොවූවකි. ලිංගිකත්වය හමුවේ මිනිස් ක්‍රියාකාරකම්වල ස්වරූපය තියුණු ලෙස විවරණය කිරීමට ජාතක කතාකරු සමත් වී තිබීම පුදුම සහගත වේ. උපන්දා සිටම ස්ත්‍රී ආශ්‍රයක් හෝ දැකීමක් නොමැතිව වනගතව සිටියත් පෙළඹවීම් හමුවේ පුද්ගලයා කාමයෙන් මුසපත් වන බව නලිනි ජාතකයෙන් ප්‍රකට කරයි.

කනවේර ජාතකයෙන් ගණිකාවක් තුළ හැඩිදැඩි පිරිමියෙකු කෙරෙහි හටගත් නිමල ප්‍රේමයේ තරම විදහා දක්වයි. එය ජීවිතයෙහි ගූඪ බව ස්පර්ශය කරන කතාවකි. සොර දෙටුවා උපායෙන් ඇය උයනට ගෙන ගොස් අනේකවිධ හිරිහැර කොට ආභරණ රැගෙන පලායයි. එහෙත් ඇය සිහි ආ විගස සොයන්නේ සොරා ය. විනීත සැමියෙකු අත්හැර සොරදෙටුවෙකුට ආලය කළ ස්ත්‍රියක් ගැන චුල්ල ධනුද්ධර ජාතකයෙන් හෙළි කරයි. සම්බුලා ජාතකයෙන් කියවෙන්නේ සැලමුතු ආදරය ගැනයි. ඇය ස්වාමියා අත් නොහැර යයි. මෙය පති භක්තියේ තරම කියා පාන කැඩපතක් වැනිය. ජාතක කතා පොතේ පුවත් තෝරා ගෙන ඇත්තේ ද සංකීර්ණ චරිත ගැඹුරින් විශ්ලේෂණය වන ආකාරයටයි.

ඒ ඒ කතා පුවත් මගින් සමාජයේ සංකීර්ණ භාවය ඉස්මතු කරයි. ජාතක කතා බෞද්ධ මුහුණුවරක් ගත්ත ද ව්‍යවහාරික ලෝකයට ආවේණික ලෙසින් පවතින චර්යා ධර්මවලට අනුව සියුම් ලෙස ඒ ඒ පුද්ගලයන්ගේ මානසික තත්ත්වයන් විමර්ශනයට ලක් කරයි.ප්‍රේමය, ක්‍රෝධය, වෛරය, ආදරය යන මිනිස් සිතේ ඇති වෙන මනෝභාවයන් සියල්ල විමසුමට ලක්කිරීමට ජාතක කතා සමත්ව ඇතැයි යන්න අතිශයෝක්තියක් නොවේ.පුද්ගල මනෝභාවයන්; පුද්ගල චර්යාවන් කෙරෙහි සෘජු ලෙස බලපායි. පුද්ගල චර්යාවන්, සමාජ චර්යාවන්ගේ පැවැත්ම තීරණය කරයි. සමාජ චර්යාවන් සදාචාරාත්මක රාමු තුළින් සහ නීතිමය තත්ත්වයන් මඟින් පාලනය කළ හැකි ය. එහෙත් පුද්ගල මනෝභාවයන් කිසිවෙකුටත් පාලනය කළ නොහැකි ය.

සංස්කරණය නොකරන ලද මනෝභාවයන් මිනිස් සිත තුළ අව්‍යාජවත් සේ ගලායයි. පාලි ජාතකට්ඨකතාව ඇසුරින් රචනා කරන ලද ජාතක කතා, මනෝවිද්‍යාව සංවර්ධනය නොවූ යුගයක මේ තත්ත්වය ග්‍රහණය කරගැනීමට සමත්වීම බෙහෙවින්ම අගය කළ යුතුය. මනුෂ්‍යත්වයේ පතුල මැනවින් ස්පර්ශ කිරීමට මෙන්ම මිනිස් ජීවිතය විනිවිද දැකීමේ හැකියාව ජාතක කතාකරුවන්ට ලැබී ඇත්තේ ඉහළ විභව ශක්තියක් ඇති නිසාය යන්න අපගේ හැඟීමය.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය පොළොන්නරුවේ කාශ්‍ය​ප හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන්බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0718284753  අ​ංකයට වට්ස්අප් කිරීමට කාරැණික වන්න.