සෑම පාරිසරික දත්තයක්ම යම් තැනකින් හමු වන්නේ නම් එය මිනිස් ක‍්‍රියාකාරකම් හෝ ස්වාභාවික තත්වයන් යටතේ නිර්මාණය වූවන්ය. පාරිසරිත දත්තයන් විශාල වශයෙන් මානව ජනාවාසකරණය සඳහා හේතු වූ දත්තයන් ලෙස දක්වන්නට හැකිය. එහිදී

  • ජල වහන රටාව
  • භූමියේ ස්වාභාවය
  • පස
  • දේශගුණය තත්වයන් 
  • ශාකායනය හා සත්ත්ව සන්තතිය 
  • පාෂාණ
  • භූ භෞතික සාධක හා භූ ලක්ෂණ සාධක
  • ඛනිජ

උක්ත පාරිසරික දත්තයන් සමඟ මානවයා සිදු කළ අන්තර් ක‍්‍රියාවලිය සොයා බැලීමේදී මෙම පාරිසරික දත්තයන්ගේ අවශේෂයන් ඉතා වැදගත්ය. සින්දු ගංගාව මුලික වී ආරම්භ වූ ඉන්දු නිම්න සභ්‍යත්වය ක‍්‍රමයෙන් ශිෂ්ටාරක් දක්වා වර්ධනීය තත්වයට පත් විම සඳහා පාරිසරික දත්තයන්ගේ උපයෝගීතාවය ඉතා වැදගත් වේ. එහිදී ඉන්දු නිම්න වැසියන් භාවිත කළ තාක්ෂණික හා අමුද්‍රව්‍යත්මක පැතිකඩ මැනවින් වැදගත් වේ. එහිදී තඹ ලෝභ භාවිතය, වාසස්තාන නිර්මාණය හා අමුද්‍රව්‍ය භාවිතය, විවිධ කර්මාන්ත ආදී සාධක වැදගත් වේ. මෙහිදි තම අවශ්‍යතාවයන්ට අනුව අවට පරිසරයේ තිබූ අමුද්‍රව්‍ය භාවිතයද ඉතා වැදගත් වේ. ඉන්දු නිම්න ජනතාව විවිධ භෝග වගා කරන්නට ඇත. වාරිමාර්ග සමග සාරවත් ගංගා පිහිටා ඇති බැවින්, දේශගුණය, පසෙහි සාරවත් බව මත, විවිධ වගාවන් සිදුකරන්නට ඉන්දු නිම්න ජනතාව යොමුකරවන්නට ඇත. ඒ ඔස්සේ හරප්පානු ජනාවාස ව්‍යාප්තියටත් කෘෂිකර්මාන්ය තුළින් ආර්ථිකය ශක්තිමත් කරන්නටත් හේතු වන්නට ඇත. ඉන්දු නදී නිම්නයන් හේතු කරගෙන සිදු කෘෂිකර්මය ඉන්දු නිම්න ජනතාවගේ කොඳු නාරටිය වූ බව මංගල ඉලංගසිංහයෝ පවසයි. තිරිඟු සහ බාර්ලි යන වර්ග දෙකම නිරන්නතරව වගාකළ බවට කලිබන්ගන් වලින් සාධක සොයා ගන්නා ලදී. මෙයට අමතරව කව්පි, තල, අබ ආදිය වගා කළ බවට සාධක පවතින අතර ධාන්‍ය වගාව වැඩි වශයෙන් ජනප‍්‍රිය පැවති බැව් පැහැදිලිය. මෙනේරි සහ බඩඉරිගු ද වගා කළ භෝගයන් අතර පැවතිණැයි අනුමාන කෙරේ. මෙහි ද දිහමුවන මහා ධාන්‍යාගාර කෘෂික කටයුතු පිලිබඳ ඉමහත් සාධකයකි. ලී නගුල කෘෂිකාර්මික කටයුතුවල දී උපයුක්ත කරගත් බවට සාධක පවතියි. කුචායිහි කැණීම්වලින් වංගෙඩි, වෑයවල් සහ හාරන කටු හමුවවීමෙන් කෘෂිකාර්මික කටයුතු තුළ ධාන්‍ය වගාව කැපී පෙනුණු බව පෙනේ. අනෙක් පසින් මෙම නිශ්පාදන අතිරික්තය ම වාණිජ කටයුතුවලට හරප්පා සභ්‍යත්වය දිශාගත කළ බව කිව හැකිය. මෙහිදී තම අවශ්‍යතාවයන්ට අනුකූල වශයෙන් ගංඟා ආශ‍්‍රිත සාරවත් පස මේ සඳහා යොදා ගත් බවක් දක්නට හැකිය. එසේම තඹ භාවිතයට පූර්ව තත්වයෙන් ලී නගුල භාවිත කරමින් ගංඟාධාර පස පෙරළා වගා කටයුතු සිදු කළ බවක් දක්නට හැකිය. ඉන්දු නිම්න සභ්‍යත්වය ගොඩනැගෙන්නේ ආසියාවේ මෝසම් වැසි වැටෙන සීමාවේ හා ඉන් ආසන්නයේ පිහිටි ශුෂ්ක කලාපයේ ය. ඒ අනුව මේ මෝසම් වැසි ඉන්දුනිම්න සභ්‍යත්වයේ වර්ධනයට මෙන්ම පරිහාණියට ද බලපා ඇති බව ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය යි. විශේෂයෙන් මෝසම් වැසි නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීමත් සමග ඉන්දු ගංගාවේ ජල ප‍්‍රමාණය අඩු විය. අදින් වසර 5000 කට පමණ පෙර මේ ආකාරයෙන් ඇතිවූ වර්ෂාපතනය අඩුවීම නිසා ගංවතුරින් යටවී තිබුණ ප‍්‍රදේශ ද සාරවත්ව වගා කළ හැකි විය. එම පස ජලය මෙන්ම රොන් මඩවලින් ද පෝෂණය වී තිබුණි. මෙසේ වගා කටයුතු සාර්ථක වීමත් සමග ඉන්දු නිම්න සභ්‍යත්වය වේගයෙන් නාගරික සංස්කෘතියක් දක්වා වර්ධනය විය.


ඉන්දු නිම්නයේ ඉහළ ප‍්‍රදේශයට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් සින්දු ගංඟාව නිරන්තරයෙන් පිටාර ගැලූ බව සඳහන් වේ. වර්තමානයේ පවා විශාල වශයෙන් ඉන්දියාවේ ගංඟාවන් පිටාර ගැලීමක් දක්නට හැකිය. මේ අනුව අතීතයේ ද මේ අකාරයෙන් ගංඟාවන් පිටාර ගැලීම හේතුවෙන් සාරවත් වූ පසක් ගංඟා දෙපස තැන්පත් වන්නට ඇත. මේ අනුව ගංඟා පිටාර ගැලීමෙන් තැන්පත් වන පස ධාන්‍ය වගාව සඳහා බෙහෙවින්ම හිතකර තත්වය පවතී. විශේෂයෙන් ගංඟාවක රොන් මඩ තැන්පතු පිටාර ගලා ගංඟා දෙපස තැන්පත් වීම හේතුවෙන් ඉතාමත් සශ‍්‍රීක පසක් ධාන්‍ය වගාව සඳහා නිර්මාණය වේ. මේ අනුව ශිෂ්ටාචාරය තුළ ධාන්‍ය වගාව සිදු කර ඇති උපකල්පනය කළ හැකිය. එම උපකල්පනය සත්‍යයක් වශයෙන් පෙන්වාදීමේදී දැනට හමුව ඇති පුරා විද්‍යාත්මක සාධක ඉතා වැදගත් සාධකයක් වන්නේය. දැනට අවශේෂ වශයෙන් ඉතිරිව ඇති ධන්‍යාගාර පුරා අවශේෂ මඟින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කෘෂිකර්මාන්තය කෙබඳු අකාරයෙන් යුක්ත වන්නට ඇත්තේ ද යන්න පිළිබඳ පෙන්වා දිය හැකි වන්නේය. මෙහිදී තිරිගු හා යව වර්ග වගා කළ බවට සාධක දැක ගැනීමට හැකි අතර ලෝතාල් හා රංගපූර්වලින් ලැබුණු සාධක අනුව වී ගොවිතැන පිළිබඳ ද යම් වූ දැනීමක් තිබූ බව පෙන්වා දිය හැකිය. වගා කටයුතු සඳහා කුමන ආකාරයෙන් ජලය ලබා ගන්නට ඇතිදැයි නිශ්චිත වශයෙන් දක්වා ලීමට නොහැකි වුවත් කපා ඇති ඇළි වේලි තුළින් ගංඟා ජලය ගොවිබිම් කරා රැුගෙන ගිය බව දක්වන්නට හැකිය. කෙසේ වුවත් හමුව ඇති විශාල ධාන්‍යාගාරය අනුව පුළුල් වශයෙන් ධාන්‍ය වගාව තිබූ බව පැහැදිලිය. නගරයෙන් පිටත වගාවන් සිදු කළ අතර ධාන්‍ය ක‍්‍රමානුකූලව ගබඩා කිරීමේ තක්ෂණය ඔවුන් සතුව පැවැති බව පැහැදිලිය.

 

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පරිහානී තත්වයන්


ඉන්දු නිම්න සභ්‍යත්වයේ ව්‍යාප්තිය සිදුව ඇත්තේ සින්දු හෙවත් ඉන්දු නදිය ආශි‍්‍රතවය. ඉන්දු සභ්‍යත්වය ක‍්‍රමයෙන් වර්ධනය කරා ගමන් කිරීම හා තාක්ෂණික, අමුද්‍රව්‍යත්මක හේතු සාධක පිළිබඳ ඉහතින් සාකච්ඡුා කළෙමු. ඒ අතරින් උගතුන් වැඩි පිරිසක් දරන මතවාදයකි, සභ්‍යත්වයට පදනම සැකසූ සින්දු නදිය ම එම ශිෂ්ටාචාරය වැනසුම සැලැස් වූ බවයි. අප කතා කරන ඉන්දු සභ්‍යත්වයේ අවසානය සනිටුහන් වන ක‍්‍රි.පූ. 1750 පමණ කාලය වෙද්දී නිම්න භූමිය පුරා ඒකාකාරී වූ ලක්ෂණයන් දැකිය හැකි වුව ද එතැන් සිට ඉන්දු නිම්නයට දකුණිනුත් උතුරිනුත් වෙනස් වූ ප‍්‍රධාන කලාප දෙකක් බිහිව තිබේ.


මේ සදහා භූ කම්පනයක් හේතු භූත වන්නට ඇතැයි මතවාද පවතියි. මේ හේතුවෙන් සින්දු නදිය වෙත දස දෙසින් ගැලූ ගංගාවන් තම ගමන් මග වෙනස් කරගෙන ගංගා නදියට ගලන්නට පටන් ගත්තේ යැයි වියත්හු පවසති. ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ගැලූ ගංගාවන් නගරයන්ගෙන් ඈත්ව ගලන්නට පටන්ගත් කල්හි නගරයන්හි විවිධ ගැටලු පැන නගින්නට ඇත. ගංගා මාර්ග වෙනස් වීමෙන් සිදී ගිය ගංගාවන් ආශ‍්‍රිතව ලෙඩ රෝග පැතිරයමින් වසන්ගත තත්ත්වයන් නිර්මාණය වන්නට ඇත. ඇබර්ඩින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීටර් ක්ලිෆ් මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් නව භූ විද්‍යාත්මක පර්යේෂණ තවමත් කරගෙන යන අතර ඒකල දේශගුණික වෙනස්වීම් සිදුවීද? ගංගා ප‍්‍රතිසංවිධානය වී ඇති ආකාරය හරප්පා සභ්‍යත්වයේ පරිහානියට හේතු වීද යන කරුණු ඔස්සේ එම පර්යේෂණ මෙහෙයවයි. දිගු කලත් තිස්සේ අධික වර්ෂාපතනයක් ඇති වී ඉන්දු නදිය පිටාර ගලන්නට ඇත. ගංගා නිම්නය ආශ‍්‍රිතව ජනාවාස පිහිටුවාගෙන සිටි පිරිස මෙම ගංවතුර තත්ත්වය හමුවේ අසරණ වන්නට ඇත. ගම්මාන, නගර මෙන්ම අහිංසක ජනතාවගේ ගොවි බිම් ද ගංවතුර මුහුද වෙත රැුගෙන යන්නට ඇත. දස දහසක් හරප්පා වාසීන්ගේ හ‍්‍රමය යෙදවා ඉදිකළ නගර නිරන්තරයෙන් ගංවතුරට ගසාගෙන යද්දී නැවත නගර ඉදිකරන්නට ජනතා ශ‍්‍රමය යොදවාගන්නට පාලක පැලැන්තිය අසමත් වන්නට ඇත. එක් වරක් දෙවරක් නොව දිගින් දිගටම ඇතිවූ මෙම ගංවතුර තර්ජනයට මුහුණ දීමට නොහැකි වූ හරප්පා සභ්‍යත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් පරිහාණියට ළගා වූ බව වඩාත් බුද්ධි ගෝචර උපකල්පනය කි.


ක‍්‍රි.පූ. 6 වැනි ශතවර්ෂයේ අජාසත් රජුගේ පුත‍්‍ර විඩූඩභ ඇතුලු සේනාව අතු ගංගාවක ගංවතුරට හසුවී ජීවිතක්ෂයට පත් වූ බව බෞද්ධ මූලාශ‍්‍රයන් සදහන් කරයි. එසේ ගංගාවකට එතරම් විපතක් කළ හැකි වුණි නම් සින්ධු නදිය වැනි සුවිසල් ගංගාවක් සභ්‍යත්වයක් විනාශ කළා යැයි පැවසීම අරුමයක් නොවේ. එසේම ආක‍්‍රමණ රැුසක් හරප්පා සභ්‍යත්වයට එල්ල වූ බව කියවේ. එසේ ආක‍්‍රමණ සිදු වූයේ නම් එම ආක‍්‍රමණිකයෝ රට අභ්‍යන්තරයට ගමන් කිරීම සදහා නිසැකවම සින්ධු නදිය භාවිත කරන්නට ඇත. හරප්පා වැසියෝ තම පරිවහන කටයුතු සදහා බහුලව මෙම නදිය යොදාගෙන තිබූ පැවින් ආක‍්‍රමණිකයෝ එය දැක දැක කම කාර්යය සාධනය උදෙසා සිනධු නදිය යොදා නොගත්තේ යැයි කෙසේ නම් කිව හැකි ද? ඇකමුන් පවසන පරිදි හරප්පාව විනාශ වූයේ ආක‍්‍රමණ නිසා නම් ඊටක් ආධාරක වී ඇත්තේ සින්ධු නදිය යි. ආර්ය ආක‍්‍රමණ හෝ ගෝත‍්‍රික ආක‍්‍රමණ ඉන්දියාවට එල්ල වූයේ එහි පැවති ආර්ථික සමෘද්ධිය නිසායැයි පිළිගන්නා මතවාදය කි. එය එසේ නම් සින්ධු නදිය ආශ‍්‍රිතව සිදු වූ කෘෂිකාර්මික කටයුතු සහ වාණිජ කටයුතු නිසා එවැනි ප‍්‍රචාරයක් ආක‍්‍රමණිකයන් වෙත ලැබෙන්නට ඇත. ඒ නයින් බලන කළ ඊට සාධකය වී ඇත්තේත් ඉන්ධු නදිය යි. පවතින පුරා විද්‍යා සාධක අනුව හරප්පා සභ්‍යත්වය කෘෂිකාර්මික අර්ථ රටාවකට හුරු වී ඇති බව පැහැදිලිය. ඒ හේතුවෙන් ගංගා නිම්නවලම ගැවසුණු හරප්පා වැසියෝ අනතුරුව සින්ධු නදියේ පිටාර ගැලීම් හා ගංවතුර තර්ජනයන්ට ගොදුරු වීම නිසා විනාශයේ අත ළගට පැමිණ තිබේ.


සශ‍්‍රීකව පැවති ඉන්දු නිම්න සභ්‍යත්වයේ විනාශය ළගා කළේ කාන්තාරයන් සභ්‍යත්වය පැතිර තිබූ භූගෝලීය කලාපය තුළය ව්‍යාප්ත වීමෙන්ය යන්න ද මෙහි අවසානය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මතවාදයකි. ඒසේම මෙතෙක් සාමකාමීව පාලනය වූ ජනතාව රිසි සේ නිදහස භුක්ති විදිමින් දිවි ගෙවූ සමය නිමා කරමින් ඉන්දු නිම්න සභ්‍යයත්වයේ පාලන පැලැන්තිය දර ගත නොහැකි අසහනකාරී දැඩි පාලන තන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක කළ බවත් එය හරප්පා සභ්‍යයත්වයේ අවසානයට මග විවර කළ බව සුමුවෙල් බට්ලර් ප‍්‍රකාශ කරයි. නිෂ්පාදන ක‍්‍රියාවලියට නොවී මධ්‍යම පංතිය ගැමි ජනතාවගෙන් බදු අය කළ අතර එම බදු ප‍්‍රතිපත්තියෙන් පීඩිති ගැමි ජනයා ඊට එරෙහිව නැගී සිටියෙන් අර්ථ ක‍්‍රමය අඩපනව විනාශය කරා ළගා වූ බව පැවසේ. ඉන්දු නිම්න සභ්‍යත්වයේ වාණිජ කටයුතු මෙසපොටේමියාව සමග සිදු කළ බවත් ක‍්‍රි.පූ. 200 දී මෙසපොටේමියාව බිද වැටීමෙන් ඉන්දු නිම්න සභ්‍යයත්වය කෙමෙන් පරිහාණියට ගමන කළ බවද උගත්හු පවසති. එසේම මුහුද ගොඩයෑමක් සිදු වූ බව හා වරාය කටයුතු ආදිය සිදු කළ ලෝතාල් නගරය එම හේතුවෙන් ගොඩ වීම ආදී කරුණු සභ්‍යයත්වය පරිහාණියට ගෙන ගිය බව සදහන් කරයි. පරිපාලන ව්‍යුහය බිදවැටීම, ලෙඩ රෝග වසංගත, භූගත ජලය සිදී යෑම, වනාන්තර විනාශ වී යෑම, පස සෝදා යෑම, දිගු කලක් තිස්සේ එක ම භූමියේ වගා කිරීම නිසා පස සාරවත් බව අඩු වීම. සුළං වෙනස්වීම හෙවත් මෝසම් සුළග නිරිත දිගට තල්ලූ වීම තවත් හේතු කිහිපයකි. ගඩොල් පිළිස්සීම සදහා කැළෑ කපා දර ලබා ගැනීම හේතු කොටගෙන සිදු වු දේශගුණික වෙනස්කම් හරප්පාවේ විනාශයට හේතු වූවා යැයි පිළිගෙන තිබුණි.