ලෝක ඉතිහාස ධාරාවෙහි ශිෂ්ට සමාජ ධාරාවන් රැසක් බිහිකරනුවස් පුරෝගාමී මෙහෙවරක් සිදු කළ ආර්යයන් පිළිබද අධ්‍යයනයේ දී ඔවුන්ගේ කාර්ය සාඵල්‍යය හා විහිදී යාම පිළිබද අධ්‍යයනයට පෙර අර්යයන් පිළිබද අධ්‍යයනයට උපයෝගී කරගත හැකි මූලාශ‍්‍ර පිළිබද දැනුම අතිශය වැදගත් වෙයි. මානව ඉතිහසායේ ඉතා දීප්තිමත් ජන වර්ගයක් වශයෙන් සලකන ආර්යයන්ගේ ලෝක ව්‍යාප්තිය කවදා කොතැනකදී ආරම්භ වූයේද යන්න නූතනය වන විටද නොවිසිදී ඇති පැනයකි. ලොව අතිවිශිෂ්ට ශිෂ්ටාචාර බිහිකිරීමට දායක වූ ආර්යයන් පිළිබද අධ්‍යයනයේ දී තමන් ආර්යයන්ගෙන් පැවත එන බැව් විශද කිරීමට ජාතීන් ගොඩනැගූ පුරාතන ඉතිහාසකරණ සම්ප‍්‍රදායන් ඉතා වැදගත් වෙයි. භාරතය, පර්සියාව, ග‍්‍රීක, ප‍්‍රංශ, ඉංග‍්‍රීසි වැනි ජාතීන් තමන් ආර්යයන්ගෙන් පැවත එන බැව් තහවුරු කරනුවස් එම ජාතීන්ගේ මූල ඉතිහාසය හා බද්ධව ආර්ය සංකල්පය ගොඩනගා ඇති අතර එබදු මූල ඉතිහාසකරණ සම්ප‍්‍රදායන් මූලාශ‍්‍රමය වශයෙන් උපයෝගී කරගනිමින් ‘ආර්යාගමනය’ පිළිබද අර්ථවත් අධ්‍යයනයක නියැලීමට හැක.

ආර්යාගමනය පිළිබද අධ්‍යයනයේ දී මූලාශ‍්‍රමය වශයෙන් සාහිත්‍ය මූලාශ‍්‍ර පමණක් නොව පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන්ගේ ආලෝකයද නූතනය වන විට ලද හැකිවීම විශ්වසනීය අධ්‍යයනයකට මංපෙත් විවර කරන සාධකයකි. ආර්ය සංකල්පය වඩාත් මුල් බැස ඇති භාරතයේ මූල ඉතිහාසය තුළ ආර්ය සබ්‍යත්වය පිළිබද තතු ගැබ් වෙයි. විශේෂයෙන් ඝෘග් වේදය වනාහි භාරතීයන්ගේ ආදිතම ඉතිහාසකරණ සම්ප‍්‍රදාය ගොඩනැගි රචනයක් වන අතර මේ තුළින් ආර්යයන්ගේ සමාජීය ජීවිතය පිළිබද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැක. ප‍්‍රථම ආර්ය සමාජයන්හි භෞතික සංස්කෘතිය සකස්කර ගැනීමට උපයෝගී වූ ඔවුන්ගේ අතීත මානව දැනුම මෙන්ම ඉන්‍දු-යුරෝපීය ආර්ය සම්ප‍්‍රදාය හරප්පා අංග හා මුසුවීමට පෙර ආර්ය විජයග‍්‍රහණයන්හි ප‍්‍රවේශ අවස්ථාව ඉතා විශ්වසනීය ලෙස ඝෘග් වේදය ඔස්සේ අධ්‍යයනය කළ හැක. විශේෂයෙන් අපරදිග වැසියන් ආර්ය ශබ්දය පවා උකහාගනු ලැබූයේ වේදයෙන් බැව් භාරතීය ඉතිහාසඥයින් පෙන්වා දෙයි. ඊට සාධක ලෙස ඔවුන් පෙන්වා දෙනුයේ ආර්යයන් පිළිබද අධ්‍යයනයේ දී මූලාශ‍්‍රයක් ලෙස ඝෘග් වේදය උපයෝගී කර ගැනීමෙන් එහි ආර්ය ශබ්දය දක්නට ලැබෙන බවයි. භාරතීයයන් පෙන්වාදෙන මෙම සාධකය නම්,

‘‘ යො නො දාස ආර්යේ‍යා වා පුරුෂ්ටතා දෙව ඉන්‍ද්‍රයුධයේ චිකෙතති.’’

යනාදී ඝෘග් වේදයේ එන මන්ත‍්‍රයෙන් ආර්ය ශබ්දය සනාථ වෙයි. ආර්යයන්ගේ භාරතය තුළ වූ ව්‍යාප්තිය පිළිබද අධ්‍යයනයේදී ද ඝෘග් වේදයෙන් ලැබෙන ආලෝකය විසල්ය. භාරතයට පැමිණි ආර්යයන් පංජාබයේ සිට ගංගා නදිය තෙක් හිමාලය ආසන්න භූමියෙහි ලැගුම්ගත් බැව් ද ඝෘග් වේදයේ සදහන් වෙයි. ඝෘග් වේදයට අමතරව වෛදික ආර්යයන් පිළිබදවත් ඔවුන් භාරතයට පැමිණ පදිංචි වීම හා ව්‍යාප්තිය පිළිබදවත් අධ්‍යයනය කිරීමට වෛදික සාහිත්‍යයේ එන යජුර් වේදය ද උපයෝගී කරගත හැක. ආර්ය ශිෂ්ටාචාරය වයඹදිග ප‍්‍රදේශවල සිට මධ්‍ය තැනිතලා ප‍්‍රදේශයට විහිදීම පිළිබද තොරතුරු රැසක් යජුර් වේදයෙන් අධ්‍යයනය කළ හැක. මීට අමතරව නූතන ඉතිහාසඥයන් ආර්යයන්ගේ ලෝක ව්‍යාප්තිය පිළිබද කරන ලද පර්යේෂණ රැසක් පවතින අතර ඒවාද ‘ආර්යාගමනය’ පිළිබද අධ්‍යයනයේදී මූලාශ‍්‍රමය පරිධියේ තබාගත හැක. වී.ජී චයිල්ඞ් 1926 දී The Aryans ලෙසින් රචිත ග‍්‍රන්ථය මෙහිදී ඉතා වැදගත් වෙයි. ඞී.ඇස්. කූන් විසින් ‘Race of Europ’ නම් ග‍්‍රන්ථය 1939දී රචනා කරන ලද අතර එහිස යුරෝපීය ආර්ය සභ්‍යත්වයේ ක‍්‍රමික විකාශනය පිළිබද තතු ගැබ්වී ඇත. ‘ආර්යාගමනය’ පිළිබද අධ්‍යයනය උදෙසා ප‍්‍රවේශවීමේ දී ආර්ය සංකල්පය හා ලෝකයේ ආර්ය ව්‍යාප්තිය පිළිබද තතු ගැබ්ව ඇති සාහිත්‍ය මූලාශ‍්‍ර ඉතා විසල් වශයෙන් පැවතියද එම තතුවල විශ්වසනීයත්වය තහවුරු කරගනුවස් ඉවහල් කරගත හැකි පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන්හි ආලෝකය ඉතා අල්ප වේ.

සාහිත්‍ය මූලාශ‍්‍රයන්හි ආදිම ආර්යයන්ගේ ආරම්භය හා විකාශනය පිළිබද ආකූල ස්වභාවයක් පවතින විටදී සුළු ආසියාවේත්, බටහිර ආසියාවේත් කළ පුරාවිද්‍යා ගවේෂණවලදී සොයාගන්නා ලද ක‍්‍රි:පූ: 13වන ශතවර්ෂයට අයත් සමහර අභිලේඛනයන්හි ‘ඉන්‍දු, මිත‍්‍ර, වරුණ හා නාසත්‍ය’ යන දෙවිවරුනට උපහාර කිරීමට ආරාධනා ලැබූ ආර්ය නාමයන් දැරූ රජවරු පිළිබද වූ සදහන් හමුවීම ආර්යයන් පිළිබද අධ්‍යයනය විශ්වසනීය තලයකට පමුණුවන්නකි. එමෙන්ම ආර්යයන් පිළිබදව නූතනයේ කරනු ලබන අධ්‍යයනයන් විශ්වසනීය තලයකට ඔසවා ලූ පුරාවිද්‍යාත්මක සාධක ලෙසින් සුළු ආසියාවේ කැපඩෝසියා ප‍්‍රදේශයේ බොඝස්කෝයි නැමැති ප‍්‍රදේශයෙන් සොයාගත් සෙල් ලිපිය හදුනාගත හැක. ඝෘග් වේදයේ පිළිඹිමු වන ආර්යයන් භාරතයට පැමිණියේ ක‍්‍රි.පූ. 15වන සියවසේ යැයි නිශ්චය කරගැනීමට ඉතිහාසඥයින්හට මෙය උපකාරී වෙයි. බොඝස්කෝයි ලිපියේ ඇති තවත් ඓතිහාසික වැදගත්කමක් නම් ඉන්දියාවට පැමිණීමට පෙර ඉන්‍දු-ඉරානීය ජනයා සමග ඔවුන් එකට ඉරානය අවට ප‍්‍රදේශවල වාසස්ථාන කරගෙන සිටි බව තහවුරු වීමයි. මෙම පුරාවිද්‍යා මූලාශ‍්‍ර ඔස්සේ සාහිත්‍ය මූලාශ‍්‍රයන්හි ගැබ් වූ තතු තහවුරුවීම හේතුවෙන් නූතන වියතුන්හට ඉතා විශ්වසනීය අධ්‍යයනයක් ලෙසින් ආර්යයන් පිළිබද අධ්‍යයනයට ප‍්‍රවේශ විය හැක.

 

ආර්යයන් පිළිබද පවතින මතවාද

නූතනයේ ලෝක ශිෂ්ටාචාරයේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති ආර්යයන් පිළිබද පෙර අපර දෙදිග වියතුන්ගේ අධ්‍යයනයන් සුවිසල් වේ. ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයින්, වාග් විද්‍යාඥයින් මෙන්ම සමාජ විද්‍යාඥයින් ද තම පර්යේෂණ සීමාවන්හි සිටිමින් ‘ආර්යාගමනය’ පිළිබද අධ්‍යයන කාර්යයන්හි නියැලෙයි. පැරණි වෛදික ග‍්‍රන්ථවලට අනුව ශීත, උෂ්ණ, වසන්ත ඝෘතු පිළිබද මොවුන් දැන සිටි බව පෙනෙයි. එසේම මෙම සාහිත්‍ය මූලාශ‍්‍රවලට අනුව අශ්වයා, බැටළුවා, ඌරා වැනි සතුන් පිළිබදවද මොවුන් දැන සිට ඇත. මෙවැනි සාධකවලට අනුව යමින් ආර්යයන්ගේ මුල් භූමි හා ඔවුන්ගේ ස්වභාවය පිළිබද සෙවීමට පිළිපන් වියතුන් ලෝක ඉතිහාසය පුරා බහුලව දැකගත හැක. නමුත් වර්තමානය වන විටද පුරාවිද්‍යාඥයින්, වාග් විද්‍යාඥයින් එක්ව ගවේෂණයන් සිදු කළද ස්ථීර නිගමනයන්ට පැමිණිය නොහැකිව ඇත. එහෙත් ආර්යයන්ගේ මුල් භූමි හා ඔවුන්ගේ ව්‍යාප්ති ස්වභාවය පිළිබද වියතුන් ස්වකීය නිගමනයන් ඔස්සේ ගොඩනගා ඇති මතවාදයෝ බොහෝ වෙති. එම මතවාදයන් මොනවාද යන්න පිළිබද අධ්‍යයනය කිරීම ඔස්සේ ‘ආර්යාගමනය’ පිළිබද පුළුල් උපකල්පනයකට එළඹිය හැකි බැව් පැවසීම සාධාරණය.

ආර්යයන් යනු කවරහුද යන ඓතිහාසිකව පැන නැගි පැනයට පිළිතුරු වශයෙන් මතවාද ඉදිරිපත් කළ වියතුන් බොහෝ වෙති. ‘ආර්ය’ යනු ඉන්‍දු-යුරෝපීය හෙවත් ඉන්‍දු-ජර්මන් භාෂා කතා කරන යුරෝපීය හා ආසියාතික වැසියන් මනුෂ්‍ය වර්ගයක් ලෙසින් පොදුවේ තමන්ම හැදින්වීමට භාවිතා කරන වචනයක් වුවද ඒ පිළිබද පුළුල් අධ්‍යයනයක නියැළුණු ග‍්‍රිස්වෝල්ඞ් මහතාගේ මතය වනුයේ ‘‘එය ඉන්‍දු-අයිරේනියානු වර්ගයට අයත් කොටසට පමණක් සීමා වියයුතු බවයි.’’ මැක්ස් මුලර් පඩිතුමාගේ මතය වනුයේ ‘‘ආර්ය යන පදය භාෂාවකට ව්‍යවහාර වුවද භාෂාව හා ඒ භාෂාව කතා කරත මනුෂ්‍ය වර්ගයා අතර කිට්ටු සබදතාවයක් ඇති බව තර්කානුකූලව පෙන්වා දෙමින් හෙතෙම පෙන්වා දෙනුයේ ආර්ය භාෂාවන් කතාකරන මිනිසුන් ආර්ය වර්ගයට අයත් මිනිසුන් හෙවත් ආර්යයන් බවයි. විශේෂයෙන් ආර්ය යන පදය නිසැකයෙන්ම අයත්වනුයේ භාෂා පරපුරකටද නැතහොත් මානව පරම්පරාවකටද යන්න පිළිබද කෙරෙන ඓතිහාසික කථිකාවතෙහිදී ගෝල්ඞ් චයිල්ඞ් මහතාගේ නිගමනයන්ටද ලැබෙනුයේ සුවිසල් වටිනාකමකි. හෙතෙම ආර්යයන් පිළිබද පළ කරන අදහස නම් ‘‘යුරෝපයේ, ඇමරිකාවේ හා ඉන්දියාවේ දැනට භාවිතා වන භාෂාවන්ගෙන් වැඩි හරියක් සාමාන්‍යයෙන් ඉන්‍දු-යුරෝපීය යන නමින් හැදින්වෙන එක් භාෂා ගණයකට අයත් වෙයි. මේ භාෂාවන්ගේ ප‍්‍රභවය සේ ගතහැකි මූල භාෂා ක‍්‍රි.ව ශතවර්ෂ ගණනකට පෙර සිටම අත්ලන්තික් සාගරයේ සිට ගංගා හා තාරීම් නදීන් දක්වා විහිදී ගොස් පැවැත්තේය. ඒ මූල භාෂා සියල්ලම පොදු මාතෘ භාෂාවකින් හෝ උප භාෂා ගණනකින් පැවත ආයේය.’’ මෙම පැහැදිලි කිරීම්වලට අනුව මැනවින් විශද වන සාධකය නම් ‘ආර්ය’ යන පදය මූූල භාෂා පවුලක ආරම්භය හා නව ජන කණ්ඩායම්හි ආගමනයක පදනම බවයි.

මෙම ආර්යයන්ගේ ආදි නිවාස සම්බන්ධයෙන්ද නූතනයේ පවතින මතවාදයෝ බොහෝ වෙති. එහිදී විශේෂයෙන් ආර්යයන්ගේ මුල්භූමි පිළිබද පෙර අපර දෙදිග වියතුන් බොහෝ පර්යේෂණ සිදුකළ අතර භාරතීය ඉතිහාසය පිළිබද විසල් අධ්‍යයන කාර්යන්හි නියැලි ලොකමාන්‍යතිලක මහෝදයන් ස්වකීය ‘‘Arctic Home in the Vedas ’’ නම් ග‍්‍රන්ථයේ දී ආර්යයන්ගේ ආදි පුරුෂයෝ උත්තර ධ‍්‍රැවයට නුදුරුව සිටිබව පෙන්වා දෙයි. එමෙන්ම ආදි භාරතීය ආර්ය ජනයන්ගේ නිවාස වල පිහිටීම සම්බන්ධයෙන් අධ්‍යයන කාර්යෙහි නියැළුණු පූනා නුවර චින්තාමණී විනායක වෛද්‍ය මහතා තමන්ගේ පර්යේෂණ දත්ත එක්රැස් කරමින් රචිත History of Sanskrit Literature Vedic period නම් ග‍්‍රන්ථයේදී ආර්ය ජනාවාස පිළිබදව පරිච්ඡේදයක් වෙන් කොට ස්වකීය මතවාදයන් ගොඩනගා ඇත. ආර්යයන්ගේ ජනාවාස ව්‍යාප්තිය පිළිබද ගොඩනැගි ඇති මතවාද මොනවාද යන්න පිළිබද අධ්‍යයනයේ දී ඒ සදහා ඉතිහාසඥයින්ගේ මෙන්ම වාග් විද්‍යාඥයින් සතුවද විශාල උනන්‍දුවක් ඇති බැව් ප‍්‍රකට රහසකි. ඔවුන් විවිධ මතවාද ඒ පිළිබද ඉදිරිපත් කොට ඇත.

විශේෂයෙන් ආර්යයන්ගේ මුල් භූමි පිහිටා ඇත්තේ යුරෝපයේ යැයි පවසන කොටස් දෙකකි. තවත් පිරිසක් දකුණු රුසියාවේ ස්ටෙප්ස් පෙදෙසින් සංක‍්‍රමණය වූ බවට තතු ගොඩනගයි. මේ අතර ආර්යයන් ඉන්දියාවේ යැයි පවසන පිරිසක් ද වෙති. තවත් වියතුන් පිරිසක් කාශ්මීරය හා හිමාලය පෙදෙස ආර්ය මුල් භූමිය හා ආර්ය ව්‍යාප්තියේ කේන්‍ද්‍රස්ථානය ලෙස තතු පෙන්වා දෙයි. නමුත් ආර්ය ව්‍යාප්තිය පිළිබද පවතින සියළු මතවාද අභිබවා යමින් යුරෝපීය පඩිවරු විශ්වාස කරනුයේ ‘‘ආර්යයෝ යුරෝපයෙන් සුළු ආසියාවටද ඉන්පසු මෙසපොතේමියාවට හා ඉරාන දේශය හරහා ස්ථීර මාර්ගයක් සොයා ගෙන භාරත දේශයට පැමිණ ඇත.’’ යන්නයි. ආර්යයන් පිළිබදව දැනට ලෝකයේ පවතින සියළු මතවාද දෙස අවධානය යොමු කිරීමෙන් පසුව ආර්යයන්ගේ භාෂාව, ආර්ය ජනවර්ගයේ ස්වභාවය, ආර්යයන්ගේ මුල් භූමි හා ආර්ය ජනාවාස ව්‍යාප්තිය පිළිබදව මනා නිගමනයන්ට එළඹිය හැක. විශේෂයෙන් නූතනයේ බොහෝ මැදහත් වියතුන් ආර්යයන් පිළිබද කරනු ලබන අධ්‍යයනයන්හිදී චයිල්ඞ් විසින් විකාශයට පත් කරනු ලැබූ මතවාදයන් හා සමගාමීව යන අතර ඉතාම හේතු යුක්ති සහගතවූත්, වාග් විද්‍යාත්මක සාධකවලට මනාව ගැලපෙන්නාවූත් ලෙසින් චයිල්ඞ් ඉදිරිපත් කරනු ලැබූයේ ‘ඉන්‍දු-යුරෝපීය භාෂා දැනුම දකුණු රුසියානු ස්ටෙප්ස් ප‍්‍රදේශවල හා කෘෂිකාර්මිකයන් අතර පරිණාමය වන්නට ඇති බවයි.’ මෙම අදහස ප‍්‍රථමයෙන්ම මහාචාර්ය ජේ.ඇල් මයර්ස් මහතා හා අභාවප‍්‍රාප්ත හැරල්ඞ් පීක් යන වියතුන් ගෙනහැර දැක්වූ අතර පසු කාලීනව චයිල්ඞ් විසින් තවදුරටත් සාධක රැසකින් පොහොනි කොට මෙම මතය ප‍්‍රකාශ කරන්නට යෙදුණි.

 

ආර්ය සභ්‍යත්වය

ක‍්‍රි.පූ. 3000 දී පමණ ආරම්භ වූයේ යැයි සඳහන් කරනු ලබන ආර්ය සභ්‍යත්වය පිළිබඳ සඳහන් කිරීමේදී මෙම ආර්ය සභ්‍යත්ව තුළ මොවුන්ගේ සෑම කටයුත්තක්ම දැක ගැනීමට හැකි විය. ඒ අනුව මූලික වශයෙන් ආර්යන්ගේ සභ්‍යත්වය යනුවෙන් හැඳින්වීම තුළ අන්තර්ගත වනුයේ ඔවුන්ලේ ආර්ථික, දේශපාලනික හා සමාජික තත්වයන්ය.

ජේෂ්ඨ පුරාවිද්‍යාඥයකු හා ඉතිහාසඥයකු වූ පර්සි බ‍්‍රවුන් විසින් තම ග‍්‍රන්ථයක් වූ Indian architecture Buddhist and Hindu periods යන්නෙහි ඉන්දු ආර්යන්ගේ ආර්ථික රටාව පිළිබඳ සඳහන් කිරීමේදී කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ජීවන උපාය වශයෙන් භාවිත වන අතර අර්ධ වූ . එඬේර තත්වයක් යටතේ යම් වූ සත්ත්ව පාලනයක් සිදු කරන්න පිරිසක් ඇති බව පෙන්වා දෙනු ලැබේ. මේ අනුව පෙනී යනුයේ සරළ වූ ආර්ථික රටාවකින් යුක්තව සමාජ වූ බවකි. කෘෂිකර්මාන්තයේ නිරත වෙමින් මැටි ගැසූ ගෙවල් වල ජීවත් වූ බවක් දක්නට ලැබෙන අතර මූලිකවම එහිදී උණ බට භාවිතයක් සිදු වූ බවක් දක්නට ලැබේ. විශේෂයෙන් ග‍්‍රාමයට ඇතුල් වීමේදී උණ බට භාවිතයෙන් නිර්මාණය කරන ලද ගේට්ටුවක් වැනි දෙයක් ද එසේම ග‍්‍රාමය වටා බඳින ලද උණ බට සහිත වූ වැටක් ද දක්නට ලැබුණු බව ඉතිහාසඥයන් විසින් පෙන්වා දෙන ලදී.

                     පැරණි වෛදික ග‍්‍රාමයක ස්වරූපය (ප‍්‍රති නිර්මාණය කිරීමකි)

සෘග්වේදයේ කේෂත‍්‍ර වශයෙන් හඳුන්වා ඇති කෘෂි කේෂත‍්‍රයන්හී සී සෑමේ කි‍්‍රයාවලියට පසුව බාර්ලි හා වී වගාවන් සිදු කළ බවක් දක්නට ලැබේ. විශේෂයෙන් ජල සම්පාදක තත්වයන් ඇති කර ගන්නා ලද්දේ ජල සම්පාදක වේලී බාවිතයට ගනිමින්ය. ආර්ථික තත්වය සොයා බැලීමේදී පවුලකට අයත් වූ සත්ත්ව ප‍්‍රමාණය සොයා බලන ලදී. මෙහිදී ගවයා හට ප‍්‍රමුඛ වූ ස්ථානයක් ලබා දීමට හැම විටකදීම මොවුන් කටයුතු කර ඇති බවක් දක්නට ලැබේ. වර්තමානයේ පවා එම තත්වය ඒ අකාරයෙන් දැක ගැනීමට හැකි වනුයේය. එ අකාරයෙන් ගවයාට ප‍්‍රමුඛ වු බවක් ලබා දෙන විට ගවයා සඳහා සුදුසු වූ තෘණ භූමින් ද ප‍්‍රදේශ ආශ‍්‍රිත වූ ගංඟාධාර වලින් දැක ගත හැකිය. සෘග් වේදයට අනුව තමන්ගේ ගවයින් ආරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් ඇයැද සිටින අවස්ථාවන් ද යනු ලැබේ. එහිදී තම ගවයන් හට සිදුවන සත්ත්ව කරදර ආදී වූ කරදර වලින් ආරක්ෂා කර දෙන මෙන් තමන් අදහන දෙවියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මේ අනුව පෙනී යන්නේ ගවයාට මුල් තැනක් හා ගවයා ප‍්‍රධාන වූ ජීවන උපායක් වූ බවයි.

විශේෂයෙන් මුල් ආර්ය පිරිස දේශගුනික තත්වයන් පිළිබඳ දැන සිටි බවක් මැනවින් දැක ගැනීමට හැකි වනුයේය. දේශගුණක තත්වය මත ක‍්‍රියාකරන අකාරය හා තත් අවට ශාකායනය තම ජීවිතය සඳහා කෙබඳු වූ වැදගත් කමකින් යුක්ත වන්නේද යන්න පිළිබඳ පෙන්වා දෙන ලදී. ඒ අනුව ශිත , උෂ්ණ, වසන්ත වැනි සෘතු සම්බන්ධව මෙම ජනයා දැන සිටි බවත් විශේෂයෙන් සත්වයන් හීලෑ කරණය සිදු වීම නියොලිතික් අවධිය තෙක් ගමන් කරන බවක් දක්නට ලැබේ. විශේෂයෙන් මානව ඉතිහාසයේ නව ශිලා යුගය පිළිබද වන අදහස පළමු වරට ගෝල්ඩන් චයල්ඞ් (1892- 1957) නම් විද්වතා විසින් ලොවට විවරණය කරන ලදී. එහෙයින් මානව සංස්කෘතික පරිණාමයේ හැරවුම් ලක්ෂයක් ලෙස නම් කරන හෙතෙම ශිලා විප්ලවය (Neolithic revolution) ලෙස මෙකී පරිවර්තනයට අර්ථ ගන්වා ඇති ආකාරය හඳුනා ගත හැකි වේ. විශේෂයෙන් ම ආහාර නිෂ්පාදනය ඇරඹීම, ජනාවාස සඳහා පදනම, නිර්මාණය ජන රේඛනයේ ප‍්‍රසාරණය, විශේෂ ශිල්ප ප‍්‍රගුණ්‍යතාව, ඉල්ලූම හා සැපයුම පදනම් කොට ගත් අර්ථ ක‍්‍රමයක ආරම්භය වැනි සාධක හා එ්වා බැඳි නව ප‍්‍රවණතා රැසක් නියොලිතික සංස්කෘතිය තුළින් හඳුනා ගැනෙනු ලැබේ. සමාන්‍යයෙන් ඉන්දියාවේ නව ශිලා යුගය ක‍්‍රි. පූ 5000 ට පෙර ආරම්භ විය. ඒ අනුව භාරතයට ආර්යන් පැමිණෙන විට ද සත්ත්ව ගෘහස්ථකරණය පිළිබඳ යම් තරමකට මෙම පිරිස දැන සිටියා විය හැකිය

ඒ අනුව මූලික වශයෙන් වෛදික ආර්යන් බැටළුවා ,අශ්වයා , බල්ලා , ඌරා වැනි සතුන් තම අවශ්‍යතා අනුව යොදා ගත් බව පැහැදිලි වේ. සත්ත්ව පාලනයට අමතරව වෛදික ආර්යන් යම් ආකාරයටක කපු රෙදි විවීම පිළිබඳ දැනුම් සම්බාරයකින් යුක්ත වූ බවක් දැකගත හැකිය. සෘග් වේදයට අනුව ගන්ධාර දේශයේ ලෝම රෙදි විවීමක් ගැනද සඳහන් වී තිබූ බවක් දක්නට ලැබේ. කෙසේ වූවත් ගන්ධාරය හා කාසී ජනපදය බුද්ධ කාලය වන විට ද රෙදි පිළි නිර්මාණය සඳහා ප‍්‍රසිද්ධියක් ලබා සිටි බවක් දක්නට ලැබේ. මේ අනුව පෙනී යන්නේ මුල් කාලීන ආර්යන් විසින් සිදු කළ කාර්යන් පසුකාලීන එනම් කි‍්‍ර.පූ. 6 වන සියවස වන විට යම් ආකාරයකට වර්ධනීය තත්වයක් පෙන්නුම් කළ බවකි. එසේම ආර්යන්ගේ වර්ධනීය තත්වයන් වෛදික යුගය වන විට දැකගත හැකි වනුයේය. එහිදී ග‍්‍රාමීය වශයෙන් විවිධ වූ කර්මාන්තයන් සිදු කළ බවක් දක්නට ලැබේ. එහිදී තත් සමාජයට අනුව ආභරණයන් නිර්මාණය කිරීම, ගොවි උපකරණයන් නිර්මාණය කිරීම, මැටි බඳුන් නිර්මාණය කිරීම ආදී වූ කර්මාන්තයන්හී නියලූනු බවක් දක්නට ලැබේ.

මෙම සමාජයන්හී දක්නට ලැබූ කුඩාම ඒකකය පවුල වශයෙන් දක්වන්නට යෙදුණු අතර පවුලේ ප‍්‍රධානියා වූයේ පියා විය. ඔහුගේ පාලනය යටතේ කටයුතු සිදු වූ බවක් දක්නට ලැබේ. මේ අකාරයෙන් නිර්මාණය වූ පවුල් සංස්ථාව මඟින් මූලික වශයෙන් ම ග‍්‍රාමීය තත්වය ඇති විය. විශේෂයෙන් පිතෘ මූලික වූ සමාජ තත්වයක් තත් සමාජයේ දක්නට හැකි විය. එහිදී කාන්තාව පහත් තැනැත්තියක් වශයෙන් නොසලකන අතර ඇයද යම් වූ බල අධිකාරිත්වයකින් යුක්තව දැක ගන්නට හැකි විය. විශේෂයෙන් තත් නිවාස වල උපස්ථාන ශාලාවක් හා ස්ත‍්‍රීන්ට වෙන් වූ කාමරයකින් ද යුක්ත විය. ගෙහිමියා ගෘහපති හෙවත් දහම්පති යුනයෙන් හඳුන්වන ලදී. සමාන්‍යයෙන් පුරුෂයා කරුණික තැනැත්තේකු වශයෙන් දක්වන අතර නමුත් ඇතැම් අවස්ථාවන්හීදී යම් ආකාරයට අකාරුණික වූ තත්වයන් ද දක්නට හැකි විය. වේදයේ සඳහන් වන කථා වස්තුවකට අනුව තම පියා ඉක්මවා ගිය පුතුගේ දෙනෙත් අන්ධ කරන ලදී. මේ ආකාරයෙන් පියා අකාරුණික තත්වය පත් වූ බවක් දක්නට ලැබේ.

විශේෂයෙන් වෛදික සාහිත්‍යයේ සඳහන් වන අකාරයට කාන්තාවන් හට විශේෂ වූ වර ප‍්‍රසාද හිමි වූ අතර තරුණ බවට පත් වීමත් සමඟ කාන්තාවන් විවාහ කර දීමට කටයුතු යොදන ලදී. සිය නිවසේ රැජින කාන්තාව වූ අතර ආගමික තත්වයන් සඳහාද ඇය සහභාගී විය. විශේෂයෙන් ආභරණ භාවිතය මැනවින් දක්නට ලැබෙන අතර ඇඳු සඳහා කපු හා සිනිඳු මුව සමින් භාවිතයට ගත් බවක් දක්නට ලැබේ. සෘග්වේද යුගයේ තත් සමාජයේ පැවැති කර්මාන්ත අතුරින් ලී වැඩ කරුවන්, ලෝකරුවන්, සොම්මරු, පෙහෙර, හා කුඹල් කරුවන් යන කර්මාන්ත සඳහා විශේෂ ස්ථානයක් හිමිව ඇත. විශේෂයෙන් ලී වැඩ කරන්නන් විසින් ලීයේන නිර්මාණය කළ රථ, කරත්ත, ගෙවල් , ජල යාත‍්‍ර වැනි දේවල් ප‍්‍රමුඛ තත්වයට පත් විය. විශේෂයෙන් එහිදී ලී වැඩ සඳහා සුදුසු අමුද්‍රව්‍ය අවට තිබූ වනාන්තර ආශ‍්‍රයෙන් සොයා ගත් බවක් දක්නය හැකිය. ලෝශ නිර්මාණයේ දී විශේෂයෙන් සී සෑම සඳහා අවශ්‍ය වන උපකරණ නිර්මාණය හා අවි ආයුධ නිර්මාණය වැනි තත්වයන් දක්නට හැකිය. මෙහිදී සෘග් වේදයේ සඳහන් වන අයස් යන්න පිළිබඳ විවිධ මතවාදයන් ද දක්නට හැකිය. විශේෂයෙන් අයස් යනු තඹ හෝ ලෝකඩ භාවිතයක් බව විද්වතුන් අදහස් දක්වන අතර මෙම මතය යම් වූ තරමකට නිවැරදි වන්නේ ඉන්දියානු නියලෝතික් කාලය වන විට ද තඹ භාවිතය පිළිබඳ මිනිසුන් දැන සිටි බැවින් විශේෂයෙන් ක‍්‍රි.පූ 1500 දී භාරතයට ආර්යන් සංක‍්‍රමණ වූ බවක් දක්නට ලැබේ. තත් සමකාලයට අයත් මාල්වා සංස්කෘතිය හා ජොවා සංස්කෘතිය තුළ තඹ භාවිතය සිදු වූ බවක් දක්නට ලැබේ. එය පුරාවිද්‍යාත්මක සාධකයන් මඟින් අනාවරණය කර ඇති බවක් ද දක්නට ලැබේ.

ආර්ය පිරිසගේ ආගම පිළිබද අධ්‍යයනය කිරීමේ දී වේද ග‍්‍රන්ථ ප‍්‍රමුඛ බවක් ගෙන දෙනු ලැබේ. මෙහිදී පැරණිම වේද ග‍්‍රන්ථය වශයෙන් සැළකෙන ඝෘග්වේදය තුළ ආර්ය පිරිසගේ ආගම ගැන සඳහන් වනු ලැබේ. ඒ අනුව ආර්ය පිරිස වනාහී බොහෝ දෙවියන් අදහන ලද පිරිසක් වශයෙන් දක්වන අතර බහු දේවාවාදය ප‍්‍රමුඛ විය. විශේසයෙන් ඉන්ද්‍ර, වරුණ, මිත‍්‍ර, අග්ගි වැනි ස්භාවික වස්තුන් මූලික කොට ගෙන තම ආගම හා ඇදහීම නිර්මාණය කරන ගත් බවක් දක්නට හැකිය. විශේෂයෙන් ස්භාවික ලෝකයේ තම අවශ්‍යතා සඳහා උපාකාර කරන පාරිසරික වස්තු කෙරෙහි යම් වූ දෙවත්වයක් ආරෝපණය කිරීමට මෙම පිරිස කටයුතු කර ඇත.

නිකන් ඉන්න එකේ ඔය එක එක එවා බලලා ඩේටා නාස්ති කරගන්නනේ නැතිව සිංහල ටයිප් කරන්න දන්නවනම් ෆෝන් එකට රීලෝඩ් එකක් එන පොඩි ජොබ් එකක් කරමුද?

ඔබ පාසල්, පිරිවෙන්, දහම් පාසල් ගුරුවරයෙක් නම් අදම මෙහි ලියා පදිංචි වෙන්න ඉතිරිය අපි කියල දෙන්නම්.
ලියාපදිංචි වෙන්න
විස්තර දැනගන්​න