Tuesday, 22 October, 2019

“අභිධර්ම“ වචනාර්ථ විග්‍රහය.


 

ධර්ම විනය සුරක්ෂිතාව විෂයෙහි සම්මා සම්බුද්ධ පරිණිර්වානයෙන් නොබො දිනකින්ම ශාසනභාරධාරි මහ තෙරුන් වහන්සේලා විසින් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නට වු බව චුල්ලවග්ග පාළි පංචසතිකඛන්ධයෙන් හෙළිවේ. එකි සංගායනාවෙහි සාර ඵලයක් ලෙස සකළ තථාගතභාෂිතයම ප්‍රධාන බෙදීම් කීපයක් යටතේ අන්තර්ගත කරන්නට විය. එම ප්‍රභේදගත කිරීම් අතරින් බුද්ධභාෂිතය තෙවැදැරුම් වන බව දැක්වීම ප්‍රධාන වේ. ස්‍රත්‍ර විනය අභිධර්ම වශයෙන් තෙවැදැරුම්ව දක්වන්නට යෙදුණු බව ධම්මසංගිණීප්‍රකරණට්ඨකථාව වන අත්‍ථසාලනියෙහි දැක්වේ“සබ්බම්පි හෙතං පිටකතො විනය පිටකං සුත්තන්ත පිටකං අභිධම්ම පිටකන්ති තිප්පභෙදමෙව හොති ”.

මෙකී ත්‍රිපිටකාගත බෙදීම තුළ ස්‍රත්‍ර විනය යන පිටක ද්වය පිළිබඳ කිසිදු මත භේදයක් සම්ප්‍රදායන් තුළ දැක ගත නොහැකිය. නමුදු අභිධර්ම පිටකය බොහෝ කරුණු කාරණා හේතුවෙන් මත භේදයට තුඩු දි තිබේ. මේහෙයින් පෙරපරදිග විද්වතුන් මේ පිළිබඳ විවිධ මතිමතාන්තරයන් ඉදිරිපත් කර තිබේ. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි හුදු ආපේක්ෂාවයි.

අභිධම්ම යනු අභි ධම්ම යන පද ද්වයෙහි සමෝධානයෙන් නිර්මිත අව්‍ය සමාස පදයකි. මෙහි අභි යනු උපසර්ග පදයකි- අභි යන උපසර්ගය අර්ථ ගණනාවක යෙදේ.

  • අභිමුඛභාව.
  • විසිට්ඨ.
  • අධික.
  • උද්ධකම්ම.
  • කුල.
  • සාරුප්ප.
  • වන්දන.
  • ලක්ඛණ    යනුවෙනි.

මෙයින් ලක්ෂණාර්ථයෙහි අභි උපසර්ගය ධර්මය සමග යෙදෙන බව පෙනෙයි. බුද්ධඝෝෂ හිමියන් අත්‍ථසාලිනීයෙහිදී පෙන්වා දෙනුයේ අභි උපසර්ගය ධර්ම සමග යෙදුන තන්හි “ අතිරේක ධර්මය , විශේෂ ධර්මය ” යනාර්ථයන් ලබා දෙන බවයි “තත්ථ අභිධම්මොති කෙනට්ඨෙන අභිධම්මො ධම්මාතිරේක ධම්ම විසෙසට්ඨෙන අතිරේක විසෙසත්‍ථදිපකොහි එත්ථ අභි සද්දො”.

පාලි සිංහල ශබ්දකෝෂයෙහිද අභිධම්ම යන්නට අර්ථ ගණනාවක් දි ඇත. උත්තර ධර්මය, චිත්ත චෙතසික රූප නිබ්බාණ යන චතුර්විධ පරමාර්ථ පිළිබඳ ධර්මය , අතිරේක විශේෂ වු ධර්මය යනුවෙනි.

Rhys devids පාලි ඉංග්‍රීසි ශබ්ද කෝෂයෙහිද අභිධම්ම යන්නට අර්ථ කීපයක් දී තිබේ.

  • Special dhamma – විශේෂ ධර්මය.
  • Theory of the doctrine – සෛද්ධාන්තික ධර්මය.
  • The doctrine classified – වර්ගීභූත ධර්මය.
  • The doctrine pure and simple – පිරිසිදු හා සරළ ධර්මය

අටුවා විග්‍රහයන් හා පාලි ශබ්දකෝෂයන් තුළ දක්වන ලද අර්ථ කථනයන් දෙස නෙතග යොමු කිරීමෙන් පැහැදිළි වන්නේ අභිධම්ම යන්න සාමාන්‍ය ධම්ම යන්නට වඩා විශේෂ වු සෛද්ධාන්තික ධර්මයක් බවයි. දීඝනිකායෙහි සංගීති සුත්‍රයෙහි එන ‘අභිධම්ම’ යන වචනයට අර්ථ දක්වන බුද්ධඝෝෂ තෙරුන් මේ සඳහා අර්ථ දෙකක් ලබාදෙයි.

  • අභිධර්ම යනු සප්තප්‍රකරණයයි.
  • මාර්ගඵල අභිධර්මයි “අභිධම්මොති සත්තප්පකරණානි මග්ගඵලානි අභිධම්මො” මජ්ක්‍ධිම නිකායාන්තර්ගත කින්ති සූත්‍රයෙහි එන අභිධම්ම යන්නට විශිෂ්ට ධර්මාර්ථයෙහි සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් දක්වා තිබේ.

“අභිධම්මොති විසිට්ඨෙ ධම්මෙ ඉමෙසු සත්තිංස බොධිපක්ඛිය ධම්මෙසූති අත්ථො ” තදීය අට්ඨ කථා විග්‍රහායන්ට අනුව පැහැදිලි වන කරුණක් නම් අභිධම්ම යන්නට පොදු අර්ථ කථනයක් අටුවාචාර්යන් තුළද නොතිබු බවය.

අභිධර්මය යනු කුමක්ද යන්න පිළිබද විග්‍රහායක යෙදෙන මහාචාර්ය ඩබ් -එස්- කරුණාරත්නයන් පෙන්වා දෙනුයේ ධර්ම විනය යනුවෙන් ද්විවිධ වූ බුද්ධ වචනය අතුරෙන් ධර්මය අලළා විශේෂ වශයෙන් හා අතිරේක වශයෙන් ප්‍රභුත වු සංග්‍රහා නයත් සංගෘහිත විෂයන් තදනුකූල චින්තන විධීයත් භාවිතව්‍ය මාර්ගයත් අභිධර්මය නමින් හැදින්වෙන බවයි – සම්බුද්ධ දේශිත සද්ධර්මය ප්‍රභව කොට ඇති ක්‍රමවත් වු ගැඹුරු වු සුතමය චින්තාමය භාවනාමය ඥානස්කන්ධය අභිධර්මයයි.

සමස්ත අභිධර්ම පිටකයෙහිම සාරාංශයක් වු අභිධර්ම පිටකමාර්ගෝපදේශකය Guide through the Abhidhamma pitaka නමැති ග්‍රන්ථය රචනා කළ ජර්මන් ජාතික ඥාණාලෝක හිමියන් අභිධර්මය වූකලි විද්වතුන් විසින් කෘතීම ලෙස සංවර්ධිත අභිනව විෂය ක්‍ෂේත්‍රයක් ලෙස නොව මුලික සුත්‍රදේශනාගත ඉගැන්වීම් විධිමත් ලෙස භෞතික හා මනෝවිද්‍යාත්මක පදනමක් මත විග්‍රහා කිරීමට ගන්නා ලද අද්විතීය උත්සහයක අග්‍රගණ්‍ය ප්‍රතිඵලයක් ලෙස අදහස් කරයි.

මහාචාර්‍ය්‍ය සුමනපාල ගල්මංගොඩයන්ගේ අභිධර්මය විෂයෙහි අදහස වන්නේ අභිධර්මය වනාහි ක්‍රමානුකූලව ඌන පූර්ණ සහිතව ලද්දාවූද සංවර්ධනය කරන ලද්දාවූද බුද්ධ වචනය යනුවෙන් හැදින්විම යුක්තියුක්ත බවයි .

අභිධර්මය යන්නෙහි වචනාර්ථ විග්‍රහායක යෙදෙන කෝගන් මිශුනෝ (ණදටැබ ඵස’මබද) සර්වාස්තිවාදීන්ගේ මහාවිභාෂා ශාස්ත්‍රයේදී විවිධ සම්ප්‍රදායන්වල පුද්ගලයන් විසින් අභිධර්මය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විවිධ විවරණයන් දක්වාලනු ලබයි.

  1. චීනයේ අභිධර්මය යන වචනය පරිවර්තනය කොට ඇත්තේ මහාධර්මය, අතුල්‍ය ධර්මය, උත්තරීතර ධර්මය, ධර්මාධ්‍යයනය හෝ අභිමුඛ ධර්මය යනුවෙනි.
  2. ආභිධම්මිකයො පහත සඳහන් හේතු දක්වති. විද්‍යමාන ධර්මයන්ගේ ලක්‍ෂණ පරික්‍ෂා කොට නිශ්චය කිරීමට අභිධර්මයට පුළුවන්කම තිබේ. විද්‍යමාන ධර්මයන්ගේ විවිධ ස්වභාවයන් සොයාබලා ඒවා අවබෝධ කර ගැනීමටද හැකියාව තිබේ.
  3. වසුමිත්‍රපාදයෝ අභිධර්මයට විද්‍යමාන ධර්මයන්ගේ ස්වභාවය හා ලක්‍ෂණ පරික්‍ෂා කළ හැකිය. ධර්මයන්ගේ සමවාය ලක්‍ෂණත් ද්වාදශාංග ප්‍රතීත්‍ය සමුත්පාදයන් එයින් විවරණය වේ.
  4. භදන්ත මතය – වාක්‍ය වාක්‍යාංශ හා වචනවල මාර්ගයෙන් එය ක්ලේශ ධර්ම පරිශුද්ධිය, සංසාරය, නිර්වාණය, අභිවෘද්ධිය වැනි කරුණු එක්තැන් කොට සකස්කරන බැවින් අභිධර්මය යන වචනය භාවිත කෙරේ.
  5. ඝෝසය මතය – සම්‍යග් ප්‍රතිපත්තියෙහි පිහිටා නිවන් සොයා යන තැනැත්තාට එමගින් දුක්ඛ සමුදය, නිරෝධ හා මාර්ග සත්‍යයන් පිළිබඳවත් පූර්වභාග ප්‍රතිපත්තිය පිළිබඳවත් නිර්වාණගාමි ප්‍රතිපත්තිය පිළිබඳවත් විශේෂ වූත් උත්තරීතර වූ ප්‍රදිපදාව පිළිබඳවත් පැහැදිළි අවබෝධයක් ලබාදෙන බැවින් අභිධර්ම නම් වේ.
  6. ධර්මගුප්තික මතය – ධර්මයන්ගේ ප්‍රධානත්වය හේතුකොට ගෙන අභිධර්මය යැයි කියනු ලැබේ.
  7. මහීසාසක මතය – එහි ඉගැන්වෙන ප්‍රඥාවෙන් ලෞකික ධර්ම සියල්ල බැබළෙන බැවින් එයම අභිධර්ම යැයි කියනු ලැබේ. 
  8. දෘෂ්ටාන්තික මතය – සියලු ධර්ම නිර්වාණය උත්තරීතරය, ඊළගට ගැනෙන්නේ අභිධර්මයයි. එබැවින් එයට අභිධර්මය යැයි කියනු ලැබේ .   එනමුදු මෙහි එන මතයන් තුළ අභිධර්මය මෙබදු යැයි කිසිදු තැනෙක්හි ඍජු විග්‍රහායක් නොමැත.
හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

0 comments on ““අභිධර්ම“ වචනාර්ථ විග්‍රහය.

Leave a Reply

විජිත වෙලගෙදර මැතිතුමා

පිරිවෙන් ගීතය

PropellerAds

ad

Categories