Thu. Jun 20th, 2019

පිරිවෙන.lk

පිරිවෙන් අධ්‍යාපනයේ අනාගතය උදෙසා

ඉන්දියන් ඉතිහාසය හැදෑරීමට ඇති මූලාශ්‍ර

ඉන්දියාව කියන්නෙ අපට සමීපතම ඒ වගේම ඈත අතිතයේ සිට අප හා සබඳකම් පැවැත්වූ රාජ්‍යයකි. ඉතින් අද මම කියන්නම් ඒ රාජ්‍ය පිළිබඳ හැදෑරීමට ඇති මූලාශ්‍ර කිහිපයක් ගැන.

  1. බානහට්ටගේ හර්ෂ චරිතය
  2. අශෝක සෙල්ලිපි
  3. මෙගස්තිනීස්ගේ වාර්තා
  4. හියුං සාගේ වාර්තා
  5. සංගම් සාහිත්‍ය
  6. සෘග් වේදය
  7. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය

 

බානහට්ටගේ හර්ෂ චරිතය

හර්ෂවර්ධන රාජ්‍ය සමයේ රජ මාලිගයේ සිටි කවියෙකු වන මොහුගේ පළමු කෘතිය හර්ෂ චරිතයයි. ක්‍රි.ව. 7 වන සියවසේ සිටි සංස්කෘත ලේඛකයෙකි. කාව්‍යමය ශෛලියකට රචනා කර ඇති මෙම කෘතියේ ඓතිහාසික තොරතුරු ඇතුළත් නොවූවද බානහට්ට තුළ හර්ෂ කෙරෙහි ඇති අවබෝධය අතිශයෝක්ති වර්ණනාවලින් ගහනව නිමකිරීමට ගත් උත්සාහයක් ලෙස ඊ.පී.කෝවෙල් වැනි ඉතිහාසඥයින් විවේචනය කරයි.

මෙම කෘතිය පරිච්ඡේද අටකින් යුක්ත වන අතර එහි මුල් පරිච්ඡේද දෙකින් හර්ෂ රජුගේ පෙළපත හා ඔහුගේ ජීවිතයේ මුල් අවධිය විස්තර කරයි. එවකට ඉන්දියාවේ පැවති ස්වාභාවික පරිසරය, ඉන්දීය ජනයාගේ ධෛර්යවන්ත බව, ඔවුන්ගේ එදිනෙදා කාර්යන්, සමාජ කටයුතු, කර්මාන්ත ආදිය ගැන අතිශයෝක්ති අලංකාරවලින් බහුලව ජීවන තොරතුරු ඉදිරිපත් කරයි. ඒ නිසා ඓතිහාසික මූලාශ්‍රයකට වඩා සංස්කෘත කාව්‍යක් ලෙස මෙය හැදින්වීම වඩාත් සුදුසු බව ඇතැමුන් පවසයි.  නමුත් මෙහි රජුගේ මුළු රාජ්‍ය කාලය පිළිබදවම තොරතුරු ඇතුළත් නොවේ.

 

අශෝක සෙල්ලිපි

ඉන්දීය ඉතිහාසය හැදෑරීමේදී පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් ලෙස අශෝක සෙල්ලිපි වැදගත් වේ. ඉන්දියාව පුරාම අශෝක සෙල්ලිපි සියදහස් ගණනක් විසිරී ඇති අතර අශෝක අධිරාජ්‍යයේ ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙම තොරතුරු උපකාරී වේ.

පුවරු ලිපි, ටැම් ලිපි, ගිරි ලිපි, ලෙන් ලිපි ආදිය මෙසේ වර්ග කළ හැකිය. මෙම සෙල්ලිපි වල පොදු භාෂාව මාගධී භාෂාවයි. මෙම සෙල්ලිපි බ්‍රාහ්මණ අක්ෂර වලිනුත් ඇෆ්ගනිස්ථාන් මා කන්දහාර් ප්‍රදේශවල සෙල්ලිපි ඇමයික් හා කරෝෂ්ඨි බසින් ලියා ඇත. අශෝකගේ සෙල්ලිපිවල ඇති තොරතුරු අතර රාජ ආඥා, නිකුත් කිරීම, අනුශාසනා ප්‍රචාරය කිරීම, පරිපාලන සේවා විධිමත් කිරීම ආදිය දැක්වීමට අශෝක සෙල්ලිපි උදව් කරගෙන ඇත.

අශෝක රජු බුදුදහම කෙරේ දැක්ව අනුග්‍රහයත් සෙසු ආගම් ‍කෙරේ දැක්වූ අනුග්‍රහයත් ඔහුගේ ‍සෙල්ලිපි වලින් පෙනේ. අශෝක බෞද්ධයෙකු වීම, බෞද්ධාගමට දක්වන ලද සැලකිල්ල ආදිය දැක්වෙන සෙල්ලිපි අතර කල්කටා හා බහරුද් සෙල්ලිපි වැදගත් වේ.  “බුදු රදුන්ටත්, ධර්මයටත්, සංඝයාටත් මාගේ ඇති ගෞරවය ඔබ වහන්සේලා දන්නවා ඇති” යන පාඨය තුළිනුත්, “ප්‍රියදර්ශනී නැමති මගධ රජතුමා සංඝයාට වැද උන්වහන්සේලා සැපවත්ව හා නිරෝගීව සිටිනවා ඇතැයි විශ්වාස ‍කෙරේ” යන පාඨ වලිනුත් මේ පිළිබදව තවදුරටත් පැහැදිලි කෙරේ. 

අශෝකගේ පාලන ප්‍රතිපත්තිය ගැන කියැවෙන කාලිංග සෙල්ලිපිය ඉතා වැදගත් වේ. “සියළුම රටවැසියෝ මාගේ දරුවන්ය.මාගේ දරුවන්ට මෙන් ඒ හැම රට වැසියන්ටම සුභසිද්ධිය සලසාලනු කැමැත්තෙමි.” යන පාඨය තුළින් අශෝකගේ පාලන සංවිධානය පිළිබද තේරුම් ගත හැකිවේ. පස්වන ගිරි ලිපියට අනුව මෞර්ය අධිරාජ්‍යයේ ඈතින් පිහිටි ප්‍රදේශ වන කාම්බෝජය, ගාන්ධාරය වැනි ප්‍රදේශවල ජනයාගේ කටයුතු සොයා බැලීමට වෙනම නිලධාරීන් පත් කොට තිබේ. ඔහුගේ 14 වන රාජවංශයේ පත්කළ රජ්ජුක, යුක්තක වැනි ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් ඉටු කළ යුතු කාර්ය්‍යන් එම ශිලා ලේඛණයේ දැක්වේ. 

අශෝකගේ විදේශ ප්‍රතිපත්තිය ගැන දැක්වෙන සෙල්ලිපියක “මාගේ අධිරාජ්‍ය මායිම්වල ඇති යටත් නොකරන ලද රාජ්‍යන් වල ජනතාව මා ‍කෙරේ බිය නොවිය යුතුය. මාගෙන් සැපතක් හෝ විපතක් නොවන බව විශ්වාස කළ යුතුය.” යන පාඨය තුළින් පෙනෙන්නේ අශෝක අසල්වැසි රටවල් සමග මිත්‍රත්වයෙන් සිටි බවයි.

තවද අශෝක විසින් කරන ලද යුධ ව්‍යාපාරයන් පිළිබදව ද ඔහුගේ සෙල්ලිපිවල කියැවේ. 13 වන පර්වත ලිපියට අනුව ඔහු මෙහෙයවූ එකම යුද්ධය කාලිංග යුද්ධය බව කියැවේ. එම යුද්දයේදී සිදු වූ අප්‍රමාණ විනාශයත්, එයින් ඇති වු බලවත් කලකිරීමත් නිසා ඔහු දිග් විජය අතහැර ධර්ම විජය වැළදගත් බව කියැවේ.

මේ අනුව අශෝක යුගයේ පමණක් නොව මෞර්ය අධිරාජ්‍යයේ පැවති ආර්තික, ආගමික, දේශපාලනික ආදී සියලු තොරතුරු අශෝක සෙල්ලිපිවල අන්තර්ගත වේ.

මෙගස්තිනීස්ගේ වාර්තා

       ක්‍රි.පූ. 315 දී පමණ ඇ‍ලෙක්සෙන්ඩර්ගෙන් පසුව බැබිලෝනියාවේ රජු වූ සෙලියුකස් නිකේටර් චන්ද්‍රගුප්ත මෞර්ය රජු සමග පැවැත්වූ සම්බන්ධතා හේතුවෙන් මෞර්ය රාජ සභාවට එවනු ලැබූ තානාපතිවරයා මෙගස්තිනීස්ය. මෙගස්තිනීස් ඉන්දියාවේ සිටි කාලයේ ඉන්දියාව පිළිබඳ රැස් කරනු ලැබූ තොරතුරු වලින් “ඉන්ඩිකා” නැමති ග්‍රන්ථය රචනා කර ඇත. ඉන්ඩිකාවේ මුල් කෘතිය නැති අතර සෙසු ග්‍රන්ථ වලින් උපුටා ගත් කොටස් එකතු කොට මැක්ක්‍රින්ඩල් විසින් ඉන්ඩිකා කෘතිය සකසන ලදී. මෙහි ඇති ඇතැම් කරුණු මෙගස්තිනීස් විසින් සෙසු අයගෙන් අසා දැනගත් ඒවා වෙයි.

     එකල ඉන්දියානු සමාජයේ පැවති පාලන ක්‍රම, බ්‍රහ්මණයන්, ගොවියන්, එඩේරුන්, දාර්ශනිකයන්, කම්කරුවන්, සංචාරකයන් ඉන්දීය සමාජයේ ශ්‍රමිකයන් ලෙස ඉන්ඩිකාවේ දක්වා ඇත. තවද ඉන්දියානු සමාජය ගැන කියන මෙගස්තිනීස් අධ්‍යාපනය හා ආගමික කටයුතු වල යෙදීමට කාන්තාවන්ට අවසරයක් නොවූ බවද මෙගස්තිනීස් දක්වා ඇත. නගර පාලනය සදහා පස්දෙනා බැගින් වූ මණ්ඩල හයක් වු බව සඳහන් වේ.මේ තොරතුරු කෞටිල්‍යයේ හා අර්ථශාස්ත්‍රයේ ඒ හා සමානවම දක්වා තිබේ. එසේම ඉන්ඩිකාවේ මෞර්ය යුධ හමුදා ගැනද කියැවේ. ඇත්,අස්.රිය.පාබල යන හමුදා වර්ගත්, ඒවායේ සිටි සංඛ්‍යාවන්ද ඉන්ඩිකාවේ දැක්වේ. එසේම මෞර්ය පාලන ක්‍රමයේ පැවති දරුණු දඬුවම් ක්‍රම වන අවයව කැපීම, මරණය, හිස ගසා දැමීම ආදියද දක්වා තිබීම විශේෂ වේ.

   නමුත් මෙගස්තිනීස්ගේ ඇතැම් තොරතුරු අසත්‍ය බව දක්වා ඇත. රත්තරන් සෙවීමට පොළව කණින කූඹි සිටින බවත්, මුඛ නැති අත්භූත මිනිසුන් සිටින බවත් ඉන්ඩිකාවේ ඇතුළත් කො‍ට ති‍බේ. මේවා බොහෝ දුරට මිත්‍යාමත සේ සැළකේ. මහාචාර්ය රීස් ඩේවිඩ් වැනි පඬිවරුන් පවසන්නේ මොහුගේ වාර්තා වලින් සත්‍ය වන්නේ පාටලීපුත්‍ර නගරයේ තොරතුරු පමණක් බවයි.

ඒ කෙසේ වෙතත් ඉන්දියා ඉතිහාසය හැදෑරීමේදී මෙගස්තිනීස්ගේ ඉන්ඩිකා කෘතිය වැදගත් තැනක් උසුලයි.

 

හියුං සාගේ  වාර්තා

     භික්ෂුවක් ලෙස ඉන්දියාට පැමිණ ඉන්දීය ඉතිහාසයගැන සටහන් කර ඇති චීන ජාතික භික්ෂුවක් ලෙස හියුංසා හැදින්විය හැකිය. සුප්‍රසිද්ධ නාලන්දා විශ්වවිද්‍යාලයේ විදේශීය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලැබූවෙකි. භාරත දේශයේ අදුරු කාලච්ඡේද පිළිබද තොරතුරු ලබා ගත හැක්කේ මෙම වාර්ථා වලින් පමණක් බව වින්සන්ට් ස්මිත් මහතා ප්‍රකාශ කර ඇත. ක්‍රි.ව. 603 දීනයේ හෝනං ප්‍රදේශයේ චිං ලිවු නගරයේ උපන් මොහු ලියූ කෘතිය භ්‍රමණ වෘත්තාන්තයයි. ක්‍රි.ව. 629 දී මොහු ඉන්දියාවට පැමිණි අතර අවුරැදු 16 කට පසු නැවත චීනයට ගොස් තමා ලබා ගත් අද්දැකීම් ඇතුළත් ‍කොට භ්‍රමණ වෘත්තාන්තය ලියන ලදී.තක්ෂිලා, සිංහපුර, කාෂ්මීරය, කෞෂම්බි, ශ්‍රාවස්ති, අයෝධ්‍යා, නවදේව කුල, කන්‍යාකුබ්ජ, මථුරා, ථානේශ්වර, සාගල, ජලන්දරය වැනි නගර ගැන තොරතුරු ලියා ඇත. ක්‍රි.ව. 640 දී හර්ෂවර්ධනගේ රාජ්‍යයට පැමිණ ආගමික පෙරහැරවලට හා කනෞජ සම්මේලනවල සහභාගී වී ඇති අතර එය ඉතා සිත් ගන්නා සුළු ආකාරයෙන් විස්තර කර ඇත. ප්‍රයාග නගරයේ පැවති පංච වාර්ෂික දානය ගැන දක්වා ඇති අතර හියුංසා දුටුවේ හයවැනි ප්‍රයාග සම්මේලනය බව සදහන් කරයි.  

   සූර්ය වන්දනය පිළිබද තොරතුරු, මිහිර කුල නම් හූන ගෝත්‍රිකයාගේ ආක්‍රමණ ගැන තොරතුරු, ධර්මාශෝක රජුගේ ආගමික තොරතුරු හා කනිෂ්ක රජු පිළිබද විස්තර මෙම කෘතියේ ඉදිරිපත් කර ඇත. ක්‍රි.ව. 641 දී ඩෙකෑනයේ චාලුක්‍යය වංශික දෙවන පුලකේෂීන්ගේ රජ මාළිගයට ගොස් එම රජුගේ වීර ක්‍රියා හා අධිරාජ්‍යයේ සමෘද්ධිය ගැන විස්තර ලියා ඇත. පල්ලව අගනගරය වූ කංචි පුරයට පැමිණි උන් වහන්සේ එහි බෞද්ධ විහාර ආරාම සියයකට වඩා තිබූ බවත්, ඒවායේ භික්ෂූන් වහන්සේලා දසදහසකට වඩා සිටි බවත් ඒ සියල්ල සියසින්ම දුටු බවත් දක්වා ඇත.

සංගම් සාහිත්‍ය

     ක්‍රි.ව. පළවන වන සියවසේ සිට තුන්වන වන සියවස දක්වා කාලය තුළ විවිධ ස්ථාන වල පාණ්ඩ්‍ය රජවරුන්ගේ අනුග්‍රහයෙන් ඒකරාශී වූ සංගම් මගින් රචිත සාහිත්‍ය සංගම් සාහිත්‍ය ලෙස හදුන්වනු ලබන අතර සංගම් 3ක් මෙම කාලයේ පවත්වා ඇත. පළමුවැන්න මධුරා නගරයේ, දෙවැන්න කබාඩපුරම් නගරයේ, තුන්වැන්න මධුරා නගරයේත් පවත්වා ඇත. මේවා උපදේශාත්මක හා වෘතාන්තමය යනුවෙන් කොටස් දෙකක් දැකිය හැකි අතර උපදේශාත්මක කාව්‍ය කීල්කනක්කු නමින්ද, වෘතාන්තමය කාව්‍ය මේල්කනක්කු නමින්ද හදුන්වා ඇත. “තොල්කාප්පියම්” නැමති ග්‍රන්ථය මෙම කාලයට අයත් ප්‍රධාන ව්‍යාකරණ ග්‍රන්ථය ලෙස සදහන් වේ. මෙම ග්‍රන්ථ වල ඓතිහාසික හා සාහිත්‍ය වටිනාමක් මෙන්ම දේශපාලන, සමාජ, සංස්කෘතික තොරතුරු අඩංගුය. දේශපාලන වශයෙන් රජු, ඔහුගේ කාර්ය්‍යයන්, රාජ සභාව,රාජධානිය අතර ගැටුම්, කෘෂිකර්මය, වෙළදාම ආදි පිළිබද විස්තර දක්වා ඇත. එදිනෙදා ජීවිතයේ සිරිත් විරිත්, ආහාර පාන, ආගමික වත්පිළිවෙත් ආදිය දැක්වේ. මෙම සංගම් සාහිත්‍ය ලියු කවීන් පන්සියයක් පමණ සිටි අතර කාන්තාවන්ද ඒ අතර වූ බව සදහන් කර ඇත. මෙවන් සාරවත් සාහිත්‍යක් බිහි වීමට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබී ඇති බව පැහැදිලි වේ.

 

සෘග් වේදය

     ඉන්දියාවට පැමිණි මුල් ආර්යය කණ්ඩායම් පිළිබදව දැක්වෙන එකම මූලාශ්‍රය සෘග් වේදයයි. වේද සාහිත්‍ය කොටස් හතරකින් යුක්තය. ඒවා නම් සෘග්, යජුර්, සාම,අතර්වන් වේ. සෘග් වේදය ලියා ඇත්තේ ආර්යයන් ඒ ඒ දෙවියන්ගෙන් සෙත් ශාන්ති ලබා ගැනීමට කරන ලද පූජා, සංඥා, ශ්ලෝක ඇතුළත් කිරීම සදහා ය. විශේෂයෙන් ස්වාභාවික වස්තු දේවත්වයට තබා එම දෙවි වරුන්ගෙන් සෙත් ශාන්තිය ලබා ගැනීමට කටයුතු කළ ආකාරය පිළිබදව සෘග් වේදයේ දැක්වේ. සෘග් වේදයේ ආර්යයන්ගේ දේශපාලන, ආර්ථික , සමාජයීය, සංස්කෘතික තොරතුරු ඇතුළත් වේ. සෘග් වේදයේ මණ්ඩල 10 කි. ශ්වලෝක 1028 කි. සෘෂිවරුන් විසින් පරම්පරා ගණනාවක්ම සෘග් වේදයේ අඩංගු ශ්ලෝක කටපාඩමින් ගෙනවුත් ක්‍රි.පූ. පළමුවන හා හතරවන සියවස්වල ලියා ඇතැයි සැලකේ.  

ආර්යයන් හින්දුකූෂ් කදුකරය ඔස්සේ ඛයිබර් හා බෝලාන් කපොලු හරහා ඉන්දියාවට ඇතුළු වූ බවත්, ඔවුන් සින්දු නදියේ ඉහළ කොටසේ සරස්වතී නදිය ආශ්‍රිතව පදිංචි වූ බවත් සෘග් වේදයේ දක්වා ඇත. සප්ත සින්දු නැමති නදීන් හතක් ද (ජෙලම්,චේනාබ්,රාවි,බියස්,සුට්ලෙජ්, දෘශ්‍යවතී සහ සරස්වතී) , නදීස්තුතී නැමති ගංගා විසි පහක් ගැනද සෘග් වේදයේ දැක්වේ. තවද ආර්යයන් ඉන්දියාවට පැමිණි කාලයේ ස්වදේශිකයන් සමග කිරීමට සිදු වූ සටන් පිළිබදව ද මෙහි ඇතුළත් වී ඇත.

ඔවුන්ට මෙම කරදර වලින් මිදීමට ඉන්ද්‍ර නැමති දෙවියන්ගෙන් ලැබුණු සහය ගැනද දක්වා තිබේ. දසස් හෙවත් ඉන්දියාවේ සිටි ස්වදේශීකයන්ගේ බලකොටු සියගණනක් විනාශ කළ නිසා පුරන්දර නමින් ඉන්ද්‍ර දෙවියන් සෘග් වේදයේ හදුන්වා ඇත.

ආර්යයන්ගේ දේශපාලන තොරතුරු වශයෙන් ගෝතු වශවයන් ඉන්දියාවට පැමිණි බවත්, ඔවුන්ගේ මුල් පවුල් සංස්ථාව ගෝත්‍ර බවත් මෙහි දක්වා ඇත. යදු, පුරා, දෘහ්‍ය, බරත, තුර්වාස, පක්ක, අලීන වැනි දුබල හා ප්‍රබල ගෝත්‍ර ගණනාවක් වූ බවත් ප්‍රබල ගෝත්‍ර විසින් දුබල ගෝත්‍ර යටපත් කරගෙන සිටි ආකාරය පිළිබදවත්, විෂ් නමින් හැදින්වූ ගෝත්‍රය විෂ්පති නමින් හැදින්වූ ගෝත්‍ර නායකයන්, රජවරුන් යටතේ පාලනය වූ රාජ්‍ය දක්වා වර්ධනය වූ ආකාරයත් සෘග් වේදයේ දක්වා තිබේ. රජුගේ සහයට සමිති, සභා, පුරෝහිත වැනි ආයතන හා පුද්ගලයන් බිහි වීමත්, එමගින් සිදු වූ කාර්යයන් පිළිබදව ද මෙහි දක්වා තිබේ.

ආර්යයන්ගේ ආර්ථික තත්වය ගැන විමසීමේදී එඩේරුන් ලෙස පැමිණි ආර්යයන් කෘෂිකාර්මික ජීවිතයට හුරු වු අයුරුත්, පසුව වෙළදාම, කර්මාන්ත වැනි දේහි නියුක්ත වූ අයුරුත් දක්වා ඇති අතර පීතෘ මූලික සමාජයක් වූ ආර්යයන්ගේ සිරිත් විරිත්, ඇදුම් පැළදුම්, ක්‍රීඩා, විනෝදාංශ, විවාහ චාරිත්‍ර ආදිය පිළිබදව තොරතුරු සෘග් වේදයෙන් හෙළිවේ.   

 

කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය

ඉන්දීය ඉතිහාසය හැදෑරීමට උදව් වන ඓතිහාසික මූලාශ්‍රයකි කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය. පුරාණ ඉන්දීය ඉතිහාසයේ සෑම ක්ෂේත්‍රයක් උදෙසාම අර්ථ ශාස්ත්‍රයේ රශ්මිය ලැබී ඇති බව හේමචන්ද්‍ර රායි නම් ඉතිහාසඥයා පවසයි. අර්ථ ශාස්ත්‍රයේ කතෘත්වය හා රචිත කාල වකවානුව පිළිබද විවිධ මත කිහිපයක් ඇත. ඉන් පළමු මතය නම් ක්‍රි.පූ. හතර වන සියවසේ කෞටිල්‍ය චානක්‍ය, විෂ්ණු ගුප්ත යන නම් වලින් හැදින්වූ මෞර්ය චන්ද්‍රගුප්ත රජුට අගමැති කම් කළ පුරෝහිතයා විසින් අර්ථ ශාස්ත්‍රය ලියා ඇති බවයි. දෙවන මතය නම් ක්‍රි.පූ. හතරවන සියවසේ කෞටිල්‍ය පොත සම්පූර්ණ කරන ලද්දේ ඔහුගේ අනුගාමිකයන් බවයි. තෙවන මතය නම් කෞටිල්‍ය නාමය හා සම්බන්ධ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් මෙම කෘතිය රචනා කළ බවයි. මෙම ග්‍රන්ථය පිළිබද විවිධ මතිමතාන්තර පැවතියද ඉන් වැඩි කොටසක් රචනා වී ඇත්තේ මෞර්ය යුගයේදී බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

මෙම ග්‍රන්ථයේ පැරණි ඉන්දියාවේ පරිපාලනය, රටේ පැවති නීතිරීති, බ්‍රහ්මණයන්ගේ තත්වය, රටේ පැවති බදු ක්‍රම, වෛශ්‍යන් හා ශුද්‍රයන් කරන ලද සේවා ආදිය ඇතුළත්ය. තවද මෙම ග්‍රන්ථයේ යුධ සංවිධානය පිළිබදවත් දැක්වේ. මෙහි අධිකරණ 15 ක් ඇති අතර අතුරු කොටස් එකසිය අසූවකි. ශ්ලෝක හැට දහසකි. ප්‍රධාන කොටස් 15 හා දැක්වෙන තොරතුරු අතර රජු පත් කිරීම, භාන්ඩාගාරය, පොළී ක්‍රම, දේපාර්තමේන්තු, චරපුරුෂ සේවා, සේනා සංවිධානය, නිළධාරීන්ගේ වැටුප්, අයබදු, අධිකරණය ආදී විවිධ තොරතුරු අන්තර්ගතය. ඉන්දියාව චරපුරුෂ සේවාවන්ගෙන් පිරුණු රටක් බවද අර්ථ ශාස්ත්‍රයේ දැක්වේ.  

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *