Thu. Jun 20th, 2019

පිරිවෙන.lk

පිරිවෙන් අධ්‍යාපනයේ අනාගතය උදෙසා

විනය නීති හා ඒවා පැනවීමේ පසුබිම‍.

1 min read

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී විසි වසක් යන තුරු විනය නීති පැනවීමට අවශ්‍ය නොවූ බව විනය ග්‍රන්ථයන්ගෙන් පැහැදිලි වේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය පදනම්ව භික්ෂූන් වහන්සේලාගේ ශිලය සකස් වී තිබුණි. එම කාලයේදි බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවකයෝ සාමදානයෙන් වාසය කළහ. සත්‍යය අවබෝධ කරගත් රහතන් වහන්සේලා තනි තනිව ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලුණේය. විනය කර්මයකදී හා වස් කාලයේදී පමණක් උන්වහන්සේලා එක් ස්ථානයකට‍ රැස්විය. නමුත් පසුකාලීනව සංඝ සමාජය වර්ධනය වීමත් සමග ආරාමික ජීවිතයකට හුරු වන්නට භික්ෂූන් වහන්සේලාට සිදු විය. ඒ සමගම මාර්ගඵල ලබානොගත් භික්ෂුන් වහන්සේලා වැඩි වීමත් නිසා ගැටලු පැනනැගීම වළකා ගැනීමට විනය නීති පනවන්නට බුදුරජාණන් වහන්සේ කටයුතු කර තිබේ.

බුදුරජාණන් වහන්සේ විනිය නීති පනවා ඇත්තේ සුදුසු අවස්ථාවන්හිදි පමණි. අර්බුදකාරි අවස්ථාවක් ඇති වූ විට එය මග හරවා සාසනයේ චිර පැවැත්ම තහවුරු කිරීම ඉන් අපේක්ෂා කර ඇති බව පෙනේ. විනය ශික්‌ෂා පද පැනවීමට බලපැ හේතු වශයෙන් විනය පිටකයේ පහත කරුණු දක්වා ඇත.

  • සංඝ සමාජයේ අභිවෘද්ධිය.
  • සංඝ සමාජයේ පහසුව.
  • තක්‌කඩියන් මැඩීම.
  • යහපත් වර්යාවෙන් යුත් භික්‌ෂුන්ගේ යහපත.
  • ඒ ඒ අවස්‌ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්‌වීම. 
  • ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්‌වීම.
  • තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම.
  • පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම.
  • ආර්ය ධර්මයාගේ චිරජීවනය.
  • විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම.

මෙම කරුණු මුල් කරගනිමින් බුදුන් වහන්සේ සිය ශ්‍රාවක භික්‌ෂු භික්‌ෂුණි සමාජය නොහොත් සංඝ සමාජයත් එහි සාමාජිකයන්ගේ හැසිරීම් රටාව පාලනය කරනු පිණිසත් නීති පද්ධතියක්‌ පනවන්නට විය. ප්‍රජාතාන්ත්‍රික පදනමක්‌ මත සකස්‌ කළ එම නීති පද්ධතිය අද දක්වාම සාසනයේ පැවැත්ම සදහා ඉවහල් වී ඇත. “විනයෝ නාම සාසනස්ස ආයු“ යන වදනින් එය තවත් අර්ථවත් වේ. විනය නීති සෘජුවම සාසනයේ පැවැත්මට හේතු වන බව බුදුන්වහන්සේ විසින්ම දේශනා කර ඇත. පෙර සිටි සමහර බුදුවරුන්ගේ ධර්මය බොහෝ කල් පැවතීමටත්, සමහර බුදුවරුන්ගේ ධර්මය කෙටි කාලයක්‌ පැවතීමටත්, හේතු කවරේදැයි ශ්‍රාවක භික්‌ෂූන් ප්‍රශ්න කළ විට බුදුන්වහන්සේ දේශනා කළේ, විනය රීති මාලාවක්‌ හෝ ශික්‍ෂණ රීති පද්ධතියක්‌ පැන වූ බුදුවරුන්ගේ ධර්මය දීර්ඝ කාලයක්‌ පැවති බවත්, එසේ විනය නීති මාලාවක්‌ නොපැනවූ බුදුවරුන්ගේ ධර්මය පැවතියේ මඳ කාලයක්‌ පමණක්‌ බවත්ය.

බුදුන් වහන්සේගේ ධර්මය භාරතය පුරා ව්‍යාප්ත වීමත් සමග සසුනේ පැවිදි වන්නන් ප්‍රමාණයද වැඩි විය. ඒ නිසා බුදුන් වහන්සේ විසින්ද විනය ශික්ෂා රාශියක් පණවා ඇත. විනය පිටකයේ ඇතුළත් වන්නේ එම විනය ශික්ෂා පදයන්ය. එම විනය පිටකයේ ප්‍රධාන අංගය වන්නේ පටිමොක්ඛ පාලි හෙවත් ප්‍රාතිමෝක්ෂයයි. එහි භික්ෂුන් වහන්සේලාට නීති 227ක් ද, භික්ෂුනීන් වහන්සේලාට නීති 311ක් ද අඩංගුය. ඊට අමතරව චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි හා පිරිවාර පාලි වශයෙන් කොටස් තුනක්ද ඇත්තේය. ඒවායෙහිද විනය ශික්ෂා ඇතුළත් වේ.

විනය නීති කල්යාමේදී භූගෝලීය, සංස්කෘතික හා විවිධ සම්ප්‍රදයන්ගේ වෙනස්කම් අනුව වෙනස් වී ඇත. බුදුරජාණන්වන්සේගේ පරිනිර්වාණ සමය වන විට භික්ෂුන් වහන්සේලාට වෙන්වු වෙනම නීති පද්ධතියක් විය. මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් වන අන්දමට කුඩා විනය නීති ලිහිල් කලහැකි වුවද, ප්‍රධාන නීති සියල්ලෝම පිළිපැදිය යුතුය . නමුත් කුඩා හා ප්‍රධාන විනය නීති වෙන්කර හඳුනාගැනිමට අපහසු වු නිසා මුළු විනය පද්ධතියම ‍පවත්වාගෙන යාමට සංගීතිකාරක තෙරවරු තීරණය කර ඇත. ඒ අනූව පළමු සංගායනාවේදි සම්මත කරගත් විනය නීති පද්ධතිය අද දක්වාම පවති.

විනය නීති පැනවූ මුල් කාල වකවානුව දෙස අවධානය යොමු කිරීමෙිදි භාරතයේ පැවති දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජීය අංශයන්ගේ බලපෑම විනය නීති පැනවීමෙිදි බලපා ඇති බව පෙනේ. බුදුන් වහන්සේ සැම විටම පවතින සමාජ රටාව අභිබවා යෑමට තම අනුගාමිකයන්ට අවස්ථාව නොදුන්හ. සමාජය විසින් පිළිගත් පොදු පිළිවෙලටම තම ශ්‍රාවක ශ්‍රාවිකාවනුත් යොමු කරවීමට උන්වහන්සේ කටයුතු කර තිබේ. මහජනතාවගේ අදහස් හා මතයන් කෙරෙහි අවධානය යොමු කරමින් තම ශාසනික කටයුතු කරගෙන යෑමට තම අනුගාමිකයින්ට මග පෙන්වා ඇත. එය තහවුරු කරන කතා පුවත් විනය පිටකය හා සූත්‍ර පිටකය පුරාවට දැකගත හැකිය. උදාහරණයක් ලෙස භික්ෂූන් වහන්සේලා වැසි කාලයේ ධර්ම චාරිකාවේ හා පිණ්ඩපාතයේ වැඩම කිරීමෙන් නව තෘණ පැළෑටි හා කුඩා කෘමීන්ට හානි වීම පිළිබදව ජනතා විරෝධයක් පැන නැගුණු අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය දැක්විය හැකිය.

මේ ආකාරයෙන් මුළු විනය පිටකයේ ඇති සියලු විනය ශික්ෂා පද තත් යුගයේ මෙන්ම අතීත අනාගත යුගයන්ගේද සමාජ සම්මතයන්ට පටහැනි නොවන අයුරින් පණවන්නට බුදුරජාණන් වහන්සේ උත්සාහ දරා තිබේ. ඒ බව ශික්ෂා පදයන්ට අදාළ නිධාන කතා වස්තූන්ගෙන් පැහැදිලි වේ. 

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් ප්‍රවීණ ආචාර්ය පුජ්‍යපාද රක්වානේ සමිද්ධි හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *