Tuesday, 22 October, 2019

ගෘහ්‍ය සූත්‍ර


ගෘහ්‍ය සූත්‍ර යනුවෙන් හැඳින්වූයේ දෛනික ජීවිතයට අවශ්‍ය කටයුතු කාරණා සංවිධානය කිරීම පිණිස සකස් කළ නීතිරීතීන්ය. මේවායෙහි සඳහන් මන්ත්‍ර සෘග්වේදයෙහි දහවන මණ්ඩලයෙහි ප්‍රයුක්ත වන හෙයින් පශ්චාත්තන යැයි ඔල්ඩර්න් බර්ග් සඳහන් කරයි. එහෙත් ඊට වඩා ආදි කාලයට අයත් යැයි වින්ටර් නිට්ස් මහතා ප්‍රකාශ කරයි.ඍග්වේදයට අදාළ ගෘහ්‍ය සූත්‍ර තුනකි.

  • ශාංඛ්‍යායන ගෘහ්‍ය සූත්‍රය
  • කෞශීතක ගෘහ්‍ය සූත්‍රය
  • ආශ්වලායන ගෘහ්‍ය සූත්‍රය

කෘෂ්ණ යජුර්වේදයට ගෘහ්‍ය හතක් ලියා ඇති නමුදු අද්‍යතනයෙහි ඇත්තේ තුනක් පමණි. ශුක්ල යජුර්වේදයට අයත් ගෘහ්‍ය සූත්‍ර කාටීය, වාජසනෙය යනුවෙන් හැඳින්වේ. සාම වේදයට අයත් ගෘහ්‍ය සූත්‍ර ගොභිල නමින් ද අථර්වේද ගෘහ්‍ය සූත්‍රය කෞශික නමින් ද හැඳින්වේ.

ගෘහ හිමියෙකු විසින් පැවැත්විය යුතු ආවස්ථ්‍ය වෛවාහික ආදි චාරිත්‍ර විධි ගෘහ සංස්කාර යනුවෙන් හැඳින්වේ. මෙබඳු සංස්කාර හතලිහක් ගෘහ්‍ය සූත්‍රයන්හි සඳහන්ය.මේවායින් සමහරයාග වශයෙන් දඉෂ්ටි වශයෙන් හා ස්තොත්‍ර වශයෙන් ද සිදුකළ යුතුය. යාග කටයුතු නිසි අයුරින් සිදුකළ යුතුය. එසේ නොකළ හොත් නොයෙක් කම්කටොළු ඇති වේ. එහෙයින් වෛදික මිනිසාගේ මුලු ගෘහ්‍ය ජීවිතයම යාග කටයුතු සඳහා කැපවිණි. හතලිහක් වූ යාග චාරිත්‍ර විධිවලින් 18 ක් වෛවාහික ක්‍රියා පිළිබඳ නියමයන්ය. සෙසු 22 ක් යාගය. මෙහි කොටස් ශාරීරික සංස්කාර යන නමින් හැඳින්වේ. සංස්කාර විසි දෙකෙන් පහක් මහායඥ නමින් හැඳින්වේ.

  • බ්‍රහ්මයඥ
  • දෙවයඥ
  • පිතෘයඥ
  • භුතයඥ
  • මනුශ්‍යයඥ

චතුර්වේද අධ්‍යයනය මෙහි බ්‍රහ්මයඥ නමින් හැඳින්වේ. දේවතාවුන් උදෙසා කරන බලි බිලි යාගාදිය දේවයඥ වේ. මළගිය පියවරුන් උදෙසා ආහාර දීම පිතෘයඥයි. නොයෙක් භූතයින්ට බලි බලි දීම භූතයඥයි. මිනිසුන්ට ආගන්තුක සත්කාර වශයෙන් ආහාරපාන ආදිය දීම මනුෂ්‍යයඥ නමි.

තවද, මෙහි පාකයඥ හතක් ද මෙම කොටසටම අයත්ය.

  • හුත
  • පුහුත
  • ආහුත
  • ශුල්ගව
  • බලිහරණ
  • ප්‍රත්‍යවරොහණ
  • අෂ්ඨකාහෝම

ඇතැම් තන්හි පාකයඥ ලෙස පහත සඳහන් හත පිළිගනී.

  • ශ්‍රවණාකම්
  • සර්වබලි
  • අශ්වයුජි
  • ආග්‍රහායණි
  • ප්‍රත්‍යවරොහණ
  • පිතෘයඥ
  • අන්වෂ්ටකා

මෙයින් අෂ්ටකා, ප්‍රපාෂ්ටකා, මාංශාෂ්ටකා, ශාකාෂ්ටකා ලෙසින් තෙවැදෑරුම් වේ. විසි දෙකක් වූ මෙම කොටස යාග ගණයෙහිලා සැලකේ.

වෛවාහක සංස්කාර දහ අට මෙපරිදිය.

  • ගර්භාධාන
  • පුංසවන
  • සීමන්තොන්නයන
  • ජාතකර්ම
  • නාම කරණ
  • නිෂ්ක්‍රාමණ
  • අන්ත ප්‍රාශන
  • කර්ණවෙධ
  • චොල
  • අක්‍ෂරස්වි කරණ
  • උපනයන
  • වුත
  • සමාවර්ත
  • විවාහ
  • උපාකර්ම
  • උත්සර්ජන
  • විෂ්ණුබලි
  • අන්තෙෂ්ටි

පුද්ගලයෙකු මවු කුසෙහි ගැබ්ගත් අවස්ථාවෙහි එහි ආරක්ෂාව සඳහා කරන්නාවූ චාරිත්‍රය ගර්භාධාන නමින් හැඳින්වේ. නුග දළුවක් ගෙන එය කොටා භාර්යාවගේ දකුණු නාස් පුඬුවෙහි තබා චාරිත්‍රයක් කරනු ලබයි. එය පුතෙකු ලබා ගැනීම සඳහා කරන්නෙකි. එය පුංසවන නම් වේ. එය සංස්කාරයකි. සීමන්තොන්නයන නම් ගැබ්ගෙන හතර හයවන අටවන මාසවල කරුණු ලබන චාරිත්‍රයකි. දරුවකු උපන් අවස්ථාවෙහි කරන චාරිත්‍රය ජාතකර්මය. නාමකරණ නම් නම් තැබීමේ උත්සවයයි. මෙය දරුවෙකු ලබා දස මසකින් කළ යුතුය. දරුවෙකු වෙනුවෙන් නම් දෙකක් තැබිය යුතුය. එකක් නම් දෙමාපියන් අතර පමණක් පවත්නා නාමයකි. එනම තබනුයේ දරුවා හදි හූනියම් ආදියෙන් ආරක්ෂා කර ගැනීම පිණිසය. සෙසු නම පොදු ව්‍යවහාරය පිණිසය. එහිලා බමුණු දරුවෙකුගේ නම අගට ශර්මන් ලෙසින් ද ක්‍ෂත්‍රියෙකුට වර්මන් කියා ද වෛශ්‍යයෙකුට ගුප්ත ලෙසින් ද නම් අගට යොදනු ලබයි.

නිෂ්ත්‍රාමණ නම් දරුවෙකු එළියට පැමිණීමයි. එය හතර වන මාසයෙහි දී සිදු කෙරේ. දරුවාට බත් කැවීම අන්න ප්‍රාශනය. එය හයවන මාසයෙහි දී කළ යුතුය. කර්ණවෙධ නම් කන් විදීමයි. චොල නම් රෙදි ඇන්දවීම ද අක්‍ෂ:රස්වීකරණය නම් අකුරු කියවීමයි. පූන නූල කරේ බැඳීම උපනයන නම් වේ. වයස අවුරුදු අට දහය අතර කාලයෙහි බ්‍රාහ්මණයෙකු ද ද්විජ යන නම් දැරීමට පත්වෙනුයේ උපනයනයෙනි. පූනනූල දරුවාගේ කරේ බඳින කල්හි සාවිත්‍රි මන්ත්‍ර කිව යුතුය. එය කියමින් දරුවා ආර්‍ය්‍යවංශයට ඇතුළත් බව අංකිත කිරීම පිණිසය.

ව්‍රත නම් ආගමික අධ්‍යයනයෙහි යෙදවීමයි. වසර දොළොසකින් පසුව පෙරලා පැමිණී සමාවර්තනයයි. මෙහිදී සිදු කෙරෙනුයේ නෑමයි. එයින් අදහස් කරනු ලබන්නේ එතෙක් කල් පැවති ශිෂ්‍යභාවය සෝදා හැරීමයි. එයින් ඔහුට ස්නාතක යන විශේෂ නාමය ලැබේ. කසාද බැඳීම විවාහ නම් වේ. විවාහ වීමේදී මනාලිය ගලක් මත තැබිය යුතුයි. එසේ තැබීමෙන් ඇගේ ස්ථිරකම බලාපොරොත්තු වෙයි. එසේ කොට පියවර හතක් ස්වාමියා සමඟ ඉදිරියට ගොස් යාග ආහාර වැලඳිය යුතු වේ. ස්වාමියාගේ ගෙදරට මනාලිය කැඳවාගෙන අවුත් රතු ගොනෙකුගේ හමක් මත වාඩි කරවා පිරිමි දරුවන් ඇති මවකගෙන් දරුවෙකු ලබාගෙන මනාලිය අතට දෙයි. මෙයින් ඇයට පිරිමි දරුවන් ලබා ගැනීම අපේක්‍ෂිතය. විවාහ අවස්ථාවේ දී අග්නිය වටා තුන්වරක් ගමන් කළ යුතුය. එසේ ගමන් කරමින් යාග ද්‍රව්‍ය අග්නියට දිය යුතුය. හිරු බැස ගොස් සැඳෑ වෙනතුරු මෙම චාරිත්‍රය පවත්වයි. සවස් වූ පසු භාර්යාව ගෙදරට කැඳවාගෙන යයි. දෙමාපියෝ මනාලයා හා මනාලිය එළියට ගෙන ගොස් ධ්‍රැව තාරකාව හා අරුන්දතී තාරකාව පෙන්වති. එවිට දෙදෙනා කිසි දිනක දික්කසාද නොවන බවට පොරොන්දු වෙති.

මව් කුසෙහි පිළිසිඳ ගැනීම පටන් ජීවිතාවසාන මොහොත දක්වා ජීවිතයෙහි විවිධ සන්ධිස්ථානයන්හි දී කළ යුතු යාග චාරිත්‍ර ආදිය විස්තරාත්මක මෙකී කායික සංස්කාර දහ අටෙන් ඉදිරිපත් කරයි.

පුද්ගලයෙකුගේ මරණය හා ඒ හා සම්බන්ධ චාරිත්‍ර ආදිය ද ගෘහ්‍ය සූත්‍රයන්හි සඳහන්ය. වයස අවුරුදු දෙකෙන් ඉහළ කෙනෙකු මිය ගිය පසු ඔහුව ආදාහනය කළ යුතුය. මළ තැනැත්තාගේ කෙස් රැවුල් කපා නිය අලංකාර කොට ශරීරයේ තෙල් ගල්වා හිස මත මල් පොකුරක් තබයි. මළකඳ පිළිස්සීමට පෙර කළු ගෝණ හමක තැන්පත් කළ යුතුය. බ්‍රාහ්මණයෙකු නම් ඔහුගේ සැරියටිය ද, ක්‍ෂත්‍රියෙකුගේ නම් දුන්න ද වෛශ්‍යයෙකුගේ නම් යෂ්ටිය ද ඔහුගේ අතෙහි තබා නැවත එය ගෙන කඩා දරසෑයට දමයි. ඒ මළකඳ සමඟ දෙනෙකු හෝ එළුවකු පුළුස්සයි. ආදාහනයට සහභාගී වූ සියලු දෙනා හිස සෝදා නා පිරිසිදු වී නිල් තණ බිමක වාඩි වී තාරකා පෙනෙන තුරු අනිත්‍ය ස්මරණ කථාවන්හි නියුක්ත විය යුතුයි. ආපසු සියලු දෙනා වටපිට නොබලා ගෙදර එති. මරණින් පසු දින තුනක් යනතුරු ගෙදර අපිරිසිදු සේ සලකා සියලු දෙනා බිම නිදති. මස් මාංශ අනුභව නොකරති. ආදාහනයට පසුදින කැවුමක් පිස ප්‍රේතයාට පුදනු ලැබේ. එහි දී කෙණ්ඩියකින් පැන් වක්කරනු ලබයි. ජල භාජන දෙකක් එළිමහනෙහි තබා මළ තැනැත්තාට නාන්නට අයැදිනු ලැබේ. ආදාහන කොට දස දිනක් ගෙවී ගිය පසු ඇට හෝ අළු භාජනයක දමා ඍග්වේදයෙහි ගීතිකා ගයමින් වළලනු ලබයි. මළ තැනැත්තාගේ ආත්මය කලක් යනතුරු පිතෘ දෙවතාවුන් හා එකතු නොවී ප්‍රේතයෙකු වශයෙන් සිටී. ප්‍රේත ආත්මයෙන් මුදා පිතෘ දේවතාවුන් වෙත යැවීම සඳහා සිටින නෑදෑයින් ආහාර පුද දෙනු ලබයි. මෙය ශ්‍රද්ධාවෙන් කරන නිසා ශ්‍රාද්ධයී යැයි කියනු ලැබේ. පසුව වසරක් ගතවීමෙන් ප්‍රේතයා පිතෘ ලෝකයට ඇතුල් වේ. වසරක් ඇවෑමෙන් පිතෘමේධ නම් පූජාවක් කරනු ලැබේ.

ධර්ම සූත්‍ර ගෘහ්‍ය සූත්‍රයන්ට වඩා සමීපත්වයක් දක්වයි. උපනයනය, විවාහ, ශ්‍රාද්ධා හා පංච මහා යඥ යන සියල්ලකටම ගෘහ්‍ය සූත්‍රයන් හා සමානතාවක් දක්වයි. ධර්ම සූත්‍රයන්හි කරුණු ඉදිරිප් කිරීම විස්තාරිත බවක් දක්වයි. ධර්ම සූත්‍ර හතකි.

  • ගෞතම
  • බෞද්ධායන
  • ආපස්තම්බ
  • හිරණ්‍යකේශී
  • වසිෂ්ඨ
  • වෛඛානස
  • විෂ්ණු

ධර්මයන් පිළිබඳ විස්තර කෙරෙන විස්තරයේ දී ධර්ම සූත්‍ර විෂය කොටස් තුනකට බෙදා දක්වා තිබේ.

  • වරණ ධර්ම
  • ආශ්‍රම ධර්ම
  • නෛමිත්තික      වශයෙනි.

වර්ණ ධර්ම පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේ දී කුල හා අන්තර් කුල ඒවාට අදාළ ආගමික කාර්යයන්, නියමිත රැකියාවන් ආපදාවක දී කළ හැකි වෛකල්පිත රැකියාවන් ආදිය විස්තර කෙරේ.

ආශ්‍රම ධර්ම කොටසෙහිදී බමුණෙකුගේ සම්පූර්ණ ජීවිතය බ්‍රහ්මචර්ය, ගෘහස්ථ, වානප්‍රස්ථ හා සන්‍යාසි යනුවෙන් ධර්ම සූත්‍රගතව කොටස් හතරකට බෙදා තිබේ.

විවිධ වර්ගයෙහි පාපකර්ම ඒවා බැහැර කිරීම සඳහා පනවන ලද තාපස චර්යාවන් විස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ. තවද ආත්මය පිළිබඳ දාර්ශනික චින්තාවන්, විපාක න්‍යාය හා සංක්‍රාන්තිවේදය යනාදි විෂයන් පිළිබඳව ද ධර්ම සූත්‍රයන්හි විස්තාරිතය.

සෘග් යජුර් සාම හා අථර්වන් යන සිව් වේදාගත යඥය බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි පුළුල්ව විග්‍රහ වී එය යාග විද්‍යාවක් බවට පත්විය. සිව් වේදයන්හි මෙන්ම බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි ද වූ අන්තර්ගතයන් වේදාංග සාහිත්‍යයෙහි දී වඩාත් විස්තරාත්මක මෙන්ම ක්‍රමවත් අධ්‍යයනයක් සිදු වූ බව පූර්වෝක්ත තොරතුරු වලින් පැහැදිළිය. ඒ වූකලි වේදයෙහි මනා සැකැස්මකි. මේහෙයින් මෙතෙක් සාකච්ඡා කළ කරුණු කාරණා දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වනුයේ සිව් වේදයෙහිත් බ්‍රාහ්මණ ආරණ්‍යක හා උපනිෂ්ද්වල අන්තර්ගතයන් වඩාත් විස්තරාත්මකව අධ්‍යයනය කිරීමට දැරූ උත්සාහයේ ඵලය වනාහි ස්මෘති සාහිත්‍ය බවයි.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය හදුන්ගමුවේ චන්ද​ජෝති හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

0 comments on “ගෘහ්‍ය සූත්‍ර

Leave a Reply

විජිත වෙලගෙදර මැතිතුමා

පිරිවෙන් ගීතය

PropellerAds

ad

Categories