ආර්යාගමනය

 

ලෝක ඉතිහාස ධාරාවෙහි ශිෂ්ට සමාජ ධාරාවන් රැසක් බිහිකරනුවස් පුරෝගාමී මෙහෙවරක් සිදු කළ ආර්යයන් පිළිබද අධ්‍යයනයේ දී ඔවුන්ගේ කාර්ය සාඵල්‍යය හා විහිදී යාම පිළිබද අධ්‍යයනයට පෙර අර්යයන් පිළිබද අධ්‍යයනයට උපයෝගී කරගත හැකි මූලාශ‍්‍ර පිළිබද දැනුම අතිශය වැදගත් වෙයි. මානව ඉතිහසායේ ඉතා දීප්තිමත් ජන වර්ගයක් වශයෙන් සලකන ආර්යයන්ගේ ලෝක ව්‍යාප්තිය කවදා කොතැනකදී ආරම්භ වූයේද යන්න නූතනය වන විටද නොවිසිදී ඇති පැනයකි. ලොව අතිවිශිෂ්ට ශිෂ්ටාචාර බිහිකිරීමට දායක වූ ආර්යයන් පිළිබද අධ්‍යයනයේ දී තමන් ආර්යයන්ගෙන් පැවත එන බැව් විශද කිරීමට ජාතීන් ගොඩනැගූ පුරාතන ඉතිහාසකරණ සම්ප‍්‍රදායන් ඉතා වැදගත් වෙයි. භාරතය, පර්සියාව, ග‍්‍රීක, ප‍්‍රංශ, ඉංග‍්‍රීසි වැනි ජාතීන් තමන් ආර්යයන්ගෙන් පැවත එන බැව් තහවුරු කරනුවස් එම ජාතීන්ගේ මූල ඉතිහාසය හා බද්ධව ආර්ය සංකල්පය ගොඩනගා ඇති අතර එබදු මූල ඉතිහාසකරණ සම්ප‍්‍රදායන් මූලාශ‍්‍රමය වශයෙන් උපයෝගී කරගනිමින් ‘ආර්යාගමනය’ පිළිබද අර්ථවත් අධ්‍යයනයක නියැලීමට හැක.

ආර්යාගමනය පිළිබද අධ්‍යයනයේ දී මූලාශ‍්‍රමය වශයෙන් සාහිත්‍ය මූලාශ‍්‍ර පමණක් නොව පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන්ගේ ආලෝකයද නූතනය වන විට ලද හැකිවීම විශ්වසනීය අධ්‍යයනයකට මංපෙත් විවර කරන සාධකයකි. ආර්ය සංකල්පය වඩාත් මුල් බැස ඇති භාරතයේ මූල ඉතිහාසය තුළ ආර්ය සබ්‍යත්වය පිළිබද තතු ගැබ් වෙයි. විශේෂයෙන් ඝෘග් වේදය වනාහි භාරතීයන්ගේ ආදිතම ඉතිහාසකරණ සම්ප‍්‍රදාය ගොඩනැගි රචනයක් වන අතර මේ තුළින් ආර්යයන්ගේ සමාජීය ජීවිතය පිළිබද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැක. ප‍්‍රථම ආර්ය සමාජයන්හි භෞතික සංස්කෘතිය සකස්කර ගැනීමට උපයෝගී වූ ඔවුන්ගේ අතීත මානව දැනුම මෙන්ම ඉන්‍දු-යුරෝපීය ආර්ය සම්ප‍්‍රදාය හරප්පා අංග හා මුසුවීමට පෙර ආර්ය විජයග‍්‍රහණයන්හි ප‍්‍රවේශ අවස්ථාව ඉතා විශ්වසනීය ලෙස ඝෘග් වේදය ඔස්සේ අධ්‍යයනය කළ හැක. විශේෂයෙන් අපරදිග වැසියන් ආර්ය ශබ්දය පවා උකහාගනු ලැබූයේ වේදයෙන් බැව් භාරතීය ඉතිහාසඥයින් පෙන්වා දෙයි. ඊට සාධක ලෙස ඔවුන් පෙන්වා දෙනුයේ ආර්යයන් පිළිබද අධ්‍යයනයේ දී මූලාශ‍්‍රයක් ලෙස ඝෘග් වේදය උපයෝගී කර ගැනීමෙන් එහි ආර්ය ශබ්දය දක්නට ලැබෙන බවයි. භාරතීයයන් පෙන්වාදෙන මෙම සාධකය නම්,


‘‘ යො නො දාස ආර්යේ‍යා වා පුරුෂ්ටතා දෙව ඉන්‍ද්‍රයුධයේ චිකෙතති.’’


යනාදී ඝෘග් වේදයේ එන මන්ත‍්‍රයෙන් ආර්ය ශබ්දය සනාථ වෙයි. ආර්යයන්ගේ භාරතය තුළ වූ ව්‍යාප්තිය පිළිබද අධ්‍යයනයේදී ද ඝෘග් වේදයෙන් ලැබෙන ආලෝකය විසල්ය. භාරතයට පැමිණි ආර්යයන් පංජාබයේ සිට ගංගා නදිය තෙක් හිමාලය ආසන්න භූමියෙහි ලැගුම්ගත් බැව් ද ඝෘග් වේදයේ සදහන් වෙයි. ඝෘග් වේදයට අමතරව වෛදික ආර්යයන් පිළිබදවත් ඔවුන් භාරතයට පැමිණ පදිංචි වීම හා ව්‍යාප්තිය පිළිබදවත් අධ්‍යයනය කිරීමට වෛදික සාහිත්‍යයේ එන යජුර් වේදය ද උපයෝගී කරගත හැක. ආර්ය ශිෂ්ටාචාරය වයඹදිග ප‍්‍රදේශවල සිට මධ්‍ය තැනිතලා ප‍්‍රදේශයට විහිදීම පිළිබද තොරතුරු රැසක් යජුර් වේදයෙන් අධ්‍යයනය කළ හැක. මීට අමතරව නූතන ඉතිහාසඥයන් ආර්යයන්ගේ ලෝක ව්‍යාප්තිය පිළිබද කරන ලද පර්යේෂණ රැසක් පවතින අතර ඒවාද ‘ආර්යාගමනය’ පිළිබද අධ්‍යයනයේදී මූලාශ‍්‍රමය පරිධියේ තබාගත හැක. වී.ජී චයිල්ඞ් 1926 දී The Aryans ලෙසින් රචිත ග‍්‍රන්ථය මෙහිදී ඉතා වැදගත් වෙයි. ඞී.ඇස්. කූන් විසින් ‘Race of Europ’ නම් ග‍්‍රන්ථය 1939දී රචනා කරන ලද අතර එහිස යුරෝපීය ආර්ය සභ්‍යත්වයේ ක‍්‍රමික විකාශනය පිළිබද තතු ගැබ්වී ඇත. ‘ආර්යාගමනය’ පිළිබද අධ්‍යයනය උදෙසා ප‍්‍රවේශවීමේ දී ආර්ය සංකල්පය හා ලෝකයේ ආර්ය ව්‍යාප්තිය පිළිබද තතු ගැබ්ව ඇති සාහිත්‍ය මූලාශ‍්‍ර ඉතා විසල් වශයෙන් පැවතියද එම තතුවල විශ්වසනීයත්වය තහවුරු කරගනුවස් ඉවහල් කරගත හැකි පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන්හි ආලෝකය ඉතා අල්ප වේ.

සාහිත්‍ය මූලාශ‍්‍රයන්හි ආදිම ආර්යයන්ගේ ආරම්භය හා විකාශනය පිළිබද ආකූල ස්වභාවයක් පවතින විටදී සුළු ආසියාවේත්, බටහිර ආසියාවේත් කළ පුරාවිද්‍යා ගවේෂණවලදී සොයාගන්නා ලද ක‍්‍රි:පූ: 13වන ශතවර්ෂයට අයත් සමහර අභිලේඛනයන්හි ‘ඉන්‍දු, මිත‍්‍ර, වරුණ හා නාසත්‍ය’ යන දෙවිවරුනට උපහාර කිරීමට ආරාධනා ලැබූ ආර්ය නාමයන් දැරූ රජවරු පිළිබද වූ සදහන් හමුවීම ආර්යයන් පිළිබද අධ්‍යයනය විශ්වසනීය තලයකට පමුණුවන්නකි. එමෙන්ම ආර්යයන් පිළිබදව නූතනයේ කරනු ලබන අධ්‍යයනයන් විශ්වසනීය තලයකට ඔසවා ලූ පුරාවිද්‍යාත්මක සාධක ලෙසින් සුළු ආසියාවේ කැපඩෝසියා ප‍්‍රදේශයේ බොඝස්කෝයි නැමැති ප‍්‍රදේශයෙන් සොයාගත් සෙල් ලිපිය හදුනාගත හැක. ඝෘග් වේදයේ පිළිඹිමු වන ආර්යයන් භාරතයට පැමිණියේ ක‍්‍රි.පූ. 15වන සියවසේ යැයි නිශ්චය කරගැනීමට ඉතිහාසඥයින්හට මෙය උපකාරී වෙයි. බොඝස්කෝයි ලිපියේ ඇති තවත් ඓතිහාසික වැදගත්කමක් නම් ඉන්දියාවට පැමිණීමට පෙර ඉන්‍දු-ඉරානීය ජනයා සමග ඔවුන් එකට ඉරානය අවට ප‍්‍රදේශවල වාසස්ථාන කරගෙන සිටි බව තහවුරු වීමයි. මෙම පුරාවිද්‍යා මූලාශ‍්‍ර ඔස්සේ සාහිත්‍ය මූලාශ‍්‍රයන්හි ගැබ් වූ තතු තහවුරුවීම හේතුවෙන් නූතන වියතුන්හට ඉතා විශ්වසනීය අධ්‍යයනයක් ලෙසින් ආර්යයන් පිළිබද අධ්‍යයනයට ප‍්‍රවේශ විය හැක.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Next Post

ලිංග භේදය

Sat Jul 13 , 2019
  නාම පදයක් තුළ ලිංග භේදය දැකිය හැකිය. සිංහල භාෂාවේ ලිංග භේදය තෙවැදෑරුම්ය.  පුරුෂ ලිංග. ස්ත්‍රි ලිංග. නපුංසක ලිංග. සිදත් සගරාවේදි ලිංග භේදය හදුන්වා අැත්තේ මේය,මෝය යන වහරට කරුණු වූයේ ලිගු නම් යනුවෙනි. පුත්,බමර,වදුරු,බමුණු,කුමර,මොනර, අාදි නාම පුරුෂ භාවය හගවන නිසා පුරුෂ ලිංගයට අයත් වේ. කත්,අගන,වනිතා,සෙබඩ අාදි නාම ස්ත්‍රි භාවය හගවන […]

Tags

අක්ෂර අනගාරික ධර්මපාල තුමා අනුමත කීරීම අම්පාර ඉංග්‍රීසි වාර සටහන් ඉතිහාසය ඉන්දියන් ඉතිහාසය උසස් පෙළ ඉතිහාස​ය කළුතර කාල සටහන් කැටයම් කලාව කුරුණෑගල කොළඹ ගම්පහ ගුරු පුරප්පාඩු නිකාය නිරුක්ති පාලි පැලෑනේ සිරි වජිරඥාන මහ නාහිමිපාණන් පිරිවෙන් ගීතය පිරිවෙන් ‌කොඩිය පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි පුජ්‍ය වාරියපොළ ශ්‍රී සුමංගල හිමි පූජිත ජීවිත පොලොන්නරුව බලංගොඩ ආනන්ද මෛත්රිය මහා ස්වාමින්වහන්සේ බලංන්ගොඩ සමිත හිමි බෞද්ධ අධ්‍යයනය මහනුවර මොනරාගල රජවරැ වංශකථා ව්‍යංජන අක්ෂර ව්‍යාකරණ විනය නීති විෂය අධ්‍යක්ෂවරු වෙබ් සයිට් එකක් හදමු ශ්‍රී සරණංකර සඟරජ හිමි සංදේ​ශ සංස්කෘත සිංහල සිංහල වාර සටහන් සුමංගල ස්වාමින්වහන්සේ සුමන හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ