පලකළ දිනය - June 9, 2018

අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත ‌‌වෙල‌ගෙදර මැතිතුමාගෙන් පිරිවෙන.lk ‌වෙබ් අඩවියට සුභ පැතුම්.

අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත ‌‌වෙල‌ගෙදර මැතිතුමාගෙන් ජාතික පිරිවෙන් දිනයට සුභ පැතුම්.

ලක්දිව සම්භාව්‍ය අධ්‍යාපනය සුරැකුණු ආයතනය පිරිවෙණ යි. මහාවිහාර සම්ප්‍රදාය ගුරු කොට ගෙන බිහිවූ ලක්දිව බෞද්ධ අධ්‍යාපනයේ ගමන් මග විවිධ කාලයන්හි විවිධ ලෙස ප්‍රතිනිර්මාණය වෙමින් පෙර අපර දෙදිග ම ඤාණ ගවේෂකයින්ගේ බුද්ධි ගවේෂණය උදෙසා මංපෙත් විවර කර ඇත. ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා ප්‍රවීණතාවෙන් යුතු තාක්ෂණික හා විද්‍යාත්මක භික්ෂු පරපුරක් හා ප්‍රබුද්ධ ගිහි පිරිස් පිරිවෙන් අධ්‍යාපනයෙන් සමාජගත කරවීම සිදුව ඇති බවට තර්කයක් නැත. එතැන් පටන් විවිධ සම්ප්‍රදායයන් හා විවිධ ගුරුකුළ ඔස්සේ යමින් විවිධ පැතිකඩ හරහා මෙම අධ්‍යාපන ක්‍රමයේ විකාශයන් සිදුවී තිබේ. එහි උච්ඡාවස්ථාව විද්‍යොදය හා විද්‍යාලංකාර වැනි විද්‍යස්ථාන බිහිවීමය.

පැරණි අධ්‍යාපන ක්‍රමය තුළ සකලවිද ශිල්ප ශාස්ත්‍ර ලබාදීමක් සිදු කෙරේ. එමගින් දැනුම, ආකල්ප හා කුසලතා ඔප්නැංවෙන ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියක් මගින් දැනුමෙන් හා විනයෙන් පිරිපුන් පරපුරක් බිහිවෙයි. මෙවන් සාමයික පසුබිමක නිර්මාණය වූ පිරිවෙන් අධ්‍යාපනය පසුකාලීන බටහිර ආක්‍රමණ සමගින් යම් පසුබෑමකට ලක්වෙමින් පැවති අවධියක අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ගත් උත්සාහය මත සම්භාව්‍ය පිරිවෙන් අධ්‍යාපනයේ වර්තමාන සංවර්ධනය හා ප්‍රගමනය සිදුව ඇත.

වැලිවිට සංඝරාජයාණන් වහන්සේ සම්භාව්‍ය පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ඉටුකළ අත්‍යුධාර සේවාව අගයනු වස් සෑම වසරක ම ජුනි 19 වෙනි දිනය ජාතික පිරිවෙන් දිනය ලෙස නම් කිරීම ඉතා වැදගත් කටයුත්තක් ලෙස ප්‍රශංසාවට ලක්වීම සහේතුක ය. ඒ තුළින් බුදුදහමේ හර පද්ධතිය තුළින් කුළුගැන්වෙන කෘතවේදීත්වය ඉස්මතු කරමින් සමාජයට යහපත් පණිවුඩයක් ලබාදීමේ වැදගත් බව මෙයින් මනාව ප්‍රකට වේ.

2018 වසරේ ජාතික පිරිවෙන් දිනය නියමිත දිනයේදී ම සැමරීමට අවස්ථාව සළසා දුන් අතිගරු ජනාධිපතිතුමන්ට, ගරු අග්‍රාමාත්‍යතුමන්ට හා ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්ට පිරිවෙන් අධ්‍යාපනයට හිතැති සැමගේ ගෞරවය හරසරින් පිරිනමන්නෙමු.

ශතවර්ෂ ගණනාවක් පුරා ලක්දිව එකළු කළ පිරිවෙන් අධ්‍යාපනය තවදුරටත් ගුණාත්මකව ඔසවා තබා නව මගකට ගෙනයන හැරවුම් ලක්ෂයක් බවට පත්වී ඇති මේ අවස්ථාව පිරිවෙන් අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයක් බවට පත්කිරීමට සියලු විද්‍යාර්ථීන්ගේ දායකත්වය ලබාගන්නට හැකිවේවා යි ප්‍රාර්ථනා කරමි.

විජිත වෙලගෙදර,

අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්).

2018 ජුනි මස 07 වෙනි ගුරු දින බත්තරමුල්ල ඉසුරුපායේ දී ය.

දුරකතන – +94112784893

ෆැක්ස් – +94112784893

මේ ලිපිය / පුවත අනිත් අයත් සමග බෙදා ගන්න

About the Author: piadmin

Leave A Comment