Thu. Jun 20th, 2019

පිරිවෙන.lk

පිරිවෙන් අධ්‍යාපනයේ අනාගතය උදෙසා

බුදුසමය තුළ පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය අගය කිරීම

1 min read
බුදුසමය තුළ පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය අගය කර ඇත. පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය යටපත් වී ගිය සමකාලීන භාරතීය ඉගැන්වීම් සියල්ලම පාහේ බුදු සමයෙන් ප්‍රතික්ෂේප කර ඇත. බුදු දහමට අනුව තමාගේ ස්වාමියා තමාම ය. එබැවින් තමාගේ ඉරණම විසඳා ගත යුත්තේ තමන්ම ය. තමා පිළිබඳව සියල්ලටම වගකිව යුත්තේ දෙවියකු හෝ වෙනත් එවැනි කවර හෝ බලවේගයකට හෝ නොවේ. තමාමය තමන්ගේ පිරිසුදුකම, අපිරිසුදුකම, ඇති කර ගන්නේද තමාමය. වෙනත් කෙනෙකුට එය කළ නොහැකිය. ධම්ම පදයේ අත්ත වග්ගයේ සඳහන් පරිදි තමන් කරන ලද පාපයෙන් තමන් අපිරිසුදු වේ. පව්නොකිරීමෙන් පිරිසුදු වේ. පිරිසුදුකම හා අපිරිසුදුකම සිදුවන්නේ තමන් විසින්ම කරගනු ලබන ක්‍රියාවන් මතය තමාගේ පිරිසුදුකම වෙනත් කෙනෙකුට කළ නොහැකිය.
අත්තනාව කතං පාපං
අත්තතා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසුප්ඣති
තමාට තමාම පිහිට කොටගෙන ජීවත්වන ලෙස බුදුන් වහන්සේ උපදෙස් දෙයි.
අත්තනාහි අත්තනෝ නාතෝ
කෝහි නාථෝ පරෝසියා
අනුන්ගේ පිහිට නොපතන්න. තමාට තමාම පහනක් වී කටයුතු කරන්න.
අත්ත දීපා විහරථ භික්ඛවේ
අත්ත සරණා න අනඤ්ඤ සරණං
යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කරයි . තමාගේ විමුක්තිය තමා විසින්ම ලබාගත යුතුය. එය දෙවැන්නෙකුට ලබා දිය නොහැකිය. තථාගතයන් වහන්සේ මඟ කියා දීම පමණක් කරයි. එසේ නොමැතිව කණවැල අල්ලාගෙන යන්නන් මෙන් ශ්‍රාවකයා විමුක්තියට කැඳවාගෙන නොයයි.
තුම්හේහි කිච්චං ආතප්පං
අක්ඛාතාරෝ තථාගතා
බුදු දහමට අනුව සෑම කෙනෙකුටම තමා ගැන තමාම වගකිව යුතුය. බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී භික්ෂූන් අමතා වදාළේ ධර්මය විනය දෙක ශාස්තෘත්වයෙහි තබා ගෙන කටයුතු කරන ලෙසයි. තමන් උදෙසා නො අසන ලෙසයි. පුද්ගල ශක්තිය හමුවේ දෙවියන් බමුණන් පවා ගෞරව කරයි. දීඝ නිකායේ සක්කනමස්සන සූත්‍රයට අනුව දෙවියන් අතර ප්‍රධානියා සිල්වත්ව දැහැමින් අඹුදරුවන් පෝෂණය කරන, පින්කම් කරන ගිහි උපාසකයින්ට නමස්කාර කරයි. බුදු බව පවා ලද හැක්කේ මනුෂ්‍යයෙකුට පමණි. මානසික ශක්තියෙන් පූර්ණ මිනිසා ළඟට කවර භූතයන් හෝ සත්තු ළං නොවේ. බුදුන් වහන්සේ පුද්ගලයා සතු කායික මානසික ශක්තිය අගය කර ඇත. සිවු කුලයෙන්ම පැවිදි වු ශ්‍රාවකයන් රහත් ඵලයට පත්ව නිවන් සැපය පවා ලබා ගනියි. ඒ සඳහා අවස්ථා නැතහොත් නිදහස බුදු සමය තුළ පුද්ගලයාට ලබා දී තිබුණි.
බුදු දහම තුළ පුද්ගල ශක්තිය මෙන්ම ස්වාධීනත්වයද අගය කර ඇත. පුද්ගලයාට නිදහසේ, ස්වාධීනව, ස්ව ඡන්දයට අනුව තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමට ශ්‍රාවකයාට අවස්ථාව උපරිමයෙන් ලබා දී ඇත. තවද බුදු දහම නිදහස් චින්තනයකි. එනිසා ශ්‍රාවකයාට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවේ. බුදු දහමට අනුව මිනිසා උපතින්ම ස්වාධීනය. බලහත්කාර ලෙස යම් යම් දේ ශ්‍රාවකයා හට පටවා ඇති දහමක් වශයෙන් බුදු දහම සැලකිය නොහැකිය. බුදුන් වහන්සේ දේශනා කළ කාලාම, උපාලි විමංසක සුත්‍රවල සඳහන් වන කරුණු මගින්ද බුදු දහම තුළ පුද්ගලයාට ස්වාධීනව, නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව දී ඇති බව පෙන්වා දිය හැකිය. බුදුන් වහන්සේ ශ්‍රාවකයන් හට වදාළේ ද, “ධර්මය මැනවින් දේශනා කර ඇත. එය ඇවිත් විමසා විවෘත කර බලා තම තමාගේ ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන්ම පිළිගත යුතුය”(ඒහි පස්සිකෝ – ඕප නයිකො) අංගුත්තර නිකායේ අත්තකාර සූත්‍රයේ සඳහන් කරුණූ නැතහොත් ඉගැන්වීම් මගින්ද පුද්ගලයා ස්ව ශක්තියෙන් යුක්තව ස්වාධීනව කටයුතු කරන බව පැහැදිලි වේ.
උදාහරණ –
අන්තකාර – තමන් කරනු ලබන ක්‍රියා
පරකාර – අනුන් කරනු ලබන ක්‍රියා
ආරම්භකධාතු – ක්‍රියාවක් ආරම්භ කිරීම
නික්කම ධාතු– ක්‍රියාව ආරම්භ කිරීම සඳහා අලස කමින් නික්මීම
පරක්කම ධාතු– වීර්යය පවත්වාගෙන යාම
ථාම ධාතු– වීර්යය බලවත් වීම
ඨිති ධාතු – ස්ථාවර වීර්යයකට පැමිණීම
උපක්කම ධාතු – ක්‍රියාව සාර්ථක කර ගැනීමට උපක්‍රම යෙදීම
මෙම කරුණු වලින් පැහැදිලි වන්නේ බුදු සමය තුළ පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය අගය කරන ඉගැන්වීම් හඳුන්වා දී ඇති බවයි.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය බලංන්ගොඩ සමිත හිමි හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *