Thu. Jun 20th, 2019

පිරිවෙන.lk

පිරිවෙන් අධ්‍යාපනයේ අනාගතය උදෙසා

කළ්‍යාණ මිත්‍ර හා පාප මිත්‍රයන් හදුනා ගනිමු.

1 min read
බුදු දහමේ ගිහි සුවය , පැවිදි සුවය යනුවෙන් සමාජ සැප කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදේ. පැවිදි සුවය විමුක්ති සුවය ඉලක්ක කොට ඇති අතර ගිහි සුවය ලෞකික ජීවිතයද දියුණු කර ගනිමින් විමුක්ති සුවය සලසා ගැනීම පිළිබඳව ලොව්තුරු මාර්ගය පැහැදිළි කර දී ඇත. බුදු රජාණන් වහන්සේ ලෞකික දියුණුව සලසා ගත හැකි මාර්ග නොයෙක් සුත්‍ර  දේශනාවන් තුළින් පැහැදිළි කර දී ඇත. වෙසෙසින් ව්‍යග්ගපජ්ජ සූත‍්‍රයේ දී මේ පිළිබඳ ව උන් වහන්සේ පුළුල් ව විග්‍රහ  කොට ඇත. සූත‍්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් මෙම සුත්‍රය තුළින් ගිහි ජනතාවගේ ලෞකික දියුණුව සලසා ගැනීම සඳහා උපදෙස් පැහැදිලිව බුදු හිමියෝ පෙන්වා දුන්හ.
එහිදී “චත්තාරො මෙ ව්‍යග්ගපජ ජ ධමමා දිට්ඨ ධම්ම හිතාය සුඛාය සංවතතති. කතමෙචත්තාරො උට්ඨාන සම්පදා , ආරකඛ සම්පදා, කල්‍යාන මිත්තතා, සමජීවිකතා ති”
යනුවෙන් පුද්ගලයෙකුගේ මෙලොව දියුණුව සඳහා කරුණු හතරක් ප්‍රධාන  වන බවද උත්සාහ සම්පත්තිය , ආරක්ෂා සම්පත්තිය , කල්‍යාන මිත‍්‍රත්වය හා අය වැය සමව පවත්වා ගෙන යෑම යන කරුණු හතර පුද්ගල මෙලොව දියුණුව සඳහා හේතුවන බවත් පෙන්වා දී ඇත.
එයින් තුන්වන කරුණ වන්නේ කල්‍යාණ මිත‍්‍රත්වයයි. එම සූත‍්‍රයේ දි කල්‍යාණ මිත‍්‍රත්වය දීඝජාණු කෝලිය කුලපති පුත‍්‍රයන්ට පැහැදිලි කොට ඇත්තේ මේ අයුරිනි.
”කතමා ච ව්‍යගඝ පජජ, කල්‍යාණ මිතතතා ඉධ ව්‍යගඝපජජ , කුල පුතෙතා යසමිං ගා මෙවා නිගමෙ වා ගහපති පුතෙතා වා දහණ වා වූ ද ධ සීලි නොවු ධා වා වූදධ සීලා සද්ධා සම්පන්න සීල සම්පන්නා චාග සම්පන්නා පඤඤා සම්පන්නා , තෙහි සදධිං සනතිටඨති සලලපති සාකචඡං සමාපජජති , යථා රූපානං සද්ධා සම්පනනානං සද්ධා සමපදං අනුසිකඛති, යථා රූපානං සීල සමපනනං සීල සමපදං අනු සිකඛති,, යථා රූනනං චාග සමපනනානං චාග සමපදං අනුසිතඛති, යථා රූපානං පඤ්ඤාය සමපනනානං පඤ්ඤා සම්පදා අනුසිකඛති අයං මුචචති ව්‍යගඝපජජ, කල්‍යාණ මිතතතා
ව්‍යග්ගපජ්ජය , කල්‍යාණ මිත‍්‍රත්වය නම් කවරයත් ව්‍යගගපජ්ජය. මෙලොව කුලපතියෙක් තම ගම හෝ නියම්ගම හෝ වාසය කරන විට එම ගෘහපති හෝ ගෘහපති පුත්‍ර තෙම ළදරු වයසේ අවබෝධයෙන් උසස් වූ කෙනෙක් හෝ වැඩිහිටි වයසේ අවබෝධයෙන් උසස් වූ අයෙක් ආශ්‍රය  කරන්නේය. ඒ ඔහු ශ්‍රද්ධා  සම්පත්තියෙන් සීල සම්පත්තියෙන් , ත්‍යාග සම්පත්තියෙන් , ප්‍රඥා  සම්පත්තියෙන් සමන්විත නිසා ඔහු ආශ්‍රය කළ යුතුයි.
ඔහු සමඟ සාකච්ඡා කළ යුතු ය. නිතර කතා බහින් යුක්ත විය යුතු ය. එබඳු ශ්‍රද්ධා සම්පන්න වූවන්ගේ ශ්‍රද්ධාව අනුව අපට හික්මිය හැකිය. එබඳු සීල සම්පන්න පුද්ගලයන් ගේ සීලය අනුව හික්මිය හැකිය. එබඳු ත්‍යාග සම්පන්න වූවන්ගේ ත්‍යාගවන්ත බව අනුව හික්මිය හැකි ය. එබඳු ප්‍රඥා සම්පන්න අයගේ ප්‍රඥාවන් බව අනුව හික්මිය හැකි ය. එනිසා ව්‍යග්ගපජජ කුල සුත්‍රය , එවැනි අය සමඟ ඇසුර කල්‍යාණ මිත්‍රත්වය  යනුවෙන් හඳුනාගත යුතුය.
ඒ අනුව කල්‍යාණ මිත්‍රත්වය යනුවෙන් බුදුහිමියෝ දීඝජාණු කෝලිය කුල පුත්‍රයාට දේශනා කොට වදාරා ඇත්තේ ශුද්ධ පුද්ගල ඇතුළාන්තය හෙවත් පිරිසිදු චරිත ලක්ෂණ වලින් යුත් පුද්ගලආශ්‍රය  සැබවින්ම කල්‍යාණ මිත්‍රත්වය බවයි. සැදහැති බව . සිල්වත් බව , ත්‍යාග වන්ත බව හා ප්‍රඥාවත් බව යන මේ කරුණු වලින් සමන්විත වූ පුද්ගලයෙක් යමෙක් ඇසුරු කරන්නේ නම් ඔහුගේ මෙලොව දියුණුව නිරායාසයෙන්ම සැලසෙන බව බුදු හිමියෝ දීඝ ජාණු කෝලිය කුල පුතුට පැහැදිලි කොට දී ඇත. එතුළින් කල්‍යාණ මිත්‍රත්වයේ  සැබෑ ස්වරූපය අපට මැනවින් හඳුනාගත හැකිය.
සිඟාලෝවාද සුත්‍රය තුළ දී සදිසා පිළිබඳ පැහැදිලි කිරීමේ දී උතුරු දිශා නමස්කාරය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මිතුරු මිතුරු අන්තර් යුතුකම් ඉටු කිරීම පිළිබඳ යි.
එම පැහැදිලි කිරීමේ දී මිතුරන් අට දෙනෙකු පිළිබඳ පැහැදිලි කොට ඇත. එහිදී කල්‍යාණ මිත්ත සම්පත්තිය පිළිබඳ ව කරුණු මැනවින් පැහැදිලි වේ. එහිදී මිත‍්‍ර ප්‍රතිරුපකයන්  සිවු දෙනෙකු ද කල්‍යාණ මිත්‍රයන්  සිවු දෙනෙකු ද පෙන්වා දී ඇත.
සිවුවැදෑරුම් මිත්‍ර ප්‍රතිරුපකයෝ 
  1. අඤඤදත්‍ථු හර
  2. වචී පරම
  3. අනුප්පීය භාණී
  4. අපාය සහාය
මිතුරු වෙසින් සිට තමා ඇසුරු කරන මිතුරාට අනර්ථයක් ම සිදු කරන මිතුරන් සිවු දෙනෙකි. ඉහතින් දැක්වූයේ පළමු අඤ්ඤදත්ථු හර මිත‍්‍රයා හිස් අතින් මිතුරා ළඟට පැමිණ මොනයම් දෙයක් හෝ ඔහුගෙන් ලබාගෙන යාමට නිතර යත්න දරයි. ඔහුගෙන් මිතුරාට වන යහපතක් නැත.
ආත්මාර්ථය ම පදනම් කොට ගෙන ක්‍රියා  කිරීම එම අඤ්ඤදත්ථු හර මිතුරාගේ ස්වරූපයයි. එනිසා ඔහු කල්‍යාණ මිත්‍රත්වයට බාධාවකි. ඔහු මිතුරු සමාගමෙන් ඈත් කළ යුතු කෙනෙකි.
මිත්‍ර ප්‍රතිරුපකයන් අතර දෙවැන්නා ලෙස බුදුහිමියන් පෙන්වා දුන්නේ වචී පරම මිත්‍රයයි. වචනයෙන් පමණක් මිතුරාට සංග්‍රහ කරන අතර ක්‍රියාවෙන්  එය ඔප්පු නොකරයි. කතාවට පමණක් ඔහුගේ මිත්‍රත්වය සීමා වෙයි. අන් ප්‍රයෝජනයක් ඇසුරු කරන මිතුරාට නැත.
අනුප්පියභාණී යනු මිතුරු ප්‍රතිරූපකයන් අතර තුන්වැන්නාය. ඔහු වචී පරම මිත‍්‍ර ප්‍රතිරූපකයාට වඩා තරමක් වෙනස් ය. මිතුරාට සතුට උපදවන කතා පමණක් පවත්වන අතර මිතුරා වෙනුවෙන් පෙනී සිටීමක් හෝ යම් ක්‍රියාකාරිව සහයදීමක් නොකරයි. එවැනි මිතුරා ද ඇසුරට නුසුදුසු බව දේශනා කොට ඇත.
මිතුරු ප්‍රතිරූපකයන් අතර සිවුවැන්නා වන්නේ අපාය සහාය නැමති මිතුරු ප්‍රතිරූපකයාය. මිත‍්‍ර ප්‍රතිරූපකයන් අතර මොහු ඉතා භයානකය. නරක අයහපත් වැඩට ම ඇසුරු කරන මිතුරාට උපකාර කරන මිත්‍ර  ලීලාවෙන් සිටින මිත්‍ර ප්‍රතිරූපකයාය. මෙවැනි මිතුරන් ඇසුරු කිරීමෙන් පුද්ගල පරිහාණිය ඉතා වේගවත් වන අතර එතුළින් පුද්ගල විනාශය ද සිදු විය හැකිය. නූතන සමාජය තුළ එවැනි මිතුරන් බොහෝ සෙයින් අපට දැකගත හැකිය. එනිසා සිඟාලෝවාද සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ එවැනි මිත්‍ර ප්‍රතිරූපකයන් දුරින් ම දුරු කළ යුතු බව පෙන්වා වදාළ සේක. එම සුත්‍රයේම පුද්ගල අපාය මුඛ දක්වන තැන දී පස්වන කරුණ වශයෙන් බුදුහිමියන් පෙන්වා දෙන්නේ පුද්ගල පිරිහීමට බලපානු ලබන ප්‍රධාන හේතුවක් වන්නේ පවිටු මිතුරන් සේවනය කිරීම බවයි.
අප ජීවත් වන සමාජයේ මිතුරු වෙසින් සිට මිතුරාට අවැඩක් අයහපතක් සිදු කරන බොහෝ මිතුරු චරිත සමාජය පුරාම පැතිරී පවතින බව යට සඳහන් කරුණු වලින් මනා ව පෙන්නුම් කෙරේ. එනිසා නියම මිතුරා කෙසේ විය යුතු දැයි අප විසින් නියාමාකාරයෙන් හඳුනාගත යුතුය. ව්‍යග්ග පජ්ජ සුත්‍රයේ දී ද මෙම කරුණ අපි සාකච්ඡා කළෙමු. බුදු රජාණන් වහන්සේ සිඟාල ගෘහපති පුත්‍රයාට මිතුරන් වශයෙන් හඳුනාගත යුතු පුද්ගලයන් හතර දෙනෙකු පිළිබඳව පෙන්වා දී ඇත. ඒ තුළින් සැබෑ මිත‍්‍රත්වය හෙවත් කල්‍යාණ මිත‍්‍රත්වය පිළිබඳව පැහැදිළි චිස්තරයක් අපහට මවා ගත හැකිය. එම කල්‍යාණ මිතුරන් සිවුදෙනා නම් ,
01. උපකාරක මිතුරා
02. සමාන සුඛ දුක්ඛ මිතුරා
03. අත්ථක්ඛායී මිතුරා
04. අනුකම්පක මිතුරා
ඉන් පළමු වන මිතුරා වන්නේ උපකාරක මිතුරාය. ඔහු විපතේ දී තම මිතුරාට උපකාර කරයි. සියලු කටයුතු මැනවින් පරීක්ෂාකාරීව සොයා බලයි. තමාට සිදු වූ විපතක් මෙන් තම මිතුරාට සිදු වූ විපත සලකයි. එහිදී තම කාලය ශ්‍රමය, ධනය තම මිතුරා වෙනුවෙන් ඔහු කැප කරයි. මෙවැනි පුද්ගල චරිත නූතන සමාජයේ ද විරලව දැකි ය හැකිය. එවැනි මිතුරා කල්‍යාණ මිත‍්‍රත්වයේ ප්‍රතිමූර්තියකි.
දෙවන කල්‍යාණ මිත්‍රයා වශයෙන් මෙම සුත්‍රයේ දී තතාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ සමාන සුඛ දුක්ඛ මිතුරාය. එනම් තමාට ගැලපෙන සමාන සුවදුක් ඇති මිතුරාය. මිතුරාගේ දුකේදිත් සැපේ දීත් මිතුරා සමඟම සිටිමින් ඔහු සමඟ සැප දුක් සමව විඳදරා ගනිමින් ක්‍රියා කරන මිතුරා මෙනමින් හැඳින්වේ. අද අප සමාජයේ සිටින මිතුරන් යැයි කියා ගන්නා පිරිස් දෙස විමසුම් නෙතින් බැලීමේ දී අපට පෙනී යන්නේ සම්පත් ඇතිතාක් මිතුරා සමඟම ඇසුරු නිසුරු කොට ඔහුගේ සම්පත් පිරිහුණු කල ඔහු වෙතින් ඈත් වීමයි. එනිසා එවැනි මිතුරන් ඇසුරු කිරීමේ දී අවධානයෙන් ඇසුරු කළ යුතුය. නමුත් සමාන සුව දුක් මිතුරා එසේ නොවේ. තම මිතුරා කිනම් සමාජ ස්ථරයක සිටිය ද ඔහුගේ  මිත්‍රත්වය අත් නොහරියි.
තෙවැනි කල්‍යාණ මිතුරා වශයෙන් මෙම සුත්‍රයේ දී දක්වා ඇත්තේ අත්ථක්ඛායී මිතුරාය. මොහු තමා ඇසුරු කරන මිතුරාට මෙලොව පරලොව සුභ සිද්ධිය සඳහා අවශ්‍ය මාර්ගයම පෙන්වා දීමට නිරතුරුව උත්සාහ දරයි. මිතුරා යම් විටෙක අයහපත් යමක් සිදු කරන විට එහි ආදීනව පෙන්වා දී ඔහු එම ක්‍රියාවෙන් වැළැක්වීම මෙම මිතුරාගේ එක් ස්වභාවයකි. එමෙන්ම මෙලොව දියුණුව සලසා ගත හැකි වෙනත් මං පෙත් ද ඔහුට පෙන්වා දෙයි. එමෙන්ම එම මාර්ගයෙහි තම මිතුරා යොදවයි. අවශ්‍ය නම් සම්පත් පවා පරිත්‍යාග කරයි. එපමණක් නොව මෙලොව යහපත් දේ කළ පසු මරණින් මතු උපදින අත්බවහිදී අත් විඳිය හැකි සැප පිළිබඳව ද පැහැදිළි කරයි. අවසන ලොව්තුරා තත්ත්වයට පත්වීමට ඇති ඉඩ ප්‍රස්තාද පෙන්වා දෙයි. එනිසා අත්ථක්ඛායී මිතුරා විශේෂයෙන් ම පුද්ගල සදාචාර වර්ධනයෙහි ලා මහඟු දායකත්වයක් සපයන්නේ තම මිතුරා ගේ ලෞකික දියුණුවද සලසා ගැනීම මං පෙත් විවර කර දෙමිනි. එවැනි මිතුරන් උත්කෘෂ්ඨ යැයි බුදුහිමියන් විසින් පෙන්වා දෙන ලදහ.
සිවුවන කල්‍යාණ මිතුරා වශයෙන් සිඟාලෝවාද සුත්‍රයේහි පෙන්වා දෙන්නේ අනුකම්පක, නැමැති මිතුරාය. ඔහු නිරතුරු ව තම මිතුරා පිළිබඳව සානුකම්පිත ව බලයි. කරදරයක් වූ විට තමාට වූ කරදයක් මෙන් යැයි සිතයි. ඔහු නොමඟ ගොස් ඇති නම් ඔහු කෙරෙහි අනුකම්පා සහගතව සුමඟට ගැනීමට හැකි සෑම වෑයමක් ම මෙම මිතුරා දරයි. තම පවුලේ සාමාජිකයන් ද තම මිතුරාගේ යහපත සඳහා පොළඹවයි. එවැනි මිතුරා ඇසුරු කරන පුද්ගලයා භාග්‍යවන්ත තැනැත්තෙකු ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
ඉහතින් දක්වන ලද සිඟාලෝවාද සූත‍්‍රයට අනුව පෙන්නුම් කරන මිත‍්‍ර සංකල්පය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී අපට පැහැදිළි වන්නේ පුද්ගල ලෞකික දියුණුවේ දී මිතුරන් නිසි පරිදි හඳුනාගෙන ක්‍රියා කළ හොත් තම ලෞකික ඉලක්ක කරා පැමිණීමට පුද්ගලයාට අපහසුවක් නොවන බවය. බෞද්ධ ශාසන ඉතිහාසය පිරික්සීමේ දී කල්‍යාණ මිත්‍රත්වය නිසා පරම සුවය ට පත් වූ බොහෝ ශ්‍රාවක චරිත දැකගත හැකිය. කෝලිත උපතිස්ස පිරිවැජියන් දෙදෙනාගේ මිත්‍රත්වය බුදු හිමියන්ගේ පවා පැසසුමට ලක් වූහ. මොවුන් දෙදනා කුඩා කල සිටම මිත්‍රයෝය. ඉන් පසු සැණකෙළියක් බැලීමට ගොස් සමාජයේ පවතින නිසරු බව තේරුම් ගෙන විමුක්තිය සඳහා පිටත් ව ගිය මෙම දෙදෙනාට එකල ශ්‍රමණ සම්ප්‍රදායට අයත් පරිබ්බාජක නමින් පෙනී සිටි සංජය පිරිවැජියා ළඟට ගොස් ඔහුගේ දහම උගත්හ. එනමුදු එයින් ප්‍රයෝජනයක් නොමැති බව නොබෝ කලකින්ම ඔවුනට වැටහිණි. ඉන් පසු දෙදෙනා කතිකා කොට ගත්තේ නියම සත්‍ය සොයා දෙදෙනා වෙන් වෙන්ව ගමන් කළ යුතු බවයි.
පළමුව සත්‍ය සොයා ගන්නා තැනැත්තා අනෙකාට එය පැවැසිය යුතු බවට වූ තීරණයකටද මේ දෙදෙනා පැමිණියහ. උපතිස්ස පිරිවැජියා ට අස්සජී මහරහතන් වහන්සේ හමු වන්නේ මින් පසුය. උන් වහන්සේගෙන් ධර්මය අසා එයින් පැහැදී තම මිතුරාට ද එම ධර්මය කියා දීමට උපතිස්ස පිරිවැජියා අමතක නොකෙළේය. ඉන්පසු දෙදෙනාම බුදුහිමියන් සොයා ගොස් එතෙක් සෝවාන්ව සිට තථාගතයන් වහන්සේ ළග පැවිදිව ධර්මය අසා රහත් ඵලයට පත් ව බුදු සසුනේ අග තනතුරු ද ලබා ගත්හ. මෙහි දී පෙන්වා දීමට උත්සාහ කළේ නියම කල්‍යාණ මිත්‍රත්වය නිසා තම ලොව්තුරු දිව් මග සරු කරගත් බුදු සසුනේ දෑග සව්වන් බවට පත් වූ සැරියුත් මුගලන් යන දෙදෙනා වහන්සේ පිළිබඳවය. එනිසා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පුද්ගල මෙලොව දියුණුව සඳහා මෙන්ම පරලොව දියුණුව සඳහාත් හේතු වන බව අපට පැහැදිළි වශයෙන් ම සඳහන් කළ හැක.

අප වෙබ් අඩවියට මෙම සටහන් ලබා දුන් පූජ්‍ය බලංන්ගොඩ සමිත හිමි හිමියන්ට බෙහෙවින්ම  පුණ්‍යානුමෝදනා කරමි.  😀  ඔබ සතුවත් මෙවන් වටිනා සටහන් බෙදා ගැනීමට කැමතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමට කාරැණික වන්න.

හැමෝටම දැනගන්න හැමෝමත් එක්ක බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *